සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

May 29, 2012

උණ විකාරෙන් නැරඹූ " සුපර් සික්ස් "

                                                          




                                                                                  මේ දවස්වල මම ටිකක් අසනීපෙන්.දැන් ඉතින් මෙහෙම කිව්ව ගමන් මම දන්නවා අපේ කට්ටිය හිතා ගන්න දෙවල්. නෑ නෑ තාම එහෙම දෙයක් නෙවෙයි. මේක මේ උණ කැස්ස සහ හෙම්බිරිස්සාව හොදේ.ගිය සතියේ බ්‍රහස්පතින්දා ඉදන් මේ වෙනකන්ම ඉතින් මේ අසනීප ගති අඩු වැඩි වශයෙන් තියෙනවා.මම ඉතින් ඉස්සර ඉදලාම යාංතං හුළඟක් වැදුනත් ලෙඩ වෙන ජාතියේ කෙනෙක්.හෙම්බිරිස්සාවත් මට මහා ලොකු ලෙඩක් තමා.අපේ අම්මා මට කියන්නේ බ්‍රොයිලර් කිකිළි කියාලා. චික්... බලන්න අම්ම කෙනෙක් දුවෙකුට කියනවද මෙහෙම ආ....? අම්මනම් කමක් නෑ කියමු දැන් දැන් මගේ මහත්තය පොඩ්ඩත් මට අමතන්නේ ඔහොමනෙ.මේ දවස්වල ලෙඩ නිසා මන් ඉතින් ඉවසගෙන ඉන්නවා. නැතන් දනී මම එයාට කරන දේ.


                    මොනවා උනත් මේ දවස්වල මාවා බලා කියා ගත්තේ මගෙ සත්තලන් තමා.මට කිරි හදලා දුන්නේ බෙහෙත් පෙව්වේ අමාරුවෙන් හරි කන කන එක වමනේ දානකොට ( නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි ඔන්න ආයෙත් වැරදියට හිතුවා කට්ටිය )  අස් කලේ ඒ සේරම කලේ එයා තමා.අනේ මාව හොදට බලා ගත්තට මහත්තයෝ ඔයාට පින් හොදේ.දැන් ඉතින් මෙච්චර හරියක් කරපු මනුස්සයට මමත් මොනා හරි දෙන්න ඕනෙනේ එහෙම හිතලා ඔන්න මම එයාට මං ළඟ තිබුණ සබ්බසකල මනාවම එයාට දුන්නා.දැන් කට්ටිය බලාවිනේ මේ මොනාද දුන්නේ කියලා වෙන මොනාද උණ කැස්ස හෙම්බිරිස්සාව තමා. දැන් ඔන්න මම කෙලින් එය ඉන්නවා වැටිලා. එයා මට කරපු සාත්තු සප්පායම් දැන් මම එයාට කරනවා. එහෙම තමයි හොද  අඹු සැමි යුවළක් උනාම හැමදේම බෙදා හදා ගන්න ඕනෙනේ නේද ...?


               ඉතින් මේ ගිය ඉරිදා ඒ කියන්නේ  27 වෙනිදා හැන්දෑ වරුවේ අපි දෙන්නම හිටියේ ලෙඩ මරගාතේ.ඒත් ගේ ඇතුලෙම ඉදලා එපා වෙලා හිටියේ. ඔන්න මම යෝජනා කලා කොහේ හරි ගිහින් හුළං ටිකක් වැදිලා ආප්පයි ලුනු මිරිසුයි කාලා එමු කියලා.( උණ හැදිලා හිටපු දෙන්නා හුළං වදින්න එළියට ගියා කිව්වම මගේ නැන්දම්මා ඇහුවා අපි දෙන්නටම පිස්සුද කියල )ලේලිට පිස්සු කියන එක අත අරිමුකෝ එයා දන්නේ නෑ තාමත් එයාගේ පුතාට පිස්සු කියලා ( රහසින් )දඩිබිඩියේ ඇද පැළද ගෙන  ඔන්න ඉතින් අපි වාහනේට ගොඩ වෙලා පිටත් වුණා.කටුබැද්දෙන් ගාළු පාරට දාගෙන අපි හුළං හොය හොය ඉස්සරහට ගියා. අන්තිමට අපි නතර වුනේ වැල්ලවත්ත Roxy  එක ගාවින්  Marine Drive  එකට දාලා (ඔව් ඔව් අර මුහුද අයිනෙන්ම  තියෙන පාර )ඔය තියෙන්නේ හුළං ඇති පදං . බම්බලපිටිය කිට්ටුවට වෙන්න  නිදහස් තැනක වාහනේ නවත්තල අපි රේල් පාරත් පැනල ඔන්න ගිහින් ගල්පරයක් උඩට ගොඩ වුණා. ඉරිදා නිසා  වෙරළ පුරා කට්ටිය හිටියා. සමහරු මාලු බානවා , සමහරු පෙම් කරනවා , සමහරු සෙල්ලම් කරනවා අපිට වම් පැත්තෙ හිටියෙත් කපල් එකක්  දකුණු පැත්තෙ හිටියෙත් කපල් එකක්.දකුණු පැත්තෙ  හිටපු අය කුඩයක් ඉහලං හිටපු නිසා  ඕන් අපිනම් මුකුත් දැක්කෙ නෑ.වම් පැත්තේ හිටපු අයනම් ඒ තරම්ම නරක නෑ. ඒත් මට එතන ඉන්න නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ දැණුනා.මම කොච්චර බලන්න එපා කිව්වත්  මගේ සත්තලන්ගේ ඇස් ගියේම ඒ පැත්තට.ඔන්න දැන් උම්මා එකක් දුන්න්නා.... ඔන්න දැන් මෙතන ඇල්ලුවා... ඔන්න දැන් අතන ඇල්ලුවා....  බලලා නිකං හිටියේ නෑ මේකා කියවන්නත් පටන් ගත්තා.මේකාගේ හිතයි ඇසුයි එක තැනක තියා ගනන් ඕන නිසා මම කිව්වා මට මුහුදේ තියෙන නැව් 10 ක් ගනන් කරලා පෙන්නන්න කියලා. නැව් හයක්නම් බොහොම ලේසියෙන් හොයා ගන්න පුලුවන් උනා. ඒත් අපි දෙන්නම හොයලත් තව හතරක් හොයා ගන්නම බැරි වුනා.පස්සේ අපි ඒ වැඩේ අත ඇරිය. එතකොට වෙලාව  හවස 5. 30යි.මුහුද පාමුළටම ඇවිල්ලත් රැල්ළ පාගන්නේ නැතුව ඉන්න එක මට නිකං මොකක්ද මොකක්ද වගේ උණ පැත්තක තියලා මට හිතුනා  වැල්ළේ ටිකක් නටන්න. ඒත් බලධාරියා ඒක තරයේම එපා කිව්වා. පහලට බැස්සොත් කකුල් කඩනවා කියලත් කිව්වා. ඉහි ඉහි. මාව මෙතන තියන් හිටියොත් කොයි වෙලේ හරි මම මුහුදට පනින බව දන්න නිසා  එයා හිතලා ඉක්මනට යෝජනා කලා Super Six බලන්න යමු කියලා.  මං උඩ පැනලා අප්පුඩියකුත් ගහලා  ඒක අනුමත කලා. දැන් මට උණ මතකත් නෑ.උණ......? අපිට කොහෙද උණ..........?


                                    ඔන්න ඊළඟට අපි නැවතුනේ  කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාව ළඟ.අපි එතනට යනකොට  හයයි දහයයි. කලින් දර්ශණවාරය තවම ඇතුලේ දිවෙනවා.අපිට කලින් කිව් එක හිටියේ  තුන් ගොල්ලක් විතරයි.මුලින්ම  කපල් එකක් කිචි බිචි ගගා හිටියා. ඊළඟට අපේ අම්මගේ වයසේ විතර කෙනෙක්  සහ අපිට ඉදිරියෙන් පිරිමි කෙනෙක් ඊළඟට අපි.අර අපේ අම්මාගේ වයසේ විතර කෙනා ඇවිත් හිටියේ  එයාගේ දුව සහ දුවගේ යාලුවෝ කට්ටියක් පිරිවරාගෙන. එයාලා සැරින් සැරේ ඇවිත්  පෝළිමට එකතු උනා. ඊළඟට හිටපු පිරිමි කෙනා ඇවිත් තිබුනේ  එයාගේ බොස්ගේ කීමට බව අපිට  එයාට ආඅපු ඇමතුමක්ට උත්තර දුන්න විදියට තේරුම් ගියා.


" ඔව් බොස් මම පෝළිමේ 3 වෙනියට ඉන්නේ... තාම නෑ බොස්... හරි බොස්... 7 වෙයි පටන් ගන්නකොට ... හරි බොස්... Ok  බොස්...."


දැන් ඉතින් ඔයාලා හිතන්න එපා  අපි මේ අනුන්ගේ  දුරකතන සංවාද රහසේ අහන් හිටියා කියලා. එයා  බෙරිහන් දුන්නේ අපේ කණ ළඟ ඉදගෙනමයි.  ( පස්සේ අපි එයාගේ බොස් ව දැක්කා. එයා ඇවිත් හිටියේ රූමත් ළඳුන් දෙදෙනෙක් සමග. ඒ එයාගේ නෝනයි දුවයිද... නැත්තං ....... අනේ මංදා....)


ඊළඟ දර්ශන වාරය  හත කියලා තිබුනට මොකද  6. 55 ටත් කලින් දර්ශනය ඉවර වෙලා නෑ. වෙලාවට වැඩ නොකරන ශ්‍රී ලාංකීය ගතිය එතනත් හොදට තිබුනා.මේ වෙනකොට අපි පිටිපස්සෙන් මහ සෙනගක්  පෝලිමට එකතු වෙලා. ඒ වගේම  ඔන්ලයින් ටිකට් බුක් කරපු අයත් ඇවිත් දොරටුව ළඟ පිරිලා හිටියා.එයාලා කලින් ටිකට් අරන් එවා අතේ තියාගෙන අපිට පෙන්න පෙන්න හිටියේ නිකන් ඔලොක්කුවට වගේ.ඔය අතරේ වැඩි හරියක් හිටියේ බොහොම අර පරිස්සමට  විය පැහැදම් කරලා රෙදි පිරිමසාගෙන අදින  අපේ අක්කලා නංගිලා කට්ටිය තමා.වහගන්න ඕනම තැන්වත් හරියට වැහිලා නෑ.පිරිමි ඇස් කොහොම සංසුන් කරන්නද ගෑණු වෙච්ච අපේ ඇසුත් ඒ පස්සෙම දුවනකොට.ඇත් දළ පාට වාත්තු කරපුවා වගේ  එව්වා , බෙර කොට වගේ ඒවා , මේලෝ රහක් නැති එව්වා , පතෝල කරල් වගේ එව්වා ,දැක්ක ගමන් ගිලින්න හිතෙන එව්වා , චා.... එව්වා  මේකී නොකී සේරම එව්වා එතන නොමිලේම  ප්‍රදර්ශනයට තිබ්බා. ( මේ කකුල් ගැන විචාරය මගේ මහත්තයාගෙන් බව කරුනාවෙන් සලකන්න )එයා ඔය විචාරය කරන ගමන්  උගුර එහෙම පාදලා මගෙ අතේ තිබුන ජින්ජර් බියර් බෝතලෙන් ටිකකුත් බිව්වා. මම අහුවා දැන් උණ අඩුද කියලා  මොන පිස්සුද මට දැනුයි හරියට උණ හැදුනේ කියලා එයා කිව්වා.


කලින් වාරේ කට්ටිය සේරම එලියට ගියාට පස්සේ ඔන්න  කලින් ටිකට් බුක් කරපු අයව ඇතුල් කලා පස්සේ පෝළිමේ හිටපු අයට ටිකට් නිකුත් කලා. ඒත් වෙනදා වගේ නෙවෙයි බැල්කනියට ගිහින් අපිට හිතූ හිතූ තැන  වාඩිවෙන්න  පුලුවන් කමක් නෑ.අපේ ටිකට් පිටිපස්සේ නොම්බරේ ලියලා දෙනවා අපි වාඩි වෙන්න ඕනෙ එතනයි.ඇතුලට ගියාම අර ටෝච් එක අල්ලන කෙනා හරි තැනින් අපිව වාඩි කරනවා.එක කපල් එකක පිරිමි ළමයා ඒ ටෝච් එක අල්ලන කෙනා එක්ක  පොඩි කොක්කකුත් දාගත්තා. 320ක් දීලා ටිකට් එකක් අරන්  ඔයා කියන තැනින්ද අපි වාඩි වෙන්න ඕනෙ කියලා අහලා. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමා.


ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි හතට පටන් ගන්න ෂෝ එක හතහමාරට පටන් ගත්තා.පටන් ගත්තෙම සින්දුවකින් අපරාදේ කියන්න බෑ එක උන්න සුදු කෙල්ලො ටික පුදුම ලස්සනට නැටුවා.අපේ කතා නයිකාවෝ ටිකත් ඔය අතරින් පතර පෙනිලා ගියා නැටුවද කියලනම් හරියටම තේරුනේ නෑ.මම ඉතින් ඔන්න චිත්‍රපටිය ගැන ඕනාවට වැඩිය විස්තර විචාරයකට නොයා ඉන්නවා ඒ චිත්‍රපටියේ නිශ්පාදකගේ සහ අධ්‍යක්ශකගේ සුභ සිද්ධිය තකා ඕං.
          
            ෆිල්ම් එකට වැඩිය රසවත් සිද්ධි තව කොච්චරනම් තියෙනවද කියන්න.අපි දෙන්නා මේ උන විකාරෙනේ හෝල් එකට රිංගුවේ.අනික හොදටම කැස්ස. ඒසී එකට දැන් මේවා සේරම ඩබල් වේගෙන එනවා.නරඹන්නන් ඇල්පෙනෙත්තක් වැටෙන සද්දෙ ඇහෙන තරම් නිශ්ෂබ්ද වුන වෙලාවටමයි අපි දෙන්නට කහින්න ඕන වෙනෙත්. අයියෝ විලිලැජ්ජාවේ සංතෝසේ බෑ. පස්සේ පස්සේ අපි මොකද දනන්වද කලේ ඔය ෆිල්ම් එකේ තියෙනවා කිචි කවාගෙන වගේ හිනා වෙන්න ඕන තාලේ ජෝක් එහෙම.ඒවට කට්ටිය හිනා වෙද්දී අපි දෙන්නා අත් අල්ලගෙන තරගෙට කැස්සා.


         Super Six  බලලා අවසාන වෙද්දී මට හිතුනේ මෙච්චර වියදම් කරලා මේ චිත්තරපටිය හැදුවේ පබෝධාගේ කකුල් දෙක පෙන්නන්නමද කියලා.අනේ අපොයි අපේ සිංහල සිනමාව.



    ප / ලි

             හෝල් එකෙන් එළියට ඇවිල්ලා මම ගනන් හදලා බැලුවා ගිය වියදම ටිකට් වලටයි පාර්කින් එකටයි පොප්කෝන් වලටයි  ජින්ජර්බියර් වලටයි සේරම ගනන් හැදුවහම රුපියල්ම දාහකට කිට්ටුයි. හනෙ අප්පේ කජු ඇටද කොස් ඇටද... මම ගාණ කිව්වම මගේ මහත්තයා මට කිව්වා හා... දැන් ඉතින් ආප්පයි ලුණු මිරිසුයි කන්න බෑන්ක් ලෝන් එකක් ගන්න වෙනවා කියලා. මැදැයි උණ විකාරෙන් ආප්ප කන්න ආවා.
   



May 23, 2012

දෙනුවන් අනුහස ... නමවන සජ්ජායනාව

මේ තියෙන්නෙ කලින් කොටස් නොබලපු අය ඉන්නවනම් බලලම එන්නකෝ

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2


දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7

දෙනුවන් අනුහස 8







                 


අසුනේ කොනටම වන්නට ඇදී ගොස් වාඩිවුන මා උරයේ රැදුණු බෑගය ගලවා උකුළට ගෙන දොතින්ම ළැමැදට තද කරගතිමි.තවමත් සීරුවට වැසි වැටේ.ඒ වැසි පරදන්නට මෙන් මගේ ඇසින්ද කඳුලු වරුසාවක්ම වැටේ.වැරෙන් තොල් සපාගෙන මම ඉකිය පාලනය කරන්නට වෙහෙසුනෙමි.දෙනුවන් කෝපයෙන් බව මා දනිමි . ඒ කෝපය කොයි මොහොතේ හෝ නැවත පුපුරා යනු ඇත.


ඉතින් ඊළඟ තත්පරයේ මගේ ජීවිතයේ මොනවා සිදු වෙදැයි නිශ්චිතව කිව සිතා ගත නොහැකි අසීරු තැනකට මා පත්වී සිටියෙමි.මේ යන්නේ කොහෙදැයි දෙනුවන්ගෙන් අසන්නට උවමනා විනිද එයට මට දිරියක් නොවීය.මා මේ සිටින්නේ මගේ ජිවිතයේ මා වැඩියෙන්ම ප්‍රේම කරන පුද්ගලයා ළඟ බව සැබෑවකි.ඒත් ඔහුට මා තවත් එක කෙල්ලෙක් පමණක් බව සිතන්නට කරුණු මිස එසේ නොසිතන්නට මා ළඟ කිසිම සාක්ෂියක් නැත.මුරුගසං වරුසාවක් මැද දෙපසින් ආවරණය කල තුන් සක් රියක් තුල මොනවා සිද්ධ වන්නට බැරිද ..?ලෝකයා මොනවා කීවද දෙනුවන් මගේ හදවතේ සදහටම නිකළැල්ය.. පූජණීයය.ඒ පූජණීයත්වයට කැලලක් වන වදනක් හෝ ඒ මුවින් පිට වුනොත් ඉතින් මට මේ ආදරයෙන් පලක් නැත.ඊටත් කොහොම බැලුවත් අද මේ සිදුවන හැමදෙයම අනුහස් අයියාට කරන මහා හතුරු කමකි.වෙන මොනවා ඉවසුවද පිරිමියෙක් තමා ආදරය කරන යුවතියගේ අතකින් හෝ වෙනත් පිරිමියෙක් අල්ලනවාට කැමති නැත.එය දරා ගන්නේද නැත. මොන ක්‍රමයෙන් හෝ ඒ තරහ පිට කරගන්නවාමය.කාගෙන්වත් කතාවක් නොඅසා කොල්ලන්ව තඹේකට මායිම් නොකර ආඩම්බරෙන් සිටි කවිති අද නැත්තටම නැතිවුවා නොවේද.


" මල්ලී කොහාටද යන්නේ "


රියදුරාගේ හඬින් තිගැස්සුනු මම ඉක්මනට කඳුලු පිහිදා ගෙන දෙනුවන් දෙස බැලීමි.මහ පාරේ දෙනුවන් මට කෑ ගැසූ හැටි මේ රියදුරාද දකින්නට ඇත.මහ මග උන් අය මෙන්ම ඔහුද මෙය පෙම් හබයක් බව සිතනවා නොඅනුමානය.මට ආයෙත් අලුතින් ලැජ්ජාවක් දැනුණි.


" පිලියන්දලට "


දෙනුවන් කී දෙයින් මට යාන්තමට හුස්මක් වැටුණි.ඒ හඬ දැන් නිවී ඇත. එහෙත් ඒ මුහුණ දෙස කෙලින් බලන්නට තවමත් මට හැකියාවක් නැත.මා මෙන්ම අසුනේ එහා කළවරම උන් දෙනුවන් එක පාරටම මා අසලට කිට්ටු විය.මම බෑග් එක හයියෙන් තුරුළු කරගෙන තවත් අසුනේ කෙළවරටම ගුළිවීම්.ඒ දැක දෙනුවන් ගේ මුවට හිනාවක් ආවේය.ඔහු අහක බලාගෙන හිනැහුනි.මීට විනාඩි ගානකට පෙර ඒ පපුවම මගේ කරගෙන උන් මා මෙලෙස හැසිරීම ඔහුට විහිළුවක් වූවාදැයි මට සිතුණි.සිතට දුක දැනී ආයේ ආයේ කඳුලු අලුත් විය.


" මම දන්නවා වෙච්ච දෙවල් වලට ඔයා දුක් වෙනවා බය වෙනවා... ඒත් ඒ කිසිම දෙයක් ඔයාවත් මමවත් හිතලා උවමනාවෙන් සිද්ධ උන දෙවල් නෙවේ.... වෙලාවේ හැටියට ඉබේම උන දෙයක් ... පුංචි Accident එකක් කියලා හිතලා ඒ සේරම අමතක කරලා දාන්න... "


බොහෝ සෙමෙන් දෙනුවන් එසේ කීවේ මට පමණක්ම ඇසෙන්නට මෙනි.ඔහු කියන්නේ සැබෑවකි ඒ කිසිම දෙයක් ඔහුවත් මාවත් හිතාමතා කල කී දෙවල් නොව එහෙත් පුංචි Accident එකක් යැයි කියා ඒ කිසිම දෙයක් අමතක කරනන්ට ඉතින් මට පුලුවන් වේවිද...මා ඒ පපුවට තුරුලු වූ කී වෙනියාදැයි කියා සමහර විට දෙනුවන්වත් නොදන්නවා විය හැක.ඉතින් ඔහුට එය මහා දෙයක් නොවන බව විශ්වාසය.මට මෙන් මතක් කර කර ඒ මිහිර ඒ තිගැස්ම විඳින්නට ඔහුට උවමනාවක් නැත.මම දෑස් පියා ඒ තත්පර කීපය යලි මවා ගතිමි.


" ඔයා ඔහොම බය වෙද්දි අඬද්දි මට මං ගැනම තරයි ... මං අතින් ලොකු වරදක් උනා කියන හැඟීම මට දැනෙනවා...මං ඔයාගේ හොදම යාලුවෙක් කියලා හිතලා බැරිනම් සහෝදරයෙක් කියලා හිතලවත් ඒක අමතක කරලා දාන්න... Please..... "


ඔහු ඇත්තටම කම්පා වෙන හඩකින් පැවසීය.දෙනුවන්ට මෙසේ කා ළඟවත් බැගෑපත් වී පුරුදු නැති බව මා අත්දැකීමෙන්ම දනිමි.සැරින් සැරේ මා ලඟදී වෙනස් වෙන ඔහුගේ මේ ගතිගුණ මා අවුලෙන් අවුලට පත් කරයි.මේ හිතුවක්කාරයා තේරුම් ගන්නට මෙන් මා ඔහුට හොරෙන් ඔහු දෙස බැලීමි.


මා තරමටම නැතත් දෙනුවන්ද වැහි දියෙන් තෙමී ඇත.මුහුණට වැටෙන තරම් දිග ඒ අකීකරු කෙස් රොදෙන් වැහි බිඳු එක දෙක වැටේ.ඒ හැම වරකදීම ඔහු දෑතින්ම කෙස් පිටුපසට කර ඔලුව දෙපසට වනයි.ඇති පදමටම තෙත බරිත වී ඉන්න මගේ ඇගටද වැහි බිඳු විසි වෙයි.කවදත් මා ඇලුම් කරන ඒ ජේත්තුකාර කොලුකම් ඔහු ළඟ ඕනාවටත් වැඩි තරම්ය.හැමෝම කියන දකින දඩබ්බරයාට රස්තියාදුකාරයාට එහා ගිය දඟකාර හුරතල් කොලු කමක් ඔහුගෙන් දකින්නේ මා පමණක්මද.. එහෙම නැත්තම් ඔහු මෙලෙස හැසිරෙන්නේ මා ළඟ පමණක්ද..


එක වරම යමක් මතක් වූවාක් මෙන් දෙනුවන් මදක් ඉදිරියට නැවී කලිසම් සාක්කුවේ රුවා සිටි දෙයක් එළියට ගෙන තවත් ටිකක් මා ළඟට වී මා ළැමට තද කරගෙන උන් බෑගයෙ කොණකින් අල්ලා ගති.මා තිගැස්සී පස්සට විය.


" මට ඔච්චර බය වෙන්න එපා... ආයෙ කවදාවත් වැරදිලාවත් මගේ ඇගිල්ලක්වත් ඔය ඇගේ ගෑවෙන එකක් නෑ.."


පුංචි Teddy Bear කෙනෙක් සහිත Key Tag එකක් මගේ බෑගයේ Zip එකේ රදවමින් දෙනුවන් කීවේ මගේ ඇස් ඒ ඇස් වලින් අල්ලා ගන්නට වෙහෙසෙමිනි.මට මහා දුකක් දැණුනි.මේ බය තිගැස්ම ඔහු ගැන උතුරන ආදරය වෙනුවෙන් මිස වෙන කිසිම දෙයක් වෙනුවෙන් නොවන බව ඔහුට කියා ගන්නට බැරිව මා ලතවුනෙමි.ඔහු බදා වැළදගෙන මහා හඩින් හඬන්නට මම ආදරෙයි දෙනුවන් කියා කියනන්ට අනේ මාව මෙහෙමම කොහේ හරි අරන් යන්න කියා ඒ කකුල් අල්ලා වැදවැටෙන්නට මට දස දහස්වරක් සිතුණි.ඒ හැගීම් පිට කරගනන්ට බැරිව මම වෙව්ලන්නට වීමි.


" ඔයාව වෙව්ලනවා "


මොහොතක් මදෙස පුදුමයෙන් මෙන් බලා සිටි දෙනුවන් වහා ළඟට එන්නට ගොස් යමක් මතක් වී මෙන් සැනෙන් ආයෙත් දුරට ගියේය.


" ගෑණු ළමයි ආඩම්බර වෙන්න ඕනෙ ඒ උනාට මුරණ්ඩු වෙන්න හොද නෑ දැන් පේනවනේ ඒකට වන්දි ගෙවන හැටි... ගෙදර ගිය ගමන් ඉක්මනට ඇඳුම් මාරු කරල ඇග පිහිද ගන්න "


තාත්තෙක් දරුවෙකුට තරවටු කරන්නාක් මෙන් දෙනුවන් මට දෙස් තබයි.එහෙත් එය සොඳුරු ආදරණීය තරවටුවක් මෙනි.අද ඔහු දොඩන හැම වදනකින්ම ඔහුට බැදි සිත තව තවත් ප්‍රේමයෙන් පිරේ.මා දරා උන්නාට වෙන කිසිම කෙනෙක් මෙවන් මොහොතක් දරා ගන්නේ නැත.


" සුරංඟනාවී බහින්න දැන් අපි ඔයාගේ ගේ ළඟ "


දෙනුවන් එසේ කියද්දී මා පුදුමයට පත්වීමි.වැසි ආවරණය ඉවත් කර මා හිස මදක් ඉවතට දා බැලීමි. සැබෑය අප ඉන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිටය. දෙනුවන් මගේ නිවස හරියටම දන්නේ කොහොමදැයි මම සිතීමි.එකම නගරයේ දෙපසක වෙසෙන ඔහුට මගේ ගේ සොයා ගැනීම මහ දෙයක් නොවෙන්නට ඇත.වැස්ස තවම නැවතී නැත.කල්පාන්තයට වහින වැස්ස මෙන් එය හැමතැනටම එකම විදියට ඇද හැලේ.ඉතින් දැන් සමුගන්නට වෙලාවය. මා හැරී දෙනුවන් දෙස බැලීමි.


" යන්නම් "


ඇසෙන නොඇසෙන තරම් හිමිහිට මා එසේ කියා ගතිමි.


" ආපහු තෙමෙන්න වෙනවනේ...මම Gate එක ඇරලා වත්තට දාන්නද වීල් එක..."


" එපා.... මම යන්නම් ..."


මා එසේ කියා බැසගතිමි.දෙනුවන්ද එහා පසින් බැස ගත්තේය.මා වටෙන් විත් ඔහු ළඟ නැවතුනෙමි.


" ඉක්මනට දුවන්න...අම්මට කියලා උණුවෙන් කෝපි එකක් හදාගෙන බොන්න..."


මා හිස වනා එය පිළිගතිමි.


" ඔයත් තෙමෙන්න එපා පරිස්සමින් යන්න... බුදුසරණයි.."


දෙනුවන් ලස්සනට හිනා වී මදෙස බැලීය


" බුදුසරණයි සුරංඟනාවී ඔයාටත්..."


ගේට්ටුව හැර මා දොර දක්වා හැල්මේ දුව ගියෙමි.ආපසු හැරී බලද්දීත් දෙනුවන් ඒ වැස්සේ තෙමි තෙමී මදෙස
බලා හිදිනවා මා දුටිමි.ඊටත් ටිකකට පසු ඔහු අත වනා රියට ගොඩ විය.දොර සීනුව තද කරගෙනම මා එහෙමම දොරට හේත්තු උනෙමි.


" දෙයියනේ..... දරුවෝ මොකද මේ.... "


අම්මා මා දැක බෙහෙවින් බිය වන්නට ඇත. වැස්සට තෙත බරිතව දිය බේරෙන මා එහෙමම අම්මාට තුරුල් විය.


" පිස්සුද සුදු දූ ඔයාට... මේ දාරාණිපාත වැස්සේ තෙමි තෙමි ආවේ විකාරෙන්ද ඔයා... කටින් කටට කිව්වා මම කුඩේ අරන් යන්න කියලා... කෝ ඒක කණකට ගත්තද..."


" පායනකන් කියලා කොච්චර වෙලා ඉන්නද අම්මා... ටවුන් එකේ එක ට්‍රයිශෝ එකක්වත් නෑ අම්මා... ඒ නිසා මම පයින්ම දුවගෙනම ආවා "


මේ බොරු කොහෙන් කටට එනවාදැයි මටම පුදුමය.වැහි දියට මුසුව නෙතින් ගලන කඳුලු අම්මාගෙන් වසං කරගෙන මෙතැනින් ඉක්මනට බේරි කාමරයට දුවන්නට මට ඕනෑ විය.


" ඉක්මනට ඇදුම් මාරු කරගන්න... මම කොත්තමල්ලි ටිකක් හදාගෙන එන්නම්...අසනීපයක් උනොත් අර දරුවයි මමයි නැහෙන්න ඕනෙ.. පොඩි එකෙක් වගේ සෙල්ලම් වැඩ කරන්න එපා සුදු දූ..."


ලද අවසරයෙන් මා පිම්මේ කාමරයට දිව ගොස් එහෙමම ඇදට වැටුණෙමි.පැය ගානක් හිර කරගෙන උන් කඳුළු මා මහා හඩින් හඩමින් සිත්සේ පිට කලෙමි. ඉතින් යලි ජීවිතය තිබුනාටත් වැඩි ආගාධෙකට ඇද වැටුනා නොවේද.මෙයින් ගොඩ එන්නට යලි කවදාවත් මට බැරි වෙන බව මා දනිමි.අම්මාට අනුහස් අයියාට සේම තාරාටද ආයෙ මට මුහුණ දීමට බැරිය.දෙනුවන්ගෙන් මේ තරම් වසං වී ඉදිද්දීත් ආයේ ආයේ ඔහුව මෙලෙස දෛවය විසින් මට මුන ගස්සවන්නේ මගේ ඉරණම දෙනුවන්ගේ ඇස් වලම ලියා ඇති නිසාදැයි මට සිතේ.



කොහේ යතත් මා කරේ එල්ලාගෙන යන මගේ ප්‍රියතම ලෙදර් බෑගය තවමත් මා තුරුලු කර ගත් ගමන්මය. දෙනුවන් විසින් එහි එල්ලූ Ket Tag එක මා මුහුණට තියා තද කර ගතිමි.එයින් හමන්නේත් ඒ පපුවේ රැදි සුවඳමය.ඒ සුවඳ මගේ සිහිය ඈත කොහාටදෝ තල්ලු කරන්නාක් මෙනි.කිසිවක්ම නොපවසා මෙවන් සුන්දර තිළිණයක් ඔහු මට දුන්නේ ඇයි...? ඔහු එය ගත්තේ මා වෙනුවෙන්මද? ඔලුව හත් කඩකට පැලෙන්නට මෙන් රිදුම් දෙද්දීත් මා කිසිදාක උත්තර නොලැබෙන ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමි.මා අසාමාන්‍ය ලෙස වෙව්ලමින් සිටියෙමි. ඒ සීතලටම පමණක් නොවන බව මා දනිමි.


එක වරම දුරකතනය එක දිගටම නාද වන්නට විය. මා සිතුවේම ඒ දෙනුවන් වන්නට ඇත කියාය. මා බෑගය ඇද දඩි බිඩියේ ෆෝන් එක සොයා ගතිමි. නැත ඒ තාරාය.මේ මොහොතේ ඇයට කතා කරනන්ට තරම් සිහියක් පේන මානයකවත් නැත. ඇරත් කතා කර ඇයට මොනවා කියන්නද. මා එහෙමම දුරකතනය විසන්ධි කර මේසය මතට විසි කලෙමි.ඊළඟ විනාඩියේ මා සිතූ සේම ගෙදර දුරකතනය නද දෙන්නට විය.ඒ තාරා බව මා දනිමි.අම්මා තව මොහොතකින් ඇයට මා වැස්සේ තෙමීගෙන ආ බව පවසනවා ඇත.ඇයට මොන මොනවා හෝ හිතා ගන්නට ඒ ටිකම ඇත.අම්මා කාමරයට එන්නට කලින් මම නාන කාමරයට ගොස් දොර වසා ගතිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතිං ඒ රැයේ මට සහළවා උණ ගන්නට විය. උණ විකාරෙන් මා අසිහියෙන් මෙන් දොඩවන්නට විය.ඇස් පියන හැම මොහොතකම මා දෙනුවන්ගේ පපුවට තුරුළු වී ඉන්නවා පෙණුනි. ඇස් අරින හැම මොහොතකම අනුහස් අයියා ළඟට වී මා හිස පිරිමදිනවා දුටිමි.පැයක දෙකක කෙටි නින්දක අවසන මා බියකරු සිහින දැක කෑ ගසමින් අවදි වූයෙමි.අම්මාත් අනුහස් අයියාට නිදි වරමින් මා ළඟම විය.


" සුදූ ... මගේ නංගී... බය වෙන්න එපා රත්තරං... ඔයාගේ සුදු අයියා ඔයා ළඟම ඉන්නවා...මේ අම්මත් ඉන්නේ...ඔයාට මොනවත් වෙන්නේ නෑ...දැන් නිදා ගන්න වස්තුවේ... ඔයාට ඉක්මනට සනීප වෙයි..."


එක දිගටම හිස අතගාමින් බෙහෙත් පොවමින් සුදු අයියා මා සනසයි.අම්මා මෙන්ම ඔහුද තවමත් සිතා සිටින්නේ මා හිතුවක්කාර කමට වැස්සේ තෙමී ලෙඩ වී ඇති බවය.එය මට සැනසීමක් වුනිද සුදු අයියාගේ මුහුණ කෙලින් බලන්නට බැරිව ලතැවීමි.කවදා වෙන තුරු මේ රහස් මෙසේ රකින්නට වේදැයි මා නොදනිමි.වෙන ඕන දෙයක් වෙන්නට කියා ඒ ලැබුණු අවස්ථාවේ මේ හැමදේම දෙනුවන්ට කියන්නට තිබුනා නොවේදැයි මට දැන් දැන් වැඩි වැඩියෙන් සිතේ.ඒ සුසුමක උණුහුම වැටෙන මානයටම ළං වීත් ඔහුට මගේ හදවත ගැහෙන රිද්මය වටහා ගන්නට බැරි වූ හැටි.


සිහියත් අසිහියත් නින්දත් නොනින්දත් අතර ගෙවුන පැය ගනනාවකට පසු උදෑසන වන විට මම යම්තාක් දුරකට වැර වෑයම් කර සිත පාලනය කර ගතිමි.ඒ අන් කිසිවක් නිසා නොව මා නිසා දුක් මහන්සි වෙන අම්මාත් අනුහස් අයියාත් වෙනුවෙනි.ඇදෙන් නැගිටීමටවත් හිතට ගතට හයි හත්තියක් නොතිබූ මුත් මා නිකමටවත් ඒ බවක් අගවන්නට ගියේ නැත.අම්මාත් අනුහස් අයියාත් එහා මෙහා වූ සැනින් මම තාරාට ඇමතුමක් ගතිම්.


" ආහ්..... කුමාරිහාමිට දැන්ද මතක් උනේ... කියපං බලන්න ආපහු අල්ලපු අඩව්ව මොකක්ද කියල...."


ඇය කේන්තියෙනි.කාට හැංගුවත් මේ කිසිවක් ඇයට හංගා පලක් නැත.


" තාරා... Please මං වෙනුවෙන් ඉක්මනට වරෙන්... අනේ මට උඹ එක්ක කතා කරන්න ඕනේ..."


වෙන කවරදාටත් වඩා මගේ හඬ බිදී තිබෙන්නට ඇත.


" කවී .. මේ අහපං උඹ ආයේ Play කරන්න හදන්නේ පරණ තැටියමනම් ඕක අහන්න වෙන කෙනෙක් හොයා ගනිං.. මම මෙහෙටම වෙලා ඉන්නවා..."


Please Please...... Please....... තාරා... අනේ මං මැරෙයි...තව එකම එක පාරක් මාව ආගෙන හිටපං මට එකම එක උදව්වක් කරපං තාරා.... අනේ ඔයාට පිං සිද්ධ වෙනවා..."


මා ඉකිබිදිමින්ම ඇමතුම විසන්ධි කලෙමි. ඒ සැනින් ආයේ තාරා මට ඇමතූවද මම කතා නොකලෙමි.පුලුවන් කමක් තිබුනොත් ඈ මේ මොහොතේම පිටත් වන බව මා දනිමි.


තවත් දිනක් නැත්තන් දෙකක් එලෙසින්ම ගෙවී යන්නට විය.මා ඒ වන විට බොහෝ ගිලන් වී සිටියෙමි.දින ගනනකින් හරියට කෑමක් බීමක් නැතුව මා බලා ගත් අත බලා ඉන්නට විය.අනුහස් අයියා දෙපාරකටම මාව වෛද්‍ය වරයෙකු ළඟට රැගෙන ගියේය.අකල් වැස්සට තෙමී මා ලෙඩ වී ඇති බව මිස මගේ හිත ගිලන් වී ඇති බව වෙද නලාවටවත් අසු නොවුණි.දෙනුවන්ව ආයේ එක පාරකට හෝ දැක ගැනීමේ තද බල උවමනාවකින් මා පෙලෙමින් සිටියෙමි.ඒ හැගුම කියා ගන්නට කෙනෙක් නැතුව මම හිඟන්නියක සේ තැන තැන වැටී ඉකිබින්දෙමි.


" දෙයියනේ කවී ... මොකද කෙල්ලෙ මේ උනේ....."


තාරා මා දැක ඇස් වල කඳුලු පුරවා ගති.සාලයේ උන් මා ඇය ඇදගෙන කාමරයට දිව්වේ නව පණක් ආවාක් මෙනි.


" මෙයාට වැඩිපුර තිබිලා තියෙන්නේ යාලුවා නැති සාංකාවද කොහෙද "


මා හිනැහෙමින් දුවනවා දැක අම්මා කීවේ බොරු තරහක් මවා ගෙන වෙන්නට ඇත.තාරා ඇද මතින් හිදුවා සිදු වූ සියල්ල අකුරක් නෑර මා ඇයට පැවසීමි.ඇය වෙනදා මෙන් මැද්දට පැන මට බැන්නේ නැත.ගල් ගිල්ලාක් මෙන් සිට මා කියූ දෙවල් අසා සිටින්නට විය.


" ඔයා ඇයි මුකුත් නොකියන්නේ තාරා... අනේ ඔයා අහගෙන නේද ඉන්නේ...ඔයා දන්නවද... දන්වද... තාරා ඒ පපුවේ රස්නේ මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට දැනුනා... ඒ හුස්ම මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට වැදුනා....මට කියන්න මම දැන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ...මට මැරෙන්න ඕනෙ තාරා ... අනේ මට මැරෙන්න ඕනෙ..."


මා අසිහියෙන් මෙන් කෑ ගැසුවෙමි. එහෙත් තාරා වදනක්වත් දෙඩුවේ නැත.


" නෑහෙන ගානට ඔහොම ඉන්න එපා තාරා...මම ඔයාගෙන් එකම එක උදව්වක් ඉල්ලනවා මට දෙනුවන්ව එක සැරේකට Meet වෙන්න ඕනෙ.... මට ආදරේ නෑ කියලා එයාගේ කටින් කිව්වොත් මම මේ හැමදේම අමතක කරනව තාරා.....සත්තයි... අනේ මට එයාව එකම එක සැරේකට මුණගස්සන්න Please කියන්නකෝ මට ඒ උදව්ව කරනවද ඔයා...."


මා ඈට බැගෑපත් වුනෙමි.ඈ බලගත් අත බල ගැඹුරු කල්පනාවක විය.


" මං දන්නවා ඔයා තරහින් ඒත් මට බනින්නෙපා .... මට තවත් මේව ඉවසන්න බෑ තාරා... ඔයාට පේනවද මම මේ ගින්දරින් පිච්චෙනවා හැම තප්පරේකම..."


සියල්ල අසා සිටි ඈ යන්නට ගියාය.වෙනදා මෙන් මගේ තනියට නවතින්න කීවද ඈ එය නෑසුනාක් මෙන් යන්නට ගියාය.දෙනුවන් හමුවන්නට මාර්ගයක් පාදා ඇය කතා කරන තුරු මා තවත් දවසක් දෙකක් ඉවසන්නට හිත හදා ගතිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


මා සිතූ තරම් ඉක්මනට තාරා මට කතා කලේ නැත.වෙනදාට දහ දොලොස් වතාවක් මට කතා කරන ඈ ඒ ගියාට පසු එකම ඇමතුමක්වත් දුන්නේද නැත.සැදැළ්ලට වී ගේට්ටුව දෙස බලමින් මා ඇය එන මග බලා සිටියෙමි.මග බලා හෙම්බත් වූ පසු මා ඇයට ඇමතුමක් ගතිමි.




" කියන්න කවී "


මහා වෙනසක් ඒ හඩේ ඇති බව දැනුනද මා ඉවසා සිටියෙමි.


" තාරා ඇයි ඔයා අපේ ගෙදර එන්නේ නැත්තේ ? "


" මට වැඩ වගයක් තිබුනා කවී ඒකයි "


" ඔයා වෙනස් වෙලා "


මම අපමණ දුකින් කීමි.මොන වැඩ තිබුනද මා කියූ දෙයක් පැහැර නොහරින ඇගේ වෙනස මට මහා මෙරක් තරමට දැනුණි.


" ඔව් සමහර විට....හැමදෙම වෙනස් වෙනකොට අපිටත් ඉබේම වෙනස් වෙන්න වෙනවනේ කවී..."


" ඔයා මා එක්ක තරහින් තාරා... මං දන්නවා මම වැරදී කියල... මට ඒ වරද හදා ගන්න උදව් කරන්න තාරා....මෙච්චර ළඟින් හිටපු ඔයත් මාව අත ඇරියොත් මට කවුද ඉන්නෙ තාරා..."


මගේ හඬ බිදී ඇස් වලට කඳුළු පිරුණි.මහා සුසුමක් පිට කලා මිස තාරා එයට කිසිවක්ම කිවේ නැත.


" අපි දෙනුවන් Meet වෙන්න යමු තාරා "


" බලමුකො මම එන්නං වෙලාවක "


ඇය කීවේ ඕනාවට එපාවටය.ඇගේ මේ වෙනස දරා ගනන්ට තරම් ශක්තියක් මට තිබුනේම නැත.එහෙත් මේ සියල්ල දරාගන්නවා ඉවසනවා හැරෙන්නට මට කරන්න අන් යමක් තිබුනේත් නැත.


ඉතින් දවස් ගෙවි ගෙවී ගොස් දෙසැම්බර් 22 දාට ඉර ඇහැරුණි.කවදා නාවත් අද තාරා මෙහෙ එන බව මා ඉඳුරාම දැන සිටියෙමි.ඒ මා එක්ක කොපමණ අමනාප වුනත් අනුහස් අයියාගේ උපන් දිනය ඈ අමතක නොකරන බව මා දනිමි.කොයි මොහොතේ හෝ පැමිණ වෙනදා මෙන්ම විහිළුවක් කර මා අවුස්සා ඈ සිනා සෙනු ඇත.ඇගේ ඇසුර නැතුව ගෙවුනු දවස්වල දුක තුනී වී සියුම් සතුටක් හිත පුරා දිව යන්නට විය.ඒ උද්දාමයෙන් මා බොහෝ දවසකට පසු පහළට බැස් මිඳුළේ ඇවිදීමි.


සේපාලිකා ගස යට බංකුවේ වාඩි වී මම පාර බලා සිටියෙමි.මට රවමින් ඔරවමින් තාරා ගේට්ටුවෙන් ඇතුළු වෙන හැටි මා මවා ගතිමි.එක පාරටම අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් අපේ ගේට්ටුව ළඟ මහා හඩක් නංවාගෙන නතර විය.මගේ දෙනෙත් මට බොරු නොකරන්නේනම් ඒ දෙනුවන්ගේ බයිසිකලය හා දෙනුවන්ය.ඔහුට පිටු පසින් පිටට හේත්තු වී ඔහුගේ ළය බදා සිටියේ තාරාය.බංකුවෙන් නැගී සිටගත් මා එහෙමම ආයෙත් බංකුව මත ඉන්දවිනි.


වෙන්නට යන්නේ මොනවදැයි නිනව් නැතුව මා බලා සිටියෙමි.හෙල්මට් එක ගලවා ඒ අකීකරු කෙස් රොද පසට දමමින් දෙනුවන් මා හා සිනාසුණි.තාරා බැස ගේට්ටුව හැර මා ලඟට පැමිනෙයි.


" කවී Sorry අනේ අද හවස අනුහස් අයියාගේ Part එකට මට එන්න වෙන්නේ නෑ හොදේ අපිට ගමනක් යන්න වෙලා... මං අනුහස් අයියට Wish කියලා කියලා ඔයා කියන්නකෝ හොදේ...දෙනුවන් බලාගෙන ඉන්නව කෙල්ලේ අපිට පරක්කුයි අපි යනවා හොදේ...."


සවන් අදහාගන්නට නොහැකිව මා බලා සිටියෙමි.යන්නට ගිය තාරා ආපසු හැරුණි.


" මේ... අනුහස් අයියට කියපං Wedding එක ලෑස්ති කරන්න කියලා මම දෙවෙනි මනමාලයා හොයා ගත්තා..."


ඇසක් ඉඟිමරා ඇය කීවේ වෙනදා මෙන්ම සැහැල්ලුවෙනි.සිනාසී අත වනා ඇය ගොස් යතුරු පැදියට ගොඩ විය ආවාක් මෙන්ම වේගයෙන් එය ඉගිල්ලුණි.දෑස් නිලංකාර වී සියල්ල මා වටා බ්‍රමණය වෙන්නාක් මෙන් මට දැනුණි.නැත මෙය සිහිනයකි මා මේ දුටුවේ සිහිනයකි.දෑස් පිහදා මම සිහි එළවා ගන්නට තැත් කලෙමි.කෑගසා හඩනන්ට ඕනෑ වීද මගේ මුව අගුල් වැටී ඇති සෙයකි.තාරා ඔයා මට මොකක්ද මේ කලේ තාරා... මා මගේම කෙස් රොද වැරෙන් ඇද ගතිමි. පපුවට දෑතින්ම ගසා ගතිමි.


" මේච්චර දවසක් මාව මග ඇරියේ ඔයා මේ හපන් කම කරන්නද තාරා... මට .. මට... මෙච්චර නපුරු කමක් කරන්න තරං ඔයා නපුරු උනේ කොහොමද තාරා...එයා එක්ක මං ඉස්සරහට එන්න තරං හයියක් ... අනේ ඔයාට කොහෙන්ද තාරා...."


මිඳුලේ ඇද වැටී මා පොළවේ හැපි හැපී හැඬුවෙමි.


" අනේ ආයෙත් හරවන් ඇවිත් මට කියල යන්න මේක විහිලුවක් බොරුවක් කියල....ඔයා මට මේ දෙනුවන් මුණ ගස්සපු හැටිද තාරා...ඔයාට බෑ මට මෙහෙම කරන්න යාළුවේ... ඔයාට බෑ... බෑ..."


අසන්නට කෙනෙක් අහල පහලක නොවුනද මම තනියම කියවමින් කෑ ගැසුවෙමි.මේ ද්‍රෝහීකම ඉවසනන්ට තරම් මේ හිතට හයියක් නැත.ආයේ මේ ඇස් වලින් එවන් දසුනක් දකින්නට මා ජීවත් විය යුතුද නැත.


" ඔය දෙන්නට සතුටින් ඉන්නනම් මට මැරෙන්නම වෙනවා තාරා..."


සැනින් මා නැගී සිට ගතිමි.සිතට ආවේ එකම සිතුවිල්ලකි. මා පිම්මේ ගෙට දුව ගියෙමි.සාලයේ ස්ටූල් එක මත අඩක් නිම කල අම්මාගේ එම්බ්‍රොයිඩර් මැස්මක් විය.ඒ අසලම තිබූ නූල් කපන පුංචි කතුර මා දෑසට අසු විය.එවන් දසුනක් දැකි මේ ඇස් තවත් නම් වැඩක් නැත.මහා හඬින් හිනැහෙමින් මා ඇස් දෙකම පසාරු වෙන තුරු කීප වරක් කතුර එහා මෙහා ගෙන ගියෙමි.සාලයේ තිබූ මාලු ටැංකියත් පෙරලා ගෙන මා ඇද වැටෙනවා මට යාංතමට මතකය.ඉතිං එපමණකි.

~~ මතුසම්භන්ධයි ~~

May 16, 2012

මගේ රත්තරන්..........

අද මැයි මාසේ 17 වෙනිදා....
අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා
අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා
( ඒ ඔයා කියන විදිය )
ඔව්... ඒ මීට අවුරුදු හතරකට කලින් අද වගේම දවසක්
මම ඔයාට ආදරෙයි කියනවා....
ඒ තමයි මේ ජීවිත කාලයේදී ඔයාට ලැබුණ
වටිනම උපන්දින තෑග්ග
( ඒ ඔයා කියන විදිය )
ඉතින්.... අහන් ඉන්නවද... දැන් මම කියන්න...
සත්තයි...
මට ඔබ වෙනුවෙන්
අලුතින්ම නිබ්බුත පද කියන්න ඕනෙ.......


මිනිස් වෙස් ගත් අමුනුස්සයන් වැඩි හරියක් වෙසෙනමේ ලොව
නුඹ මට ,
ගුණසුවඳින් පිරුණ සැබෑ මනුස්සයෙක් විය.
ආදරය හා ප්‍රේමය අකුරකට වචනෙකට සීමා නොකර
නුඹ මට ,
හදවතේ හැම ද්වාරයක්ම  විවර කර එහි
නිදහසේ  සැරිසරන්නට ඉඩ හසර සාදා දුන්නේය .
මේ ප්‍රේමයට එදිරිව දසතින් අවි අමෝරා ගනිද්දී
නුඹ මට ,
සෙනෙහසේ සිහිල් පැන් ඉස මියෙන්නට නොදී හද මල
බොහෝ අදරින් රැකගත්තේය.
එසේ රැක ගත් පෙම අවසන පෝරු මස්ථක කර
නුඹ මට ,
ලොව ඇති සියලු මිහිර කලතා තබා තුඩ තුඩ
පණ මෙන් රැක ගත්තාය
ඉතින්....
ඔබ වන් හිමියෙක් ලද පිනෙන්
අද මා නිවෙමි සැනසෙමි...
මගේ සුදු මහත්තයෝ...
ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !
අපි දෙදෙනාටම ප්‍රේමනීය සුභ ආදර සංවත්සරයක් වේවා !

May 15, 2012

දෙනුවන් අනුහස ... අටවන සජ්ජායනාව

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7




විහඟ වේගයෙන් ඉගිල්ලිච්ච කාලය හරි ඉක්මනට දෙසැම්බර් පාසල් නිවාඩුවට ළං උනා.ඒ නිවාඩුවට තාරා ඔවුන්ගේ බණ්ඩාරවෙල මහ ගෙදර යන්න කලින්ම සූදානම් වෙලා හිටියෙ.


" තාරා.... අනේ දවස් දෙක තුනකින් එන්නකෝ අප්පා...සති ගානක් එහෙ ඉදලා මොනා කරනන්ද.... මටත් මෙහෙ පාලුනේ අනේ...."


" යකෝ මේක හරි වැඩක්නේ...උඹ නිකං හරියට අම්මගේ සාරි පොටේ එල්ලෙන පොඩි එකෙක් වගේනේ මගේ ඇගේම එල්ලෙන්න හදන්නේ...මටත් පොඩි නිදහසක් දියන්කෝ වදේ...."


" ආ...පෝ.... එල්ලෙන්නම බඩ්ඩ...හරි එතකොට උඹ සුදු අයියගෙ Birth Day එකට එන්නෙත් නැද්ද...ඇයි උඹට අමතකද 22 එයාගේ Birth Day කියලා....?"


" හුටා..... මට ඒක අමතකම උනානේ... හරි .. හරී... කොහේ හිටියත් මම එදාට මෙහෙ ඇති ඔන්න "


එදාට ඉදලා විතරක් මොකටද... මට උඹ ඕනේ ඊට කලින්... බලපං.. මේ පාර Gift එක ගන්නත් මට තනියම යන්න වෙනවා..."


" ඔව් ඔව් දැන් ඉතින් උඹ ඒවා තනියම කරගනින් මාව කන්න ඉන්නේ නැතුව...


මාව තරහා ගස්සන්න ඇය එසේ කීවද මට ඇය මෙන්ම ඇයටද මා නැතුව බොහෝ පාලු දැනෙන බව මා දනිමි.සැබෑවටම මිතුරු කමටත් එහා ගිය ළෙංගතු සහෝදර බැම්මක් අප අතර වේ.ඇය වන් යෙහෙළියක් ලබන්නට මා පින් කර ඇති බව මට සිතේ.


" මොනවද උඹට ගේන්න ඕනෙ බණ්ඩාරවෙලින්...."


" ම්ම්ම්ම්...... ලස්සන ලස්සන මල් ගොඩා...........ක්........ "


මා දෑතම දෙපසට විහිදුවා පැවසුවේ පුංචි එකියක් මෙනි.ආයෙත් අර ඉස්සරෝම දවස්වල හිතෙ තිබූ සැහැල්ලුව හිත වටා සැරිසරන බව මට දැනේ.එය ඇත්තටම සුභ නිමිත්තක්යැයි මට සිතේ.


" එච්චරද..."


" නෑ.... හිටපං.. තව එකක්....ම්ම්ම් බණ්ඩාරවෙල සීතලට හොද සුදුවට හැදිච්ච ලස්සන කොලු පොඩ්ඩෙකුත් එක්කන් වරෙන්...."


" ඇයි උඹලගෙ අම්මා වැඩට කවුරු හරි හොයනවද මේ දවස්වල..."


" වැඩට නෙවෙයි බං... කොලු පොඩ්ඩෙක් කිව්වට පොඩ්ඩෙකුත් නෙවෙයි...ම්ම්ම්ම්ම්..... වයස විස්සක විසිතුනක විතර එකෙක්..."


" ආ..... එහෙමද..... මොකටද දන්නේ නෑ නේද..."


තාරා කිසිවක් නොතේරෙන තාලෙට ඇද පැද ඇසුවේ අහක බලාගෙනමය.


" වෙන මොකටද ඉතින් මගේ දෙවෙනි මනමාලයාට ගන්න මිසක්.. "


" මේ මේ දෙවෙනි මනමාලයා ගැන උඹ වද වෙන්න එපා මම ඒක බලාගන්නම්...උඹ මනමාලයාව ලෑස්ති කර ගනින්කෝ....."


තාරා එසේ කිව්වේ අත රැදි බැට්මින්ටන් පිත්තෙන් මගේ පිටට පහරක් ගසන ගමන්ය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං ඈ යන්නට ගියේ 22 උදෑසනින්ම එන පොරොන්දුව මට දීය.තාරා ගිය පසු හුදකලා වන්නට දඟලන හිත මා වැර වෑයමින් ඇදගෙන විත් මොන මොනවා හෝ කරන්නට පොළබවමි.ඇත්තටම මේ හිත හුදකලා වනවාට මම බොහෝ සේ බියවීමි.මේ වසර අවසානය නිසා ආයතනයේ රාජකාරි වලට වෙනදාට වඩා හිරවී අනුහස් අයියාද තරමක් කාර්යබහුල විය.ඒත් ලැබෙන හැම ඉඩකදීම මගේ ළඟම ඉන්නටත් වෙනදාටත් වඩා මා හා දොඩමලු වෙන්නටත් ඔහු නිරන්තර වගබලා ගති.


අනුහස් අයියාගේ උපන්දිනයට මෙවර මා ගන්නේ මොනවාදැයි දවස් ගානක් තිස්සේ මම කල්පනා කලෙමි.ඉස්සරනම් මා සුදු අයියාගේ උපන්දිනයට මාස ගණනාවක් තිස්සේ හීන මවමි... මට ලැබෙන පොකට් මනී වලින් කීය කීය හෝ අයින් කරමි.අනුහස් අයියාගෙන් හෝ අම්මාගෙන් එක වර මුදල් ඉල්ලා ගෙන මොනවා හෝ ගන්නවාට වඩා මම ඒ ක්‍රමය ප්‍රියකලෙමි. මා පරිස්සමින් ඉතුරු කල මුදලක් නිසා මා හම්බ කල මුදලක් තරමටම එය මට අගේය.එවන් මුදලකින් අනුහස් අයියාට දෙන තිළිණය තවත් අගේය.අනුහස් අයියාට හොරෙන් තාරාවත් එකතු කරගෙන වරු ගානක් කඩ සාප්පු වල ඇවිද මා උස්සාගෙන එන පුංචි පුංචි විසිතුරු දෑ ඔහු දෝත පා පිලිගන්නේ මහ මෙරක් පරිදිය.මාව පරිස්සම් කරනා තරම් ආදරයෙන් ඔහු ඒවාද පරිස්සම් කරන බව ඔහුගේ කාමරයට පය තබන කාට උවද පෙනේ.


පහුගිය මාස ගණනාව පුරාවටම ජීවිතයේ සිද්ධ වුන යම් යම් දෙවල් වලින් සමහර දෙවල් වෙනස් උනිද සුදු අයියාගේ මේ උපන්දිනයද වෙනදා තරම්ම සොඳුරු එකක් කිරීමට මම ඉටා ගතිමි.උදේ පාන්දරම වැහි බීරමක් පෙනෙන්නට තිබුනද සීතල මීඳුමේම මම දිය නා සූදානම් වුනෙමි.එපාම කරපු දෙයනම් තනිව කඩ සාප්පු ගානේ රස්තියාදු වීමට ඇති අකමැත්තය.තාරාට හිතින් බැන බැන මා ඇදුමක් සෙවීමි.මොන හේතුවකට හෝ අද මගේ අත වගේම හිත රැදුනෙත් විළුඹ තෙක්ම දිග රෝස පසුබිමේ සුදු මල් වැටුණ සාය වෙතය.සුදු අත්දිග බ්ලව්ස් එකක් එයට ගලපා තෝරා ගත් මා එය වතට තබා හැඩ බැලීමි.හැමදාමත් අදින ඩෙනිමට වඩා මේ ඇදුම ලස්සනය පිළිවෙලය.එහෙත් මේ ඇදුම් එපා වන්නේ අයන් කරන්න මතක් වෙද්දීය.ඇදුම් මැදීම කම්මැලිම එපාම කරපු වැඩකි. කම්මැලිකම අමතක කර මා බොහෝ වේලාගෙන සීරුවට ඇදුම මැද ගතිමි.අම්මා කිරි එකත් ගෙන උඩට ආවේ මා සූදානම් වී පහළට බහින්න හිතද්දීමය.


" මගේ දූ සිගිත්තගෙ හැඩ අදනෙ මමත් දැක්කෙ....ලස්සනයි සුදු දූ... ඔයා මෙ ගොඩාක් කාලෙකින් සායක් ඇන්දේ....බලන්න කලිසමට වඩා මේ ඇදුම ඔයාට කොච්චර ලස්සනද කියල...."


මගේම වත කණ්නාඩියෙන් මට පෙන්වමින් අම්ම සතුටින් දොඩවයි.


" හරියට පුංචි සුරංඟනාවියක් වගේ "


කිරි එක අතට දී අම්මා මගේ හිස අත ගෑවේ එසේත් පවසමිනි.එය ඇසෙත්ම සියුම් කම්පනයකින් ම හිත සසළව ගියේය.කවදාවත් මගේ නමින් මා අමතා නැති කෙනෙකුන් මට ඉදහිට හෝ කතා කරද්දී කීවේ ඔය නමය.අමතක කරන්න හදන ඒ ඇස් තප්පරයකට දෙකකට හිතේ එහා මෙහා වී නොපෙනී ගියේය.


" අම්මා ඔන්න සුදු අයියට කියන්න එහෙම එපා මම එයාට Gift ගන්න ගියා කියලා හොදේ.... මේ සැරෙත් මම එයාව පුදුම කරනවා බලන්නකෝ....."


" හරි හරී වෙනදා වගේ රස්තියාදු ගහනවා නෙවෙයි දවසම ..... යන එක තැනකින් සේරම අරන් එන්න...."


අම්මා මා ඇරලවන්නට ගේ දොරකොඩට ආවේ නානා ප්‍රකාර උපදෙස් දෙමිනි.


" වහින්න වගේ දරුවෝ.... කුඩයක්වත් අරන් යන්න..... "


" අනේ අම්මා කුඩ එපා..... ඕක ගෙනිච්චට මම කවදාවත් ඉහලන්නේ නෑනේ...මම වැස්සට කලින් එන්න බලන්නම් පරක්කු වෙන්නෙ නෑ අම්මා...."


බොහෝ කලකට පසු තනිව ගමනක් යාමට එලියට බැස්ස නිසා අමුතු නුහුරු ගතියක් මට දැනුණි.මාස ගනනාවකින් මේ පාරේ මා තාරා සමගවත් පයින් ගියේ නැත.පහුගිය මාස වල අප පන්ති ගියේත් පාසල් ගියේත් අනුහස් අයියාගේ කාරයෙන් හෝ කුලී රථ වලිනි.ඒ වෙන කාගෙවත් නොව මගේම උවමනාවටය.බිම බලාගෙනම බස් නැවතුම දක්වා ආ මා යන්නේ කොහාටදැයි සිතා ගන්නට බැරුව මොහොතක් කල්පනා කලෙමි.තාරා උන්නානම් වෙනදා මෙන්ම මා යන්නේ නුගේගොඩය.එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හෝ අර ඇස් දැක මා නැවත අතරමං වෙතැයි මම බියවීමි.ඒ ඇරත් හුරු පුරුදු නුගේගොඩ නගරයේ අපේ සැමරුම් ඕනාවටත් වැඩිය.නුගේගොඩ සරසවියට යන්නට තිබූ උවමනාව අමතක කර මම බම්බලපිටියට යෑමට තීරනය කලෙමි.මා මේ සැගවෙන හදන්නේ මගේම සිතින්ය. මා මේ බිය වන්නේ මගේම සිතටය.තාරා හැමදාම කියන්නාක් මෙන් මෙය පිස්සුවකි.ලංකාවෙන් පිටවන තුරු ඒ ඇස් ආයේ මට මුණ නොගැසේවායි මා උදේ හවා දෙවියන්ට කියන බව මේ කවුරුවත් දන්නේ නැත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බම්බලපිටියේ Majestic City අසලින් බසයෙන් බසින තුරුම මා උන්නේ නිමක් නැති සිතුවිලි ගොන්නකය.වෙලාව උදෑසන දහය පමන වීද හත්පස පුරාම ඇත්තේ සැන්දෑවේ හය හත තරම් අඳුරකි.කොයි මොහොතේ හෝ මහා වැස්සක් වැටෙතැයි මටද දැන් සිතේ.තුනී සීතළක් එක්ක හමන වේගවත් සුළං මගේ කොණ්ඩය පමණක් නොව දිගට දිගේ හැද උන් සායද අරන් යන්නට මෙන් දඟළයි.මම දෝතින්ම සාය බදාගෙන MC එක ඇතුලට දිවිමී.

උඩටත් පහලටත් පස් හය වතාවක්ම ගොස් මා අනුහස් අයියා වෙනුවෙන් නොයෙක් දෑ මිලදී ගතිමි.අවසානයේ මා ගියේ ඔහුට සුභ පැතුම් පතක් තේරීම සදහාය.කොහොමත් කවදත් කාට සුභ පැතුමක් තෝරන්නට ගියද මට ඒ සදහා අඩුම ගානේ පැයකට එහා කාලයක් යයි.නානා ප්‍රකාර සුභ පැතුම් පත් අතරේ ම හිත අතරමං වේ.ඒවා එකින් එකට කියවා බලන්නද මට වෙනම කාලයක් යයි.


" මිස් බලන්න ඔය හැම එකටම වඩා මේක ලස්සනයි නේද කියල..."


මදක් පාත්වී රාක්කයක Cards තොරමින් උන් මගේ උරහිසට උඩින් දැමූ අතකින් සැබෑවටම සොඳුරු ප්‍රේමණීය සුභ පැතුම් පතක් මට දිස්විය.


" Thanks "


එය මා අතට ගත්තේ හුරු පුරුදු සුවඳක් හාත්පස සිසාරා හමද්දී එය හදවතට විඳ ගන්නට ඉඩ දෙමිනි.සැනෙකින් මට යමක් සිහිවිය.කටහඬ වෙනස් කර වුවද ඒ කතා කලේ ඔහුම බව ඒ ඔහුගේම හඬ බව සිහිව මා දෙපා වෙව්ව්ලුම් කන්නට විය.වායුසමීකරනයෙන් මහා සීතලක් ආවද තප්පරයෙන් දෙකෙන් මා දහඩියෙන් නෑවිනි.හදවත විනිවිද යන ඒ සුවඳ කියන්නේ තවමත් ඔහු මෙතැන බවය.මා හිමිහිට හැරී බැලුවෙමි.ඉතින් එය සිහිනයක් නොව සැබෑවකි.ඒ ඇස් ආයෙම මා ඉදිරියේ වේ.අදත් මා ඒ දෙනුවන් ළඟ පරාද වේවියැයි මට සිතේ.අප අතර ඇත්තේ අඩි හතරක පහක පරතරයකි.නොදැක උන් කාලයේ ඔහු තවත් ලස්සන වී ඇතැයි මට සිතේ.මොනවා අහන්නද කියන්නද නිනව් නැතුව මා ඒ ඇස් දෙස බලා සිටියෙමි.මාස ගනනාවක් තිස්සේ මා මේ ඇස් වලින් වසන් වී ඔට්ටු ඇල්ලුවේ මෙසේ ඒ ඇස් ළඟ නිරාවරණය වන්නටද.....? දෙනුවනුත් දොඩන්නට වචන නැතුවාක් මෙන් පුදුමයෙන් මෙන් මදෙස බලා සිටී.මා වට පිට බැලුවේ පිහිටට කවුරුන්ම හෝ ඇතැයි සිතාය. එහෙත් අද දෙනුවනුත් මා මෙන්ම තනිවම මෙනි.


" කොහොමද...... කෝ තාරා නැද්ද අද....."


ඒ මහා නිහඬ තාවය බිදිමින් දෙනුවන් දොඩමලු විය.


" න්...නැහැ..... තාරා ගමේ ගියා......"


" ආ... එහෙනම් අද සුරංඟනාවී තනියම මනු ලෝකෙට වැඩලා තියෙන්නෙ...."


දෙනුවන් කීවේ සැහැල්ලුවෙන් සිනා සීය.


මා බිමට සිනා සී ඉවත බලා ගතිමි. ඔහු මෙන් සැහැල්ලුවෙන් මට ඉන්නට බැරි හැටි.


" මම දැකපු වෙන කවදටත් වඩා අද ලස්සනයි ඔයා.... හරියට විශාඛාව වගේ..."


හිටි හැටියේ දෙනුවන් කී දෙයින් මගේ දෙකම්බුල් වලට ලේ පිරුණි.දෙනුවන් මේ මා සායකින් සැරසී ඉන්නවා දුටුවාමය.අද මට බොහෝ කලකට පසු සායක් අදින්නට සිතුනේ මේ හමුව අපේ ඉරණමේ කලින් ලියා තැබූවක් නිසාමද....? මේ ඇස් වලින් වහං වෙන්න මා මොන තරම් දෙවල් කලාද... නුගේගොඩ ගියොත් අහබෙන් හෝ දෙනුවන් මුණගැසෙතැයි සිතා ඒ ගමන අත් හැර මෙහෙ ආවේ ඔහු නොදකින්නට නොවේද....ඉතින් දැන් කිසි ලෙසකින් හමුවේයැයි නොසිතූ තැනක ඔහු මා ඉදිරියේය. දෛවය මේ කරන සෙල්ලම හෙට සිටන් ආයෙත් මගේ ජීවිතයට සාපයක් වෙනවා නොවේද...

" මොනවද ඔච්චර කල්පනා කරන්නේ.... මං කොහොමද බුදුන්ගෙ කාලෙ හිටිය විශාඛාව දන්නේ කියලද...."


ඔහු කී දේට මට සිනහ නොවී සිටිය නොහැකි විය.හිතුවාටත් වඩා සිනහවක් මා මුව මත විසිරුණි.මගේ සිනහව දෙස දෙනුවන් ආශාවෙන් බලා සිටිනවා මා දුටිමි.ඇයි පන්ති එන්නේ නැත්තේ යැයි ඔහු නිකමටවත් මගෙන් ඇසුවේ නැත. මා හිතුවේ මේ වල් පල් වලට කලින් ඔහු එය අසාවී කියාය.එහෙත් දෙනුවන්ට එය ගානක්වත් නැත.මා පන්ති ආවත් නාවත් ඔහුට විශේෂයක් නැත. අනේ මටත් ඔහු මෙන් වගක් නැතුව ඉන්නට ඇත්තනම්......


" කාටද Birth Day Card අනුහස් අයියටද...."


ඔහු ඇසූවට මම හිස වැනීමි.


" දැන් කෝකද තෝරගත්තේ...."


ඔහු තෝරා දුන් Card එක එතනින් ලස්සනම අපූර්වතම සුභ පැතුම උනිද මා එය රාක්කයේ තබා වෙනකක් අතට ගතිමි.


" ඔයාගේ හිත ඉල්ලන දේ ඇස් වලින් පේන්නෙ නැත්තං මට ඔයාගේ තේරිම හරි කියලා පිලිගන්න තිබුනා "


දෙනුවන් එසේ පවසා පොත් රාක්ක අතර නොපෙනී ගියේය.මොහොතක් දෙකක් මා තුශ්නිම්බූතව ඒ කී දේ යලි යලි මතක් කර බැලුවෙමි.ඔහු කීවේ Card තේරීම සම්භන්ධව උනිද මම එය මගේ මුලු ජීවිතයම ඈදාගෙනමම මහා සුසුමක් පිට කලෙමි.අනේ දෙනුවන් මගේ ඇස් බලා හිත කියවන්නට ඔබටත් හැකිද....?


මා වට පිට ඇස් යවා ඒ රුව නැවත සෙවීමි. ඔහු නොකියාම යන්නට ගිහින්වත්ද....ආයෙම කඩාවැටෙන්නට ඔන්න මෙන්න තිබුණු හිත වත්තන් කරගෙන මම මුදල් කවුන්ටරයට ගියෙමි.වහා මෙතැනින් පිටව යාමේ උවමනාවකින් මම දැවෙමින් සිටියෙමි.මා සිතුවා වැරදිය දෙනුවන් තවමත් Book Shop එක තුලය. ඔහු කවුන්ටරය අසලම ඇති පුංචි පුංචි සතුන්ගෙන් නිම කල Key Tag තෝරමින් සිටී.මා ඔහු නොදුටුවාක් මෙන් මුදල් ගෙවා එන්නට සැරසුණෙමි.මා සාප්පුවෙන් එලියට අඩිය තියද්දීම දෙනුවන් විත් මා එක්කම පෙළට වැටුණි.


" එලියට ආවට මැඩම් දැන්ම ඔයාට යන්නනම් වෙන්නේ නෑ...."


මම කුතුහලයෙන් ඒ මුහුන දෙස බැලුවෙමි.


" ඇහෙන්නැද්ද එළියේ සද්දේ...."


මා නැවතත් දෙනුවන් දෙස බැලුවේ ඔහු මොන විකාරයක් කියවනවාදැයි හිතා ගනන්ට බැරුවය.


" මෝඩියේ..... එළියේ හෙන ගගහා වහිනවා...."


දෑතම කලිසමේ පිටිපස සාක්කු දෙකට ඔබාගෙන දෙනුවන් සැහැල්ලුවෙන් පියවර තැබුවේ එසේ කියමිනි.මම කන් දුනිමි.සැබෑය ,ඈතින් ගෙරවිල්ලක්ද සමඟ මහා අනෝරා වැස්සක සිළි සිළිය එක සීරුවට ඇසේ.මේ තරම් මහ වැස්සක හඬ නොඇසෙන්නට තරම් මම බිහිරි වී සිටියාදැයි මට සිතේ.


" දැන් පැයකට වැඩී වැස්ස පටන් අරන්... මම මේකට රිංගුවෙත් වැස්සෙන් බේරෙන්න... මම දැක්කා දෙපාරක් තුන්පාරක්ම සුරංඟනාවියක් උඩට පහලට යනවා... මම උඩට ආවේ අතරමං වෙලානම් උදව්වක් කරන්න හිතාගෙන..."


වෙන කවරදාවත් මා දැක නැති සැහැල්ලුවක් ඒ හඩේ වේ.ඔහු කියන හැම දෙකටම සිනාසුනා මිස මට යමක් අසන්නටවත් කියන්නටවත් නිනව්වක් නොවීය.ජීවිතයේ පළවෙනි වතාවට ඔහු මා සමඟ සමාන්තරව පියවර තබයි.නපුරු කමක් නොපෙන්නා දඩබ්බර කම් සඟවා මා සමග දොඩමලු වෙයි.බොහෝ ළඟින් ඒ කොලුකාර සුවඳ මට දැනේ.ඔහුත් සමඟ මා කාටත් හොරෙන් තැනූ සිහින ලෝකයේ මෙවන් අපූරු දවස් කොච්චරක්නම් තිබුනාද....හදවතේ ගැඹුරුම තැන වල දැමූ ඒ සොඳුරු සිත්තම් ආයෙමත් ගොඩට ගෙන හඬන්නට මේ දෛවය මට ඉඩ සැලසූ හැටි....


දොරටුව දක්වාම කතා නැතිව ඇවිදන් ආ අපි ඉඩ ඇති තැනකට වීමු.වැස්සෙන් බේරෙන්නට දුව ආ මහ පිරිසක් ඇතුලේ විය.ගාලු පාර නොපෙනෙන තරමටම පිටත වැසි වටේ.හාත්පසම ඇත්තේ මහා අඳුරකි.අනේ කීයට ගෙදර යන්න වේවිදැයි සිතා මට හීල්ලුනි. මම දෙනුවන් දෙස බැලීමි ඔහුට වගක්වත් නැත මහා වැස්ස දෙස බලාගෙන ඔහු කල්පනාවකය.ඔහුට හොරෙන් මා සිත් සේ ඒ ඇස් දෙස බලා සිටියෙමි.ඒ අසාමාන්‍ය නිල් පැහැය දෙවදූතයන් විසින් ඇස් වල තවරා ගියාදෝයි මට සිතේ.හීන් කඳුළකින් මගේ ඇස් බොඳ වෙන තුරුම මම ඒ ඇස් දෙස බලා සිටියෙමි.


" මොනවද ඔච්චර බලන්නේ..."


බිඳකදු එහාමෙහා නොවී ඒ හිටි ඉරියව්වෙන්ම හිද හිටි හැටියේ දෙනුවන් විමසීය. මට මහා ලැජ්ජාවක් දැනුණි.ඔහු හොරෙක් මෙන් සියල්ල බලා සිටින්නට ඇත.


" ඔයාගේ ඇස් දෙක ගෑනු ළමයෙක්ට තිබුනනම් කොච්චර ලස්සනද කියලා බැලුවේ..."


ඔහුගේ දෑස් දැකි මුල්ම දවසේ මට සිතුන දේ මා එසේ කියා දැමීමි.දෙනුවන් ලස්සනට සිනහ විය.ඒ ඇස් තරමටම ඒ සිනහවද මා මන්මත් කරන තරම්....


" අම්මෝ... ගෑනු ළමය මෙච්චර කාලෙකට මාත් එක්ක කතා කරපු දිගම වාක්‍යද කොහෙද මේ කතා කලේ..."


ඔහුට නම් හිනහය. ඒත් ඒ ටික ගැට ගහගන්නට මා සිතින් කල සටන දන්නේ මාය.මහා වීර කමක් කලාක් මෙන් මට දැනුණි.ඒ උද්දාමයෙන්ම මා හාත්පස බැලීමි. බලන බලන තැන වැඩිපුර ඇත්තේ පෙම්වත් ජෝඩුය.මේ වැස්ස මේ සීතල ඔවුන්ට ආශීර්වාදයක් මෙනි.ඔවුනොවුන්ට තුරුළුව ඔවුන් ඔවුන්ගේම ලෝක වලය.බලූ බැල්මට අප දෙදෙනාත් පෙම්වතුන්යයි ඔවුන් සිතනවා ඇත.මේ තරම් දුරින් ඉන්නේ අපි මොනවාට හෝ උරණ වී යැයි දකින බලන අයට සිතෙනවා නොඅනුමානය.සමහරක් අප දෙස බලා හොරෙන් හොරෙන් කුටු කුටු ගානවා මා මෙන්ම දෙනුවන්ද දකින්නට ඇත.බොහෝ කෙල්ලන් තම පෙම්වතා ළඟ සිටියද දෙනුවන් දෙස හැරි හැරී උවමනාවෙන් බලනවාද මම දුටිමි.ඒ ඔහුගේ කඩවසම් බවට වශීවී බව මා දනිමි.


සැනෙකින් මුලු පලාතම දෙදරවමින් ළඟ ළඟම මහා හඬින් අකුණක් පුපුරා ගියේය. ඒ සමඟම විදුලිය ඇන හිට විදුලි පහන්ද නිවුණි.අපට එහා පස උන් කෙල්ලන් රොත්තක් මහා හඩින් කෑගසමින් එකිනෙකා වැළඳගන්නට විය.මම එහෙමම උන් තැනම ගල් ගැසුණි.ගෙරවිල්ලට විදුලි කෙටීමට මා පුංචි සංදියේ සිටම පුදුමාකාර විදියට බියය.දන්නා කෙනෙකුන් අහල පහලක උන්නනම් මා මේ වන විට ඒ කෙනාගේ බෙල්ලේ එල්ලී කොහේ හෝ හිස සගවාගෙනය.එසේ නිදහස් වෙන්නට අවකාශයක් නැතුව මගේ අත පය දරඳඩු වෙනවාක් මෙන් මට දැනේ.සට සට ගා මා වෙව්ලන්නට වීමි.


" සුරංඟනාවී.... ඇයි මේ...."


කතාවක් බහක් නැතුව ගල් වුන මා දෙස දෙනුවන් පුදුමයෙන් බලන්නට ඇත.දෑසේ වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කඳුළකින් මිස ඔහුට උත්තර දෙන්නට මා ළඟ වචන නැත.වහා අඩියක් පෙරට තබා මාළඟට ආ දෙනුවන් මගේ වමත තර කොට අල්ලා ගති.අර එළියේ පිපිරුවාට වඩා සද්දෙට හිතේ අකුණු විසි තිස්දහසක් එක වර පුපුරන්නාක් මෙන් මට දැනුණි.දුක වේදනාව බය සතුට විශ්මය ආදරය ආරක්ශාව මෙකි නොකී හැම හැගීමක්ම කැටිවුණ සිතින් මාතින් ඒ අත තව තවත් කිටි කිටියට සිරවුනි.දෙනුවන්ගේ දකුණත මගේ උරහිස මතට වූයේත් මා පරඬලාවක් මෙන් පාවි විත් ඒ පපුව මත වැටුනේත් එකම විටය.


" ඔයා බය වෙලා...... ගොඩා....ක්......"


දෙනුවන්ගේ හඩ සිහිනෙන් මෙන් මට ඇසී නෑසී ගියේය.මගේ ළය තරම්ම වේගයෙන් ඒ ළය මඩළද ගැහෙන හඩ මට ඇසේ.ජීවිතයේ කිසිමදාක නොවිඳි මිහිරක් තිගැස්මක් මාපටඟිල්ලෙන් පටන් ගෙන හිස් මුදුන දක්වා එක සීරුව දිව යයි.මෙහෙමම මෙතැනම මිය යනවානම් සැපකැයි මට සිතේ.ඉතින්නම් මෙය සිහිනයක් වූ සැබෑවකි.මගේ කඳුළින් ඒ පපුව තෙත් වන්නට ඇත.දෙනුවන් මගේ ම යැයි මා අයිති මේ පපුවටම විතරයයි වෙන කවරදාටත් වඩා තදින් මට දැනෙන්නට විය.අර තරම් දඩබ්බර හිතුවක්කාරයා ළඟ මේ තරම් ප්‍රේමණීය උණුහුමක් වෙතැයි මටම විශ්වාස නැත.එකම තාලයට සංයමයට ඒ දිගු ඇගිළි මුදාහල මගේ කෙස් රොද අතරින් එහා මෙහා වෙනවා මට දැනේ.ඉතින් උදාවන ඊළඟ තප්පරයේ මොනවා උනිද මා මේ උණුහුමට ගුළිව තුරුළුව මේ සෙනෙහස විදිමි.

" අඬන්නෙපා...... දැන් සේරම හරි......"

දෙනුවන් කොඳුරා මෙන් කීවේ කොපමණ වෙලාවකට පසුවදැයි මා දන්නේ නැත.පියවි ලෝකයට එන්නට මට උවමනාවක් නොවූ මුත් මම සිහි එළවා ගන්නට උත්සහ කලෙමි.තවම වැසි වැටෙන හඩ ඇසෙන මුත් අන් සියල්ල සංසුන්ය.මට අම්මා සිහිවිය අනුහස් අයියා සිහි විය මහා වරදක් කල එකියක සේ මා භීතියට පත්වීමි.වෙන පිරිමියකුගේ පහසට නතුව අනුහස් අයියාට මා ගෙවා දමන්නට බැරි තරමට ද්‍රෝහී වී ඇති බව සිහිව මට හුස්ම පවා හිර විය.ඊටත් හිස ඔසවා දෙනුවන්ගේ මූණ බලන්නට මට දැන් පුලුවන් කමක් නැත.දෝතින්ම මුහුණ වසාගෙන මා ඒ පපු තුරුලෙන් මෑත් වීමි.ඒ මුහුණ බලන්නටවත් තව මොහොතක් හෝ එතන රැදෙන්නටවත් මට ඉතින් දිරියක් නැත.දෝතින් මුහුන වසා ගෙනම මා එක සැනින් අහල පහල උන් අයද පෙරලාගෙන එලියට දුව ගියෙමි.කලින් තරම් නොවුනද තවමත් වැසි වටේ.කුඩයකින්වත් යන්නට බැරි වැස්සේ මා හඩ හඩා දිව ගියෙමි.නොතෙමෙන්නට අගුපිල් වලට වී උන්න සියළු දෙනා මා දෙස පුදුමයෙන් බලන්නට ඇත.එහෙත් මට ඒ කා ගැනවත් වගක් නොවිනි. මා එක පිම්මට Liberty Plaza එක ඉස්සරහින් පාර පැන බස් හෝල්ට් එක ළඟ නැවතී වට පිට බැලුවෙමි.දියබත් වුන මට මෙසේ බසයක යා නොහැක.මේ විදියට පිස්සු විකාරෙන් මේ තරම් දුරක් ත්‍රීවීලයක යන්නට තරම් හයියක්ද මේ සිතට නැත.මට මා ගැනම මහා අනුකම්පාවක් දැනේ.එක වරම වෙගයෙන් ආ ත්‍රීවීල් එකක් මගේ ඉස්සරහ නවත්තන්නත් කලින් ඇතුලෙ හිටපු දෙනුවන් බිමට පැන්නේ මට කිසිවක්ම හිතන්නට ඉඩක් නොතියාය.

" නගින්න...."

ඔහු කීවේ ඒ තරම් හොද හඬකින් නෙවෙයි.

" එපා දෙනුවන්..... මම බස් එකේ යන්නම්....."

" මගේ යකා අවුස්සගන්නේ නැතුව එක පාරක් කිව්වම නගිනවා..."

ඒ හඬට මා තිගැස්සුණ තරම්... මේ ජිවිතයේ කවුරුවත් කවදාවත් මට කතා කර නැති තරම් නපුරුකමක් ඒ හඩේ විය.මට ඒ පපුවේම හිස ගසා ආයෙම හඩන්නට තරම් දුකක් දැනුණි.

" අනේ... දෙනුවන්... ම් මම මම...."

මට වචනයක් කියන්නටවත් ඉඩ නොතියා ඔහු පැන මගේ වැලමිට ළඟින් අල්ලා ඔහු ළඟට ඇද ගත්තේය.

" ගෑණු ළමයෙක් නේද.... ලජ්ජාවක් කියල එකක් තියෙනවද... වැස්සෙ තෙමෙන්න ඔච්චරටම ඕනෙනම් එකට සුදුසු ඇඳුමක් ඇදගෙන එනවා... බලනවා... වට පිට සේරගෙම ඇස් තියෙන්නෙ තමුසෙ ගාව..."

දෙනුවන් කී දේට මට එහෙමම පොලව හාරගෙන ගොස් සැගවෙන්නට තරම් ලජ්ජාවක් දැනුනි.මා මගෙම වත දෙසට නෙත් හෙලුවෙමි.රෝස පැහැ සිල්ක් සාය එහෙමම ඇගට ඇලී ඇත.සුදෝ සුදු බ්ලව්ස් එකද ඊට නොදෙවෙනිය.ගැහැණු වතේ හැම කෝමළ රේඛාවක්ම ඕනාවටත් වැඩියෙන් කැපී පෙනුණි.මහ පාරේ නිරුවත් වූවාක් මෙන් හැගීමක් මුලු හිතම අසරණ කලේය.මා දෑතින්ම ළැමැද වසා ගතිමි.දෙනුවන් මා අතින් ඇදගෙන විත් ත්‍රීවීල් එකට නැග්ගුවා නොව තල්ලු කලාය.හින්දි චිත්‍රපටියක දර්ශනයක් මෙන් සැවොම බලා සිටින්නට ඇත.මේ ප්‍රේමය නිසා හෑල්ලු වෙන මගේ ගැහැණු ආත්මය ගැන මම කම්පා වීමි.


            

                                                          මතු සම්බන්ධයි                                   
                                                                         

May 10, 2012

සමුගන්නා දා...........













මෙතුවක් කල් ළඟ සිටියත්
නුඹ තේරුම් නොගත් මසිත
විසි කරන්න ඈත ඉමට
මම අහිතක් හිතන්නෙ නෑ.....
මා මේ ලොව නැති දිනයක
හදුනාගතහොත් මගෙ හිත
මෙතුවක් කල් නොවිදි දුකක්
නුඹේ හදවත වැළදගනී
සත්තකින්ම ඔය මුදු හිත
මං වෙනුවෙන් ඉකිගසාවි.....
එපා සබඳ නුඹ තැවෙන්න
මගේ නිසල දෙණ අබියස
මා මේ ලොව නොසිටියාට
නුඹ හඬනා හඩ ඇහුනොත්
හිත දැඩි කොට එහා ලොවට
යන්නට මට සිත නොදේවි.....
මගේ නිසල දෙහය මත
නුඹේ කඳුළු වැටුනෝතින්
සීතල කය උණුසුම් වී
ආයෙත් මම අවදි වේවි......

May 8, 2012

දෙනුවන් අනුහස.... හත්වන සජ්ජායනාව

කතාවේ මුල් කොටස් මේ තියෙන්නෙ

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6











විශ්වාසකරන්න... ඉතින් ඒ දෙනුවන්ය.....ඒ ඔහුගේ හඬය...ඉද්ද ගැසුවාක් මෙන් මා ඇද මත එහෙමම ඉන්දවිණි.


" කෝ... කතාකරන්න ඉතිං...අඬනවද ඔයා තාමත්....?"


ඒ හඬ මා හිතුවාටත් වඩා ආදරණීයය.අනේ මේ මා පෙම් කරන දෙනුවන්ය.හැමදාමත් මා ඇස් වලින් විතරක්ම විඳින ආදරණීය බවය.හැමොම මදාවියෙකුයැයි කියන කිසිදා කතාවෙන්වත් කාටවත් ලතෙන් බවක් නොපෙන්නන මේ ඒ දෙනුවන්මය.පපුව ගැහෙන හඬ දුරකතනයෙන් ඔහුට ඇසෙතැයි මම බියවීමි. ඒ තරමට හදවත වේගයෙන් ගැහේ.


" ඔච්චර සද්දෙට හුස්ම ගන්න එපා ... මාවත් ඔය පැත්තට ඇදිල ඒවි...."


සුපුරුදු දඟකාර කමට මුසු වුණ මොකක්දෝ ප්‍රේමණීය බවක් ඒ හඩේ ඕනාවටත් වැඩිය මට දැනුණි.


" දැන් හොදයි "


ඇස් වලින් කඳුළු කැට කැට සිතූ සේ වැටෙන්නට ඉඩ හැර මා වචන අහුල ගත්තේ අදත් ඔහු හා මෙලෙස දොඩන්නට නොලැබුනොත් යලි කවමදාවත් මෙලෙස කතා කරන්න ඉඩක් ලැබෙතැයි සිතන්නටවත් නොහැකි නිසාමය.


" ඉතිං හොදයිනම් දැන් මේ මොකද අඩන්නෙ.... අඩන්නෙපා... අඩනකොට සුරංගනාවියෝ හරී කැතයි...."




අනේ දෙනුවන් ඔබ දන්නවාද...ජීවිත කාලෙම මට හිනැහෙන්නට ඔබේ මේ කතාවම විතරක් මට ඇති බව.ඇත්තටම මට සිනා නැගුණි.දෙනුවන්ද එහා පසින් හිනැහෙන හඬ ඇසේ.


" දන්න කියන කෙනෙකුට කරදරයක් උනාම හොයලා බලන එක යුතුකමක්නේ..ඒකයි මේ කතා කරල බැලුවෙ...මං ගාව Number එක තිබුනේ නෑ මම මල්කිගෙන් Number එක ඉල්ල ගත්තෙ... මම එහෙනම් තියන්නම්..."


හිතේ මොනවා තියාගෙන කතාකලද එය මට නොදැනෙන්නට නොපෙනෙන්නට දෙනුවන් හීන් සීරුවට එසේ කියා ඔහුට මා විශේෂ කෙනෙකු නොවන බව මටත් නොදැනෙන්නට මෙන් කියා දැමීය.මහිත රිදුණි.එහෙත් ඒ හිත මා ලඟ විනිවිද පෙනෙන නිසා මා මේ මොහොතේ කම්පා නොවීමි.


" Ok මම එහෙනම් තියනවා සුරංඟනාවී.... Bye...."


" බුදුසරණයි "


ඔහුට බැදි ප්‍රේමයෙන් ළය බරව යද්දී මා මුවින් නිරායාසයෙන්ම පිටවිය.තත්පරයකට දෙකකට එහා පස නිහඩ විය.ඉනික්බිති මහා සුසුමක කෙළවර


" ඔයාටත් බුදුසරණයි "


කියා ඔහු වහා දුරකතනය විසංදි කලේය.


විනාඩියක් දෙකක් මම ෆෝන් එක කණට කරගෙනම තුශ්නිම්භූතව බලා සිටියෙමි. විටෙක මහා හඩින් හිනැහෙන්නටද විටෙක මහා හඩින් හඬා වැටෙන්නටද මට සිතේ.පපුව රිදෙන තරමටම මගේ හුස්ම හිරවෙනවාක් මෙන් මට දැනේ.


" කවුද කතාකලේ "


තාරාගේ හඩින් මා තිගැස්සී පියවි ලෝකෙට ඇද වැටුනෙමි.ඇයට බොරුවක් කියන්නට තරම් දෙයක් නැත. ඇයට බොරු කර තේරුමකුත් නැත.


" දෙනුවන් "


ඈ එය විශ්වාස නැතුවාක් මෙන් පුදුමයෙන් මා දෙස බලා සිටින්නට විය.


" එයාට කොහෙන්ද Number එක....? මොනාද ඇහුවෙ....? "


" මල්කිගෙන් ඉල්ලගෙන... සනීපද ඇහුවා එච්චරයි.. "


ඈ වචනයක්වත් නොදොඩා මා තින් දුරකතනය ගෙන දෙනුවන් කතාකල අංකය මකා දැමීය.


" තාරා.... මට දුකයි... ඔයා මං ගැන වැරදියට හිතනවා... ඔයා හිතනවද මම ඔය Number එකට අරන් දෙනුවන් එක්ක කතා කරයි කියලා...."


" නෑ උඹට එච්චර හපන්කමක් කරන්න බෑ කියලා මම දන්නවා...ඒත් උඹ ඉස්සරහට ඔය නොම්බරේ දිහා බල බල හූල්ලන එකට මං බයයි...උඹ පිච්චෙනවා කියලා දැන දැනමයි ගින්දර ළඟට ගන්න හදන්නේ..."


" අපි Class මාරු කරමු තාරා"


" වැඩක් නෑ කවී...Class එක නෙවෙයි උඹ මේ රටම මාරු කරලා ගියත් වැඩක් නෑ ඒ යන්නෙත් ඔය හිතම අරගෙනනම්. උඹ වෙනස් කරන්න ඕනෙ උඹේ හිත....උඹේ සිතුවිලි...දෙනුවන්ව පපුවේ එල්ලගෙන උඹ කොයි දීපංකරේ ගියත් වැඩක් නෑ....."


ඉතින් ඇය කියන්නේනම් සැබෑවකි.ඒ ඇස් අමතක කරන්නනම් මා මිය යා යුතුය.නැතුවනම් ඔහු අමතක කිරීම සිහිනයකි.


" උඹ දන්නවද....මෙච්චර වෙලා සුදු අයිය මා එක්ක කතා කර කර හිටියෙ..."




" ඉතින්...."


" උඹ මාස ගානක් පිස්සු නැටුවෙ සුදු අයියව මඟ ඇරියෙ දෙනුවන් ගැන හීන මව මව කියන එක සුදු අයියට ආයෙ අමුතුවෙන් කවුරුවත් කියන්න ඕනෙ නෑ කවී...


" ඇයි තාරා සුදු අයියා මොනාද ඇහුවේ....? "


" මට මුකුත් කියන්න තරම් දෙයක් තිබුනේ නෑ කවී... එයා කතාව පටන් ගත්තෙම


" සුදු බබාගේ හිතේ ඉන්නෙ අද අපිට Meet උන Boy නේද උත්තරා කියල අහගෙන...."




" උඹ දන්නවා සුදු අයියා ගාවදී උඹට වගේම මටත් බොරුවක් කියා ගන්න බැරි බව...මං හැම දෙයක්ම කිව්ව... මේක උඹේ හිතේ තියෙන මනස්ගාතයක් විතරයි දෙනුවන්ගේ හිතේ එහෙම දෙයක් නෑ එයා මේ කිසිම දෙයක් දන්නෙත් නෑ කියල මම කිව්ව......"


" ඉතින් ..."


" සුදු අයියා දුක් වෙනවා ගොඩාක් ...එයා කියන්නේ මෙතනදී එයා වැරදී කියල...එයාගේ ආදරේ කොහේ හරි අඩුවක් ඇතිලු උඹට වෙන කෙනෙක්ට ආදරේ හිතුනේ...."


ආ හිතුවා නිවැරදිය හැමදාමත් මෙන් මෙතනදීද අනුහස් අයියා මා නිවැරදි කර වරද ඔහු පිට පටවා ගෙන ඇත.අර ඉස්සරෝම පුංචි දවස්වලත් ඔහු ඔහොමමය.මා තින් ගෙදර පිගානක් වීදුරුවක් බිඳුණද එය ඔහු පිට පටවා ගත්තා මිස කවදාවත් අම්මාගෙන්වත් පුංචි බැනුමක් අසන්නට මට ඉඩක් දුන්නේම නැත.දැන් හිත රිදෙන්නේ අනුහස් අයියාගේ ඒ අසීමිත කැපකිරීමත් ඒ අපරිමිත ප්‍රේමයත් සිහිවය.අනුහස් අයියා එදා බීමත්ව ගෙදරා ආ හැටි සිහිව මහා බියක් හිතට දැනුණි. යලිත් එවන් දිනක් උදා කරන්නටනම් මට බැරිය.සැනෙන් සිතට ආ සිතුවිල්ලෙන් ඇදෙන් බිමට පැන මා අනුහස් අයියා සොයා දිව ගියෙමි.


" සුදු අයියා...."


ආ වේගයෙන්ම මා කාමරයට ඇතුල් වූයේ එසේ හඩගාගෙනය.අනුහස් අයියා ඇදේ උඩුබැලිව වැතිර සීලිමේ කැරකෙන විදුලි පංකාව දෙසම බලා ගෙන ගැඹුරු කල්පනාවකය.මම ගොස් ඒ දෙපා අද්දරින් වාඩි වීමි.


" සුදු අයියා... ඔයා හිතනවද මම මහ නරක කෙල්ලෙක් කියලා....මම ... මම... දෙනුවන් ගැන හිතුවා තමයි... ඒත් .. ඒත්... මට අයියට දුකක් දෙන්න උවමනාවක් නෑ මගෙ අයියේ... මං කවදා හරි අයියගෙ නෝනා මහත්තයා .... ඒක වෙනස් වෙන්නෙ නෑ සුදු අයියේ... කියන්නකෝ මට බනින්නේ නෑ නේද ඔයා... "


" අනේ ඇයි මේ සුදූ... මම මොකටද ඔයාට බනින්නේ... ඔයා මට වරදක් කලේ නෑනේ මැණික..."


කවදත් ඒ හඩ දයාබරය.. ළෙංඟතුය... මට දරා ගන්නට බැරිත් මේ දෙකමය. සුදු අයියා නැගිට ඇද දිගේ ඇදි ඇදීම විත් මා ළඟින්ම නතර වී මගේ දකුණත ඒ දෑතින්ම අල්ලා ගත්තේය. කඳුළු පිරුණු ඇස් වලින් මා ඒ මුහුණ දෙස බැලුවෙමි.


" කියන්න මට... දෙනුවන් ලඟට යන්නද ඕනෙ ඔයාට.....?"


ඒ පැනයෙන් මා සසළ වූ තරම්.


" අනේ නෑ සුදු අයියා.... දෙනුවන්ට Girl කෙනෙක් ඉන්නවා... අනික එයා මට ආදරෙත් නෑ... අපි අපිට ගැලපෙන්නෙත් නෑ... මේක මගේ හිතේ විකාරයක් විතරයි සුදු අයියේ... අනේ මේ මෝඩ කෙල්ලට සමාව දෙන්නකෝ..."


" කෙනෙකුට ඔයාට ආදරේ නොහිතෙනවනම් ඒක පුදුමයක් සුදු නංගී.... දෙනුවනුත් ඔයාට ආදරේ ඇති ... මං දෙනුවන් එක්ක කතා කරන්නද .....? "


අනුහස් අයියාගේ ඒ කතාවට මා වෙව්ලා ගිය තරමක්.


" වඳින්නම් මගෙ සුදු අයියේ ඒකනම් කවදාවත්ම කරන්න හිතන්න එපා...අනේ මං ඔයාගේ.. මට දෙනුවන් එපා...සැරින් සැරේ මගේ හිත එහෙ මෙහෙ වෙන එක මං හදා ගන්නම්...මට පුංචි කාලයක් දෙන්න මගේ අයියේ...මගේ අතින් අයියට වරදක් වෙන්නෙ නෑ...."


" ආදරේ වරදක් නෙවෙයි මගෙ නංගී....ඔයාට ඕනෙ දෙනුවන්නම් මං ඔයාව මේ අත් දෙකෙන්ම එයා ලඟට ඇරලවන්නම්...සත්තයි.... "


අනුහස් අයියා දකුණත මගේ හිස මත තබා පොරොන්දු විය.සමනල කන්ද හිස මතට පාත් වූවාක් මෙන් ඒ වචන වල බර මගේ මුලු හිතටම දැනුණි.


" මට වටින්නේ ඔයාගේ සතුට විතරමයි මගෙ නංගී..."


" එහෙනං අපි ලංකාවෙන් යමු සුදු අයියා.... මට Exam කරන්න ඕනෙ නෑ ... අපි Canada යමු අයියා ඉක්මනටම...


මා එය කීවේ සැබෑවටමය. හෙටම හෝ මේ රටින් පිටවෙන්නට ඇත්නම්යයි මට ඒ මොහොතේ සිතුණි.


" මේ අහන්න මගේ නංගා ඔයා දැන් ඉන්නෙ කලබලෙන්... ඔයා කියන කරන එවා ඔයාම දන්නේ නෑ... අපි කලබලේට ගන්න තීරණ වලින් කවදාවත් අපිට හරිම විසඳුම ලැබෙන්නෙ නෑ... අනික මට ඔයාව මේ විදියට රටකින් රටකට ගෙනිහින් මගේ ලඟ හිර කරන්න උවමනාවක් මට නෑ සුදූ... ඔය හිතේ තව කෙනෙක්ගේ හෙවනැල්ල එහා මෙහා වෙද්දී මට ඔයාව මගේ කරගන්න ගන්න බෑ මගෙ නංගී...මං ඔයාට නිදහස දෙනවා...තව හිතන්න ... කාලය අරගෙන තව ගොඩාක් හිතන්න...කවදම හරි අර ඉස්සර මං ලඟ දැවටි දැවටි හුරතල් උන .. මං නැතුව මොහොතක්වත් ඉන්න බැරි උන....චුට්ට ඇත්තං මං එක්ක එල්ලි එල්ලී රණ්ඩු අල්ලන දඟ කෙල්ල ආයෙමත් මට දෙන්න පුලුවන් කියලා හිතුන දවසක මට කියන්න..... මං අන්න එදාට ඔයාවයි අම්මවයි අරන් යනවා මේ රටින්..."

සැබැවින්ම අනුහස් අයියා නම් දෙවියෙකි.මගේ සතුට වෙනුවෙන් ඔහු මුලු ජීවිත කාලයම අර පරිස්සම් කරගත් ප්‍රේමය වෙනකෙකු වෙනුවෙන් දන් දෙන්නට පවා සූදානම්ය.මගේ කම්මුලට දෙකක් ගසා මේ විගඩං නවත්තපං කියන්නට ඕනෑතරම් අයිතිය තිබුනද අනුහස් අයියා මේ මොහොතේද බෝසත් පිළිවෙත් රකී.මේ දැන් මේ මොහොතේ මට දෙනුවන් ඕනෑ කීවොත් ඔහුම කතා කර එයද පිලිවෙලක් කරන බව මා දනිමි.එහෙත් අවසනට මා දන්නා එකම දෙයනම් ඒ දෑතින්ම මා මගුල් පෝරුවට නග්ගවා අවසන වසක් විසක් කා ඔහු ජීවිතය නැතිකරගන්නා බවය.ඔහු නොකීවාට ඉරහඳ සේ මා දන්නා එකම දෙයනම් එයය.ඉතින් තාරා කියූවක් මෙන් කරන්නට ඇත්තේ පුංචිම පුංචි දෙයකි.ඒ හතර අතේ දුවන මගේ සිතුවිලි එක්තැන් කර ගැනීම පමණි.


අනිත් එක මා මුලු ජීවිතයම උඩු යටිකුරු කරගනිමින් ඒ ඇස් වලට පෙම් කරද්දී දෙනුවන් වගක් නැතුව සිටිනවා නොවේද...ඒ ඇස් වල මා දකින සෙනෙහස සැබෑවටම ඔහුගේ හිතේ කොනකවත් නැතුවා විය හැක.මා කෙරේ කැමැත්තක අංශුමාත්‍රයක් හෝ තිබුනේනම් එය විත් මගේ මුහුණටම පැවසීමට ඔහු කෙදිනකවත් පසුබට නොවේ.දකින දකින් හැම කෙල්ලටම පෙම් බඳින ඔහුට එය මහ ලොකු දෙයකුත් නොවේ. එහෙත් ඔහුට මා වහ කදුරු මෙනි.හොදම යෙහෙළියක සේවත් ඔහු මා ළං කර ගැනීමට මැලි වෙයි.අඩුම තරමේ තාරාට තරම්වත් ලතෙන් බවක් මට පෙන්වන්නේ නැත.මා සංසාරගත ප්‍රේමයක් ඒ ඇස් වල හොයද්දී දෙනුවන් සංසාරගත වෛරයක් මගෙන් පිරිමහන්නාක් මෙනි.ඉතින් හැම දෙයක්ම මෙසේ තිබියදී හොදම දෙය ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ හැර මාද පාඩුවේ සිටීමය.අනුහස් අයියා විසින් මුදා හල මා ඔහුගේ කාමරයෙන් නික්මුනේ දෙයක් දැඩිව හිතට හිතාගෙනය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


දින සති මාස වලට හැරෙමින් අපේ ජීවිත හරහා ඉදිරියට ගියේ බොහෝ වේගයෙනි.ඒ කාලය අතර තුර ජීවිතයේ බොහෝ දේ වෙනස් විය.කාගේවත් බලපෑමකින් තොරවම මම නුගේගොඩ පංති ගමන නවතා දැමුවෙමි.අරක කරන්න එපා... මේක කරන්න ... කියා කවුරුවත්ම මට උපදෙස් දීමටවත් නීති දැමීමටවත් ආවේ නැත. එහෙත් කල යුතු හොදම දෙය මම තනිව සිතා කිරීමට පෙලඹුනි.තාරා මා අසල නිරන්තරවම ගැවසෙමින් මට නිහඩවම සහය පල කලාය.ඇයත් මාත් නුගේගොඩ පංති අත හැර බම්බලපිටියට පංති ගියෙමු.ඈ නිකමටවත් දෙනුවන් ගැන මා හා දෙඩුවේ නැත.පාසලේදී වත් දෙනුවන් ගැන මා හා දොඩන්නට ඈ කාටවත් ඉඩ දුන්නේ නැත.එහෙත් ඈ දෙනුවන් පමනක් නොව අපේ කල්ලියේ අනුශ්ක , ඉශාන් , චාමිකර සමඟත් කතා බහ කරන බව මා ඉඳුරාම දැන සිටියෙමි.කියන්නට අසන්නට බොහෝ දෑ තිබුනද මා ඒ හැමදේම දරාගෙන දෙනුවන් කෙනෙක් නොදන්නාක් මෙන් හැසිරුනෙමි. අහම්බෙන් මහ මගවත් ඔහු නොදකීවායි මා නිරන්තර දෙවියන්ට කීවෙමි.


ජීවිතයේ අතිශය දුශ්කර කාල පරිචේදයක් මා එසේ ගෙවමින් සිටියෙමි.ඒ කාලය තුල මා වඩ වඩාත් සුදු අයියාට හිතා මතාම ළං වුනෙමි.දෙනුවන් නොදකින ඇස් සැබෑවටම ඒ ප්‍රේමය ළඟ නිවී සැනසුණි.ප්‍රේමය කෙසේ වෙතත් යහළුවෙකු ලෙසවත් මගේ අතුරුදන් වීම ගැන ඔහුවත් ඔහුගේ යහලුවෙකුවත් අඩුම තරමේ දුරකතන ඇමතුමකින්වත් සොයා නොබැලීය.ඔහුට මා දූවිල්ලක් තරම්වත් නොවටිනා බවට තවත් කවරනම් සාක්ශිද... මම කෝපයෙන් දැවෙමින් හදවත ගැඹුරේම තැන්පත් කල ඒ නිල් ඇස් වලට දෙස් තැබීමි.


" කවී......."
" ම්ම්ම්......"

" මට කියපං උඹ සතුටින්ද ඉන්නෙ කියල......"

" ඇයි තාරා.... උඹට මං දුකින් වගේද පේන්නෙ....."

" ඒකට හරිම උත්තරේ දන්නෙත් උඹම විතරයි කවී... මොනවා උනත් මට ලොකූ වෙනසක් දැනෙනවා කවී...අපි අතර ඉස්සර තිබුන සතුට සැහැල්ලුව මේ අහලකවත් නෑ වගේ මට දැනෙන්නේ...කියපං ... අපි කොච්චර එකට හිටියත් අපි මහා දුරයි දුරයි වගේ නේද...."

" එහෙම කියන්න එපා තාරා මේ මොනවා වෙනස් උනත් එදත් අදත් ඉස්සරහටත් ඔයා මගේ හොදම යාලුවා..."

" උඹ තරහා උනත් මං උඹ එක්ක තරහා වෙන්නෙ නෑ... උඹ ඒකත් දන්නවා ... මම කියන්නේ ඒක නෙවෙයි කවී...මම අහන්නේ මොකක්ද කියල උඹ දන්නවා..."

" චුට්ටි වෙනසක් මටත් නොදැනෙනවා නෙවෙයි කෙල්ලේ... ඒත් දෙයක් ලබා ගන්න දෙයක් කැප කරන්නම වෙනවා කියලා උඹමනෙ මට කියලා දුන්නෙත්... මට තව පොඩි කාලයක් දියන් තාරා...ඊට පස්සේ අපි හිනාවෙමු ඇති වෙනකං..."

" සතුටු වෙනවා කියන්නේ අපිව හිනස්සලා උඹ හිතින් අඬන්න එකටනම් නෙවෙයි කවි හොදේ...."

" නෑ තාරා... පේනවනේ මං දැන් කලින්ට වඩා ගොඩාක් හොදයිනෙ... ඉතින් තව ටික දවසකින් මීටත් වඩා හොඳ වෙයි..."


" හ්ම්ම්ම්.... ඔව් ඔව් පැහැදිලි වෙනසක් නම් පේනවා...."

" ම්.... එකනේ..... තාරා මං වැඩක් කියන්නද ඔයත් යන් අපිත් එක්ක Canada....."


" Canada ....? උඹට පිස්සුද කවී..... මං ගියාම කවුද මගේ අම්මවයි මල්ලිවයි බලාගන්නේ...."

" අපි ගිහින් එයාලවත් ගමු..."

" ම්ම්ම්...... හරි හරී අපි එවා පස්සේ බලමුකෝ....ඉස්සෙල්ලා ඔයයි අනුහස් අයියයි පිළිවෙලක් වෙලා ඉන්නකෝ..."


" හරි ඉතින් අපි බඳින්න උඹ දෙවෙනි මනමාලයෙක් හොයා ගනිංකෝ...."

" මොකක්.... ඒ අහවල් එකකටද....."

" ඇයි උඹනේ මගේ දෙවෙනි මනමාලි...සුදු අයියා කිව්වා උඹ කොල්ලෙක් හොයා ගන්නකන් ඉන්නෙ දෙවෙනි මනමාලයාට ගන්න කියලා..."


" ආ...පෝ... සුදු අයියටම එකෙක් හොයා ගන්න කියපං... මටනම් කොල්ලො එපා දැන්ම..."

කාලෙකට පසු අප දෙදෙනා විහිලු තහලු කරමින් සිත් සේ සිනාසීමු.




                                                 - මතුසම්බන්ධයි -

May 7, 2012

නුඹේ ප්‍රේමය මට.........







ආදරය විලක්
නුඹ එහි පිපි සුවඳැති මලක්
නැහැ විඳිනට ඉඩක්
එක සුවඳ බිඳක්.......

ආදරය මලක්
නුඹ එහි සුවඳ රොන් පොඳක්
තවරන්න දෙතොල එහි ටිකක්
නෑ පුංචි ඉඩක්.......

ආදරය වෙහෙර බිමක්
නුඹ එහි සුදු බුදු රුවක්
බැතියෙන් පහනක්
දල්වන්න නෑ පිනක්......

ආදරය කඳුළු සයුරක්
නුඹ එහි එක රළක්
ගත්තත් පාත්වී දෝතක්
රඳවන්න බෑ එක බිඳක්......



ප/ ලි කලකට පෙර ලියන ලද්දකි

May 2, 2012

දෙනුවන් අනුහස.... හයවන සජ්ජායනාව

කලින් කොටස් නොබලපු අය එවා බලලාම එන්නකෝ

පළමුවෙනි සජ්ජායනාව

දෙවන සජ්ජායනාව

තුන්වන සජ්ජායනාව

සිව්වන සජ්ජායනාව

පස්වෙනි සජ්ජායනාව







                         "  ඔබේ දෙනුවන් මත වෙළී
                             මගේ සෙනෙහස ඉකිබිඳී
                             කුමට හමුවී ඉඟි බිඟී
                             සිදී යානම් පෙම් නදී "





සුදූ මේ බලන්න මගෙ නංගී .... ඇස් අරින්න දැන් ඔයාට සනීපයි

කවී... කතාකරන්නකෝ අනේ....

යාන්තමට ඒ කට හඩවල් අදුර ගන්න පුලුවන් තරමට සිහි එළවා ගත් සැනින් මම වහා ඇස් ඇරීමි.මා මුහුණට උඩින් ඒ නිල් ඇස් දිළිසෙනවා දැක මා තිගැස්සුණෙමි.ආයෙත් මට සිහි නැති වෙතැයි සිතා ම බියවීමි. ඒ ඇස් වලට පිටුපසින් අර නාදුනන යුවතියද තාරාද මගේ මුහුණට එබෙනවා දැක මට සියල්ල යලි සිහිපත් විය.අප තවමත් මේ ඉන්නේ මුහුඳු වෙරළේය.


" දැන් ඔයාට Ok නේද කවී..... අම්මෝ අපි බය උන තරමක්...ඔයාව එක පාරටම පේන්ට් උනා... දෙනුවන්ලත් හිටියේ මේ ළඟ.. එයාලා ගාව තිබුණ වතුර ඉහලා තමා ඔයාට සිහිය ගත්තේ...."


මා සිහි නැතුව සිටි විනාඩි කීපයේ වූ දෙවල් තාරා මට පැවසුවේ මා තවමත් නිනව් නැතුව සිටිනවා දැක විය යුතුය.තවමත් මා අනුහස් අයියාගේ ඔඩොක්කුවේ හිස තබා ගත් ගමන්ය. සුදු අයියා එක දිගටම මගේ හිස අත ගායි.


මම වහා නැගී සිටින්නට වෙර ගතිමි.තාරා ඉදිරියට විත් මා වාරු කර ගත්තේය.ඇස් මුල දිළිසෙන කඳුළු කොයි මොහොතේ හෝ කඩා වැටේවියයි මට සිතේ.කෑ ගසා බැන දෙනුවන්ව එළවා දමන්නට තරම් මට සිතේ.එහෙත් එසේ කරන්නටතරම් වරදක් ඔහු අතින් මට වී නැත. මා අනුහස් අයියා හා වෙරළට ආවාක් මෙන්ම ඔහුද ඔහුගේ පෙම්වතිය හා පැමිණ ඇත.එහි වරදක් නැත. වරද ඇත්තේ මගේ සිතුවිළි වලය.ඔහුට මැරීගෙන තනිව සිතින් පෙම් කරන්නේ මා පමණි.මා වරක් එකම එක වරක් හිස හරවා ඒ නිල් ඇස් දෙස බැලීමි.මහා පසුතැවීමක් ඒ කතා කරන ඇස් වල මම පැහැදිළිවම දුටිමි.ඉතින් මට ඒ ඇතිය.මා හා නොකියන නොදොඩන බොහෝ දේ ඒ ඇස් දෙස බලා මා වටහා ගන්නා බව ඔහු දන්නේ නැත.ඒ ඇස් වලට මා එතරම්ම පෙම් කරන බවද ඔහු දන්නේ නැත.මහා වරදක් කර අසුවූවෙකු සේ ඒ ඇස් නළියයි.අර යුවතිය ගැන ඔහුටනම් දැන් නිනව්වක් නැති සේය.එහෙත් ඇයනම් තවමත් දෙනුවන්ගේ අතේ පැටළී ගත් ගමන්ය.තව දුරටත් මෙතන රැදෙන්නට බැරි සෙයක් මට දැනේ.


" තාරා මට ගෙදර යන්න ඕනෙ.... අනේ සුදු අයියා අපි යමුකෝ..."


" හරි බබී අපි යමු...."


අනුහස් අයියා ඉදිරියට විත් මා බඳ වටා සුරත යවා මා අල්ලා ගත්තේය. මම ඕනාවටත් වඩා ඒ වතට තුරුළු වීමි.දෙනුවන්ට රිදෙන බව මා දැන සිටියෙමි. හිතුවාක් මෙන්ම දෙනුවන් යටි තොල සපා ගෙන වහා අහක බලා ගති.ඔහුට රිදුනායැයි සිතා මා අපමණ සතුටු වීමි.


" එහෙනං අපි යන්නම් දෙනුවන් මල්ලි... අඳුරගන්න ලැබුනට සතුටුයි... ඔයා මේ මගේ නංඟට උදව් කරපු දෙවෙනි වතාවලු නේද...බොහොම ස්තූති ඔයාට... අපි ආයෙ හම්බවෙමුකො හොදේ..."


අනුහස් අයියා බොහෝ ළෙංඟතුව දෙනුවන්ට සමුදුනි.යන්නම් කියන්නවත් මා ආපසු නොහැරී අනුහස් අයියා සමග ඉස්සරවීමි.තාරානම් තවමත් නැවතී දෙනුවන් හා මොනවාදෝ දොඩවයි.අනුහස් අයියාගෙන් කෙසේ වෙතත් ඇයගෙන් අද මට විසුමක් නැති බව මා ඉඳුරාම දනිමි.දෙනුවන්ගේත් මගේත් නිහඩ ප්‍රේමය ගැන අකුරක් නෑර දන්නා ඇයට මේ සිද්ධ වුන දෙවල් මා මරන් කන්නට හොදටම ප්‍රමානවත් වේ.ඒ කන්දොස්කිරියාව අසන්නට ඉතින් දැන් මා සූදානම් විය යුතුය.


මග දිගට යන තුරුම අප අතර මහා නිහඩතාවයක් විය.වෙනදාට ඉවරයක් නැතුව කියවන තාරාද කවුළුවෙන් ඉවත බලා ගත් ගමන්මය.සුදු අයියාද බර කල්පනාවකින් වාහන පදවයි.තාරා පමනක් නොව අනුහස් අයියාද සිදු වූ දෙය අහම්බයක්යැයි සිතා ඉවත නොදමන බවට මේ සාක්ශියම ඇත.


සියල්ල යතා තත්වයට පත් කර සාමාන්‍ය ලෙස ඉන්නට හැදුවා පමණි.මේ සියළු මනස්ගාත සිතින් අත හැර දමමීයි අනුහස් අයියාට පමණක් නොව අම්මාටද තාරාටද මා පොරොන්දු වීමි.දෙනුවන් දැක දැක හිත හදා ගන්නට බැරිනම් නුගේගොඩ පංති ගමනද නවතා දමමුයි තාරා කීවේ මගේම හොදටය. මා අකමැත්තෙන් හරි එයටද එකඟ වී සිටියා නොවේද... ඔබ අමතක කරමී පොරොන්දු වෙන හැම විටකදීම මා ඉදිරියේ පෙනි පෙනී මහා මේඝයක් , කුණාටුවක් ලෙසින් මගේ ජීවිතය අවුල් කරන හැටි.


" අනුහස් අයියා ... මාව ගෙදරින් දාගෙනම යන්න..."


තාරා කී දෙයින් නිහැඩියාව බිඳුණා පමනක් නොව මා තිගැස්සීද ගියෙමි.අද උදෑසනම අපේ ගෙදර නවතින්නට පොරොන්දු දුන් ඈ මේ හදන්නේ මට රිදවන්නටය.


" අනේ තාරා අද අපේ ගෙදර ඉන්නවා කියලා ඔයා උදේම කිව්වනේ... --- අනේ අද ඉන්නකෝ..."


මා පිටුපස හැරී ඇයට බැගෑපත්වීමි.ඇය මට රවා අහක බලා ගති.මට සිනා නැගේ ඇයට හොදටම කේන්ති ගොස්ය.


" සුදු අයියා ඔයා කියන්නකෝ මෙයාට අද අපේ ගෙදර යමු කියලා..."


මේ වෙලාවේ ඇය මෙල්ල කරන්නනම් සුදු අයියාගේ පිහිට නැතුවම බැරිය.


" අද එහෙ යමු උත්තරා නංගී... සුදූත් අසනීපෙන්නේ... ඕනෙනම් අපි ගෙදරට ගිහින් අම්මට කතා කරලම යමු..."


ඉති මට ගනන් ඉස්සුවාට ඒ බහට ඇය අවනත බව මා දනිමි.


" සුදු අයියා කියන නිසා නවතින්නේ නැතුව මේ මල හොල්මනට බයේනම් නෙවෙයි..."


" ආ.... ඇත්තද... එනවකෝ.. නිදාගන්න මගෙ කාමරේ මම පෙන්නන්නම් හොල්මන කවුද කියල..."


" ඒකම තමා මටත් බය නිදා ගන්න ගිය වෙලේ ඉදලා රෑ තිස්සේ සුදු අයිය...සුදු අයියා .. කිය කිය මාව බදා ගන්නව.."


" මෝ...ඩී... බොරු කියන්න එපා... පිස්සු සුදු අයියා මේකිට..."


ඇගේ ඒ කතාවෙන් මා ඇත්තටම ලජ්ජා වීමි.කොපමන තරහින් හිටියද ඈ මේ හදන්නේ විහිළුවෙන් තහළුවෙන් අප අතර පවතින අමිහිරි නිහැඩියාව බිඳ දමන්නට බව මා දනිමි.ඇයනම් පුදුම මිතුරියකි. වාහනය ගෙමිඳුලේ නැවතූ සැනින් තාරා බැස යන්නට ගියාය.


" සුදූ..... මගෙ නංගී...."


මාද දොර හැර බසින්නට සූදානම් වෙද්දී සුදු අයියා මාතින් අල්ලා නැවැත්වීය.


" ඔයාට මුකුත් අමාරුවක් නෑ නේද පැටියෝ..."


" නෑ සුදු අයියා.. දැන් මට හොඳයි..."


" Change එකක් දාගෙන කෝකටත් අපි Doctor ගාවට ගිහින් එමුද..."


" අනේ... ඔනෙ නෑ අයියා... මට දැන් හොදයිනේ... මේ... මම හොදට ඉන්නේ..."


මට පුරුදු දඟකාර හඬින් මා කිවේ දෑත්ද දෙපසට විහිදුවමිනි.


" ඔයා ඔහොම හිනාවෙලා හැම තිස්සෙම හොදට ඉන්න තමා මැනික මටත් ඕනෙ...කෝ.. මේ බලන්න... කියන්න... ඇත්තටම ප්‍රශ්නයක් නෑ නේද නංඟා.."
" නෑ මගේ සුදු අයියේ..."

" හරී දැන් දුවන්න එහෙනං..."

මගේ නළල මත යාන්තමට හාදුවක් තවරා අනුහස් අයියා මා මුදා හැරීය.මේ අපරිමිත ප්‍රේමයට මාතින් සිදුවන හිතුවක්කාර නොපනත්කම් වලට මා කෙසේනම් වන්දි ගෙවන්නද...හිත ආයෙමත් හඬා වැටේ.
" මොකටද මට නවතින්න කිව්වේ "

දෑතම ඉණට තබා තාරා ගේ දොරකොඩ බලා හිදී.මෙතැනදීම ඈ මට වචන වලින් දමා ගසතැයි මා බිය වීමි.

" ඉන්න කිව්වෙද....... ඉන්න කිව්වේ රෑට බණ ඩිංගක් අහන්න..."

ඇගේ කේන්තිය වගක් නොගෙන මා කියූවේ මම සැහැල්ලුවෙන් බව අගවන්නටත් එක්කමය.

" ආ... එහෙමද... එහෙනම් වරෙන්කෝ යන්න කාමරේට..."

ඈ මා අතින් ඇදගෙන අඩියට දෙකට පඩිපෙළ නැග කාමරයට ඇතුලු වී මා ඇද මතට තල්ලු කලේය.ඒ සැනින් තාරා ද...ඩාස් ගා දොර වසා දැමුවේ කේන්තියෙන් පුපුරමිනි.

" තාරා... ඇයි ඔයා තරහින්..."

" කවී...කවී... ඇත්තමයි මට දැන් උඹේ මේ විකාර ඇති වෙලා..."

" ඇයි අනේ.... මං මොනාද කරේ..."

" අහන ලස්සන මොනාද කරේ කියල... අහපං උඹ මොනාද නොකලෙ කියල.. උඹ හිතන් ඉන්නෙ මම බබා කියලද මේ මුකුත් තෙරුම් ගන්න බැරි...ගහක් ගලක් වගේ හිටපු උඹ එක පාරටම සිහිය නැතුව ඇදගෙන වැටුනෙ දෙනුවන් කෙල්ලෙක් බදාගෙන ඉන්නව දැකලා නෙවෙයිද....?"

" තාරා.. මං හිතලා නෙවෙයි...."

" හිතලා මොකෙකුටවත් කලන්තෙ දන්න බෑනෙ බං... මම අහන්නෙත් උඹට සිහි නැති වෙන්න තරම් ඒක දැකලා උඹ ශොක් උන හේතුව මොකක්ද කියල..."

ඉතින් මා ඇයට කෙසේ කියන්නද.. හේතුවනම් දෙනුවන්ට බැදි අසීමිත ප්‍රේමයයැයි කියා.පැය ගනනක් තිස්සේ හඬන්නට බැරිව හිර කරගෙන් උන් කඳුළු මහා ඉකියක් එක්ක කඩා වැටෙන්නට විය.මම හැඬීමි...දෙදණ මත මුහුණ හොවා මහා හඬින් හැඩීමි.

" අඬන්න එපා කෙල්ලේ... දැන් අනුහස් අයියා ආවොත් සේරම අවුල් වෙනවා..."

තාරා සැර බාල කර පැවසුවේ ඇත්තටම අනුකම්පාවෙන් මෙනි.

" එක්කෝ ඕන මඟුලක් වෙන්න කියල උඹේ හිතේ තියෙන දෙවල් එළියට දාපං කවී...වෙන දෙයක් වෙයි.. මට මේ උඹ විඳවන විඳවිල්ල බලන් ඉන්න බෑ ..."

ඒ පැවසුවේ ඇයම දැයි මට හිතා ගන්නටවත් නොහේ.මා පැන ඇය බදා මහා හඩින් හඬා වැටුනෙමි.

" මට බනින්න එපා තාරා... මම ගොඩක්.... ගොඩක්... උත්සහා කරනවා දෙනුවන් අමතක කරන්න...ඒත් මට බෑ දෙවියනේ... මට බෑ...මම එයා එක්ක හිතින් ජීවත් වෙනවා තරා... එයා කෙල්ලො සීයක් එක්ක යනවා දැක්කත් මට එයාව අමතක කරනන් බැරි වෙයි..මට මේවා කියන්න ඉන්නේ ඔයා විතරයි අනේ මාව තේරුම් ගන්න තාරා..."

" මට උඹව තේරෙනවා කවී...ඒත් අහපං .. වෙන තැන් වල වගේ උඹේ මස්සිනත් සල්ලාලයෙක් බේබද්දෙක් නාහෙට නාහන එකෙක් උනානම් මම අනුහස් අයියගෙන් උඹව උදුරගෙන දෙනුවන්ට දෙනවා...ඒත් උඹ දන්නවා මෙතන තියෙන්නේ ඒකේ අනිත් පැත්ත..අනුහස් අයියා වගේ රත්තරං කොල්ලෙක් අත ඇරල දෙනුවන් වගේ එකෙක්ට පිස්සු වැටෙන්න මොනවද බං උගේ තියෙන්නෙ...? ලස්සන විතරයි.. දෙනුවන්ට පැනල දීල සල්ලං වෙන කෙල්ලො වගේම උඹත් උගේ ලස්සනට වහ වැටිල ඉන්නෙ...උඹත් උගේ ඉස්සරහ අඟර දඟර ටිකක් දැම්මනම් උඹටත් ඔය වගේ තැන් තැන් වල ඌ එක්ක ලගින්න තිබ්බා.."
හුස්මක්වත් නොගෙන ඈ කියන දෙ ඇත්තක් තිබුනද නැතුවද මගේ හදවත පසාරු කරගෙන යන තරම් ඒ වදන් තියුණුය.

" උඹ ඔය කියන හොයන සංසාරගත පූජණීය ප්‍රේමය ඌ අදුරන්නේ නෑ කවී...මං උඹේ හොදම යාළුවා උඹව දැන දැන අමාරුවේ දන්න මට බෑ...මේ හැමදේම පොඩි එකෙකුට වගේ මම උඹට තෙරුම් කරලා දෙන්නෙ ඒ නිසයි.වදින්නම්... මේ විකාර නවත්තලා හිත හදා ගනිං..."

" කවුරු මොනවා කිව්වත් ඒ ඇස් වල මට තියෙන ආදරේ මට දැනෙනවා තාරා...ඔයා වැරදී... මම ආදරේ එයාගේ ලස්සනට නෙවෙයි...ඒ ඇස් දකින හැම පාරකදිම මම ගැස්සෙනව... ආත්ම ගානක් ඒ ඇස් ඇතුලේ මං ජිවත් උනා වගේ මට දැනෙනව... මම දන්නවා.. කවමදාවත් මට එයා ළඟින් ඉන්න බැරි වෙයි..ඒත්.. ඒත්... එයා මේ පපුවෙ ජීවත් වෙනව තාරා... ඒක නවත්තන්න දෙනුවන්ටවත් බෑ...මං ආසයි ඒ ඇස් වල අතරමං වෙන්න..."
මා අසිහියෙන් මෙන් දොඩවන්නට වීමි.තාරා ඇස් ලොකු කර මදෙස බලා හිදී.ඈ මගේ මුව ඇගේ සුරතින් වසා ගත්තේ මා තවත් මොනවා කියාවිදැයි ඈට සිතා ගන්නටවත් බැරිව වෙන්නට ඇත.

" කවී.... සිහි එළවගෙන කතා කරන්න Please ..... ගෙදර කාට හරි මේවා ඇහුනොත් මේ ගේ ගිනි ගන්න බව අමතක කරන්න එපා...."


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හිතේ තිබූ අවංකම සිතුවිලි තාරාට පවසා අවසන ම'හිතට සැහැල්ලුවක් දැනුනි.කතාකරලම හෙම්බත්ව උන් තාරා මා කාමරයේ තනිකර පහලට බැස්සේ මට තනිව ඉන්නට ඉඩදී විය යුතුය.උත්තරා හෝ මා තේරුම් ගතහොත් මට එය සැනසීමකි.මම ඒ සැහැල්ලුවෙන් දෙනෙත පියාගතිමි.


I’m so lonely ....... broken angel
I’m so lonely ....... listen to my heart

ශෝකී මිහිරි ස්වරයෙන් ඒ නද දෙන්නේ මගේ දුරකතනය බව මට මතක් උනේ බොහෝ වෙලාවකට පසුව විය යුතුය.ඇස් පියාගෙනම යහන මත අත පත ගා ෆෝන් එක හොයාගෙන මම Answer කලේ ඕනාවට එපාවට වගේ.
" හෙලෝ......"

හඬා දොඩා හෙම්බත්වුන මගේ හඩ බොහෝ සෙයින් බිදී තිබෙන්නට ඇත.

" කොහොමද දැන් සනීපද ඔයාට....."

මට මගේ දෙසවන් අදහා ගන්නට බැරිවිය.හුස්ම හිරවී එහෙමම මා ඇද වැටෙතැයි මට සිතුණි.


                                         ~~ මතුසම්බන්ධයි ~~