සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Sep 19, 2012

ඒ සොඳුරු සමනළ් වියේ..........





හැන්දෑවෙ තුන වෙද්දි කිරි කොක්කු වගේ ඇද ගත්තු බාලිකාවියනුත් එයාලගෙ දෙමාපියන්ගෙනුත් ඉස්කෝලෙ ප්‍රධාන ශාලාව පිරෙන්නට උනා.බාලිකාව පුරාම තිබුනෙ අමුතු ලස්සනක් අපි හිටියෙ කඩියො වගේ කඩිසර කමින් එහෙ මෙහෙ දුවමින්.මේ අපේ ඉස්කෝලෙ අපේ මහන්සියෙන් එළි දකින අන්තිම කළා උළෙල.ඒක පුලුවන් තරම් උපරිමෙන් ලස්සනට සාර්ථකව කරන්න අපි හැමෝගෙම හිතේ තිබුනෙ පුදුමාකාර උනන්දුවක් කැපවීමක්.ලබන අවුරුද්දෙ කළා උළෙල කරන්න අනේ අපි මේ ඉස්කෝලෙ නෑ නේද කියල මතක් වෙද්දි පපුවට පුංචි දැවිල්ලක් දැනුනත් අපි හැමෝම ඒක හංගගෙන හිනා වෙලා හිටිය.

සංජුයි මමයි හිටියෙ ශාලාවට ආරධිත පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එන දොරටුව ළඟ එයාලව පිලිගන්න.මුලින් දෙමාපියන් පිළිගන්න දාල තිබුන මාව අන්තිම මොහොතෙ කට්ටිය මේ පැත්තට තල්ලු කලේ ඇයි කියල මම දැන ගෙන හිටිය.ඒ හින්දම මම හිටියෙ බුම්මගෙන.සංජුනම් කිව්වෙ මම පුප්පන්නෙ බොරුවට කියල.

පව් හලෝ ඒ අසරණය.... දැන් මාස කීයක් තිස්සෙ පස්සෙන් එනවද... අදවත් ගනන් උස්සන්නෙ නැතුව පොඩ්ඩක් කතා කරනවකො...මටනම් ආදරේ හිතෙනව ඌට...
සංජුගෙ ඒ කතාවට මට බක්ස් ගාල හිනා ගියා.

ඉතින් උඹ ඒක එයාට කියපන්කෝ .... එතකොට මටත් කරදරයක් නෑ...
කොහෙ කියන්නද ඌ හරියට නිකන් ගජමන් නෝනා පස්සෙ වැටිච්ච ඇලපාත මුදලි වගේ උඹ පස්සෙමනෙ....

මං ලඟත් ඕව්ට දෙන්න ඕන තරම් උත්තර තිබුන උනත් මම හිනාව තද කරගෙන ඇතුලට යන අයට හිනා වෙලා සමරු කලාප බෙදුව.

ඒයි... ශානි...

බෞද්ධ බාලිකාවෙන් ආපු සෙට් එක එක්ක පොඩ්ඩක් කතා කර කර ඉද්දි සංජු මගේ පිට කෙනිත්තුව.මම ඌයි කියාගෙනම සංජු දිහා බලද්දි එයාගෙ ඇස් තිබුනෙ ගේට්ටුව ගාව.මමත් එහෙමම ඒ පැත්තට ඇස් ගෙනිච්ච.අඩි හයකටත් වඩා උස ඒ හිතුවක්කාරයව හැමෝටම උඩින් කැපිල පේන නිසා වැඩිය ඇස් වෙහෙසන්න ඕන උනේ නෑ.ගේට්ටුව ගාව ඉදන්ම ඒ ඇස් හතර අතට කැරකෙන්නේ මාව හොයන්න කියල මම විතරක් නෙවෙයි අපෙ මුලු පංතියම දන්නව.මම හිමින් සැරේ සංජුගෙ පිටිපස්සට උනා.

මේ මොකද මේ.... හාල්මැස්ස වගේ ඉන්න මගේ පිටිපස්සට ගියාම තලපතා වගේ ඉන්න උඹව පෙන්නෑ කියලද හිතන් ඉන්නෙ...විකාර නොකර ඇවිත් ඔන්න ඕක බෙදපං...


සංජු මාව අතින් ඇදල අරන් ඉස්සරහට කලා.ඒ වෙනකොට එයාල අපි ළඟට ඇවිල්ලත් ඉවරයි.සංජු බොහොම සුහඳව එයාල එක්ක දොඩමලු උනා. මම හිටියෙ බිම බලාගෙනමයි.මම දැක්කෙ එකම විදියට ඔප දාපු එකම විදියෙ පිරිමි සපත්තු ජෝඩු හතරක් විතරයි.

සංජු මේ.... ඔන්න මෙයා අපි දිහා බලල හිනාවෙල කතා කලේ නැත්තං අපි ඇතුලට යන්නෙ නෑ හරී...

එතන හිටපු තවත් දඟකාරයෙක් එහෙම ගෝරණාඩුවක් දැම්ම.

ගනන් ගන්න එපා සංඛ ... ඔයාල දන්නවනෙ මෙයාගෙ හැටි...

සංජු කිව්වෙ හිනා වෙවී.

එහෙම බෑ ... ඇයි යකෝ අපිට ඉන්වයිට් කරලා මෙහෙම පාට් දාන එක කැතයිනෙ අප්පා...

ඊලඟට තවත් එකෙක් එහෙම කිව්ව.

මෙයාලව මෙතනින් යවන්න මට සෙකන්ඩ් වෙන්නම වෙනව කියල ඒ වෙනකොට මට තේරිල තිබුනෙ.මේ පැත්තට ඇස් තියාගෙන ඉන්න මිස් කෙනෙකුට නෝට් වෙලා නිකන් ලෙඩ දාගන්න තියෙන බය නිසාම මම ඔලුව උස්සල කට්ටිය දිහා බැලුව.අර ඇස් දෙක මං ළඟම හිනා වෙවී ඉන්නව මම දැක්කෙ එතකොටයි.මොකද දන්නෙ නෑ අද එයා මෙච්චරම නිශ්ෂබ්ද... මම එහෙම හිත හිතම එයාලට සමරු කලාප දික් කලා.

ඈ බං සංජු... හයුස්කූල් එකේ අපිව පිලිගන්න මීට වැඩිය ලස්සනට හිනා වෙන්න දන්න එකියක් හිටියෙම නැද්ද... මෙයා හරියට කාලි අම්මගෙ වද පුංචිගෙ දුව වගේනෙ...


ආයෙත් අර සංඛ කියන එකා කෑ ගැහුව.සංජු මහා හයියෙන් හිනා උනේ ඉන්න තැනත් අමතක කරල.ඒ වෙලාවෙනම් මටත් හිනා ගියා.

ෂා...... ඔය තියෙන්නෙ..... ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා......

මෙයාල මෙච්චර මට වදේ ගහන්නෙ සචින් මං ගැන උනන්දුයි කියල දන්න නිසා.මගේ යාලුවො වගේම එයාගෙ යාලුවොත් ට්‍රයි කලේම අපි දෙන්නව සෙට් කරන්න.

අනේ.... ළමා...........යි... දැන් යනවද ඇතුලට ඉක්මන් කරලා පේනවද පිටිපස්සෙ පෝලිම...

ඒ වෙනකොටත් අපි ආරධනා කරපු තව පාසල් දෙක තුනකින්ම ළමයි එතන්ට රොක් වෙලා තිබුන.සංජු හොද වෙලාවට එහෙම කිව්වෙ නැත්තං මෙයාල තවත් මෙතන ඉදිවී විකාර කර කර.

සචින්ලගෙ නඩයෙන් අන්තිමට ඇතුලට යන්න ආවෙ සචින්. මම එයාට දීපු අපේ කළා උළෙලෙ සමරු කළාපය එයා ආයෙම මට දුන්න.මම පුදුම වෙලා එයා දිහා බැලුව.

මේක ඔයාට.... ඔයා මේක තියාගෙන මට වෙන එකක් දෙන්න...

එයා එහෙම කියල මගේ අතේ තිබුන පොත් මිටියෙන් එකක් ඇදල අරගෙන මගේ නලලට වැටිල තිබුන කෙස් රොදකට කටින් පිඹගෙනම ඇතුලට ගියා.යාන්තමට වැදුණු ඒ හුස්මට මගේ මුලු ඇගම හිරි වැටිල ගියා. පොත් මිටිය බදාගෙන හිටපු මගේ අත් පවා වෙව්ලන්න ගත්ත.

උඹ ඌට කොච්චර ගනන් ඉස්සුවත් ඌ ලඟදි උඹ බ්ලශ් වෙනව ශානී... ඒක උඹට තෙරෙන්නෙ නෑ ඒත් බලන් ඉන්න අපිට පේනවා...

සංජු කිව්වෙ ඇත්ත උනත් මගේ හිත ඒක පිළිගන්න මැලි උනා.පාසලේ මොන තරම් නිහතමානි දඟකාර ක්‍රියාකාරි සිසුවියක් උනත් පිරිමි ළමුන් ලඟදි මම බොහොම ආඩම්බර චරිතයක්.එයාලගෙ ඇසුරෙදි මම බොහොම නිශ්ෂබ්ද කෙනෙක්.කවදාවත් එයලා එක්ක විහිලු කරගෙන එකට එක කියාගෙන යන ගතියක් මට තිබුනෙ නෑ.ඒ නිසාමද මංද සමහර වෙලාවට පිරිමි ලමයින්ට මාව වැඩියෙන් නෝට් උනා.එයාල මං ගැන වැඩිපුර උනන්දු උනා හෙව්ව කලා.පාසල් යන කාලෙදි පෙම් පටලැවිල්ලක් ඇති කර ගන්නෙ නෑ කියල මහ ලොකුවට හිතට හිතාගෙන උන්නෙ නැති උනත් මගේ අතින් එහෙම උනා.සමහර විට එහෙම උනේ තාත්තගේ දැඩි රැකවරණය නිසාමද කියලත් මට හිතෙනව.තාත්තා ඕනාවටත් වඩා මාව පරිස්සම් කලා.මගේ ජීවිතේ පිරිමි ළමයි හමුවන්න ඔවුන් හා ගැටෙන්න තියෙන අවස්ථා අවම කරන්න තාත්ත හැම තිස්සෙම වග බලා ගත්ත.අම්මගෙ තාත්තගෙ ආදරේ ඕනාවටත් වැඩිය ලැබුණු නිසාම වෙන ආදරේක අඩුවක් හිස් තැනක් ජීවිතේට දැනුනෙත් නෑ.මේ හැම හේතුවක් නිසාම වෙන්න ඇති මම ලැබෙන හැම පෙම් ආරාධනාවක්ම ප්‍රතික්ශේප කලා.ඒත් මොන එහෙකටද මංද මේ කොල්ලා සචින් ගැන මගේ හිතට මොකක්දෝ දෙයක් දැනෙනව.එයා මගේ හිත හොල්ලන්න හදනව කියල මට තේරෙනව.

ඒයි.... ශානි බලපං සචින් දීපු Souvenir එකේ මොනාද ලියලා තියෙන්නෙ කියල. මම දක්ක උඹ ඒක දීපු ගමන් මෑන් මෙතන තියාගෙන මොනාද ලිව්ව....

එහෙට මෙහෙට දුව දුව වැඩ කරන අස්සෙ ලැබුන පුංචි ඉඩකදි සංජු මට කිව්ව.

දැන් බෑ පස්සෙ බලමු...

මම එහෙම කිව්වෙ එයා මොනා හරි ලියලනම් දැන් ඒක බලල ඔලුව අවුල් කර ගන්න ඕනෙ නැති නිසා.

උඹ දනන්වද... සචින්ලගෙනුත් අද අයිටම් එකක් තියෙනවා... මුන් මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ...

උන් මොනවා කලාම අපිට මොකද .. අපි අපේ අයිටම් එකට ලෑස්ති වෙමුද...

මම එහෙම කිව්වෙ සංජු කියපු දේ කණකට ගත්තෙ නෑ වගේ උනාට හිතටනම් මොකදෝ උනා වගේ දැනුන.

ඇයි බං උඹ ඌට ඔච්චර අකමැති...? බලපං නියම උස... නියම මහත... ක්‍රේල් කොණ්ඩෙ...නියම හැන්ඩිය...
කලා සංගමේ සියලුම නිළධාරිනියන් සහභාගි වෙන නැටුමට ඇදුම් මාරු කරද්දි සංජු විතරක් නෙවෙයි ගංගි , නිපූ , තරූ පවා මට වදේ ගහන්න ගත්ත.

පිස්සු... එයා මාධවන් තරම් ලස්සන නෑ...ඒ තරං ලස්සන හිනාවකුත් නෑ..

මම එහෙම කිව්වෙ හැමෝම හිනා ගස්සන්න උනාට උන් මට විතරක් නෙවෙයි අසරණ මාධවන්ටත් බැන්න.

අනේ උඹෙ මාධවන්... බලන් හිටපං එනකන් කැන්දන් යන්න...


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ණහිස ගාවට කොට රෝස පාට චීත්ත ගවුම් ඇදල කොන්ඩ කරල් දෙක ගොතල වේදිකාව උඩට යද්දි කකුල් දෙක පුදුම තරම් ගැහුන.පොඩි කාලෙ ඉදන් මේ වේදිකාව උඩ කොච්චර සෙල්ලම් දාල තිබුනත් හැමදාමත් මේක උඩට නගිද්දි ගර්වයට මුසු වෙච්ච පුංචි බයක් හිතට දැනෙන එක අමුත්තක් නෙවෙයි.ඒත් අර උස කොල්ලගෙ දිග ඇස් මං වටේ කැරකෙද්දි මට හරියට නටාගන්න බැරි වෙයි කියලමයි හිත කිව්වෙ.

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනු වූ
බාලිකා ලොව මැලවුන දා
මුලු ලොවටම රෑ වෙනවා...


පසුබිමින් වාදනය වෙන ගීතයට බොහොම අපූරු නර්තනයක් අපි හැමෝගෙම මහන්සියෙන් ලස්සනට දිගහැරුණ.ඕඩියන්ස් එක දිහා නොබල ඉන්න මම තරයේම හිතා ගත්තත් මගේ ඇසුත් මටත් හොරෙන් ඒ රුවම හොයනව කියල මට තේරුනා.

නැටුම ඉවර උන ගමනම අපි හැමෝම කඩිමුඩියෙ දුවල ගියේ අපිට පැවරිච්ච තව රාජකාරි දාහක් තිබුන නිසයි.විනාඩියට දෙකට ආපහු යුනිෆෝම් එකට මාරු වෙලා අපි අපිට අදාල තැන් වලට ගියා.කොහෙ කොහෙ මොනාට දිව්වත් මගේ ඇස් දිව්වේ සචින් ලඟට. මගේ හිත දිව්වෙ සචින් දීපු සමරු කලාපෙ මොනවා ලියලා ඇද්ද කියල බලන්න.මෙච්චර කාලෙකට කාටවත්ම කරන්න බැරි උන හපන් කමක් මෙයා කරන්නෙ හදන්නෙ කොහොමද කියල මට හිතා ගන්නවත් බැරි උනා.

කළා උළෙලෙ අවසන් භාගයේ තිබුනෙ ආරාධිත පාසල් වල ඉදිරිපත් කිරීම්.එක එක පාසල් වලින් විවිධ අංග ඉදිරිපත් කර කර යද්දි මගේ හිත එන්න එන්න වේගෙන් ගැහුණ.වේදිකාව අයිනෙ තිරේකට මුවා වෙලා මම හිටියෙ නොසන්සුන් හදවතින්.තරූගේ හඬින් සචින්ගෙ නමයි පාසලයි කියද්දි ස්ටේජ් එකෙ එහා පැත්තෙ හිටපු සංජු මේ පැත්තට දුවගෙන ආව.

ආ...ව්....ආ...ව් බලමු කුමාරයගෙ වැඩ.


සචින් වේදිකාවට එන්නත් කලින්ම සංජු කියවන්න පටන් ගත්ත.අපේ කට්ටිය සේරමල එහෙ මෙහෙ අහුමුලු වල ඉදගෙන මට හිනා උනා.

එයා ගිටාර් එකකුත් අතින් අරන් දුවගෙන දුවගෙන ඇවිත් ස්ටේජ් එකට නැගල ඉස්සෙල්ලම බැලුවෙ මං දිහා.පුරුදු විදියට මම බිම බලා ගත්ත. එයා අපි කිට්ටුවටම ඇවිත් සංජුගෙන් පුටුවක් ඉල්ලුව. සංජු දඩි බිඩි ගාල පුටුවක් ගිහින් ස්ටේජ් එක මැද්දෙ තිබ්බ.එයා ඒ පුටුවෙ වාඩිවෙලා ගිටාර් එකත් කකුලට හිර කරගෙන ආයෙම සැරයක් මං දිහා බලල ගිටාර් එකේ තත් පිරිමදින ගමන් හිමිහිට ඇස් පියා ගත්ත.


I've been alone with you inside my mind
And in my dreams
I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello.........
Is it me you're looking for..........?



Lionel Richie ගේ ඒ ලයාන්විත ප්‍රේම ගීතය සචින් බොහොම අපූරුවට ගායනා කලා.මුලු ශාලාවම නිහඬ නිසල වෙලා සචින්ගෙ ගායනය දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.ඒ සිංදුවෙන් කියන වචනයක් වචනයක් පාසා මගේ හිත ගිනියම් උනා. ඒ හැම අකුරක්ම මං වෙනුවෙන් කියල මට දැනුන.දැහැනට සම වැදිල වගේ ඇස් පියාගෙන සචින් ගායනා කරන දිහා මම ඇස් පිල්ලමක්වත් නොගහ බලන් හිටියෙ ඇස් වලට කඳුලු පිරෙද්දි.මේ වෙනකන් වෙන කිසිම පිරිමි ළමයෙක් ගැන නොදැනුන දුකක් අනුකම්පාවක් මට ඔහු ගැන දැනුන.ඒ අනුකම්පාව ආදරේකට පෙරලෙයි කියල මට බය හිතුන.

ඒ වෙලාවෙ මගෙ හිතේ තිබුන නොසන්සුන් කම මගේ ලඟම හිටපු සංජුට ඕනාවටත් වැඩිය දැනෙන්න ඇති.සංජු හිමිහිට මගේ අතින් අල්ල ගත්ත.

ආදරේ ගැන පැණි බේරෙන කවි කතා ලියන උඹ ඇයි බං මෙච්චර ආදරේට බය...
සංජු කියප දේ නෑහුන ගානට මම සචින් දිහාම බලන් උන්න.

උඹ සචින්ට කැමති... ඒක උඹේ ඇස් වල ලියවිලා තියෙනවා...

වෙන්
ඇති සංජු... ඒත් කැමැති කියන්නෙ ආදරේට නෙවෙයි.ආදරේ ඊට වඩා වෙනස් දෙයක්..

උඹේ ඔය මහප්‍රාණ තමා මට දිරවන්නෙ නැත්තෙ...මට ඇත්ත කියපං උඹ සචින්ට කැමති නැත්තෙ ඌ ටැමිල් නිසාද...?


සමහරවිට වෙන්න පුලුවන් සංජු... දැන දැනම මිරිඟුවක් පස්සෙ දුවල හති වැටෙන්න මට බෑ... මම ආදරේ කලොත් ඒ එක පාරයි..ඒ නිසා හදිස්සි වෙන්න මම බයයි..

සචින් හොද එකා...


වෙන්න ඇති... ඒත් මගේ තාත්ත ලෙඩ ඇදේ ඉද්දි මට පිස්සු නටන්න බෑ සංජු... එයාට මාව කොච්චර විශ්වාසද... මට ඒ විශ්වාසෙ මේ වගේ දේකින් කඩල දාන්න බෑ...උඹ දන්නවද මම දුකින්...මේ අපේ අන්තිම කළා උළෙල.. ඒ වගේම මේ මගේ තාත්තට මගේ දෙයක් බලන්න එන්න බැරි උන පලවෙනි දවස...

මගේ ඇස් වලින් හෝ ගාල කඳුළු වැටෙන්න ඇති.සංජු ඒ කඳුළු වැටෙන්නත් කලින් පිහිදුව.

සොරි කෙල්ලෙ... අඬන්න එපා මට ඒක එච්චර දැනුන්නෑ....

සංජු මාව සැනසුව.කඳුලු පිහිදගෙන ඔලුව උස්සද්දියි දැක්කෙ සචින්ගෙ සිංදුව ඉවර වෙලා තිරෙත් වැහිල ඒත් සචින් යන්නෙ නැතුව පුදුමෙන් වගේ මං දිහා බලන් ඉන්නව.මම පඩිපෙළ පැනල ඉක්මනට ඩ්‍රෙසින් රූම් එකට ගියා.සංජුත් මගේ පස්සෙන්ම ආව.

දැන් අඬන්න එපා බං.... මම දන්නවා උඹට සචින් ගැනත් දුකයි.... මං එයාට පස්සෙ හිමිහිට තේරුම් කරල දෙන්නම්... මීට පස්සෙ මම අනිත් උන්ටත් කියනව ඌව අල්ලල උඹට විහිලු කරන්න එපා කියල...
පහුවෙලා හරි සංජුට මාව තේරුන එක ගැන මම සතුටු උනා.ඒ වගේ සචිනුත් මාව තේරුම් ගනීවි කියල මම විශ්වාස කලා.ආයෙ ඒ ඇස් වලට පේන්න යන්නෙ නෑ කියල මම හිතා ගත්ත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අවුරුද්දෙ කළා උළෙල සාර්ථකව අවසන් කරල අපි හැමෝම ගෙවල් වලට ගියේ හරිම සතුටින්.කොච්චර හිතේ දුකක් තිබුනත් මමත් ඒ සතුට උපරිමව වින්දා.ගෙදර ගිහින් ඉඩක් ලැබුන හැටියෙම මම කලේ සචින් දීපු Souvenir එක දිග ඇරල පිටු පෙරලපු එක.

පොතේ මැදකට වෙන්න තිබුන පිටුවක හිස් තැනක කළබලේට ලිව්ව උනත් බොහොම ලස්සනට ගලපපු අකුරු ටිකක් තිබුන.

නිතර ඔබේ නෙත මා වෙත හෙලනා
අහංකාර බැල්මේ
රිදුම් දුන්නත් මසිත තවමත්
ඔබට පමණයි ආදරේ......


ඒ අකුරු අතර ඇස් දුවද්දි ආයෙම හිතට මොනාදෝ උනා.මම ඇස් වල කඳුලුත් එක්කම තවත් පිටු පෙරලුව.තවත් පිටුවක මෙහෙම තිබුන.

" ඔච්චර ආඩම්බර වෙන්න එපා... ඔයා ආඩම්බර වෙන්න වෙන්න මගේ ආදරේ තව තව වැඩි වෙනවා "

ඊළඟ පිටුවෙ ලොකු Heart එකක් ඇදල ඒක මැද්දෙ S + S කියල ලියල තිබුණ.

ශානී..... සචින්....

මම හිතින් මුමුණල බැලුව.අපූරුවට ගැලපෙන නම් දෙක.

ඒත් නම් ගැලපුනාට අපි ගැලපෙන් නෑ සචින්....මට සමාවෙන්න....


තව මොනවා ලියලා තිබුනත් මම මේක කියවන්නෙ නෑ කියල හිතාගෙන පොත වහල මේසෙ උඩට විසි කලේ ආයෙ කවදාවත්ම දිගහරින්නෙ නෑ කියල හිතාගෙන.

_________________ ~~ ___________________

ප / ලි - අතීතයේ දවසක්දා එයාට ඔන්න ඔහොමලු උනා කියන්නෙ. ඉතින් ඊට පස්සෙ හිතුව වගේම ආයෙ කවදාවත් එයා ඒ පොත දිග ඇරියෙ නෑලු.මේ කතාව එයාට මතක් උනේ පහුගිය දවසක තරියා දාල තිබුණු
බාලිකා පාසලක අමතක නොවන මෙහෙයුම දැකලලු.ඉතින් තරියාට ස්තූතිලු.

ප/ප/ලි - මේක සිතුවිල්ලක් පමණි නෙමෙයිලුද මංද
Link

Sep 17, 2012

ඒ ඔබය ඔබමය - 3 කොටස



මුල් කොටස් අමතක අය ගොහින් බලලම එන්නකෝ

ඒ ඔබය ඔබමය - 1 කොටස

ඒ ඔබය ඔබමය - 2 කොටස



මො
ක්දෝ මහ අමුතුම හැඟීමක් හිත වට කොට පවුරු බදිද්දී සතියක් දෙකක් නිසොල්මනේ ගෙවී යන්නට ඇත.සොල්දරයට වී මා පිනි ජම්ඹු ගහේ අතු අතරින් අපූරුවට දිස් වෙන දළදා මාළිගාව දෙස ඔහේ බලා සිටියෙමි.පෙරදාක එහෙදී වූ අපූරු හමුව සිහිව මා මුවට හීන් හිනාවක් නැගුණි.ඒ ආගන්තුක හමුවෙන් පසු අද වන තුරු මා ආයේ දළදා වදින්නට ගියේ නැත.ලෙඩක් දුකක් හැදුනද හැන්දෑවට හැන්දෑවට දළදා මාළිගාවට නෙළුම් මල් වට්ටිය පුදන්නට යන ගමන අත් නොහරින මා මතක ඇති කාලයක මේ ඒ ගමන මගහැරියාමය.වලව්වේ අයට එය පුදුම හතෙන් එකක් මෙනි.

සුදු මැණිකෙ... අදත් දළදා උන්නාන්සේ වදින්න යන්නෙ නැතැයි

හැන්දෑවේ තේකත් රැගෙන මා සොයා පැමිණි ඩිංගිරි අම්මා මගෙන් විමසයි.

හිතක් නෑ ඩිංගි අම්මා.... ඇගට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා

සීවරං දෙයියනේ... අර මොකෑ සුදු මැණිකෙ...? මුකුත් ලෙඩක් දුකක්වද්ද...?

අයියෝ නෑ ඩිංගි අම්මා ... මේ කම්මලි කමට වෙන්න ඇති...


මා එසේ නොකීවානම් ඩිංගි අම්මාගෙන් බේරෙනවා බොරුය.

සුදු මැනිකෙ .. මං කොත්ත මල්ලි ඩිංගිත්තක් තම්බලා ගේන්නද.....සුදු මැණිකේ... මම හිසට තෙල් සාත්තුවක් කරන්න්ටද....ඔය වගේ තව කීයක් දේවල් අහවිද මංද.පුංචි දවස්වල මමත් මල්ලිත් තරගෙට ලෙඩ කියමින් ඇය ලවා හිස අත ගාගන්නවා මට මතකය.

ඩිංගිරි අම්මා වලව්වේ ප්‍රධාන මෙහෙකාරියයි.ඇය මෙහේ පැමිණ ඇත්තේ අම්මා අප්පච්චී සමඟ විවාහ වී මෙහි ආ දා අම්මාත් සමඟමය.විවාහ වී දරුවන් ලබන්නට පින්මද ඇය මාවත් මල්ලීවත් දෑහේ මූනේ තියාගෙන හැදුවේ වැඩුවේ ඇගේම කුසින් බිහිවුන දරුවන් මෙන් ප්‍රේමයෙනි.අපේ අම්මාට වඩා වසර හත අටකට පමණ වැඩිමල් වූ ඩිංගිරි අම්මා මේ වලව්වේදී අම්මාව බලා කියා ගත්තේද කුඩා දරුවෙකු මෙනි.අම්මා කවදත් ඇයට මෙහෙකාරියකට මෙන් සලකනවා මා දැක නැත.අම්මා තෙවෙනි දරු උපතට සූදානම් වෙද්දී මල්ලිත් මමත් වැඩුණු ළමුන් විය.බොහෝ කල් ගොස් අප්පච්චීට තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය දැනුනේ අපි හැමෝගෙම අවාසනාවකටදැයි මට නිතරම සිතේ.ඒ දරු ප්‍රසූතියේදි අම්මා මෙලොව හැර ගිය නිසාය.දවස් කීපයක් වීදුරු පෙට්ටියක සිට පන නල රැකගන්නට වෙහෙසුණු අපේ අලුත් සහෝදරියද මෙලොව හැර අම්මා සමගම යන්නට ගියාය.

අම්මාගේ අකල් මරණයට අප්පච්චී වගකිව යුතුයැයි කාලයක් යනතුරුම අම්මාගේ සනුහරේම අප්පච්චීට දෙස් දෙවොල් තැබීය.එහෙත් අප්පච්චී සියලු ගල් මුල් පතාක යෝධයෙකු සේ නොසැලී දරා ගත්තේය.අම්මා මිය ගිය දවසේවත් අප්පච්චිගේ ඇසින් කඳුලක් වැටෙනවා මා දැක නැත.අප්පච්චී මේ තරම් දරදඬු උඩගු මිනිසෙකු වූයේ පරම්පරාගත මාන්නය නිසායැයි මට නිතරම සිතේ.

අක්...... කා........

මගේ සිතුවිලි සී සී කඩ කරමින් ඔය බෙරිහන් දීගෙන තරප්පු පෙල නගිනවා ඇසෙන්නේ යුවනෙක මල්ලීය.මේ වලව්වේ හිතූ හිතූ හැටියට කෑ කෝ ගසමින් නිදහසේ හැසිරෙන එකම ප්‍රාණියා ඔහු පමණි.

මොකෝ හලෝ.... මාළිගාව දිහා බලාගෙන අනිමිස ලෝචනාව කරනවද...

කොළඹ උසස් යැයි සම්මත ජනප්‍රියම පාසලක නේවාසිකව ඉගෙන ගන්නා මල්ලිගේ කතා විලාසය පමණක් නොව ඇවතුම් පැවතුම් පවා වලව් සම්මතයට පටහැනිය.එහෙත් මේ විශාල වලව්වේ මා සතුටින් සිටින්නේ නිවාඩුවට ඔහු ගෙදර එන දවස් ටිකටය.වසර දෙකකින් ඔහුට අක්කා වූ මා මල්ලීටනම් සම වයසේ මිතුරියක මෙනි.

මුකුත් නෑ ... හරී කමැලී අනේ.....

ඔය සදලුතලෙන් බැහැල පල්ලෙහාට එනවකො මටත් කම්මැලී අප්පා.... යමුද අදවත් මාළිගාව පැත්තෙ...?

අද බෑ මල්ලි... අපි හෙට හවස යමු.....ම්ම්ම්ම්ම්...

මොකද මේ උපාසකම්මා පන්සල් යන්න අදි මදි කරන්නේ...මම දැන් දවස් දෙක තුනක්ම නෝට් කලා...


මල්ලී ඩිංගි අම්මාට හපන්ය.මා එයට උත්තරයක් නොදීම හැන්දෑවේ අහසට හිනැහීමි.

මේ අක්කා......

මල්ලී මා උන් තැනම ගරාදි වැටට බර දී හරි බරි ගැසුනේ හරියට ලොකු කතාවකට මෙනි.

අපරාදේ නේද හලෝ විශ්ව අයියා කොළඹ උනේ.. කැන්ඩි හිටියනම් මරු නේද...?

ඒ නම ඇසී යටිපතුල් පවා සීතල වෙනවා මෙන් මට දැනුණි.එහෙත් මා වෙනසක් නොපෙන්වා ඉන්නට වෙර ගතිමි.

කවුද.... විශ්ව...?

ඕනාවට එපාවට මම එහෙම අහද්දි මල්ලි ඉනට අත් දෙක තියාගෙන මගේ මූණ දිහා බැලුව.ඒ බැල්ම මග ඇරල මම ආයෙම මාළිගාව දිහා බැලුව.

අනේ යනවා යන්න...ඔයා මේ මටනෙ බබා පාට් දාන්නේ...මේ අක්කා... ඔයා දන්න ලුණු ගොරක මදි හොදේ මාව තම්බන්න...

මල්ලි මගේ හිසට තරමක් තදින් තට්ටුවක් දැම්මේ මට හිනා වෙවී ඔලුක්කුවට මෙනි.

ඇත්තටම මට සියුම් ලැජ්ජාවක් දැනුනි. මේ සා ළඟින් ඉන්න මල්ලීට බොරුවක් කිරීම ගැන මට දුකක්ද දැනෙන්නට විය.

හා... එහෙනං දැන් කියන්නකො බලන්න ඔයා මේ මෙතන්ට වෙලා පැය ගානක් තිස්සෙ මාලිගාව දිහා බලාගෙන හීන මව මව හිටියෙ ඌ ගැන නෙවෙයිද....?

මල්...ලී... චී...කතා කරන කැත.... මිනිස්සුන්ට ඌ මූ කියන්න එපා...


හරි හරී ඉතින් ඕකට බොරුවට තරහ අරන් මම අහපු එක මග අරින්න එපා... මං ඌ කිව්වේ යාලු ෆිට් එකට... අනික ඔයාට මොකෝ ඌට ඌ කිව්වම..

මල්ලි එහෙම කිව්වම මට කට උත්තර නැති උනා. ඇත්ත නේන්නම් මට මොකෝ එයාට මොනවා කිව්වත් කලත්.අනවසරයෙන්ම මගේ හිතට ගොඩ වදින්න හදන විශ්වගෙ මග අවුරමින් මම එහෙම හිතුව.

ආ... අක්කා..... කියනවකෝ දැන් මෙතන ඉදන් හිත හිත හිටියේ කා ගැනද කියල...

මල්ලි ආයෙමත් කණ ළඟම සද්දෙට කතා කරල මගේ සිතුවිලි එහෙ මෙහෙ කලා.

ෂ්ෂ්ෂ්.....ඔච්චර සද්දෙට කෑ ගහන්න එපා මල්ලි ...... අප්පච්චි පුංචි කොනක් අල්ල ගත්තනම් ඇති.....මට තමයි විසුමක් නැති වෙන්නෙ....

මම එහෙම කිව්වෙ වට පිට බල බල ඇත්තටම පරාණ බයෙන්.මල්ලිටනම් ඒකේ වගක් නෑ එයාට කතාවට හිනාවට ගියාම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද මුකුත් වැඩක් නෑ.

බිය නොවන්න අක්කණ්ඩිය.... ආදරය කරන හැටි මම උගන්නන්නම්....

පපුවත් ඉස්සරහට දාල ගාම්බීර තාලෙට මල්ලි එහෙම කියනකොට මටත් හිනාව නවත්ත ගන්න බැරි උනා.අතින් කට වහගෙන මම හිනා වෙද්දි මල්ලි ආයෙම මට ලං උනේ කලිසම් සාක්කුවෙ ඔබා ගෙන හිටපු එයාගෙ මොබයිල් එකත් අතට ගන්න ගමන්.

අක්කා ... මම ඔයාට පොඩි මැජික් එකක් පෙන්නන්නද....

ඒ මොකද්ද ඒ....

මමත් හරි බරි ගැහිල සැදැල්ලෙ හාන්සි පුටුවට බර දුන්නෙ ඊ ළඟට එයා කරන්න හදන විකාරෙ මොකක්ද කියල බලන්න.මල්ලි අතේ තිබුන එයාගෙ මොබයිල් එකේ අංක කීපයක් ඔබල මගේ කණට ළං කලා.

මේක අල්ලගන්න... Answer කලොත් ඔයා කතා කරන්න මම එනකං... මම ටක් ගාලා එන්නම් අක්කා ... මට චූ බරයි...

පිස්සු මල්ලි ඔයාටනං ...කවුද මේ.....?

කතා කරල බලනවකො වදේ....


බලහත් කාරයෙන් දුරකතනය මා අතට දී මල්ලී තරප්පු පෙල දිගේ පහළට දිව ගියේය.මා දුරකතනයට කන් දීගෙන ඔහේ අසා සිටියෙමි.

කියන්න හිමරු මල්ලියා...


පුටුවට බර දී උන් මා විදුලි සැරයක් වැදුණු එකියක සේ නැගී සිට ගතිමි.මට මගේ සවන් අදහා ගැනීමට නොහැකි තරම්ය.ඒ අර ආගන්තුක කටහඬය.දළදා මාළිඟාව දෙසින් හමා එන සුළගේ පවා විසිරී ඇවිත් පහුගිය ටික දොහේම මගේ සවන් පත් අසල නින්නාද වූ ඒ ළයාන්විත කටහඬය.

________________ මතුසම්බන්ධයි_______________

Sep 4, 2012

මෙයාට සත්තලන් කියන මට තලන්න ඕනෙ බූවල්ලෙන් !






අනේ..... අයියෝ...... එපා..... එපා...... අයියෝ.....


මහ පාන්දර ජාමේ ලස්සන හීනෙකුත් බල බල හීතළට තුරුල් වෙලා හොදට දොයියගෙන හිටපු මාව සත්තලන්ගේ මර ළතෝනියකට උඩ විසි වෙලා වහලෙ වැදිල ආයෙම දබක් ගාලා ඇද උඩට පතබෑවුණා.ඒ වැටිච්ච පාරට ඔලු ගෙඩිය ඇද විට්ටමේ වැදිල ලස්සන පාට පාට තරු දෙක තුනකුත් විසි වුණා.යංතන් සිහි එලවගෙන කරුවලේ අත පත ගාල කාමරේ ලයිට් එක පත්තු කරල මං සත්තලන් දිහාවට හැරුණ.තප්පර දෙක තුනකට කලින් මර හඬ දීපු එකා මේන් පාඩුවේ නිදි.මගේ නින්ද කඩලා එයා නිදියන්න....? එව්වා කොහෙද මාත් එක්ක.බෙල්ලෙන් අල්ලලා හොලොලා හොලොලා කොහොම හරි කූද්ද ගත්තා.මේකා නිදා ගත්තම ආයේ ඉතින් පෙරේතයා පොලේ ගැහුවා වගේ තමා කණ ගාව හේවිසි ගැහුවත් ඇහෙරෙනවා බොරු.දැන් ඉතින් කට්ටිය මගෙන් අහන්න එපා පෙරේතයා පොලේ ගහලා ඉන්නවා දැකලා තියෙනවද කියලා.මම ඔය මහ දවල්ට පස්ස උඩ දාගෙන නිදා ගත්තම මාව අහන අයට සත්තලන්ම තමා කියන්නෙ " අන්න ඒකි නිදි පෙරේතයා පොලේ ගහලා වගේ " කියල.හා හා ඒ කතා මොකටද ... අපි යමුකෝ සත්තලන්ගේ දිහාවට.

වදෙන් පොරෙන් කොහොම හරි ඇහරව ගත්තට පස්සේ ඔන්න සත්තලන් කෙදිරි ගඟා ඇද උඩ වාඩි උනා.

ඇයි සත්තලන් ඔයා මහා හයියෙන් කෑගැහුවෙ...?


මම...? මම ... කෑ ගැහුවද....?


ඇස් ගෙඩි දෙකත් උඩ තියාගෙන මේකා මගෙන් අහද්දි මට ළඟ තිබුණ මෙගා බෝතලේ වතුර එකම ඔලුවේ හලන්න හිතුනා.ඇයි වදේ එයා නෙවෙයිනම් මමද මේ මල පාන්දර මර හූ තිබ්බෙ.

කෑ ගැහුවා නේන්නම් අනේ... ඒ සද්දෙටනෙ මාවත් උඩ විසි වෙලා ඇහැරුනේ

ආ... ඔව් නේ.. මම මහ නපුරු හීනයක් දැක්කා බබා...


නපුරු හීනයක්...?? වෙන්න බෑ මෙයා කියනව විදියටනම් මෙයාට කවදාවත් නපුරු හීනනම් පෙනිලා නෑ.මොකද මෙයා දැක්කොත් දකින්නේ සනී ලියෝන් එක්ක හවායි දූපතේ අසභ්‍ය ජවනිකාවක් රඟපාන එකක් එහෙමත් නැත්තන් කරීනා කපූර් එක්ක කාශ්මීර් වල මල් වත්තක තුරුල් වෙලා සිංදු කියන එකක් ඒකත් නෙවෙයිනම් ඩර්ටි පික්චැර් එක බලපු දවසේ ඉදන් එයාගේ ලිස්ට් එකට දා ගත්ත විද්‍යා බාලන් එක්ක මොකක් හරි මගුළක් නටන එකක් ඒ මොකවත් නෙවෙයිනම් ශකීරා එයා ඉස්සරහට ඇවිත් " Hips Dont Lie "කිය කිය එයාව බලෙන් වරදට පෙළබෙව්වා වගේ බොහොම හුරතල් ලස්සන අහිංසක හීන.එච්චර ලස්සන හීන පේන මෙයාට අද මොකක්ද මේ පෙනිච්ච නපුරු හීනේ කියලා මම කල්පනා කලා.

බබා මම දැක්කා ලෝකෙ විනාස වෙනවා...ඈතින් ලොකේ විනාස වෙවී එනවා අපි ගොඩාක් කට්ටියක් එක තැනකට කොටු වෙලා අඬ අඬ බලන් ඉන්නවා දැන් මැරෙයි දැන් මැරෙයි හිත හිත...


ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන සත්තලන් එහෙම කියනකොට මටත් බය හිතුනා හප්පච්චියේ දැන්ම මැරෙන්න පුලුවන්ද ...

ඉතිං සත්තලන් ලොකේ විනාස වෙලා අපි මැරුනද...

මම සත්තලන්ට තව ටිකක් කිට්ටු වෙලා ඇහුවා.

නෑ .. මැරෙන්න කලින් ඔයා මට ඔයාගේ අවසන් කැමැත්ත කිව්වා...

අවසන් කැමැත්ත...? යකඩෝ මමවත් නොදන්න මගේ අවසන් කැමැත්ත මොකක්ද . මම එහෙම හිතුවා.

බබා ඔයා කිව්වා මැරෙන්න කලින් අන්තිම පාරට නෝටි වැඩක් කරමු කියලා...

ඊ...ක්කා... මේකා කියන බොරු... ඔයනම් ෂුවර් එකට මගේ පිටින් යවන්නේ එයාගේ අවසන් කැමැත්ත වෙන්න ඕනෙ.


බොරු කියන්න එපා අනේ....

මම ලැජාවෙන් ඇබරි ඇබරි එහෙම කිව්ව.

බොරු නෙවෙයි අනේ... මම ඉතින් එහෙම බොරු කියන තාලේ මිනිහෙක්ද...ඔයා දන්නවනේ බබෝ මං ගැන.

අනේද කියන්නෙ මම නොදන්න සත්තලන්.( රහසින් එහෙම හිතමින් )

හරී.... දැන් ඉතින් ඔයා අර අනේ... අයියෝ.. එපා .. එපා.. කිය කිය කෑ ගැහුවේ ඇයි... අපි මැරෙන්න ගියාද...?

පික්ෂුද මෙයා..... ඉක්මනට මොනා හරි කරමු කියලා ඔයා අර දෙනොදාහක් ඉස්සරහ මගේ සරම කැඩුවනේ.විලිලැජ්ජාවේ සංතෝසේ වැඩි කමට මට කෑ ගැහෙන්න ඇති.

මට ආපු කේන්තියක්.... ඇද විට්ටමේ ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුනා... මගෙද...? පිස්සුද නෑ සත්තලන්ගේ.


නිදාගෙන හිටපු කොටියා බලෙන් කූද්දලා ඒකගේ හැටි දැන දැන මේ කියන ගජ බින්න අහන් හිටපු මට හොද වැඩේ... හොද වැඩේ... හොදම වැඩේ.



මේ වැස්ස දවස්වල මටත් හිතෙන ඒවා ... part 2


රිම කම්මැලී අප්පා මේ වැස්සේ මුකුත් කරන්න හිතෙන්නෑ.... හොදට පෙරවගෙන ගුළිවෙලා නිදා ගන්නමයි හිත.නවකතාවේ ඉතුරු කොටස දාන්න කියල තර්ජන ගර්ජන කෝටියයි.එත් මේ වැස්සෙ ආදරණීය වැහි කවි මිසක් කතාව ටයිප් කරන්නත් කම්මැලී.ඇඳට ගුළි වෙලා වැස්ස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ඔන්න මට මතක් උනා මීට අවුරුදු දෙක තුනකට කලින් වැස්ස දවස්වල මම ලියපු කවි වගේකුත් බුකියේ තියෙනවා නේද කියලා.අලුත් කවි ටයිප් කරන්න තියෙන කම්මැලි කම නිසාම ඕං ඒවා ගෙඩි පිටින්ම මේකට දාන්න හිතුවා.මේ ඉතින් මම ඉස්සර අරය ගැන හිත හිත එයාට ලියපුවලු හොදේ.