සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jan 21, 2018

මන්දහාසිනී !






නුඹෙ අඩැසි හීසර නෙත් කොනේ
සසැලෙනා හද බිතක්කන මගේ
නෙතු පියලි පියවෙන හැමවෙලේ
නූපුරක කිංකිණි ස්වර ඇසේ

අර ඈත සීතල හිම වනේ
ශුංගාර මල් ඇහැරෙන වෙලේ
සඳ කිනිත්තක තුඩැඟිලි  දිගේ
බඳ ඉහත්තේ හීඟඩු පිපේ

මන්දහාසිනී ඔය මත් දෙතොලේ
මනමාල මල් සිනා අතරේ
ළය බදා නුරාගිනි පහසේ
ඇවිලෙන්න අවුලුවා රහසේ

Jan 17, 2018

කියන්නකෝ !




ඔබ රිදවූ

ඔබ හැඬවූ

මගේ මුලු හිතම

වාරුකර ඔය විසල්

පපුවටම ,

මා සනසන තුරුම

ඔබ සැනසෙන තුරුම

මට ඔබේ උරහිසේ

හිස තියා හඬන්නට

ටිකක් ඉඩදෙනවාද....?

Jan 15, 2018

අහන්නකෝ !





අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ  හිමිහිට වැහුවම
උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
මේ හැටිම ඝනකම් බව
සුදුරෙදි හොරෝ
උඹ දන්නේම නැතිද !

තුංග තුරු මුඳුනක
වහංවුන මලක් පෙති ඇරියම
පලාතම සුවඳ දෙන බව
බමරු මල් පෙති සිඹින බව
කහ කුරුල්ලෝ උඹට මම අමුතුවෙන්
කියාදෙන්නම ඕනෙද !

හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ඉක්මනට
ගලවන්න බැරි බව
අර දඟ කරන මොනර පැටික්කිට
කියා දෙන්නට කවුරුත්ම
නැද්ද හැබෑටම !

Jan 9, 2018

නපුරු විස කටුව !



ඇත්තමයි මං නපුරු විස කටුවක්
තිස්සේම ඇමිණි ඇමිණී
නුඹට දුක් දෙන !

එපාමයි කියා හිතෙන් උගුල්ලා
බලහත්කාරෙන්ම විසි කලද

එ' සැනින්

ඇවිත් පටලැවෙන නුඹත්
මට නොදෙවෙනි විස කටුවක්
පාඩුවේ ඉන්නම නොදෙන මගෙ හිතට !

Jan 7, 2018

කුළුඳුලේ ගිය කෝච්චි ගමන !




      අපේ පරම්පරාවේ අය කියන විදියට මං අත දරුවා කාලේ ඉදන්ම බස් ගමනා ගමනය ඇලජික් කෙනෙක්.ඒ හේතුව නිසාම පොඩි කාලේ කවුරුවත් මාව කොහේවත් අරන් යන්න කැමති නෑ.ඒ මොකද කියනවානම් බස් එකට නැගලා විනාඩි දහයක් යනකොටම මම හෝටල් අරින්න පටන් ගන්නවාලු.මට අවුරුදු දහයෙදී විතර මට මතකයි ඉන්ටර්සිටි බස් එකක ගාල්ලේ යන්න ගිහින් සීට් එකෙන් නැගිටලා බහින්න ඉස්සරහට එන විනාඩියෙත් බස් එක පුරාම වමනේ කලා.අන්තිමට තාත්තාට බස් එක හෝදන්න පවා සිද්ධ වුණා.ඉස්සර බස් එකක දුර ගමන , ට්‍රිප් එකක් එහෙම මාව එක්කන් යනවා කියන්නේ ගෙදර අයට යුද්දෙකට යනවා වගේ වැඩක් තමා. ෂොපින් බෑග් , දෙහි ගෙඩි , නාරං , නා නා ප්‍රකාර ටොෆී ජාති පුරවපු මල්ලක් මාත් එක්කම රෙඩි පිට උස්සන් යන්න ඕනෙ. දැන් කියලත් ඒකේ ලොකු වෙනසක් වෙලා නෑ. දැන්නම් කොහේ හරි යනවනම් පැය බාගෙකට විතර කලින් පෙත්තක් බීලා සූදානම් සරීරෙන් තමා යන්නේ.

අද ඉතින් මං මේ කියන්න ලෑස්ති වුණේ ඕවා නෙවෙයි.මම තනියම හා හා පුරා කියලා ගිය කෝච්චි අත්දැකීම ගැන ලියන්න.ඒකනම් මට කියන්නත් විලි ලැජ්ජයි වගේ. ඒත් ඔන්න ඔහෙ කියලා දාන්නම්කෝ.

පුංචිම පුංචි කාලේ අපේ ආච්චිලාගේ ගෙදර ( වේයන්ගොඩ ) දෙතුන් පාරක් කෝච්චියේ ගිහින් තියෙනවා ඇරෙන්න ඊට පස්සෙනම් මට කෝච්චියේ යන්න අවස්ථාවක් උදා වෙලාම නෑ. හැබැයි කෝච්චියක් දකින දකින වාරයක් පාසා අනේ මේකෙ යන්න තියෙනවානම් කියලා හිතනවා. කොහොමත් බස් එකට වඩානම් මම කෝච්චි ගමනට ආසයි.කෝච්චියේ යන්න වාසනාව නොතිබුනාට හූ කියාගෙන පීළි දිගේ ඇදෙන යකඩ යකාගේ දසුනනම් මට නුහුරු වුණේ නෑ. ඉස්කෝලෙ කොයි ගොඩනැගිල්ලේ දෙවෙනි තුන්වෙනි තට්ටුවට නැග්ගත් නිල්ම නිල් පාට මහ මුහුදත් , ගල්කිස්ස මහ හෝටලයත් ඊට මෙහාහින් දිවෙන රේල් පාරත් හරි අපූරුවට පේනවා.

ඉස්කෝලෙට වෙලා කෝච්චි දිහා බල බල හිටපු මට ඉස්කෝලෙන් අවුට් වෙලත් වසර ගානක් ගිහිල්ලා ඔන්න දවසක් උදාවුණා කෝච්චියක යන්න. ඒ මගෙ එකම මල්ලීට පිං සිද්ධ වෙන්න. ඒ කොහොමද කියනවනම් එයා කුළුඳුලේම හොයා ගත්ත ගෑණු ළමයා අම්මාගේ බඩේ ඉදන්ම කෝච්චියේ කරක් ගහපු කෙනෙක්.එයාට නිකන් කෝච්චියත් ගෙදර වගේ හුරු පුරුදු තැනක්.ගම ගනේමුල්ල ස්ටේශන් එක කිට්ටුවම.ඉස්කෝලෙ කොල්ලුපිටියේ  Methodist Collage එක. මේ දෙන්නගේ ප්‍රේමයට සපෝටර් වුණේ මල්ලිගේ පොඩි අක්කා වෙච්ච මේ මම. මල්ලීත් මාත් අතර මහා ලොකු වයස් පරතරයක් නැති නිසාමද මංද අපි හිටියේ හොද යාළුවෝ වගේ. අපි අතර රහස් තිබුණේ නෑ මොනවා කලත් මට ඇවිත් කියන සිරිතක් මල්ලිට තිබුණා. මෙයා ඔය එයා වෙනුවෙන්ම ගත්තා කියලා එයාට ගිහින් දුන්න තෑගි කන්දරාවෙන් බාගයකම හැබෑ උරුමක්කාරී මම කියලවත් , ඒ ගත්ත තරමක් තෑගි ගත්තේ මගේ වියදමින් කියලත් මම තාම කාටවත්ම කියලා නෑ. ඒකත් මම මතක ඇතුවම කියන්න ඕනෙ.

ඉතිං මේ ගෑණු ළමයව මට පෙන්නන්න මල්ලිට ලොකු උවමනාවක් තිබුණ. එයා කොහොම හරි ඒකට ඉඩ ප්‍රස්ථාවකුත් හදා ගත්ත මාවත් කැන්ද ගෙන මනමාළි බලන්න යන්න. පොඩි පහේ දුරකටත් නෙවේ ගනේමුල්ලටම.පිටකොටුවට බස් එකෙ ගිහින් එතන ඉදන් කෝච්චියේ ගනේමුල්ලට යමු කියලා මල්ලි කිව්ව. ඒකනම් මට මාර හැපී කතාවක් වුණා. ඒ දවස්වල මේ හුට පට දන්නේ නැති නිසා ගජබින්න ගොඩාක් ගෙදරට අත ඇරලා තමා මල්ලි මාව ගෙදරින් එලියට ගත්තෙ.

ඔන්න දැන් අපි කොටුවට ඇවිල්ලා ස්ටේශන් එක පැත්තට ආවා. මල්ලි ගිහින් ටිකට් එහෙමත් අරන් ආවා.අපි ඇතුලටත් ගියා.අපි ඇතුල් වෙනකොටම පෙරවරු කීයටද මංද ( වෙලාව මතක නෑ ) රඹුක්කන බලා පිටත් වේන දුම්රිය විනාඩි විස්සක් ප්‍රමාදයි කියල යකඩ කටින් මහා සද්දෙට කිව්ව.

" නොදෝමකිං " කියල මල්ලි කිව්වම තමා මම දන්නෙ ඒ අපි යන්න ඉන්න කෝච්චිය කියල.විස්සයි කිව්වට මොකද විනඩි හතලිහක්ම අරගෙන කෝච්චිය තුන් වෙනි වේදිකාවට ආව. වේදිකාවේ නගින්න බලාගෙන සෑහෙන සෙනගකුත් හිටිය. " සම හරක් " කෝච්චිය නවත්තන්නත් කලින් සීට් එකක් ලබාගන්න තියෙන ආසාවට ජීවිතේ පවා පරදුවට තියලා කරන සෙල්ලම මම කට ඇරගෙන බලන් හිටිය.කෝච්චිය නැවැත්තුවාට පස්සෙ මල්ලී මාවත් ඇදගෙන ගිහින් පෙට්ටියකට ගොඩ කලා. යාන්තං ඉඩ තියෙන තැනක් බලලා මල්ලි මාව වාඩි කලා. එයා දොර ගාව කුලුණකට හේත්තු වුණා. උන්දැටනම් කෝච්චි ගමන හොදට පුරුදු පාටයි.අවුරුදු වලින්ම ගත්තොත් හරියටම අවුරුදු 15 කට නැත්තම් 16 කට විතර පස්සෙ කෝච්චියකට ගොඩ වැදුණ මමනම් ඹමරෙ වගේ කැරකි කැරකි සිරි නැරඹුවා.ඔහොම ගිහින් ගමනාන්තය වෙච්ච ගනේමුල්ලෙන් අපි බැහැගත්ත. අර ගෑණු දැරිවි ( දැන් මගේ ආදරණීය නෑනන්ඩි ) අපිව පිලිගන්න ස්ටේශමට ඇවිල්ල හිටිය. අපි දැන අදුන ගෙන ආගිය කතා කතා කරලා පැය දෙක තුනක් ගත කරලා ආපහු කොටුවට කෝච්චියෙන් එන්න පිටත් වුණා.මේ එන ගමනෙදී මල්ලි වෙනත් වැඩකට යාමට මරදානෙන් බහින බවත් එතැන් සිට මා තනිවම ආ යුතු බවත් මම කලින්ම දැනගෙන හිටිය. ඒ කාලෙ මෙහෙම චාන්ස් මට වැදෙන්නෙ බොහොම කලාතුරකින් නිසා මම හිටියේ සන්තෝසේ බැරුව.ඒ වෙද්දි මටත් ඔය කොලු පැටියෙක් එහෙම හිටියනම් සන්තෝසේ තව ඩබල් වෙනවා.මම ඉතින් පෙම්වතියෙක් වුණේ අපේ මල්ලිගෙ ආදර කතාවට සෑහෙන්න උදව් කරලා එහෙම පරිනත වුනාට පස්සෙ.

ඔන්න මරදානෙදී මගේ අතට ටිකට් එකත් දීලා මල්ලි කෝච්චියෙන් බැස්සා.

" ස්ටෙශන් එකෙන් එලියට ගිය ගමන් 100 බස් පෝලිමට තියෙනවා.... නැලවි නැලවි ඉන්නේ නැතුව තියෙන බස් එකක නැගල ඉක්මනට ගෙදර යනව හොදේ...... "

ඔන්න පේනවද දැන් මෙයාගෙ කතාව නිකන් හරියට මං මුගේ ඇගේ බලෙන් එල්ලිලා ආවා වගේ.

 හරී හරී මම දන්නවා ගානට යන්න....

මමත් එහෙම කියලා චන්ඩියා වගේ කොටුවට ආව. අපොයි කෝච්චිය පැද්දි පැද්දි ඇවිත් නැවැත්තුවේ 8 නැත්තන් 9 වේදිකාවේ. එතන ඉදලත් පිටවීමේ දොරටුවකට තව කෝච්චියක එන්න ඕනෙ. විනාඩි 10 ක් විතර අරන් මම ඒ මග නැළවි නැළවි ලැසි ගමනින් ආව. ඇවිත් පිටවෙන දොරටුවක පෝළිමකට කිට්ටු වුණා.මට ඉස්සරහින් යන හැමෝම එතන ඉන්න කෙනෙකුට ටිකට් එක දීල තමා එළියට යන්නෙ. මට පේන විදියට ටිකට් එක නොපෙන්නා එලියට යෑම බොරු. කෝ මගේ ටිකට් එක....... හුටා....... මට දෙවියෝ බුදුන් සිහිවුනා...... මල්ලි බහිද්දී මගේ අතේ තිබ්බ ටිකට් එක මෙතනට ඇවිදන් එද්දි මම රේල් පාරට විසි කරා කියල මට මතක් වුණා.... අනේ දෙවියනේ මම ඉවරයි.... මාව සට සට ගාල ගැහෙන්න ගත්ත...මගේ පිටි පස්සෙ හිටපු අය මාව තල්ලු කරගෙන ඉස්සරහට යද්දි මම එහෙමම ආ පස්සට වුණා. දඩි බිඩි ගාලා ෆෝන් එක හොයලා මල්ලිට කෝල් එකක් ගත්ත.


අනේ මල්ලි මාර වැඩේ ... මෙතනින් එළියට යන හැමෝගෙම ටිකට් බලනව...

 ඔව් ඉතින්... බලන නිසා තමා හලෝ මම තමුසෙගෙ ටිකට් එක දීල ආවෙ අතට...

 අයියෝ මල්ලි මම ඒක රේල් පාරට විසි කලා... ඔයා නිකමටවත් මට කිව්වෙ නෑනේ ඕක ඕන වෙනව කියල...

 අනේ යකෝ මෙහෙමත් වැස්සියෙක්... එක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙද ? .....

 ඉහි... ඉහි... මං කවද කෝච්චියේ ගිහිල්ලද හලෝ... තමුසෙ මාව දැනුවත් කලේ නැත්තෙ ඇයි...?

 ආපෝ වැඩක් නෑ... වැඩක් නෑ... සාමාන්‍ය දැනීම බිංදුවයි.. දැන් ඉතින් නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්...

 පොඩ්ඩක් කිව්වේ කොච්චර වෙලාද..? මම කීයටට හරි එනකන් ඉන්නවා...

එහෙම කියල මල්ලි ෆෝන් එක කට් කලා එහෙම කිව්වට එයා පුලුවන් ඉක්මනට එන බව මම දන්නවා.මම නැවතුන තැන එහෙමම බිරාන්ත වෙලා නැවතිලා බලන් හිටිය.කෑ ගහලා අඩන්න පුලුවන්නම් ඒ වෙලාවේ මම හිතේ හැටියට අඩනවා. එතනින් යන හැමෝම මගේ දිහා දෙපාරක් බල බල යන බවත් මට තෙරුනා. ඒක තවත් ප්‍රශ්නයක් වේවි කියල හිතුන නිසා මම පුලුවන් තරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කලා.

 ඔය ළමය මොකද.... ඇයි මෙතන ඉන්නෙ... කොහාට යන්නද ඉන්නෙ....?

කණ ළගින්ම ඇහුන ඒ හඩින් මාව තක්බීර් වුණා.අර ටිකට් එකතු කර කර හිටපු මනුස්සයා තමා මගේ ළගට ඇවිත් එහෙම ඇහුවේ.ඒක අහපු තාලෙට හිර කරගෙන හිටපු කඳුළු අමු අමුවේ වැක්කෙරෙන්න ගත්ත. ඒ මනුස්සයත් පොඩ්ඩක් කලබල වුණා ඒක දැකල.

 ඇයි ළමයා මොකක්ද ප්‍රශ්නේ...?

ඉස්සෙල්ලට වැඩිය නිවුණු හඩකින් එයා එහෙම ඇහුව. බොරු කියන්න දෙයක් නැහැනෙ මම සිද්ද වෙච්ච දෙ එයාට කිව්ව.ඒක අහල ඒ මනුස්සය මගේ උඩ ඉදන් පල්ලෙහාට දෙතුන් පාරක්ම බැලුවා.

 ඔය ළමයට වයස කීයද ?

 විසිතුනයි

 අවුරුදු විසිතුනක් වෙලත් දන්නේ නද්ද කෝච්චියක යන එනකොට ටිකට් එක පරිස්සම් කරගනන් ඕනෙ කියල... හා.. හා... දැන් ඔය කඳුළු පිහිදගෙන එලියට යන්න... බොරුවක් නොකරන බව තෙරෙන නිසා යන්න දෙන්නෙ... නැත්තන් පොලිසීයට ගෙනියන්න වටින්නෙ.. දැන් ඉක්මනට යන්න තව අය දැක්කොත් මටත් ප්‍රශ්නයක් වෙයි...

මම ඒ මනුස්සයට ස්තූති කියල පණ කඩාගෙන එලියට දිව්වා මොරටුව බස් එකකට නැගල වාඩිවෙලා තම සිහි එළව ගත්තෙ.ඊට පස්සේ මල්ලිට කෝල් කරල විස්තරේ කිව්ව. එයා ආයෙම මට බැන බැන හැරිල ගියා.

ඔන්න ඔය විදියටා තමා මගේ කුළුඳුල් කෝච්චි ගමන හමාර උනේ.අදටත් ඕක මතක් කර කර කට්ටිය ඕනම සභාවකදි මාව බයිට් එකට ගන්නව.ඒ වෙලවට මට එන කේන්තිය... අම්මෝ කියලා වැඩක් නෑ.



 ( ම්ම්ම්ම්ම් ඉතින් කට්ටිය කියෙව්වනේ එහෙනම් මේක.. කලින් කියවපු අයත් ඇති  ඉතින් මොකද මේ පරණ පෝස්ට් එකක් තමා ආයෙ දැම්මේ.මේ ලඟදි ආපහු ගොඩක් කාලෙකට පස්සේ කෝච්චි ගමනක් ගිය නිසා කට්ටිය මේක මතක් කලා.ආයෙත් අලුතින් මුකුත් ලියන්න මූඩ් නෑ නෑ වගේ  තේරෙනවා එහෙමයි කියලා මේක පාලුවට යන්න දෙන්න බෑනේ. ඒ නිසා ඔන්න මේක දැම්මා )

Jan 3, 2018

සිරකාරී !







ඉතින්
ඒ මා කෑගසා
හැඬිය යුතු මොහොතකි

අතට අසුවන සියල්ල
පොලවේ ගැසිය යුතු  තැනකි

ගලා යන හැම දු'කඳුළකින්ම
ඔබට දමා ගැසිය යුතු මොහොතකි

ඔබේ රුදු වදන් යලි යලිදු
සිහිපත් කර හුස්ම
හිර කර ගත යුතු තැනකි

අවසන
ඔය ළයෙහිම හිස හොවා
නිවී සැනසිය  යුතු ඇසිල්ලකි

ඉතින්
එකී සියල්ල අහිමි වූ තැන
මා උමතු විය යුතු
මේ ඉකිය සිරවී හුස්ම නැවතිය යුතු !