සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Mar 26, 2018

May - December Romance !



ප්‍රියාවිය
හිස් මුදුනතින් පටන් ගත්
ප්‍රේමණීය හිරිවැටුමක
අවසාන තත්පරේදී
මා ඔය දිලෙසෙන තුරුණු දෑස
තුල කිමිදෙමි...

පරඩැලක්ව වැහැරුණු
මා දෑස් වුවද ප්‍රේමයෙන්
ගිනිගන්නා වග
ඔය ඇහි බෝල තුලින්ම දකිමි...

' ලොලීටා '
මගේ ප්‍රේමිය
මා නුඹට එසේ අමතමි...

ඉතින්
අසම්මත වූ බැවින් ප්‍රේමය
අසංවර යැයි ලොවෙන්
කොන් කල නිසාම
මෙකී පෙම
සඟවගමි ලයතුරේ සදහටම..

ඔය දෑස මත දිලෙන කඳුළකින්
ආත්මය විනිවිදින ඇසිල්ලක
දනිමි හැදින්නෙමි
රමණයම නොවන බව
රමණීය ප්‍රේමය ..


උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ කොළ පාට ඇස් නැවත කියවූ පසු ලියූවකි

Mar 24, 2018

ඔයා අහසක් වගේ !





ඔයා දන්නැති
ලොකු කතාවක්
ඇස් අඟිස්සක තියෙනවා

හිතේ උන්නද
නොඋන්නද මා
ඔයා ගැන නිති හිතනවා

ඔයා අහසක් වගේ
දුර බව දැනෙනකොට
දුක දැනෙනවා

ගලක් වාගේ
දරා ගත්තද
ඇස් වලින් දුක ගලනවා

කමක් නෑ මම
හෙටත් අද වගෙ
මඟ බලාගෙන ඉන්නවා

Mar 21, 2018

නුඹ !



නුඹ ,
සල්ලාල වෙරළක්
තුරුල්ලට එන හැම රළම
බදාගෙන සිඹින !

මම ,
සිප්පි කටුවක්
ඒ රැල්ල වෙරළින්
ඈතටම වීසිකල !

Mar 19, 2018

No entry !





සමනල්ලු පියාඹන්නෙ
උන්ට රිසි තැන
වෙඩි කෑවත් නවතිනවද උන්
No entry බෝඩ් ළඟ

Mar 14, 2018

සොඳුරියේ !





මේ සංසාර ගිරිදුර්ගයේ
මට මගේ ජීවිතේ
මඟහැරුණු තැන් නම් බෝ වෙතේ
මහ හුඟක් ඉස්සරම
නිදිගත් හිතේ
නුඹ ඇවිද්දේ ඇයි හිතුමතේ

දරදඬුව වැහැරුණු හිත වටේ
මුඳු සියුම් තැන් හොයමින් හද බිතේ
කහපාට සමනල් තටු දිගේ
නුඹ ලියා දුන් සෙනෙහස අගේ

හුස්මටත් හොර රහසෙම වගේ
තුරුල්ලට වී හෙමෙන් ගැහෙනා පපුතුරේ
හිම පියල්ලක් වගෙ හීතලේ
නුඹ මහද මැදමයි උණුහුමේ

ඒ උනත් මිහිරාවිය මගේ
මේ ඒ සිහිනයෙන් ඇහැරෙන වෙලේ
නුඹ දුන්නු ප්‍රේමය හිත් කොනේ
මතකයක් විතරද කිව මැනේ

Mar 12, 2018

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි !


කවි කවි කවි මිසක් ගොඩක් දවසකින් වෙන මුකුත් ලියලම නෑනේ බලන් යනකොට මම. දැන් දැන් මගේ කවි මටම අප්පිරිය නිසා ඔන්න අද හිතුවා වෙන මොනා හරි කුරුටු ගාන්න ඕනේ කියල.මොනා ගැනද ලියන්නේ කියල හිත හිත ඉන්නකොට තමා ඔය පහුගිය කාලෙක බුකියේ තමන් කැමති  හීන දහයක් ගැන කතා කරන එකක් ගියා නේද කියලා මතක් උනේ..ඉතින් මටත් හිතුනා මටත් අමතක වෙච්ච මගේ සමහර හීන ආයෙ මතක් කරලා මේකෙවත් ලියලා තියන්න ඕනේ කියල.


ඔය හීන කියල අපි පොදි බැඳ ගන්නේත් අපි ආස කරන අපි ප්‍රාර්ථනා කරන දේවල්මනේ.ඒ නිසාම කාලෙන් කාලෙට ඔය හීන වෙනස් වෙනවා එතකොට හීන පෙලගස්වලා තියෙන විදිය වෙනස් වෙනවා අලුත් හීන එකතු උනාම මුලම තිබුන හීන පස්සට ගිහින් අලුත් හීන මුලට එනවා.සමහර වෙලාවට හීන වල අන්තිමට තිබුන ඒවා ඉස්සරහට එනවා.මුල තිබුන ඒවා අන්තිමට යනවා.ඒ ඒ වයසත් එක්කත් අපේ හීන වෙනස් වෙන වෙලාවල් තියෙනවා.පොඩි කාලෙදී අපි ආස කරපු ප්‍රාර්ථනා කරපු හීන ඒ වයසෙදී හැබෑ කර ගන්න බැරි උනත් පහු කාලෙකදි ඒවා බොහොම ලේසියෙන්ම ළඟා කරගන්න පුලුවන් උනත් ඒවාට තිබුන ආසාව ඇල්ම නැති වෙලා යන වෙලාවලුත් තියෙනවා. ඔන්න ඔහොම කියනකොට මට ඉස්සෙල්ලාම මතක් වෙන දෙයක් තියෙනවා මම පොඩි කාලේ හරිම ආසාවෙන් හීන මවපු දෙයක් තිබුනා මට අවුරුදු දොළහෙදි විතර වගේ මට පුදුම ආසාවක් ආවා පාද සළඹක් දාන්න.ඔව් ඔව්  මේ අර anklets කියන්නේ අන්න ඒවා.පොඩි නැන්දා එක්ක තොරොම්බල් කඩවල රිංගනකොට එවා දැක්කම පුදුම ආසයි. ආසයි කියල ඉතින් හිතුමනාපෙට අරගෙන ගිහින් ඒවා දාන්න බෑ තාත්තගෙන් අවසර නොගෙන.ඒ නිසා මුලින් අවසර අරන් ඉන්න ඕනේ.ඔන්න ඉතින් අර දෙවෙනි ඉනිමෙ දෙව්මි එයාගේ තාත්තගෙන් මොනා හරි ඉල්ලන්න අහන්න දාන මායම් වගේ එව්වා දාලා මමත් තාත්තට මගේ ආසාව කිව්වා.බුදු අම්මේ මම අහගත්ත දෙවල්.මොන කුලප්පුවක් හැදිලද පාද සළඹක් දාන්න ඕන උනේ..ඕවා දාන්නේ හොද අය නෙවෙයි ඕවා දැම්මම මිනිස්සු බලන්නේ අමුතු විදියට.. බ්ලා බ්ලා බ්ලා...එදා මගේ පොඩි හිතට හිතා ගන්නම බැරි උනා පාද සළඹක් දැම්මම නරක් වෙන්නේ කොහොමද කියලා ඇයි මිනිස්සු අමුතු විදියට බලන්නේ කියල.කොහොම හරි කවදාවත් තාත්තගෙන් මට ඒ හීනේ හැබෑ කරගන්න උදව් නෑ කියලා මම දැනගෙන හිටියා.පාද සළඹ මට හීනයක්ම උනා කවදා හරි ලොකු වෙලා පාද සළං දුසිම් ගනන් ගන්නව කියල මම හිතා ගත්ත. ඉතින් දවසක්  තාත්තා යන්නම යන්න ගියා.ඊට පස්සෙත් අවුරුදු ගානක් මම කඩවල් වලට ගිහින් පාද සළඹවල් අතගාලා ලස්සන බලල ආවා අරගන්නෙ නැතුව.මගේ ඔය ආසාව හීනය දැනගෙන පහු කාලෙක ඉස්සෙල්ලාම මට පාද සළඹක් ගෙනත් දුන්නේ සත්තලන් ඔව් ඔව්  මේ ඉන්නේ එයා තමයි හි හී.මේ වෙනකොට  දැක්කම ආස හිතෙන හැම පාද සළඹම ගෙදර උස්සන් ආවත් අදටත් කවමදාවත් ගෙදරට දාලා හැඩ බලනවා මිසක් ඒකක් දාගෙන එළියට ගිහින් නෑ.මෙච්චර ලොකු වෙලත් තාත්තා එදා කියපු වචනෙ මාව පස්සට අදිනවා.

හ්ම්ම්ම් ඉතින් ඔන්න ඔය වගේ පුංචි පුංචි හැබෑ නොවූ හීන ඕන තරම්.හැබෑ කරගන්න පුලුවන් වෙලත් ඒවා අදටත් හීන.එක අතකට සමහර හීන හීන හැටියටම තියෙනකොට තමා ලස්සනට විඳින්න පුලුවන්.ලොකු වෙලා කරන රස්සාවල් ගැනත් ඒ ඒ වයසෙදී මට තිබුනේ හීන. මොන්ටිසෝරි වයසෙදී මට ඕන උනේම ලොකු වෙලා food city එකක කැෂියර් කෙනෙක් වෙන්න.ඒක ඔලුවට ආවේ  ෆුඩ් සිටියට ගියාම කැෂියර්ලා දිහා බලන් ඉදලම.ඊට පස්සේ ආස හිතුනේ ලොකු වෙලා කොන්දොස්තර කෙනෙක් වෙන්න තාත්තට කියලා බස් එකක් අරන් අක්කව ඩ්‍රයිවර් කරලා මට කොන්දොස්තර වෙන්න මාර හීනයක් තිබුනා.එව්වා ඉතින් පොඩි කාලේ පොඩි කමට දැක්ක හීන. පස්සෙ ටිකක් ලොකු උනාම air hostess කෙනෙක් වෙන්න හීනයක් තිබුනා.තාත්තගෙන් ඒකට ලැබුනෙත් පාද සළඹට ලැබුන වගේම නාග සළං ප්‍රතිචාර. ඒ හීනේ අත ඇරලා අන්තිමටම දැක්කේ පත්තර කාරියක් වෙන හීනේ.තාත්තා කවදාවත් මාව රස්සාවකට නොයවන බව දැන ගත්තාම දැකපු රස්සා හීන අත ඇරලා ආයෙ රස්සා ගැන  නොහිතා හිටියා.



ඉතින් ගැහැනු ළමයින්ගේ හීන වල එක එක කාලෙට එක එක හීන කුමාරයොත් ඉන්නවනේ.ඒ හීනත් හරිම සුන්දරයි නොවැ.ඒ හිරිමල් කාලේ ඉස්ස ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියල මම වශී වුනේ මාධවන් කොලුවටනෙ.එදා වගේම ඒ හිනාව මාව අදටත් පිස්සු වට්ටනවා.ඊට පස්සේ තව කොච්චර අය ලිස්ට් එකට ආවත් අදටත් මාධවන්ට දීපු තැන එහෙමමයි.ඇත්තටම ඉන්දියාවට ගිහින් එයාව කසාඳ බඳින්නත් ඒ කාලේ මට හීනයක් තිබුනා.මගේ ඒ හීනය අපේ හතර වරිගෙම අය දන්නවා ඉතින් ඔය කට්ටිය එකතු උන වෙලාවට මාව බයිට් කරන්න එහෙම තාමත් මාධවන්ගෙ කතන්දර ඇඳිලා එනවා.ඔක්කොටම හපන් සත්තලන් ඒ කට ඇවිස්සුනාම මගේ සිහින කුමාරයා අහගන්න කතන්දර. පව් අසරණයා.

සිනමාවේ විතරක් නෙවෙයිනේ නවකතා වලත් ආස කරන හීන කුමාරයො හිටියනේ.නවකතා වල චරිත අතරින් හැමදාමත් නොම්මර එකට ඉන්නේ වස්සාන හීනයේ කසුන් තමා.කොටින්ම ඒ කාලේ හීන මැව්වේ කවදා හරි මම ආදරේ කරන කෙනා කසුන් වගේ වෙන්න ඕන කියලා තමයි.

ඉතින් යාන්තන් හය හතර තේරෙන කාලේ ඉදන් මේ වෙනකන් දැකපු පුංචි පුංචි හීන අපමණයි.ඒවායෙන් බොහොමයක් සැබෑ උනා වගේම අත්හැරුණු හීනත් එමටයි.වර්තමානයේදීත්  ඉදිරියෙදී සැබෑ කරගන්න දකින හීන කන්දක් තියෙනවා.පවුලක් පන්සලක් උනාම දකින සාම්ප්‍රදායික සම්මත හීන ඇරුනම මගේ පිස්සු හිතට හිතෙන හීන කාට හරි කිව්වොත් මට හිනාවෙයි මේවත් හීනද අප්පා කියල.සමහර ඒවා එච්චරට බොළඳයි සමහරක් ඒවා හීන කියන්න බැරි තරමටම පුංචියි.ඒ නිසාම ඉතින් ඒවා මෙතන කියන්න යන්නේ නෑ.තව කාලයක් ගිහිල්ලා ඒ වෙනකොටත් බ්ලොග් තිබුනොත් මම හිටියොත්  මම බ්ලොග් ලිව්වොත් ඒ සැබෑ උන නොවුන හීන ගැන මේ වගේම පෝස්ට් එකක් දාන්න බැරියෑ. ඉතින් එතකං මේ මදෑ.

Mar 8, 2018

සිනාසෙනු මැන රත්තරන් !




නීල කඳු ගැට සිරස සිඹ සිඹ සීත මීඳුම වට කරන්
දෑල දෙවුරේ පීන පීනා රහස් කොඳුරන හසඟනන්
කෝල කර කර පාන රැඟුමට ආදරේ තව එක් කරන්
ආල අනුරා දෑස විදහා සිනාසෙනු මැන රත්තරන්

පෑව සෙනෙහස ඈත භවයක හුරුකමක් හිතටම කරන්
ආව හැටි නුඹ මගේ දිවියට සෙනෙහසම දෝතට අරන්
කාව වත් වෙන දැනුනෙ නෑ ආදරේ දෙන්නට නුඹ තරන්
පාව යන්නට එපා ඈතක ආදරෙයි මම රත්තරන්

ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
හදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන්
ඉතින් දවසක යද්දි සදහට ඈත්වී නෙතුයුග පියන්
ළඟින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්


දුමීගේ බ්ලොග් එකේ මැදින් මහ මැද සැනසුමයි මට සිනාසෙනු මගෙ රත්තරන් කවියට පිලිතුරක් ලෙස ලියූවකි.හැබැයි මේක චුට්ටක් ඒකට වඩා වෙනස් දුමීගේ  එකට ලියපු ගමන්ම දැම්මා.. මේක  හරි වැරදි හදලා හිමිහිට දැම්මා.

Mar 6, 2018

ඔබ උන්නානම් !



තාත්තේ ,

ඔබෙන් උරුම ලද
දායාද
රනින් රිදියෙන්
පිදුම් ලැබූ වග
ඔබට කියන්නට
ඔබ  උන්නානම්...

මං අඩුවෙන්ම ලියන්නේ
ඔබ ගැන බව
ඔබ දන්නවානම්
ඒත් වැඩියෙන්ම හිතන්නේ
ඔබ ගැන බවද
ඔබ දන්නවානම්...

අවුරුදුම
දහ අටකට පසුත්
මේ වැටෙන කඳුළු
ඔබේ චිතකය දැවූ
දා තරම්ම
ගිනියම් බව
ඔබට දැනෙනවානම්...

ඉතින්
ඔබ කොහේ සිට හෝ
මා දිහා බලා සිටීවි
ආඩම්බර වේවී
ඔබේ පොඩි දූ ගැන
රස කවියකුත් ලියාවී...

ඔන්න 

එතකොටනම්
හැමෝම කියාවි
මං තාත්තගෙම
දෝණි වග...

ඇත්තමයි
මෙච්චර ලොකු වෙලත්
මට පාලුයි තාත්තේ
ඔයා නැතුව...


Mar 4, 2018

දැවී ගිය සඳ !



ප්‍රේමයේ අකුණු සර
සුන්නත්දූලි කල පසුද හදවත
ඔය තරම් දුර සිට
හිනැහෙන්න එපා හිතවත
.
අහිමි කල පසුව
මුව මදහස
කඳුළු වලටමයි
නෙත අවසර
.
කැන්දගෙන ගිහින්
මහ ගිරිදඹ
අත හැරිය විටදි
අත අතරමඟ
.
ගිරිකුලේ හිස ගසා
මියෑදුන සඳ දැක
ඉතින් දැන් ඔබට
සතුටුයිද කිව මැන !

Mar 1, 2018

වහින්නට හැකි නම් ගිගුම් දී !





දිගු නියං කල ගෙවා අහවර
වැටෙන මහ වැහි අනෝරාවට
හාදු දෙනවා ඉස්සි ඉස්සී
ඇහැරිච්ච සුදු ඉද්ද අහුරක්

මැලවෙච්ච ලා රෝස පෙති මත
තවරලා වැහි පොදක  සිසිළස
සුළඟ අවුදින් පැද්දි  පැද්දී
ඉඹිනවා මුඳු රෝස පෙත්තක්

නියං සායෙන් හඬන වෙරළක
මළානික බිම්තඹුරු කුසුමක්
රැඟුම් රඟනව නැළවි නැළවී
දැනී ළවනට හාදු වැස්සක්