සඳට බැළුම් හෙලූ අය

Jan 31, 2012

දයාබර සංජුලා ............



පොල්තෙල් පහනෙ මළානික එළිය ජීවිතේ රැකගන්න අසීරු ප්‍රයන්තයක යෙදිල. " මේ පහන නිවෙන්න දෙන්න හොද නෑ " උදෑසන කව්දෝ කිව්ව මට මතකයි.හුන් තැනින් නැගිටින්න හිතක් නොවුනත් මම නැගිටලා ගිහින් පහනට තෙල් වක්කලා.ඒත් ඒ කැමැත්තකින්නම් නෙවෙයි. පහනක් වගේ එළිය දුන්න ජීවිතයක් නිවිල ගියාට පස්සෙ මේ පහන් දැල්ල රැකගෙන මොකටද.....මට එක පාරටම නුඹ දිහා බැලුනා... සංජුලා..... මගේ දයාබර මිතුරිය.... සදාකාලික සුව නින්දේ..... සුදෝ සුදු මංගල ඇඳුමින් හැඩ වුණ නුඹේ වත වෙන කවරදාටත් වඩා සුන්දරයි කියල මට හිතෙනව. හැමදාමත් ඔය තොල් අතර සටහන් වුණ ආඩම්බර හීන් හිනාව අදත් ඒ විදියටම ඔය තොල් අතර සටහන් වෙලා.මම දැනගෙන හිටියනම් ඊයේ නුඹ මාව හොයාගෙන ආවෙ ආයෙ කවදාවත්ම නො එන්න සමුගන්න කියල..... ඇයි සංජු උඹ මට මෙහෙම කලේ......? වැළි කෙළියේ පටන් අප අතර ගොඩ නැගුණ මිතුදමට නුඹ ඊයේ බොරු කලා නේද ... ? නුඹටත් වඩා නුඹේ හිත කියවපු මට එක තත්පරේකට නුඹව තේරුම් ගන්න බැරි වුණ අවාසනාව... පුංචිම දේටත් මහා හඩින් හිනැහෙන නුඹේ කිංකිණි හිනාව..... ආදරේට ගතු කියන්න තොල් උල් කරන ඔය මුව..... හැම තිස්සෙම අඩන්න බලන් ඉන්න ඔය ඇස් දෙක...... බොඳ වෙච්ච මගේ නෙතු ඉස්සරහ මැවි මැවී මගේ සිතුවිළි ඈත දුරකට තල්ලු කරනව.

ඇල්පෙනෙති තුඩක තරම්වත් දුකක් , කරදරයක් , වේදනාවක් නොවිඳ නොදැන උපන් දා පටන්ම නුඹ හැදුනෙ පුංචි සුරංගනාවියක් වගේ.නුඹේ සුවිසල් නිවස අසල පුංචි ගෙදරක ජීවත් වුණ මම නුඹේ හොඳම යාලුවා වුණේ අපි දෙන්නම වැටි වැටී ඇවිදින කාලෙදීමයි. ඊට පස්සේ ඉදන් කන්න බොන්න සෙල්ලම් කරන්න රණ්ඩු අල්ලන්න විතරක් නෙවෙයි නාන්න බාත් රූම් එකට යන්නත් නුඹට මාව නැතුව බැරි වුණා.ඒසා ළඟින් උන් මාව දාල උඹ කොහොමද මෙච්චර දුරක් තනියම ගියේ සංජු.....? අඩුම ගානේ යනවවත් නොකියා......

අපි කොයිතරම් හොඳ යාළුවෝ උනත් ,වසර දහ අටක් එකම බත් පත බෙදන් කෑවත් නුඹේ සමහර ලඳ බොළඳ සිතුවිළි වෙනස් කරන්න මටවත් පුළුවන් කමක් තිබුනෙ නෑ . නුඹ ජීවත් උනේ නුඹම හදා ගත්ත ලස්සන හීන ලෝකෙක. ඒ හීන ලෝකෙන් කවදම හරි නුඹම හිතල බිමට බහීවි කියල මම හිතුව. එහෙම නැත්තන් හිමින් හිමින් අනූපම නුඹව පොලවෙ පය ගහලා ඉන්න , යථාර්තයට මුහුණ දෙන්න පුලුවන් කෙල්ලෙක් කරයි කියලා මම විශ්වාස කලා. ඒත් අනූපම නුඹට ආදරේ කියූ දා ඉදන් නුඹට තරම්වත් සැනසිල්ලක් මට තිබුනේ නෑ. හැමදාමත් මට කියන්න මොකක් හරි පැමිනිල්ලක් නුඹට තිබුනා.

" අනූපම අයිය මට ආදරේ නෑ නෙතූ.... එයාට මාව එපා වෙලා......"

මේ වචන ටික නුඹේ මුවින් පිට නොවුණු දවසක් ගැන මගේ මතකයේ නැති තරම්.තවත් දවසක නුඹ ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්නෙ කඳුළු බේර බේර.

" අද අනූපම අයිය ආවෙ නෑ .... මං ඇස් රිදෙනකන් බලන් හිටියා... ඇයි නෙතූ එයා මට මෙහෙම කරන්නෙ....මං දන්නවා එයා මට ආදරේ නෑ...."

" මොකක්ද බං මේකේ තේරුම..... ඌ ආවත් වැරදී... නාවත් වැරදී... විනාඩියක් දෙකක් පරක්කු උනත් වැරදී.... උඹ අමතක කරන්න එපා අනූපම කියන්නේ මේ රටට ඕන කරන දක්ෂ ඩොක්ටර් කෙනෙක් කියල....එයාට බලන්න ඉන්න එකම ලෙඩා උඹ විතරක් නෙවේ... ඒ නිසා උඹ ඇණයක් නොවී ඌට සිහියෙන් වැඩක් කර ගන්න දියන්කෝ....

විහිලුවෙන් හරි මං නුඹට කිව්වේ ඇත්ත.අනූපම සමරදිවාකර දක්ෂ වෛද්‍යවරයෙක්.අපිට වඩා වසර දහයක් පමණ වැඩිමල් ඔහු නුඹේ ජීවිතේට එබිකම් කලේ අහම්බයකින් වගේ.පාසල් සෞඛ්‍ය සතියේ දේශනයකට පැමිනි ඩොක්ටර් අනූපම අවසන නුඹේ පෙම්වතා වුණේ නුඹේ දෙමාපියන්ගෙත් අවසරය මද්දෙ.
මට අනූපම සිහිවේ. නුඹේ ඇවතුම් පැවතුම් ඉදිරියේ ඔහු මොන තරම් අසරණව උන්නාද.....

" මට සංජුලාව වෙලාවකට තේරුම් ගන්න බෑ නෙත්මී... මම ලෙඩෙකුගේ අතින් ඇල්ලුවත් මූණ බෙරි වෙනව....මං පාරේ යන පොඩි එකෙක් එක්ක හිනා උනත් වරු ගානක් මාත් එක්ක කතා නොකර ඉන්නව....හොස්පිටල් එකට එන්නෙ නහය වහගෙන... ගඳයිලු ... වමනෙට එනවලු....දැනට ඒ දේවල් පැත්තකට දාමු... ඒත් කවදා හරි එයා මගේ වයිෆ් වෙලා අපි එක ගෙදර ඉන්න ඕනෙ නේද.... එදාටත් මේ කෙල්ල මේ විදියට පිස්සු නැටුවොත් අපිට මොකද වෙන්නෙ නෙත්මී....? අනේ ඔයාවත් එයාට තේරුම් කරලා දෙන්න නෙතූ නංගී ප්ලීස්...මම එයාට ගොඩාක් ආදරෙයි.... ඒකිගේ හුරතලේට... ඒ පිස්සු වැඩ වලට මම පණ වගේ ආදරෙයි.... ඒත් ජීවිතේ කියන්නෙ එයයි මමයි විතරක්ම ඉන්න සුරංගනා ලෝකයක් නෙවෙයි නේද....? මේ කෙල්ල මේක කවදා තෙරුම් ගනීද නෙතූ......




____________ මතු සම්බන්ධයි____________

Jan 30, 2012

ලේන් හුරතල්.......




ඔන්න අද මං කියන්න යන්නෙ අපේ පුංචි හුරතලා ගැන.දැන් ඉතින් කට්ටිය හිතයි මෙයාගෙ හුරතලාගෙ කතා අපිට මොකටද කියලා.ඒත් මම කියනවට කියවලා බලන්නකො මෙයාගෙ වැඩ.

මේ පුංචි ලේන් පැටියව අපිට හම්බුනේ ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 28 වෙනිදා.ඒ වෙනකොට මෙයා ඉපදිලා දවස් 3 , 4 වෙන්න ඇති. ඒත් අපි මෙයාගෙ උපන්දිනේ හැටියට ගන්නෙ අපිට හම්බුන දවස තමා.ඒ දවස්වල අපි ගජරාමෙට වැඩ...ආ......... අමතක උනානේ..... අපි කිව්වේ මමයි මගේ හබියයි හොදේ..... (හැබැයි ඒ වෙද්දි හබියා නෙවේ වෙන්ට හබියා හොදේ ) වැඩ කිව්වෙ ඊළඟ මාසෙ ඒ කියන්නෙ මැයි මාසෙ අපේ මංගල්ලෙ වැඩ තමා අපිට යෙදිලා තිබුනෙ. එහෙම වැඩකට ගිහිල්ල ඉන්න වෙලාවක පාරෙ වැටිලා ඉදලා තමා අපිට මෙයාව හම්බුනේ.ලේන් පැටියෙක් කියලා කිව්වට මමනම් හිතුවෙම මී පැටියෙක් කියලා ඒ තරමට පුංචි.අදුරගන්නම බෑ අනේ ඉතින් අපි වටපිට සොදිසි කරලා බැලුවා එයාට ගෙදරක් තියෙනවද , අම්මා තත්තා පේන්න ඉන්නවද එහෙම කියල.ම්හ්.. එහෙම සළකුණක්වත් නෑ... අන්තිමට එයාව අපි බාර අරන් අපේ ගෙදර ගෙනාවා.
(මේ එයා සුට්ටක් ලොකු වෙලා පීරිසියෙන් කිරි බොනවා)


දැන් ලොකුම ප්‍රශ්නෙ එයාට කිරි පොවන එක. පාන්තිරෙන් බොහොම අමාරුවෙන් බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක් මුලින් මුලින් පොවා ගන්න හරිම අමාරු උනා. යන්තන් ටිකක් පොවලා හිමින්හිමින්හුරුකරගත්තා.ඔහොම ටික දවසක් යදි එයා ටිකක් ලොකු වෙලා ලස්සන වෙලා අවා. එතකොටනම් හරිම ආසයි මට. චූටි කාඩ්බෝඩ් පෙට්ටියක දාලා එයාව මගේ කමරේ මගේ ළගින්ම තියාගත්තා.දැන් එයා හරිම දඟයා හැබැයි වැඩේ කියන්නෙ මගෙයි හබියගෙයි අතට ඇරෙන්න එයා වෙන කිසිම කෙනෙකුගේ අතට යන්නෙ නෑ.කෑම කන්නෙ කිරි බොන්නෙත් අපි දෙන්නගෙ අතින් දුන්නොත් විතරයි.මගේ කාමරෙන් පිටට යන්නෙත් නෑ කවුරු හරි කාමරේට ආවොත් දඩි බිඩි ගාලා උඩකට නැගගෙන බෙරිහන් දෙනවා මහා හයියෙන්.එයා ඉන්න බව ඉව වැටිලදෝ කොහෙද තඩි පූසෝ දෙන්නෙකුත් ගේ වටේ කැරකෙන්න ගත්තා.ඔන්න ඉතින් වැඩි ආරක්ෂාවට අපි මෙයාට ලස්සන කූඩුවකුත් ගෙනත් දුන්නා. මම ගෙදර ඉන්න වෙලාවට එයා නිදහසේ කාමරේ පුරා ඇවිදලා මම ගෙදර නැති වෙලාවට එයාගෙ කූඩුවට ගිහින් ඉන්න පුරුදු උනා.

( මේ එයා ගේ කූඩුව )
හොම ගිහින් දැන් අපේ වෙඩිමත් කට මුලටම ඇවිල්ලා. ඊලගට ආපු ලොකුම ප්‍රශ්නේ තමා අපි නැති දවස් ටිකට කව්ද ලේනව බලාගන්නෙ කියන එක.ඒ වෙනකොට එයාට මමත් මට එයාත් නැතුව බැරි තරමට අපි සමීප වෙලා.හරියට නිකන් දරුවෙක් වගේ.කොහේ ගියත් මගේ කල්පනාව ලේනා ගැන. ඒදවස්වල පොඩි පොඩි නෝක්කාඩුත් අහන්න උනා නිසි බලධාරියාගෙන්

" මේකිට මටත් වැඩිය ලේනා ලොකු වෙලානෙ " කියල. එයා එහෙම කිව්වට එයත් ඉතින් ඌට හරිම ආදරෙයි.අපිට ඇරෙන්න එයාව කාටවත් කොන්ට්‍රෝල් කරන්න බැරි නිසා දාල යන්නත් හිත දෙන්නෙ නෑ. සාකච්ජා වට තුන හතරක්ම තියලා අන්තිමට අපි තීරනේ කලා ලේනවත් අරගෙනම යන හනිමූන් එකක යන්න.දැන් අපි අපේ තීරනේ කට්ටියට කිව්වා.මෙන්න කට්ටිය උඩ පැන පැන හිනා වෙනවා.

" පිස්සුද නුවර එළියේ සීතළට මේකා මැරෙයි..."

" ඇයි එහෙ ගිහිල්ලා දෙන්නට වෙන වැඩ නැතුවද ලේන් හුරතල් කරන්න හදන්නෙ..."

" කවුරුහරි දැක්කොත් අටපට්ටමෙත් දාවි ලේනෙක් සමග මධුසමයට ආ යුවලක් කියලා..."

අනේ අපොයි ඔය වගේ මලවිකාර ගොඩාක් කියලා කට්ටිය අපි දෙන්නව බයිට් කල.කවුරුත් ඒ වැඩේට අනුමැතිය දුන්නෙ නෑ.අන්තිමට මගේ නෑනා පොඩ්ඩ ඔන්න වගකීම බාර ගත්තා අපි එනකන් එයාව හොදට බලා ගන්නවා කියලා.උපදෙස් මාලාවක් එයාට පිලිපදින්න කියලා දීලා ඔන්න අපි ඉතින් එයාව දාලා ගියා.බුදු අම්මේ....එහාට ගියාට පස්සෙයි රඟේ තෙරුණේ.... සීතළ....... එහෙ ගිහිල්ලත් ඉතින් අපේ වැඩේ ඉඩක් ලැබෙන හැම වෙලේම කෝල් කර කර එයාගෙ සැප දුක් අහපු එක තමා.අපි නැතුව එයා දවසක්ම කෑම වර්ජනය කරලා තිබුනා.නෑනා පොඩ්ඩගේ අත හිල් වෙන්න හතර පොලක් කාලා ....

දැන් ඉතින් කොහොමෙන් කොහොම හරි එයා අපි ළඟට ඇවිල්ලා මාස 9ක් වෙනවා.දැන් හරිම චන්ඩි... ආ ලේනා කිව්වට එයා ලේනියෙක් හොදේ...අපිත් පස්සෙ තමා දැනගත්තෙ.දැන් හොද හුරුබුහුටි කෙළි පැටික්ක.කොල්ලොම හතර දෙනෙක් එයා පස්සෙ කැරකෙනවා...හැබයි මෙයා හරි ගනන් එයාලව සතේකට ගනන් ගන්නෙ නෑ...අපේ ගෙදර අපි දෙන්නයි එයයි විතරයි.මුළු ගෙදරම එයා නිදහසේ ඇවිදිනවා...රෑට කූඩුවට ගිහින් නිදා ගන්නවා.කොච්චර ඇරලා හිටියත් කවදාවත් මේ වෙනකන් එයා ගෙයින් පිටට ගිහින් නෑ. අපි බලෙන් ගෙනිහින් ගහක් උඩ තිබ්බත් පණ කඩාගෙන ගෙට දුවලා එනවා.

කියන්න අමතක උනානේ එයගේ නම " ටුන්කි " හොදේ. ඒ උනාට එයාට මමනම් ආදරේට නම් සීයක් විතර කියනවා.අපිට ඉතින් එයා දැන් දරුවෙක් වගේම තමා.එයත් අපිට පුදුම විදියට ආදරෙයි.ටුන්කි ආසම අබරැල්ලා කන්න... චොකලට් අයිස් ක්‍රීම් වලටත් මං වගේම හරිම රුසියා. එයා අපි එක්ක රට වටේම මේ වෙනකොට ගිහින් තියෙනවා.අපි යන හැම තැනකම එයාවත් අරන් තමා යන්නේ.හැබැයි වැඩේ කියන්නෙ අපේ මේ ලේන් හුරතලේ අපේ පවුල් දෙකේ වැඩිහිටියන්ටනම් දැන් එපාම වෙලා.එයාල දැන් කියන්නෙ ලේන් හුරතල් අත ඇරලා දරු සුරතල් බලන්න කාලෙ හොදා කියලා. ඇයි වදේ අපිට නැති උවමනාවකුයි හදිස්සියකුයි තමා එයාලට තියෙන්නෙ.අනේ අනිච්චං........


( දැන් නම් චන්ඩියා )

Jan 27, 2012

බාලිකා හීන කඳුළේ ඇත්ත කතාව.....

මම මේ ලියන්න හදන්නෙ ඊයේ මම බ්ලොග් එකට අමුණපු නිසදැසේ නිධාන කතාව . මට මේ කතාව ලියන්න ඕනේ කියලා හිතුනේ ඒ නිසදැසට මගේ මිතුරු පූ දාපු කොමෙන්ටුව බැළුවට පස්සෙ
" මට පේන්නෙ කවියෝ ඔයා පට්ට බූට් එකක් දගෙන වගේ....."
ම්ම්ම්....ඔව් මේක පට්ට බූට් එකක් තමා.... එක විදියකට හැබැයි මේක පිටිපස්සෙ ඉන්නෙ මම නෙවේ.මම දැන් මේ ඔයාලට කියන්න යන්නෙ අන්න ඒ නොකියූ කතාව.ඔන්න ඉතින් අහන්නකො ඒ කතාව මේ නිසඳැසට වැඩිය සංවේදී.

ඒ මීට අවුරුදු හතරකට හතරාමාරකට විතර කලින් මම හා හා පුරා කියල සයිබර් අවකාශයේ සැරිසරන්න ගත්ත දවස්.අම්මෝ මට නිකන් මැජික් වගේ.....ඔය චැට් රූම් ගැන එහෙම මම මෙලෝ දෙයක් දැන ගෙන හිටියේ නෑ....ඒ දවස්වල campus එක හිටපු මගේ ඥාති වෙන සහෝදරියක් තමා මට ඒ උණ බෝ කලේ.හැබැයි ඉතින් ඒ චැට් කෙරුවාවෙන් මට වරදක්නම් වුනේ නෑ...අපෝයි මම දැන් මේ මොනාද කියන්නෙ මට කියන්න ඕනෙ මම ගැන නෙවෙයිනෙ.

හරි ඉතින් ඔන්න ඔහොම අන්තර්ජාලයෙන් මට මුණගැහුණ එදා ඉදන් අද වෙනකන් එකම විදියෙ ළෙන්ගතු කමින් සහෝදර සහෝදරියන් වගෙ ඉන්න කිහිප දෙනෙක් මගේ ජීවිතේ ඉන්නව.අන්න ඒ ගොඩේ ඉන්න කෙනෙක් තමා මේ කතාවෙ අයිතිකාරිය.චැට් එකෙදී අපි උඹ බං බොලන් කියන තරමට බොහොම සමීප වුනා. අපි එයාට කිව්වේ අක්කා කියලා.අක්කා කිව්වට අපි හිතුවේ අපිට වඩා අවුරුදු 4 , 5 ක පරතරයක් ඇති කෙනෙක් වෙන්න ඇති කියල.ඒත් අපි අපේ පුද්ගලික තොරතුරු බෙදාගන්න තරමට ළං උනාම තමා මම දැන ගත්තෙ එයා මගේ අම්මගේ වයසේ තරම් කෙනෙක් කියල.ඒක දැනගත්තා කියල අපි අතරේ ලොකු පරතරයක් ඇති උනේ නෑ...මොක්ද එයාට පුලුවන් ඕනම වයස් මට්ටමක කෙනෙක් එක්ක හිනාවෙලා කතාකරලා විහිලු කරලා ඉන්න.පස්සෙ පස්සෙ එයාගෙ පවුල් පසුබිම එහෙම දැනගත්තම අපිට පුදුම හිතුනා ඒ වගේ කෙනෙක්ට මේ තරම් බොලද වෙන්න පුලුවන්ද කියලා. ඒ මොකද එයා විදේශීය රටක ඉහල නිලයක් දරන කෙනෙකුගේ බිරිඳක් , එයා ජීවත් වෙන්නෙ උසස්යැයි සම්මත සමාජයක , ඒ වගේම එයා නුවර සාම්ප්‍රදායික වලව් පෙලපතකින් පැවත එන කෙනෙක්... ඒ හැම දෙම පැත්තකින් තිබ්බම එයා සාමන්‍ය සරල ගැහැණියක්... සැමියාගේ අධික කාර්‍යබහුල කමින් පීඩා විදිමින් ගෙදර හුදකලා උන බිරිඳක්....දරුවන් ලබන්න පින්මද උන ගැහැණියක්....හැබැයි ඒ දෙවලින් කඩා නොවැටී හැමතිස්සෙම හිනාවෙලා සින්දු අහලා සතුටින් ඉන්න කැමති කෙනෙක්....

කාලයක් යද්දී එයා චැට් එන එක නැවැත්තුවා
" මේ චැට් කිරිල්ලට මන් දැන් වයස වැඩී බං නංගී ඕවා හොද ඔයාලට තමා...." එයා එහෙම කිව්වා...හැබැයි එයා එතනින් එයාගෙ යාළුවන් හැටියට තෝරගත්ත අතලොස්සන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන්න මට වාසනාව තිබුනා.පස්සෙ පස්සෙ මගේම අක්කට මගේම අම්මටවත් නොකියන දේවල් එයාට කියන්න මම පුරුදු උනා.ඒ හැම දේකටම එයාගෙන් සාදාරණ පිලිතුරු උපදෙස් ලබුණා.
ඔන්න දවසක් skype call එකක් අතරතුරේදී මේ අක්ක මට මෙහෙම කිව්ව....

" නංගී මට ඔයාට කියන්න කතාවක් තියෙනවා....

" කියන්න අක්කා මම අහගෙන ඉන්නේ....."

මම ඉස්කෝලේ යන කාලෙ මං ගැන උනන්දු උන පිරිමි ළමයෙක් හිටියා.....

ඉතිං..........

මීට සුමානෙකට විතර කලින් එයාගෙ නමින් මගෙ FB එකට req එකක් තිබුනා....ඒ නම දැකලා මාව සීතල උනා නගෝ....මම හිතුව හරි ඒ එයාමයි....

ඉතිං අක්කා...කතාව මම හිතුවට වැඩිය රසබරයි වගේ දැණුන නිසා මමත් උනන්දු උනා...

එයා නිකමට FB එකක් ඇරල මාව search කරලා.......නිකමටවත් හිතුවෙ නෑලු මාව එහෙමවත් මුණගැහෙයි කියල ඔයා දන්නවද නංගී ඒ තමා මගෙ පලවෙනි ආදරේ...... කියාගන්න බැරි වුන ඒ ආදරේ මේ පපුවේ තාමත් හැංගිලා තියෙනවා නංගී......... අපි ඉස්සෙල්ලාම දැක්කෙ නුවර station එකෙදි..මම එතකොට ඉස්කොලෙ දහයෙ පංතියෙ විතර... එයානම් ඉස්කොලෙ යන පාටක් තිබුනේ නෑ.... හැමදාම හිටියේ පාට ඇඳුමින්... එයා මොකක් හරි රස්සාවක් කරනගමන් ඉගෙනගත්තා කියලා තමා මම හිතන්නෙ.... අපි සමහර දවසට එකම සීට් එකේ වාඩිවෙලා හොරෙන් බල බල යනවා අම්මෝ ඔයා දන්නවද නංගී ඒ වෙලාවෙ දැණුන දේවල් මට.........මට ඒ දවස් මැරෙනකන්ම අමතක වෙන්නෙ නෑ....අපි කතා කලේ ඇස් වලින් විතරමයි.... එත් එයා මගේ යළුවන්ගෙන් මම ගැන විපරං කරනවා.....මමත් එහෙමයි එයා ගැන විස්තර එයාට හොරෙන් හොයනවා....

" අයියෝ අක්කා........... ඔච්චර ආදරේ කලානම් ඇයි එයා ඔයාගෙන් කෙලින්ම ඇහුවෙ නැත්තෙ....."

අනේ බං නංගියේ ඒ කාලෙ දැන් වගේ නෙවේ... මම මේ කියන්නෙ 1970 ගනන් වල කතාවක්.....ඒ කාලෙ කෙල්ලෙක් දැක්ක පලියට කොල්ලෙක් උනත් එක පාර කතාවට එන්න බයයි... එත් එයත් දැනගෙන හිටියා මමත් දැනගෙන හිටියා අපි අපිට ආදරේ කරන බව.ඒක හරිම සුන්දර කාලයක්............. හැබැයි ඒ කාලෙ හරි ඉක්මනට ගෙවිල ගියා... අපිට අපි මගහැරුන.... මගෙ ඉස්කොලෙ ගමන නැවතුනත් හරි අපි ආයෙ කවදාවත් මුණගැහුනෙ නෑ....

එයා දැන් ලොකු උගතෙක්..... පදිංචිය ඇමරිකාවෙ. අපි දැන් ආයෙත් ආදරේ කරනව නංගී..... අපි දැන් හැමදාම email හුවමාරු කරගන්නවා....අපිට බැඳීම් තියෙනව... අපිට ආපහු හැරෙන්න බෑ... එහෙම හැරෙන්න පුලුවන් වයසකත් නෙවෙයි අපි ඉන්නෙ... අපිට එහෙම හැරෙන්න උවමනාවකුත් නෑ.... ඒත් අපි ආදරේ කරනවා... එදා අපිට කියාගන්න බැරි වුන හැමදේම .... ඇස් වලින් හොරෙන් හොරෙන් කතා කරපු හැම දේම අපි දැන් එලිපිට කතාකරනවා...... එයා ඇමරිකාවේ මම ඔස්ට්‍රේලියාවෙ... ඒත් අපේ හිත් තාමත් නුවර station එක ළඟ නැවතිලා බලන් ඉන්නවා...

තව මහ ගොඩක් දෙවල් ඒ ආදරේ ගැන කියන්න, ලියන්න හිතුනත් මේ ඇති කියලා හිතෙනවා
ඒ ආදරේ වෙනුවෙන් මම ලියපු නිසදැස තම මේ.....පහල ලින්ක් එකෙන් ගිහින් ඒ නිසඳැස බලන්න මෙතනින්.

බාලිකා හීනයක හැංගිච්ච කඳුළු

Jan 26, 2012

බාලිකා හීනයක හැංගිච්ච කඳුළු........


දළදාවෙ තේවාවෙ හඬ ඇහෙන මානයක
නුවර වැව රැළි ගසන සුළං වැහි කෝඩයක
නුවර දුම් රිය ඇදෙන පහළ මිටියාවතක
හන්තාන කඳු වැටිය තෙමන මල් තුහිනයක
සැරිසරා සැරිසරා නුවර හැම වීදියක
සොයමි මම මඟහැරුන අපේ පෙම් පුරාවත

බාලිකා සිහිනයේ සැරිසැරූ සොඳුරු ඇස්
තවම ඒ වාගෙම කතා කරනව නේද...
දුම් දදා මාතලේ දුවන කෝච්චිය ඇතුලේ
මටම වෙන් කරන් ආ අසුන තව ඇති නේද...
සුදු ගවුමේ රැළි අතර බොඳ වෙච්ච ඒ හීන
මට වගෙම ඔයාටත් තාම මතකයි නේද....
ඇස් වලින් ලිය දුන් ප්‍රේමයේ පළමු කව
සොඳුරු සුහදාණනේ පපුවෙ තව ඇති නේද...

ගුළි කරන් පළමු පෙම
ලෝකයේ දෙපැත්තක
හූල්ලන අපේ හිත්
එදා මෙන් අහම්බෙන්
මේ නුවර වීදියක ආයෙමත් හමුවෙයිද......?

Jan 23, 2012

දුරුතු හීන....................




















දුරුත්ත සීතල කරන මල් තුහින වරුසාව මුළු රෑ පුරාම ඇද හැලෙනව...ඇට මිඳුළු පවා සීතලට ගල් ගැගෙන මේ මහ රෑ හැමෝම නිඳි දෙව්දුව තුරුලේ උණුසුම් වෙනවා ඇති.ඒත් මොන කරුමෙකටද මන්දා මෙහෙම දවසටවත් මට සැනසිල්ලෙ නින්ද නොයන හැටි.... ඔලුවේ ඉදන් පෙරෝගෙන ඇස් දෙකත් කිටි කිටියේ තද කරගෙන "" අනේ මාව නිදි කරන්න "" කියලා නිදි කුමාරිට කියලා කියලා ඇති වෙලාම මං පොරෝනයත් විසි කරලා ඇඳෙන් බිමට බැස්සා.නිරුවත් යටි පතුල් වෙලට ඇල්පෙනිති තුඩු වලින් අනිනව වගේ හිරිවැටීමක් දැනුනා.......හීතලට අපි කොච්චර ආස වුනත් එකත් ඕනාවට වැඩිය වැඩි උනාම හරිම කටුකයි. ඒ කටුක බව ඇඟට දැනෙන්න දීල මේ වෙලාවෙ මං විඳින්නේ දුකක්ද ,සතුටක්ද කියන්න මට හරියටම තේරුනේ නෑ....ටක්....ටක් ....ගගා වහළට පිණි වැටෙන සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් මට ඇහුනේ නෑ... මේක ඉතින් සද්ද කරන වෙලාවකුත් නෙවේනෙ.මම හිමිහිට මේසෙ උඩ තිබුන ජංගම දුරකතනයෙන් වෙලාව බැලුවා....පාන්දර 2.20යි. ම්...........හීන දකින්න කියාපු වෙලාව.අනිත් හැමෝම ඇස් පියාගෙන හීන දකිද්දි මම ඇස් ඇරගෙන හීන අහුළන්න උත්සහ කරනව.
එක පාරටම හිතට ආපු සිතුවිල්ලකට ආයෙ දෙපාරක් හිතන්න ඉඩ නොතියා මම ගිහින් කාමරේ ජනේල් පියනක් ඇරිය...ඉවක් බවක් නැතුව කඩාගෙන බිඳගෙන ආපු හීතල හුළඟ කිටි කිටියේ මාව බදාගත්ත.හරියට මං එයාට ලියල දීල වගේ...මාව ගල් හැගිල ඇග පුරාම හීගඩු පිපුණ...අර ඉස්සරෝම දවසක ඉස්ස ඉස්සෙල්ලම " ඔයා " මගේ අතින් අල්ලපු දවසෙත් මට මේ වගේම හීතල දැනුනා... මේ වගේම මාව වෙව්ළුවා.... ඔන්න කොහෙන් හරි ගිහිල්ල මම අන්තිමට නතර වෙන්නෙ " ඔයා " ළඟ.... හැමෝම කියන්නෙ "ඔයා " මගෙ ජීවිතේ " කරුමෙ " කියල. ඒත් මම විතරයි දන්නෙ " ඔයා " මගෙ ජීවිතේ " උරුමෙ " කියල
ඔයත් හරියට මගෙ ජීවිතේට ආවෙ මේ කුණාටු හුළඟ වගෙ අනවසරයෙන්... බලහත්කාරෙන්.... ඒ කුණටුවෙන් බේරෙන්න ආරක්ශක ක්‍රම ඕන තරං තිබුනත් එදත් මන් කිසිම දේකින් ආවරණය නොවී ඔහේ බලන් හිටිය.ඔයා මේ සුළඟ වගේ මගේ ළඟ වෙළි වෙළී... එති එතී ඉදලා සීත ඍතුව ඉවර වෙද්දි වෙන දීපංකරේකට ඇදිල ගියා....
මොහොතකට එහා මෙහා වෙච්ච හිතත් අරගෙන මං ආයෙත් කවුළුව අද්දරට වුනා.වෙනදා අපේ වත්තෙ තිබුණ කිසිම දෙයක් මට පැහැදිලිව පෙනුනේ නෑ.බලූ බැලූ අත් සුදු පාට විතරයි.මං බය උනා අහස බිමට කඩන් වැටිලවත්ද කියල.දෙතුන් පාරක් ඇහි පිය ගහල සිහි ඒලව ගත්තට පස්සෙ තමයි තෙරුනේ මුළු පලාතම මීදුමෙන් වැහිල කියල.හරියට නුවර එළිය වගෙ.....සීතළ නුවර එළියටනම් මීදුම අරුමයක් නෙවෙයි.ඒත් කොන්ක්‍රීට් වනන්තරේ කිට්ටුව ඉන්න මට මේක ආශ්චර්යක් වගෙ.ඇදට ගුළි වෙලා පෙරවගෙන උන්නට වැඩිය නැගිටලා මෙතනට ආපු එක ගැන ඔන්න මට සතුටක් දැනුනා. මේ ඉඳුල් නොවූ පරිසරය මේ මොහොතේ දෑසින් විඳින එකම ප්‍රාණියා මම වෙන්නත් ඇති.අපේ ගෙදරනම් මම විතරයි තමා ඒත් මම වගේ නින්ද නොයන රෝගයෙන් පෙලෙන තව පිස්සු ඩයල් තුන හතරක්වත් මේ පලාතේ ඇතිනේ. එයාලත් මන් වගේ ජනේලේ ඇරලා බලයිද....?
සමහර විට ඔයත් ...... ඔන්න ආයෙමත් " ඔයා " ..... නෑ එකනම් කීයටවත් වෙන්න බෑ....මේ වෙලාවෙ ඔයා එයත් එක්ක යුගල යහනක බොහෝම අපූරුවට නිදි සුව විඳිනවා ඇති.ඔයා එයාව කිටි කිටියේ තුරුලු කරන් ඇති. මොකද ඔයා සීතලට කැමති උන කෙනෙක් නෙවෙයිනෙ.ඔයා හැම තිස්සෙම හෙව්වේ උණුහුම.මං හිම කැටයක් වගේ..... ඔයා පුපුරන්න ඔන්න මෙන්න ගිනි කන්දක් වගේ....... හීතල හිම වැස්සක් වගේ ඔයා මත පතිත වෙලා ඔයාව සිහිල් කරන්න පුලුවන් වෙයි කියල මම හිතුව.ඔයාගෙ උණුහුමෙන් චුට්ටක් විතර මටත් දෙවි කියල මන් බලපොරොත්තු උනා.... සාම්ප්‍රදායික පෙම් කතාවෙන් මිදිල අපි වෙනස් දෙන්නෙක් වුනා. සීතලට සීතල නොවී ගින්දරට ගින්දර නොවී අපි සීතලයි ගින්දරයි වුනා.... වෙනස් කුරුල්ලන්ට එකට පියාඹන්න බේ වගෙ තමා සීතලටයි ගින්දරටයිත් එකට ඉන්න බැරි වුනා.ඒ නිසාම අපිට සමුගන්න සිද්ද වුනා.නොකියාම යනවට වැඩිය යන්නම් කියලා යන්න තරම් කාරුණික වීම ගැන මම අදටත් ඔයාට ස්තුති කරනව.
ඔයා ගියා......... මං තනිවුනා........ පස්සෙ ආරංචි වුනා ගින්දර වගේ කෙනෙක් ඔයාගෙ ජීවිතේට ළං කර ගත්තා කියල.ඔයාට තරං ඉක්මනට මට හිත හදාගන්න බැරි උනා.තාමත් දවසට තෙතුන් පාරක් අපි දෙන්න ඇවිද ගියපු පාරවල් දිගේ මං අතීතෙට ගිහින් එනව ඒ එන ගමන් වැටිල තියෙන පුංචි පුංචි මතක පරිස්සමට ආපහු අරන් එනව....මෙහෙම. ඇවිදල ඇවිදල හෙම්බත් වෙන දවසක් අද නැතත් කවදම හරි දවසක ඒවි.අන්න එදාට මං මේ වට පිටාවෙම කැරකෙන " ආදරණීය බලාපොරොත්තුවකට " මම වචනයක් දෙනව.එතකං මගේ උරුමෙ ඔයා......එක නවත්තන්න මේ කටවත්ම බෑ

ඉතින් දැන්නම් අහස පොළව වෙන් කරන්න පුළුවන් තරමට මීදුම හේදිලා ගිහින්....ඈත කොහේදෝ රේඩියෝවකින් පිරිත් හඩකුත් ගලාගෙන එනව... ඒ කියන්නෙ දැන් එළි වෙලා.......අපේ ගෙදර අයත් අවදි වෙලා ඇති.... ඒ කියන්නෙ මට නිදාගන්න වෙලාව හරි.... මම හීන් සීරුවේ ජනේලෙ වහල දාල ඇදට පැන්න.... දැන් ඉතින් දවල් 12 ටවත් මාව ඇහැරවනව බොරු.








ප්‍රේමයේ මළගම............


මම අපේ ආදරේ

වළදාලා

පාංසකූලෙ දුන්නා

හෙට ඒ ආදරේ

මතක බණ කියන දවස......

පුලුවන්නම් ඇවිත් යන්න

Jan 21, 2012

ඔබ රිදවූ මගේ සිත.............


දුරුත්තේ හීතලට
හිතම කීරි ගැහෙනවා
ගුළි වෙන්න උණුහුමක්
ඇති තැනක් හොයනවා

පෙර එදා ළං වෙලා
උන්නු හැටි මැවෙනවා
අහේතුක කඳුළකින්
කොපුළ මගෙ තෙමෙනවා

කොහේ හෝ ඔබ තුටින්
ඉන්න බව හැගෙනවා
මේ කඳුළු අගේ නෑ
ඔබට මං දන්නවා

හදාගත් හිතම යලි
ආයෙමත් බිඳෙනවා
වළ දැමූ අතීතය
ගොඩට ගෙන අඩනවා

Jan 20, 2012

දෝරෙ ගලන ආදරේ...........


මන්දාරම් අඳුර මැදින්
වැටෙන අනෝරා වැස්සේ
දැවටි දැවටි ළඟින් ළඟින්
අපි පා නගුවා........

මල් ඉහුරුණු කුඩ හෙවනේ
ඔය තරු ඇස් ළඟින් ළඟින්
මගෙ මුහුණට එබෙනා විට
උණුහුම දැනුනා...

හන්තානට වහින වස්ස
අනේ එපා නවතින්නට
ආදරයත් ඒ තරමට
දෝරය ගැළුවා....


සොඳුරු සඳවතී



තරු අරණ සරසන්න
සඳ වතිය පායන්න
මගේ ලොව එකළු කර
ඔබේ ඇස් දල්වන්න
සදාදර බැති පෙමින්
ඔය දෙපා දෝවන්න
සඳ එළිය ඇබින්දක්
අරන් හනිකට එන්න.....

සේපාලි සුවඳ ගෙන

සීත මඳ නළ එන්න
හද නිම්නයේ කවුළු
දැන් විවර කරලන්න
නුරා පෙම් යහනාවෙ
පිච්ච මල් අතුරන්න
පෙමාතුර මගෙ හිතට
ඔබේ වාරුව දෙන්න....

පිණි කඩා හැලෙන රෑ

තරු නිවා හංඟන්න
සේඳ සළුවෙන් වසා
සඳ අනේ දුර යන්න
පිණි වැටෙන සීතලේ
උණුහුමට ගුළි වෙන්න
ඔබේ ඔය පපුතුරේ
ඉතිං මට ඉඩ දෙන්න.....


Jan 19, 2012

ඉතින් අවසරයි..............

හුගාක් කාලෙකට පස්සෙ ඔන්න මං ආයෙමත් මේ පැත්තට ආවා....අනේ මංදා හැම තිස්සෙම මොනවාම හරි කුරුටු ගාන මම මේ බ්ලොග් එක අතඇරල අවුරුද්දක් එහෙමත් නැත්තන් දෙකක් විතර කාලයක් ඔහේ බලන් හිටිය.ඒ කාලෙ ඇතුළත ජීවිතේ මොන තරංනම් දේවල් සිද්ද උනාද.......දැන් ජීවිතේ ඉස්සරටත් වැඩිය කාර්ය බහුල වෙලා.

ආයෙමත් මේ බ්ලොග් එක ලියන්න ඕනෙ කියල හිතට දැනුනෙ සයිබර්වකාශයෙ අහම්බෙන් ගොඩ වැදුන නවාතැන් පලකදී ජීවිතේට සමීප වූ දයාබරයන් පිරිසක් නිසා. ඇත්තටම එයාල නිසා මට යම්කිසි නිර්මණශීලි හැකියාවක් තිබුණනම් ඒක වැඩි දියුණු වූ බව මම හැමදාම පිලිගන්න ඇත්තක්.එයාලා හැමොටම උපහාරයක් හැටියට මම ආපහු මේ අඩවියේ සැරිසරනව.....

මේ බ්ලොග් එක ආපහු නැවුම් හැඩයකින් ඔබට පුදන්න මට උදවු කරපු පිස්සු පූසා මල්ලිව මම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව.බ්ලොග් එක දිගටම කරගෙන යන්න කවියො.... කියල මාව හැමදාම දිරිමත් කරපු චතූ ඔයාටත් මම ගොඩක් ස්තුතී කියනව.ඔයාලගෙ දිරිමත් කිරීම් ,අවවාද , අදහස් වගේම උදහසුත් මම අද වගේම හෙටත් බලාපොරොත්තු වෙනව.

ඉතිං එන්න........... නේක රටා මවූ අහස් තළ සිසාරා සොඳුරු සඳවතී හිනැහෙන හැටි
බලන්න.......

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...