සඳට බැළුම් හෙලූ අය

Nov 7, 2018

නන්දෙ මං දැන් මක් කරන්නද !






කට්ට කරුවල හෙමින් වෙට්ටු දම දම ඇවිත්
පිලිකන්නෙ පියස්සට පැන්නා
රැහැයියෙක් මහ දුකින් හඩ තලාගෙන වැරෙන්
පාලු දෙනිපෙත සසල කෙරුවා
මේ මහා වරුසාවේ  මම කොළඹ කොටුවෙලා
එන්න තව රෑ වේවි ! ඔයාගෙන් පණිවිඩය ලැබුනා
වත්ත මැද කොස් ගහේ උලමාගේ වැලපිල්ල
නන්දෙ මට වෙනදාට වඩා හිතට දැනුනා

අයාලේ යන ගමේ බලු රැල සීරුවට
කම්බියෙන් වැට පනින හඩ ඇහුනා
මල් විලේ පිපුණු මල් මාරුවෙන් මාරුවට පොඩිවෙනා
සුවඳ දොර කවුලුවෙන් ඇතුලටම හැමුවා
කිරි පිරුණු ලැමට මං පොඩි එකී හිර කරන්
හුස්මවත් නොගෙන දෙවි යැද්දා
අනෙ නන්දෙ උන් අපේ  ගල් ලෙනේ දොර දාර
යකඩ ඉන්නෙන් ඇනල බින්දා

කොටි දෙනක් වගේ මං කඩාගෙන පැන්නාට
නිමේෂෙන් මගේ එඩි සින්දා
නංගි උඹ දැඟලුවොත් වැඩේ දුරදිග යාවි
වක් පිහියෙ මුවාතම පොඩි එකිගෙ ගෙල මුලින්  තිබ්බා
පොල් කඩන සෝමෙ අර හංදියේ සිරිදාස
රබර් වත්තේ ගෙදර පොඩි එකත් උන් එක්ක උන්නා
දන්නවද නන්දෙ උන් පිරුණු කිරි කොතලයට
මිනී කන දත් වලින් ඇන්නා

මාරුවෙන් මාරුවට එක එකා ඇවිත් මගෙ
බඳට උල් යවුලෙන්ම ඇන්නා
ඒත් මං තොටිල්ලේ හඬන පොඩි එකි ළඟම
සිහියෙන්ම ඇස් තියන් උන්නා
කල්පයක් වගේ ගත වෙච්චි පැයකට පස්සෙ
මුරුගසං වරුසාව පායලා තිබ්බා
නන්දෙ මට ආයෙ ඔය ඇස් දිහා හරි කෙලින්
බලන්නට බැරි බවක් දැනුනා

ඇහැලෙපොල කුමාරි වෙන්න මට බෑ නන්දෙ
දරු පෙමට මගේ සළු ලෙහුනා
පත්තිනිත් නෙවෙයි මං ඈට කෝ දරු දුකක්
ඒකී වඳ එකී බව හිතුනා
නීතියේ නිල දරුවො හිතු හිතූ වෙලාවට
මගේ රෙදි ආයෙමත් ගලවාවි හැගුනා
කමක් නෑ නන්දෙ මම දරාගන්නම් ඒවා 
ඔයාගේ සෙනෙහසේ රස්නෙ විතරමයි මට
ආයෙමත් නැගිටින්න ඕනා


25 comments:

  1. ගැහැණු හිත...
    දුර්වලම තැනින් ඇද

    උන් හැමදාම ජයපාන බිව්වා..


    හොඳ කවියක්. වේදනාත්මක සුසුමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා... ගොඩක් දවසකින් මෙහෙට කමෙන්ට් එකක්....

      Delete
  2. කොළඹ අහසත් වෙනදා වගෙ නෙමෙයි
    අකුණු සැර ගෙරවිල්ල මට ම ම යි හැඟුනා
    මමත් මහ වැස්ස යට ගැහැනියක් දැක්කා
    ඒකිගේ පිරුණු තන් හිතෙන් අතගෑවා
    සීරුවට මගෙත් උල කකියන්න ගත්තා
    ඒකිගේ යටිබඩට යටි හිතින් ඇන්නා
    දැන් ඉතිං සඳවතී
    ඉකි බිඳුම් නවතපං
    ඉක්මනින් පැක් කරං
    අපි ගමෙන් යන්න යං

    ReplyDelete
  3. පනස් තුන ඉරක් දාහතයි, පහළොව එළවන
    නන්දසේනගෙ ගැහෙන වමතින්
    වැටුණි දවසේ පළමු ගියරය
    ගොර, ගොර හඬත් දීගෙන
    ඩිපෝවෙන් එළියට ආ බස් එක
    ඇරඹුවා කඳු ශිඛර තරණය

    දකුණු පස කණ්නාඩි පලුවෙන්
    පාර විමසූ වරක් ගානේ
    පෙරෙයිදා තුන් මාසෙ දන දුන්
    බිරිඳ පමණයි ඔහුට පෙනුණේ

    "තාත්තාගේ බස් එක"
    කඩදාසියක ඇඳ, ඇඳ
    ඉදිරිපස කණ්නාඩි පතුලෙන්
    පුංචි පුතුමයි නිතර එබුණේ

    නලා හඬ රැව් දී නැගෙද්දිත්
    වරින් වර බෙල් එක වදිද්දිත්
    ඒ කිසිත් නොව නන්දසේනට
    බිරිඳගේ හඬ පමණි ඇසුණේ

    "ඉස්සරහ වංගුවක කන්දේ
    පස් කඩන් වැටිලාලු නන්දේ
    ළඟට ආවම මං කියන්නම්
    ඔයා එළවන් යන්න නන්දේ

    රෑට මොනවද කෑවෙ නන්දේ
    පුතා මොනවද ඊයෙ ඇන්දේ
    කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
    දූට දැන් පුළුවන්ද නන්දේ

    කඳුළු පිරි කඳු වළලු මැද්දේ
    අර පෙනෙන බෑවුමේ ලන්දේ
    සිනාසෙන්නට තවම පුළුවන්
    එක තැනක් තියෙනවා නන්දේ

    ඇහෙනවද ඒ සිනා සද්දේ............!

    --- රුවන් බන්දුජීව ---

    ReplyDelete
    Replies
    1. නන්දේ කිව්ව ගමන් මට මතක් වෙන්නේ මේ කවි ටික

      Delete
    2. හරියටම හරි... ඉස්සෙල්ලම ඔලුවට ආවෙ මේක

      Delete
    3. මුලින් මම මේකට දාන්න ගියේ රත්නේ කියලා ඒත් මම මීට කලින් ලියපු කවියක ඒ නම තියෙන නිසා ඊට පස්සේ හිතට ආවේ නන්දේ තමා..බන්දුජීවගේ හිරිවැටෙන කවි .... මේවනම් සදාකාලිකයි.

      Delete
  4. රිදුණා මටත් හොදටෝම. 👍👍
    ඔයාගෙ හැකියාව ඉතා ඉහළ බවට, සතුට්න් ප්‍රකාශ කරන්නේනම්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඒ ඇගයීමට

      Delete
  5. හරිම ලස්සණ ගෙත්තමක් .
    හිතට දුක දැනුනා .
    ලිවීමේ විශිෂ්ට බව අගය කරන්න ඕනේ සදු

    ReplyDelete
  6. wow beautiful and sad at the same time

    ReplyDelete
  7. අගනා නිර්මාණයක් . බූන්දි යටත් ලංකාවේ පත්තර වල කවි පිටු තියෙනවනම් ඒවටත් යවන්න . ගම් වල තියෙන අපේ අක්මුල් සිහි ගන් වනවා . උසාවිය නිහඩයි සිනමා නිර්මාණය වගේම බන්දුජීවගේ නගරයට ආ නර්තන ශිල්පිනියගේ කවියත් සිහියට එනවා . ලෙන්ගතු කවියක්. දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ ලෙංගතු ඇගයීමට....

      Delete
  8. මේක නම් සෑහෙන්ට බරයි සඳ... මස්ඉඹුලට වත් දෙවෙනි නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඉතින් එච්චර උඩින් තියන්න එපා අප්පා

      Delete
  9. කාලෙකින් මමත් අවා රස්තියාදු ගහන ගමන් මේ පැත්තේ . හම්මේ එකනම්

    ReplyDelete
  10. එ්ක නම් ගොඩක් හිතට දැනුණා...ලස්සනයි ❤️

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...