සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 27, 2012

මගේ කුළුඳුල් කෝච්චි ගමන.......



ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනකොට උරහිස ගාවින් රිදෙනවා.ඊයේ පෙරෙදා දවසක වින්ටජිනෝ ටිකකුත් අතුල්ල ගත්ත.ඒත් තාමත් හරියටම හරි ගියේ නෑ.

අපේ පරම්පරාවේ අය කියන විදියට මං අත දරුවා කාලේ ඉදන්ම බස් ගමනා ගමනය ඇලජික් කෙනෙක්.ඒ හේතුව නිසාම පොඩි කාලේ කවුරුවත් මාව කොහේවත් අරන් යන්න කැමති නෑ.ඒ මොකද කියනවානම් බස් එකට නැගලා විනාඩි දහයක් යනකොටම මම හෝටල් අරින්න පටන් ගන්නවාලු.මට අවුරුදු දහයෙදී විතර මට මතකයි ඉන්ටර්සිටි බස් එකක ගාල්ලේ යන්න ගිහින් සීට් එකෙන් නැගිටලා බහින්න ඉස්සරහට එන විනාඩියෙත් බස් එක පුරාම වමනේ කලා.අන්තිමට තාත්තාට බස් එක හෝදන්න පවා සිද්ධ වුණා.ඉස්සර බස් එකක දුර ගමන , ට්‍රිප් එකක් එහෙම මාව එක්කන් යනවා කියන්නේ ගෙදර අයට යුද්දෙකට යනවා වගේ වැඩක් තමා. ෂොපින් බෑග් , දෙහි ගෙඩි , නාරං , නා නා ප්‍රකාර ටොෆී ජාති පුරවපු මල්ලක් මාත් එක්කම රෙඩි පිට උස්සන් යන්න ඕනෙ. දැන් කියලත් ඒකේ ලොකු වෙනසක් වෙලා නෑ. දැන්නම් කොහේ හරි යනවනම් පැය බාගෙකට විතර කලින් පෙත්තක් බීලා සූදානම් සරීරෙන් තමා යන්නේ.

අද ඉතින් මං මේ කියන්න ලෑස්ති වුණේ ඕවා නෙවෙයි.මම තනියම හා හා පුරා කියලා ගිය කෝච්චි අත්දැකීම ගැන ලියන්න.ඒකනම් මට කියන්නත් විලි ලැජ්ජයි වගේ. ඒත් ඔන්න ඔහෙ කියලා දාන්නම්කෝ.

පුංචිම පුංචි කාලේ අපේ ආච්චිලාගේ ගෙදර ( වේයන්ගොඩ ) දෙතුන් පාරක් කෝච්චියේ ගිහින් තියෙනවා ඇරෙන්න ඊට පස්සෙනම් මට කෝච්චියේ යන්න අවස්ථාවක් උදා වෙලාම නෑ. හැබැයි කෝච්චියක් දකින දකින වාරයක් පාසා අනේ මේකෙ යන්න තියෙනවානම් කියලා හිතනවා. කොහොමත් බස් එකට වඩානම් මම කෝච්චි ගමනට ආසයි.කෝච්චියේ යන්න වාසනාව නොතිබුනාට හූ කියාගෙන පීළි දිගේ ඇදෙන යකඩ යකාගේ දසුනනම් මට නුහුරු වුණේ නෑ. ඉස්කෝලෙ කොයි ගොඩනැගිල්ලේ දෙවෙනි තුන්වෙනි තට්ටුවට නැග්ගත් නිල්ම නිල් පාට මහ මුහුදත් , ගල්කිස්ස මහ හෝටලයත් ඊට මෙහාහින් දිවෙන රේල් පාරත් හරි අපූරුවට පේනවා.

ඉස්කෝලෙට වෙලා කෝච්චි දිහා බල බල හිටපු මට ඉස්කෝලෙන් අවුට් වෙලත් වසර ගානක් ගිහිල්ලා ඔන්න දවසක් උදාවුණා කෝච්චියක යන්න. ඒ මගෙ එකම මල්ලීට පිං සිද්ධ වෙන්න. ඒ කොහොමද කියනවනම් එයා කුළුඳුලේම හොයා ගත්ත ගෑණු ළමයා අම්මාගේ බඩේ ඉදන්ම කෝච්චියේ කරක් ගහපු කෙනෙක්.එයාට නිකන් කෝච්චියත් ගෙදර වගේ හුරු පුරුදු තැනක්.ගම ගනේමුල්ල ස්ටේශන් එක කිට්ටුවම.ඉස්කෝලෙ කොල්ලුපිටියේ St Methodist Collage එක. මේ දෙන්නගේ ප්‍රේමයට සපෝටර් වුණේ මල්ලිගේ පොඩි අක්කා වෙච්ච මේ මම. මල්ලීත් මාත් අතර මහා ලොකු වයස් පරතරයක් නැති නිසාමද මංද අපි හිටියේ හොද යාළුවෝ වගේ. අපි අතර රහස් තිබුණේ නෑ මොනවා කලත් මට ඇවිත් කියන සිරිතක් මල්ලිට තිබුණා. මෙයා ඔය එයා වෙනුවෙන්ම ගත්තා කියලා එයාට ගිහින් දුන්න තෑගි කන්දරාවෙන් බාගයකම හැබෑ උරුමක්කාරී මම කියලවත් , ඒ ගත්ත තරමක් තෑගි ගත්තේ මගේ වියදමින් කියලත් මම තාම කාටවත්ම කියලා නෑ. ඒකත් මම මතක ඇතුවම කියන්න ඕනෙ.

ඉතිං මේ ගෑණු ළමයව මට පෙන්නන්න මල්ලිට ලොකු උවමනාවක් තිබුණ. එයා කොහොම හරි ඒකට ඉඩ ප්‍රස්ථාවකුත් හදා ගත්ත මාවත් කැන්ද ගෙන මනමාළි බලන්න යන්න. පොඩි පහේ දුරකටත් නෙවේ ගනේමුල්ලටම.පිටකොටුවට බස් එකෙ ගිහින් එතන ඉදන් කෝච්චියේ ගනේමුල්ලට යමු කියලා මල්ලි කිව්ව. ඒකනම් මට මාර හැපී කතාවක් වුණා. ඒ දවස්වල මේ හුට පට දන්නේ නැති නිසා ගජබින්න ගොඩාක් ගෙදරට අත ඇරලා තමා මල්ලි මාව ගෙදරින් එලියට ගත්තෙ.

ඔන්න දැන් අපි කොටුවට ඇවිල්ලා ස්ටේශන් එක පැත්තට ආවා. මල්ලි ගිහින් ටිකට් එහෙමත් අරන් ආවා.අපි ඇතුලටත් ගියා.අපි ඇතුල් වෙනකොටම පෙරවරු කීයටද මංද ( වෙලාව මතක නෑ ) රඹුක්කන බලා පිටත් වේන දුම් රිය විනාඩි විස්සක් ප්‍රමාදයි කියල යකඩ කටින් මහා සද්දෙට කිව්ව.

" නොදේමකිං " කියල මල්ලි කිව්වම තමා මම දන්නෙ ඒ අපි යන්න ඉන්න කෝච්චිය කියල.විස්සයි කිව්වට මොකද විනඩි හතලිහක්ම අරගෙන කෝච්චිය තුන් වෙනි වේදිකාවට ආව. වේදිකාවේ නගින්න බලාගෙන සෑහෙන සෙනගකුත් හිටිය. " සම හරක් " කෝච්චිය නවත්තන්නත් කලින් සීට් එකක් ලබාගන්න තියෙන ආසාවට ජීවිතේ පවා පරදුවට තියලා කරන සෙල්ලම මම කට ඇරගෙන බලන් හිටිය.කෝච්චිය නැවැත්තුවාට පස්සෙ මල්ලී මාවත් ඇදගෙන ගිහින් පෙට්ටියකට ගොඩ කලා. යාන්තං ඉඩ තියෙන තැනක් බලලා මල්ලි මාව වාඩි කලා. එයා දොර ගාව කුලුණකට හේත්තු වුණා. උන්දැටනම් කෝච්චි ගමන හොදට පුරුදු පාටයි.අවුරුදු වලින්ම ගත්තොත් හරියටම අවුරුදු 15 කට නැත්තම් 16 කට විතර පස්සෙ කෝච්චියකට ගොඩ වැදුණ මමනම් ඹමරෙ වගේ කැරකි කැරකි සිරි නැරඹුවා.ඔහොම ගිහින් ගමනාන්තය වෙච්ච ගනේමුල්ලෙන් අපි බැහැගත්ත. අර ගෑණු දැරිවි ( දැන් මගේ ආදරණීය නෑනන්ඩි ) අපිව පිලිගන්න ස්ටේශමට ඇවිල්ල හිටිය. අපි දැන අදුන ගෙන ආගිය කතා කතා කරලා පැය දෙක තුනක් ගත කරලා ආපහු කොටුවට කෝච්චියෙන් එන්න පිටත් වුණා.මේ එන ගමනෙදී මල්ලි වෙනත් වැඩකට යාමට මරදානෙන් බහින බවත් එතැන් සිට මා තනිවම ආ යුතු බවත් මම කලින්ම දැනගෙන හිටිය. ඒ කාලෙ මෙහෙම චාන්ස් මට වැදෙන්නෙ බොහොම කලාතුරකින් නිසා මම හිටියේ සන්තෝසේ බැරුව.ඒ වෙද්දි මටත් ඔය කොලු පැටියෙක් එහෙම හිටියනම් සන්තෝසේ තව ඩබල් වෙනවා.මම ඉතින් පෙම්වතියෙක් වුණේ අපේ මල්ලිගෙ ආදර කතාවට සෑහෙන්න උදව් කරලා එහෙම පරිනත වුනාට පස්සෙ.

ඔන්න මරදානෙදී මගේ අතට ටිකට් එකත් දීලා මල්ලි කෝච්චියෙන් බැස්සා.

" ස්ටෙශන් එකෙන් එලියට ගිය ගමන් 100 බස් පෝලිමට තියෙනවා.... නැලවි නැලවි ඉන්නේ නැතුව තියෙන බස් එකක නැගල ඉක්මනට ගෙදර යනව හොදේ...... "

ඔන්න පේනවද දැන් මෙයාගෙ කතාව නිකන් හරියට මං මුගේ ඇගේ බලෙන් එල්ලිලා ආවා වගේ.

" හරී හරී මම දන්නවා ගානට යන්න.... "

මමත් එහෙම කියලා චන්ඩියා වගේ කොටුවට ආව. අපොයි කෝච්චිය පැද්දි පැද්දි ඇවිත් නැවැත්තුවේ 8 නැත්තන් 9 වේදිකාවේ. එතන ඉදලත් පිටවීමේ දොරටුවකට තව කෝච්චියක එන්න ඕනෙ. විනාඩි 10 ක් විතර අරන් මම ඒ මග නැළවි නැළවි ලැසි ගමනින් ආව. ඇවිත් පිටවෙන දොරටුවක පෝළිමකට කිට්ටු වුණා.මට ඉස්සරහින් යන හැමෝම එතන ඉන්න කෙනෙකුට ටිකට් එක දීල තමා එළියට යන්නෙ. මට පේන විදියට ටිකට් එක නොපෙන්නා එලියට යෑම බොරු. කෝ මගේ ටිකට් එක....... හුටා....... මට දෙවියෝඅ බුදුන් සිහිවුනා...... මල්ලි බහිද්දී මගේ අතේ තිබ්බ ටිකට් එක මෙතනට ඇවිදන් එද්දි මම රේල් පාරට විසි කරා කියල මට මතක් වුණා.... අනේ දෙවියනේ මම ඉවරයි.... මාව සට සට ගාල ගැහෙන්න ගත්ත...මගේ පිටි පස්සෙ හිටපු අය මාව තල්ලු කරගෙන ඉස්සරහට යද්දි මම එහෙමම ආ පස්සට වුණා. දඩි බිඩි ගාලා ෆෝන් එක හොයලා මල්ලිට කෝල් එකක් ගත්ත.



" අනේ මල්ලි මාර වැඩේ ... මෙතනින් එළියට යන හැමෝගෙම ටිකට් බලනව... "

" ඔව් ඉතින්... බලන නිසා තමා හලෝ මම තමුසෙගෙ ටිකට් එක දීල ආවෙ අතට... "

" අයියෝ මල්ලි මම ඒක රේල් පාරට විසි කලා... ඔයා නිකමටවත් මට කිව්වෙ නෑනේ ඕක ඕන වෙනව කියල..."

" අනේ යකෝ මෙහෙමත් වැස්සියෙක්... එක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙද ? ....."

" ඉහි... ඉහි... මං කවද කෝච්චියේ ගිහිල්ලද හලෝ... තමුසෙ මාව දැනුවත් කලේ නැත්තෙ ඇයි...? "

" ආපෝ වැඩක් නෑ... වැඩක් නෑ... සාමාන්‍ය දැනීම බිංදුවයි.. දැන් ඉතින් නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්..."

" පොඩ්ඩක් කිව්වේ කොච්චර වෙලාද..? මම කීයට් අහරි එනකන් ඉන්නවා... "

එහෙම කියල මල්ලි ෆෝන් එක කට් කලා එහෙම කිව්වට එයා පුලුවන් ඉක්මනට එන බව මම දන්නවා.මම නැවතුන තැන එහෙමම බිරාන්ත වෙලා නැවතිලා බලන් හිටිය.කෑ ග ගහා අඩන්න්න පුලුවන්නම් ඒ වෙලාවේ මම හිතේ හැටියට අඩනවා. එතනින් යන හැමෝම මගේ දිහා දෙපාරක් බල බල යන බවත් මට තෙරුනා. ඒක තවත් ප්‍රශ්නයක් වේවි කියල හිතුන නිසා මම පුලුවන් තරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කලා.

" ඔය ළමය මොකද.... ඇයි මෙතන ඉන්නෙ... කොහාට යන්නද ඉන්නෙ....?

කණ ළගින්ම ඇහුන ඒ හඩින් මාව තක්බීර් වුණා.අර ටිකට් එකතු කර කර හිටපු මනුස්සයා තමා මගේ ළගට ඇවිත් එහෙම ඇහුවේ.ඒක අහපු තාලෙට හිර කරගෙන හිටපු කඳුළු අමු අමුවේ වැක්කෙරෙන්න ගත්ත. ඒ මනුස්සයත් පොඩ්ඩක් කලබල වුණා ඒක දැකල.

" ඇයි ළමයා මොකක්ද ප්‍රශ්නේ...? "

ඉස්සෙල්ලට වැඩිය නිවුණු හඩකින් එයා එහෙම ඇහුව. බොරු කියන්න දෙයක් නැහැනෙ මම සිද්ද වෙච්ච දෙ එයාට කිව්ව.ඒක අහල ඒ මනුස්සය මගේ උඩ ඉදන් පල්ලෙහාට දෙතුන් පාරක්ම බැලුවා.

" ඔය ළමයට වයස කීයද ? "

" විසිතුනයි "

" අවුරුදු විසිතුනක් වෙලත් දන්නේ නද්ද කෝච්චියක යන එනකොට ටිකට් එක පරිස්සම් කරගනන් ඕනෙ කියල... හා.. හා... දැන් ඔය කඳුළු පිහිදගෙන එලියට යන්න... බොරුවක් නොකරන බව තෙරෙන නිසා යන්න දෙන්නෙ... නැත්තන් පොලිසීයට ගෙනියන්න වටින්නෙ.. දැන් ඉක්මනට යන්න තව අය දැක්කොත් මටත් ප්‍රශ්නයක් වෙයි... "

මම ඒ මනුස්සයට ස්තූති කියල පණ කඩාගෙන එලියට දිව්වා මොරටුව බස් එකකට නැගල වාඩිවෙලා තම සිහි එළව ගත්තෙ.ඊට පස්සේ මල්ලිට කෝල් කරල විස්තරේ කිව්ව. එයා ආයෙම මට බැන බැන හැරිල ගියා.

ඔන්න ඔය විදියටා තමා මගේ කුළුඳුල් කෝච්චි ගමන හමාර උනේ.අදටත් ඕක මතක් කර කර කට්ටිය ඕනම සභාවකදි මාව බයිට් එකට ගන්නව.ඒ වෙලවට මට එන කේන්තිය... අම්මෝ කියලා වැඩක් නෑ.

Feb 20, 2012

කලකට පස්සේ ගිය අපූරු බස් ගමන...

ඔන්න අද කාලෙකට පස්සෙ මට බස් එකක යන්න පොඩි චාන්ස් එකක් ලැබුණා.අද උදේ 8 වෙනකොට මම ගල්කිස්සේ ඉන්නත් , හබියට ඒ වෙලාවෙම හෝමාගම ඉන්නත් ඕන කමක් තිබුණ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා හබියාගේ බලවත් අකමැත්ත මත ඒත් කොරන්නම දෙයක් නැති නිසා ඕන් උන්දැ මාව බස් එකේ යවන්න කැමති වුණා.අපේ ගෙදර ඉදන් කොට්ටාව ගල්කිස්ස 255 බස් එක ගන්න ලේසිම තැන මිරිස්වත්ත හංදිය නිසා මාව එතනින් බස්සලා හබියා යන්න ගියා.ගියා කිව්වට ඉතින් එහෙම ලේසියෙන් ගියෙත් නෑ.

" පරිස්සමින් යන්න පැටියෝ.... සෙනග අඩු එකක් එනකන් ඉදල නගින්න පැටියෝ... බැහැපු ගමන් කෝල් කරන්න පැටියෝ..."

ඔන්න ඔය වගේ අවවාද අනුසාසනා ගොඩාක් මට ලැබුණ.මමත් ඉතින් ඒව අකුරටම පිලිපදිනවා කියල හිතාගෙන හැම එකටම
" හා පැටියෝ.. හා පැටියෝ... කිය කිය ඔලුව වැනුවා.
දැන් ඉතින් මම චන්ඩියා වගේ බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා.ඔන්න කොට්ටව ඉදලා එන බස් එකක් මිරිස්වත්තෙන් 120 පාරට හැරෙව්වා.බස් එක වම් පැත්තට ඇලවිලා පිරිමි විතරක් නෙවේ ගෑණු උදවිය පවා ෆුට් බෝඩ් එකෙ වවුලෝ වගේ එල්ලිලා මගේ ඇග හිරිවැටුනා මේකෙනම් මෙතන ඉන්න කාටවත් යන්න බැරිවෙයි කියලා මම හිතුව.ඒක ඉතින් මගේ හිතට දැනිච්ච විකාර සිතුවිල්ලක් කියලා මට හිතුනේ හෝල්ට් එකේ හිටපු අය මාවත් පෙරලගෙන ගිහිල්ලා හතර පස් දෙනෙක්ම කොහොම හරි බස් එක ඇතුලට රිංගනවා දැක්කමයි.කොල්ලොනම් බැරියෑ අඟල් තුන හතරේ හයි හීල්ස් දාගත්ත සාරි පටලව ගත්ත ගෑණු පරාණ පවා සාරි කරට අරන් පුංචි පුංචි හිඩස් අස්සෙන් ඇතුලට රිංගුවා.ඒවා දැකල මට හිනා.
මට මතක් වුනේ ඉස්කෝලෙ ඒ ලෙවල් කරපු කාලෙ. ඒ කාලෙනම් මටත් ඕවා කජ්ජක් නෙවෙයි.මට මතකයි ඒ දවස්වල සන්නස්ගල සර්ගෙ සිංහල පංතියක් තිබුනා සතියේ දවසක.ඒ දවස තමා ඒ කාලෙ මට ජොලිම දවස. එදාට මට චන්ස් එකක් ලැබෙනවා ඉස්කෝලේ ඇරුණම යාලුවොත් එක්කම බස් එක නුගේගොඩට යන්න. යාලුවෝ සෙට් එකත් එක්ක ගල්කිස්ස හංදියෙන් 183 නැගලා නුගේගොඩින් බහින ටිකට අපි නටපු පිස්සු.අංකල්ලව ඇන්ටිලව පෙරලගෙන බස් එකට නැගලා අහගත්ත බැනුම් කන්දරාව... ඒ කාලෙ සීට් ලැබුණත් අපි වාඩි වුනේ නෑ... ගල්කිස්සෙන් ඒ වෙලාවට බස් වලට නගින්න පිරිමි ඉස්කෝල තුනකම කොල්ලො ඉන්නව. ලලිත් ඇතුලත්මුදලි , සයන්ස් කොලේජ් , තෝමියන්ස්. අම්මෝ කොහොමද සනීපෙ මෙයාලගෙන් බේරෙන එකත් ලේසි නෑ... ඒත් ඉතින් ඒ කාලෙ අපි එදා අපි හිටපු වයසෙ අද ඉන්න නංගිලා මල්ලිලාටනම් වැඩිය සංවරයි. ඒකනම් කියන්නම ඕන දෙයක්.ඒ හිරිමල් වයසේ පුංචි දගකාරකමක් ඇරෙන්න අපි කවදාවත් පාසල් නිල ඇඳුමට කැළලක් වෙන විදියට හැසිරුණේ නම් නෑ.කොහෙ ගියත් අපි අපේ පාසලේ අභිමානය රැක්ක.
හ්ම්....... ඒව ගැන කියන්න ගියොතින් මම ලියන්න ආපු මාතෘකාව වෙනස් වෙනව. ඉතින් ඒ නිසා දැන් ආපහු යමුකො බස් හෝල්ට් එකට.ඔන්න ඉතින් මේ වෙනකොට 255 බස් තුනක් විතර ගිහින් . හැබැයි මම තාම එතනම්.එන එන බස් එකට කට්ටිය පොරකකා නගිනව මම බබා වගේ ඔහේ බලන් ඉන්නව. දැන් මේ දෙකට ගනින්න බැරුව වගේ හිටියට කාව්‍යට මේ වැඩ බැරුවනම් නෙවේ.ඒත් ඉතින් සහයට ඩැනී කෙනෙක්වත් හිටියනම් උත්සහකරලා බලන්නවත් තිබුණා. තනියම සෙල්ලම් දාන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.
හතර වෙනි බස් එකත් මාව පහු කරගෙන ගියාට පස්සෙ ඔන්න මට තද වුණා. මෙහෙම හිටියොත් මට 8 නෙවෙයි දහයටවත් ගල්කිස්සට යන්න වෙන්නෙනෑ.සෙනග වැඩි වෙනවා මිසක් අඩුවකුත් නෑ.ඊළග බස් එකේ මමත් කොහොම හරි යනව කියලා මම හිතා ගත්තා.අලි පත හෑන්ඩ් බෑග් එකත් කරට දාගෙන තද කරලා අල්ල ගත්තා වම් අතේ තද කරලා ටොප්ලැට් බෑග් එකත් සූදානම් කරගෙන මම දුවන්න බලාගෙන හිටිය. හරියට ඉස්කෝලෙ රිලේ එක කරනකොට සැරසෙන් එලවේන් යා කියනකොටම දුවන්න බලාගෙන හිටියා වගේ.
ඔන්න දුම් දදා හති දදා බස් එක ආපි.මගේ වෙලාවටද මන්ද බස් එකේ ඉදිරි දොර මගේ මූණ ඉස්සරහම.දඩි බිදි ගාලා තුන් හතර දෙනෙක් මාව පෙරලගෙන බස් එකෙන් බැස්සා. ඒත් කාව්‍යා සැළුනේ නෑ.අනේ මට කිසිම කරදරයක් උනෙත් නෑ බස් එකට නගින්න පිටිපස්සෙ හිටපු අය මාව ගානට තල්ලු කරල බස් එකට නැග්ගුවා.ෆුට් බෝඩ් එකේ දෙවෙනි පඩියට යාන්තන් අඩිය තියා ගන්න ඉඩක් ලැබුණා.කොහෙන්ද අල්ලගන්නේ ? අල්ලගන්න කිසිම තැනක් නෑ සේරම ඔලුගෙඩි විතරයි. හැබැයි වාසනාවට අල්ල ගනන් ඕන උනෙත් නෑ අප්පා ඒ තරමටම කට්ටිය ගානට පැක් වෙලා. හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවොත් වැඩිම උනොත් තුන් හතර දෙනෙක් එලියට විසී වේවි.එතන ඉදලා පිලියන්දලට හෝල්ට් දෙකයි කමක් නෑ එතනදී බස් එකෙන් බාගයක්වත් බහින්නෙ නැතෑ කියල මන් ඉවසගෙන හිටියා.අනේ......එකත් නිකන් හීනයක්ම විතරයි. බස් එකෙන් බාගයක් බැහැලත් මට පුලුවන් උනේ ඉතුරු පඩිය නැගලා යාන්තං අර බස් එකේ දකුණු පැත්තේ ඉස්සරහම සීට් එකට කලින් තියෙන්නෙ උසට රෝදේ අහුවෙන තැන ආන්න එතනට අඩිය තියා ගන්න විතරයි.ඔන්න එතනට ගියාට පස්සේ යාන්තන් වම් අත නිදහස් වුණා.ඉස්සරහ සීට් එක වාඩි වෙලා හිටපු අක්කා කෙනෙක් ටොප්ලැට් බෑග් එක ගත්ත නිසා.දැන් ආයෙත් බැස්සුවට වැඩිය කට්ටිය නග්ග ගෙන බස් එක පිටත් වෙන්න හදන්නේ. මේ වෙනකොටනම් මට හොද ගනන්.පිටිපස්සෙන් තෙරපෙන සේරගෙම බර මගේ පිට උඩ. මට හුස්ම ගන්නවත් ඉඩක් නෑ.ඒ මදිවට කාගෙදෝ දිග වරලසක කෑලි බෑලි මුණේ කටේ හැමතැනම ගෑවෙනව.ඒක අයින් කරන්නවත් මට අතක් එහෙට මෙහෙට කරගන්න බෑ.දණහිස් වලින් කකුල් දෙකත් නැවිලා මම හිතුවෙම මාව කලන්තේ දාවි කියල. ඒ බයටම මට ඇඩෙන්න වගේ. මොකද කාව්‍යාට ඔහොම අත්දැකීම් දෙකක් තුනක්ම තියෙනවා. ඕනවට වැඩිය සෙනග ගැවසෙන තැන් වල වැඩි වෙලාවක් ඉන්න බැරි ලෙඩක්.ඒ නිසාම මම දෙවියන්ට කිව්වා අනේ මට කලන්තෙනම් හැදෙන්න එපා කියල.ඒ අස්සේ ෆුට් බෝඩ් එකේ ඉන්න පිරිමි ලමයෙක් වීදුරුවට තට්ටුවක් දාලා ඒ පැත්තේ ෂටර් එක අරින්න කියනවා. එයාලට අත දාල එල්ලෙන්න විදියක් නෑ ඒ ෂටර් එක වහලා. මම අමාරුවෙන් අත අරගෙන ඒක අරින්න උත්සහ කලා. ම්හ් ... ඒක හොලවන්නවත් බෑ. ඒක දැකල වාඩි වෙලා හිටපු අක්කත් මාත් එක්කම ට්‍රයි කලා ම්හ්... ඒත් බෑ... පව් ෆුට් බෝඩ් එකේ හිටිය අය පුදුම අමාරුවෙන් එල්ලිලා හිටියේ. එයාලට කරදරයක් වෙන්න එපා කියලත් මම දෙවියන්ගෙන් ඉල්ලුවා. කොන්දොස්තර කෑ ගහනවා එල්ලිලා යන්න බැරි අය බහින්න එයාලට වග කියන්න බෑ මොනා හරි උනොත් කියල. ඒත් ඉතින් කවුරුවත් බැස්සෙනම් නෑ.කොහොමෙන් කොහොම හරි හොන්ඩර ගානක බරක් පිටේ තියාගෙන කටුබැද්දේ කැම්පස් එක ළඟට වෙනකන් මම ආවා. කැම්පස් කොල්ලො කෙල්ලො සෑහෙන්න බැහැපු නිසා ඔන්න යාන්තන් හුස්ම ගන්න ඉඩක් ලැබුණා. ඔහොම ගිහින් කටුබැද්ද හංදියේදි වාඩි වෙන්න ඉඩක් ලැබුන.අම්මෝ දැනුණ සනීපෙ.... ඒත් ඉතින් මටනම් දැනුණේ මගේ කොන්ද නෑ නෑ වගේ.මම වාඩි උන ගමන් ම බැලුවේ මගේ ඇඳුමයි මගේ සරීර කූඩුවේ කොටසුයි අඩු නැතුව තියෙනවද කියල.දෙවියන්ගේ පිහිටෙන් අඩුවක් නෑ. උදේ ශෝයි එකට නාලා සුවඳ ගහල ආපු මගේ ළඟින් දාඩිය එක්ක කලවං වෙලා නා නා ප්‍රකාර සුවඳවල් ආවා. (සුවඳවල් කිව්වට ගඳවල් හොදේ )මටම මාව අප්පිරියයි වගේ චීයා....
ඔන්න ඉතින් බස් ගමන අහවර කරලා ගල්කිස්ස හංදියෙන් මම බැහැගත්ත.හරියට යුද්දෙකට ගිහින් ආවා වගේ. බැහැපු ගමන් මම කලේ මගේ අයිතිකාරයට අමතන එක.

පරිස්සමට ආවද පැටියෝ... අවුලක් නෑ නේ සෙනග ගොඩක් හිටියද....

නෑ බබා අවුලක් නෑ... මට නැග්ග ගමන් සීට් එකකුත් හම්බුනා....

ම්...එහෙනම් කමක් නෑ....

බස් එකෙන් බැහැලා මීටර් දෙසීයක්වත් පයින් යන්න නැති දුර යා ගන්නවත් බැරුව මම වීල් එකකට නගින ගමන් එයාට කිව්වා.පව් නේ මට වෙච්ච අකරතැබ්බ ටික කියලා ඒ හිත කිළුටු කරන්නෙ මක්කටද. මොකද පිලියන්දල ඉදලා ත්‍රීවීල් එකක යන්න කියලා කිව්වම " අයියෝ සල්ලි " අපරදේ බබා.... කියල මමනෙ මේ කට්ට ඉල්ලගෙන කෑවේ.
ඉතින් ඔන්න ඔහෙමයි මගේ බස් ගමන ඉවර වුනේ. එයාට නොකිව්වට මොකද මම ඔයාලට කියන්නම් මේක ටයිප් කරනකොටත් මගේ ඇඟපත රිදෙනවා අප්පා.දකුණු උරහිසටත් මොකක්ද වෙලා. වම් අතේ ඇඟිලි නවා ගන්නත් බෑ... ඉහි ඉහි.



ආදරේට කියන කතා



මට හිතෙනව ඔයාව

මිරිකල මිරිකල ...

පොඩි කරල

මගේ පුංචි වූල් මිකී මවුස් පර්ස්

එක ඇතුලෙ දාගන්න....

එතකොට ඔයා හැම තිස්සෙම මගේ ළඟමනෙ....

ඔව්...ඇත්තමයි...

මට හිතෙනව ඔයාව

මගේ ආදරේ හිරගෙදර

හිරකාරයෙක් කරන්න...

Feb 13, 2012

රතු මල් සාරිය......





ඔව් රත්තරං
ඒ අපේ ආදරේ ලස්සනම දවස්
ඒ ආදරේ සුවඳ තාමත් හිත පුරා තැවරෙන්නෙ හරීම ආදරණීය විදියට
ඒ මතකය දිගේ කොච්චර ගිහින් ආවත් එපා වෙන්නෙ නෑ.....
හති වැටෙන්නෙ නෑ.....
අදත් ඔන්න මං ඒ පාර දිගේ චුට්ටක් ඇවිදින්න යනව.....
ඒ අපේ ආදරේ පටන් ගත්තට පස්සෙ ආපු මගේ මුල්ම උපන්දිනය....
ඔයා මට තෑගි කලේ සුදු පසුබිමේ රතු මල් වැටුණ සාරියක්

" ආයේ මාව බලන්න එනකොට මේක ඇදන් එන්න හොදේ මට ලස්සන බලන්න "

ඔයා එහෙම කිව්වම මට තරු විසිවුණා
ඇයි දෙවියනේ කවදා මම සාරි ඇදලද...
ඒත් මම හා කිව්වා
ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම
ලේසියට පහසුවට ඩෙනිමක් දාගෙන දුවන මට සාරි ඇදිල්ල අලුත්ම අලුත් අත්දැකීමක් වුණා
සාරි ඇදිල්ල කෙසේ වෙතත් සාරියක් ඇදගෙන ඉන්න ඕන පිළිවෙලවත් මම දැනගෙන හිටියේ නෑ....
එත් මටත් ලොකුවට උවමනාව තිබුනා
මේ හපන්කම කරලා ඔයාට පෙනන්න
එහෙන් මෙහෙන් පටලගත්තු සාරියත් උස්සගෙන පය පැටලි පැටලී ඔයාගෙ ඉස්සරහට ආපු මාව දැකල
ඔයාගේ මූණේ ඇඳුණු හිනාව........
මගේ මූණ ලැජ්ජාවට ජම්ඹු ගෙඩියක් වගේ රතු වුණා
ටිකා....ක් වෙලා හිස ඇල කරල මං දිහා බලා උන්ණු ඔයා

" ලස්සනයි මගෙ මැණික "

කියල මාව පපුවට තුරුළු කරගත්ත....
මතක් කරන මේ දැනුත් ඒ හිරිවැටීම එදා වගේම හිතට දැනෙනව රත්තරං....
ඉතින් මේ වෙනකොට කාලය අපිවත් අපේ ආදරෙත් අරන් බොහෝ දුර ඇවිල්ල
රතු මල් සාරියේ පාටත් හේදිලා ගිහින්
ඒත් ..... ඔයා දන්නවද.......
අපේ ආදරේ තරම්ම ආදරෙන්
මං තාමත් ඒ සාරිය පරිස්සම් කරනව.

Feb 12, 2012

වැලන්ටයින්......ඔයා ??




පූජණීයයි කියන ආදරේ....

එක එක තාලෙට ඔතල
හිතූ හිතූ ගානට
විකුණගෙන කන්න
ඔන්න ආයෙමත් ඇවිල්ලා
"වැලන්ටයින් "
ලංකාවට

Feb 10, 2012

මලකි මා කඩුපුල්...........


මේ නිසඳැස මගේ අතින් ලියවුනේ දිනෙශ් මල්ලිගේ වර්ණ බ්ලොග් එකේ
" මලක් වුනේ ඇයි නුඹ " කියන කතාව කියවලා ඒකට දාන පිළිතුරක් හැටියට.දිනේශ් මල්ලිගේ කතාව වගේම මගේ නිසඳැසත් මගේ හිත සසළ කරපු නිසා ඒ කවිය මේකෙත් සටහන් කරන්න හිතුවා.


ලිහා සළුපිලි නෙක දනන් ළඟ
නුරා පෑවට නෙත් කොනින්
ඇනී විස තුඩු ඹමර දෙතොලින්
ලේ ගලන්නෙ හදවතින්

ළැම ම පමනක් දකින වුන් නෑ
හොයන්නේ ළය රැදි සුසුම්
උන්ව සැනසුව පසුව පමනයි
නිවෙන්නේ බඩ ගින්දරින්

රැයේ තුරුළුව උන්ගෙ කාරිය
කරන් පිට වෙන බොහෝ වුන්
උදේ එළි වුණ වෙලේ ඉදගෙන
තබයි අපටම දෙස් දෙවොල්

එදා නෙළුමකි මමත් ගොහොරින්
උඩට ආ මඩ නොගෑවුණූ
සුවඳ දෙන්නත් පෙරාතුව උන්
තලා පාගා පොඩි කෙරූ


Feb 9, 2012

ඔයා...... මට විශ්වයක්..........





ඔයා............

කඳුකර හැන්දෑවක මීඳුම වගේ සීතලයි
ඉර ගිලෙන වෙලාවට බටහිර අහස වගේ විචිත්‍රයි
රෝස පොහොට්ටුවකට වැටිච්ච පිණි බිංඳුවක් වගේ චමත්කාරයි
හිටි ගමන් ඇද හැලෙන මල් වැස්සක් වගේ ආකර්ශණීයයි
අහස වගේ....
වැස්ස වගේ....
මීඳුම වගේ
මට ඔයාව විඳින්න ඕනෙ.....
දන්නවද..........
මං ඔයාට ආදරෙයි.....ඉතින්....
ඉඩ දෙනවද මට ඒ ආදරේ
විඳින්න.....
විඳවන්න....

Feb 7, 2012

දයාබර සංජුලා ............



- 2 -

මම දන්නවා අනූපම නුඹට ආදරේ කලා..... පුදුමාකාර ඉවසීමකින් ... පුදුමාකාර කැපවීමකින්....ඒ වගේ සද්දන්තයෙක්ට කවදාවත් කරන්න බැරි වැඩක්. නුඹේ බොළඳ හිතුවක්කාර ඇවතුම් පැවතුම් දන්නා කෙනෙක් හරියටම උන්නානම් වසර දෙකක් තිස්සේ නුඹට පෙම් කලාට අනූපමට තෑග්ගක් දේවි.ඒත් නුඹ ඊයේ උදේ පාන්දරම මාව හොයාගෙන ආවෙ ඒ ආදරේ බොරුවක් කියන්න.... අනූපම ගැන අන්තිම චෝදනාවත් මට කියලා යන්න.

" මොකක්ද බං මේ කරුමේ... අද නිවාඩු දවසෙවත් මට දෙයියනේ කියලා නිදාගන්න දියන්කො වදේ....."


" අනේ නැගිටපං නෙතූ.... ආයෙ කරදර කරන්නේ නෑ කවදාවත් .... සත්තයි...."

" කෙහෙල්මල.... බැරි වෙලාවත් මට කලින් උඹ මැරුනොතින් ඔන්න මට සැනසීමක් තියෙයි...

( අනේ මට සමාවෙයං සංජුලා ... හැමදාමත් වගේ විහිළුවට උඹට ඒ කියපු වචන ටික මුළු ජීවිත කාලෙම මාව රිදවාවි )මං එහේම් කියද්දි නුඹේ මුවේ ඇදුණ හිනාව.... සංජු ... උඹ ඒ මට නේද ඔච්චම් කලේ...?

" ඔක්කෝම ඉවරයි නෙතූ.... අනූපම අයියා... එයා... එයාට ගැලපෙන කෙනෙක්ව තෝරගෙන


පෙරවගෙන හිටපු බෙඩ් ශීට් එක විසිකරල මම ඇදෙන් බිමට පැන්න මට ආවෙ තරහක් (දුකක් ) මම
මහා හයියෙන් කෑ ගැහුව.

" හොදයි... ගොඩා....ක් හොදයි... ඒ වගේ එකෙක් කවදාවත් උඹට ගැලපෙන්නෙ නෑ...උඹට හොද අර උඹ බලන

හින්දි ෆිල්ම් වල ඉන්න තුන්සිය හැටපස් දවසම , පැය විසිහතරෙම සිංදු කිය කිය කෙල්ල ඉස්සරහ තොදොල් වෙන

එකෙක්ව...ඒ වගේ එකෙක් හොයා ගන්න උඹට අමාරු වෙන එකක් නෑ... හැබැයි මතක තියාගනින් ... අනූපම

ගියානම් ගියේ ඒ උඹේම වරදින්....."

මං ඇගිල්ල දික්කරගෙන උඹට බැනගෙන බැනගෙන ගියා. ලොකු ඇස් තවත් ලොකු කරන් පුදුමාකාර අසරණ විදියට නුඹ මං දිහා බැළුවා.ඒ බැල්මට මං හිත ඇතුලෙ හංගගන්න හදපු දුක එළියට පැන්න.

" සොරි සංජු මට තරහ ගියා..."

මම නුඹව වැළද ගත්තෙ අප්‍රමාණ දුකකින්.තද කරගෙන හිටපු හැම කඳුළක්ම නුඹ
මගේ උකුළට වෙලා දියකරල හැරිය.

" දැන් හොද කෙල්ල වගේ පොඩ්ඩක් සංසුන් වෙයන් සංජු... මට කියන්න මොකද වුනේ කියල...."

" මං උදේ තාත්ති එක්ක අත්තම්මලගෙ ගෙදර යන්න ගියා...."

හඩා වැළපිලා හෙම්බත්වුණ නුඹ වචන ගලපගන්න මහා වෙලාවක් ගත්ත. මම හිටියෙ නොඉවසිල්ලෙන්.

" මං දැක්ක අනූ අයියගෙ කාර් එක ටවුන් හෝල් එක ළගදී ..."

" ඉතින්...."

" කොන්ඩෙ කොට... සුදුම සුදු....මූණ රවුම්... ලස්සන කෙල්ලෙක් ඉස්සරහ සීට් එකේ අනූ අයිය එක්ක
හිනා වෙවී දඟල දඟල ගියා...."

ඒ අත්දැකීම මා වින්දා සේ මම බීතියට පත්වීමි... තිගැස්සුණෙමි...අනූපම කෙරෙහි මහා පිළිකුලක් හිත වසා පැතිරුණි.එහෙත් මෙය පිටුපස තව කතාවක් තියෙන්නටද පුළුවන. සොයා නොබලා ඔහුට දොස් පැවරීම යුතු නොවේ.

" අනේ කෙල්ලෙ උඹ අඩපු තාලෙට මාවත් හොල්මන් වෙලා ගියා..කාර් එකේ කෙල්ලෙක් ගිය පලියට අනූ අයියව සැක කරන එක වැරදී බං... කවුද දන්නේ එයාගෙ නෑයෙක්ද කියල...."

" මම නොදන්න නෑයෙක් එයාට මෙහෙ නෑ නතූ... එයාගෙ හැමෝම ඉන්නෙ කැනඩා වලනෙ "

" හරි අපි අනූ අයියට කෝල් කරලා එයාගෙන්ම අහගමු... "

" මම ගත්තා දෙපාරක්ම එයා කට් කලා ඊට පස්සෙ ඉදන් තාම ෆෝන් ඕෆ්.."

ඒ කතාවෙන් මගේ හිත පුරාද සැකයේ විස පැතිරෙන්නට විය. කල් ගත වී හෝ සිද්ධවිය යුතු දේ සිදුවී හමාර වන්නට ඇත.මගේ මිතුරිය මෙය කෙසේ දරාගනීවිදැයි මට සිතා ගනු නොහේ.එහෙත් මා කෙසේ හෝ ඇගේ සියුමැලි සිත හැදිය යුතුය.

" සංජු මම දන්නව උඹට දුකයි කියල... ඒත් අපි හරි විස්තරයක් දැනගන්නකන් උඹ නාඩා ඉදින්....බැරිවෙලාවත් මේක ඇත්තක් උනත් උඹ හිත හදා ගන්න සූදානම් වෙන්න ඕනෙ සංජු....ජීවිතේ හැම දෙයක්ම අපිට ඕන විදියටම වෙන්න ඕනෙ කියලා නියමයක් නෑ...මම හිතන්නෙ නෑ අනූපම අයිය උඹට මෙහෙම දෙයක් කරාවි කියල... එහෙම දෙයක් වෙලානම් එයා හරි කියලා මම කියන්නෙ නෑ... ඒත් උඹ මීට වඩා බුද්ධිමත්ව ජීවිතේ දිහා බලන්න පුරුදු උනානම් අනූපම හැමදාමත් උඹ ළගම ඉදීවි.. දැන් වත් ජීවිතේට මූණ දෙන්න ඉගෙන ගනිං සංජු...."

" ආයේ අඩන්නෙ නෑ නෙතූ.... හෙට ඉදලා මම අළුත් කෙනෙක් ... සත්තයි මම උඹට පොරොන්දු වෙනවා..."

මම කියපු හැමදෙම අහන් ඉදල අන්තිමට නුඹ මාව එහෙම කියල බදාගත්ත.

" මං දැන් ගෙදර යනව නෙතූ .."

" ඉදපං මං ටක් ගාලා නාගෙන එන්නම්...."

" මට ගොඩාක් මහන්සි නෙතූ... මම යන්නම් ඔයා නාල එන්න ..."

" හරි හරී........මම එනකං ටැප් එක වහං ඉඳින් හොදේ.... ආ... හොද කෙල්ල වගේ

මට ඔරේන්ජූස් එකකුත් හදලා තියපං ....."

නුඹ වේනදා වගේම හිනා අහුරක් විසිකරල කාමරෙන් පිට වුණා.

සංජු.......... අනේ මගෙ මිතුරියේ නුඹ ඒ ගියේ ආයෙ නේන ගමන් කියල මම කොහොම අදහන්නද....මම නුඹව තනිකල ඒ විනාඩි හතලිහට නුඹ නුඹේම කාමරේ නුඹේම ඇඳුමකින් ගෙළ වැළ ලා මියැදෙන්න තරම් ඉක්මන් වුණේ කොහොමද...ඒ අවාසනාවන්ත දර්ශනය මේ ඇස් දෙකෙන් දකින්න මම පව් කරල තිබුණ තරමක්.මැරිච්ච සමනළයො පවා පොත් පිටු අස්සෙ දාගෙන හූල්ලපු නුඹ , නුඹෙම අත් දෙකෙන් ගෙළ හිර කරගන්න තරම් නපුරු වුණේ කොහොමද සංජු...?

විදුලි වේගෙන් ආව රථයක් මහා හඩින් ගේට්ටු කණුවක වැදෙද්දි මං ගැස්සිලා පියවි ලෝකෙට ආව.හැමෝම කළබලෙන් එළියට බැස්ස. ආවෙ කවුද කියල හිතාගන්න මට අපහසුවක් නෑ. දෙවරක් නොහිතම මම ගේට්ටුව ගාවට දිව් වා.

" අනූපම අයිය... මෙතනින් එහාට අඩියක්වත් තියන්න උත්සහ කරන්න එපා.. මේ මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ... පිං සිද්ධ වෙයි ආපහු වාහනේට නගින්න..."

මම කියන දෙවල් අහන්න තරම් පියවි තත්වෙක එයා හිටියේ නෑ.මේ අර රෝහල් වාට්ටු පුරා බර අඩි තිය තිය තෙජසින් ඇවිදින ඩොක්ටර් අනූපමද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා.එයා ගේට්ටු කණුවෙ ඔළුව හංගගෙන පොඩි එකෙක් වගේ ඉකි ගග හා අඩද්දි මටත් සිද්ධ වුණේ ඒ කඳුළු වලට එක්කාසු වෙන්න.

" අනේ මට යන්න දෙන්න නෙතූ... මට මගේ අසරණ කෙල්ල ළගට යන්න දෙන්න....ඇයි එයාට මෙහෙම වුණේ... මං නාව එක දවසට මේ තරම් දෙයක් උනේ කොහොමද නෙතූ.."
එක දන්නේ මමද...ඔහු අතින් කිසිම දෙයක් නොවුන ගානට හැසිරෙන අපූරුව.. මට අනූපමගේද ගෙල මිරිකා දමන්නට තර සිතේ. එහෙත් මා තව දුරටත් ඉවසීමි.

" එයා..එයා මට පොරොන්දු උනාජීවිත කාලෙම මාත් එක්ක ඉන්නවා කියල....එයාට මැරෙන්න බෑ නෙතූ... එයාට මැරෙන්න බෑ... කියන්න මේක බොරුවක් නේද නෙතූ....
පිස්සුවෙන් වගේ කෑ ගහපු අනූපම එක පාරටම තාප්පෙ ඔළුව හප්පගෙන හප්පගෙන ගියා.මං එයාව වලක්වන්න උත්සහ ගනිද්දි මෝටර් රථයේ දොර ඇරගෙන යුවතියක් එළියට බැස්ස.මට එක පාරටම සිහියට ආවෙ නුඹේ වේදනා බර හඩ.. මූණ රවුම්... සුදුම සුදු...හිතට ආවෙ පුදුමාකාර ආවේගයක්.. මම අනූපමගෙ කමිසෙන් ඇදලා ගත්ත.

" අනූපම අයිය අරයට යන්න කියන්න.... ප්ලීස්.... ඔයාට වටින්නෙ නෑ එයාව මෙතන්ට එක්කගෙන එන්න... එයාට යන්න කියන්න ....... මම මහා හඩින් කෑ ගැහුව.

" සොරි නෙතූ නංගි මට එයාව අමතකම උනා.. මේ මගේ එකම නංගි .. අවුරුදු දහයකට පස්සෙ ඊයෙයි එයාලංකාවට ආවෙ...සංජුටවත් මම කිව් වෙ නෑ නංගි එනවා කියලා අපි හිටියේ එයාව අද පුදුම කරන්න...දැන් මම නංගිට පෙන්නන්නෙ මගේ කෙල්ලගෙ මිනියද නෙතූ...? "

අදහන්න... මසිත නවතුණි.... මහා කුණාටුවකට අසුව මා ඈත දුරකට ගසාගෙන යනවා සේ මට හගුණි.ගැගෙන දෙපා අප්‍රාණිකව ගොස් මම මහ පොළොව බදා ගතිමි.

දයාබර සංජුලා....... මගේ ආදරණීය මිතුරියේ.... නුඹට පුළුවන්නම් තව එක එක පාරක් ඇස් ඇරල මං දිහා බලාපං.... මට නුඹට කියන්න ඕනෙ...

උඹ දැක්ක තරම් ජීවිතේ අසුන්දර නෑ සංජූ....


සමාප්තයි.

Feb 5, 2012

ආදරේට කියන කතා







සුදූ............

ම්......

නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ....?

මමද..... මම කරීනව කසාද බඳිනවා......

මොකක්......... පිස්සු අනේ .... අන්න එයා අප්‍රේල් වල සායිෆ්ව කසාද බඳිනවා.....

අප්පටසිරි ...ඒකත් එහෙමද.....

හ්ම්.... ඔව්........

ඉතින් කියන්නකෝ......

මොකක්ද වදේ.....

මම මැරුනොත්......

ආ........... ඔයා මැරුනා කියන්නෙ මට ඉතින් ස්වීප් එකක ඇදුනා වගේ තමා.......

අ...........නේ..........

ඇයි අනේ....

විහිළු නොකර කියන්නකෝ........

විහිළු නෙවේ මම ඉතින් ඔයා මැරුනොත් හොද පට්ට කෑල්ලක් බලල ආපහු කසාද බඳිනවා.....

ඉහි ...ඉහි........
ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ....

ඔයා මට ආදරේ නෑ.....

ඔයා මට ආදරේද......

ඔව්........ ගො.....ඩා......ක්.........

එහෙනං මැරෙන කතා නොකියා හිටපං මාව මිනී මරුවෙක් නොකර.....

Feb 2, 2012

ක්‍රීඩා උත්සවයට බිත්තර සංග්‍රහයක්.....

මේ දවස්වල හැම ඉස්කෝලෙකම වාගේ නිවාසන්තර ක්‍රීඩා උත්සව...හැමදාම උදේට ගෙදරින් එනකොට පිලියන්දල සෙන්ට්‍රල් එකේ පිට්ටනිය පිටි පස්සෙ පාරෙන් මම එන්නෙ.මේ කාලෙට මුළු පිට්ටනියෙම කොල්ලො කෙල්ලො පිරිල පුහුණුවීම් කරනව.අනේ..... ඒවා දකිනකොටනම් හිතෙනව ඇයි අප්පා මං බාලිකා පාසලකට ගියේ කියල. අපිට කොහෙද මෙහෙම වාසනාවක් තිබුණෙ.... හිතනකොටත් නිකන් දුකයි දුකයි වගෙ කොහොම උනත් මෙතන පහු කරන් යද්දි හැමදාමත් මං මගේ පාසල් කාලෙට හිතින් ගොඩාක් දුර යනව.....ඕනම කෙනෙකුගේ ජීවිතේ සුන්දරම කාලෙ මොකක්ද කියලා ඇහුවොත් ආයෙ දෙකක් නෑ කියාවි පාසල් සමය කියල. ඉතින් මටත් ඒක එහෙමමයි.කිසිම බරක් පතලක් නැතුව සමනළ් පැටවු වගේ සැහැල්ලුවෙන් ගෙව්ව ඒ කාලෙ අනේ ආයෙ එනවනම්........ ඒ අතීතෙට පියබන්න ආයෙ වෙලාවක් කලාවක් ඕනෙ නෑ.......
ඒ දවස්වල අපිටත් ක්‍රීඩා පුහුණුවීම් කියන්නෙ රජ මගුල් තමා . ආසාවට පන්තියක ළමයෙක් හොයාගන්න නෑ. මේ කාලෙ මිස්ලටත් හරියට වැඩ තමන් නියෝජනය කරන නිවාසෙ දිනවන්න නොකරන දෙයක් නෑ. හැබයි මේවා දිරවන්නෙ නැති මිස්ලා සෙට් එකකුත් අපේ ඉස්කෝලෙ හිටියා. එයාලට සිලබස් එක කවර් කරගන්න වෙන්නෙ නෑ කියලා පාසල් වෙලාවෙ ක්‍රීඩ පුහුණුවීම් දානවට පුදුම විදියට බකට් පෙරලනවා. අපිනම් සැලෙයි ඕවට නේද මෙයා.....

ඉස්කෝලෙ හිටපු අන්තිම අවුරුදු දෙකේ මම අපේ නිවාසෙ ක්‍රීඩා උපනායිකාව. පුහ්...... කාටද ආඩම්බර ඈ..... වෙන කාටද ඉතින් අපේ මව් දෙමාපියන්ට මිසක්. මොකේ ඒ කාලෙ මට ආදරේ කොරන්න කියලවත් කෙනෙක් හිටිය කියලද.... නැහැනෙ..... චික් අපරාදේ....

ඔන්න ඉතින් මෙන්න මේ කාලෙ අපේ ඉස්කෝලෙට අලුතින් විදුහල්පතිනියක් පත් වෙලා අවා. බුදු අම්මෝ දැනුත් මතක් වෙද්දි හීන් දාඩිය දානවා..... එයාගෙ සැර.... " ඔන්න මැඩම් " කියලා කවුරු හරි විහිළුවට කිව්වත් කට්ටියට චූ යන සයිස්. ඒ තරමට එයාගෙ නීති තදයි. මෙන්න මේ අළුත් මැඩම් නීතියක් ගෙනාවා ක්‍රීඩා උත්සවය දවසට කිසිම පිරිමි ලමයෙකුට මේ උත්සවය නරඹන්න එන්න තහනම් කියල. අනේ අපොයි දැන් මෙන්න අපේ අක්කලා නංගිලා ටික ගිනි පත්තු වෙලා ඇයි ඉතින් තමන්ගේ පෙම්වතාව , ඔය පන්ති වල යාලු කොල්ලො සෙට් එහෙම ගෙන්න ගන්න හීන මව මව හිටපු සෙරමලා මැඩම්ට හරී ලස්සන වචන වලින් ආමන්ත්‍රණය කරනවා අහන් ඉන්න ආසාවේ බෑ...දැන් ඉතින් මේකට පිළියමක් හැටියට එක එක දෙවල් කරන්න හිතනවා ඔන්න අන්තිමට කට්ටිය මැඩම්ගෙන් විමසා සිටියා තමන්ගෙ සහොදරයන්ට, ඒ කියන්නෙ අය්යලට, නැන්දලගේ පුතාලට, පුංචි අම්මගෙ පුතාලට වගේ අයට සහබාගි වෙන්න පුලුවන්ද කියල. මැඩම් කිව්වා " අපොයි පුළුවන් හැබයි තම තමන්ගේ අම්මලා තාත්තලා වැඩිහිටියොත් එක්කම විතරයි " කාලා වරෙන්කො දැන් ඉතින් අනේ අපේ අය්යලාට බුදුසරණයි. එදාට දත කට මැදගෙන බාලිකාවට රිංගන්න බලන් හිටපු අහල පහල පිරිමි ඉස්කෝල වල අයියලාට මේ කතාව ආරංචි වෙලා අපිට පාරේ යන්නත් නෑ..

" මහ ලොකු හුචස් බාලිකාව.... හිතන් ඉන්නෙ කුමාරිහමිලා කියලද..... ඇයි අපි පොඩ්ඩක් ..... දැක්කම මොනවා වෙනවද ..... ආ..... "

ඇයි වදේ මෙයාලා ඇඟට එන්නේ හරියට අපි කල දෙයක් වගෙ.

" අපිට කොහොමත් ගේට්ටු වැඩක් නෑ නංගී..... මොකො අපි අපේ ඉස්කෝලෙට යන්නෙ එන්නෙත් ගෙට්ටුවෙන් නෙවේනෙ........ බලමුකෝ එදාට අපි නෑවිත් අරීද කියලා... මැඩම්ට උණ ගන්නෙ එදාට තමා........."

ඔය වගේ දාහක් ආඩපාලි මැද්දේ ක්‍රීඩා උත්සවය දවස එළබුනා ඔන්න.කිව්ව වගේම පිරිමි ළමයින්ට ඉස්කෝලෙ වත්තට ඇතුල් වෙන්න ඉඩක් ලැබුණේ නෑ..හැබැයි ඉතින් එයාලා පිට්ටනියේ තාප්පෙන් එබෙන එකයි පිට්ටනියේ තාප්පෙටම අල්ලල එහා වත්තේ තිබුණ පල්ලියේ වහලෙට නැගලා උත්සවය නරඹන එකයි නතර කරන්න මැඩම්ට තියා දාලා හිටපු පොලිස් මහත්තුරුන්ටත් බැරි වුණා.ඔය අතරින් පතරින් ඇහුණ හූවක් ඇරෙන්න අනේ වෙන මෙලෝ කරදරයක් අපිට එයාලගෙන් තිබුණේ නෑ.අපි අපේ පාඩුවේ සෙල්ලම් කලා.

ඔහොම ගිහින් ගිහින් ඔන්න උත්සවේ අවසන් භාගයට එළබුනා දැන් තමා උච්චතම හරිය ක්‍රීඩා උත්සවේ මම කැමතිම අංගය තමා ආචාර පෙළපාලිය.... ලොකු හුස්මක් අරගෙන පපුව ඉස්සරහට දාලා පාසල් මාතාවට ආචාර කරලා ඒ යන ගරු ගාම්බීර ගමනට මම පුදුම තරම් ආසයි.දැන් නිවාස හතරෙම ආචාර පෙලපාලිය ගමනේ යනව... පොඩි දුරකුත් නෙවේ පිට්ටනිය වටේම ගිහින් නෙ මැදට ආපහු එන්න ඕනෙ.පිට්ටනිය කෙලවරේ තමා තාප්පෙ මායිමටම අර පල්ලිය තියෙන්නෙ. දැන් අපේ ගමන් මගත් එතනින්මයි. පල්ලියේ වහල උඩ කොල්ලො පිරීලා... ඉස්සරහින්ම ගියේ රතු නිවාසෙ කණඩායම , ඊ ලගට නිල් නිවාසය ඒ කිව්වේ අපි. ඉස්සරහින් ගිය කට්ටිය පල්ලිය පහු කරද්දි නොසන්සුන් වෙනවා වගේ ඉදිරියෙන් ගිය අපිට පෙනුනා. මං වගේම හැමොම ඇස් කොණින් උඩ බැළුවා. අනේ.......... හරීම සුන්දර දර්ශනයක්........... කොල්ලො අතරින් එහෙන් මෙහෙන් කෙල්ලන්ගෙ ඔළු උඩට බිත්තර වරුසාවක් වැටෙනවා.....දැක්කයි කියලා මොනා කරන්නද... පෙළපාලිය දාලා දුවන්නද... බිත්තර පාරවල් කා ගෙනම අපි ඉස්සරහට ගියා. මගේ ඇස් ඉස්සරහටම ආපු එකක් චොක් ගාලා සුදු සපත්තුව උඩට වැටුණ.... අම්මා.......... සුවඳ....... පොලිසියේ මහත්වරු බැටන් පොලු උලුක් කරන් තාප්පෙන් පනිනවා දැක්ක.... අපි කුණු බිත්තර සුවඳින් හදවත පිනා යද්දී මැඩම්ට උත්තමාචාරය පුඳකලා.

Feb 1, 2012

ඔබේ ආදරේ මට.....




කාලෙකින් හුණු පිරියම්


නොකරපු ,


මගෙ ජීවිතේ


බැඳිච්ච,


ලොකු මකුළු දැළක් වගෙ


ඔයාගෙ ආදරේ............