සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 2, 2012

ක්‍රීඩා උත්සවයට බිත්තර සංග්‍රහයක්.....

මේ දවස්වල හැම ඉස්කෝලෙකම වාගේ නිවාසන්තර ක්‍රීඩා උත්සව...හැමදාම උදේට ගෙදරින් එනකොට පිලියන්දල සෙන්ට්‍රල් එකේ පිට්ටනිය පිටි පස්සෙ පාරෙන් මම එන්නෙ.මේ කාලෙට මුළු පිට්ටනියෙම කොල්ලො කෙල්ලො පිරිල පුහුණුවීම් කරනව.අනේ..... ඒවා දකිනකොටනම් හිතෙනව ඇයි අප්පා මං බාලිකා පාසලකට ගියේ කියල. අපිට කොහෙද මෙහෙම වාසනාවක් තිබුණෙ.... හිතනකොටත් නිකන් දුකයි දුකයි වගෙ කොහොම උනත් මෙතන පහු කරන් යද්දි හැමදාමත් මං මගේ පාසල් කාලෙට හිතින් ගොඩාක් දුර යනව.....ඕනම කෙනෙකුගේ ජීවිතේ සුන්දරම කාලෙ මොකක්ද කියලා ඇහුවොත් ආයෙ දෙකක් නෑ කියාවි පාසල් සමය කියල. ඉතින් මටත් ඒක එහෙමමයි.කිසිම බරක් පතලක් නැතුව සමනළ් පැටවු වගේ සැහැල්ලුවෙන් ගෙව්ව ඒ කාලෙ අනේ ආයෙ එනවනම්........ ඒ අතීතෙට පියබන්න ආයෙ වෙලාවක් කලාවක් ඕනෙ නෑ.......
ඒ දවස්වල අපිටත් ක්‍රීඩා පුහුණුවීම් කියන්නෙ රජ මගුල් තමා . ආසාවට පන්තියක ළමයෙක් හොයාගන්න නෑ. මේ කාලෙ මිස්ලටත් හරියට වැඩ තමන් නියෝජනය කරන නිවාසෙ දිනවන්න නොකරන දෙයක් නෑ. හැබයි මේවා දිරවන්නෙ නැති මිස්ලා සෙට් එකකුත් අපේ ඉස්කෝලෙ හිටියා. එයාලට සිලබස් එක කවර් කරගන්න වෙන්නෙ නෑ කියලා පාසල් වෙලාවෙ ක්‍රීඩ පුහුණුවීම් දානවට පුදුම විදියට බකට් පෙරලනවා. අපිනම් සැලෙයි ඕවට නේද මෙයා.....

ඉස්කෝලෙ හිටපු අන්තිම අවුරුදු දෙකේ මම අපේ නිවාසෙ ක්‍රීඩා උපනායිකාව. පුහ්...... කාටද ආඩම්බර ඈ..... වෙන කාටද ඉතින් අපේ මව් දෙමාපියන්ට මිසක්. මොකේ ඒ කාලෙ මට ආදරේ කොරන්න කියලවත් කෙනෙක් හිටිය කියලද.... නැහැනෙ..... චික් අපරාදේ....

ඔන්න ඉතින් මෙන්න මේ කාලෙ අපේ ඉස්කෝලෙට අලුතින් විදුහල්පතිනියක් පත් වෙලා අවා. බුදු අම්මෝ දැනුත් මතක් වෙද්දි හීන් දාඩිය දානවා..... එයාගෙ සැර.... " ඔන්න මැඩම් " කියලා කවුරු හරි විහිළුවට කිව්වත් කට්ටියට චූ යන සයිස්. ඒ තරමට එයාගෙ නීති තදයි. මෙන්න මේ අළුත් මැඩම් නීතියක් ගෙනාවා ක්‍රීඩා උත්සවය දවසට කිසිම පිරිමි ලමයෙකුට මේ උත්සවය නරඹන්න එන්න තහනම් කියල. අනේ අපොයි දැන් මෙන්න අපේ අක්කලා නංගිලා ටික ගිනි පත්තු වෙලා ඇයි ඉතින් තමන්ගේ පෙම්වතාව , ඔය පන්ති වල යාලු කොල්ලො සෙට් එහෙම ගෙන්න ගන්න හීන මව මව හිටපු සෙරමලා මැඩම්ට හරී ලස්සන වචන වලින් ආමන්ත්‍රණය කරනවා අහන් ඉන්න ආසාවේ බෑ...දැන් ඉතින් මේකට පිළියමක් හැටියට එක එක දෙවල් කරන්න හිතනවා ඔන්න අන්තිමට කට්ටිය මැඩම්ගෙන් විමසා සිටියා තමන්ගෙ සහොදරයන්ට, ඒ කියන්නෙ අය්යලට, නැන්දලගේ පුතාලට, පුංචි අම්මගෙ පුතාලට වගේ අයට සහබාගි වෙන්න පුලුවන්ද කියල. මැඩම් කිව්වා " අපොයි පුළුවන් හැබයි තම තමන්ගේ අම්මලා තාත්තලා වැඩිහිටියොත් එක්කම විතරයි " කාලා වරෙන්කො දැන් ඉතින් අනේ අපේ අය්යලාට බුදුසරණයි. එදාට දත කට මැදගෙන බාලිකාවට රිංගන්න බලන් හිටපු අහල පහල පිරිමි ඉස්කෝල වල අයියලාට මේ කතාව ආරංචි වෙලා අපිට පාරේ යන්නත් නෑ..

" මහ ලොකු හුචස් බාලිකාව.... හිතන් ඉන්නෙ කුමාරිහමිලා කියලද..... ඇයි අපි පොඩ්ඩක් ..... දැක්කම මොනවා වෙනවද ..... ආ..... "

ඇයි වදේ මෙයාලා ඇඟට එන්නේ හරියට අපි කල දෙයක් වගෙ.

" අපිට කොහොමත් ගේට්ටු වැඩක් නෑ නංගී..... මොකො අපි අපේ ඉස්කෝලෙට යන්නෙ එන්නෙත් ගෙට්ටුවෙන් නෙවේනෙ........ බලමුකෝ එදාට අපි නෑවිත් අරීද කියලා... මැඩම්ට උණ ගන්නෙ එදාට තමා........."

ඔය වගේ දාහක් ආඩපාලි මැද්දේ ක්‍රීඩා උත්සවය දවස එළබුනා ඔන්න.කිව්ව වගේම පිරිමි ළමයින්ට ඉස්කෝලෙ වත්තට ඇතුල් වෙන්න ඉඩක් ලැබුණේ නෑ..හැබැයි ඉතින් එයාලා පිට්ටනියේ තාප්පෙන් එබෙන එකයි පිට්ටනියේ තාප්පෙටම අල්ලල එහා වත්තේ තිබුණ පල්ලියේ වහලෙට නැගලා උත්සවය නරඹන එකයි නතර කරන්න මැඩම්ට තියා දාලා හිටපු පොලිස් මහත්තුරුන්ටත් බැරි වුණා.ඔය අතරින් පතරින් ඇහුණ හූවක් ඇරෙන්න අනේ වෙන මෙලෝ කරදරයක් අපිට එයාලගෙන් තිබුණේ නෑ.අපි අපේ පාඩුවේ සෙල්ලම් කලා.

ඔහොම ගිහින් ගිහින් ඔන්න උත්සවේ අවසන් භාගයට එළබුනා දැන් තමා උච්චතම හරිය ක්‍රීඩා උත්සවේ මම කැමතිම අංගය තමා ආචාර පෙළපාලිය.... ලොකු හුස්මක් අරගෙන පපුව ඉස්සරහට දාලා පාසල් මාතාවට ආචාර කරලා ඒ යන ගරු ගාම්බීර ගමනට මම පුදුම තරම් ආසයි.දැන් නිවාස හතරෙම ආචාර පෙලපාලිය ගමනේ යනව... පොඩි දුරකුත් නෙවේ පිට්ටනිය වටේම ගිහින් නෙ මැදට ආපහු එන්න ඕනෙ.පිට්ටනිය කෙලවරේ තමා තාප්පෙ මායිමටම අර පල්ලිය තියෙන්නෙ. දැන් අපේ ගමන් මගත් එතනින්මයි. පල්ලියේ වහල උඩ කොල්ලො පිරීලා... ඉස්සරහින්ම ගියේ රතු නිවාසෙ කණඩායම , ඊ ලගට නිල් නිවාසය ඒ කිව්වේ අපි. ඉස්සරහින් ගිය කට්ටිය පල්ලිය පහු කරද්දි නොසන්සුන් වෙනවා වගේ ඉදිරියෙන් ගිය අපිට පෙනුනා. මං වගේම හැමොම ඇස් කොණින් උඩ බැළුවා. අනේ.......... හරීම සුන්දර දර්ශනයක්........... කොල්ලො අතරින් එහෙන් මෙහෙන් කෙල්ලන්ගෙ ඔළු උඩට බිත්තර වරුසාවක් වැටෙනවා.....දැක්කයි කියලා මොනා කරන්නද... පෙළපාලිය දාලා දුවන්නද... බිත්තර පාරවල් කා ගෙනම අපි ඉස්සරහට ගියා. මගේ ඇස් ඉස්සරහටම ආපු එකක් චොක් ගාලා සුදු සපත්තුව උඩට වැටුණ.... අම්මා.......... සුවඳ....... පොලිසියේ මහත්වරු බැටන් පොලු උලුක් කරන් තාප්පෙන් පනිනවා දැක්ක.... අපි කුණු බිත්තර සුවඳින් හදවත පිනා යද්දී මැඩම්ට උත්තමාචාරය පුඳකලා.

15 comments:

  1. ela ela..dannawa akki kakulata wadunu biththare gahuwe kauda kiyala...a mamaneeee :D

    ReplyDelete
    Replies
    1. ඇත්තද එහෙනම් පරිස්සම් වෙලා ඉන්න හොදේ

      Delete
  2. අපිත් ඔය වගේ වැඩක් කලා... පස්සේ වෙලාවක බ්ලොග් එකේ ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. ම්.... එහෙමද.... ඉස්කොලෙ ගිය කාලෙ සුන්දර මතකයන්නම් කොච්චරක් ඇද්ද අපි හැමෝම ළඟ නේද?

      Delete
  3. අයියො බිත්තර ගහන එක ඇයි මතක් කලේ.. මගේ අත් දෙක නලියනවා වගේ.. කො මේ බිත්තර..

    ඇත්තටම ඉස්කොලේ ජිවිතේ තමයි අපේ ජිවිතේ හොදම කාලය..

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයත් කෙල්ලන්ට කුණු බිත්තර වලින් ගහලා තියෙනවද

      Delete
    2. ඉස්කොලේදි මම බිත්තර ගහලා නැත්තේ කාටද කියලා මේ කල්පනා කලේ... බිත්තර ගහපු එකා මාට්ටු වෙන හින්දා එක දවසක් මම මටම බිත්තර වලින් ගහාගත්තා.. බිත්තරයක් උඩ දලා ඔලුව ඇල්ලුවා.. හම්බේ එදා දැනුන සුවද?...

      Delete
  4. බිත්තර පාරක් වදින්න තිබ්බේ මැඩම්ට ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපිටත් එහෙම තමා හිතුනේ. ස්තූති මේ පැත්තට ආවට

      Delete
  5. /* .හැමදාම උදේට ගෙදරින් එනකොට පිලියන්දල සෙන්ට්‍රල් එකේ පිට්ටනිය පිටි පස්සෙ පාරෙන් මම එන්නෙ. */

    ආ, අපේ ගෙවල් පැත්තේ කෙනෙක් නේ!

    ReplyDelete
  6. hmm paasal jivithe thamai ape soduruma kaale...kawiya edaa gedara gihin sapaththui kakului besamaka daagena inna athi neda...?

    ReplyDelete
  7. ඔය මැඩම්ට උණ ගැනෙන්න දීලා තියෙන්නේ :D

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.