සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Oct 30, 2018
අනියම් !
සේද සිනිඳු මුඳු යහනක
සැතපෙනා රැයේ මැදියම
හිටි ගමන් ඔබේ වම් ල'පැත්තට
හීන් හුස්මක තෙත දැනෙනවානම්
රන් මුදුව ලූ අතක් පපුව මැද්දට
අනායාසයෙන්ම වැටෙනවානම්
මම - නොවේ - ඒ - ඇය
මුදාහල මල් සුවඳ ගුලි කොට
ඉර එබෙන කණිසමට
කලු කෝපි උණුහුමට කැටිකොට
පලමු සුබ දසුන මන බන්දන
සයනයේ පාමුලට කැන්දන
කෙනෙකු වේනම් ඔබට
මම - නොවේ - ඒ - ඇය
ඉල් මහට කල් බලන
ශිශිරතම හැන්දෑ වරුවක
පෙණ නඟින උස බීර බඳුනට
අල්ලාප සල්ලාප අඩු වැඩිය
ශෘංගාර කටගැස්ම සපයන
ඇත්දල පාට පැද්දෙන දෙපා යුග
මම - නොවේ - ඒ - ඇය
එකම හැල්මට දුවන ජීවිතය
මොහොතකට නවත්තා ඉසිඹුලන
එකම එක මිලි තප්පර අංශුවක
මං ගැනත් වගක් ඇති බවම
හිත හිතා මුලු හිතම නිවන
කෝ - කොහෙද - නිදුකින්ද හිතන
දුර ඉදන් ඇල්පෙනෙත්තෙන් හිතට අනින
මම - තමා - ඒ - ඇය
සඳ නේන කලුවරම රැයක
තනිකමෙන් තනි වෙච්ච දවසක
දුර ඉඳන් ළඟට වී තනි රකින
අනවසර සිහිනයක ඇස් වලින්
සියොළඟම ඉඹින්නට ඉඩදෙන
මඟ හැරේවීයි බියෙන් මඟ බලා සිටින
මම - තමා - ඒ - ඇය
හිතුවක්කාර ඇස් දෙකකට
හිතුවක්කාරෙට බැඳුන පෙම
කල්පා'වසානෙ තෙක් රකින්නට
හිතින් හිතටම සපථ කරගත් බැවින්
ඔබ ආවත් - ඔබ නාවත් - ඔබ කතා කලත් - නැතත්
විඳිමින් - විඳවමින් බලා හිදින
මම - තමා - ඒ - ඇය
බොහොම කලබලෙන් මූණු පොතට එබුන වෙලාවක දැක්ක කවියට හිත ගිහින් තමා මේක බොහොම හදිස්සියෙන්ම ලියවුනේ. වැඩේ කියන්නෙ දැන් ඒ කවිය කොහේ තිබුනද කාගෙද කියලා මතකත් නෑ දන්නෙත් නෑ.
Subscribe to:
Post Comments (Atom)
කලබලෙන් ලියවුණත් ලස්සනයි . සමහරවිට ඔහු නොකීවාට ඔහු ඇයට ආදරේ ඇති එහෙම්මම .... කාලය සමහර දේ වෙනස් කරනවා . ඒත් ආදරය හිත් ජීවත් කරනවා .
ReplyDeleteඅනිවාර්යෙන්ම ආදරය අපිව ජීවත් කරවනවා
Deleteමට මතක් වෙන්නෙ සුෆී දහමේ මහා කවියා රුමී. ඔහුගෙ එක කවියකුත් මේ වගේ. හැබැයි ඒ කවියෙ නම මතක නෑ.
ReplyDeleteඒක හොයා ගත්තොත් මෙතන අමුණන්නකෝ....ආසයි කියවන්න
Deleteපාට ඉතිරෙන දේදුන්නක හැඩ
ReplyDeleteපාවී යන්නෑ සුළඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ
සිංදු දාලා ශේප් වෙන නියාය....
Deleteකවුද ............ මම ද .....නෑ ...........
Deleteහා..... එහෙනම්
Deleteමම නෙවේ නම්. ඒ ඇය නම් මෙව්වා මෙහෙම උනාම දුකයිනේ අප්ෆා..ලස්සනයි බොහෝ...
ReplyDeleteමම නොවී... ඇය උනානම්...මේ සා විසල් ප්‍රේමයක් විඳින්නටත් විඳවන්නටත් නොහැකි වෙනවානේ...ඒ නිසා දුක් වෙන්න එපානේ....
Deleteඔබ නැතිව ඔබ එක්ක...
ReplyDeleteහ්ම්ම්ම් ඔව් හැමදාම හැම මොහොතකම
Deleteඔබේ කෙටි කවි හිතන්නට බොහෝ දේ ඉතිරි කරනවා . ඉඩක් ලැබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා මගේ කවි වල අඩුපාඩු කියන්න . ඔබේ අළුත් නිර්මාණ කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteකෙටි??? මේක කෙටි වගේද ඔබට පේන්නේ.....
Deleteසමාවෙන්න මේ කවිය නම් කෙටි නැහැ .
Deleteමට මතක් වුණේ ඉන්ද්‍රානි සේනාරත්න ගයන 'ඔබ ගතින් මා ළඟයි - සිත ඈ සොයා යනවා' ගීතය!
ReplyDeleteමට අහලා පුරුදු ගීතයක් නම් නෙවෙයි...අහලා බලන්න ඕනේ .. ස්තූතියි මෙහෙ ආවට ඔබට
Deleteමම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com
ReplyDeletethanks
Delete