සඳට බැළුම් හෙලූ අය

Nov 28, 2017

කවුරුන්ද ඔබ මගේ !







හිමිදිරියෙ පෙති අරින සුදු රෝස මල් මතට
පතිත වන මුඳු සීත තුෂර බිඳුවක් ලෙසට
හිටි ගමන් හදවතට ගොඩවදින
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?

රාත්‍රිය පුරාවට ඇද හැලෙන
සඳ එළිය වාගේම පිවිතුරුම සිතුවිල්ලක්ව
රැය පුරා මාව නොනිදා තබන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද...?

ගෙවෙන එක තත්පරයකටවත් තවම
ඔබෙන් මිදෙනට බැරිව හිතට එන
හුස්ම පොද වාගෙම ළඟ රැදෙන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?

Nov 24, 2017

නපුරි !


සිනා මල් සඟවගෙන
ඔරවනා බැල්මයි
නෝක්කඩු කියන්නට
හදන මුව සද්දයි...

මගේ පොඩි පමාවට
නපුරුකම් කන්දයි
බදාගෙන ඉඹිනවා
ඔන්න තොල් සත්තයි

Nov 22, 2017

ආල වට්ටෝරුව !


මම
ප්‍රේමය සිඳ පත අටට
පෙරා ගතිමි
හොදම හරිය

අවවාදයයි :
කරුණාකර ,

ඔබ
අනුපානය ලෙස
කඳුළක කළදක්වත්
රැගෙන ( නො ) එන්න !

Nov 15, 2017

නුවර අහස යට !






නුවර මන්දාරමේ හීගතුව ඉවසාන
රොබෝරෝසිය මලක් වැව් දියට  ඉඟි පාන
දළදාව වීදියේ අතෑරුන සුබ සීන
තාම සුවඳයි සුසුම් හෙලන අර හන්තාන...

දෙපා කකියන තුරුම ඇවිද ගිය මල්යාය
මීඳුමේ දුමාරය  පෙරවගත් කඳුයාය
මතක ගින්දර වැදී පිච්චෙද්දි හද සෑය
අදත් පහුකර යද්දි හිතට ඔච්චම් පාය

මේ මතක අරන් යන්නට බැරිව මාවැලී
දියත් හඬනවා ගං දෑළ දෙවුරේ වෙලී
උණ පදුරෙ හෙවන යට එකම කුඩයේ ඇලී
පිරිමැදපු හැඟුම් ඒ තරමටම සියුමැලී

අස්ගිරිය උඩින් පායද්දි රෑ තරු රෑන
අත්හරින්නට බයයි අපි දැකපු ඒ හීන
ආයෙ කවදාවත්ම සෙංකඩට නුඹ නේන
මගේ කඳුළුත් අරන්  හඬාපන් හන්තාන


Nov 11, 2017

මලක මකරන්ද තවරන්න මැදියම !





රූමස්සලට උඩින් පිපුනාම අඩ සඳ
ඉල් මහට වැටෙන වැහි  සිඹී සිඳු බඳ
ප්‍රේමයේ සියුම් තත් පිරිමදිනකොට හද
මට කියා දෙන්න ආදරේ නිබ්බුත පද

කොටු බැම්ම මත හැපෙන සෙනෙහසේ රල
වහං කර ගන්නවා කිරි කවඩි පෙල
නිල්වැල්ල සිප හමන  හීන් මදනල
පිනි මිදුන හීනයක සතපවයි හදමල

සඳ එළිය මුවා කර රෑයේ තුන් යම
මුතු වෙරළ මත රඟන සඳකිදුරු පෙම
ළිහිණියක තුඩින් පාරවා හද ඉම
මලක මකරන්ද තවරන්න මැදියම

Nov 8, 2017

ඔබ මගේ ප්‍රාණයයි !





ඔබ මහා අනුහස් ඇති ශ්‍රී මහ බෝධිය වෙන්න

මම මළුවේ දැල්වෙන පුංචි පහනක් වෙන්නම්...

ඔබ බැතිබර හැගුම් දනවන රුවන්වැලි මහා සෑය වෙන්න

මම උවැසිය වී අනිමිසලෝචනය කරන්නම්...

ඔබ පිංසාර නුවර වැව වෙන්න

මම කුමුදු මලක් වී ඔබ පාමුල පිපෙන්නම්...

ඔබ සීතල සුදු මීදුමක් වෙන්න

මම මහරත් මල් පිපෙන හන්තාන කදු මුදුන වී දෝවනය වෙන්නම්...

ඔබ දුර ඈත ක්ෂිතිජය වෙන්න හැමදාම

මම මෑත ඉදන් බලන් ඉන්නම් ජීවිතේ පුරාම...


Nov 6, 2017

මතකද හැන්දෑවේ !




අඬනකොට මහා හයියෙන් අහස
කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක

නිල් පාට මල් ඉහුන කුඩේ යට
තාම පුසුඹයි නුඹේ සුසුම් සර
වැහි දියට තෙමෙන කම්මුලක් මත
ගලන්නේ කඳුළු කැට ගොඩක් අද

දන්නවා මේ වැස්ස යටම ඔබ
ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද

Nov 4, 2017

ඉතින් අපි අපේමයි !






කාත් කවුරුවත් නැති පෙම් හීන කොදෙව්වක
දැන් ඉතින් හදාගමු අපෙ හීන මන්දිරය
සිව්වසක් බැදි සෙනෙහෙ එකට එක්වන මොහොත
අවසරයි සිප ගන්න මගෙ වෙච්ච ඔය දෙතොල

මුවින් තව වදනකුත් එපා තව මුමුණන්න
ඇස් වලින් විතරක්ම ආදරේ පවසන්න
සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
ඔය සුසුම් උණුහුමට ගුළිවෙන්න ඉඩ දෙන්න

මගෙ හුස්ම ඔබ අරන් ඔය හුස්ම මට දෙන්න
පෙම්බරම හාදුවක් නළල මත තෙරපන්න
සොඳුරු සුභ දසුනක්ව හෙට හිරුට හිනැහෙන්න
මගේ හෙට දවස ඔබ ඉතින් අරගෙන එන්න

කඳුළු වැහි වැටෙද්දී හිනා අහුරක් වෙන්න
ජීවිතය දැවෙද්දී පිණි වැස්ස වස්සන්න
සැඩ ඉරෙන් පිච්චෙද්දි හිසට සෙවනක් වෙන්න
සදා නොසිදෙන සෙනෙන් මගෙ දිවිය පුරවන්න

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...