සඳට බැළුම් හෙලූ අය

Apr 6, 2018

මට නුඹ විතරක් උනාට ! ( ආදරයක් සහ ආදරයක් ගැන තවත් කතාවක් )




( මේ කතාව කියවන්න කලින්  රස්තියාදුකාරයගේ ආදරයක් සහ ආදරයක් කතාව කියවලා ආවනම් තමයි හොද.මේක කියවලා ඒක කියෙව්වත් අවුලක්ම නෑ ඉතින්. කොහොම හරි  ඉතින් මේ කතාව ලියවුනේ ඒ කතාව කියෙව්වට පස්සෙයි. ඒ නිසා  රස්තියාදු කාරයට පින් සිංහල ටයිප් කරන්න  බොහොම කම්මැලි නිසාම  කවි  විතරක්  ද දා ඉන්න මාව මෙහෙම ලියන්න තරම්  ප්‍රබල කතාවක් ලිව්වට.සෙල්ලම්ද ඉතින් උදේ මේක කියවලා රෑ වෙනකොට උත්තර විදියට කෙටි කතාවක්ම ලිව්ව එක.  හා නැද්ද මම අහන්නේ.? )




පපුව ගැස්සි ගැස්සි ආපු මහ ඉකියකින් ඇස් දෙකම බොඳවෙලා යද්දි තමන්ගෙ ශරීරය තව දුරටත් තමන්ගෙ පාලනයෙ නෑ කියල නුරංගිට තේරුනා. කකුල් වාරු නැතුව මහ පාරෙ ඇදගෙන වැටෙන්න ගිය නුරංගිව සචිනි හරි අමාරුවෙන් වත්තන් කරගෙන ත්‍රීවීල් එකකට ගොඩ වුනා.බෝඩිමට ඇවිත් ඇදට වැටෙනකන්ම නුරංගි හිටියෙ සිහියත් අසිහියත් අතර.ආයෙ ආයෙම අලුත්වෙන කඳුළු අතරින් නුරංගිට මැවි මැවි පෙනුනෙ මිලින්දවයි එයාගේ අතේ එල්ලිලා හෝටලේ ඇතුලට ගිය කෙල්ලවයි.

නෑ.... එක බොරූ...... එයා මගේ ... එයා මගේ.....

මහා හයියෙන් කෑ ගහන ගමන් නුරංගි එක පාරටම ඇද විට්ටමේ ඔලුව ගහගෙන ගහගෙන ගියා.සචිනිට හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.සචිනි පැනල නුරංගිව නවත්තන්න උත්සහ කලත් නුරංගි හිටියෙ මාරාවේශ වෙලා.

අනේ සචී.... ඒ මගේ මිලින්ද නෙවෙයි නේද.... මට කියපං ඒ හිටියෙ  එයා නෙවෙයි නේද...

අතට අහුවෙන අහුවෙන දෙවල් පොලේ ගහල හෙම්බත් උනාට පස්සෙ නුරංගි එහෙම ඇහුවෙ සචිනිගෙ උරහිස් වලින් අල්ලගෙන හයියෙන් හොලව හොලව.

නුරා... ප්ලීස් සන්සුන් වෙයං කෙල්ලේ... උඹ මෙහෙම පිස්සු නැටුවා කියල කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑනේ... අපි උඹට ඕක ගැන කලින්ම කිව්වා... ඒත්  උඹට ඕන  උනේ උඹේ ඇස් වලින්ම දකින්නනේ... ඉතින් දැන් හරිනේ...

මම මගේ ඇස් වලටත් වැඩිය මිලින්දව විශ්වාස කරනව සචී...

නුරංගි එහෙම කිව්වම සචිනිට නුරංගි ගැන ඇත්තටම දුක හිතුනා. ආදරේ අන්ධයි කියල කියන්නෙ මෙහෙම වෙලාවට වෙන්න ඇති කියල ඇයට හිතුන.ඒත් සචිනි දුක යටපත් කරගෙන  නුරංගිට ඇත්ත තේරුම් කරන්න උත්සහ කලා.

 උඹට නම් පිස්සු නුරා.... මුලු ටවුන් එකේම බඩුවක් කියල කාඩි වැදිච්ච එකියක් එක්ක අතින් අල්ලගෙන  හෝටලේකට රිංගපු එකාව උඹට තාම විශ්වාසයි...?

එයා එහෙම කෙනෙක් නෙවෙයි දෙයියනේ... මම එයාව දන්නේ පොඩි කාලේ ඉදන්...එයා මාව එයාගෙනුත් පරිස්සම් කලා..

 ඇත්තමයි එහෙම මතක් වෙද්දි නුරංගිගෙ පපුව ආයෙමත් අලුතින්ම ගිනි ගත්ත.අවුරුදු ගානක් ආශ්‍රය කරලත් මිලින්ද කිසිම වෙලාවක තමන්ගෙන් අයුතු ප්‍රයෝජණ ගන්න උත්සහ කලේ නෑ.සියුම් ආලිංගනයක්.. සිපගැනීමක් .. ස්පර්ශයකින් එහාට යන්න ඔහු කොයිම වෙලාවකවත් ඉස්සර උනේ නෑ.සීමා මායිම් උල්ලංගනය කරන්න  නුරංගිගේ ගෑනු හිතට පවා ඉවසුම් නැති වෙන  අවස්ථාවලත් හැමදේම කන්ට්‍රෝල් කලේ මිලින්ද.

 ඒ කියන්නේ දැන් උඹ හිතන්නෙ ඌ අර බඩුවගෙ අතින් ඇදගෙන හෝටලේට රිංගුවෙ අල තම්බන්න කියලද...

සචිනි එහෙම ඇහුවෙනම් අසූහාර දහටම කේන්ති ගියාට පස්සෙ.

හා... ඒකත් මරු වැඩේ තමන්ගෙ එකීව කවද හරි පැකින් පිටින් ගෙනියන්න තියල අනුන්ගෙ එකියක් තමන්ගෙ ඕනෑ එපා කම් වලට පාවිච්චි කරන එක..

අනේ සචී .. එයාට බනින්න එපා....

නුරංගි ... උඹ පව්... ඇත්තටම උඹ පව්... මෙච්චර දෙයක්, ඇත්තක් ඇස් පනාපිට  ඔප්පු වෙලා තියෙද්දිත් උඹ මිලින්දව නිවැරදි කරන්න හදනවා. .. ඒ උඹේ ආදරේ තරම...සමහර විට හෙට වෙනකොට උඹ මේ සේරම අමතක කරල ඌත් එක්ක ආයෙත් ආදරෙන් ඉඳීවි.ඒක උඹේ කැමත්ත..ඒත් හිතල බලපං කවද හරි උඹල කසාඳ බැන්දත් උඹට වෙන්නෙ ඔය ටිකම තමා. උඹව ලස්සනට ගෙදර තියලා ඌ පිට යනවමයි...

සචිනි ගියේ ඔය වගේ තව ගොඩක් දේවල් කියල එක පැත්තකින් නුරංගිගෙ හිත හදන ගමන්ම තවත් පැත්තකින් හිතන්න නුරංගිගෙ හිතට මහා බර දෙවල් එකතු කරල.සචිනි කියපු දේවල් ආයෙ ආයෙ මතක් කලාම මිලින්ද ගැන විතරක් නෙවෙයි මුලු පිරිමි සංහතිය ගැනම මහා අපුලක් වෙලාවකට නුරංගිගෙ හිත වෙලා ගත්ත.අවුරුදු ගානක් තමන් පන වගේ ආදරේ කරපු මනුස්සය...ඒ සමානම ආදරයක් තමන්ට පෙන්නපු මනුස්සය...තමන්ගෙ හැම ඕන එපා කමක්ම තාත්තෙක් වගේ  ඉටු කරල දීපු මනුස්සය වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉදල ඇවිත් තමන්ටත් තුරුල් වෙනව කියන තිත්ත ඇත්ත නුරංගිගෙ මුලු ආත්මෙම අඩපණ කලා පැය ගානක් ඇඬුවට දෙඩුවට පස්සෙ ඇස් වලට උණපු කඳුළු ඇස් අස්සෙම වේලෙනකොට, මිලින්ද වෙනුවෙන් හෙලපු සුසුම් පපුව අස්සෙම හිර වෙලා හදවත රිදුම් දෙනකොට තට්ට තනියම බෝඩිං කමරේ තනිවුන නුරංගිගෙ හිතේ මිලින්ද ගැන තිබුන ආදරේ අනුකම්පාව විශ්වාසය ගැන හැඟීම් හිමි හිමිහිට හේදිල ගිහිල්ල  ඒ වෙනුවට තරහක් පිලිකුළක් නොරිස්සුමක් පලිගැනීමක් වෛරයක සේයාවක් හිතේ කොනක ලැගුම් ගත්ත.මිලින්ද වෙනුවෙන් ඇස් වලට උණපු අන්තිම කඳුළත් පිහිදල නුරංගි වැටිල හිටපු තැනින් නැගිට්ටෙ හෙටින් පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තමන්ගෙ ජීවිතය ගැන අංශුමාත්‍රයක හැඟීමක් නැති ගානට.

                                         *     *     *     *     *     *     *    *

 සසංක කියන්නෙ පන්තියෙ හිටපු ජේත්තුකාරය ඒ වගේම සෙල්ලක්කාර සල්ලිකාරයෙක්.එයා කෙල්ලන්ව පාවිච්චි කලෙත් හරියට සෙල්ලම් බඩු වගේ.ඒ ඇස් බැල්මට අහුවෙච්ච කෙල්ලෙක් ගැලවුනේ එහෙමත් වෙලාවක.ඒ ඇස් වල නුරා බැලුම් නුරංගි දිහාට එල්ල වුනේ අදක ඊයක ඉදලත් නෙවෙයි.ඒත් නුරංගි මෙච්චර කාලෙකට සසංකව තඹේකට මායිම් කලේ නෑ.සසංකගෙ සෙට් එක නුරංගි ගැන කතා කලේ ලේසියෙන් වට්ටන්න බැරි පට්ට කෙල්ලෙක් විදියට.මිලින්දට රිද්දන්න සසංක තරම් හොද කෙනෙක් තවත් නැති බව පහුවදා පන්තියෙදි සසංකව දකින පලවෙනි තප්පරේදිම නුරංගිට හිතුන.නුරංගි ඕන කමින්ම ඒ දිළිසෙන ඇස් වල  සැරින් සැරේ පටලැවුන.ඇත්තටම ඒ ඇස් ළඟදි වෙලාවකට තමන්ව අයිස් කැටයක්  වගේ දියවෙලා යනව ඇයට දැනුන. තවත් වෙලාවකට ඒ ගිනි ගන්න බැල්මට තමන්ව දාලා පිච්චිලා අලු වෙලා යනව වගේ ඇයට දැනුන.සසංකගෙ අලුත්ම පෙම්වතිය වෙන්න නුරංගිට මහ කාලයක් කැපකරන්න උනේ නෑ.මුලින් මුලින් ඔහුගෙ  දෑත්  වලට හිර වෙනකොට මූණට  ඒ හුස්ම වැටෙන තරමට ළං වෙනකොට මිලින්දව මතක් වෙලා  නුරංගිගෙ පපුව හිර වුණා.ඒත් ඒ රිදුමට වැඩිය  ඇය සතුටු උනේ මිලින්දට එකට එක කලා කියන හැඟීමෙන්.

                    මිලින්දත්  පුරුදු විදියටම ආශා එක්ක එහෙ මෙහෙ ගිහින් සතුටු උනා.නුරංගි ළඟට ඇවිත් ලෝකෙ ඉන්න හොදම පෙම්වතා ආදරවන්තය  තමන් කියල හිතෙන විදියට හැසිරුනා. මිලින්ද ආශා ගැන යාන්තමින්වත්
නුරංගි ඉව නොවැටෙන විදියට ඉන්න හැම තිස්සෙම පරිස්සම් උනා.ඒත් නුරංගි එහෙම නෙවෙයි එයා ටික ටික මිලින්දට දැනෙන්න ඇරිය. උඹව මට වැඩක් නෑ කියන එක නොකියා කිව්ව.කොයි වෙලාවෙ හරි පුපුරන්න නියමිත ගිනි කන්දක රස්නය යට ඉදන් මිලින්දව ලෝදිය ගොඩකට තල්ලු කරන හැටි ගැන හිත හිත කුරිරු සතුටක් ලැබුව.

                                              *     *     *     *     *     *     *    *


නාන කාමරේ විසල් කණ්නාඩියෙන් පේන තමන්ගෙ උඩු කය දිහා නුරංගි බලන් හිටියෙ බොඳ වෙච්ච ඇස් වලින්.ගත පුරා උඩු දුවන නුහුරු කෙඩෙත්තු ගතියටත් වැඩිය ඈට දැනුනෙ ඇගේ ආත්මය කඩං වැටිච්ච වේදනාව.තව දුරටත් තමන් යුවතියක් නොවන බව සිහියට ආවම එදා මිලින්දව ආශත් එක්ක හෝටලේ ළඟ දකිද්දි වගේම කකුල් පන නැතුව ගියා. ඇස් වලින් වැහි ඇල්ලක් වගේ කඳුළු කඩන් වැටුන.ඒ කඳුළු නුරංගිගෙ නිරුවත් ළය මඬළෙ රිදෙනම තැන් සිපගෙන පහලට ගලන් ගියා.දුක හිතේ හැටියට ගලන් ගියාට පස්සෙ ඇගේ මුවට නැගුනෙ කුරිරු හිනාවක්. නුරංගි ඒ හිනා උනේ නුරංගිටමද , මිලින්දටද  එහෙමත් නැත්තන් ආශාටද  , සසංකටද කියල නුරංගිවත් දැනගෙන හිටියෙ නෑ.


                                            - නිමි -

22 comments:

  1. අන්තිම ඡේදය මරු ය... කියන්න ඕනෙ සියල්ල එතැන ඇත...

    නුරංගිට තිබුනේ තමන් ද රිදවාගෙන අනුන් ද රිදවන්නට නොව, තමන් නොරිද්දාගෙන අරූව රිද්දන එකය... තමන්ද නොරිදවාගෙන අනුන්ද නොරිදවන අය හොඳ නමුත් උං හෙන බෝරිං ය...

    මුල් කථාව ගැන කිව්වොත්, රස්තියාදුකාරයා අපේ රෙදි ගලවා දමා ඇත...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මන් ඒකෙ රෙදි ගැලවුවෙ මිලියා සහ මදුවා කියන දෙන්නගෙ. වැරදි තැනකින්නෙ ෆෙන්ස් ඔයාලා කතාව අල්ලගන්නෙ

      Delete
    2. අනුන්ව රිදවන්න යෑමේදී වැඩිපුරම රිදෙන්නේ තමාටය. මටනම් හිතෙන්නේ සහ දැනෙන්නේ එහෙමය.පිරිමින්ගේ රෙදි පිරිමියෙක් විසින්ම ගැලවීම එකාතකට හොදය.ඒ මොකද ඔවුන්ගේ සිත් ගැන හොදාකරවම දන්නේ ඔවුන්මය.

      Delete
    3. නෑ රස්ති එයා හරි තැනින් අල්ලගෙන කතාව.කතාවේ කොල්ලෝ දෙන්න නුරංගිවයි ආශාවයි පට්ට ගැහුවට පේන්නේ ඒ දෙන්නගේ නිරුවතයි මුලු කතාවෙම.

      Delete
  2. මන් මගේ කෙටි කතාවෙදි තුන් හිතකවත් තියා නොගත්ත තැනකින් අපුරූ කෙටි කතාවක් ලිව්වට බොහොමත්ම ස්තූතියි. මන් ඒ කතාවෙදි නුරංගිව පාවිච්චි කරේ සංකේතයක් විදියට විතරයි. මට වැඩියෙන්ම ඕනෙ උනේ කෙටි කතාව කියවන අය ආශාට ආදරේ කරලා මිලින්දට සාප කරනවා දකින්න. ඉන් පස්සෙ මදුවට බනිනවා දකින්න. මොකද හැම තැනකින්ම ලොකුවටම හදා ගත්ත හීන නැතිවෙන්නෙ ඒ "ආශා ගොන" කියලා හදුන්වන ගෑනු ළමයගේ. ගෑණු පිරිමි භේ‍දයක් නැතිව චරිත කුඩු පට්ටම් කරන්නෙත් ඒ ගාමන්ට් එකට ගිහින් රෙද්දක් මහලා දුක් මහන්සියෙන් කරට රත්තරන් මාලයක් දාගන්න ආශා වගේ කෙල්ලොන්ගෙ.

    ඒත් ඔබ අපූරුයි මන් නුරංගිව ලිව්වෙ කෙටි කතාවේ සංකේතයක් විදියට වුණත් ඔබ ඇයටත් කතාවක් දීලා. මන් කිසිම ලෙසකින් බලාපොරොත්තු නොවූ කතාවක් දීලා. ආදරය..ද්වේශය..අනෙකා රිදවීමෙන් ලැබෙන සියුම් අත්මාර්ථකාමී සතුට...ගැහැණු හිතක් ගැහැණියකට තරම් ලස්සනට කියවන්න පූළුවන් වෙන කාටද? හරිම අපූරු කතාවක්. මන් බලාපොරොත්තු නොවූ තැනකින් ලිව්ව නිසාමයි කතාව ඒ තරම් ලස්සන.
    සොදුරු සදවතීට මම ආදා පටන් ආදරේ කරන හේතුවක් තියෙනවා. මීට ඉස්සෙල්ලත් ඒ ගැන කියලා ඇති. බ්ලොග් වල දිගු ඉතිහාසයක් ඇති දක්ශ (ජාතික සාහිත්‍ය සම්මාන පවා ගත්තු) ඔබගේ ඒ මාන්නයක් නැති හිතවත් කමට අපි ගොඩක් ආදරෙයි.ස්තූතියි......

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවේ අන්තිම ටික කියවලා ඉවර වෙනකොට මම මම ලියන කතාවෙන් බාගයක්ම හිතේ ලියාගෙන ඉවරයි.ඔයාගේ කතාවේ නුරංගි සංකේතයක් විතරක් උනාට එයා තමා මේ කතාවේ කතා නායිකාව ඒයා නිසානේ මේ කතාව ලියවෙන්නේ.ඔයාගේ කතාව කියවනකොට ලියපු ඔයා ගැනයි කතාවේ ඉන්න මලියා මදුවා ගැනයි පුදුම කේන්තියක් හිතට දැනුනා.ඒ කියන්නේ ඔයාගේ කතාව සාර්ථකයි ඒ සාර්ථක කම නිසා තමා මගේ අතින් මෙහෙම කතාවක් ලියවෙන්නෙත්.

      කොහොම උනත් මම පෞද්ගලිකවම බොහොම අකමැති දෙයක් තමයි ස්ත්‍රී ප්‍රාර්ශවයට කෑල්ල , බඩුව , අයිටම් එක අරක මේක කියලා හදුන්වන එක.මම එහෙම වචන මේ කතාවට දැම්මේ නොදාම බැරි තැනදී විතරයි.හැබැයි මගේ හිතේ ලිය උන කතාවේ සමහර තැන් බොහොම දරුණුයි මේ ලිව්ව ඒවට වඩා.ඒව එහෙමම ලිව්වනම් කතාව මීටත් වැඩිය සාර්ථකයි කියල මම විශ්වාස කරනව.ඒත් ඒ වචන භාවිතයට තියෙන අකමැත්ත නිසාම ඒවා එඩිට් කලා.

      හම්මේ ඉතින් මම ගැන ඇගයීමටනම් බොහොම ස්තූතියි.ඔය එක එක සම්මාන මතක් කොරලා මාව මුරුන්ගා අත්තේ තියෙන්න එපා අප්පා. කඩා වැටෙයි හී හී.

      Delete
  3. අඩේ මරු කාලෙකින් ලියල කවි එපා බොල මෙහෙම ලියාන්කෝ.....

    ReplyDelete
    Replies

    1. කම්මැලි කම කම්මැලි කම වෙන මොකක්ද ඉතින්..

      Delete
  4. ඔව්. රෝමාටත් පින් වෙන්න සඳූ ආයිත් කතාවක් ලියලා. අපූරුයි සඳූ. මෙහෙම හැකියා තියෙද්දි කවිම ලියන්නෙ නැතුව කතාත් ලියන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ඔව් ඉතින් මමත් ආසයි කෙටිකතා නවකතා ලියන ඒත් මේ සිංහල ටයිප් කිරීමේ නොහැකියාව නිසා කවි විතරක් ලියල ශේප් වෙනවා ගොඩක් වෙලාවට

      Delete
  5. මේ විදියේ ඇත්ත කථාවක් ගැන මම දන්නවා . ඔයා මේ ලියල තියෙන කථාව ඒ කතාවට හොදටම සමානයි .

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒ කියන්නේ මෙහෙම දෙවල් සැබෑ ජීවිතේ සිද්ධ වෙනවා කියන්න ඒක හොද සාක්ශියක්.

      Delete
    2. මම හිතුවේ ඔයා ඇත්ත කතාවක් ගැන දැනගෙන ලිව්වා ලියල .

      Delete
    3. නෑනේ .. මම ලිව්වෙ රස්තිගෙ කතාවට ගැලපෙන විදියට ඒකට පිලිතුරක් විදියට. එහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑ

      Delete
  6. රෝමගෙ එකත් කියෙව්වා... මේකත් කියෙව්වා... දෙකම මරු...

    ReplyDelete
  7. කතා දෙකම එක හුස්මට කියෙව්වා . මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතී රස වින්දාට

      Delete
  8. අද සමාජය තුළ මෙවැනි සිදුවීම පුදුමයක් නොවෙයි ...සඳවතියි රෝමායි කියන්න උත්සාහ කර දෙය සාර්ථකයි.ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි උමා මෙහෙ ආවට... අගය කලාට

      Delete
  9. රැ අහසේ තරු ගැබ තුල මා ඉරබටු තරුවක් දුටුවා...එය දිලිසෙන විට මා ආසාවෙන් බලාගෙන සිටිය... සොදුරැ සඳවතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා..... මේක මේ කතාවට දාපු කමෙන්ට් එකක් නෙවෙයිදෝත් මන්දා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...