සඳට බැළුම් හෙලූ අය

Sep 1, 2016

උන්මාද ගී රැල්ලේ තවත් පිටුවක් !


බ්ලොග් කලාවට අලුත් වසන්තයක් කැන්දගෙන ආපු  ගී රැල්ල හිමිහිට හිමිහිට බැහැගෙන  යන්න පටන් අරන් වගේ.ඒත් ඉතින් මටනම් ඒක පෝස්ටුවකින් මේක ඉවර කරන්න පුලුවන් කමක් නෑ.ඇයි හත්වලාමේ අපි අහන්නෙ සිංහල  ගීත විතරමයැ ? මම මේ රැල්ලට අහුවෙලා  ගහගෙන ගහගෙන  යද්දි මම දැක්කේ සිංහල ගීත විතරක්ම තෝරපු පෝස්ට් තමා ඉතින් මමත් ඒකම අනුගමනය කලා. ඒත් පස්සේ දැක්ක  කෙන්කියුෂා තුමානම්  විවිධ භාශා වල ගීත ලයිස්තු ගත කරලා තියෙනවා.මගේ ගීත 16 අමාරුවෙන් තෝරද්දිම මමනම් හිතුවා  නිකන් හින්දි රැල්ලක් වගෙත් හමා ගියානම් කොච්චර ශෝක්ද කියල. ඒත් ඉතින් වැඩේ ලේසිනම් නෑ, සිංහල ගීත තෝරනවට වඩා අමාරුයි  මේ වැඩේ.අමාරුයි කියලා නිකන් ඉදලා හරියනවයැ ඉතින් ඔන්න මම පටන් ගත්තා වැඩේ.මේක  හැබැයි හින්දි රැල්ලක්ම නෙවෙයි, මේක අච්චාරුවක් එහෙම නැතන්  සැලඩ් එකක් වගේ සේරම කවලන් එකක්.සිංහල හැර මම කැමති මගේ හිතට වැදුන විවිධ භාෂා වල  ගීත මෙතන තියෙනවා.ලස්සනට රවුම් කරලා ඉලක්කන් 20 කින් මේක  ඉවර කොරන්න තමා කල්පනාවනම්.හරි ඉතින් පටාන් ගමුකො එහෙනම්.

 1 - අභිමාන් ..... පුංචි සන්දියෙදි හැදුන  හින්දි  ෆිල්ම් උණ පටන් ගත්තෙ මේකෙන්.ඒ දවස්වල තිබුන ඒ        උන්මාදය වෙනමම කතාවක්.මේ ෆිල්ම් එක බලනකොට අවුරුදු 14ක් විතර ඇති මට. ඒ කතාව   මෙතනින්   ගිහින්  බලලම ආවනම් මේ පිස්සුවේ තරම තේරුම් ගන්න පුලුවන්.මේ ෆිල්ම් එක මේ වෙනකොට පස්          හයවතාවක්ම බලලා තියෙනවා.ඒ මේකෙ තියෙන  ලස්සනම ලස්සන  ගීත ටික  නිසාමයි.එකකට එකක්       නොදෙවෙනි  ඒ ගීත වලින් මේ සින්දුවට තමා මම වැඩිපුරම ආස.ඒ දවස්වලනම් මේ  සින්දුව  සේරම කට පාඩම්.




 2 - ආරධනා....  ඊළඟටත් තියෙන්නේ පලවෙනි ගීතයට නොදෙවෙනි ගීතයක්.අභිමාන්  සහ ආරාධනා කියන්නේ  හින්දි ගීත සහ  ෆිල්ම් උන්මාදයට තාත්තගෙන් අපිට හම්බුණු පළවෙනි තෑග්ග,එයා අපිට හින්දි චිත්තරපටි පෙනුවේ බොහොම තෝරාබේරාගෙන. මුල්ම කාලෙ අපිට බලන්න හම්බුනේ අපේ අම්මයි තාත්තයි ලව් කරන්න පටන් ගන්නත් කලින් ඒවද කොහෙද.හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ අදටත් ඒ  ගීත වලට සම කරන්න පුලුවන් ගීත නෑ කියලා තමා මටනම් හිතෙන්නේ.ඒකනේ මීට අවුරුදු විස්සකට විතර කලින් මුලින්ම ඇහුන ගීත අදත් ඒ රසයෙන්ම ඒ තිගැස්මෙන්ම අහන්න පුලුවන්.


3 -  Alaipayuthey  (  අලෙයිපායුදේ )මේ තමයි  මගේ හිරිමල් කාලෙ  හිරිමල් හිත හිරිවට්ටපු ෆිල්ම් එක සහ ගීතය,මේ ඉන්නෙ මෑඩ්ස් ( මාධවන් )  මෙයා නිසා තමයි මටත් පිස්සු වැටුනේ.දමිළ චිත්‍රපටි  ප්‍රිය නොකරපු මම අහම්බෙන් බලපු පලවෙනි  දමිළ  ෆිල්ම් එක,මම ඉතින් මේ ෆිල්ම් එකේ රඟපාපු  මෑඩ්ස්ට පිස්සු වැටුනා ඒ හිනාව  මාව හීන ලෝකෙකට ගෙනිච්චා, ඉතින් අන්තිමට  එයා මගේ හීන කුමාරයා උනා. එදා වගේම අදටත්  එයා තමා  මගේ හිතේ  නම්බර් වන් වෙලා ඉන්නේ.පස්සෙ පස්සෙ ඔය පොඩි පොඩි ක්‍රශ් තිබුනත් ඒ කාටවත් බැරි උනා  මෑඩ්ස්ගේ තැන ගන්න.එයා ගැන මම කොච්චර උමතු උනාද කියල දැන ගන්නත් අර කලින් ලින්ක් කරපු පෝස්ට් එකටම ගියාම දැන ගන්න පුලුවන් .



4 -  My heart will go on .. ටයිටැනික් ෆිල්ම් එකේ  ගීතය, එක්තරා කාලෙකදි පිස්සු වැටුණු  ගීතයක් මේකත්.අදටත් ආසාවෙන් අහනවා.ඒ නිසාම මේ ලිස්ට් එකට එන්නවාසනාවන්ත උනා.





5 -  බොම්බේ  ෆිල්ම් එකේ  පුදුම තරම් ආදරේ කරන ගීතයක්. තුහිරේ තුහිරේ... වර්තමානයේ මොන තරම්  ගීත ඇහුවත්  ෆිල්ම් බැලුවත්  මේ  ෆිල්ම් එකවත් මේ  සින්දුවටවත් මගේ හිතේ තියෙන තැන වෙනස් උනේම නෑ.හින්දි එක වගේම මේකේ දමිළ  එකත් එකම වගේ  ලස්සනයි. ඇත්තටම මේ ගීත වල හරිම තේරුමවත් නොදන්නව උනාට මේ ගීත විඳින්න ඒක  කවදාවත්  බාධාවක් වෙලා නෑ.මේ සංගීතය  මේ කටහඬවල් අපිව මොන තරම්  පිස්සු වට්ටනවද.නිදි නැති රෑක මේ ගීතය හිමිහිට දාගෙන අහන්න මම ඉස්සර ඉදලම හරිම කැමති.



6 - Sur  ෆිල්ම් එකේ ආ...බිජා  ආ...බිජා....මේ ගීතයේ වචන නෙවෙයි  මියුසික් පටන් ගන්නකොටම හිතට මොකක්දෝ වෙනව.ඇත්තටම ඒක කියන්න බැරි තරම් මොකක්දෝ අමුතු හැඟීමක්. ඇස් පියාගෙන මේ  සින්දුව අහල බලන්න. මට කියන්න තියෙන්නෙ  එච්චරයි.



7- I want it that way ..backstreet boys  උන්මාදයක් වෙච්ච කාලෙක මගේ හිතට  වැදුන  සින්දුව, සින්දුව විතරක් නෙවෙයි මේ ගෲප් එකේ  ඔය කඩාහැලෙන රත්තරන් පාට  කොණ්ඩෙ තියෙන හාදයා එක්කත් මගෙ පොඩි ක්‍රශ් එකක් තිබ්බා.හැබැයි ඉතින් මාධවන්ගෙ තැන ගන්න උන්දට බැරි උනා.
මේ විඩීයෝ එකතමා මට දාන්න ඕන උනේ කොහෙද මේ  බ්ලොගේ  යූ ටියුබ් වීඩියෝ  අපිට ඕන එකම ගන්න බෑ අප්පා.

8 -කබි කුශි කබි ගම්... මාධවන් සිහින කුමාරය වෙලා  සදාකාලෙටම හිතේ නවතිද්දි අනිත් පැත්තෙන් මගේ ප්‍රියතම  හින්දි නළුව උනේ ශාරුක්.ආදරය විරහව විතරක් නෙවෙයි ආදරණීය දුෂ්ටයගෙ සීනුත් බොක්කෙන්ම කරන එයාට ගහන්න කෙනෙක් ඉතින් තාමත් නෑ මම හිතන්නෙ.ඒ වගේම තමා කාජලුත්  මේ දෙන්න  ඉන්නව කියන්නෙ ඉතින් ෆ්ල්ම් එකත් මරු සින්දුත් මරේ මරු. මේ තියෙනෙ ඒ දෙන්නගෙ සුසංයෝගයේ මගේ ප්‍රියතම ගීතයක්.සුර්‍රජ් හුවා මාධම්..... 


9 - Bachna Ae Haseeno.. ෆිල්ම් එකේ  මම ආසම හිතේ රැඳුනම  ගීතයක්.සින්දුවටත් වැඩිය මම ආස ඇත්තටම මේ ගීතයෙ ජවනිකාවලට, ඒ වගේම දීපිකාගෙ ඇඳුම් වලට ඒ හින්දම තමා මට මේ සින්දුව මතක හිටින්නෙ.

10 -  මොහබ්බත්තීන් .. හම්කො හමීසේ චුරා..ලෝ... මේකත් ආත්මෙත් එක්කම  බැඳිච්ච ගීතයක්.අවුරුදු හතර පහකට කලින් එපා වෙනකන්ම  අහපු එකක්. එපා වෙනකම් කිව්වට ඉතින් එපා උනේ නෑ  ඒකනේ  මෙතන්ට ආවේ.



11 -Michael Learns To Rock...ඉන්ග්ලිශ් සින්දු වලින් කැමතිම  හිතේ රැඳුනම කටෙත් රැඳුනම  එකක්. ඒ දවස්වල එස් එම් එස් වලට එහෙම මේ සින්දුව හරියට ඕන උනා. හී හී. You took my heart away...


12 - Marc Anthony ගෙ My Baby you.... ඇයි මේක මේකත් ඉතින් එසේම තමා. Marc Anthony කියන්නෙ කොහොමත් මගේ ප්‍රියතම ගායකයෙක්,කවදාවත් අමතක නොවන කොච්චර අලුත් අලුත් ගීත ඇහුවත් වෙනස් නොවන රසය.

13- Arash ගේ Broken Anjel ප්‍රේමයෙ උච්චතම කලයේ එලියට ආපුවා.. ඒ නිසාම පුදුම රසයක්  විරහවක් ආදරයක් දැනුනා.


14 - Rain over me ...මේ  Pit bull  කියන හාදයට මගේ එච්චර මනාපයක් නෑ ඒ නම නිසාද එහෙම නැත්තන් ඒ මූණටද එහෙමත් නැත්තන් ඒ දෙකටමද මන්දා. හැබැයි Marc Anthony  එක්ක කියන මේ සින්දුවටනම් මම මාර ආසයි.නටන්නත් මේක මරු.

15 -  රොජා  දමිළ  චිත්‍රපටියෙ මේ ගීතයත් කොහෙදි කොහොම ඇහුනත් අහන් ඉන්න ආස හිතෙන ගීතයක්.භාෂාව තේරුනේ නැති උනත් වෙලාවකට කරච්චලයක් වගේ ඇහුනත් සමහර දමිළ ගීත පුදුම තරම් හිතට දැනෙනවා.
 



  16 - Phire to pabo na ...මෑතකදි කණට ඇහිල හිතට වැදුන  මියුසික් වෝඩියෝ එකක්.මේක බංගාලා සින්දුවක්නෙ මෙලෝ දෙයක් තේරෙන්නෙනම් නෑ  කියන්නෙ මොනවද කියලා  ඒත් මේ  සංගීතය  මේ කටහඬ හිතට මාරම විදියට දැනෙනවා.මේකෙම  සිංහල වර්ශන් එකකුත් තියෙනවනෙ ඒකත් නරකම නෑ.


 17 - වසීගරා....මේ  ඉතින් මගේ සිහින කුමාරය නිසාම  හිතේ පලපදියම් උන  සින්දුවක්.ඉස්සරනම් මෙයා මේ නටන නැටුම් වලට එක එකී එක්ක මට  මාර කේන්ති. ඒත් ඉතින්  දැන්නම් හිත හදාගෙන ඉන්නේ.එයාට හොදනම් මට මොකෝ කියල ඉන්නව. හි හී


 18 - July i love u....මේකත් හිත සසල කරපු ගීතයක්, මුලින්ම ඇහුවේ කවීතා පෝද්වාල් කියන  එකක්, ඒත් ඔර්ජිනල් එක  ෆිල්ම් එකක සින්දුවක් කියල දැන ගත්තම  තමා ෆිල්ම් එක හොයන් බැලුවෙ.කිශෝර් කුමාර් සහ ලතා මංගේශ්කාර්ගේ  ලස්සනම  සින්දුවක්.


19 - Dil...  ෆිල්ම් එකත් පොඩි කාලෙ බලමු ෆිල්ම් වලින් අමතක නොවනම එකක්, සින්දු ටිකත් ඉතින්  ඒ වගේම අමතක වෙන්නෙ නෑ.අනික මේ ජෝඩුවත්  හින්දි සිනමාවේ බොහොම අපූරු පෙම් යුවලක්, අමීර් , මධුරි.දිල් ෆිල්ම් එකේ මේක තමා මම ආසම  සින්දුව.මුජෙ නීදනේ ආයේ......

20 - ෆිල්ම් එකේ තියෙන මේ ගීතයත්  හිතේ  තියෙනව අමතක නොවෙන ගීතයක් විදියට.මේ කටහඬට  මේ  සංගීතයට මම  ගොඩක්ම ආසයි. ම්ම්ම් ෆිල්ම් එකත් නරකම නෑ.

ඉතින් ඔන්න ඔහොමලු අමාරුවෙන්  20ක් තෝරගත්තෙ තව දානවනම් දාන්නත් පුලුවන් මහ ගොඩක් ඒත් ඉතින් ඉවරයක් තියෙන්නත් ඕනෙනෙ.මේ තමා ඉතින් එදා මෙදා තුර  අහපු  රසවිඳපු  සිංහල ඇරුනම වෙනත් භාෂා වලින් ගයපු ගීත වලින් මට මුලින්ම සිහිවෙන අල්පය.ඔන්න ඉතින් දවස් දෙක තුනක් තිස්සේ තෝරල තෝරල අද ඉවර කර ගත්ත.

ඉතින් දැන් කවුද කැමති ඔයාලගෙ ලිස්ට් එකත් එළිදක්වන්න, සින්හල නොවන ගීත.. ම්ම්ම්ම්  කැමති කට්ටිය දාමු බලන්න  එහෙනම්.


                        


22 comments:

  1. 1, 2, 5, 6 සහ 18 ට මගේ මනාපය. ඒ වගේම "දිල්" චිත්‍රපටියටත් ඒ කාලේ ගොඩක් කැමතියි. කීප වතාවක්ම දිල් බලලා තියෙනවා. අමිර් සහ මදුරි මුනට කේක් එකෙන් ගහගද්දී ඒවා තාත්තලාට වදින සිද්දිය තාමත් මතකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දිල් කියන්නේ සොඳුරු මතකයක් මටත්, ඒකේ අර මධුරිව අමීරි උස්සගෙන යන සීන් එක දැකලා අපේ තාත්තා ඒ ෆිල්ම් එක අපිට බලන්න දුන්නේ නෑ ඊට පස්සේ අපි මාර ගේමක් දුන්න ෆිල්ම් එක හොයාගෙන බලන්න හි හී

      Delete
  2. 'ආබිජා' ගීතයේ පසුබිම් කතාව හෝ කිසිවක් මං දන්නේ, ගීතය විතරයි අං අහල තියෙන්නේ, රූප රාමුත් නරඹලා තියෙනවා, ඒක ගැන ආයේ කතා කරන්න වචන නෑ, ඒ තරම් ලස්සනයි.

    'මුජේ නීන්දන අයේ' ත් මගේ කැමැතිම ගීතයක්

    'වසීගරා' ගීතයත් ඒ වගේ එකක්, ඔබ වසඟ කලාය කී ඒ තරුණයා පන පෙවූ ගීතයේ 'වසීගරා' දෙමළ වචනයේ අර්තයත් 'වසඟ කරන්නා' බව ඔබ දැන සිටියද මන්දා

    Broken Angel මා වඩා ප්‍රිය කරපු කෙනෙක්ගේ ප්‍රියතම ගීතය නිසා එය මගෙත් ප්‍රියතම ගීතය වුනා

    ඔබට ජය​

    ReplyDelete
    Replies
    1. ම්ම් බොහොම ස්තූති මේ පැත්තට ගොඩවෙලා අදහස් දැක්වුවට, බලාගෙන යනකොට එකම රහ තියෙන අය තමා වැඩිපුර ඉන්නේ.අද තමා වසීගරා කියන එකේ තේරුම දැන ගත්තේ.හින්දි භාෂාව ගැන වැඩිපුර හෙව්වට දමිළ භාෂාව ගැනනම් ඒ තරම් හොයලා නෑ.අම්මෝ ඇත්තටම එයාගෙ හිනාවනම් මාව වසඟ කලා තමා.

      Delete
  3. තෙරේ බින්දියාරේ.. ජූලී.. ආබිජා මගෙත් ආසම ගී කිහිපයක්.හින්දි චිත්‍රපටි බැලෙනවා අඩු නිසා අලුත් ගීත ගැන නම් වැඩි අවබෝධයක් නැහැ.පී.කේ ෆිල්ම් එකේ ගීත ටික නම් අපූරුයි.

    වෙස්ට්ලයිෆ් මඟ හැරිලා නේද මේ ලිස්ට් එකෙන්.ඔවුන්ගෙ මයි ලව්,හෝම්,බියුටිෆුල් ඉන් වයිට්.. ඒ වගෙම බැක්ස්ට්‍රීට් බෝයිස්ලාගෙ ෂෝ මී ද මීනින්,ලයනල් රිචීගේ හෙලෝ,අයි ජස්ට් කෝල්ඩ්,ක්‍රිස්ටිනා පෙරීගෙ තවුසන්ඩ් ඉයර්ස්.. මාව උන්දමාදයට පත් කළ අන්‍ය භාෂාවල ගී.

    ReplyDelete
    Replies
    1. මමනම් තාමත් හින්දි ෆිල්ම් බලන එක අත ඇරලා නෑ, හැබයි ඉතින් ඇත්තටම තාමත් ලස්සන අර පොඩි කාලෙ අහපු ඒවා තමා වැඩි හරියක්ම.බැක්ස්ට්‍රීට් ලගෙ හැම ගීතයකට වාගෙම ප්‍රියයි , ලයනල් රීච්ගෙ හෙලෝ ගීතය එක්ක බැඳුණු පොඩි කතාවකුත් තියෙනවා මගේ අතීතයේ.ඇත්තටම මට ඒ ගීතය ඇහෙන වෙලාවට ඒක ලයනල් රීච්ටත් වඩා හොදට කියපු වෙන කෙනෙක්වමයි මතක් වෙන්නේ.මේ ලින්ක් එකට ගියොත් ඒ කතාවත් කියවන්න පුලුවන් වෙයි.

      http://kavisandalla.blogspot.com/2012/09/blog-post_19.html

      Delete
  4. අභිමාන්, ආරාධනා මමත් කැමතිම හින්දි චිත්‍රපට දෙක. අභිමාන් චිත්‍රපටයේ මමත් කැමතිම ඔයා තෝරලා තියෙන ගීතයට තමයි. ආරාධනා එකේනම් අර දෝංකාර දිදී කියන 'Korakaagaz thaa yeh man meraa' තමයි මම කැමතිම එක. කොහොමත්, සින්දුව කොහොමට තිබ්බත් රාජේෂ් ඛන්නානම් ඉන්නෙ මං ආයෙ අත අරින්නෙ නෑ. :D

    ටයිටැනික් චිත්‍රපටයේ ගීතයත් මමත් තාමත් ආසාවෙන් රසවිඳින ගීතයක්. ඔයා තෝරලා තියෙන ගීත එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම එකම මගෙත් ආසම ගීත, එහෙමත් නැත්තම් ආසම චිත්‍රපට වල ගීත. දැන් ඉතින් මේක දැකලා මටත් මෙහෙම එකක් ලියන්න හිතිලලු තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. හා... හා... අන්න හොද වැඩක් එහෙනම් තවත් රැල්ලක් ඇතිවෙයි වගේ.බොහොම ස්තූති මෙහෙ ඇවිත් අදහස් කියලා ගියාට හොදේ.

      Delete
  5. 16 බංගලි ගීතය මම අහල තියන විදිහට නම් සිංහල ගීතය තමයි මුලින්ම නිකුත්වෙලා තියෙන්නෙ.
    හිංදි සිංදු ටික නං ආයෙ කියල වැඩක් නෑ මල් මසුරන්.. ඔක්කොම අසම සම ගීත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අහා.. එහෙමද ඒ ගැන මම දැනගෙන හිටියෙ නෑ මම මුලින් ඇහුවේ බන්ගාලි ගීතය.ස්තූති දැනුවත් කිරීමට... ජය වේවා...

      Delete
  6. අන්තිම එක අහල නෑ.... අනිත් ගොඩක් ඒවට මාත් කැමතිී... සිංහල සිංදු වලට පස්සේ ගොඩක්ම කැමති හින්දි, ඉන්ග්‍රීසි සිංදු වලට...

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම ජනප්‍රිය වෙච්ච ෆිල්ම් එකක සින්දුවක්...මගෙත් ඉතින් සින්හල් වලට පස්සේ කැමතිම හින්දි තමා.

      Delete
  7. ඔබ පටන් අරන් තියෙන හින්දි ගීත රැල්ලට සුභපැතුම්. දැනටමත් තව කෙනෙක් දාල.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙමද....බලන්න ඕනේ ඒකත් එහෙනම් මේ පෝස්ට් ටිකත් එහෙනම් ඔයාගේ අර ලිස්ට් එකටම ඇඩ් කරන්නකෝ

      Delete
  8. අනෙක් අයටත් දාන්න කියල ආරාධනා කරන්න.

    ReplyDelete
  9. මමත් අභිමාන් ෆිල්ම් එකේ හැම ගීතයට මයි ඒ කතාවටයි හරිම කැමතියි.. මම මුලින්ම මේ ෆිල්ම් එක බැලුවේ ෆිල්ම් හෝල් එකකට ගිහින් අවුරුදු 8-10ක් කාලේ.. අපේ තාත්තගේ දෙවනි නංගිගේ පවුලේ අය අපේ ගෙදර ආපු දවසක. එදා ඉඳන් අද වෙනකන් ඒ තේමාව සංගීතය චරිත මට අමතක වෙන්නේ නැ...

    අනිත් හැම සිදුවක්මත් අහලා රසවිඳලා තියනවා.. ඇත්තටම සොඳුරු සඳවතී ඔයා කියනවා වගේ භාශාව දන්නේ නැති උනත් රසවිඳින්න ඒක කොහෙත්ම බාධාවක් නෙමේ නේද...

    හින්දි ගී විතරක් අහම්බෙන් තේරුවා මම ඊයේ, වෙලාවක් තිබ්බොත් ඇවිත් බලන්නකො..ඔයාගේ මේ පෝස්ට් එකට පාර කිව්වේ සිත්තමී..

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ ගීත කීපයක්ම රසවිඳලා කමෙට් එහෙම දාලත් ඉවරයි ඊයෙම,පොඩි කාලෙ අහපු ගොඩක් ගීත ඔයාගෙ එකතුවේ තිබුනා, ඒවා වැඩි හරියක් චිත්‍රපටි ගීත නොවීමත් විශේශයි.

      Delete
    2. අනේ ඔයාගේ නමයි , බ්ලොග් එකේ නමයි මට පැටලිලා කාව්‍යා.පස්සෙයි තේරුනේ ඔයා ඇවිත් ගිහින් කියලා මම කියන්නත් කලින්...

      Delete
    3. හි හී ඔව් ඔව් බ්ලොග් එකෙ නමයි මගේ නමයි දෙකක් නිසා කට්ටියට පටලෙනවා

      Delete
  10. නෙට්වර්ක් තියන තැනකට ගියපු ගමන් ඔක්කොම බාගෙන ප්ලේ ලිස්ට් එකට දාගන්නව කියල තමයි ඉස් ඉස්සරෝම හිතට ආපු දේ. පලවෙනියටම ගොඩ වුණු දවසෙ හම්බුණෙ අපූරු තෑග්ගක්. ස්තූතියි සඳවතී.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතී ගොඩක්ම මෙහෙ ආවට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...