සඳට බැළුම් හෙලූ අය

Apr 30, 2012

ආදරය යනු.........

                                                                      

                                                               මේ දවස්වල මම දුකින්.  ඒ ඇයි කියලා කට්ටිය දන්නවත් ඇතිනේ. මගේ හුරතලා මාව දාල යන්න ගියානේ. මුලින් මම හිතුවේ එයාට මොකක් හරි අනතුරක් වෙලාවද්දෝ කියල. ඒත් දෙවියන්ගේ පිහිටෙන් එහෙම නෑ. මොකද එයා අපේ ගෙදර වත්තෙම එහෙ මෙහෙ දුවනවා අපි දකිනවා.ඒකිට මහ විසේ. කොල්ලෝ  එකක් නෙවෙයි හතර පස් දෙනෙක්ම ඉන්න පාටයි.ඕන වෙලාවක රංචුව පිටින් නැටිල්ල.මාව දැක්කම ළඟට එන්න වගේ ඇවිල්ලා ආපහු දුවනවා.එහෙම හරි කමක් නෑ එයා ඉන්නවා දැක්ක නිසා මගේ හිතට දැන් හොදයි.ඊයේ අපි එයාටයි එයාගේ රංචුවටයි වත්තේ ගහක ලෑල්ලක් ගහලා ඒක උඩට කන්නයි වතුර භාජනේකුයි තිබ්බා.එයා බඩගින්නේ හිටියොත් අපිට කන්න හිතෙන්නෙත් නැහැනේ දැන් ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

                                                            ඊලඟට ඉතින් මම මේ ප්‍රශ්නේ නිසා පහුගිය දවස්වල හිටියේ නාහෙන් අඬ අඬ මූණ කොරහක් කරගෙන කියලා බලාධාරියා විසින් සියළු දීමනා කපලා තිබුන.දැන් එවා යථාතත්වෙට පත් කරගන්නත් ඕනෙනේ.ඊයේ ඉරිදා නිවාඩු දවසනේ රෑට කන්න අපි රොටී හදන්න සූදානම් වුනා. එයා පොල් ගානවා මම   ලුණුමිරිස් හදන්න  රතු ලූණු සුද්ධ කරනවා.

          ඔන්න ඒ අතර සිදුවූ කතා බහ.



" බබා ඔයා කියෙව්වද  අර පාලම කඩාගෙන කළු ගඟට වැටුණ පෙම්වතී බේර ගන්න පෙම්වතාත්  ගඟට පැනල ඒත් දෙන්නම මැරිලනේ.... නිකමට හරි මට ඔහොම දෙයක් උනානම් ඔයත් මාව බේර ගන්න පනිනවද....? "

" පිස්සුද.... මට පීනන්න බෑනේ..."

මේකා ගත කටටම කියාපි. අයියෝ මට  දුවලා ගිහින් ළිඳට පනින්න හිතුනා.මම  මූණ කොරහක් විතර කරගත්තා.ඔන්න එහෙම උනාම  උන්දෑ අත්දැකීමෙන්ම දනන්වා රෑට රොටි කන්න වෙන එකක් නෑ කියලා.ඉතින් ඒ නිසා ඔන්න මාව ශේප් කරන්නද කොහෙද ලඟට කිට්ටු උනා



" මේකනේ සුදූ මම දන්නවනේ ඔයා කීයටවත් ඒ වගේ පාලමකින් එගොඩ වෙන්නෙ නෑ කියලා ඉතින් ඔයා යන්නේ නෑ කියන්නේ ඔයාව ගඟට වැටෙන්නෙත් නෑ ඔයාව බේරගන්න මට පනින්න වෙන්නෙත් නෑ...."


ඇත්ත  මමනම් කෝටියක් දෙනවා කිව්වත් ඒ වගේ පාලමකට අඩිය තියන්නේ නෑ නේන්නම්.ඒ වගේ ලී පාලමක නෙවෙයි මේ හොද හයියට හදලා තියෙන කොන්ක්‍රීට් පාලම් වලින් යනකොටත් මම පන බයයි. ඔය දෙහිවල ගුවන් පාලමෙන් එහෙම යනකොට මට හිතෙන්නෙම  මේක කඩාගෙන වැටෙයි කියලමයි.ඒකනම් තව කමක් නෑ කියමුකෝ



අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා රඹුක්කන. රඹුක්කන කිව්වාට රඹුක්කනෙනුත් එහා තමා ගම. බොහොම සුන්දර ගම්මානයක්.කඳුහෙල්, ඇල දොළ , මනරම් වෙල් යායවල් වලින් පිරුන පුදුමාකාර ලස්සන පරිසරයක්. අපේ එ නැන්දලගේ ගෙදරට වාහනේකින් යන්න බෑ. වාහනේ මග  දලා පයින් යන්න ඕනෙ සෑහෙන දුරක්.ගමන ජොලි මට ඒ ජොලිය එපා වෙන්නෙ හේතු දෙකක් නිසා. එකක් කූඩැල්ලෝ මග දිගට උන්ගෙන් හම්බෙන සංග්‍රහ වල අඩුවක් නෑ.ඊඊඊඊඊ....... මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා.ඒ වගේම ගෙදරට යන්න  ඒදඬු තුනකින් එගොඩ වෙන්න ඕනෙ. ඒක තමා අමරුම කාරිය.මමයි මගේ අක්කණ්ඩී දෙන්නම පන බයයි මේ ඒ දණ්ඩේ යන්න.


ඔය එක ඒදණ්ඩකින්නම් ගොඩ වෙන්න තියෙන්නෙ ඒ තරම් ගැඹුර නැති දිය පාරකින්.අක්කයි මමයි දෙන්නා කරන්නේ සෙරප්පු ගලවගෙන  කලිසම් නවාගෙන ඇලට බැහැලා මඩ නාගෙන ඕකෙන් එ ගොඩ වෙන එක. වතුර  මඩ නොගෑවී අගේට ඒ දණ්ඩෙන් ගිහින්  එ ගොඩ වෙන්න තියෙන එකට අපි දෙන්න මේ කරන විකාර වලට කට්ටියගෙන් හොදට ලුණු ඇඹුල් ඇතුව අහගන්නවා


අනිත්  ඒ දඬු දෙකෙන්නම් එහෙම  බැහැලා යන්න බෑ. ඒ  දියපාරවල් දෙකම ගැඹුරයි.අක්කගේ පොඩි උන් දෙන්නා අපූරුවට කාටත් ඉස්සෙල්ලා ඕකෙන් එගොඩ වෙනවා.උන් ඉතින් දන්නවයැ බය කියන්නේ මොකක්ද කියල. අපි දෙන්නා නටන්න තියෙන ඔක්කොම වන්නම් නටනවා ඕකෙන් එගොඩ වෙන්න. ඉස්සරනම් මට මල්ලි තමා උදව් කරන්නේ.අක්කයි මමයි තරගෙට වගේ එතනදී කෑ ගහන කෑ ගැහිල්ලට අපේ නැන්දා කියන්නෙ  මුළු පලාතම දන්නවා කියලා අපි ගමට එනවා කියල.කාටද ඉතින් ආඩම්බර... එහෙම හරි අපි ගමට එනවා කියලා කට්ටිය දැනගන්න එකත් ලොකු දෙයක්නෙ.


දැන් ඉතින් මේ ගමට මම දෙතුන් වතාවක් මගේ  අයිතිකාරා එක්ක ගිහින් තියෙන නිසා එයා දන්නවා මගේ හපන්කම්.අයියෝ ලැජ්ජාවේ සන්තෝසේ බෑ.ඒකනේ ඔය චන්ඩියා වගේ කිව්වේ මම කීයටවත් ඔය ලී පාලමෙන්නම් එගොඩ වෙන්නෙ නෑ කියල. ඒත් ඉතින් එහෙමයි කියලා මේකා මගේ මූණ බලාගෙන කියපු කතාව කොහොම අමතක කරන්නද... ඒකට වෙනම දවසක් දාගෙන  රණ්ඩු කරන්න වෙනවා.

ඒක පැත්තකින් තියලා පොඩියකට අපි දැන් හැරෙමුකෝ අර පාලමෙන්  වැටුන සහ පැන්න දෙන්නා දිහාට.ඇත්තටම ඒකනම් හද කම්පා කරන සිද්ධියක්.තමන්ගේ පෙම්වතිය බේරගන්න  ගඟට පැන්න ඔහුනම් සැබෑ පෙම්වතෙක්.ඒත් ඉතින් මට හිතුන දෙයක් තමා තමන්ට හරියට පීනන්න බැරිනම් වැටුණ කෙනාව  බේරගෙන ගොඩට ගේන්න බෑ කියලා විශ්වාසනම් එයා ගඟට නොපැන  පෙමවතී බේර ගන්න වෙන විදියකට උත්සහ කරන්න තිබුනා නේද කියලා.අඩුම ගානෙ කෑ ගහලා කට්ටියවත් එක් රැස් කර ගන්න තිබුණා නේද කියල.මේ කලු ගඟ අවට පීනන්න කිමිදෙන්න දන්න අය  ඕන තරම් ඇති අන්තිමට එයාලට උනේ එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් හොයන්න කාලය මිඩංගු කරන්න උන එක. ගැහැණු ළමය ගොඩ ගන්නකොට යාන්තං පණ තිබිලත් තියෙනවනේ.අනේ තව ටිකක් ඉස්සර උනානම් ඒ ජීවිතේ රැකෙන්නත් තිබුණනේ.මන්දා මටනම් එහෙම හිතෙනවා.අන්තිමට මට පිළිතුරක් දෙන්න අමාරු ප්‍රශ්නයක් ඉතුරු උනා.



ආදරය කියන්නේ එකට ජීවත් වීමටද...? එකට මිය යාමටද......?








   කියන්නකෝ බලන්න කට්ටියගේ අදහස් .


Apr 28, 2012

නුඹ යන්න ගියා මැකිලා.......

ඉතින් නුඹ නොකියාම යන්නට ගොසින්ය.මේ වන විට නුඹ යන්නට ගොස් දෙවෙනි දවසද ගෙවී යන්නට ආසන්නය.මම තවමත් බලා හිඳිමි කොයි මොහොතේ හෝ නුඹ නැවත පැමිණේයයි මගේ සිත මට කියයි.ඒ නිසා මම දිගටම බලා හිදිමි.මා නුඹට පෙම් කල තරමටම නුඹ මට පෙම් කර නැති සෙයකි. එ නිසා නුඹට මෙසේ නොකියාම යන්නට තරම් හිත හදා ගන්නට අමාරු නොවන්නට ඇත.ඒත් මට නුඹ නැති හෙට දවසක් හිතන්නටද තවම බැරි සෙයකි.


බැලූ බැලූ  අත දිස්වෙන නුඹේ මතක ම හිත රිදවයි.මා නුඹේ සිතුවම් දෙස බලමින් හඬමි.. හූල්ලමි.මගේ පරිගණකයේ මටත් වඩා ඇත්තේ නුඹේ චායාරූපය.වෙනකක් තබා පරිගණක තිරය හැඩ කරන්නේද නුඹේ සොඳුරු සිත්තමකි.අද උදෑසන  බලන විට අර ඊරිසියාකාරයා එය ඉවත් කොට වෙනත්  මූනක් එයට ඔබ්බවා ඇත. බලන්නම වටින මූණය.වෙන වෙලාවකනම් මා රණ්ඩුවට යමි.එහෙත් නුඹ නැති සොවින් අඬන මට අන් කිසිම දේකට සිතක් නැත.


නුඹේත් මගේත් ප්‍රේමයට  මේ ලියන අදට හරියටම  වසරක් සම්පූර්ණ වේ.( අප්‍රේල් 28 ) ඒ සතුට ඒ මිහිර සමරන්නටද නොතියා නුඹ යන්නට ගියාය.හිටි හැටියේ ආ නුඹ හිටි හැටියේම යන්නට ගොස්ය.කැමති වෙලාවක කැමති තැනක යන්නට කවදත් නුඹට නිදහස තිබුණි.එහෙත් නුඹ කවදාවත් මගේ දෑස් මායිමෙන් එපිටට නොගියේය.මා කොහෙද නුඹද ඒ අසළම උණි.මාද එසේමය. කොහේ ගියත් ඇඳිරි වැටෙද්දී මට නුඹ දකින්නට එනකම් සිහි නැත.රෑ කීයට ආවද මා එනතුරු නුඹ නින්දට නොහොස් බලා සිටී.


නුඹ ගැන දන්නා හැමෝම කියන්නේ නුඹ නුඹේ " ජීවිතය " සොයා යන්නට ඇත කියාය.එහෙත් මට එයින් සෑහීමකට පත් වෙන්නට බැරිය.නුඹට මා දුන් ජිවිතය මිහිරි නොවූයේ මන්ද ? නුඹේ නික්ම යාම අර ඊරිසියාකාරයට සතුටක් වෙතැයි මා මුලදී සිතුවද එයද එසේ වී නැත.මා මෙන් ප්‍රසිද්ධියේ හඬා  වැලපුනේ නැතුවාට එයාද දුකෙනි.මම අඬන විට ඇඟිල්ල උළුක් කර මට හප් කියා


"  ගිය එකා ගියා... කවදා හිටියත් යනවනේ... "


 කීවාට මට හොරෙන් එයාද නුඹ ආ ගිය තැන් විපරම් කරයි.එහෙත් නුඹ  පෙනෙන්නටවත් නැතිය.නුඹේ වරිගයේම උන් තව දහ දොළොස් දෙනෙක්ම මේ අඩවියේ සැරිසරණ නිසා නුඹ ඔවුන් හා එක්වී මා  හරි ඉක්මනට අමතක කර දමලාය.එහෙම හිතෙද්දී මහා ඊරිසියාවක්ද තරහක්ද මට දැනේ. " ආදෙන්කෝ.... මෝඩයා... දෙන්නම් පාර... " තරහින් පුපුර පුපුරා මා එසේ සිතමි.එහෙත් ටිකකින් දුක සිතේ. වෙලාවට කන්න ටික ලැබුනාද.... මේ මහා වැස්සට තෙමෙවිද...නිදන්නට සුව පහසු තැනක් ලැබේවිද ...මෙකී නොකී මහා ගොඩාක් දෙවල් හිතට හිතේ.අනේ නුඹට නිදුකක්ම වේවායි  මම දෙවියන් යදිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


මගේ පුංචි හුරතලෝ... මගේ ලේන පැටික්කියේ... මගේ ටුන්කියෝ.... අපිව දාල ගියාට කමක් නෑ කොහේ හිටියත් පරිස්සමින් ඉදපන්.අපිව මතක් උනොත් ආයෙම දවසක ඇවිත් යන්න වරෙන්.අපි උඹ එනකං බලන් ඉන්නවා




ප / ලි
        බලන්නකෝ මගේ පුංචි ලේන පැටියා පෙරේදා ගිය ගමන් තාම ආවේ නෑ.ගේ පුරා නිදහසේ ඇවිදින එයා ගෙයින් පිට ගියත් ඒ ගිය ඉක්මනට ආපහු එනවා.ඒත් එදා එයගේ යාළුවෝ කට්ටියත් එක්ක එකට වැටිලා  ගියා ගියාමයි ආවේ නෑ.මම හිතන්නේ එයා පවුලක් වෙලාද කොහෙද. මට ගොඩාක් දුකයි එයා හැදුනේ හරියට  දරුවෙක් වගේ. වෙලාවකට අපි එයාට පුතේ කියලත් කතා කලා එච්චරට අපේ ජීවිත වලට සමීප වෙලා හිටපු එයාගේ මේ නික්ම යාම මටනම් තාමත් දරා ගන්න බෑ.එයා ඇවිත් යන්න හරි ඒවි කියලා මම බලාගෙන ඉන්නවා.ඔයාලට මතක ඇතිනේ මම එයා ගැන පෝස්ට් එකකුත් කලින් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඒක.


ලේන් හුරතල්


අපිට එයාව හම්බුනේ හරියටම ගිය අවුරුද්දෙ අප්‍රේල් 28.අදත් අප්‍රේල් 28 අවුරුදේ  උපන්දින  සාදෙටවත් නොඉද මේකා ගියානේ. ගර් ගර් ගර්......... ආපුදෙන්කෝ.............

Apr 25, 2012

දෙනුවන් අනුහස - පස්වන සජ්ජායනාව

කතාවේ මුල් කොටස් නොබලපු අය ගිහින් බලලාම එන්න

ප්‍රථම සජ්ජායනාව

දෙවන සජ්ජායනාව

තුන්වන සජ්ජායනාව

සිව්වන සජ්ජායනාව









                                       උත්තරා විත් පුන පුනා කියා ගියේ දෙනුවන් අමතක කර යලි සියල්ල තිබුනාක් මෙන් හරි ගස්සන මෙන්ය.ඇය කියූ සියල්ල පිලිගත්තද මේ කිසිම හේතුවක් නිසා දෙනුවන් කෙරෙහි බැඳි උන්මන්තක ප්‍රේමය ම සිතින් බැහැර කිරීමට නොහැකි බව මා ඉඳුරාම දනිමි.නොලැබෙන නොකියන ආදරයක් වෙනුවෙන් හූල්ලමින් මා මගේ පමණක් නොව මා වටා සිටින හැමෝගෙම ජීවිත අපායක් වෙන තරමට මුරණ්ඩු වෙමින් සිටියෙමි.සති ගනනකින් මා අනුහස් අයියාගේ මුහුණට මුහුණ හමු නොවී මග ඇරියෙමි.ඔහුද වෙනදා මෙන් මා සොයා නොඈම ගැන මම සතුටු වීමි.සිනහවෙන් කතාවෙන් පිරුණ අපේ පුංචි නිවස මහා නිහඩ තාවයක ගිලුණි. විටෙක එය ම හිතට ඔරොත්තු නොදෙන තරම් විය.මගේ එක වචනෙකින් එක සිනහවකින් මේ හැමදේම පෙර තිබූ තැනට ගෙනෙන්නට පුලුවන් කම තිබියදීත් මම ඔහේ නිහඩවම බලා සිටියෙමි.ඉවසා ඉවසා බැරිම තැන අම්මාද මට දෙස් දෙවොල් තබන්නට විය.


" සුදු දූ... ඔයාට මොකද වෙලා තියෙන්නෙ....? මොනවද මේ විකාර වල තේරුම...? මේ හැම දේම විනාස වෙනකංද බලන් ඉන්නෙ...දැන් අර ළමයා රෑ ජාමේ ගෙදර එන්නෙ ඒ මදිවට බොන්නත් පුරුදු වෙලා... මේ හැම දේටම වග කියන්න ඕනෙ ඔයා සුදූ.... ඔයා....අනුහස් පුතාට මොනවා හරි උනොත් මාමාගෙන් මටත් විසුමක් නැති වෙයි..ඔයාගේ හිතේ මොනවා තියෙනවාද කියන්න මම දන්නේ නෑ හැබැයි ඔයාගේ තාත්තා නැතු උන දවසේ ඉදන් මාත් එක්ක හරි හරියට එකතු වෙලා ඔයාට දුකක් නොදී බලා ගත්ත අර අහිංසකයට පිටුපාලා ඔයා පව් පුරව ගන්න එපා.. එදාට මේ අම්මත් ඔයාට නෑ කියලා හිතා ගන්න.මගෙන් ඔයාට සමාවක් නෑ..."


මගෙන් කිසිවක් නොඅසාම අම්මා කියවගෙන කියවගෙන ගොස් නැගිට යන්නට ගියාය.මා සසළව ගියෙමි.දන්න දවසේ පටන් හොද දරුවෙකු වූ අනුහස් අයියා මෙසේ විනශ වූවොත් මගේ හෘදසාක්ශියෙන් මට ගැලවුමක් නැත.ඇරත් හැමොම කියනා පරිදි මා ඔහුගේ පණය.එය සක්සුදක් සේ මාද දනිමි.දවසකට දෙකකට හෝ ඔහුගේ ඇස ගැටෙන මානයේ මා නොවූවොත් ඔහු දරාගන්නේ නැත.ඉතින් මා නැති ජීවිතය ඔහුට සිහිනයකි.


මගේ මේ විකාර නිසා අනුහස් අයියාට නපුරක් වේයැයි සිතී පළමු වරට මසිතට මහා බියක් දැනුණි.එදා රැයේ අර ඉස්සර දවස්වල මෙන්ම ඔහු එනතුරු මා මග බලා සිටියෙමි.වෙනදා හැන්දෑවේ හය පහු වෙනකොට පැමිණෙන ඔහු අද රෑ නමය පසුවීද නැත.මා දුන් එකදු ඇමතුමකටවත් ඔහු පිළිතුරු දුන්නේද නැත.මා ඇමතූ හැම අවස්ථාවේදීම ඔහු ඇමතුම වහා එහා පසින් විසන්ධි කරයි.වෙනදා දුරකතනය නාද වෙන්නත් නොදී " කියන්න මැණික " කියා පිලිතුරු දෙන ඔහුගේ මේ වෙනස්කම මට දරාගන්නට බැරි තරම් විය.සියුම් තරහකින් හිත පිරිද්දී ඇසටද කඳුලු උනන්නට විය.දෙවියනේ මේ පුංචි වෙනස් කම මට මට මේ තරම් දැනුනේනම් අනුහස් අයියා මගේ මේ වෙනස්වීම් මගහැරීම් කෙසේ දරා ගන්නට ඇද්ද...?කෙළ පිඬක් ගිල ගන්නට නොහැකි තරමට මම භය බිරාන්තව බලා සිටියෙමි.කල්පයක් වගේ ගෙවුන කාලයකට පස්සේ අනුහස් අයියාගේ මෝටර් රථය ගේ ඉදිරිපිට නැවතුණි.මම පිම්මේ දුව ගියෙමි.


" සුදු අයිය... ඇයි දෙයියනේ මාව බය කරන්නෙ... මම කීයේ ඉඳන්ද බලං ඉන්නෙ... ඇයි මගේ Calls වලට Answer නොකලෙ...? "


කාරයෙන් බැස එන අනුහස් අයියාගේ අතක එල්ලී මා නෝක්කාඩු කීමි.


" ඔයාට මාව මතක තිබුනද සුදු නංගා......"


වචන පැටලි පැටලී ඔහු එය කී ආකාරයේ වෙනසක් මට දැනුණි.වෙන කවරදාවත් මා විඳ නොමැති අප්‍රසන්න මත්පැන් ගදක් ඒ මුවින් නික්මෙයි.


" සුදු අයිය ඔයා බීල...."


පය පැකිළී වැටෙන්නට ගිය ඔහුව මා පැන වත්තන් කරගතිමි.


" ඔව් මම බිව්ව මගෙ පැටියෝ... මම බිව්ව...අහන් නැද්ද මගෙන් ඒ ඇයි කියල....අහන් නැද්ද සුදූ..."


වැරෙන් මා දෙවුර සොළවා ඔහු මගේ මුහුණට එබුණි.මා තොළ සපාගෙන හැඬුම පාලනය කලෙමි.


" මට දැන් මේ ගෙදර සිහියෙන් ඉන්න බෑ... ඉතින් මම අසිහියෙන් එන එක වරදක්ද...මට කියන්න... මට කියන්න සුදු නංගී... දවස් කීයකට පස්සෙද මං මේ මූණ දැක්කෙ...දවස් කීයකට පස්සෙද ඔයා මේ මා එක්ක කතා කලේ....මට මේ වෙනස් කම් දරාගන්න බෑ මගෙ නංගී..."


සුදු අයියා අසිහියෙන් මෙන් දොඩවයි.මට අසා සිටිනවා මිස කියන්නට නිදහසට කාරණා නැත.මහත් වෑයමෙන් නිවසට වත්තන් කරගෙන ආ ඔහුව සැටියේ ඉන්දවා මා ඒ දෙපා මුළ වාඩි වීමි.මට ඒ සුදු දෙපා බදා සමාව ඉල්ලන්නට සිතේ.මම වැර වෑයමින් කඳුළු වැටෙන්නට නොදී සිරකර ගතිමි.එහෙත් දෑතින් මූණ වසා හිටි හැටියේ සුදු අයියා පොඩි එකෙකු සේ මහා හඬින් හඬා වැටෙන්නට විය.මා මේ ඔහු අඬනවා දුටුවාමය.අපේ ලෝකයේ සිනහව මිස කඳුළු තිබුනේම නැත.ඉතිං ඔහු හඬනවා මට බලා සිටින්නට නොහැක.පපුව පැලෙන තරමට වේදනාවක් මට දැනේ.මමද ඒ උකුළේ මූණ හංගාගතිමි.


" මට කියන්න රත්තරං සුදු නංගී.... මේ බලන්න මගේ මූණ දිහා...මාව දාලා යන්නද ඕනේ....මං දුන්න ආදරේ මදිද මගේ පැටියෝ...මාව පැත්තකට විසි කරල ඔය හිතේ මං හිටපු තැනට වෙන කෙනෙක්ව ගත්තෙ කොහොමද ඔයා...එයාට ඇතුල් වෙන්න තරම් හිස් තැනක් මගේ ආදරේ තිබුනෙ කොහෙද කියල විතරක් මට කියන්න මගෙ නංගී... මං හිත හදා ගන්නම්..."


" අනේ සුදු අයිය එහෙම දෙයක් නෑ දෙයියනේ....මං සුදු අයියගේ විතරයි...මගේ මෝඩ හිතට එක එක විකාර ආවා තමා මේ කෙල්ලට සමාව දෙන්න අයියේ... මං ආයේ නපුරුකම් කරන්නේ නෑ මගෙ අයියට...අපි ඉස්සර වගේ ආයේ සතුටින් ඉමු... මම පොරොන්දු වෙනවා සුදු අයියේ...ඔයා ආයේ බොන්න එපා ... කෝ පොරොන්දු වෙන්න බොන්නේ නෑ කියලා....ඊයා... බිව්වම ගඳයි මම ආසම නෑ...පොරොන්දු වෙන්න හොද ළමයෙක් වෙනවා කියලා....."


මම හඬ හඬා එසේ කියමින් ඒ පපුවට තුරුළු වීමි.පෙරදා මෙන්ම සෙනෙහසින් මා තුරුළට ගත් අනුහස් අයියා මා හිස මත අත තබා නිකටින් අල්ලා මා මුහුණ ඔහු දෙසට හරවා ගති.


" ඔයාගෙ සතුට මගේ සතුට සුදු නංගී... ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නෑ...මේ සුදු අයිය ජීවත් වෙන්නෙ ඔයාගෙ සතුට ඔයාගෙ හිනාව රකින්න විතරමයි..සත්තයි...."


මා නැගිට සැටියේ ඔහු ළගින්ම වාඩි වී ඒ හිස අතගෑවෙමි.නිදාගෙන උන් අම්මාද සාලයට පැමිණ අපේ කඳුළට හා සිනහවට එක්වෙනවා මා දුටිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~






ඉතිං මා පිළිගනිමි මේ හිත් වල සතුට රැදී ඇත්තේ මා අතය.මා වල්මත් වුවහොත් ඔවුන්ටද ජීවිතයක් නැත.මේ සතුට රකින්නටනම් හිත අයාලේ යා නොදිය යුතුය.මහා වැහි කුණාටුවක් වගේ මගේ ජීවිතයට හමා ආ ඒ නිල් ඇස් ඇත්තා ඉතින්නම් මට වැඩක් නැත.ආදරෙන් එකදු වචනයක්වත් දොඩා නැති ඔහු වෙනුවෙන් මා හදන හීන මාළිගා වලින් වැඩක් නැත.ඉතින්නම් මා දෙනුවන් ගැන නොසිතමීයි මගේම හිත දස දහස් වර පොරොන්දුකර ගතිමි.


දවසකින් දෙකකින් අපේ නිවහන පෙර ලෙසම සිනාවෙන් විකසිත විය.අම්මාගේත් අනුහස් අයියාගෙත් ජීවයෙන් පිරුණු මුහුණු දැක ඇත්තටම මමද සතුටු වීමි.එහෙත් මේ කිසිම දෙයකින් දෙනුවන්ට බැඳි සිත මුදවා ගන්නට මා අපොහොසත්විය.මා හිතින් වැළපෙමින් අන් අය සතුටු කිරීමට මතුපිටින් සිනාසීමි.මගේ මේ දෙබිඩි හිත ආයේ තාරා ඉදිරියේවත් දිග නොහැරීමට තරම් මම පරිස්සම් වීමි.මුළු ජීවිත කාලයම දෙනුවන් ගැන සිතා හීල්ලීම මගේ ලැබීමයයි සිතා මා හිත හදා ගැනීමට වෙර ගතිමි.


අනුහස් අයියාත් මාත් අතර පහුගිය ටිකේ ඇතිවුන හිස්තැන් පිරවීමට උත්තරා මා මිතුරියද අපමණ වෙහෙසුණි.ඇය බොහේ දිනවල අප නිවසේම රැදෙමින් මා තනි නොකරන්නට වග බලා ගති.


" අනුහස් අයියා Savoy මරු Film එකක් දාල තියෙනව.. අනේ අපිව එක්කන් යන්නකෝ...."
දහවල් කෑම වෙලාවේදී තාරා යෝජනා කලේය.


" යමු යමු.... මම රෙඩී ...අපි කාලෙකින් කොහෙවත් ගියෙත් නෑ නෙ සුදූ නේද...? "


මමද එයට එක පයින් කැමති වීමි.ඒ සැදෑව බෙහෙවින් ප්‍රීතිජනක විය.කාලෙකට පසු අපි සිත් සේ සිනා සීමු.දඟ කලෙමු.


" ඔන්න අනුහස් අයියා මටනම් බෑ ඔයාලා එක්ක බැල්කනි එන්න... මට පල්ලෙහාට ටිකට් ගන්න හොදේ..."


" ඒ මොකද උත්තරා නංගී...."


" ඇයි වදේ අහන ලස්සන... මේ Film එකට අමතරව තව කීයක්නම් Film පෙන්නනවද..ඕවට ඇස් කන් යොමු කරන්න ගියාම මේ Film එක බලන්න වෙන්නෙ නෑ අයියෝ..."


ඇය කියූ දෙයට අප පමණක් නොව පෝලිමේ සිටි තව කීප දෙනෙක්ම සිනසුණි.


" මේකිගේ කට තමා කට හම්බුවෙන කොල්ලට දෙයියන්ගෙම පිහිට තමා "


අනුහස් අයියා ඇයට තරවටු බැල්මක් හෙලුවේ සිනා සෙන ගමන්මය.


බොහෝ ප්‍රේමණීය ආදර කතාවක් වූ එය සැබෑවටම ලස්සන සිතුවමක් විය.හල හැප්පීම් මත දිව ගිය ප්‍රේම කතාව අවසන සුඛාංතයකින් කෙළවර වීම ගැන මම සතුටුවීමි.


" මෙහෙමම යමුද Beach එක පැත්තට..."


අනුහස් අයියා ඇසුවේ ශාලාවෙන් එළියට විත් Car Park එකට යන අතර තුරය.


" යමු යමූ.... තාරාත් මාත් එකම විට එය අනුමත කලෙමු.


අප එහෙමම පටු මාවත දිගේ පැමිණ රේල් පාර පැන වෙරළ තීරයට ඇතුල් වීමු.බැලූ බැලූ අත පෙම්වතුන් ජෝඩු ජෝඩුය. ඔවුන් ඔවුන්ගේම ලෝකවල තනිවී ඇත.වැල්ලවත්ත මුහුඳු තීරයම ඔවුන්ටම වෙන්වී ඇති සෙයකි.


" දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගස් ගල් අස්සේ බලනවා එහෙම නෙවෙයි හොදේ...


"ඒ මොකෝ අනුහස් අයියා ඔයා ඔහොම කිව්වම බලන්නමනෙ හිතෙන්නේ..."


තාරා එසේ කියමින් ඇත්තටම හතර අතේ ඇස් කරකවයි.


" නෑ මම කිව්වේ ඕවා බලලා අපේ සුදූත් මට කරදර කරයි ඔහොම ඉන්න ඕනෙ කියල..."


"ආ.............නේ........... සුදු අයිය ඔයා නම් හොදම නෑ..... "


මා පැන ඔහු අල්ලා ගන්නට හදද්දී ඔහු වෙරළ දිගේ දිව යන්නට විය.ටික දුරක් දිව ගොස් මා හති අරින්නට වීමි. තාර හුන් තැනම සිට මහා හඩින් හිනැහෙයි.මටද සිනා නැගේ . එහෙත් මා බොරු තරහක් මවා වෙරළට පිටුපාගති. විශ්වාස කරන්න ... දුටු දසුනින් මා දෙපා පණ නැති විය.


මා ඉදිරිපිටම වූ ගල් කුළක් මත දෙනුවන් යුවතියකගේ ළයට තුරුලුව පෙම් සුව විදිමින් හිදී.මුළු විශ්වයම මා වටා බ්‍රමණය වන්නාක් මෙන් මට දැනෙන්නට විය.ඒ දසුනෙන් දෙනෙත් ඉවතට ගෙන ආපසු හැරෙන්නට ඕනෑ වීද මගේ දෙපා ගල් ගැසී ඇති සෙයකි.


"සුදූ... බබා......අපි මෙහේ...... "


" කවී මොකද කරන්නේ... එන්නකෝ අනේ....."


පිටුපසින් අනුහස් අයියාගේද තාරාගේද කටහඩවල් ඇසී නෑසී යනවාක් මෙන් මට දැනෙන්නට විය.දිව ආ අනුහස් අයියා පිටුපසින් මගේ බඳ වටා දෑත් දමා ගන්නවා මට යාන්තමට මතකය.


                                                                 ~~ මතුසම්බන්ධයි ~~

Apr 24, 2012

තුරුළු වෙමි... නෙතුපියා... සීතලට....





සීතල නුවර එළියට ආයෙමත් සැළලිහිණි වසන්තය උදා වෙලා
මුලු නුවරම එකම සැනකෙළියක් වගේ
ලස්සනට ඉර එළිය වැටිල තිබුණ
පරිසරයම හිටි හැටියේ අඳුරු වෙලා
මහ වරුසාවක් කඩාගෙන වැටුණ.....
ඒ මහා වරුසාවත් එක්කම ඔයා මගේ හිතට
ගොඩ වැදුනෙත්
හදිස්සියේ නොකියාමයි......

මහා පිරිවරක් මගේ වටේ උන්නත් ඔයා නැති අඩුව
මේ කාටවත්ම පුරවන්න බෑ රත්තරං....
සැහැල්ලුව විනෝදය පැත්තකින් තියල
මේ හීතලේ කොහාට හරි ගුළි වෙලා
මට ඔයා ගැන හීන මවන්න හිතෙනව....
කඳුකරේ හීතලට හිරි වැටුන ආත්මය
උණුහුම් කරන්න අනේ... ඔයා මගේ ළඟින් උන්නානම්...

තුරඟ තරග පිටිය ළඟ
පුංචි අවන්හලේ සීතළ ඇගිලිතුඩු දවටාන
දොඩමළු වෙන්නට තිබුණා...
හෝර්ටන් තැන්නේ මහරත් මල් ගහකට මුවා වෙලා
ඩිංගිත්තකට ඔය පපුවෙ උණුහුමට ගුළි ගැහෙන්න තිබුණ...
හීතල කඩා හැලෙන පහළ මිටියාවතේ
නමක් නොදන්න කහ පාට මල් යායේ
ඔය අතේ පැටලිලා දඟ කරන්න තිබුණ...

අනේ... රත්තරං ...
මේ අළු පාට මීඳුමේ පා කරල
උණුසුම් හාද්දක්වත් මට එවනවද...
මේ හීතල...මේ පාළුව...
මේ තනිකම...දරාගන්න බෑ..
සත්තයි...

ප/ ලි .... මීට වසර තුනකට පමණ පෙර නුවර එළියේ ග්‍රෙගරි වැව පාමුළ පුංචි ගල් බංකුවක සිට දින පොතේ කුරුටු ගෑවකි.

Apr 20, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 3

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 1

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 2








තල් රුප්පාවේ ගෙවෙන ඊළඟ දවසට ඉර ඇහැරෙද්දි අපි සූදානම් උනේ ලංකාවේ එක කෙළවරකට යන්න.ඒ තමා පේදුරු තුඩුව.අපි නැවතිලා හිටපු මනිප්පායි නගරයේ ඉදන් 35Km විතර දුරක් යන්න ඕනෙ.පාරනම් තැන් තැන් වලින් බොහොම අබලන්.ඒ වගේම තමා මාර්ගයේ අලුත් වැඩියා කටයුතුත් සිදුවෙනව.ඉතින් බොහොම හිමින් තමා ගමන.ඒ යන මග දෙපසම අපි දැක්කෙ සරු සාර කෙසෙල් වගාවන්.ඒවා දැකලා අපිට යාපනේ කෙසෙල් වල රස බලන්නත් ආසාවක් ආවා.අතර මග කඩේකින් අපි ලොකු කෙසෙල් ඇවරියක්ම ගත්ත.


පේදුරු තුඩුව

ඔන්න ඒකත් කකා අපි කිට්ටු වුනා පේදුරු තුඩුවට.දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා හරියටම දුර මැනලා ලකුනු කල තැන තමා මේ ඉහල පින්තූරයේ තියෙන්නෙ.අපේ ලංකාවේ දිග 432Km නෙ.පේදුරු තුඩුවට එන ගොඩක් අය මේ තැන දන්නේ නෑලු. ගොඩක් අය ප්‍රදීපාගාරය බලල යනවා මිසක් මෙතනට එන්නේ නෑ ලු.දැන්නම් පාරේ පොඩි බෝඩ් කෑල්ලක් ගහලා තියෙනවා. හමුදා මුර පොලකුත් මෙතන තියෙනවා.ඔන්න අපේ නඩයෙන් ඉස්සෙල්ලාම දුවලා දුවලා ගිහින් මේ ලංකා කොඩියට අත ගැහුවේ මම තමා.ඔන්න මම දැන් ලංකාවේ ඒ කෙලවරටයි මේ කෙලවරටයි දෙකටම ගිහින් තියෙනවා.අප්පේ එකත් ආඩම්බර වෙන්න කාරණාවක් නොවැ.



එතන හමුදා මුර පොලේ හිටිය අපේ හමුදා සොයුරනුත් බොහොම සුහදව අප සමග කතාකලා.අප සමග චායාරූපයකට පෙනී සිටින්නත් ඔවුන් අමතක කලේ නෑ.පෙදුරු තුඩුවේ සිට කොඩිකාමම් කියන නගරය හරහා ගොස් නැවතA9පාරට වැටෙන ලඟම සහ ලේසිම පාරකුත් ඔවුන් අපිට කියා දුන්නා.


ඒ මග ඔස්සේ ඇවිත් අපේ ඊ ළඟ නැරඹුම් ස්ථානය උනේ රාත්‍රිය නිසා යන ගමනේදී මග හැරුණ අලිමංකඩ ට සේන්දු වීමයි.අද බොහොම නිසසලව සමාදානව තිබුනට මේ එදා කුරිරු යුද්ධයේ බිහුසුණුම අඩවියක්.කොළඹ උන්න අපිත් ඒ දවස්වල අලිමංකඩ එහෙම නැත්තන් Elephant Pass කියද්දි භීතියෙන් තැති ගත් අවස්ථා තිබුණ.අලිමංකඩ හේතු ගණනාවක් නිසා අති විශේෂයි.යාපන අර්ධද්වීපයේ ආරම්භය සනිටුහන් වෙන්නේ මේ අලිමංකඩින්.ඒ වාගේම ස්වාභාවිකව ලංකාවේ ලුණු මිදෙන එකම ලුණු ලේවාය පිහිටලා තියෙන්නෙත් මෙතැන.ඉර බහින හැටිත් ඉර නගින හැටිත් ලංකාව එකම තැනක ඉදන් නරඹන්න පුලුවනන්ම් ඒත් මෙතැනමයි.හිමිදිරි පාන්දරම ආවානම් ඒ අසිරියෙන් එක කොටසක් වෙන ඉර නැගීම අපිටත් බලා ගන්න තිබුණා කියල එතන හිටපු හමුදා සොයුරෙක් අපිට කිව්ව.


ස්මාරකය අසලට ඈතින් පෙනෙන ලේවාය

අලිමංකඩදී කාගෙත් නෙත මුලින්ම දිව යන්නේ උස් බිමක පිහිටලා තියෙන රණ විරු ස්මාරකයට.කලකට ඉහත මෙතැන තිබිලා තියෙන්නෙ යුධහමුදා සේනාංකයක්.ඔව් අර වීර සෙබළ සොයුරා කෝප්‍රල් ගාමිණී කුලරත්න දිවි පුදා රැක ගෙන තිබුනේ මේ ස්ථානයේ සිටි සෙබළ සොයුරන්ව තමා.මේ වෙනකොට ඒ සේනාංකයේ බොහෝ දෙනෙක් තමුන්ගේ ලේ කඳුලු දහඩිය විතරක් නෙවෙයි තම ශරීරය පවා මේ පොලවට සාරයක් කරල ඉවරයි.අලිමංකඩ මහ යුධ පිටියේදී අපේ විරුවන් 2000 හෝ 2500 පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.ඒ හෑම විරුවෙක්ටම ප්‍රණාමයක් පිණිස ඉර නැගෙද්දීත් ඉර බහිද්දීත් මේ ස්මාරකයේ ජාතික කොඩිය ඔසවලා ඔවුන්ට ගෞරව කරනවා.



අනිත් හැම තැනකදීම වගේ මෙතනදීත් යුධ හමුදා සොයුරන් මේ හැම දෙයක්ම අපිට පැහැදිලි ලෙස කියා දෙනවා.ඒ කතා අහද්දී හැමෝගෙම ඇස් වලට කඳුළු උනන එක නවත්තන්න අමාරුයි.කවුරුවත් නවත්තගන්න අසීරු උත්සහයක යෙදෙන්නේත් නෑ.ඒවාත් හිමින් සීරුවේ ගලාගෙන ගිහින් මේ මහ පොලවටම එක්කාසු වෙනව.ඔවුන් වෙනුවෙන් නාඬන ඇසක් මොකටද ...? ඒ රණ විරුවා කියූ එක වදනක් ගලේ කෙටූ අකුරු මෙන් මගේ හදවතේ සදහටම රැදුණ.




" මේ යාපන අර්ධද්වීපය පුරාම ඔයාලට පයට පෑගෙන හැම වැලි කැටයකම තියෙන්නෙ අපි වගේ සොදාදුවන් විසින් හෙලපු රුධිරය...ඔවුන්ව කිසිමදාක හදවතින්වත් යුධබිමෙන්වත් අපි තනිකරන්නේ නෑ..."

ඉතින් එය සැබෑවක්ම නොවේද...? ඔවුන් දිනා දුන් දේශයේ අද අපි මේ විඳින නිදහස් සුවයට අපි ඔවුන්ට සදා ණය ගැති නොවේද...?




අතිශය සංවේදී කතාවක් අවසන අපි ආයෙත් යන්නේත් ඒ වාගේම කතාවක් අහන්න.ඒ තැනට තව Km දෙක තුනක් යාපනය පැත්තේ සිට ඉස්සරහට එන්න ඕනෙ.(අපි මේ යාපනේ ඉදන් එන ගමනනෙ )අර හමුදා ස්මාරකය තියෙන තැන ඉදන් මේ කිලෝමීටර් ගනනාවම ඉස්සර තිබිලා තියෙන්නෙ හමුදා කදවුර.ඊළඟට තමා හසලක ගාමිණී විසින් පැන දිවි පිදූ බුල්ඩෝසරය හමුවන්නේ.පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්දාස් ගාණක් පටවගෙන කදවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන්න තමා මේ බුල්ඩෝසරය ඇවිල්ල තියෙන්නෙ.එදා එහෙම එන අවස්ථාවේ අද මේ බුල්ඩෝසරය ප්‍රදර්ශණයට තියලා තියෙන හරියේ තමා ගාමිණී මුරට ඉදල තියෙන්නෙ.බුල්ඩෝසරය පිටිපස්සෙන් තව කොටි හමුදාවක්ම වෙඩි තිය තිය ඇවිල්ල තියෙනවා.ඒ වෙඩි වරුසාවලින් බේරී බෙරී ගිහින් අපේ විර සෙබළා මේ බුල්ඩෝසරේට නැගලා එයාගේ අතේ තිබුණ අත් බෝම්බ දෙක මේ ඩෝසරයේ උඩ තියෙන පුංචි කවුළුවෙන් ඇතුලට හෙලලා තම ජීවිතයෙන් වන්දි ගෙවල වෙන්නට තිබූ මහාවිනාශයක් වලක්වල තියෙනව.ඒ මහා උත්තම ගුණයට උපහාරයක් පිණිස ලොව ප්‍රථම වරට පරම වීර විභූශණ සම්මානයෙන් මේ වීරයාව පුදල තියෙනව.ඒ කතා අහද්දී ආයෙමත් ඇස් වල කඳුළු අලුත් උනා.අපි හැමෝම ඒ මහා වීරයාට හිස නමා ආචාර කලා.


හසළක ගාමිණී දිවි දුන් බුල්ඩෝසරය



මුහුදු කොටි නායක සුසෙයිගේ වාහනය


හසළක ගාමිණී වීරයා දිවි දුන් බුල්ඩෝසරයට අමතරව මෙතැන තවත් කොටින්ගේ වාහන ගනනාවක්ම ප්‍රදර්ශණයට තියල තියෙනවා.එවාත් නරඹලා අපි ඊළඟට පිටත් වුනේ කිලිනොච්චිය බලා.එහිදී පාර අයිනේම තියෙන්නේ 2008 දී කොටින් විසින් පුපුරවා හරින ලද කිලිනොච්චියේ මහා ජල ටැංකිය.ඒක පොළව බදාගෙන ඉන්න හැටි දැක්කම උන් අපේ රටට කරල තියෙන විනාසය මොනවට පැහැඳිලි වෙනව.


පෙනවනේ සද්ධන්තයා බිම වැටිලා ඉන්න හැටි

ඊලඟට අපි පහු කරන්නේ කිලිනොච්චියේ රණවිරු ස්මාරකය.පතොරමක් බිත්තියක් පසාරු කරගෙන යන ආකාරයට නිම කරල තියෙන ඒ ස්මාරකයනම් හරිම කලාත්මක අදහසක් පාටයි.


කිලිනොච්චි ස්මාරකය

ඉතින් තව ලියන්න බොහේ දෑ තිබුණත් පෙන්නන්නට රූප බොහෝ තිබුනත් යාපනයේ සංචාරය මෙතනින් නිමා කරන්නට හිතුවා.මේ සටහන නිමා කරන්නට කලින් මම ඔයාලට මෙහෙම කියන්නම්.

ඉඩක් තියෙන වෙලාවට ගිහින් එන්න ඒ පැත්තට.යුද්ධයේ කුරිරු බව මොහොතකට හරි අපිට හදවතටම දැනෙන්නනම් ඒ දෙවල් බලන්න ඕනෙ , අහන්න ඕනෙ අපේ විරුවන් ජීවිත පුදා අපිට දිනා දුන් අපේ මතෘභූමියේ නිදහසේ හුස්මක් අරන් එන්න යන්න. ඒකත් එයාලට කරන ගෞරවයක් වේවි.

Apr 18, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 2

න්න ඔයාලවත් පිළිගන්නවා හොදේ

ඔන්න ඉතින් අද මේ ලියන්න යන්නෙ තල් රුප්පාවේ දෙවෙනි දවස ගැනයි.මුල් කොටස නොබලපු අය මෙතනින් ගිහින් බලලම එන්නකෝ.

හැන්දෑවේ 6 ට විතර මුලතිව් වලින් ගමන් ආරම්භ කල අපි කෙලින්ම අපේ නවාතැනට යන්න පිටත් වුනා.අපි නැවතුනේ අර්ධද්වීපයේ මනිප්පායි කියන ටවුන් එකේ.අපේ ඩ්‍රයිවර් උන්නැහේ මගදී අපිට වැඩියෙනුත් එක්ක දීපු කටු වලට හැටියට එයා හොයලා මරු Place එක කියලා කලින්ම බුක් කරපු තැනක් නිසා අපිට එතනට යනකන් විශ්වාසයක් තිබුනේ නෑ ඒක කොහොම තැනක් වේවිද කියල.අපි හිතුවේ මහ රෑ ආඬියා ළිදෙන් වතුර ඇදලා නාලා පැදුරක නිදාගන්න වෙවි කියල.අපේ වාසනාවටද මංදා ඒක එහෙම වුනේ නෑ.ඒක පැරණි ගෙදරක්.ඒත් බොහොම පිරිසිදු සුව පහසු නවාතැනක්.අපේ නඩයේ 12 දෙනාට කාමර 3 ක් ම වෙන් කරලා තිබුනා.නාන කාමරත් 3 ක් ම තිබුන නිසා ගෙදර වගේ නාලා ඇදන් බදාගෙන හොදට නිදා ගත්ත.

පහුවදා උදේම අපි නාගදීපය වදින්න යන්න තමා සූදානම් වුනේ. ලක ලෑස්ති වෙලා අපි නවාතැනෙන් එළියට ආවම තමා දැක්කේ වත්ත පුරාම අඹ ගස් , ගස් විතරක්නම් බැරියෑ ඔලුවේ හැපෙන ගානට අඹ සූ ගාලා.කොහොමද කඩලා
අච්චාරුවක් දා ගත්තනම් . අප්පේ කටට කෙළ උණනවා.අපි දෙතුන් දෙනෙක් අඹ ගස් වටේ කැරකි කැරකි දිග පළල මනිනකොට අපේ ලොකු තාත්තා දුවගෙන ආපි. "එකෙක්වත් අඹ ගෙඩියකට අත තියලා අහු වෙන්න එපා " කට්ටියගේ හැටි දන්න නිසා එයා බොහොම සුහදව අපිට ඒ විදියට කිව්වා ඇගිල්ලත් උළුක් කරලම.එහෙම කිව්වට පස්සේ ඉතින් අපි අඹ කන ආසාව අතඇරියා.ඒ උනාට අඹ අතු අල්ලගෙන , අඹ කටේ දාගෙන , අඹ ගස් බදාගෙන අපි හිතූ හිතූ හැටියට පින්තූරනම් ගත්තා.ඒවානම් මෙතන දාන්න ලැජ්ජවේ බෑ.අනේ ඉතින් අපේ මේ විකාර දැකල නවාතැන් අයිතිකරුට දුක හිතිලද මංදා අපි වාහනේට නැග්ගම අපිට අඹ ගෙඩි තුන හතරක් කඩල ගෙනත් දුන්න.අතටම ගෙනත් දුන්න ඒ අඹම හොරෙන් කඩන් කෑවනම් මීට වැඩිය කොච්චර රස ඇතිද.... අපරාදේ.

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මීට කලින් ලංකාවේ සිතියමේ විතරක් දැකලා තිබුන පත්තරේකින් රූපවාහිනියෙන් විතරක් රූපයක් දැකලා තිබුන ගම් , නගර , දූපත් හරහා යද්දී අපිටම පුදුමයි කවුද හිතුවේ ඉතින් මේවායේ මෙහෙම නිදහසේ හුස්ම ගන්න සිංහල අපිටත් දවසක් ඒවි කියල.කයිට්ස් , මන්ඩතිව් , පුන්කුඩතිව් , නයනතිව් (නාගදීප ) ඩෙල්ෆ් ..... මෙකී නොකී හැම දූපතක්ම පේන මානේ.සමහර දූපත් යා කරමින් මුහුදු කලපු හරහා මහ මාර්ග තියෙනවා. ඒත් නාගදීප හා ඩෙල්ෆ් වලටනම් බෝට්ටුවෙන් යන්න ඕනේ.


යන මග දිග

මග දෙපස සිරි අසිරි බලමින් නැවති නැවති අපි ඔන්න නාගදීප පුද බ්මට යන බෝට්ටු සේවය අසලට ළඟා වුනා.මූණට මූණලා තියෙන සිමෙන්ති බංකුවල වාඩිවෙලා එන පිලිවෙලට තමන්ගේ වාරය එනකන් ඉන්න ඕනෙ.නාවික හමුදාවේ කෙනෙක් ගනන් කරල කට්ටියව ඇතුලට ගන්නව.ඊට පස්සේ හැමෝටම ජීවිතාරක්ශක කබායක් ලැබෙනව ඇදගන්න.නාවික හමුදාවේ සෙබළ සෙබළියන් විසින්ම අතින් අල්ලලා උදව් කරලා හැමෝටම බෝට්ටුවට ගොඩ වෙන්න සහය දෙනවා.අපි මුලින් හිතුවේ බෝට්ටුවේ වාඩි වෙන්න පුලුවන් ප්‍රමාණයට විතරක් මගීන් ගන්නවා කියලයි.අනේ අප්පේ ප්‍රයිවට් බස් එකකට වගේ සෙනග පැටෙව්වා.හුස්ම ගනවත් ඉඩක් නෑ.මම දෙවියන්ට කිව්වා අනේ මේක ගිලෙන්නනම් එපා කියලා.කට කපලා සෙනග ඉන්න බෝට්ටුවක මුහුද මැද විනාඩි 15 ක් 20 ක් සෙල්ලංද අප්පා . හරියකට පීනගන්නවත් දන්නේ නෑ.



මේ තියෙන්නේ අපි ගිය බෝට්ටුව


බෝට්ටුවට නාගදීපය පෙනෙන ආකාරය


පපුවේ බිත්තර තම්බ තම්බ ගිය බෝට්ටු ගමන අහවර කරලා යාන්තං කරදරයක් උවදුරක් නැතුව නාගදීපෙට ගොඩ වුණා.මේ ඉතින් අපේ බුදුරජාණන්වහන්සෙත් වැඩිය පිං භූමියක් නොවැ.එහෙම තැන් වලට ඉතින් නිකන් ලේසියෙන්ම එන්නත් බෑ නේ.කටු කාල දුක් විදලා වෙහෙස වෙලා එන්න ඕනෙ එතකොට තමා අගේ. මුලින්ම හම්බෙන්නෙ නාගදීපේ කෝවිල පන්සල තියෙන්නෙ තව කිලෝමීටරයක් එකහමාරක් විතර දුරින්.කැමතිනම් පයින් යන්නත් පුලුවන් කැමතිනම් එතන ත්‍රීවීල් , ලොරි එහෙම තියෙනවා හයර් කරන්න ඒකක නැගලත් යන්න පුලුවන්.අපේ නඩයේ වැඩි දෙනෙක් අව්වට පිච්චිලා කලු වෙන්න තියෙන බය නිසාම ලොරියකට ගොඩ වුනා.








කළ කෙලෙස් ළෝපය
දැන මුණිගුණ කලාපය
හරණ ලෙස පාපය
වඳිමු අදරින් නාගදීපය


ඔන්න ඔහොම කියල නාගදීපෙත් වැඳ පුදාගෙන ආපහු අපි එන්න පිටත් වුණා.ආයෙත් ඉතින් අර බෝට්ටුවේම තමා ඉතින් වෙන මොකේද.

ඊළගට අපි ආයෙත් යාපනය නගරයේ.එදා අප්‍රේල් 6 පෝය නිවාඩුව නිසා යාපනයේ පුස්තකාලයත් කෞතුකාගාරයත් වහලා ඒ නිසා ඒවා පිටින් බලලා විතරක් සැනසෙන්න අපිට සිද්ධ වුනා.අපේ නඩේඩ ඊළඟට හැදුන දොලදුක තමා යාපනේ කඩේකින් තෝසෙ කන්න.එදා දවල්ට අපි යාපනේ කඩේකින් කෙසෙල් කොලේට බෙදාගෙන බඩ පිරෙන්න තෝසෙ , වඩේ , අල බෝල නම නොදන්න තව එක එක ජාතියේ දමිළ කෑම කෑවා.




නල්ලූර් කෝවිල

ම්... ඔන්න බඩ කට පුරෝ ගත්තායින් පස්සේ අපි ගියේ සුප්‍රසිද්ධ නල්ලූර් කෝවිල බලා කියා ගන්න.ඒ ස්ථානයනම් මගේ හිත ගොඩාක් ඇඳ බැඳ ගත්ත. කෝවිල ඇතුල ඒ තරමටම නිස්කලංකයි.අමුතුම ගුප්ත බවකුත් ඒක ඇතුලේ තියෙනවා වගේ.මේ කෝවිල ඇතුලේ චායාරූප ගැනීමනම් සපුරා තහනම්.ආ.... කියන්න අමතක වුනා නේ මේ කෝවිල ඇතුලට එන සියළුම පිරිමි උඩුකය නිරාවරණය කරගෙන එන්න ඕනෙ.එහෙම නැතුව කුඩා පිරිමි ළමයෙකුටවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ.අපේ නඩෙත් කොල්ලන්ටයි කොලු තාත්තලාටයි ඇඳුම් ගලවන්න කිව්වම ලජ්ජාව ඇඹරුනා හරියට ගෑණු ළමයි වගේ. ජිම් ගිහිලා Six Pack හදාගෙන සල්මන් ඛාන් වගේ හිටපු සමහරු නම් කියන පරක්කුවෙන් ගැලෙව්වා. හැබැයි ඉතින් එයාලා මේක හරිම අසාදාරණයක් කියලා නිහඩ උද්ඝෝශණයකුත් කලා "ඇයි අපි විතරක් ගෑණු ළමයින්ටත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ " කියලා .ඒ නීතිය ක්‍රියාත්මක කරනවනම් කෝවිලේ නැවතිලා ස්වෙච්චාවෙන් සේවය කරන්නත් කට්ටියක් සැදී පැහැදී සූදානමින් හිටිය.අපේ කට්ටිය උඩට ඇදුම් නැතුව කෝවිල ඉස්සරහ හිටගෙන ඉන්න බොහොම කලාත්මක පින්තූරෙකුත් මගේ කැමරාවේ තියෙනවා.ඒක බුකියේවත් බ්ලොග් එකවත් ප්‍රසිද්ධ කලොත් මාව මරණවා කියලත් කට්ටිය තර්ජනය කලා.අනේ මම බය උනා මම ඇඬුවා එතකොට අපේ කට්ටිය නල්ලූර් කෝවිල ගාව බොහොම ජයට තියෙන අයිස් ක්‍රීම් හලකට එක්කන් ගියා.යාපනේ අයිස් ක්‍රීම්වලටත් ප්‍රසිද්ධයිද මංදා හරියට මෙහෙ කොල්ලුපිටියේ තියෙන කානිවල් අයිස් ක්‍රීම් හල වගේ.සෙනගත් සූ ගාලා. අයිස් ක්‍රීමුත් බොහොම රසයි.එක එක්කෙනාට කැමති කැමති රසයෙන් කැමති කැමති තාලෙට තෝරගෙන වාඩිවෙලා නිදහසේ රස බලන්න පුලුවන්.කොලඹ ලොකු ලොකු අයිස් ක්‍රීම් හල් සේරම පරාදයි ඒ අයිස් ක්‍රීම් වලටනම්." Rio Ice Cream " ගිය වෙලාවක කාලම බලන්නකෝ වෙනස.

යාපනය අවට තව බලන්න පුලුවන් ස්ථාන බොහොමයක් තියෙනව.ඒ හැම එකම විස්තර කරනන් ගියොත්නම් මට තව පොස්ට් දෙක තුනක්වත් දාන්න වෙනව.ඒ නිසා සමහර ඒවා නම් වලින් විතරක් හදුන්වන්නම් හොදේ.


ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය , යාපනය කොටුව , නාග විහාරය ,කදුරුගොඩ විහාරය , කීරමලේ පොකුණ , දඹකොළ පටුන ,ඔන්න ඕවාටත් යන්න පුලුවන්. තවත් තැන් තියෙනවා අපිටත් යන්න බැරිවුන.මේ තැන් මම මෙහෙම ලේසියට ලිව්වට තියෙන්නෙනම් එක ළග නෙවෙයි එකකින් එකකට කිලෝමීටර් 30 - 40 දක්වාත් දුර තැන් තියෙනව.


එදා දවසේ ගමන් හමාර කරල අපි කෙලින්ම ගියේ කරෙයිනගර් මුහුදු වෙරළට. ඒකට කැෂුරිනා බීච් කියලත් කියනවා. හප්පා ගල්කිස්සේ මුහුද වගේ හෝ ගාලා රැළි ගහන්නේ නෑ. බොහොම නිසසලයි. ගොඩාක් දුර ඇවිද ගෙන යන්නත් පුලුවන්.හැන්දෑවේ ඉර මුහුදේ ගිලෙනකන්ම අපි හිතේ හැටියට මේ වෙරළේ නෑවා සෙල්ලම් කලා.වැඩිහිටියෝ කෑ මොර දීලා බෙරිහන් දීලා අන්තිමට අපිව දාලා යන සයිස් එකක් ආවම තමා අපි ගොඩට ආවේ.
මෙන්න කට්ටිය නානවෝ

ඉතින් ඉවරද ? නෑ අප්පා තව තියෙනවා . 3 වෙනි පෝස්ට් එකෙන් ඒ ටික කියන්නම් හොදේ.

Apr 17, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට....

ඔන්න ඉතින් අද මම ලියන්න යන්නෙ මගේ බ්ලොග් එකට අලුත් මතෘකාවක්.මීට කලින් මම මෙහෙම පෝස්ට් දාලම නැති නිසා අලුත්ම ලේබල් එකක් යටතේ තමා මේක වැටෙන්නෙ.ඒ තමා " සංසාරේ සංචාරේ " මේ ලේබල් එක යටතේ කුලුඳුලේම මම මේ ලියන්න ලෑස්ති වෙන්නෙ අපි මේ ඊයේ පෙරේදා ගිය යාපනයේ සංචාරය ගැන.ඒ ගමනේදී මම අහපු දැකපු විඳපු දෙවල් වලින් ටිකක් මම ඔයාලා එක්ක බෙදාගන්න හිතුව.

අප්‍රේල් 5 වෙනිදා හිමිදිරි පාන්දර ගල්කිස්සේ අපේ මහ ගෙදරින් අපි ගමන ආරම්භ කලා.කවරදාවත්ම නොගිය හා යන්න ලැබෙයි කියලා හිතන් නොහිටපු ගමනක් නිසා අපි හැමෝම මේ ගමනට පුදුම ආසවකින් හිටියේ.ආසාව කොච්චරද කියනවනම් එදා රෑ අපි කිසිම කෙනෙක් එක විනාඩියකටවත් ඇස් පියා ගත්තේ නෑ.ඒ නිසාම පාන්දර 4 ට පිටත් වෙන්න හිටපු ගමන පාන්දර 2.30 වෙනකොටම පිටත් වුනා.අනුරාධපුරයට එනකන් මහ දෙපස හුරුපුරුදු නිසා අපි කාටවත් ඒ මග ඒ තරම් විශේෂ උනේ නෑ.අනුරාධපුරෙන් එහාට යන්න තමා අපි කුතුහලයෙන් හිටියේ.අපිට නුපුරුදු A9 පාර දිගේ වාහනය ටිකෙන් ටික ඉදිරියට ඇදෙද්දි පරිසරයේ වෙනස් වීම බොහොම අපූරුවට දිස්වුණා.කශ්ටක අව්වත් මග දෙපස දූවිලි වලින් නෑවුන ගස් කොලනුත් හරියට ඒ පැත්තේ සංඛේත වගේ.

A9 පාර

ඕමන්ත මුර පොලේදී සියලුම මගීන් පරීක්ෂාවට ලක් වෙනවා.ඊට පස්සෙනම් මම හිතන්නෙ අපි යන්නෙ දරුණු සටන් ඇවිළුන , අපේ රණ විරුවන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් වන්දි ගෙවා දිනා ගත් ජය භූමි හරහායි.මහ දෙපසම ඝණ කැලෑව හා එක පෙලට පේන තල් අරඹවල් විතරමයි.ගොඩාක් තල් ගස් වල කරටිය නෑ.කලුම කලු පාට ගැහුණ කදන් විතරයි උසට උසේ පේන්නෙ.එහෙම වෙලා තියෙන්නෙ මෝටාර් ප්‍රහාර වලට කියලයි දන්න අය කිව්වෙ.

මුලින්ම අපි ගියේ ත්‍රස්ථවාදීන්ගේ රජ දහන කර ගත්ත මුලතිව් වලට. ඒකනම් රූස්ස කැලෑව.තාමත් පාරවල් හදනවා.එක දිගට පැය ගානක් දූවිල්ලෙන් පිරුණ පාරවල් දිගේ යන්න තියෙන්නෙ.තැනින් තැන යුධහමුදා බංකර තියෙනව.ඒ ඇරෙන්න මිනිස් වාසයනම් බොහොම අඩුයි.ඒ හැම මුර කුටියකම ඉන්න අපේ රණ විරුවන් අප සමහ බොහොම සුහදව දොඩමලු උනා.එයාලට දකුණේ අය එහෙට එනවා දැකීම සතුටක්.යුද්ධය හමාර කරලත් තවම එයාලටනම් සැනසීමක් නැති පාටයි.අදටත් ඝන වනන්තරේ කාශ්ටක අව් කූටකේ දූවිල්ලෙන් නෑවී නෑවී ඔවුන් රාජකාරියේ. ඒත් ඔවුන්ගේ මනුස්ස කම් වලනම් අඩුවක් නෑ.අවශ්‍ය උපදෙස් දීලා අපිට මග පෙන්නලා හිනා වෙලා අත වනලා සමු දෙනවා.



මග දෙපස මේ වගේ

මුලතිව් ගමනේදී අපි මුලින්ම ගියේ ප්‍රධාන ත්‍රස්ථවාදියාගේ භූගත මාළිගාව නරඹන්න.අම්මෝ ඒකනම් හිතාගන්නත් බැරි තරම් උපායශීලීව නිමාණය කරපු එකක්.මහ වනන්තරේ රූස්ස ගස් කොලන් අස්සේ අහසේ ඉදන් බැලුවත් නොපෙනෙන විදියට තිබිලා තියෙන්නෙ.පොලව මතුපිටින් සාමාන්‍ය ගෙයක් වගේ පෙනුනට අඩි 60 ක් ගැඹුරට තට්ටු 4 ක් දක්වා ඒ ගේ තියෙනව.හදිස්සි ප්‍රහාරයකදී යටම තට්ටුවේ ඉදන් පිටතට පලා යන්න උමං මාර්ගයක්ද ඒකට අන්තර්ගතයි.අක්කර ගණනාවක් පුරාවත් විහිදුණු මේ කැලෑවේ ලේසියෙන් කෙනෙකුට හොයා ගන්නවත් හොයා ගත්තත් ඉක්මනින් ලගා වීමට බැරි විදියටත් සූක්ෂම අයුරින් මේ නිවසට මුරකාවල් දාල තියෙනව.හතරැස් සහ රවුම් ආකාරයට ගැසූ කම්බි වැටවල් 6 ක් , ඒ හෑම කම්බි වැටක් ලගම බංකරයක් සහ ඈත දුරක සිටින කෙනෙකුගේ උනත් ඉව දැනෙන පිටරටින් ගෙන්වන ලද පුහුණු කල සුනඛයන් සහිත බලු කූඩු ඇතුලුව වෙඩි නොවදින මුර කුටි සහ තවත් බොහෝ දෑ මෙහි ආරක්ෂාවට තිබිල තියෙනව. අනේ ඉතින් මේවා දකිද්දිනම් හිතෙනවා මේ මහ ලොකු කෙරුම් කාරයා මොන තරම් මරණ බියකින් ඉදල තියෙනවද කියල.

ඔන්න පැහදිලිවම කියලා තියෙනවා

මේ තියෙන්නේ නිවස සහ ඒ අවට දළ සැලැස්ම

භූගත එක් මහළක කාමරයක ලංකාවේ සිතියම හරි හතරැස් කොටස් 90 ට (මට මතක විදියට 90 ) බෙදල වෙන් කරල තිබිල තියෙනව. එතන ඉදන් තමාලු මේ ත්‍රස්ථවාදීන් කොහාටද පහර දෙන්නෙ , කොහාටද බෝම්බ හෙලන්නේ කියලා තීරණය කරන්නේ.යුධ හමුදා සාමාජිකයන් විසින් මේ හැම තැනකටම අපිව එක්ක ගිහින් ඒ අදාල තැන් ගැන විස්තරයක් කරනව.ඒවා ඇහෙද්දී මුලු ඇගම හිරි වැටෙනව.

මේ තියෙන්නෙ එහෙම කොටස් කරපු කාමරය

ඊළගට නරඹන්න පුලුවන් තැන තමා ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකය.පීනන්න කිව්වට ඒක පීනන්න නෙවෙයි දහ දොලොස් දෙනෙකුට එක වර කිමිදෙන්න උනත් පුලුවන්. දිග අඩි 83 යි ගැඹුර අඩි 22 යි. ප්‍රභාකරන්ට දිය කෙළියේ යෙදෙන්න විතරක් නෙවෙයි ගැඹුරු මුහුදේදී නාවික හමුදා යාත්‍රා වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට මුහුදු කොටි පුහුණු කිරීමටත් මේ තටාකය උපයෝගී කරගෙන තියෙනව.


පිහිණුම් තටාකයේ පැත්තක්

මුලතිව් සහ පුදුකුඩුඉරිප්පු සංචාරයේදී ඒ අවට තව නැරඹිය හැකි තැන් කීපයක්ම තියෙනව.මුහුදු කොටි නායක සුසෙයිගේ නිවස , ප්‍රභාකරන්ගේ පලතුරු වත්ත , පුදුමාතලන් පස් බැම්ම , ෆාරා 3 නැව , නන්දිකඩාල් කලපුව , යුධ කෞතුකාගාරය , සම්බැරීන් අංගනය , මුලතිව් යනවනම් මේ තැනුත් මග නොහැර නැරඹිය යුතුමයි. අවාසනාවකට වගේ අපිට ෆාරා 3 නැව බලන්නනම් යන්න ලැබුනේ නෑ. පාරවල් හොය හොය අනිත් තැන් වල කරක් ගහල එද්දි හොදටම හවස් වෙලා එතනට යන්න දෙන වෙලාව පහු වෙලා.


පුදුමාතලන් පස් බැම්ම


අපි ඉතින් ඊළගට පාරවල් වරද්ද ගෙන කැලේ පුරා රස්තියාදු ගහල වෙලාව නාස්ති කරපු ඩ්‍රයිවර් උන්නැහේට හිතින් බැන බැන යාපනේ බලා එන්න පිටත් උනා. ඒ වෙනකොටනම් අපේ නඩයම හොදටම හෙම්බත් වෙලා . දූවිලි නෑවිලා අව්වට පිච්චිලා " කඩිනම් උතුරු වසන්තය " කියලා බෝඩ් ගහලා තිබුනට තවම නොහදපු වල ගොඩැලි පාරවල් දිගේ පැය ගනන් වාහනයේ උඩ පැන පැන ගිහිල්ල ශරීර කූඩුවට හොද ගනන්.ඊළගට අපිට ඕන උන එකම දේ වතුරකට පැනලා හොදට නාලා කාලා සැප නින්දක් විතරමයි.

දැන් ඉතින් මේ පෝස්ට් එකත් හිතුවට වඩා ලියවිලා. පින්තූරත් කීපයක්ම දාන්න තියෙන නිසා යාපනයේ ගත කල දින දෙක ගැන වෙනම දවසක කියන එක හොදයි කියල හිතෙනව.එහෙමනම් කට්ටිය ටිකක් ඉවසන්න හොදේ ,ඉක්මනටම ඉතුරු කොටස අරන් එන්නම්.

Apr 11, 2012

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !




බක්මාසේ මල් සුවඳින් නැහැවේවා
කොවුල් කූජනෙන් දෙසවන සැනසේවා
හැම මුවඟකම මුතු සිනහා විසිරේවා
නිදුක් නිරෝගිව ආයුශ බෝ වේවා

හැම මුවගකම මෙත් සිතුවිලි ඇතිවේවා
හදින් හදට ඒ සිතුවිලි බෝ වේවා
ඈත දුරු රටේ ඔබටත් සෙත් වේවා
මේ නව අවුරුද්ද හැමටම ජය වේවා !

ප /ලි
සිතුවිල්ල මගේ...ඒත් මේ පින්තූරයනම් මගේ නෙවෙයි අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක් හොදේ

Apr 9, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......














දන්නවද.....

අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
වෙන කොහෙවත් නෑ රත්තරං....

ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....

ඉතිං.....

ඇත්තටම මම වාසනාවන්තයි නේද....?

Apr 4, 2012

දෙනුවන් අනුහස....සිව්වන සජ්ජායනාව




ඔය ඇස් වලට මා පෙම් කල තරම්....
අනේ... ඔබ දන්නවානම්.......!


දෙනුවන් ගැන නොසිතමී හිතට මොන මොන තහංචි දා ගත්තද ඔහු ගැන නොසිතා එකම මිනිත්තුවක්වත් මගේ හිතට ඉන්නට බැරි සෙයකි.දුටුදා ඉදන් ඒ නිල් ඇස් දිගේ මහා දුරක් ගිය මට ඔහුගෙන් එකම ආදරනීය වදනකින් හෝ බැල්මකින්වත් තල්ලුවක් නැතුව මා හිතින් පෙම් කරන තරමක්...ඉතින් එසේ තිබියදී ඒ මුවින් ගිලිහුණ වදන් මා කෙසේ අමතක කරන්නද...ඔහු කීවාක් මෙන් එය බොරුවක් විහිළුවක් යැයි සිතා කෙසේ ඉවත දමන්නද.

" එයා මගේ.....දන්නවද එයා මගේ...."

ඒ වදන් හතර වටින් රැව් පිළිරැව් දිදී ආයේ ආයේ මගේ සවනට ඇසෙන්නාක් මෙන්ය.දෙනුවන්.... අනේ දෙනුවන්...දෙනෝදාහකට ඇසෙන්නට ඔබ ඒ කීවේ මුසාවක්ද...?

එදා රැයේ මට සහලවා උණ ගැණුනි.මා මේ බිය වී සිටින්නේ දෙනුවන් කී වචන වලටද එසේ නැතිනම් අනුහස් අයියාට මා සිතින් වන වැරදි වලට මගේම හිත මට දොස් කියන නිසාදැයි මට සිතා ගන්නට අපහසුය. සදුදා මම පාසල්ද නොගියෙමි.සවස්වරුවේ තාරා මා සොයා එතැයි මා දැන සිටියද ඇදේ මුනින්තලා වැතිරී සිටි මට ඈ එනවා දැනුනේවත් නැත.

" හරි අපූරුයි ගෑනු ළමය දපල ඉන්න තාලෙ සේරම උඩ දාගෙන...යකෝ අනුහස් අයිය දැක්කොත් උඹව උස්සගෙන යාවි..."

ඇය මගේ ඉස්සී තිබූ කෙටි සාය පහලට ඇද වැරෙන් නිතඹට පහරක් ගසා ඇදට පැන්නේ එසේ කියා ගෙනමය. ඇගේ කතාවට මට සිනා නැගුණි.

" සුදු අයිය මගේ මීට වැඩිය දේවල් දැකල තියෙනව බං "

මොකා...ක්...... ආයේ කියපං ආයේ කියපං බලන්න ඒ කියපු හරුපේ තේරුම... උඹ බබා වගේ හිටියට සෑහෙන දුර ගිහින් එහෙනම් නේද....?

" චී.... තාරා... උඹ හිතන මගුලක් ගැන නෙවෙයි මම කිව්වේ..

මම ඇයට කොට්ටයකින් දමා ගැසුවෙමි.

"එහෙනං කියපන්කෝ බලන්න මොකක්ද උඹ කියපු කතාවේ තේරුම "

ඇය හරි බරි ගැහී ඇද උඩ වාඩි වූයේ මා දමා ගැසූ කොට්ටයද උකුළට තුරුළු කරගනිමිනි.

" උඹ දන්නවද තාරා මං ඉපදෙනකොට අනුහස් අයියාට අවුරුදු පහයි.හොස්පිටල් ඉදලා මාව අම්මයි තාත්තයි ගෙදර අරන් එනකොට ඉස්සරහට දුවගෙන ඇවිත් කාර් එකේ දොර ඇරලා මාව අත් දෙකට අරන් ගෙට ගෙනත් තියෙන්නේ අනුහස් අයියලු.....එවෙලෙ ඉදන් මදුරුවෙක් මැස්සෙක්වත් වහන්න නොදී අනුහස් අයියා මගේ ලගටම වෙලා හිටියලු....මම කක්කි දැම්මම චූ දැම්මම කාටවත් නොකියා එයාම ඒ නැපි මාරු කරනවලු මාව හෝදනවලු....ඉස්සර මාමලගෙ ගේ තමා ඔය අපේ තාප්පෙන් එහා පැත්තෙ තියෙන්නේ.මං ඉපදුනාට පස්සේ කවදාවත් අනුහස් අයියව ඒ ගෙදරට ගෙනියන්න බැරි උනාලු... එයා ඉදලා තියෙන්නේ මෙහෙමයි...."

තාරා නොදන්නා මහා දිග කතාවක් මා කියන්නට යන බව ඇයට වැටහෙන්නට ඇත. ඈ ඇහි පිල්ලමක්වත් නොගහා , හ්ම් වත් නොකියා මා දෙසම බලා සිටී.

"Car ඇක්සිඩන්ට් එකකින් තාත්ති නැති වෙනකොට මට අවුරුදු තුන සම්පූර්න වෙලත් නෑ තාරා...එදා ඉදන් මට තාත්තෙක් උනෙත් සුදු අයිය...මට අවුරුදු දහයක් විතර වෙද්දි මාමා වැඩ කරපු Company එකෙන් Scholarships එකක් ලැබිල පවුලටම Canada යන්න Chance එකක් හම්බුනා . ඒත් අනුහස් අයියා අම්මවයි මාවයි දාල යන්න කැමති උනේම නෑ...ඒ වෙද්දි අපේ පවුල් අතර කතාවකුත් තිබුනා කවදා හරි මමයි සුදු අයියයි කසාඳ බදින්න ඕනෙ කියලා.පවුලේ හැමෝම සුදු අයියට විහිලු කලේ මගේ නම ගාවලා.අන්තිමට මාමයි නැන්දයි අනූපමා අක්කියි එහේ පදිංචියට ගියා.අනුහස් අයියව අපේ අම්මිට භාර දීල.හැබැයි ඒ එක පොරොන්දුවක් උඩ.මගේ ඉගනීම ඉවර වෙලා අනුහස් අයියයි මමයි මැරි කරලා අම්මිවත් එක්කන් Canada වල පදිංචියට එන්න ඕනෙ කියලා...."

" ඉතිං දන්නවද තාරා....අපි පුංචි කාලේ එකම පිගානේ බත් කාලා එකම ඇදේ තුරුල් වෙලා නිදාගෙන තියෙනව....පුංචි කාලේ විතරක් නෙවෙයි අදටත් මම හයියෙන් ගොරවලා වහින දවසට මේ කමරේ තනියම නිදා ගන්න බයයි...එහෙම දවසට මම කොට්ට දෙකත් උස්සගෙන දුවන්නේ අනුහස් අයියව හොයාගෙන....එයා මාවත් එක්ක ගෙන අම්මිගේ කාමරේට යනව...මං අනුහස් අයියගෙයි අම්මගෙයි මැද්දට වෙලා නිදා ගන්නව...සුදු අයිය ඒ අතින් දෙවියෙක් වගේ කොල්ලෙක් තාරා....කවදා හරි මම එයාගේ කියලා දැන දැනත් එයා මාව එයාගෙනුත් පුදුම විදියට පරිස්සම් කරනව......."

අන්තිම ටික කියාගෙන යද්දී මගේ ඇස් වලින් කඳුළු හෝ හෝ ගා වැටුණි.හීන් ඉකියක් සමග මහා දැවිල්ලක් පපුවට දැනුණි.සත්තකින්ම මේ කඳුළු අනුහස් අයියා වෙනුවෙනි.සිතුවිල්ලකින් වචනෙකින් හෝ ඒ පාරිශුද්ධ ප්‍රේමයට වරදක් වූවායැයි යන සිතුවිල්ල මට තදින් දැනුණි.

තාරා හුස්මක්වත් නොගෙන මදෙස බලා සිටී. ඒ ඇස් මුලද කඳුළක් දිලිසෙනවා මා දුටිමි.

" කවී....උඹ පුදුම තරම් වාසනාවන්තයි කෙල්ලේ...අනුහස් අයියා වගේ පිරිමියෙක් ලබන්න උඹ පිං කරලා තියෙනවා..."

තාර එසේ කීවේ මා ගැන මෙන්ම අනුහස් අයියා ගැනද උපන් අවංක ළෙන්ගතු හැගීමෙන් විය යුතුය.

" කවී මම අද ආවේ උඹ එක්ක ටිකක් සීරියස් කතා කරන්න.දැන් උඹ මේ කියපුවා අහද්දී ඒ දෙවල් කතා කරන එක ගොඩාක් හොදයි කියලත් මට හිතුනා...උඹ කවදා හරි අනුහස් අයියට දුකක් දීලා පව් පුරෝ ගන්නනම් හිතන්නෙපා කෙල්ලේ... ඒක ගෙවලා ඉවර කරන්න බැරි තරම් පවක්..."

" ඇයි එහෙම කියනේ තාරා...."

" එහෙම කියන්නෙද....එහෙම කියන්නෙ මට උඹව දැනෙන නිසා...තේරෙන නිසා...උඹ හැම දේම හිතේ හංගගෙන හිටියට උඹේ ඇස් දෙකට එහෙම කරන්න බෑ කවී..ඒ ඇස් වලින් උඹේ හිත ඕනම කෙනෙකුට පොතක් වගේ කියවන්න පුලුවන්..."

" හා කියපන් බොරුද මම කියන්නේ ආ...."

ඇය එසේ ඇසුවේ ඇදේ මා වාඩිවූ තැනට තවත් ළං වෙමිනි.ඉතින් ඇයගෙන් අද බේරුමක් නොවන පාටය. මා කරබා ගෙනම උනිමි.

" උඹ දෙනුවන් දැකපු දවසෙ ඉදන් ඌට පිස්සු වැටිල ඉන්නෙ...මම දන්නේ නෑ ඌත් එහෙමද කියල..හැබැයි එදා නුගේගොඩ සීන් එකෙන් පස්සේ මට ඌවත් සැකයි..."

මගෙන් පිලිතුරක් නැතුවම තාරා කියවගෙන කියවගෙන යයි.මම ඇස් උඩ තියාගෙන අසා සිටිමි. " එහෙම එකක් නෑ තාරා " කියා ඈට මුසාවක් පවසන්නට මට සිත් නොදේ.එක අතකට ඈ සමග හෝ හිතේ තියෙන දෙවල් පවසා හිත නිදහස් කර ගැනීම හොදය.

" උඹ දැන් ඔය කියපු විදියට ඉපදිච්ච දවසෙ ඉදන් උඹට ආදරේ කරපු උඹ වෙනුවෙන් ගොඩක් දෙවල් කැපකරපු උඹව බලා ගත්තු අනුහස් අයියටත් වඩා උඹට ඌව ලොකුයි...දෙනුවන් උඹට විහිලුවටවත් ආදරේ කිව්වොත් උඹ මේ හැමදේම දමල ගහල ඌ එක්ක යන්න හිතින් හිතලත් ඉවරයි...උඹ නෑ කියනවද කවී.... නෑ කියනවද ...කතා කරපං...."

ඇගේ හඩට මා තිගැස්සුණෙමි.

" අනේ තාරා මට බනින්න එපා..."

" බනිනව නෙවෙයි කෙල්ලේ තේරුම් කරල දෙනව...මෙච්චර ලස්සනට ගලපගෙන ආපු ජීවිතේ මේ කොහෙවත් යන එකෙක් නිසා අවුල් කරගන්න එපා කවී...උඹ මොනවද දෙනුවන් ගැන දන්නේ....? මම දන්න දෙවල් උඹ ඇහුවොත් පුදුම වෙයි..."


ඒ කතාවට මා සසළව ගියෙමි.

" ඇයි තාරා... මොනාද...අනේ මට කියපං Please.."

" දෙනුවන් අපිට හොද යාලුවෙක් තමයි ඒත් උගේ කැරැට්ටුවනම් එච්චර හොද නෑ කවී..යන යන තැන කෙල්ලොලු...ඌ කෙල්ලො මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවා වගේ ලේසියෙන්ලු...තාත්තා ලොකු සල්ලි කාරයෙක්ලු...තාත්තගේ සල්ලි වලින් මූ බිබී පිස්සු නටනවලු...උඹ දන්නවද.... අර අපේ ක්ලාස් එකේ මධූ....? අන්න ඒකි තමා දෙනුවන්ගේ අලුත්ම කෙල්ල....ඒකිටනම් ඒක හරි ලොකු දෙයක්ලු... යන යන තැන පම්පෝරි ගහනවලු දෙනුවන්ගේ Girl එයා කියලා.මට පේන්නෙ කෙල්ලොත් උගේ ලස්සනට පිස්සු වැටිල පැනල දෙනවද කොහෙද....දෙනුවන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නව...."

අදහන්න මසිත බොහෝ රිදුණි.අනේ මේවා අසන්නට තරම් මා පව් කර තිබුනාද... අනුහස් අයියා ගැන සිහිකර හැඩූ ඇසටම දෙනුවන් වෙනුවෙන් කඳුළක් නැගුනි.

" හංදියක් හංදියක් ගානේ සිගරට් බිබී දකින දකින කෙල්ල පස්සෙ යන රස්තියාදුකාරයෙක් උඹේ හීන වල හිටියද කවී...මට කියපං... හිටියද...?ඒ වගේ එකෙක් වෙනුවෙන් උඹ ඔය අඩන එකත් අනුහස්ට කරන අපරාධයක් කියල හිතපං...මතක තියාගනිං ... දෙනුවන්ට උඹ තවත් එක කෙල්ලෙක් විතරයි...උඹ ඔය අදහන පාරිශුද්ධ ප්‍රේමය ඌ අදුරන්නෙවත් නෑ...උඹ මේ තරම් මැරීගෙන ඌට හිතින් Love කියල ඌ දැනගත්තොත් උඹවත් ඇදගෙන කොහාට හරි යාවි.."


" අනේ ඇති තාරා ඕක නවත්තපං ---- "

මා දෑතින්ම දෙසවන් වසා ගතිමි.ඉකියක්වත් නොගසාම කඳුළු වැල් හෝ හා වැටුනි.

" ඇති තරම් අඩල හරි ඔය හිතේ තියෙන දෙවල් එහෙමම හේදිලා යන්න ඇරපං කෙල්ලේ...උඹට වරදක් වෙනකන් මට ඇස් කන් වහගෙන ඉන්න බෑ .. ඒකයි මම දන්න දෙවල් උඹට කියන්නේ...මම උඹේ හොදම යාලුවා ... හිතේ තියෙන දෙවල් මට කියලවත් හිත නිදහස් කරගනිං..."

" අනේ තාරා.... "

මා ඇගේ උකුළට බර වූයේ මහා හඩින් හඩා වැටෙමිණි.තාරා මා හිස අත ගාන්නට වුණි.

" මට එයාව අමතක කරන්න බෑ තාරා...ඒ ඇස් මගේ කියල මට දැනෙනවා...එයා නපුරු වෙන හැම වෙලාවකම මට ඒ ආදරේ වැඩි වැඩියෙන් දැනෙනවා...මට පිස්සු හැදෙයි තාරා..... මට පිස්සු හැදෙයි..."

" ඇස් ඇරලා කන් ඇරලා ඇත්තට මූණ දීපන් කවී...නොදන්නවා වගේ හිටියට අනුහස් අයියා මේ දෙවල් දන්නේ නෑ කියලද උඹ හිතන් ඉන්නෙ..?උඹට වචනයක්වත් කතා කරගන්න බැරි කාලේ ඉදලා එයා උඹව දන්නේ..ඔය මූණ බලල..ඔය ඇස් දෙක දිහා බලල අනුහස් අයියා උඹව තේරුම් ගත්තේ අද ඊයේ නෙවෙයි...උඹේ ඇහි පිල්ලමක් වැදෙන වෙනසත් අනුහස් අයිය අදුරනව කවී...එයා දන්නව උඹ දෙනුවන් ගැන හීන මවනව කියල..ෆෝන් එක නැතිවෙලා හම්බුණ සිද්ධියෙන් පස්සෙ ඉදන් උඹ වෙනස් කියල...වෙන එකෙක්නම් උඹව මරං කාවි... ඒත් පේනවද එයා ඉන්න විදිය...?අනුහස් අයිය පව් කවී... ඒ වගේ එකෙක්ට දුකක් දෙන්න එපා ...ඌව විහින් නැති කරගෙන ජීවිතේ නන්නත්තාර කරගන්න එපා බං...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තව බොහෝ දේ කියනන්ට ඇත. එහෙත් ඒ කිසිවක් මට නිනව් නැත.හඩා දොඩාම මා හෙම්බත්ව සිටියෙමි.තාරා පිටව ගියේ කීයටදැයි කියාවත් මට මතක නැත.

" සුදු අයිය එන්න කලින් වොෂ් එකක් අරන් ඔය මූණ හදාගෙන හිටපං කවී මේ විකාර නිසා ඒ කොල්ලව පිස්සෙක් කරන්න එපා..."

ඈ ගියේ එසේ කියා බව මට සිහිවුණි.එහෙත් ඇදෙන් බසින්නට තරම් දිරියක් මගේ ගතට තිබුනේම නැත.මා තව ටිකක් ඇදටම ගුළිවීමි.ඉතින් දෙනුවන්ට බැදි ප්‍රේමය තව දුරටත් රහසක් නොවන බව පමනක් මට දැනුණි.



                                                                  ~~ මතුසම්භන්ධයි ~~

Apr 2, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......

සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම



අද ඉරිදා.....චුට්ටක් දවල් වෙනකං ඔය උණුහුමට ගුළි වෙලා ටිකක් වැඩියෙන් නිදාගන්න පුළුවන් දවස....සතියේ දවස් හතෙන් මං ආසම කරන දවස.....
ඇති තරම් කතා කරන්න.... ඇති තරම් හිනා වෙන්න මං වෙනුවෙන් මටම වෙන්වුණු දවසෙ එක තත්පරයක්වත් අහක දාන්න මම සූදානම් නෑ.පුලුවන් තරම් ඉක්මනට අපේ පුංචි ගෙදර හැම වැඩක්ම ඉවර කරල ඔයාට තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නයි මට ඕන.
හැම ඉරිදටම ඔයා ආසම කෑමක් හදන්න මම උනන්දු වෙනව.පුංචි මේසෙ තියාගෙන සීරුවට මම එළවලු කපන දිහා ඔයා පෑන්ට්‍රි එක උඩින් වාඩි වෙලා බලාගෙන ඉන්නව.
" මම පොල් ගාල දෙන්නද...."
හිටපු ගමන් ඔයා අහනව.
" ආ...පෝ...එපා ...අද මම සේරම තනියම කරගන්නම්... ඔයා බලන් ඉන්න ..."
ඒත් ඔයා අහන්නේ නෑ දඩි බිඩියේ ලොකු ලොකු පොල් රැළි ගාද්දි මට හිනහත් යනව.ඒත් ඔයා දන්නවද.....?හදවතේ ආදරේ පිරිල උතුරනව.....සත්තයි.... ආදරේ තරමටම ජීවිතෙත් සුන්දරයි කියල මට දැනෙනව...ඔයාගේ ජීවිතේ පංගුකාරි වෙලා මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණිය වුණා කියල මට හිතෙනව...ඉතිං ඊටත් වඩා සතුටක්....ඔයාගෙන් තොර හෙටක් මට තියේවිද මේ මුලු ජීවිතේටම...
ජීවිතයේ සතුට කියා දුන් පෙම්බර හිමියනේ....
ජීවිතයේ විඩා නිවන නුඹේ සැනසුම් සෙවන ලඟ නැවතී ගිම් නිවන්නට මතු උපදින හැම සසරකම නුඹ මගේම් වී ඉපදේවා...!

ප/ ලි ... ගිය සතියේ බ්ලොග් එකට මුකුත් දාන්නවත් බ්ලොග් කියවන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ.ඒ මොකද මම අසනීපෙන් හිටියේ. උණ හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ.ඒ නිසා හැම සතියෙම කොටසක් දෙන්න පොරොන්දු වුන දෙනුවන් අනුහස නවකතාවෙ කොටසක් ගිය සතියේ දාන්න බැරි වුනා. ඒකට කට්ටිය මට සමාව දෙන්න හොදේ.තවමත් ඇගට කිසිම සනීපයක් නෑ. පුලු පුලුවන් වෙලාවට ටයිප් කරලා තියලා මේ සතියේ කොහොම හරි කොටසක් දෙන්න බලන්නම් හොදේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...