සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Aug 30, 2012

මේ වැස්ස දවස් වල මටත් හිතෙන ඒවා... හයියූ.....





හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුලි වෙන්න....

තවත් හයියෙන් ඔහොම
පිණි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවනැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න...

ළඟ ළඟම ඔය හුස්ම
මට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....

Aug 27, 2012

ඒ ඔබය ඔබමය - 2 කොටස

මුල් කොටස බැලුවෙ නැත්තම් කියවලම එන්නකෝ



සි
හියත් අසිහියත් අතර විනාඩි ගණනාවක් පොර බැද මම යාන්තන් ඇස් දෙක ඇර ගතිමි.පිටත මහා වැස්සක් ඇද හැලෙන හඬ මුලින්ම මගේ සවණට ඇසුණි.කණාමැදිරි එළියක්වත් නැති බිත්ති හතරක් ඇතුලේ මා හිර වී ඇති බව මට සැනෙන් පසක් විය.මේ කොහේ කොතනදැයි මා යාංතමටවත් නොදනී.මා දන්නේ ඔවුන් මා පැහැරගත් බව පමණි.කවදා හෝ
Linkසිදුවෙතැයි අපේක්ෂාවෙන් උන් දේ අදම සිදු විය.මේ පුවතින් මුළු නුවරම ගිනි ගෙන ඇතුවා විය හැක.මට උදව් කරන්නට ගොස් සකුණි අක්කා වැටුන අමාරුව සිහිවන වාරයක් වාරයක් පාසා ම' සිත කීරි ගැසේ.වෙඩි වැදුන හස්තියෙකු සේ කිපුණ අප්පච්චීගෙන් ඇයට ගැලවුමක් නොවනු ඇත.

මගේ මුලු ශරීරයම තලා පෙලා දැම්මාක් මෙන් රිදුම් දේ.දෑත් දෙපා සීරි ලේ ගලනවා මෙන් මට දැනේ.බේරී පලා යන්නට පුංචි හෝ ඉඩක් නැති බව දැන දැනත් මා ඔවුන් හා අන්තිම තත්පරය වෙන තුරුත් පොර බැදුවාය.එහෙත් මා පැරදුණි, අවසානයේ ඔවුන් මා රැගෙන විත් මේ කාමරයට තල්ලු කර දොර වසා යන්නට ඇත.මේ පල දෙන්නට යන්නේ පෙර සසරේ කල කුමන පවක්දැයි මා දන්නේ නැත.මා දන්නේ එකම දෙයකි. ඒ ඊළඟ තත්පරයේ හෝ විනාඩියේදී වුව මේ ජීවිතය අවසන් වන්නට පුලුවන් වන බව පමණි.තව විඳවන්නට ඉඩ නොතියා එය මේ මොහොතේම අවසන් වෙනවානම් ඇත්තටම එය සැපකි.ලෙයට ලෙයින් පලිගන්නට ඉන්නා ඔවුන්ට එය සැනසුමක් වනු ඇත.විශ්ව ගිය මඟම යන්නට බලා සිටින මටද එය නිවනකි.එ'සැනින් මට යමක් සිහිපත් විය. මම කරුවලේම මගේ කුස දෙසට නෙත් හෙලුවෙමි. දයාබර විශ්වා.. අපේ ආදරයේ උත්තරීතරම සංඛේතය මේ කුස තුල පණ ගහන බව මා දැනගත්තේ අද උදෑසනය.ජීවිතය අ' තැර යන්නට මාන බලමින් උන් මා ඒ මහා බලාපොරොත්තුවත් සමඟ ජීවත් වන්නට හිත හයිය කර ගත්තා පමණි.එය ඔබට කියා ඔබෙන් ආශීර්වාද ගෙන මම සැනසෙන්නට හැදුවා විතරයි ඒ මොහොතේම මා මේ නොමිනිසුන්ට කොටු විය.ඉතින් මට ගැලවුමක් නැති බව මා දනිමි.ඔබේ ලෙයින් මා කුස හොත් මේ ලේ කැටියාට ජීවය දෙන්නට අපමණ පැතුම් මා සිත වේ.ඒ නූපදින මල් කැකුළ සිහිව මට ඉකිබිඳුණි.


අනේ මගේ රත්තරං පුතේ... මට සමාවෙයන්.... උඹ වෙනුවෙන් සටන් කරන්න බැරි තරමටම මගෙ අත්තටු කඩා දාලා.....

දරු දුකට පපු කුහරයම රිදුම් දෙද්දී මා නොනවත්වාම ඉකිබිඳීමි.

දයාබර විශ්වා..... මේ උත්තරීතරයැයි කියනා ප්‍රේමය විසින් අපට දුන් දඬුවම් නොවේද.....? මම දිසාසේකර මුදලිගේ දැහැමි විහාරා දිසාසේකර වී, ඔබ සුබ්‍රමනියම් විශ්වනාදන් නම් වූ පවට අප මෙසේ ප්‍රේමයෙන් නොනැවතී ජීවිතයෙන් පවා වන්දි ගෙවිය යුතු බවට තීරණය කලේ කවුරුන් විසින්ද...?ඒ තරමටම අප කල වරද ජාති ආගම් කුළ මල පසෙක දා ප්‍රේම කිරීමම නොවේද...?

පොලෝ තලයම රක්ත වර්ණ රුධිරයෙන් නහවා ඔබ මගේ උකුළ මතදීම අවසන් ගමන් ගියේය.මං ඕකව මරනවා...යි පහන් පැලේ අත ගසා දිවුරා පොරොන්දු වූ මගේ අප්පච්ගේ නාඳුනන තුවක්කුකරුවා අතින් ඔහු මියගියායැයි මා තරමටම විශ්වගේ සනුහරේ අයත් විශ්වාස කලේය. විශ්වගේ ආත්මයට සැනසීම දෙන්නට ඔවුන් මාද මරා දමන බවට සපථ විය.ඉතින් මාද බිලි දෙන්නට දැන් සියල්ල සූදානම්ය.ජාතියට ජන්මයට තවමත් මිනි මරාගන්නා නොමිනිසුන්ට මා මිය ගිය පසුවවත් ලේ වල ජාතියක් ජන්මයක් ලියා නැති බව පසක් වුවහොත් විශ්වටත් මටත් සැනසිල්ලේ නිදන්නට හැකිය.

මේ මහා අවනඩුව ඔබ කොහේ සිට හෝ බලා ඉන්නා බව පමනක් මම දනිමි.එහෙත් ඔබටද මා මේ උගුලෙන් ගලවා ගන්නට නොහැකි බව මට දැනේ.දයාබර විශ්වා..... ඔබේ අපරිමිත සෙනෙහස සිහිව ළය පැලෙන තරම් වේදනාවක් මට දැනේ.මේ ගෙවෙන මගේ ජීවිතයේ අවසන් විනාඩියේද ඒ සොඳුරු මතකය හා ජීවත් වන්නට හිත හඬ ගා කියයි.ඉතිං මා නෙතු පියා ඒ මතකයට තුරුලු වෙමි.

_________________ /// _________________








Excuse Me..........


දෙනොදාහක් සැරිසරන දළදා මාළිඟා භූමියේ ඒ කතාකලේ මටමදැයි හරියටම හිතා ගන්නට බැරි නිසාම මම හැරී නොබලාම පය ඉක්මන් කලෙමි.

සමාවෙන්න...මම ඔයාටයි කතා කලේ...

කණ ගාවින්ම ඒ හඬ ඇහෙද්දිනම් මට ආයේ හැරිල නොබල ඉන්න බැරි උනා.

දෙනවද මටත් ඔය මල් වට්ටියෙන් මලක්....?

ආගන්තුක ඒ හඬින් මගේ හිත එක තත්පරේකට සසළ වෙලා ගියා.ඒත් හැමදාම දළදාව වදින්න එන මට මේක බොහොම හුරු පුරුදු ඉල්ලීමක්.සමහර ද්වසට ගේන මල් වට්ටියෙන් හරි අඩකටත් වඩා ඉල්ලන ඉල්ලන අයට දීල තියෙනව.ඒ නිසාම මම දෙවරක් නොහිතම සුදු නෙළුම් පුරවපු මල් වට්ටිය ඒ ආගන්තුකය දිහාට දික් කලා.

පිං සිද්ධ වේවා......

බොහෝම පරිස්සමට එකම එක නෙලුමක් විතරක් අතට අරන් ඔහු එහෙම කිව්ව.මගේ ඇස් ලොකු උනා... දළදාව පේන මානේ ජීවත් වෙලත් මං ඔය මේ වයසෙ තරුණයකෙගේ කටින් ඔය වචනෙ ඇහුවාමයි.ඇත්තටම මට පුදුම හිතුන.

තව ගන්න....

මේ තරම් නිහතමානි පුද්ගලයෙක් ළඟ කතා නොකර හිටීම නොහොබිනා කමකැයි සිතුණ නිසාම මම හඬ අවදි කලා.

කමක් නෑ ... මේ හොදටම ඇති...එක මලක් පූජ කලත් මල් සීයක් පූජ කලත් ලැබෙන්නෙ එකම ආනිසංසෙලුනෙ නේද....?

ඔහු ඒක කියපු තාලෙට මට හිනා ආව.එහෙම හිනා උනාට මොකද දැහැමි මෙසේ ආවාට ගියාට පිරිමින් හා හිනැහෙන්නේ නැත.කතාවට යන්නේද නැත.ඒ උප්ප්ත්තියෙන් ගෙනා වලව් පෙලපතේ ආඩම්බරකමටම නොව දැහැමිට මේවා පුරුදු නැත.පවුලේ ඥාති පිරිමි ලමයෙකු සමඟවත් මෙසේ හරි හරියට ළඟට වී ඇයි හොදයි කම් පෑම දැහැමිට අකැපය.මේ ටික හෝ අප්පච්චි දුටුවානම් දැහැමිට විසුමක් වෙන්නේ නැත.අප්පච්චී සිහිව අත පය පවා සීතළ විය.ඉක්මනට මෙතනින් නොගියොත් අප්පච්චී නැතත් මා හඳුනන කවුරුන් හෝ දුටුවොත් මෙය අප්පච්චිගේ කණට යනවා නොඅනුමානය.දිසාසේකර වලව්වේ පුංචි කුමාරිහාමි නාඳුනන තරුණයෙකු හා මාළිඟා භූමියේ තනිව දොඩමින් සිටියායැයි මුළු නුවරම පැතිරෙන්නට පුලුවන. මේ සේරම සිහිවද්දී හිත නොසංසුන් විය.මම සරණක් සොයන්නට මෙන් වට පිට බැලුවෙමි.

කාවද ඉස්සි ඉස්සි හොයන්නේ....?

මා වට පිට බලනවා දුටු ඔහු ආයෙම කතාවට වැටුණි.


මල්ලිව... අපිට හඳුන්කූරු අමතක උනා.... එයා මල් කඩේට ගියා ඒවා අරන් එන්න...

එහෙමද.... මම ඒත් කල්පනා කලා මෙච්චර සුන්දර ගෑණු ළමයෙක් තනිපංගලමේ එව්ව මෝඩයා කවුද කියල.... බලාගෙන යනකොට බොඩිගාඩ් කෙනෙක් එක්කනෙ ඇවිත් තියෙන්නෙ...

ඔහුගේ කතාවට මට ලැජ්ජා සිතුණි.මුහුණට ලේ පිරෙනවා මෙන් මට දැනුණි.


අපි ඉන්නේ මේ ළඟ

මම බොහෝ හිමිහිට කීවෙමි.

ආ...හා.... ඒ කියන්නෙ මම මේ කතා කරන්නෙ උඩරට මැණිකෙ කෙනෙක් එක්කද... අම්මෝ මට බයත් හිතෙනව...

දෙවුර අකුලල බොරුවට බය පාටක් මූණට අරන් එයා ඒක කියපු තාලෙට දැහැමිට ගොඩාක් දවසකට පස්සෙ ලොකු හිනාවක් මූණට ආව.මල් වට්ටියත් දෝතින්ම අල්ලන් ටිකක් සද්දෙට මම හිනැහෙන දිහා එයා ඇස් පුංචි කරන් බලන් උන්නෙ මහ අමුතුවට.ඒ ඇස් මොන මොනවදෝ කියන්න හදනව වගෙයි මට තේරුනේ.මේ තරම් අපූරුවට පිරිමි ඇසක් කියවන්නට දැහැමි ඉගෙනගත්තේ මේ දැන් මේ ඇස් කියවලා වෙන්නට ඇත.යන්නම් කියා ඔහු යන පාටකුත් නැත. යන්නම් කියා මට යන්නටද සිතක් නැතුවාක් මෙනි.පිටස්තර පිරිමියෙකු අසල මේ තරම් වේලාවක් මා මීට පෙර ජීවිතයේ කිසිදාක රැඳී නැත.පයේ මාපටඟිල්ලෙන් පටන් ගත සියුම් හිරිවැටීමක් ශරීරයේ හැම අහුමුල්ලක් දිගේම උඩුදුවනවාක් මෙන් මට දැනේ.මේ අපහසුතාවයෙන් වහා ගැලවීමේ උවමනාවක් මට තදින් දැනෙන්නට විය.ඒ බැල්මෙන් මා නැවතත් වට පිට බැලුවේ මල්ලි දැන්වත් ඒදෝයි සිතමිනි.මා වට පිට බලද්දී අපට මඳක් නුදුරින් නැවතී මල්ලි අප දෙසම හිනැහෙමින් බලා සිටිනවා මා දුටිමි.මෙච්චර වෙලා ඔහු මා ළඟට නෑවිත් මොනවා කරනවාදැයි සිතමින්ම මම හිසින් මල්ලිට කතා කලෙමි.මල්ලි දබරඟිල්ල සොලවමින් හිස වනමින් මට පෙන්නුවේ හරියට " අද අහු උනා හොරේ " කියන්නාක් මෙන්ය.මම බොරු තරහක් මවා මල්ලිට රැව්වෙමි.ඔහු අප දෙසට ආවේ ඊටත් පසුවය.

මෙයාද ඔයාගේ මල්ලි...? මල්ලී කිව්වට ලොකු අයියෙක්නෙ.... මේ.... මටත් වැඩිය උසයිනේ......

ඔහු ඔහුගේ ඇගිලිවලින් ඉස්සී අතකුත් ඔලුවට ඉහලින් පෙන්නා මල්ලිගේ උසේ තරම පෙන්නුවේ හිනැහෙමිනි.හරියට පොඩි එකෙක් වගේ මට එහෙම හිතුනේ ඇයිද මංදා.

මම හිමරු.... හිමරු යුවනෙක..... එතකොට අයියා......

මල්ලී ඔහුට දකුණත පෑවේ බොහෝ සුහද බවක් අඟවමිනි.ඔහු කවදත් කොහොමත් ඔහොමය. වලව් මාන්නය තඹේකට මායිම් නොකරන මල්ලී තරාතිරම නොබලා ඕනම කෙනෙකු හා ඉක්මනින් සුහද වේ.කවදා හෝ පරම්පරාව ඉදිරියට ගෙනියන්නට සිටින තම එකම පුතු ගැන අප්පච්චී අහස උසට බලාපොරොත්තු තියාගෙන සිටී.එහෙත් යමක් කමක් තේරෙන දා පටන් මල්ලී අප්පච්චීට විරුද්ධව උඩුගං බලා පීනන්නට වෙර දරයි.

යුවනෙක.... උඹ ආපු වෙලේ පටන් රටේ ඉන්න තරමක් රස්තියදුකාරයොයි ආතක් පාතක් නැති ගිඟන්නොයි එක්ක කල්ලි ගැහෙන්න ලෑස්ති වෙන්න එපා... මතක තියාගනිං අපි නම්බුකාර මිනිස්සු... මගෙන් පස්සෙ මේ හැම දේම ඉස්සරහට අරන් යන්න ඉන්නෙ උඹ බව අමතක කරන්න එපා...

පිය පුතු ගැටෙන හැම අවස්ථාවකදීම අන්තිමට අප්පච්චී කියන්නේ තර්ජනාත්මකවය.


මම විශ්ව.... විශ්වනාදන්.... අක්කවයි මල්ලිවයි දෙන්නවම අඳුරගනන් ලැබීම සතුටක්....

එහෙම කියපු ඔහු බොහොම සුහදව මල්ලිගේ සුරත මිරිකා ගත්ත.සැනෙකින් මගේ හිතට මොකක්දෝ උනා.කකුල් පවා පණ නැති වෙනන් යනවාක් වගේ දැනුන.විශ්වනාදන්.... ඒ දමිළ නමකි. එසේනම් මොහු දමිළ තරුණයෙකු විය යුතුය.දැහැමි විහාරා දිසාසේකරගේ හිත දියෙන් ගොඩ දැමූ මාලුවෙකු මෙන් ගැහෙන්නට විය.අහේතුක බියක් ම'හිතට දැනුණි.හිත මේ තරම් විස්සෝප ගන්නට කාරණාව කුමක්දැයි මටම තේරුමක් නැත.ඔහුගේ මුහුණේනම් මා මුලදීම දුටු ප්‍රසන්න හිනාව එහෙමම විය.මල්ලීද එසේමය. එහෙමනම් ඇයි මම විතරක් ?

මම Colombo Medical Collage එකේ F inel Year ....අද අපි මේ යාළුවෝ කට්ටියක් පොඩි Trip එකක් ආවා....කට්ටිය කවුරුත් මාළඟාව වදින්න ආවේ නෑ...මම විතරයි ඇතුලට ආවේ.... එයාලා වැව රවුමේ නැවතුනා....

මාළඟාව ඇතුලට එහෙම හැමොටම එන්නත් බෑ අයියා.... එහෙම ඇතුලට එන්න හිතෙන්නත් පිං කරලා තියෙන්න ඕනෙ....

මල්ලී විශ්වගේ පිටට සියුම් තට්ටුවක් දමා කීවේය.

කෝ මල්ලිගේ නම විතරනේ කිව්වෙ.... මෙච්චර කතාකරපු අක්කා තාම මට නම කිව්වෙ නෑනේ...

බිම බලාගෙනම හිටපු මම ඒ කතාවට ගැස්සුණා.කලින් වගේ ඒ මූණ කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් හිතට දැනුණ.ඒ වෙනස මගේ මූණෙන් පෙනෙයි කියල මම බය උනා.


දැහැමි විහාරා...

දළදාහමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න මට යාන්තමට අකුරු අමුණ ගන්න පුලුවන් උනා.

වි.....හා....රා..... ලස්සන නමක් මම ඇහුවමයි එහෙම නමක්....

මේ වෙනකං කවුරුවත්ම මගේ නම එච්චර ලස්සනට උච්චාරණය කරන්න නැතුව ඇති.ඒ තරමට හැඟුම්බරව එයා මගේ නම කිව්ව.

නම වගේම තමා අයියා... මෙයාගේ වැඩත්.... පන්සල වගේම තමයි.... මටනම් වෙලාවකට මහ ඇණයක්.....

මල්ලී ඉතින් ඔහොමමය. ඕනෑම තැනකදී මා විහිළුවට පටලවා ගනී.


පන්සලක් වගේ සංසුන් ගෑණු ලමයෙක් අද කාලේ දකින්න ලැබෙන එකත් වාසනවාක් මල්ලි...

ඔහෝ..... අයියටත් එහෙම හිතෙනවද.... එහෙනං යමු අපිත් එක්කම විහාර වන්දනාවට...

හිනැහෙමින් විහිළු කරමින් මල්ලි හා හරි හරියට දොඩන මේ අපූරු තරුණයා දෙස මම මොහොතක් බලා සිටියෙමි.උඩ මලුවට නගින පඩිපෙළ ළඟදී මා ඒ රුව ඔහුට හොරෙන් සිත්සේ බලා ගතිමි. ඒ සමඟම හිතේද සටහන් කර ගතිමි.මගේ හිතට මේ වෙන්නේ මොනවාදැයි මා දන්නේ නැත.එය දුකක් උනත් සතුටක් උනත් මේ මොහොතේ මගේ හිත ඒ දෙය ඉල්ලන බව පමණක් මා තේරුම් ගතිමි.

මාළිඟා භූමිය පුරා වෙනදා නැති පින් පාටක් ඇතැයි මට සිතේ.මල් සුවඳ අරගෙන හතර වටින් හමන සුළඟ පවා වෙනදා නොකියන කතාවක් මට කියනවාක් මෙනි.නෙළුම් මල් වට්ටියම පුදසුනේ තබා මම දෙනෙත් පියා ඒ සුවඳ දිගේ යන්නට වීමි.මා මල් පූජා කල තැනම ඔහු අත වූ නෙළුම පුදා විශ්වදොහොත් මුදුන් දී වැඳ වැටුණි.ඔහු කට පාඩමින් බොහෝ අපූරුවට ගාථා කියන අන්දම මා මෙන්ම මල්ලිද පුදුමයෙන් අසා සිටීමු.ඔහු දමිළයෙකු හින්දු භක්තිකයෙකුයි කීවාට කවුරුන් හෝ එය විශ්වාස නොකරනු ඇත.ඇවතුම් පැවතුම් වලින් පමණක් නොව බාහිර පෙනුමෙන්ද ඔහු හොද සිංහල බෞද්ධ තරුණයෙකු මෙනි.අනේ.... හැබෑවටම එසේ වූවානම්.....මා මේ හිතන්නේ මොනවාද....?


දැහැමි උඹට පිස්සු හැදීගෙන එනවද..... අප්පච්චි උඹව කපල බෝගම්බර වැවට දාවි....

මගේම යටි හිත වියරු වෙසක් ගෙන මට අණ කරනවාක් මෙන් ඇසුණි.


ම්ම්ම්ම් ... ඉතිං දැන් මට යන්නනම් වෙලාව හරි....

වැඳපුදා අවසන්ව මාලිඟාවෙන් එලියට ඇවිත් වැව රවුම ළඟ නවතිද්දි විශ්ව මං දිහා බලල එහෙම කිව්ව.

අපේ බස් එක එහා පැත්තෙ නවත්තලා තියෙන්නෙ.... ඔන්න දෙන්නටම ගොඩාක් පිං මට මුළු මාළිගාවම පෙන්නුවට... මීට කලින් කීප වතාවක්ම ඇවිල්ල තිබුනත් මං අද දැක්ක තරම් දෙවල් කවදාවත් දැක්කෙ නෑ...

එයා මල්ලිටයි මට දෙන්නටම ස්තූති කලේ හරිම හැගුම්බරව.


එහෙනං මම ගිහින් එන්නම්... ආයේ කවදා කොහෙදී හරි අපි ආයෙමත් මුණගැහේවි නේද....?

එහෙම කියල විශ්ව මල්ලිට දෑතම දිගු කරද්දි මල්ලි බොහෝ දැඩිව ඔහුව සෙනෙහසින් වැළඳ ගත්ත.


අනිවාර්යෙන් අයියා..... අපිට කොහොමත් ඉස්සරහට මුණගැහෙන්නම වේවි...යමු... මම අයියව බස් එකට දාන්නම්....

මල්ලි එහෙම කියල ඉස්සරහට ගියේ විශ්වටත් මටත් කතා කරන්නට ඉඩදීල වෙන්න ඕනෙ.

මම ගිහින් එන්නම්....

ප්‍රථම වතාවට මගේ නෙත් එක එල්ලේම ඒ නෙත් වලට අහුකරගෙන විශ්ව එහෙම කිව්ව. මොහොතක් ඒ බැල්මට නතු වෙච්ච මම ඇසිල්ලකින් ඇහි පිය ගහල බිම බලා ගත්ත.

කෝ ඉතින්... මට සමුදෙන්නෙ නැද්ද...?

මම බිම බලාගෙන හිටපු කාලෙ වැඩි හින්දද මංද විශ්ව ආයෙමත් කතා කලා.


හ... පරිස්සමින් යන්න.... දළදාහාමුදුරුවන්ගෙ පිහිටයි...

ආයාසයකින් තොරවම මගේ මුවින් පිට උනා.එය අහපු ඔහුගේ ඇස් දිලිසෙන්නට උනා.පුදුමයත් සන්තාපයත් සතුටත් මුසුවුන ඒ බැල්ම මාව එහෙමම ගල් කලා.

ඔයාටත්.....


එසේ කියා ඔහු හැරී නොබලාම නික්මුණි.මුළු නුවරම පාලුවට ගියාක් මෙන් මට දැනුණි.හිතට ගතට දැනිච්ච මහා බර දරාගන්නට බැරුව මම එහෙමම වළාකුළු බැම්මට වාරු උනා.මීට පෙර මේ නුවර කොහෙදිවත් මට දැනී නොතිබුණු එකම එක සුවඳක් හිතව වටා හිතටත් හොරෙන් සැරිසරන බවක් මට දැනුන.එහෙමම ඇස් පියාගෙන මම ඒ සුවඳ හොරෙන්ම විඳගත්ත.

__________මතුසම්බන්ධයි__________






Aug 24, 2012

එයාට වගේ එකක් ඇයි මට නැත්තෙ !






මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තරන්ගේ දතක් ගලවගෙන පාඩුවේ හිටපු මට වෙච්ච නස්පැත්තියක්.මේ සේරටම හේතුව ඉස්කෝල නිවාඩුවත් එක්ක රාස්ස පැටව් තුන් දෙනෙක් අපේ ගෙදරට කඩා පාත්වීම.රාස්ස පැටව් කිව්වට ඉතින් රාස්ස පැටව්ම නෙවෙයි. දෙන්නෙක් කෙල්ලො උන් දෙන්න අපේ අක්කගේ සුරංඟනාවියෝ දෙන්න. අනික කොල්ලෙක් ඌ නෑකමටනම් මට වෙන්නේ මල්ලි ඒ උනාට අක්කගෙ පොඩි උන් දෙන්නා මට පුංචි කියන නිසා ඌටත් මම පුංචි.ඉතින් සෙල්ලංද මේ දවස්වල මම දරුවෝ තුන් දෙනෙකුගේ පුංචි අම්මා කෙනෙක්.

පුංචි කාලේ ඉදලම මේ තුන් දෙනාම මට බොහොම
සමීපයි.දැන් ටික ටික ලොකු උනත් ඒ බැඳීම් වල තාම අඩුවක් වෙලා නෑ.එයලාගේ අම්මලා තාත්තලාට කියලා ඉටු කර ගන්න බැරි දෙවල් මාව ඉත්තා කරගෙන කර ගන්න මේ තුන් දෙනාම එක වගේ දක්ෂයි.මේ අය අතරින් අක්කගේ පොඩි බඩ්ඩ තමා මට ගොඩක්ම ආදරේ සහ මම ගොඩක්ම ආදරෙත්.කොටින්ම එයා මම පුංචි කාලේ වගේමයි.එයාට පිහිටලා තියෙනෙත් මගේ ගති ගුණම තමා.දකින හැමෝම කියන්නේ පුංචිගේ කාපාපු පලුව කියලා පුහ් ... කාටද ආඩම්බර එතකොට ඈ...අක්කගේ ලොකු බඩ්ඩට දැන් අවුරුදු 10 යි එයාගේ නම ශාක්‍යා මානවී , පුංචි එකීට අවුරුදු 8යි එයාගේ නම කාව්‍යා ඕෂධී, මේ දෙන්නටම නම් තිබ්බෙත් පුංචි වෙච්ච මේ මං ම තමා.බොලේ එතකොට මමත් කාව්‍යා එයත් කාව්‍යා කොහොමද වැඩේ.හරි දැන් ඔය මැද්දේ තව කෙනෙක් ඉන්නවනෙ ඇයි අර මට නෑ කමට නැන්දා වෙන කෙනෙකුගේ පුතන්ඩියා, හම්මේ ඒකාව තමා කොන්ට්‍රොල් කරන්නම බැරි.එයාගෙ නම කතික , අවුරුදු 11යි. නම වගේම තමා කට උන්දෑ අහන සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනෙ.

ඉතින් මේ තුන්දෙනා එක්ක තමා මේ දවස්වල මගේ ද
වසම ගෙවෙන්නෙ.උදේ එළිවෙච්ච වෙලේ ඉදන් පුංචි මට අරක ඕනෙ... පුංචි මට මේක ඕනේ... පුංචි අපි අරක කරමු... පුංචි අපි මේක කරමු...පුංචි අපි අරෙහෙ යමු...පුංචි අපි මෙහෙ යමු....ඔය වචන වලින් මගේ කං පිරිලා.තුන් දෙනාවම එකම දේකට එකම තැනකට යොමු කරන්න හරිම අමාරුයි.කොල්ලට ඕනෙ හොරා පොලිස් කරන්න, බොක්සිං ගහගන්න , එලියට ගිහින් තාප්පේ දිගේ යන්න , ක්‍රිකට් ගහන්න. කෙල්ලො දෙන්නට ඕනෙ බොනික්කෝ නාවන්න සෙල්ලම් ගෙවල් දාන්න බෝනික්කන්ව බෙහෙත් ගේන්න ගෙනියන්න, වැස්ස වෙලාවට බෝට්ටු හදලා පා කරන්න .කොල්ලා කැමති සෙල්ලම් කරන්න ගියාම කෙල්ලො දෙන්න තරහ වෙනවා. ඉහි ඉහි.... ඔයා හොද නෑ පුංචි ඔයා කරන්නෙම කතී අයියා කැමති එවා විතරයි කියලා උන් නහයෙන් අඬනවා.කෙල්ලො කැමති සෙල්ලම් කරන්න ගියාම අර පෝරිසාදයා මටත් ගහලා අරුන් දෙන්නටත් ගහලා සෙල්ලම් ගෙවල් පොඩි පට්ටම් කරල යකා නටනවා.දෙපැත්තම ශේප් කරගෙන හා අපි DVD එකක් බලමු කිව්වම කොල්ලට ඕනෙ රෙස්ලින් බලන්න කෙල්ලන්ට ඕනෙ ටින්කර් බෙල් බලන්න. හය්යූ.... මට තෙරෙන්නෙ නෑ මුන් එක්ක කොහොමද වසන්න ඕනෙ කියලා.

මම ම නිසා හොදා ඉතින් මුන්ට මෙහෙම නටන්න.අපේ අක්කණ්ඩි හිටියනම් මේ සෙල්ලම් බෑ මේ කාටවත්.එයා රවලා බලන්න විතරයි ඕනෙ කට්ටිය ඉදී හ්ම් කියන්නෙ නතුව.මම ලේසියෙන් තරහ ගන්න කෙනෙක් නොවෙන බව මෙයාල හොදට දන්නව.ඒ නිසාම තමා මාව මෙහෙම නටවන්නෙත්.පොඩි උන්ට මම පොඩ්ඩක් හරි සද්දෙ
දාන්නෙ ගේ හැඩි කරනකොට විතරයි.ඒකටනම් මට යකා නගිනවා.මේ දවස්වල මම ගේ අතු ගානවා දවසට දහ පහලොස් වතාවක්.ඒත් අදනම් මම හිතා ගත්තා තොපි ආයෙ යනකන් මම ගෙවල් අස් කරන්නෙ අතුගාන්නෙ නෑ කියලා.මම එහෙම හිතුවා විතරයි මෙන්න මුන්ව ගෙවල් වලින් ඇවිල්ලා අරන් ගියා හෙට සෙනසුරාදා ළමයින්ට පංති කියලා.

හ්ම් ගියාට පස්සේ තමා ඉතින් රගේ තේරුනේ. පුදුම පා
ලුවක්.... මෙච්චර දවසක් පිරිල තිබුන ගේ එක පාරටම පාලුවට ගිය අම්බලමක් වගේ උනා.කොච්චර සද්ද බද්ද තිබුනත් ගෙවල් මොන තරම් අපිලිවෙල උනත් පොඩි එකෙක් ඉන්න ගෙයක් පුදුම තරම් පිරුණ ගතියක් තියෙනවා.හරි හරි මේවා වැඩිය ලියන්නත් බෑ දැන් ඉතින් කට්ටිය මට කියයි ඇයි අනේ හිත හිත ඉන්නෙ ඉක්මනට බබෙක් ගේන්නකෝ කියල.මොනවා උනත් අපේ අක්කණ්ඩිනම් හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.එයා අඩු වයසින් කසාද බැඳලා අඩු වයසෙදිම බබ්බු දෙන්නෙක්ම හැදුවා.අද එයාගේ කර ගාවටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.හැබැයි එයත් තාම කෙල්ල වගේ.අවුරුදු 23 වෙනකොටම එයා බැඳලා බබ්බු දෙන්නෙක්ම හදලත් ඉවරයි.ඒකට මම අවුරුදු 23 දි තමා හා හා පුරා කියල ආදරේ කොරන්න පටන් ගත්තෙත්.

ඉතින් කොහොම කොහොම හරි ඔය විදියට පුංචි එවුන් එක්ක බොහොම අවිවේකි සති දෙකක් ගෙවිලා ගියා.එයාලා නිසා මට අවාසි වගේම වාසිත් ගොඩක් උනා.මුලු දවසක්ම Beach ගිහින් ඇති තරම් නැටුවා සෙල්ලම් කලා නෑවා, ඊයේ Ice Age 4 ෆිල්
ම් එක 3D බැලුවා.ෂා...... ඒකනම් නියමයි.මගේ පළවෙනි 3D අත්දැකීම. ෆිල්ම් එක බලද්දී තව 3D ෆිල්ම් දෙක තුනකම කමින් දැම්මා,. ඒවත් බලමු හොදේ කියලා සත්තලන්ව බලෙන්ම පොරොන්දු කරවත් ගත්තා.

දැන් ඉතින් මම මේ පෝස්ට් එක ලිය ලියත් පුංචි කාලේ ඉදන්ම මේ තුන් දෙනා එක්ක ගෙවිච්ච කාලේ රසවත් සිද්ධි මතක් කර කර ඉන්නෙ.අපි තවමත් කට්
ටිය එකතු උනාම මෙයාල ගැන කිය කිය හිනා වෙන සිද්ධි දෙකක් ගැන මම ඔයාලටත් කියන්නම්කෝ. පලවෙනි සිද්ධිය උනේ මීට අවුරුදු දෙකකට විතර කලින් එතකොට අක්කගෙ පොඩි දුවට අවුරුදු 6යි.ඔන්න මේ දැන් වගේම කට්ටිය නිවාඩුවකට අපේ ගෙදරට සෙට් වෙලා හිටියේ.එතකොට ඉතින් සත්තලනුත් නෑ හොදේ.හවසක මම තුන් දෙනාවම ඇඟ හේදුවා මුලින් කෙල්ලො දෙන්න හෝදලා එයාලට අන්දලා අන්තිමට කොල්ලව හේදුවා දැන් එයාට ඇදන් යන්න බාත් රූම් එක ඇතුලේ ටවල් එකක් තිබුනේ නෑ. මම කිව්වා කමක් නෑ ඔහොමම කාමරේට දුවන්න කියලා. මේකා ටිකක් ලජ්ජ කාරයා බෑමයි කියලා ඒත් මම සද්දයක් දැම්මම ඔන්න දිව්වා. ආ කියන්න අමතක උනානේ මෙයා අර මෙයාගේ චූවට කියන්නෙ බඩී කියල හොදේ. මෙයා දිව්වේ මෙයාගේ මේ බඩීවත් අතින් වහගෙන.මාත් පස්සෙන්ම ගියා. මෙයා කාමරේට යනකොට කෙල්ලො දෙන්නත් ඒ කාමරේ.උන් දෙන්නා අමුතු සතෙක් දිහා බලනවා වගේ කොල්ලා දිහා බලන් ඉන්නවා.ඒකා දඩිබිඩි ගාලා කලිසම අදින්න හදනවා.මේ සේරම බලන් හිටපු අක්කගෙ පොඩි එකී මං ළඟට ආවා.

" පුංචී....... ඇයි කතී අයියට වගේ එල්ලෙන එකක් මට නැත්තෙ "......?

මේකි අහපි. හයියූ .... මට දෙලෝ රත් උනා ඒ අස්සෙ මට හිනා පණ යන්න.මම ඉතින් මම දන්න විදියට තේරුම් කරලා දුන්නා එයා පිරිමි ළමයෙක් ඔයා ගෑණු ළමයෙක් ඒ නිසා තමා එහෙම වෙන්නේ ඔන්න ඔය වගේ මොනාද බයිලා වගයක් කියලා මම
ෂේප් උනා.ඒ වගේම තවත් දවසක මම TV එකේ යන හින්දි සිංදුවක් බල බල හිටියේ හප්පා සිංදුව මතක් කලාට මතක් වෙනෙ නෑ රඟපෑවෙනම් ශාරුකුයි කාජලයි වගේ මතක වැස්සක තෙමි තෙමි දෙන්නා සිංදු කියනනවා.මම කකුල් දෙකත් පුටුව උඩට අරන් රිමෝට් එකත් හපාගෙන මේ ප්‍රේමණීය ජවනිකාව දිහා බලන් ඉන්නවා.මට කොච්චර සිහිය නැතු උනාද කියනවනම් මට අමතක උනා මේ යක්ශ පැටව් තුන්දෙනාත් මෙතන ඉන්නවා කියල.

" පුංචි..... ඇයි ඒ අංකල් අර ඇන්ටිගේ සාරිය ගලවන්න හදන්නෙ " ?

දිපංකෝ දැන් උත්තර...මුන්ටත් ඕනෙ නැති දෙයක් නෑනේ...මොනවද කියන්නෙ කියලා හිතලා හිතලා මම අන්තිමට කිව්වා.

එයාලා වැස්සෙ තෙමිලනේ ඒක වෙන්න ඇති කියල.එතකොට තව එකෙක් අහනවා.

" ඇයි එයාලා මෙච්චර ලොකු වෙලත් දන්නෙ නැද්ද වැස්සෙ තෙමුණම ලෙඩ වෙනවා කියල "

අනේ පොඩි කමට මුන්ටත් ඕනෙ නැති කෙහෙල්මල
ක් නෑනේ. මම උන්ට බනින්න බැරි කමට උන්ගෙ අම්මල තාත්තලට හිතින් බැන බැන TV එක ඕෆ් කලා.මේ සේරම ජල්බරි කතා කුස්සියේ ඉදන් අහන් හිටපු අක්කා ඇවිල්ලා කිව්ව

" එහෙම වෙන්නෙ නෑ පුතේ එයාලා කිරිත් එක්ක සමහන් බොනවනේ " කියල.





Aug 20, 2012

ඒ ඔබය ඔබමය - 1




වායුසමනය කල කාමරය පුරා ඕනෑවටත් වැඩි සීතළක් තිබුනද මා දහදියෙන් තෙත්වී සිටියෙමි.මුහුණ පුරා නැගි දා බිඳු ලේන්සුවෙන් පිස දමමින් මම සකුණි අක්කා දෙස බැලීමි.ඇය මගේ අතක් මුඳුව මිරිකා සංසුන් වෙන ලෙස කීවේ ඇස් වලිනි.ඉහලට ගත් හුස්ම පහලට නොදමාම මම දරා සිටියෙමි.මේසය මත වූ වෛද්‍ය වාර්තාවට මුහුණ ඔබා හුන් වෛද්‍යවරයා හිස එසවූයේ සිනා මුසු මුහුණෙනි.

මගේ සුභ පැතුම් ..... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ....

මැදිවියේ වෛද්‍යවරයාගේ වදනින් ම'හිත කීරි ගැසුණි.මුළු ලොවම මා වට කොට කැරකැවෙන්නා සේ මට දැනේ.මහා හඬින් හඬන්නද නැතිනම් කෑ ගසා හිනා වෙන්නද කියා නිනව් නැතුව මම ඇස් පියාගෙන හැගීම් තද කර ගෙන උන්නෙමි.

ඇයි දුව ? මෙච්චර සතුටුදායක ආරංචියක් අහල හිනා වෙන්න ඕන වෙලාවේ මේ බය වෙලා වගේ ? මේක අහන්න යාලුවෙක් එක්ක නෙවෙයි මහත්තයත් එක්කනෙ එන්න තිබුනෙ ......

ඔහු එසේ පැවසුවේ මගේ මුහුණෙන් කිසිම හැගීමක් පල නොවූ නිසා වෙන්නට ඇත.පිට වෙන්නට ආ ඉකිය වැර වෑයමෙන් හිරකර ගන්න හදනව දුටු සකුණි අක්කා පුටු ඇන්ද මත තිබූ මගේ අතක් තරකොට අල්ලා ගත්තාය.

ඇ‍ය මොන මොනවාදෝ වෛද්‍යවරයාට පවසන හඬ ඈත ලෝකෙකින් වගේ මට ඇසේ.වහා මෙතනින් පිට වීමේ තද බල අවශ්‍යතාවයක් මට දැනෙන්නට විය.

im very sorry මට හරිම කණඟාටුයි මේ දරුවා ගැන... ඒත් doctor කෙනෙක් හැටියට මම මේ වෙලාවේ දෙන එකම අවවාදය හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දෙන්න.... ඔයිට වැඩිය දෙවල් මිනිස්සුන්ට වෙනවා දරුවෝ....

තවත් ඒ කතා අසා මෙතැන රැදී සිටින්නට මට පුලුවන් කමක් නැත.දෑතින්ම මුහුණ වසාගෙන මම පිටතට දුව ආවේ මහ හඬින් ඉකිබිඳිමිනි.


දැහැමි... නංගී.... කලබල කරන්න එපා කෙල්ලේ.... මේක ඔලුවෙන් වැඩ කරන්න ඕන වෙලාවක්...

මට කෑ ගහල අඬන්න ඕනෙ සකු අක්කා.... මීටත් වැඩිය මොනාද මිනිස්සුන්ට වෙන්න තියෙන්නෙ ? මට මේ මුලු ලෝකෙටම සාප කරන්න ඕනෙ... මාව මේ තැනට ඇදල දාපු අප්පච්චිට මම කවදාවත් සමාවක් දෙන්නෙ නෑ... හැමදාම එයා විඳවන්න ඕනෙ.... ඔයාට තේරෙනවද මට දැනෙන දෙවල්.... කියන්න සකූ අක්කා.... ඔයාට තේරෙනවද...

මම පිස්සියක් සේ කෑ ගසමින් සකුණි අක්කාගේ දෙවුරෙන් අල්ලා සෙලවූයෙමි.

කෙල්ලේ මේ ම්හ පාර... මිනිස්සුත් බලනවා... හරි අපි අඬමු... යමු වාහනේට ගිහින් ඇති වෙනකං අඬමු...

ඇය මා වත්තන් කරගෙනම මෝටර් රථයට ගොඩවිය. විනාඩි දහයක් පහළොවක් නොව මම පැයකටත් වඩා සකුණි අක්කාගේ උකුළමතට වී සිත් සේ හැඬීමි.


දැහැමි... නංගී මේ බලන්න .. දැන් ඇති කෙල්ලේ... දුකයි තමයි ඇඬෙනවත් තමයි.. මං අඬන්න එපා කිව්වොත් ඒක අසාදාරණයි... ඒත් දැන හිතූ හිතූ වෙලාවට ඔයාට අඬන්න බෑ... ඒක දැන තවත් කෙනෙක්ට බලපානවා කියන එක අමතක කරන්න එපා...

මගේ හිස පිරිමදිමින් සකුණි අක්කා කී දේ තේරුම් යන්නට මට තවත් විනාඩියක් දෙකක් ගත විණි.මා සැනෙන් හිස ඔසවා කඳුළු පිසදාගතිමි.ඇය කියන්නේ සැබෑවකි . මට දැන් රකින්නට දෙයක් වේ.බලාපොරොත්තු තබා ගන්නට දෙයක් වේ.හඬනවාට වඩා මට දැන් හිතන්නට කරන්නට , තීරණ ගන්නට බොහෝ දෑ ඇත.සකුණි අක්කාගේ උකුළෙන් මෑත්ව මා අසුනේ පිටුපසට හේත්තු වුනෙමි.ඇය මඳක් ඉදිරියට රිය පණ ගන්වා ගෙන ගොස් නිස්කලංක තැනක නවතා මවෙතට හැරුණි.

නංගී ... දැන් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නේ....?

තාම මට මුකුත් හිතා ගන්න බෑ අක්කා..... මම දන්නේ මම නොමැරී ජීවත් වෙන්න ඕනෙ කියන එක විතරයි..අද උදේ Docter ගාවට යනකනුත් මගේ හිතේ තුබුණ එකම දේ කවදා කොයි වෙලේද මේ ජීවිතෙන් පැනලා යන්නේ කියන එක..කොයි මොහොතෙද මට ඒකට හොදම අවස්ථාව ලැබෙන්නේ කියලා බල බල හිටපු එක තමා මම පහුගිය මාසෙම කලේ...ඒත් දැන මට මැරෙන්න බෑ සකූ අක්කා...මං ජීවත් වෙන්න ඕනෙ...දැන මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා....

ඔයාගේ තීරණේ ඒකනම් ඒ දේට මම මට පුලුවන් හැමදේකින්ම ශක්තියක් වෙනව...ඔයා දන්නවනේ නංගී මං ගැන ... මේ සකූ අක්කා ඕන වෙලාවක ඔයාගේ පැත්තෙ..ඒත් මේක අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි දැහැමි නංගී... මේ බඩ ගෙඩිය ඇතුලෙ පැටියෙක් ඉන්නව කියල ඔයාගෙ අප්පච්චි දැන ගත්ත දවසට මොනවායින් මොනවා වෙලා නවතීද දන්නෙ නෑ...

දන්නව අක්කා.... එයා මාව මරලා හංගන්නත් දෙපාරක් හිතන එකක් නෑ...

ඔව් .. උඹේ මේ බංඩිගෙඩිය එලියට නොපෙනෙන කාලෙ වෙනකං විතරයි උඹට ඒ වලව්වේ බත් කන්න වෙන්නෙ...


මගේ උදරය මත දෑතම තබා සකුණි අක්කා එසේ කීවේ මහා දුකකිනි.


ලංකාවේ නෙවෙයි සකුණි අක්කා මේ තුන් ලෝකේ කොහාට ගිහින් හරි මං මේ මලට පිපෙන්න ඉඩ හදල දෙනව....මේ අපි දෙන්නම එකතු වෙලා දැකපු හීනයක්...මං ඒ හීනේ සැබෑ කරනවාමයි....දැනට මම දන්නෙ එච්චරයි...ඒකට මට මේ පැටියගෙ තාත්ත පාරක් පෙන්න්ලා දේවි සකූ අක්කා...ඒක මට විශ්වාසයි...

සකුණි අක්කා ඒ ඇස් මුලට ඉනු කඳුළු නොසගවාම මදෙස බැලුවේ අපිරිමිත දයාවකිනි. උඹ පව් කෙල්ලේ.... මගේ සුරත මිරිකා ඈ හිමිහිට කීයේය.


සකූ අක්කා... මට එයාව බලන්න යන්න ඕනේ... මේ සුභ ආරංචිය මං එයා එක්ක බෙදා ගන්න ඕනෙ....

ලද අවසරයෙන් මා ඇයට යෝජනා කලේ මෙවන් මොහොතක් ආයෙ කවදා උදා වේදැයි මට හිතා ගන්නවත් බැරි නිසාමය.

යටි තොල සපාගෙන මොහොතක් කල්පනා කල ඈ යමුයි කියා රථය පණගැන්වීය.


ඔයා එපා... මං විතරයි.... මට එයා එක්ක ටික වෙලාවක් තනි වෙන්න ඕනෙ....Please.... සකූ අක්කා....

මා ඇගේ දෙතම අල්ලාගෙන බැගෑපත් වීමි.


කෙල්ලෙ... මේ නුවර නෙවෙයි.... උඹේ හතුරො සේරම ඉන්නෙ මේ අවට... උන් උඹ ගැන ඇහැ ගහගෙන ඉන්නෙ...දන්නවනෙ.... බාප්පට නොවදිනා වැඳුම් වැඳල ඔයාව ඒ කූඩුවෙන් එළියට ගත්තෙ... ඔයාව ආපහු වලව්වට බාර දෙනකං මම උඹ ගැන වගකියන්න ඕනෙ .....

සකුණි අක්කා කියන දේ මොන තරම් ඇත්තක් වුවද කොලඹ විත් ඔහු නොදැක යන්නට මට හිත හදාගන්නට නොහැකිය.කොළඹ විත් සකුනි අක්කා හා මා මෙසේ තනිපංගලමේ රවුම් ගසනවා කියා අප්පච්චී දැන ගත්තොත් සකුණි අක්කලා ආයෙත් වලව්වේ පස් පාගනවා බොරුය.

සකුණි අක්කා මගේ මවගේ එකම සහෝදරියගේ දියණියයි.මට වඩා වසරක් කලින් ඉපදුන ඈත් මාත් අතර කුඩා කල සිටම ළෙංගතු බැඳීමක් වේ.කන්ද උඩරටටම සීමා වූ අප්පච්චිගේත් අම්මාගේත් නෑ සනුහරන්ම නුවර ඇතැර කොළඹ ආ එකම ඥාතියා ලොකු අම්මාය.ඊයේ නුවර ආ ඔවුන් වදෙන් පොරෙන් මා කොළඹ රැගෙන ආවේ නොකා නොබී වලව්වේ කාමරයක වැතිර මා හඬා වැටෙනවා බලා ඉන්නට බැරිම තැනය.දැන් දැන් කොළඹට හැඩ ගැසී ඉන්න ලොකු අම්මා ලොකු තාත්තා හෝ සකුණි අක්කා ළඟ සාම්ප්‍රදායික වලව් මාන්නය නැත.කොහොමත් අප්පච්චී සමඟ ලොකු අම්මාගේ ඒ හැටි ඇයි හොදයියක්ද නැත.එ නිසාමදෝ මගේ ප්‍රශ්නයේදී වචනෙකින් හෝ මට පිහිටක් වන්නට හිටියේ සකුණි අක්කලාගේ පවුල පමණි.ඊයේ හැන්දෑවේ ඔවුන් හා කොළඹ ගෙදරට ආ මා අද උදෑසන නාන කාමරයේ වැටී වමනය කරනවා දුටු සකුණි අක්කා වහා මා වෛද්‍යවරයෙකු ළඟට රැගෙන ආවේය.

ඇස් පියාගෙන සිතුවිල්ලේම උන් මට අප බොරැල්ලට එනවා දැනුනේවත් නැත.මා කවුලුවෙන් අවට බලද්දී සකුණි අක්කා බොරැල්ල " බානි රේමන් " එක ලඟ අයිනට කර රිය නැවැත්වීය.


Ok මම එහෙනම් YMB එකේ ඉන්නවා... මම පැ‍ය භගයක් දෙන්නම් ඔයාට...ඉවර වෙලා මට Ring Cut එකක් දෙන්න හොදේ මම එන්නම්...

Thanks අක්කා .... ඔයා හරී හොදයි....මා ඇගේ කම්බුලක් ආදරෙන් සිප වාහනෙන් බැස ගතිමි.

පරිස්සමින් හොදේ නංගියා....

හරි අක්කා.... බය වෙන්න එපා මම ඉක්මනට එනවා.....


මා ඇයට අත වනා යන්නටැයි කීමි.

බානි රේමන් එකෙන්ම රතු රෝස මල් කිහිපයක් මිලදී ගෙන මම පාර පැන බොරැල්ල කනත්තේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වීමි.මගේ රත්තරං විශ්ව..... ඔබ මා හැර සදහටම මේ පොළවේ පස් අතර සැගවී ගිය දාට පසු මා මේ ඔබ බලන්නට නැවත ඉඩක් හදා ගත්තාමය.සුසාන භූමිය පුරා ඇත්තේ පහදා කිව නොහැකි පාලු මූසල නිහැඩියාවකි. සොහොන් කොත් සිසාරා හමන සුළඟේ පවා මහා දුකක් ගැබ් වී ඇති සෙයකි.ඒ සුළඟ විටෙක අදෝනාවක් මෙනි.හරියට මේ හිත් පිත් නැති ගල් කණු යට මිහිදන් වුන සිය දහස් ආත්මයන් වල නිහඬ විලාපයන් මෙනි.සිය දහස් ගණන් සොහොන් කොත් පසුකරගෙන මම ඔබ නිදන තැන හරියටම සොයා ගතිමි.අනේ ... ඔබ සුව නින්දකය.... ළය මඬළ හිරි වැටී ඇස් ගිනියම් වෙද්දි මම දරා ගතිමි.ඒ හඬනවාට වඩා මේ ලැබුන අවස්ථාවේ ඔබ එක්ක දෙඩීමට මට බොහෝ දේ ඇති නිසාය.සීතළ සොහොන් කොතේ ඇති ඔබේ චායාරූපය දෙසම මම බලා සිටිමි.ඒ ඇස් මා සමඟ කතා කරනවාක් මෙනි.හිස පැත්තකට ඇල කර පාන අමුතුම හිනාව දැන් මෙතැන ඉන්නාක් මෙන් සජීවීය.අනේ.... මම කොහොම නඬා ඉන්නද.... ගෙන රතු රෝසමල් මිට ඔබ පාමුල තබා මම මහා හඬින් හඬා වැටුනෙමි.

දන්නවද රත්තරං ... අපේ හීන හැබෑ වෙලා... ඔව් ඔයා තාත්තෙක් වෙන්න යන්නේ... ඉක්මනටම ඔයා ළඟට එන්න හිටපු මට දැන් නවතින්න වෙලා ... මං දන්නව ඒක තමා ඔයාගේත් බලාපොරොත්තුව... මං අපේ පැටියව ජීවත් කරවනව රත්තරං.... කියන්න ලේ කැටියෙක් වෙලා මගේ බඩේ ඉන්නෙ ඔයා නේද...? මට එහෙම දැනෙනවා.. මේ ඔයාම තමයි.... මේක අපේ අප්පච්චි විතරක් නෙවෙයි ඔයාගේ අප්පා දැන ගත්තත් මට වෙන්නෙ මැරුම් කන්න මහත්තයො... දැනටත් ඔයාගේ අප්පගෙ මිනිස්සු මගේ පස්සෙ පන්නනව... අනේ රත්තරං... මටයි අපේ පැටියටයි හුස්ම ගන්න විදියක් ඇවිත් පෙන්නල යන්න...

සොහොන් කොත පාමුල වැඳ වැටී මා තව මොන මොනවා කීවාදැයි මටම නිනව් නැත.එක පාර හමා ආ සීතළ සුළඟක මහා හුරු පුරුදු සුවඳක් දැනී මම ඇස් ඇර වට පිට බැලුවෙමි.ඒ සුළඟට මුසුව හමා ආවේ පෙරදා මා බෙහෙවින්ම ප්‍රිය කල ඔබේ ලඟින් ආ විළවුන් සුවඳය.එය සැබෑවටම සිදු වූ දෙයක්ද නැත්නම් මගේ මනසට දැනුන දෙයක්දැයි පැහැදිලි නැති මුත් මම එය අදහන්නට වීමි.ඉතින් මා විශ්වාස කරමි...ඔබේ ආත්මය මේ මොහොතේ මා වටා සරණවායැයි මා ඉඳුරාම අදහමි.

මයෙ අම්මා..... මං ගියාට ආයෙ එනවා.... සත්තයි තනි කරන්නෙ නෑ ඔයාව....

මියෙන්නට පෙර ඒ ඔබේ අවසන් වචන කීපයයි.ඉතින් ඔබේ බැල්ම මට ඇතැයි සිතන්නට ඒ වචන ටිකම ඇත.

මේ අහන්න රත්තරං .. ආයේ කවදා ඔයාව බලන්න එන්න වෙයිද මම දන්නෙ නෑ... මගේ ඉස්සරහ ජීවිතේ ගොඩාක් අමාරු වෙයි... පැටියටයි මටයි ගොඩාක් දුක් විඳින්න වෙයි... ඒත් මම පොරොන්දු වෙනව මොන දුක විඳල හරි අපේ පැටියව මේ ලෝකෙට ගේනවා කියල....මගේ ලඟින් ඉන්න... මාව වැටෙන වෙලාවට නැගිට්ටවන්න... ඔයා මගේ ළඟ කියල හැම තිස්සෙම මට දැනෙන්න අරින්න... මට ඒ ඇති මගෙ මහත්තයො....මට ගොඩාක් වෙලාව නෑ ඔයා ළඟ ඉන්න... මම දැන් යන්න ඕනෙ... අර ඉස්සර වගේම මං යන හදනකොට මගේ ඔලුව අත ගාලා පරිස්සමින් ගිහින් එන්න මයෙ අම්මා ... කියල මට කියන්න....

අපි අපේම වූ දා ඒ සුදු දෙපා සිපගත්තාක් මෙන්ම බැතියෙන් සීතළ සොහොන් කොත පාමුළ වැතිර මම වැඳ වැටුනෙමි.

එසේ වැඳ වැටීත් තවත් ටිකක් වෙලා එතන රැදී සිට මා සුසාන භූමියෙන් පිටත් වීමි. හඬා දොඩා හෙම්බත්ව උන් මට මහා වෙහෙසක් දැනුණි.ගතට මොන තරම් කෙඩෙත්තුවක් දැනුනද හිතට යම් තරමක සහනයක් දැනේ.ඒ හැමදේම ඔහුට කියා හිත සැහැල්ලු කරගත් නිසා වන්නට ඇත.සිතුවිල්ලේම උන් මට සකුණි අක්කාට ඇමතුමක් ගන්නට සිහි වූයේ පාරත් ආවට පසුවයි.බෑගයට අත දමා මා දුරකතනය අතට ගත්තා පමණි.පාරේ අයිනට වන්නට නවතා තිබු ජීප් රියකින් ලහිළහියේ බැස ආ හැඩිදැඩි පිරිමින් කීප දෙනෙක් වේගයෙන් දුව විත් මා වට කර ගති.

______ මතුසම්භන්ධයි_____


Aug 17, 2012

ඉතින් අපි සමුගනිමු !




තව එකම එක වරක් අපි ආයෙ මුණ ගැහෙමු
දළඳා වීදියේ කොනක නෙතින් නෙත බලං ඉමු
ඉඩක් තිබුනොත් නුවර වැව වටෙත් ටිකක් යමු
අතීතය ගැන මිසක් හෙටක් ගැන නොදොඩා ඉමු

අපි අපිට අයිති නෑ ඒත් තව ටිකක් ඉමු
හුරු සුවඳ විඳින්නට හොරෙන් වගෙ ළඟට එමු
අහම්බෙන් පැටලුනා වගේ අත් පටල ගමු
එදා වගෙ දඟ වැඩක්නම් ඉතින් නොකර ඉමු

මාළිගාවට වෙච්ච භාර අමතක කරමු
අපිට පව් සිද්ධ වෙයි ඒත් නොහිතාම ඉමු
අපිව අඳුරනා අය දුටුවොතින් හිනා වෙමු
අපි අපිට අහිමි බව උන්ටවත් නොකිය ඉමු

අපෙ මතක කප්පරම වැව් දියට විසි කරමු
ඒත් හන්තාන වගෙ හැම දේම දරාගමු
මහවැලිය වගෙ ගළන කඳුළකට ඉඩ නොදෙමු
අපි අපේ කතාවට නැවතීමේ තිත තියමු

මේ නුවර වීදියක ආයෙ ඇස නොගැටි ඉමු
අහම්බෙන් දුටුවොතින් නොදුටුවා වගේ යමු
අඬන්නට හදන ඇස් වලින් තව හිනාවෙමු
සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු

ප/ ලි- මේ හුරුවට යන කවියක් මම මූණු පොතේ කොහේදෝ ගෲප් එකක දැක්කා.ඒක කියවලා ඉවර උන ගමන් මම මගෙ හිතට ආපු දෙවල් මේ විඩියට අකුරු කලා. ඉවරවෙලා ආපහු ඒ කවිය හොයද්දි මේක එතන කමෙට් එකක් හැටියට දාන්න මට හොයා ගන්න බැරි උනා.මොනවා
උනත් ඒ කවිය පුදුම විදියට හිතට දැනුනා.ඒ නිසාම තමා මේක මේ විදියට ලිය උනේ.

Aug 13, 2012

කතාවට පෙර වදනක් !



ආයෙ කවදාවත්ම....
පපුතුරේ දැවටෙන්න...
ඇස් දෙකට එබීගෙන
ආදරේ පවසන්න.....
මේ නුවර වීදියක
ඔයා එන්නෑ තමා
ඒත්...
දන්නවද රත්තරං
මං තාමත් නුවර පාරක් පාරක්
ගානේ
හිඟන්නියක් වගේ
ඇවිද ඇවිද
අපේ මතක අහුලනව
පුලුවන් කමක් තිබුනොත් යාංතං මට
පෙනිල යන්න හරි එන්න
මං බලන් ඉන්නවා...


______දැහැමි විහාරා ______


Aug 7, 2012

ඉදලා ඉදලා ගැලෙව්වා හොදම දත...






ටික දොහක ඉදන් මම බොහොම නිශ්ෂබ්දයි.වැඩි කතාවක් බහක් තියා හිනාවක්වත් නෑ.හිටි හැටියේ සිද්ධ වෙච්ච මේ වෙනස මගෙ මහත්තය පොඩ්ඩටනම් පුදුම තරං සතුටක් උනා.එයා හිට්යේ මාර ජොලියේ.එයාගේ මේ ජොලියට හේතු උනේ මගේ දතක් ගැලෙව්ව එක.ඉඳලා ඉඳලා මගේ එක දතක් ගැලෙව්වම මට මෙච්චර අමාරුනම් මං හැමදාම එයාගේ දත් ගලවද්දී එයාට කොහොම අමාරු ඇද්ද කියලා මට පොඩ්ඩක් හිතලා බලන්නලු.උන්දෑ ඔය කියන දත් වගේද අප්පා මේ හැබෑ දත් ???? ගලවලම බලන්න එපැයි දැනෙන සනීපේ.ගලවලා සතියක් දෙකක් පහු වෙලත් මට නිකං මතක් වෙනකොටත් ඇග පත හිරි වැටෙනවා.

මේ කුළුඳුල් දත් ගැලවිල්ල හමාර කලාමනම් මට දැනුනේ නිකං යුද්ධයක් ජය ගත්තා වගේ ගතියක්.ඇයි ඉතින් අද ඊයේ ඉදන්යැ මාසම හත අටක් තිස්සේ මේක ගලවන්න කියලා දොස්තර ගාවට යනවා ආයේ හැරිලා එනවා... ආයේ යනවා ආයේ හැරිලා එනවා.යාංතං දත නරක් වී ගෙන එනකොටම ගිහින් පුරව ගත්තනම් අද මේ දුක නෑ නේද කියලා දැන්නම් හිතෙනවා. ඒත් ඉතින් මට පොඩි කාලේ ඉදන්ම දොස්තර භීතිකාවනේ.මට ලෙඩක් හැදුනම , දොස්තර ගාවට යමු කියලා කවුරුම හරි කියනවා ඇහුනත් ඇති ඕනම ලෙඩක් සනීප වෙනවා.ඒ තරමට මට දොස්තර සහ බෙහෙත් භීතිකාව තියෙනවා.ඕං ඔය භීතිකාව හින්දා තමා මේ අහිංසක දතට මෙච්චර හරියක් උනේ.මුලින් කැක්කුම ආවම ගනන් නොගෙන මාස ගානක් හිටියා, ඊට පස්සේ අපේ උන්දා චොකලට් කේක් කන එක තහනම් කරලා දත රිදෙනවා කියලා කිව්වට එයා පැත්ත හැරිලවත් බලන්නේ නෑ කියලා තර්ජනය කලාට පස්සේ ඔන්න හිත හදාගෙන ගියා දොස්තර ලඟට.ඒ වෙලාවෙත් කැක්කුම තියෙන නිසා එයාට මුකූත් කොරන්න බෑ කිව්වා.. ඇයි වදේ දත් දොස්තරට කොරන්න බැරිනම් කාටද පුලුවන්???? මට එහෙම හිතුනත් මම ඇහුවේ නෑ.දතට තාවකාලික පිරවුමක් දාලා සතියක් බොන්න කියලා බෙහෙත් තොගේකුත් ෆාමසියට ලියලා දීලා ඒක බීලා සතියකින් එනකොට දතේ x ray එකකුත් අරන් එන්න කියලා එයා කිව්වා.කාලා වරෙන්කෝ.... වෙන කොහෙ කොහෙ x ray කරන හැටිත් හිතා ගන්න පුලුවන් උනාට දතක් කොහොමද x ray කරන්නේ කියන එක මට හිතා ගන්නම බැරි උනා.ඒකනම් හැබැයි හිතපු තරම් මහා ලොකු දෙයක් නෙවෙයි.මම හිත හිත ඉන්නකොට x ray අරගෙනත් ඉවරයි.

අමාරුවෙන් බෙහෙත් එහෙම බීලා x ray එකත් අරගෙන ඊ ළඟ සතියේ දොස්තොරෙස්තො ගාවට ගියාම අනේ එයා කියාපි

මේක පුරවලා වැඩක් නෑ... මේක ගලවන්න ඕනෙ කියලා...

ඒක ඇහුනා විතරයි මම අර දත් දොස්තර පුටුවෙන් නැගිට්ටා.

අනේ Doctor අද බෑ එහෙනං මම වෙන දවසක එන්නම් කියලා මම එළියට ආවා.එදා එහෙම එලියට ආපු මම ඊට පස්සෙත් මාස ගණනාවක් ඇතුලතදි දෙපාරක්ම නොම්බර අරන් දොස්තර ළඟට ගිහින් මගේ නොම්බරේ කිට්ටු වෙනකොට සත්තලන්ට නහයෙන් අඬලා අඬලා එළියට ආවා.තව මාස ගණනාවක් ඔහොම ගොඩ ගියත් අන්තිමට මටම තේරුනා මේක තියන් ඉන්න තියන් ඉන්න මටම තමා විඳවන්න වෙන්නේ කියල.ඊට පස්සේ මම දත් ගලවලා අද්දැකීම තියෙන දන්න කියන සේරගෙන්ම අහලා බැලුවා දතක් ගලවනකොට කොහොමද කියල. හැමෝම වගේ කිව්වේ

අවුලක් නෑ.... ආ..පෝ... දැනෙන්නෙවත් නෑ.... බය වෙන්න දෙයක් නෑ.....

ඔන්න ඔය වගේ ඒවා.බලාගෙන යනකොට එකෙක්ටවත් කිසි අමාරුවක් නෑ.හරි එහෙනං මමත් ගලෝනවා දත.මම එහෙම එක හිතින්ම හිතා ගත්තට මගේ සත්තලන්ටනම් මාව තඹ සතේකට විශ්වාස නෑ කිව්වා.හැරිලා එන්නේ නෑ කියලා සත්තයි කියලා මාව පොරොන්දු කරගෙන තමා උන්දෑ මාව දොස්තර ළඟට එක්කං ගියේ.මං එතන්ට ගියාම දොස්තර නර්ස්ල විතරක් එවෙයි එතන සුද්ධ පවිත්‍ර කරන ඇන්ටි පවා දන්නවා මේ අර " පිස්සු සමයම " කියල.මගේ වාරේ ආවම ඇස් දෙකේ කඳුලුත් පුරෝගෙන සත්තලන් එලියේ ඉද්දි මම ඇතුලට ගියේ හරියට උන්දැව දාලා තනියම රට යනවා වගේ දුකින්.( දැන්නම් හිනා මතක් වෙනකොට )


අර පුටුව , ලයිට් , වටේ තියෙන අඬු පඬු දැක්කම අදත් ආයේ හැරිලා දුවන්න හිතුනත් මම හිත හදාගෙන වාඩි උනා.අදනම් ගලෝලම තමයි පස්ස බලන්නේ කියලා මම තදින්ම හිතා ගත්තා.දොස්තර ලයිට් එකකට x ray එක දාලා බලලා එහෙම

මේක ටිකක් අමාරු දතක්... ඔයා දඟලනේ නැතුව ඉදලා මට උදව් කරනන ඕනේ හරිද...බයවෙන්න දෙයක් නෑ දැනෙන්නෙවත් නෑ...

ඔහොම කියන ගමන් එය මගෙ කට අරින්න කියලා දත ළඟට ඉන්ජක්ශන් එකක් ගැහුවා.අනෙ අම්මෝ මට කෑ
ගහල අඬන්න හිතුනා.ඒ තරම් වේදනාවක්... ඉන්ජක්ශන් එක මෙහෙමනම් ගලවනකොට කොහොම ඇද්ද කියලා මට හිතුනා. රිදෙන්නෙ නෑ අරක මේක කියපු සේරම උන්ව මතක් කර කර මම හිතින් බැන්න උන්ට. විනාඩියක් දෙකක් යද්දි මගේ කටේ වම් පැත්ත නෑ වගේ මට දැනුනා, යටි තොල බර වෙලා බිමට කඩං වැටෙන්න වගේ දැනුනා.තවත් ටික වෙලාවකට පස්සේ දොස්තර කට අරින්න කිව්වා. මම ඇස් පියාගෙන කට ඇරලා වෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා එක හිතට හිතා ගත්ත.දත උඩින් මොකක් හරි දෙයක් තද වෙනවා වගේ දැනුනත් කිසිම රිදීමක් දැනුනේ නෑ මම කිටි කිටියේ ඇස් දෙක තද කරගෙන හිටියා. ව්නාඩියක්වත් ගියේ නෑ

ආ... නැගිටින්න ... මෙන්න ඔයාගේ දත...

දොස්තර හීනෙන් වගේ කියනව ඇහුනම තමා මම ඇස් ඇරියේ.ඇත්ත නේන්නම් දත ගලවනවා මට දැනුනෙවත් නෑ.ඉන්ජක්ශන් එක තමා එපාම කරපු එක. මට මාර හැපී මමත් එහෙනම් ගැලෙව්වා දතක් ඈ..පැයක් දෙකක් මම ඒ ජොලි මූඩ් එකේ ඉන්න ඇති.ටික ටික හිරි ගියාම දැනුන සනීපේ..... හප්පා ඒ ගැන මොකට කියනවද.... ඔයාලත් ගලෝලම බලන්නකෝ දතක්.

Aug 5, 2012

අසම්මත ප්‍රේමයක හිමිකාරි...

( චායාරූපය ගූගුල් දෙයියාගෙනි )


ඈත අහසෙ දිළෙන සඳට සිනා සළයි සිත
සඳ ඈතයි ළං වෙනු බෑ කඳු පාමුළ මම
වාං දමන සෙනේ හැඟුම් නුඹට බැඳුණු සිත
වහං කරන්නේ කෝමද මගෙ ජීවිතෙ නුඹ.....

ආළවන්ත කම් පෑවත් බොළඳ වෙලා සිත
නුඹ අහසයි මම පොළවයි තරං ඳුරයි අප
නුඹේ සනුහරේ ඈයෝ කැමති වේද මට
ලැයිම් පේළියේ වෙසෙනා සරෝජනී මම.....

නුඹට තරං කාසි පනම් නොතිබුනාට මට
සාගරේට වඩා ලොකුයි මගෙ මේ සෙනෙහස
කොළොම් පුරේ විච්චූරන මං ළඟ නෑ හැඩ
කුංකුම පොට්ටුව විතරයි මං සතු වත්කම....

සංසාරෙන් සංසාරෙට පතා ආපු ලෙස
සිදාදියෙන් ආපු මහත්තයෝ මාව දැක
හරස් උනොත් අපෙ ළෙංගතු කමට වරිගයම
සත්තයි මං පහල දොලේ සැගවෙමි නොකියම...