සඳට බැළුම් හෙලූ අය

Jun 26, 2017

රයිටර්ට කමෙන්ට් කවි !




ඔය බුකියේ  පැතුම් බණ්ඩාර ඉන්නවානේ කට්ටිය එයාව දන්නේ රයිටර් කියලා. ඔව් ඔව් බ්ලොග් එකකුත් තියෙනවා සිතුම් පැතුම් කියලා ඉස්සර බොහොම ජයට ලියවෙච්චි බ්ලොග් එකක් තමා ඔය.දැන්නම් වල් වැදිලා.

බ්ලොග් එක පැත්තක දාලා එයා දැන් බුකියේ බොහොම අපූරු කවි වගේ එව්වා ලියනවා.වැඩි හරියක් ඉතින් ප්‍රේමය ශෘංගාරය ගැන තමා.ආදරවන්තයින් , විවාහ උන අඹුසැමි යුවළවල් අතරේ හුවමාරු වෙන ප්‍රේමයේ බොහෝ ඉසියුම් තැන් අරගෙන එයා හිතා ගන්නවත් බැරි විදියේ ආදරණීය කවි ලියනවා. ඉතින් ඔහොම එව්වා දැක්කම මේ මම වගේ අයටත් නිකන්නම් ඉන්නම බෑලු. ඉබේම කවි ලියවෙනවා.ඉතින් අන්න එහෙම රයිටර්ගේ මම කැමතිම කවි කිහිපයකුයි ඒවාට මම ලිව්ව කමෙන්ට් කවියි තමා අද මේ තියෙන්නෙ.

 
සුප්‍රේමවන්තය,

ඔබ දල්වා නිවා ගිය,
සිගරට් කොට
ෆිල්ටර අගින්,
යළි යළිත් දැල්වෙයි
ප්‍රේමය !

දැවීගිය ඔබෙ
හාදුවක රස,
යළි යළිත් මතුවෙයි,
දෙතොල් සලකුණු රැඳි,
විස්කි බඳුනත,

බොහෝ ඇවිටිලි කර
ගෙන්වා ගත්
කමිසයක සුවඳින්,
පිරියයි මා ළය
අඳුරු ලෙන් කුහරද,

ඔබ ඉතිරි කර ගිය
ශේෂ මධු බඳුනට,
පවරා බාර කරනෙමි
රැයකින් ඉතිරි හරි අඩ - පැතුම් බණ්ඩාර ( රයිටර් )

සුදේහිනිය...

ඔබේ මුඳු හාදු
දහසකින්
මන්මත්ව
තාමත් සිහිවිකල්ලෙනි
මා මනස් විල

දෑ සමන් මල් සුවඳ රැදි
ඔය දිගු වරල්
කෙහෙ රොදක
යලි යලිත් පැටලැවෙයි
මා හද නිරන්තර

සියුම් පිරිමැදුමකින්
අවදිවුණ
රණ තිසරු නැගූ ඒ
නුරා හඬ
නින්නාද දේ සවනත
ආශාවේ හීගඬු නංවන

එකී ප්‍රේමයේ
උත්කර්ශයේදී
ඔබ සපා කෑ උර බාහුවක
ලේ සලකුණ
ඉතින් තනි මකාවී
මේ රැයේ ඉතිරි හරි අඩට...
- (සොඳුරු සඳවතී )





ඉතින් ඔබ,
අදින් මතු
රැකගත යුතුය,
එ'දෙතොල් පෙති
තබා මුදු හාදු නිති,

හොවා හිස
ළය තුර,
සෙමින් පිරිමැද
කෙහෙරැළි,

ඈ සැනසවිය යුතු,
ඈ අස්වැසිය යුතු,
මුවින් නොබිණෙන
නෙතින් පමණක් ඉඟිලන,
සියක් කැල්මන්
ඈ සතුව ඇත,

ඔබම වටහාගෙන
දැන හැඳිනගත යුතු,
ඇගේ අත හිමි
"නාන්නාඳුනන හිතවත",

මා නැති අඩුව
ඔබ,
මින් මතුව
පිරවිය යුතු,

ඒ දෙනෙත්
සුරැකිය යුතු,
කඳුළු අමතක කර,
සිනා මල් දෙතොලග
පළඳවාලිය යුතු,
ඇගේ හද දිනිය යුතු...!  - පැතුම් බණ්ඩාර ( රයිටර් )


මා ප්‍රියම්බිකාවගේ
පෙර
සිත් ගත් පෙම්වත !

ආදරය කලානම්
අත නොහැරිය යුතු
දිනන තුරු සටන් කල යුතු !

එම්බා ජඩය !
තා දැන ගත යුතු

ඈ අතැ'ර දැන්
සෝක කවි නොලිය යුතු
ඈට හාදු දෙන ,
ඈ රකින සැටි මට කියා නොදිය යුතු !

මා ඈ රකින හැටි ,
ඈ මා හා ප්‍රේමයෙන් වෙලෙන හැටි
තා දැකිය යුතු !

ඒ විස්සෝපයෙන්ම තා
මෙයින්මතු
දිවි ගෙවිය යුතු !
  -  (සොඳුරු සඳවතී )                                                       

අඩක් බී අවසන්
ඇල් කෝපි බඳුනක,
ඔබෙ දෙතොල් සලකුණු
සොය සොයා වෙහෙසුණ හවසක,
පුපුරා ගියේ ළය මතිනි පළමුව
එ'ප්‍රේමයෙහි සොමි අකුණු සර,

කන්තෝරු කාමරය අස,
පොත් මේස දෙක
කෙළවරම කොණ,
අඳුරු පටු තැනදිය ඔබ,
කියා දුන්නේ මට
හාදුවක උපරිමම රස,

උඩරට විසූ
කුල කුමරියක හිත,
පාවා දී තිබුණූ බැවින්
පළඳවා මංගල
මුදුද අත,

"පුද්ගලික ලේකම්"
තනතුරම මිස,
උසස් වීමක්
ලද නොහැකි විය
"බිරිඳක" ලෙසින් මට  - පැතුම් බණ්ඩාර ( රයිටර් )


සීත කල කාමරේ
දොර දාර අගිස්සෙන්
කඩා පනිනකොට මුඳු
කොලෝන් සුවඳ
දනිමි ඊළඟ නිමේශය
ඒ වටකුරු දෑස් අස
මා අතරමං වෙන මොහොත බව...

බොහෝ හෙමිහිට ගලපන
හරි අපූරු ගැහැණු කම් ලඟ
කුමට බැඳුනිදැයි නොදනිමි මා අත
අන් සුරතක ඔබ හමුවන්නට පෙර...

යතුරු පුවරුව මත
හැල්මේ දිවෙන දෑඟිලි
වෙව්ලවා මොහොතකට
අතරමඟ නවතින
ඒ' මොහොත තමයි
ඔබෙ සුවඳ මට
හරි ළඟින් දැනෙන...

අඳුරු කල රිය කවුළු මැද
විඳිනකොට ඔය දෙතොල සුව
බුර බුරා නැගෙන මා හද
ප්‍රේමයේත් අනුරාගයේත්
එකම එක අයිතිකාරිය
ඔබම පමණක් බව
යලි යලිදු යලි යලිදු
දිවුරා කියමි මම ...
- (සොඳුරු සඳවතී )         

                                             



අතොරක්
නැතුව කියවන,
සොඳුරු
කං කරච්චලයකි,
ඔබේ මුව...

හදිසියේ
කඩා පැන,
බදා තුරුළට ගෙන,
සෙමින් දිගු
හාදුවක් මුව,
අතුරන එකයි
විසඳුම...

උණුසුම් හද
ළමැද පහසින්
මිදෙන්නයි මට,
ඉන් පසුව
අපහසු.. - පැතුම් බණ්ඩාර ( රයිටර් )


සතියකට පසු එළැඹි
සොඳුරු හමුවකි
අද ඔබේ හා මා
ඉතින් ,
ගිරවියක් සේ දොඩමලුය
මා ඔබ අස...

ඇසිපියකුදු නොහෙලා
අඩ සිනහ මුව රදවා
අනිමිසයකි ඔබ මා
දෑස මතම..

සැනින් දිඟු දෑඟිලි
තමා මා මුව මත
ෂ්..ෂ්..ෂ්.ෂ්..හඬින්
නිසොල්මන් කර හාත්පස..

ඉතින් ,
ඔය තැඹිලි පැහැ තොල්
මා මුව මත
සිර කරන තත්පරය තමයි
මට මගේ හුස්මද අමතක වන   - (සොඳුරු සඳවතී ) 




නොදැනුවත්කමින්
බොත්තමක්
ගිලිහුණ,
ඔබේ අත් නැති
සුදු හැට්ටයෙහි,
පුළුල් කර අතරින්
මා නෙතු,
කිමිද ගිය වග
හැබෑවක්...

සත්තටම එය,
අකු අස්ථි තලා
නිම් මඩලෙහි පිපි,
ගෝමර මල්
කිණිත්තක්,

රහස් බැල්මකින් නෙලා
සිපගත් බැවින්,
එ'මල් පෙති
කිහිප සැරයක්,

ම'ළය පෙඟී,
දැදුරු වී ඇති බවට,
තවමත් ඔබ
නොදත් රහසක්....!
- පැතුම් බණ්ඩාර ( රයිටර් )


අහම්බෙන් විවර උන
ළැම බෙදුම මත
විනිවිදින ඔය ඇස් දෙක
අල්ලා ගතිමි මම
එකම එක තප්පරේකට...

දඟකාර කමක් මිස එ'ඇස් වල
දුටුවෙ නැති හින්දාම
රුදු සලෙළ බව
රතු උනා මා ගතම
නුහුරු හැඟුමකට...

විලිබරව තිගැස්සෙන
ළැම පොට්ටු මත
වෙහෙසන්න එපා
ඔය හැටිම ඇස් දෙක
ඔබ හොරෙන් නෙලා ගත්
ගොමර මල් වල
අයිතිකරු ඉන්නවා
මගේ වම් පස...  - (සොඳුරු සඳවතී ) 

29 comments:

  1. මම රයිටර් උනානං අම්මප හොයාගෙන ඇවිල්ලා ඉන්න තැනකින් උස්සාගෙන යනවා සට්ටලං ට කුද ගහගන්න කියල...

    මෙහෙව් තකට තක ගැලපීමක් හැබෑට!!!

    ReplyDelete
    Replies
    1. හි හී රයිටර්ට එහෙම මානසිකත්වයක් නැති බව දන්න නිසයි මෙහෙම නිදහසේ මගේ සිතිවිලි මුදා හරින්නේ.

      Delete
    2. රයිටර්ට නැති වුණාට කමීට තියෙනවා lol

      Delete
    3. ඒක තමා ඉයන් මාත් මේ කල්පනා කලේ. මේකාට කමෙන්ට් කරනකොට පරිස්සමින් කරන්න ඕනේ. හොද වෙලාවට කවි ලියන්නෙ නෑ

      Delete
  2. රයිටර් කවි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. මධු බේරෙනා කවියක් රයිටර් ලියපී
    සඳු ඒවාට පිළිතුර කවියෙන් කොටපී
    පොදු කවිකාරකම හිත මත දඟ දමපී
    බුදු අම්මෝ කියා හනිකට මම දුවපී.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. හම්මා.......

    ඒකත් එහෙමද?

    රයිටරේ එහෙනම් බුකියේ කවි ලියනවා අර ලස්සන බ්ලොග් එකට කුඩම්මාගේ සැලකිල්ල දීලා?? බෝම නාකයි, ඒ මදිවට ලියල තියෙන එව්වා ඊටත් වඩා නාකයි!!!

    ඒ පැත්තේම තමයි මමත් ඉස්සර ලස්සන කවි කියෙව්වේ... ලස්සන ගලපිමක්නේ.. කවියෙන් කවිකට උත්තර දෙනවා කියන්නේ මම ආසම උත්තරයක්. හැකියාවක් නැති නිසා කට පියාගන්නම්.. ඒ උනාට ඉස්තරම් කවි!

    ReplyDelete
    Replies
    1. නාකයි කියන්නෙ පුදුම නාකයි...මේ මනුස්සය උදේම ඔය වගේ පැණි බේරෙන කවි කොටලා ස්ත්‍රී පරාණ පිස්සු වට්ටනවා.ඔව් හැබැයි බ්ලොගේටනම් කරන්නේ පට්ට අසාදාරණයක්. මේ ඒක නෙවෙයි ලිඛිතෝ ඔයාටත් තියෙනවද බ්ලොගයක්.

      Delete
    2. [මා ප්‍රියම්බිකාවගේ
      පෙර
      සිත් ගත් පෙම්වත !

      ආදරය කලානම්
      අත නොහැරිය යුතු
      දිනන තුරු සටන් කල යුතු !

      එම්බා ජඩය !
      තා දැන ගත යුතු

      ඈ අතැ'ර දැන්
      සෝක කවි නොලිය යුතු
      ඈට හාදු දෙන ,
      ඈ රකින සැටි මට කියා නොදිය යුතු !

      මා ඈ රකින හැටි ,
      ඈ මා හා ප්‍රේමයෙන් වෙලෙන හැටි
      තා දැකිය යුතු !

      ඒ විස්සෝපයෙන්ම තා
      මෙයින්මතු
      දිවි ගෙවිය යුතු ! ]


      This is super!!!

      Delete
    3. ඒ කවි වලට මමත් ටොයින් ටොයින් වෙලා හැමදාම දත විකාගෙන එහෙම රොමැන්ටික් එව්වා ලියන්න හදනවා... නෑනේ තාම හරි ගියේ... ඊට පස්සේ ඔයාම ඒකට චෝයි හේතුවක් ලියලා තිබ්බේ කවියෙන්.. ( කවියක් සරණ ගිය කවිය)

      ආන්න එහෙම හිතාගෙන , ඒ කියන්නේ 'ඔය පිච්චු හැදෙන කවි ලිව්වේ නැතුවට අපිත් හෙන රොමැන්ටික් තමයි' කියලා පාරම්බාන්ට හැකියි දැන් මට! හා නැද්ද?

      මට බ්ලොගයක් ඇත.... මැස්සෙක්වත් නැත. මෙතැන ලින්ක් දැමීමට ලැජ්ජාය. තත්වය ඒ තරම්ය


      මෙහ්.. ඒවා මේවා වානා.... කරුණාකරලා අර කතාව ලියනවා හොඳයි... දැන් සතියකට වැඩියිනේ අරුන් දෙන්නා තාමත් අර ඔෆිස් එක ඇතුලේ!

      Delete
    4. එහෙම කියලා හරියන්නේ නැ ඉතින් වහාම ලින්කුව දාන්නයි කිව්වේ.හුටා... උන් දෙන්නා තාම ඔෆීසියේ නේද සුමානය්ක් තිස්සේ අම්මෝ මොනා වෙලද දන්නෙ නෑ

      Delete
  5. ඔය මනුස්සය බුකියට වෙලා ඉන්න ගමං අර බ්ලොග් එක ලිවුවනං කොච්චර හොඳද.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉස්සර ආසාවෙන් කියවපු බ්ලොගයක් නෙව

      Delete
  6. හදිස්සියෙ ආවෙ හෙට එන්නම් නිස්කලන්කෙ කියවන්න

    ReplyDelete
  7. ගොඩක් ස්තුතියි සශි අක්කේ !!! <3

    ReplyDelete
    Replies
    1. ආ... මේ . ඉන්නේ.කරුණා කරලා අපිට කරන උදව්වක් විදියට ඔය කවි දානවද බ්ලොග් එකේ.... අපි බුකියේ නැහැනේ ආයුබොවන්ඩ

      Delete
    2. ම්ම් ම්ම් ම්ම් ට්‍රයි එකක් දෙන්න ඕන බලන්න හැබෑටම !!

      Delete
    3. ඔයාටත් ඉස්කෝතුයි රයිටර්..

      Delete
    4. ආයෙ අමුතුවෙන් ට්‍රයි කොරන්න ඔනෙද ලියපු එක බ්ලොගේටත් පේස්ට් කරන එකනෙ තියෙන්නෙ

      Delete
  8. රයිටර් නම් හබම කවියෙක්ය.... සොඳුරු සහ ලිඛිතා හැබෑම කිවිදියන්ය... මං එහෙම කියලා බැලුවේ දුක හිතිලා ඔය කව්රු හරි මට මගේ වගේ තියාගන්න කවියක් දෙයි ද බලන්න...
    ශානි මට පුළුවන්කමක් තිබුණා නම් මං ඔය කවිකම හොරකම් කරලා.....

    ReplyDelete
    Replies
    1. හී හී ගන්න අනේ මේ ඕන කවියක් තියා ගන්න ගන්න ඉතින්.ඔන්න ඔන්න දැන් ඔයා කියන්නේ ඔයාට ඒ හැකියාව නෑ කියලද? ගහ දන්න අපිට කොළ මොකටද මෙයා

      Delete
  9. අදහගන්න බැරි තරමට විශිෂ්ට කවි.. රයිටර් ගැනත් ඒකමයි කියන්න වෙන්නෙ.
    සුදේහිනිය මම කියෙව්වෙ ඊයෙ FB එකේ... ඒකෙත් මම පට්ටයි කියලා කමෙන්ට් කලා..
    රොමෑන්ස් ඕවර්ලෝඩඩ්..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් උනාම දැනුන සතුට තරම්මයි මේ කමෙන්ට් එක දැක්කමත්.බ්ලොග් ලියන කෙනෙකුට හදවතින්ම කමෙන්ට් දෙන අය බොහොම වටිනවා එහෙම අය නිශ්ශබ්ද උනාම හරි පාඩුයි.ෆ්බී එකේ ඔය පොඩි කමෙන්ට් එකක් දාලා යනවා වගේ නෙවෙයි මෙහෙම විචාර විවේචන ඇගයීම් ඕනෙ මටනම්.

      Delete
  10. ඔව් ඔය රයිටර් fb එකේම විතරයි. ශෂි අක්කට පින් සිද්ධ වෙන්න වල් වැදිච්ච බ්ලොග් එක මකුණු දැල් පිහිදලා ගත්තොත් හොඳා... කවි ටික නම් මසුරං හොඳේ.. මාත් ආසම කවියෙක් පැතුම් අයියා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ නගෝ බලන්න මේකා හොද කතා කාරයෙක් ඉස්සර ලියපුවා මරු. ස්තූතී ඇගයීමට හොදේ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...