සඳට බැළුම් හෙලූ අය

Sep 21, 2018

Rain Over Me !




ඈත දුරින් තාල තියන අකුණු සරක හඬ අහන්න
හීන් සීරුවේ ගෙට එන හිරිකඩකට සලිත වෙන්න
මෙච්චරක්ම ඉවසපු මල් පෙති මත ඔය තෙත තියන්න
ඉතින් ඔහොම හදිස්සියයෙම අනෝරාව ඇද හැලෙන්න

රාත්‍රියම නිරුවත් කල බිනර හඳට ගතු කියන්න
මලක් උනත් කැමති ඇත්තෙ තරු එළියක සලු උනන්න
කතා කරන කොට තරු ඇස් හාදු කන්ද අතාරින්න
නා දල්ලක පහස ඕනේ වයින්  වලට පාට දෙන්න

වාං දමනකොට වැව් දිය හීං හඩින් දරාගන්න
රළපනාව ළඟ මොහොතක් මාන්සියට නතර වෙන්න
පාන්දරට වත් ඩිංගක් පුලුවන්නම් ඇහැ පියන්න
හීන් සීරුවට හීතල තව හයියෙන් තුරුලු වෙන්න

17 comments:

  1. මේකට නං එක කොමෙන්ටුවක් දාලා මදි අෆ්ෆා... හිතට ආපු කොමෙන්ටු වලින් දෙක තුනක් වත් ලියන්ටෝනෙ...

    1. කොහෙන් එන වචනද බොල මේ... අර මස් ඉඹුලයා පරිකල්පනය කියන්නෙ මේකට වෙන්ටැ... සුෆිරි!
    2. ඔහෙට සෑහෙන්ට වැස්ස වගේ...
    3. වාං දාලා දාලා මහන්සිත් ඇති නෙ... රළපනාව ලඟ ඉන්න ගමන් බොමුද සීතල වතුර වීදුරුවක්?
    4. ...

    ReplyDelete
    Replies
    1. 1 අනේ මන්දා ඉතින් සිතුවිලි උනනවා මම අකුරු කරනවා
      2 එක සීරුවට උදේ ඉදන්ම
      3 වතුර එපා හොට් චොක්ලට් රෙඩ් වයින් වගේ දෙයක්නම් සෝයි
      4 ..................

      Delete
  2. මම නං කැමති වැස්ස ඇවිත් මහ හයියෙන් ඉරි තැලිච්ච වැව පිරිලා පුසුඹ දිදී වාං දාන මොහොතේ ගොවියෙක්ගේ හිතේ පිපෙන බලාපොරොත්තුවක් වෙන්න...හොට් චොකලට් වලට වඩා ඒක හරිම රසවත්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...ඒත් බොහෝ වෙලාව මගේ හිතින් අකුරු වලට පෙරලෙන්නේ මම දකින මම විඳින විඳවන දැනෙන දේ..අනුන්ගේ දෙයක් උනත් ඒ අනුභූතියෙන් මම සසල වෙන්න ඕනේ කම්පනය වෙන්න ඕනේ.හිතේ ලියවෙන දේ කොහේ හරි ලියාගෙන නිර්මාණයක් කරනවා මිසක් මේන් මේ ගැන ලියන්න ඕනේ කියල වාඩිවෙලා හිත හිත ලියන අවස්ථා බොහෝම විරලයි.ඉතින් ඉදලා ඉදලා වහින වැස්සක් ගෙදර ජනේලෙන් බලන් ඉදල මම විඳින ආසන්නම හැඟීම සිතුවිලි වෙනවා මිසක් ඒ වෙලාවට මට අනුරාධපුරේ පොලොන්නරුවේ ගොවියන් සිහි වෙන්නෙ නෑ අවංකවම.මම අවංක ඒ මොහොතේ මාව කම්පනය කරන දේටයි.එතනින් එහාට යන්න එක්කෝ මගේ පරිකල්පනය පුළුල් නෑ එක්කො කවි සිතුවිලි වලින් පවා මම ආත්මාර්ථකාමියි. ඕං ඔය නිසා තමා මට යුගයේ ලියන්නියක් වෙන්න බැරි අප්පා...මම , මගේ, මට, මාව හරියටම ( නො ) දන්න අය කියන්නේ එහෙම තමා මට...

      Delete
    2. අපොයි දෙයියනේ වැස්සක් ගිහිං තියන දුර....අනේ මම කිව්වෙ මගෙ කැමැත්ත මිසක් වැස්ස දැක්කම හිතෙන දේ නෙවෙයි....වැස්ස දැක්කම මට හිතෙන්නෙ ආ...මේ සීතල වැස්සේ අත පය දිගෑරලා ටිකක් නිදාගන්ඩ ඇත්නම් කියල...ඕං සහතික ඇත්ත...

      Delete
    3. එච්චරක්ද ඉතින් තව කොච්චරක් කරන්න පුලුවන්ද වැස්සකට.යන්න එන්න අය නැතුව වේලිලා කරකුට්ටන් උන බ්ලොග් එකකට එන අය කමෙන්ට් එකක්වත් නොදා යන බ්ලොග් එකකට එහෙම නැත්තන් හරී චෝයි ලස්සනයි කියනවට වඩා මේ වගේ සංවාද සාකච්චා ඇති කර ගන්න පුලුවන් කමෙන්ට් එහෙමත් වැටෙන්න පුලුවන්නේ වැස්සක් හේතු කරගෙන ... හා නැද්ද....


      වැස්ස දිහා බලාගෙන කවියක් එහෙම ලියලා ඊළඟට මමත් කැමතිම හොද නින්දක් දන්න තමා හැබැයි.

      Delete
  3. හරිම ලස්සනයි සඳූ. වෙලාව මදිකම නිසාල්ම පිළිතුරු කවියක් කියන්න බැරිවුනාට සමාවෙන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ දුමී... ඉඩ තියෙන වෙලාවක ලියන්නකෝ

      Delete
  4. මටත් මේකට කොමෙන්ටු තොග පිටින් ආවා.
    1. අකුණු තාල තියනවැයි කියන පරිකල්පනාව කොහෙන් ආවද.
    2. ගෙට එන හිරිකඩ වලට කැමති වුනේ කොහොමද.
    3. අනෝරා වැස්ස අද උදේ පාන්දරත් මට වද දුන්න එකේ, ඒකට කැමති වෙලා ලස්සන කවි ලියන්නේ ඔයා කොහොමද.
    4. වයින් අස්සේ රිංගවන්න නා දල්ලක් හොයා ගත්තේ කොහොමද.
    5 සීතලට නොනින්දා ඒකට කැමති වුනේ කොහොමද...

    කොහොම නමුත් මේ කවිය අනායාසයෙන්ම ලියුවක් තමයි. නැති නම් මේ තරම් පැහැදිලි වෙනස් ගැලපීම් එක්ක අමුතු පරිකල්පනාවක් කොහෙන් හොයන්නද..

    පිලිතුරු කවියක් ලියන්න පුලුවන් වුනොත් කොමෙන්ටුවට තවත් කොමෙන්ටුවක් කොටන්නම්...

    ReplyDelete
    Replies
    1. හම්මේ ප්‍රශ්න තොගයක් නොවැ...අර මගේ කලින් පෝස්ට් එකේ වගේ වැටෙන්න බීල උත්තර දෙන්න වෙයිද මන්දා... හි හී.

      1 සාමාන්‍යයෙන් මම මහා සද්දෙට අකුණු ගහනවටනම් පණ බයයි.ඒ ඇරුනම දුරින් ඇහෙන අකුණු සද්දෙටනම් අවුලක් නෑ. අන්න එහෙම වෙලාවට ඒ හඬ උනත් අහන් හිටියාම රිද්මයක් තියෙනවා.

      2 ඒ මම ආසම දෙයක්.ඉස්සර අපේ ආච්චිලාගේ ගෙදර තිබුනේ සිංහල උළු වහලයක් අන්න ඒ වහල යට ඉන්නකොට ගේ ඇතුලටත් වහලෙන් හිරිකඩ වෑහෙනවා.අන්න ඒක මටනම් හරිම සුවදායකයි.

      3 අහසයි වැස්සයි කියන්නේ මට බොහොම සමීප දෙවල් මම ආසම දේවල්.පුංචිම කාලේ ඉදලම මම වැස්සට බොහොම මනාපයි.මම වැස්ස එක්ක පොඩ්ඩක් අමනාප වෙන්නේ දවස් ගනන් එක දිගට වැහැලා ඇඳුම් වේල ගනන් බැරි වෙනකොටයි රෝද හතරෙන් දෙකට වැටුනට පස්සේ පුතු පැටියා එක්ක යන ගමන් වලදී තෙමෙන්න මඟ නවතින්න උනොත් තමා.මගේ ජීවිතෙන් එහාට ගියාම ගම් පිටින් නාය යනකොට ගං වතුර දාලා මිනිස්සුන්න උන් හිටි තැන් අහිමි වෙනකොට මම ඉතින් වැස්ස එක්ක මූණ නරක් කර ගන්නවා.

      4 හේ හේ... වැඩේ කියන්නේ මම මේක ලිව්වේ වහිද්දි පරිසරයේ මැවෙන සුන්දරත්වය දිහා බලාගෙන ඒ පදේ මුලින් තිබුනේ මීට වෙනස් විදියකට පස්සේ තමා හිතුනේ මේකේ යටි පෙලෙන් දැනෙන තේරුම පොඩ්ඩක් ඉස්මතු කරන්න ඕනේ කියලා.කලින් හිතේ ලිය උන පදය ෆෝන් එකේ කොටා ගන්න බැරි උන නිසා ඒ පදේ මට මතක නෑ. මේ පදේ ගැන ලොකු තෘප්තියකුත් නෑ මට මේකත් වෙනස් වෙන්න ඕන වගේ.ඒත් තමා එහෙම එකක් ඩෝං ගාලා හිතට ආවේ නෑ. පින්තූරෙන් මම මතු කලේ මේකේ යටි පෙල එහෙම නොදැම්මනම් හරියටම කියවපු කෙනෙකුට මිසක් ශෘගාර අදහසක් හිතට එන එකකුත් නෑ.

      5 සීතලට නිදාගන්න කලින් කොච්චර වැඩ තියෙනවද අනේ කරන්න.සීතල විඳින්න ඕනේ, සීතල තුරුළු කරගන්න ඕනේ , සීතල උණුසුම් කරන්න ඕනේ.ඒකනේ කට්ටිය නුවර එළියේ ගියාම කාමර වලට වෙලා හීටර් දාන් ඉඳිදී මම සෙරෙප්පු දෙකක්වත් නැතුව එළියේ රවුම් ගහන්න ආස. හි හී.( හරි හරි ඉතින් වීස් එකෙ හැදෙන එක, හෙම්බා හැදිලා දුක් විඳින ඒක වෙනම එකක් )

      අන්න ඒක තමා හොදම එහෙනම් පිලිතුරකුත් අරන් ආයෙ එන්නකෝ.. ස්තූතියි මේ තරම් දිග උත්තර දෙන්න පුලුවන් විදියේ කමෙන්ටුවක් දැම්මට ඔයාට.

      Delete
    2. ඈත දුරින් අකුණු හඬක් ඇහුන ගමන් තුරුලු වෙන්න.
      හිරිකඩ සීතල එනකොට උණුහුම් කර ළඟින් ඉන්න.
      ආදරේ තව හුඟක් වෙන්න සීතල නුඹටම දැනෙන්න.
      මැණික නුඹම මා ගාවීන් එපා ඉතින් ඈත් වෙන්න.

      රාත්‍රියම නිරුවත් කල, බිනර හඳට එලි මැවිච්ච.
      තනිකම දුරැරා ළඟ උන් තරු මල් ඇත තව පිපිච්ච.
      සලුව උනපු හඳ එලියෙන් ඔබෙ ලස්සන දැක මැවිච්ච.
      මගෙ කඳුලු වල උණු තෙත ඔබේ හදෙ ඇත තෙමිච්ච.

      වාං දමන වැව් තාවුලු පිරි ඉතිරිවා දමන්න.
      වැව් පතුලෙ සෙනෙහෙ තියා වැවක් වෙලා පිරි ඉන්න.
      හුඟක් වෙලා ළඟින් ඉන්න රෑ යම තව තව තියෙන්න.
      හීන් සිරුවට මගෙ ළඟ සෙනෙහෙ තබා තුරුල් වෙන්න.

      Delete
    3. ස්තූතී නංගී.. මේ තියෙන්නේ ලස්සනට

      Delete
  5. මම කැමතී වහින වෙලාවට උණු කෝපි කෝප්පයක් තොලගාමින් පොතක් කියවන්න .

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් ඒකත් මමත් ආසාවෙන් කරන දෙයක්

      Delete
  6. හිතම හිරි වැටෙනවා හදවත පහුරු ගාන මේ හැම වචනෙකටම. මේක වර්ණනා කරන්න පටන් ගන්නවා කියන එකත් අසාර්ථක උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ස්තූතියි සඳා මේ ඇගයීමට....

      Delete
  7. සීත සුලං කවුළු දොරින් හෙමින් සැරේ
    ගෙට එබෙද්දි..
    අහස් ගැබේ විදුලි ඉරක් කෙටුවා මහ
    හඩක් දෙද්දී..
    හෝ හෝ ගා වැස්ස වැටී පීලි දිගේ
    වතුර එද්දී..
    මිදුලට පැන නටන්නමයි මගේ සිතේ
    මට කියද්දී..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...