සඳට බැළුම් හෙලූ අය

Oct 27, 2017

උඹේ ඔය හිනාවත් ඇත්තමයි ඉනාවක් !


Gym එකේ ඈත කෙලවර
යෝගා දැහැනකට සම වැද
සිහින් සංගීත ස්වර අස
හෙමින් උස් පහත් වෙන ළැම
බිදින්නට හදන්නෙම මගෙ කුමර ඹබසර

මහ විසල් කැඩපතට හිනැහෙන
හැරි හැරී ඉඟ සුඟද නලවන
ගෙල පුරා පිපුණු දහදිය මල
උදෑසන මගෙ හැඟුම් පොබකල

පෝනි ටේලය දැමූ මුහුළස
මුදා යලි උඩට කර බඳිමින
ඇස් කොනින් හෙලූ අඩ බැල්මට
සලිත වුන හැගුම් විසිරුනි දස

හිනාවක්වත් මගේ දෙසට විසි නොකරන
යකඩ ගොඩවලුත් මට වඩා පින් කර ඇත
ඔයාගේ ඔය දිගටි ඇස් ළඟ
six pack හීන මගෙ බොදවෙන

Oct 25, 2017

ජීවිතෙම දැන් ඔබ මගේ !




හිත ගාව මල් හීන

මල් වාගේ පිපුනාම
ඔබ එන්න මල් මාවතේ...
අර ඈත සඳ ගාව
තරුවක් වගේ ඉන්න
වරුවක්ම මගෙ ජීවිතේ...

එලිවෙච්ච ඒ හීන
පන වාගෙ රැක ගන්න
මුඳු හාදු තවරා මුවේ...
මට ආයෙ හිනැහෙන්න
හීනය ළඟින් ඉන්න
ජීවිතෙම දැන් ඔබ මගේ....

නෙතඟින් බලා කීව
සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ...
හිම හීත බිඳු වාගේ
හීතලට ඇවිලෙන්න
උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....

Oct 19, 2017

ඉතින්, එ'සඳ !





මහා හයියෙන් වහින දවසට
තාමත් ඉස්සර වගේම
කුඩේ අමතක වෙන
හිතුවක්කාරිමයි තවමත් මම...

නාගෙනම ගෙට ගොඩවුන මට
ඉන්නවකො..බලන්නෑ මැරුනත් මම
කියා පුප්පා ගියපු ඔබ
තව අවුස්සන්නමයි ඉතින් මට හිත...

මේ වගේ සීතලට වහින දවසක
උණු කෝපි වලට වඩා විටෙක රස
හීතලම හීතල හිම කිරම බව
මට කියා දුන්නෙත් ඔබ...

වැදී සෝපාවෙ කෙලවරට තනියම
රහ කරද්දී අයිස් බදුන හිමිහිට
ඇස් කොනින් බලන
නො'ඉවසිලි එ' බැල්ම
කියන්නේ මට මහා මිහිරක රස...

ඉතින් තව මොහොතකින් - මොහොතකින්
ගිනිගන්න ඔය හැඟුම් අස
දියවෙනා බව දනිමි
වැනිලා රස පිරුණු ම' දෙතොල් 

පෙති රිදෙන්නම..

මෙව්ව මේ රයිටර්ට දාපු කවි කමෙන්ට් - ලු

Oct 15, 2017

මේ ප්‍රථම වසන්තයයි 05 !




මේ ප්‍රථම වසන්තයයි 1

මේ ප්‍රථම වසන්තයයි 2

මේ ප්‍රථම වසන්තයයි 3

මේ ප්‍රථම වසන්තයයි 4




 Good Morning  බන්ටි කොටේ .. අද හවස එනවා නේද ?

පාන්දර හය වෙනකොටම ඔයාගෙන් එස් එම් එස් එකක්.මට හිනා ඒක කියවල . දවස ගානේ ඔයාට මට කියන්න මොකක් හරි අලුත් නමක් තිබුන.බන්ටි කොටේ... කොහෙන් හොයා ගන්න නම්ද මන්දා.ඔයාගෙ හොදම යාලුව වෙච්චි මට මෙහෙම නම් හදනවනම් ඔයා ඔයාගෙ අයිතිකාරිට මොන මොනවා කියනා ඇද්ද කියල මම කල්පනා කලා.ඒත් ඔයා එහෙම එයා එක්ක කතා කරනව කියල යාන්තමටවත් ඇහිච්ච මතකයක් මට නෑ.ඔයා එයාට කතා කලේ චූටි කියල මම ළඟ ඉන්න කොට ෆෝන් එක රින්ග් වෙනකොට මම දැකල තියෙන්නෙත් ඔයා සේව් කරල තියෙන ඒ නම.ඒ එයාට ගෙදරට හැමෝම කියන නම.මම ඔයාගෙ ඔෆීස් එකේ ඉන්න වෙලාවට එයාගෙන් කෝල් එකක් ආවම කවදාවත් මම එතනට වෙලා හිටියෙ නෑ ඔය දෙන්නට නිදහසේ කතා කරන්න දීල හැමදාමත් මම හිමින් සැරේ පිටිපස්සෙ බැල්කනියට යනව.සමහර වෙලාවට ඔයා මට ඇස් වලින් අතින් පයින් යන්න එපා කිව්වත් මම ඉක්මනට නැගිටල අයින් වෙනව.ඔයාවයි එයාවයි එකට මතක් වෙලා ඒ උදේ පාන්දරම මගේ හිත හූල්ලන්න ගත්ත.වෙනද වගේ නෙවෙයි දැන් ඒක මහ ගොඩක් වැඩියි.මම කොට්ටෙ බදාගෙන ආපහු මුනින් අතට හැරුනෙ පපුවට දැනෙන දුක වහං කරගන්න.

කන ළඟම ආයෙමත් ෆෝන් එක වයිබ්‍රේට් උනා.ආයෙත් ඔයාමයි

නිදි කුම්බරී නැගිටිනවකො... කම්මැලි කෙල්ල..

ආයෙමත් මගේ මූණට හිනා පිරුන.

නැතෝ මම අද හවස එන්නෙ නැතෝ...

මම එහෙම රිප්ලයි කරල බලන් හිටිය.

අනේ... ඇයි ඒ... දැන් අපි යාලුනේ..

කවුද කිව්වෙ යාලුයි කියල... වැඩේමයි අනේ අපිනම්  යාලු නෑ...

මම තවත් ඔයාව ඇවිස්සුවා.

ඇත්තද.. එහෙනම් හිටපංකො මම ගෙදරටම එනව ..

මම කිව්වෙ හවස එන්නෙ නෑ කියලනෙ...

එහෙනම්...

මම අද උදේම එනව.. අද නිවඩු මම..ඉන්නවකො බලන් උදේ ඉදන් හවස් වෙනකන්ම කනක් ඇහෙන්න පුලුවන් වෙයිද කියල..

what...??? really....???

ඔන්න දැන් එයාට දන්න සින්හලෙත් අමතක වෙලා එච්චරට කලබලය.මට හිනා.ඊළඟට ඔන්න සුපුරුදු විදියටම ෆෝන් එක රින්ග් වෙනව.මම ඇස් පියාගෙනම ෆෝන් එක කන ළඟින් තියා ගත්ත.

ඇත්තමද බන්ටි මේ කියන්නේ...?

හ්ම්ම්ම් ඔව්...

ඇයි ඔෆීස් යන්නෙ නැත්තෙ...

මං නිවාඩු...

ඉතින් අක්ක දන්නවද...

නෑ පිස්සො ඔෆීස් යන විදියට තමා  එන්න වෙන්නෙ...

මගෙ අම්මෝ මේකි පැහිල තියෙන තරම්...

ඇත්ත තමයි මම දැන් පැහිලද කොහෙද. මීට කලින් කවදාවත් නොකරපු නොහිතපු දෙවල්මයි මට දැන් කරන්න හිතෙන්නෙ.

හා... එහෙනම් මම නෑවිත් ඉන්නම්..

ෂ් ෂ්..  කට කට බලමු නෑවිත් ඉන්න හැටි..

ඔයාගේ මේ ආදරණීය තර්ජන, සොඳුරු බල කිරීම් මම මීට කලින් කාගෙන්වත් අහපු විඳපු දේවල් නෙවෙයි.ඒව අහන්න අහන්න ඔයා ගැන මහා ලෝබ කමක් හිතට දැනෙනව.ජීවිතේ මෙතනින් මෙහෙමම නවත්තල ඔයා කියන දේකට  විතරක්ම අවනත වෙන ඇත්නම් කියල හිතෙනව. ඒත්.. ඒත්...මේක මිරිඟුවක්නෙ.

                            *         *       *        *        *        *        *


සුදුම සුදු බ්ලව්ස් එකට රෝස පසුබිමේ සුදු මල් වැටුනු කොට සාය ඇදල යාන්තමට තෙත මාත්තු කරපු කොන්ඩෙ කඩා දාල බස් එකෙන් බැහැල මම එන දිහා දුර ඉදන්ම ඔයා බැල්කනියට වෙලා බලන් උන්න. ඔයා ඇහි පිය නොහෙලා මම දිහා බලන් ඉන්න බව මට දැනුන. මටත් ඔයා දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ කෝල කමක් දැනුන.ඒත් ඇස් උස්සල බලපු තප්පරේදිම මට ආවෙ කේන්තියක්.ඔයා ඊයෙ හිටපු විදියමයි රැවුල කපල නෑ කොන්ඩෙ පිලිවෙලක් නෑ.මම අද ඔයාව ඒ විදියට බලා පොරොත්තු උනේම නෑ.මාත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නෙ නිසා ඔයා එහෙම ඉන්න ඇති කියන එක මම වහාම මගේ හිතින් ඉල්ලා අස් කර ගත්ත.ඔව් මේක වෙන ප්‍රශ්නයක්. ඔයා මොකක්ම හරි අවුලක. මට හිතුනෙ එහෙම.

අදනම් රෝස මලක්මයි...

ඇස් පුරා මාව විදින ගමන් ඔයා එහෙම කිව්ව.

ඔව් මමනම් මලක් තමයි... ඒත් ඔයානම් හෝතඹුවෙක් වගේ... චික් හැටි..

ඉනට අත් දෙකත් තියල මම ඒක කිව්ව තාලෙට ඔයා මහා හයියෙන් හිනා උනා.මටනම් හිනා ගියේම නෑ.

මොකද කොන්ඩෙ , රැවුල නොකපා ඒ සල්ලිත් වෙඩින් එකට එකතු කරනවද ?

හිතා මතා නොවුනත් මට එහෙම ඇහුන තරහටම.ඒ තප්පරේට ඔයාගෙ මූණෙ ඉරියව් වෙනස් උනා. ඒත් ඔයා එව්ව මගෙන් වහන් කලා.

අනෙ අම්මෝ රන්ඩු කෙක්ක මෙතන පැටලෙන්නෙ නැතුව ඇතුලට සැපත් වෙනවද...නැත්තන් අනිත් ඔෆීස් වල කට්ටිය බලයි මුන් දෙන්න උදේම කෙස් වලු පටල ගෙන කියල...

ඔන්න එතකොට තමයි මටත් මතක් උනේ ඔයාගෙ ඔෆීස් එකේ ඔයා විතරක් උනාට මේ බිල්ඩිමේ තව ඔෆීස් ගනනාවක්ම තියෙනවා කියල. මම හීන් සීරුවෙ ඇතුලට මාරු උනා.

මොනවද මට කන්න ගෙනාවේ...

ඇතුලට ආපු ගමන් ඔයා පැන්නෙ මගේ අතේ තිබුන බෑග් එකට.

මොනා කියන්නත් කරන්නත් කලින් කාලා ඉමු හොදේ මට  බඩගිනී අම්බානට...

ඔයා එහෙම කිව්වෙ ඇත්තටම බඩගින්නෙන් වෙන්න ඇති කියල මටත් හිතුන.ගෙදරින් හදාගෙන ආපු පාන් ටෝස්ට් ටිකයිP @ S එකෙන් ගත්ත කට්ලටුයි කිරි පැකටුයි ඔයාගෙ ඔෆීස් එකේ තියෙන පොඩි පෑන්ට්‍රි එකේ තියෙන පිගන් වලට දාල මම හරි ගස්ස ගෙන ආවෙත් හරි ඉක්මනට කතාවක් නැතුවම. එයාගෙන් කෝල් එක ආවෙ අපි කකා ඉන්න අතරෙ. පුරුදු විදියට මම හිමිහිට නැගිටින්න හැදුවෙ එලියට යන්න.

යන්නෙ එහෙම නෑ කෑම නවත්තලා .. ඔහොම ඉදන් කන්න..

ඒකනම් ඉල්ලීමක් නෙවෙයි තර්ජනයක් වගේ.ඔයා මං දිහා බලාගෙනම ෆෝන් එක ආන්සර් කලා.මම හොරාට නැගිටිද්දි ඔයා නැගිටල ඇවිත් මගේ වම් අතේ මැණික් කටුව ගාවින් තදටම අල්ල ගත්ත.ආයෙමත් මාව හිරි වැටිල ගියා.ඔයාටත් එක පාරටම මොකක්දෝ මතක් වෙලා අත හිමිහිට බුරුල් කරත් අත ඇරියෙ නෑ මගේ අත.මම තොල් පට විකාගෙන බිම බලන් හිටිය.හ්ම්ම්, ඔව් , නෑ, මම බලන්නම්... එහා පැත්තෙන් මොනා කතා කලත් මට ඇහුනෙ ඔයා දෙන බොහොම කෙටි පිලිතුරු.නෑ ඒක වෙන්න බෑ මේ තරම් ආදරණීය මනුස්සයෙකුගෙන් එයාගෙ ආදරීට එහෙම නොසැලකිලිමත් උත්තර...? ඔයා මොකක්ම හරි ලොකු අවුලක මට ආයෙ ආයෙ හිතුනෙ එහෙම.

නොදන්වා අත ඇල්ලුවට සමාව ගන්න ඕනද මැඩම්...?

කතාව ඉවර කරපු ගමන් ආයෙත් ඔයා සුපුරුදු සැහැල්ලු මූඩ් එකට.මම ඔයා දිහා බලල රැව්වෙ බොරුවට.

එහෙම තමයි මීට පස්සෙ මම කියන දේ ඇහුවෙ නැත්තන් පනිෂ් කරනවා...

ඔයා ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙක නේද ?

අහනවද නැද්ද කියල දෙතුන් වතාවක්ම හිතල අන්තිමට මම එහෙම ඇහුව.එක පාරටම වෙනස් වෙන ඔයාගෙ මූණෙ හැගීම් දිහාම මම බලන් හිටිය.මහා හුස්මක් පිට කරපු ඔයා මගේ බැල්ම මගහැරිය.

සොරි.. කැමතිනම් ඉතින් මට කියන්න මම ඔයාගෙ යාලුවනෙ...

කෙනෙක් කියන්න පස්ස ගහන දෙයක් කවදාවත් බලෙන් අහගන්න පුරුද්ද මට නෑ.අපි අතරෙ කොච්චර ලොකු බැඳීමක් යාලු කමක් තිබුනත් ඔයා ළඟදිත් මම එහෙමමයි.ඒත් මේ ප්‍රශ්නෙ කොයි වෙලේ හරි ඔයා මා එක්ක කතා කරයි කියන බලාපොරොත්තුව මට තිබුන.


 මම ප්‍රශ්නෙක තමයි බබා.. ඒත්  අද වගේ දවසක ඒව කතා කරල මේ තියෙන සතුට නැත කර ගන්න මට හිතෙන්නෙ නෑ... අනික ඔයා වගේ කෙනෙක්ට එව්ව කිව්වා කියලත් වැඩක් නෑ  බබෝ...ඒවට විසඳුම් හොයල දෙන්න තරම් ඔයා පැහිල නෑ...

ඔන්න කිව්ව ඉතින් එයා හිතන් ඉන්නෙ මම බබා කියල.මම එහෙම හිතුවට  මුකුත් කියන්න ගියේ නෑ.ඒත් මට දුක හිතුනා ඇයි වදේ මහ ලොකුවට හොදම යාලුවා මම ලු. ඒ උනාට  එයාගේ ප්‍රශ්නයක් මා එක්ක කතා කරන්න බෑ.ඔය මුකුත් මම කටින් නොකිව්වට ඔයාට තේරුනා මම අවුල් උනා කියල.

ම්ම්ම් .. හරි අපි කතා කරමුකෝ අද  හොදේ...අද හැන්දෑ වෙනකම්ම අපිට වෙලාව තියෙනවනෙ... මම හිමිහිට කියන්නම් සේරම...

ඔන්න ඔයා එහෙම කිව්වමනම් මට සැහැල්ලුවක් දැනුනා.දැන් ඉතින් මම දන්නව කොයි මොහොතෙ හරි ඔයාගෙ හිතේ හිරවෙලා තියෙන හැමදේම මගේ ඉස්සරහ දිගහරින බව.ඔයාගෙ ප්‍රශ්න වලට යම්තරමකින් හරි උදව්වක් වෙන්න පිහිටක් වෙන්න මටත් ඉඩ ලැබේවා කියල මම හිතින් හිතුව.




                                                          - මතු සම්බන්ධයි -

Oct 13, 2017

අහන්න මේඝා !



ඉර හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා
සඳ හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා

අහසටත් පොලවටත්
අ'තර දුර
තාම මම
නොදනිමියි මේඝා

ඒත්
හැම උදේ නුඹ
එවන පිනි පහසකින්
ම'හද මල විකසිතයි මේඝා

නුඹට හිමි කාරයන්
ඔය අහසෙ ඇති තරම්
ඒත් මම සදහටම
නුඹගෙ විතරමයි නුඹ දන්නවද - මේඝා...



අද උදේ අරූගේ ලෝකයේ තිබුන කවියකට මම  ලිව්ව පිලිතුරු කවියක් වගේ එකක්.

Oct 6, 2017

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් !




                ඔයාට මතකද....අදත් එදා වගේම දවසක්... එදා වැස්සෙත් මේ වගේම මොර සූරන වැස්සක්.පංති ඉවරවෙලා එලියට එන්න  මගේ ළඟ කුඩයක්වත් තිබුනෙ නෑ. ඒක මගේ පුරුද්දක් වැස්ස දවසට කුඩයක් අරන් යන එක හැමදාමත් මම හිතා මතාම අමතක කරනව. ඒකට හරියන්න එදා ඔයා මටත් එක්කම ලොකුම ලොකු කුඩයක්  ඉහලගෙන පාර ගාව බලන් උන්න.විශ්වාස කරන්න ඒ වෙනකොට අපේ ආදර කතාවට මාස හයක් ඉවර වෙන්නත් ළඟයි ඒත් මේ තමයි අපේ පළවෙනි සොඳුරු හමුවීම වෙන්නෙ.ඉස්කෝලෙ ඇරිල එනකොට පාර දෙපැත්තට වෙලා ඇස් වලින් විතරක්ම කතා කරන එකයි දවසක් ඇර දවසක් මගේම පංතියෙ හිටපු ඔයාගෙ නංගි අතේ ලියුමක් හුවමාරු කරගන්න එකයි පෙරුම් පුරල පුරල තාත්තට අහු නොවී ඔයා දෙන ඇමතුමකට වචන පහ හයක් කතා කරගන්න පුලුවන් වෙන එක ඇරුනම එදා තමයි අපිට අපිව මේ තරම් ළඟින් විදින්න ලැබුන පලවෙනි දවස.

                  දුවගෙන දුවගෙන ගිහින් ඔයාගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට කුඩේ යටින් නතර උනාම එතකොට අවුරුදු දාසයක පුංචි කෙල්ලක් වෙච්ච මට ඒ දැනුනු හැඟීම් අදටත් විස්තර කරන්න  බෑ... තේරුම් ගන්න බෑ...ඔයා හිටියෙත් මම වගේම අතරමං වෙලා නේද  ? ඒත් ඔයා ඒක පෙන්නුවෙ නෑ ඔය දුඹුරු පාට ඇස් බලා උන්නෙම මගේ ඇස්වල පැටලෙන්න.මම හිටියෙම ඒ ඇස් මඟ හැරල දුවන්න බලාගෙන.මුහුදු නිල් පාට අත් දිග කමීසෙයි කලු  පාට ඩෙනිම් කලිසමටයි එදා තරම් ලස්සනට මම වෙන කවදාවත් ඔයාව දැක්කෙ නෑ.

                  ඉස් ඉස්සෙල්ලාම ඔයා මගේ අතින් අල්ලද්දි මාව වෙව්ලුව තරම් ..... ඔයාටත් දැනුන නේද...ඔයා හිනා උනා... මට පිස්සි කියලත් කිව්ව...කටුබැද්දෙ ටිරෝන් එක ළඟින් කොටුව බස් එකක නගිද්දි හෙන පුපුර පුපුර වහිනව හරියට කල්පාන්තෙට වහින වැස්ස වගේ.ගෙදර හිටියනම් මම මේ වගේ වෙලාවට එක්කො අම්මගෙ එහෙම නැත්තන් තාත්තගෙ ඒ නැතත් අක්කගෙ හරි තුරුල්ලට වෙලා ඇස් පියාගෙන ගුළිවෙනව.හෙන පුපුරන අකුණු ගහන සද්දෙට තරම් මම වෙන මොනවටවත් ඒ කාලෙ බය නෑ.ගෑවි ගෑවී එකම  සීට් එකකක එක ළඟින් අපි දෙන්න වාඩි වෙනකොට මම හිටියෙ මල මිනියක් වගේ ගල් වෙලා සීතල වෙලා.ඒ අකුණු සද්දෙටද එහෙම නැත්තන් ඔයාගෙ අත්වල උණුහුමටද කියන්න මට තේරුනේ නෑ.

ඇයි මේ ..

මගේ අසාමාන්‍ය තිගැස්ම ඔයාටත් දැනිලද කොහෙද ඔයා එහෙම ඇහුව.

මට බයයි..

බයයි .. කාටද ... මටද...?

ඔව්..

මට එහෙම කියවුනා.

එහෙනම් මම පිටි පස්සෙ සීට් එකට යන්නම්...

අනේ... එපා...

ඔයා නැගිටින්න හදද්දි මම හයියෙන් ඔයාගෙ අත තද කරල අල්ල ගත්ත.

මං ගොරවනවටත් බයයි...

පිස්සි... මම ඉන්නවනෙ ... බය වෙන්න එපා...

                    එහෙම කියපු ඔයා මගේ කර වටේට ඔයාගෙ අත දාලා මාව උරහිසට වාරු කරගත්ත.ඇත්තටම මට ඒ වෙලාවෙ ඕන වෙලා තිබුනෙ එහෙම ආරක්ෂාකවක්.. රැකවරණයක්..සීතලට තෙමිච්ච පූස් පැටියෙක් එයාගෙ අම්ම ගාවට ඇවිත් ගුළි වෙනව වගේ මමත් ඔයාගෙ මුහුදු නිල් කමිසෙ මූණ හංගගෙන ඇස් පියා ගත්ත.මගේ හිස් මුදුනින් ඔයා ඔයාගෙ නිකට තියා ගත්තෙ මාව තවත් ඔයාගෙ ළඟටම කරන්.ගල්කිස්සට එනකන්ම අපි මුකුත් කතා කලේම නැති තරම්.අනේ මංදා.. කතා කරන්නත් ඇති ඒත් මට ඒවා මුකුත්ම මතක නෑ.ගල්කිස්ස හංදියෙන් බස් එකෙන් බැස්සට පස්සෙ එකම කුඩයක් යටින් තුරුලු වෙලා කොල්ලෙක් එක්ක  templers road එක දිගේ ඇවිදන් යන්න තරම් මම චන්ඩි කෙල්ලෙක් නෙවෙයි.ඒත් මාව ගේ ගාවටම ඇරලවලා මිසක් අද ඔයා යන්නෙ නෑ කිව්ව නිසත්.මේ මහා වරුසාවේ එහෙට මෙහෙට යන වාහනයක් ඇරුනම ඒ වෙලාවෙ  අපි වගේ පිස්සො කුඩයක් අරගෙනවත් පාරට බැහැල නැති නිසත් මගේ හිතේ මහා බයක් තිබුනෙ නෑ.මහ පාරෙන් අපේ ගෙවල් වලට යන පටු පාරෙ අපේ ගෙදර තාප්පෙ පේන දුරට වෙනකන්ම ඔයා මාව කුඩේ යටින් නොතෙමා පරිස්සම් කරගෙන ආව.ඒත් ඉතින් මම ගෙදරට යන්න ඕනෙ තෙත බරියන් වෙලා  මොකද ඒක තමා මගේ සාමාන්‍ය  විදිය වැස්ස දවසට ඉස්කෝල් හරි පන්ති හරි ගියානම් නාගෙන ගෙට ගොඩ වෙන මාව තමයි ගෙදර අයට පුරුදු.වැස්සට කුඩයක් ගෙනියන්නෙත් නැති  නොතෙමෙන්න කොහෙවත් මග නවතින්නෙත් නැති හිතුවක්කාර මම.

                      වෙලාව හැන්දෑවෙ තුන  උනාට රෑ හත අට වගේ කලුවරක් මුලු පලාතෙම තිබුනෙ.අකුණු සද්දෙ අඩු උනාට වැස්සනම් තොර තෝංචියක් නැතුව කඩන් වැටුන.ඔයා හිටියෙ මගේ අත තද කරල අල්ලගෙන හරියට යන්න එපා කියන්න වගේ.එක පාරටම ඔයා කුඩේ අකුලල ඒ ළග තාප්පෙට හේත්තු කලා. අයිස් කැට වගේ හීතලම හීතල ලොකුම ලොකු වැහි බිංඳු තප්පරේකටත් අඩු කාලෙකින් අපි දෙන්නව තෙත බරිත කලා.අත් දෙකෙන්ම අල්ලල ඔයා මාව ඔයාගෙ ළඟට ගත්ත.මගේ මූණ ගිහින් නැවතුනේ හරියටම අඩි හයක් උස ඔයාගෙ පපුව මැද්දෙ. සීතලම සීතලට ඔය තොල් මගේ නලලෙ තැවරෙනකොට ඒ සීතලෙත් මාව ගිනි ගන්නව වගේ මට දැනුන.නලලින් පටන් අරන් වම් කම්බුල දිගේ ආපු ඔය තොල් දෙක මගේ තොල් වල ගෑවි නොගෑවී නැවතුනා. කුළුදුලේ පෙති ඇරිල පිපෙන්න අර අදින යෞවනය නුහුරු කිතියකින් හිරිවැටීගෙන මුලු හිතම ලැජ්ජාවකින් තිගැස්මකින් ගැහෙන්න ගත්ත.ඔයා කිටි කිටියෙ තද කරගෙන හිටපු මගේ අත් ගසල දාල මට ඕන උනේ දුවන්න.ඒත් මගේ තොල් වලට ඕන උනේ ඔය තොල් අතර අතරමං වෙන්න .මම එහෙමම ඇස් පියාගෙන උන්න.ඇසිල්ලකින් ඔයාගෙ මුව මගේ මුව උඩින් හිමිහිට පාත් උනා.සිනිදු මල් පෙත්තක් හිමිහිට පිරි මදිනව වගේ මුවට මුව යා උනා.විනාඩියක්... නෑ... ඊටත්  ටිකක් වැඩියෙන් අපි අපේ ප්‍රේමයේත් ආදරයේත් ආශාවේත් කුළුඳුල් පරාමානන්දය විදින්න  ඇති.

                         ඉතින් ඔව් .. ඒ තමයි ජීවිතේ ලස්සනම දවස... කුළුඳුලේ  හාදුවක පහස විඳි ඒ අමරණීය දවස.අද ඒ හාදුව සදාකාලික මතකයක්ම විතරක් උනත් ඒ දවසට තාමත් මම එදා තරම්ම ආදරෙයි.ධාරාණිපාතෙට වැහි ඇල්ලක් කඩන් හැලෙන හැම වෙලාවකම මට ඒ දවස මතකෙට එනව.ඒ මතකෙ මරල දාන්නනම් මට මැරෙන්නම වෙනව. ඔව් මැරෙන්නම වෙනව.  
        

Oct 2, 2017

ලේ පාට මතකය කඳුළකි !




(නිමිත්ත - හැරගිය පෙම්වතාගේ පතිනිය වන යුවතිය හැඩ කරන්නට මනමාලියන් අන්දවන්නියක් වූ ඇයටම  සිදුවීම )


සිහින් දෙනයන අඳුන් තවරා කොපුල්තල කුංකුම උලා
ලඳළු වන් ලා දෙතොල් සඟලද ඔබ කැමති පැහැයෙන් නෙලා
පලන්දා මුතුමාල හත රන් හවඩියද බඳ වට වෙලා
ඔන්න පෙම්වත ඔබේ සොඳුරිය මගේ දෑතින් හැඩ කලා

රාජකාරිය දේවකාරිය නිසා කඳුළක් වැටුන්නෑ
ඇගේ අත ගෙන පෝරුවට ඔබ නගින තුරු හිත රිදුන්නෑ
පලන්දනකොට මගුල් මුදු නුඹෙ ඇස් දෙකේ මම උන්නෙනෑ
පිරුවටය ඇගෙ බඳ වෙලද්දී අත ගැස්සුනේ ඇයි දන්නෙනෑ

පාරිශුද්ධම සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ
ජයමගුල් ගී නැතුවමයි රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ
බොහෝ කල් සුව වින්ද පසුවයි නුඹට මම පර මලක් වෙන්නේ
ඊට පස්සෙයි නෑඹුලේ කුළ කුමරියක අත සරණ යන්නේ

දැන් ඉතින් ඒ කතා මොකටද මගේ ඇස් මම සඟවගන්නම්
දෛවයේ සරදමක් විලසට අද දවසම මම ලියාගන්නම්
රක්ත වර්ණෙන්  දෙවෙනි ගමනට සරසවන්නත් ඇවිත් යන්නම්
ඔබේ මධුසම කලාපෙට මම එද්දි මගෙ හිත මරාලන්නම් 


(පසුගියදා පැවති ඉරිදා ලංකා පුවත්පත මගින් සංවිධානය කල ලංකා කවිමුතු මිණි තරඟයේ තුන් වෙනි ස්ථානය ලබාගත මගේ නිර්මාණය.)

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...