සඳට බැළුම් හෙලූ අය

Jul 30, 2012

බිනර සඳ පායා ඇවිත් .....( කෙටි කතාව )






                    

                           බිනර සඳ පායා ඇවිත් !

බණ්ඩාරවෙල ටවුමට ඇවිත් බස් එක නවත්තනකොට නම් ධාරාණිපාත වරුසාව නැවතිලා තිබුනෙ.ඒත් මහ දවාල වෙලත් පරිසරය පුරාම තිබුනෙ මහා අඳුරක් ඒ මදිවට සීතළ.ගමන් මල්ල පිටේ එල්ල ගෙන මම බස් එකෙන් බිමට පැන්න. පාර පුරාම මඩ කඩිති මහ ගොඩක්.මම පාත්වෙලා ඩෙනිම් කලිසම දණහිස ගාවට නවන ගමන්ම පුරුද්දට වගේ පාරෙන් එහා පැත්ත බැලුව.රතු පාට ඩිස්කවරි එක උඩට වෙලා දෑතම ළයට බැඳගෙන මං දිහාම බලාගෙන උන්නෙ බිනර. හ්ම්.... අදත් මල්ලිව එවල අයිය මාරු වෙලා වගේ.....හිතට ආපු කේන්තිය එහෙමම තියාගෙන පාර දෙපත්තවත් නොබලම මම අඩියට දෙකට පාර පැන්න.

 කෝ අයිය

 බදුලු යනව කියන්න කිව්ව

 ඇයි එයාට වෙන දවසක් ඇත්තෙම නැද්ද මම ගමට එන දවසෙම එයා පිට යන්නේ

 දන් නෑ

බිනර එසේ කීවේ දෙවුර හකුලවා සැහැල්ලුවෙනි. මට යකා නැග්ගේය.

 දැන් මගුලටද තමුසෙ ආවේ

පුපුරු ගසන කේන්තියෙන්ම මා බිනරට දමා ගැසීමි.

බිනරගේ සුදු මුහුණ බලා ඉදිද්දී රතුම රතු විය.මගේ මේ හැසිරීම් කියුම් බස් කවදත් ඔහුට අප්‍රසන්න බව මා දනිමි.

 මට අයිය කිව්වෙ නිකිණිව ගෙදරට ගිහින් දාන්න කියල

මට බොඩිගාඩ්ලා ඕනෙ නෑ මේ ටික යන්න ඒක ගිහින් තමුසෙගෙ අයියට කියනව මම කිව්ව කියල

බිනරට ගසන්නට බැරි පය උස්සා ඔහු හිද උන් බයිසිකලයට වැරෙන් පහරක් ගසා මා යන්නට හැරුනි. මට මේ තරම් කේන්ති එන්නට මේ සිද්ධිය අද ඊයේ වන්නක් නොව මා පේරාදෙණියේ සිට ගෙදර එන සෑම සති අන්තයකම වන්නේ මේ ටිකය.බසයෙන් බැස පතනය දිගේ ගෙදරට යන මේ කිලෝමීටර් දෙක මා බයිසිකලයේ නැග යන්නට පෙරුම් පුරන්නේ ඇසළ සමගය.මගේ ඒ හීනයට තටු ලැබෙන්නේ එහෙමත් දවසකට පමණි.අනිත් හැමදාමත් මා එන පෙර මඟ සිටින්නේ ඇසළ නොව බිනරය. අදත් එවන් දවසකි.

පැය ගනනාවක ගමන් මහන්සිය , බඩගින්න , සීතළ සහ බලාපොරොත්තු කඩවීම් මැද මම කොටි දෙනක මෙන් වියරු වැටී උන්නෙමි. මග තොට අසුවන ගල් මුල් වලට පයින් පහර දෙමින් ඇසළට හිතින් බනිමින් මා හිතේ දුක යටපත් කර ගන්නට වෙහෙසුණෙමි.දැන් ඉතින් කීයටවත් මා බයිසිකලයට නග්ගා ගන්නට බැරි බව බිනර අද්දැකීමෙන්ම දනී.දඬුමොණරයෙන් බිමට බැස කඳු පල්ලම් දිගෙ හති දමමින් ඔහු මා පිටුපසින් අපේ ගෙදර තෙක්ම දැන් බයිසිකලය තල්ලු කරමින් එනු ඇත.මං නිසා අහක යන පරිප්පු කන ඔහු ගැන කවදාවත් මට සෙනෙහසක් අනුකම්පාවක් නොදැනේ. "මෝඩ වහන්සෙ " මා හිතින් බිනරට ඇති තරම් සිනාසෙමි.

                                    *     *      *     *      *      *    *     *

ඇසළයි බිනරයි කියන්නෙ මගේ ලොකු නැන්දගෙ පුත්තු දෙන්න.එකම වසරක එක ළඟ මාස දෙකක ඉපදුනු ඇසළත් මමත් ඉපදුන දා පටන් හිටියෙ එකටමයි.අපි ඉපදිලා අවුරුද්දකුත් මාස අටකට පස්සෙ මේ ලෝකෙට ආව බිනරට මම පුංචි සංදියේ ඉදන්ම අකමැති. මම එයාව දැක්කෙ අපේ පවුල් දෙකේ ඇසළටයි මටයි තිබුන ආදරේ අවධානය බෙදාගන්න ආව හතුරෙක් විදියට.පුංචි කාලෙ ඉදන්ම මගේ මුලු ලෝකෙම උනේ ඇසළ විතරයි.ඒ තැනට තව කාවවත් ගන්න මට උවමනාවක් තිබුනෙ නෑ.ඊටත් වැඩිය බිනර ඇසළ වගේ මම වගේ දඟයෙක් නෙවෙයි.කෙල්ලෙක් වෙච්ච මං ළඟවත් නැති අහිංසක කමක් තැන්පත් කමක් එයාට පොඩි කාලෙ ඉදන්ම තිබුනෙ.මෙන්න මේ වගේ ගොඩාක් හේතු නිසා දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන්ම මට බිනර ගැන තිබුනෙ තරහක්.පවුලෙ එකම දරුව උන මම මගේ ගෙදරටත් වැඩිය හිටියෙ ඇසළලගෙ ගෙදර එයාගෙ ඇසුරෙ.මුකුත්ම නොදන්න පුංචිම කාලෙ මට ඇසළ වගේ අදින්නට ඕනෑ විය. ඇසළ මෙන් කොණ්ඩය කපන්න ඕනෑ විය. ඇසල මෙන් කොලු රැළට වැටී දුවන්න පනින්න ඕනෑ විය.වයසින් වැඩී වැඩුණු ගැහැණු ළමයෙකු වීද මගේ මේ පුරුදු අත්හරින්නට මට ඕනෑ කමක් නොවීය.ළඳ බොළද කෙළිකාරකම් හිතේ මතු උනද මම ඒවා ඕනෑ කමින් යටපත් කර ගතිමි.කරඳඩු උස් මහත් වෙද්දී කවදාවත් ආදරයක් ගැන අප කතා කර නොතිබුණද සහෝදර බැඳීමට එහා ගිය හැගීම් අප අතර අපටත් හොරෙන් හුවමාරු වන්නට විය.වටපිට බලා කාටත් හොරෙන් කම්බුලක් ඉබිද්දි , ලැබෙන පුංචි ඇසිල්ලක ඒ පපුවට තුරුලු කර ගනිද්දී ඉතින් ඒ ආදරය යැයි මා අදහන්නට වීමි.පුංචි කාලයේ මගේ ලොව වීරයා මගේ සෙනෙහස් විජිතයේ නිතරඟයෙන්ම අභිශේක ගැන්විණි.නෑනා කවදා හරි මස්සිනාටනේ කියා අප විවාහ කර දෙන්නට දෙමාපියන් අතරද සිහින සහ බලාපොරොත්තු විය.පසු කාලෙක ඒවා පොරොන්දු සහ ගිවිසුම් තරමටම දුර දිග ගියේය.එදවස වෙලාවක් කලාවක් නැතුව මම නැන්දලාගේ ගෙදර රැදෙද්දී අම්මාගෙන් එල්ලවන සියලු දොස්මුර වලින් නැන්දා මා බේරා ගත්තේ " අනේ ඉතින් මේ කෙල්ල කවදා හරි අයිති මේ ගෙදරටනේ " කියමිනි.
කාගෙන්වත් තහංචියක් නොවැටුණ අපේ  පෙම ඔහේ ගලන් යද්දි උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා මම පේරාදෙණිය කැම්පස් තේරෙද්දි , ඇසළව දාල යන්න බැරුව වරු ගානක් නාහෙන් ඇඬුව.ඇසළ බණ්ඩාරවෙල ටවුමෙම ඇඟලුම් ආයතනයක රැකියාව තෝරගෙන ගමේම නවතිද්දි මම නුවර බෝඩිමකට කොටු උනා.එදා ඉදන් අද වෙනකනුත් ඊට පස්සෙ හැම සෙනසුරාදාවකම උදේ පාන්දරින්ම මම ගමට ඉගිල්ලුනේ ඇසළගෙ මූණ දකින්න.ඒත් මේ වෙනකොට ඒ උවමනාව තියෙන්නෙ මට විතරක් බව මට නොතේරෙනව නෙවෙයි.ඒත් මේ ඇත්ත පිලිගන්න මගේ මුරණ්ඩු හිත පොඩ්ඩක්වත් සූදානම් නෑ.මම දැනගෙන උන්නෙ මම අයිති ඇසළට කියල විතරමයි. ආදරේ කියන්නෙ මට මේ ලැබෙන මම මේ දන්න චුට්ට විතරක්ම නෙවෙයි කියල මගෙම හිත මට කෑමොර දිදී පහදල දෙන්න කොච්චර උත්සහ කලත් මම තාමත් නොතේරෙන ගානට ඉන්නව.


 නිකිණි ...

බෑග් එකේ බර විතරක් නෙවෙයි හිතේ බරත් ඔලුව උඩින්ම තියාගෙන කන්ද නගින මම බිනරගෙ හඬින් තිගැස්සුනා.මගේ සිතුවිලි සීසී කඩ කරපු එක ගැන මට ආයෙම ආවෙ ඔහු එක්ක කේන්තියක්.

 නිකිණි බිකිණි ගාන්නෙ ඇයි කට ඇරල අක්ක කියල කිව්වොත් කටට මොනා හරි වෙනවද

හති දාගෙන බයිසිකලේ තල්ලු කරගෙන එන බිනර ඉස්සරහට දෑතම ඉණට තියාගෙන ගිහින් මම ඇහුව.කවදාවත් මට අක්කායි නොකියන ඔහු සමග මම බොහෝ අවස්ථාවල රණ්ඩු අල්ලා ඇත.මට වඩා බාල ඔහු මට එසේ නමින් ඇමතීම මහා මදි පුංචි කමක් ලෙස මා සිතුවද මේ අක්කා ඔහුට මල්ලි කියා කතා කරන්නේත් නැත.


 කටට නෙවෙයි හිතට මොනා හරි වෙයි කියලයි බය

අහක බලාගෙන ඇසෙන නොඇසෙන ගානට බිනර කියූ දේ හාරා අවුස්සන්නට මට හේතුවක් තිබුනේ නැත.

 හරී දැන් කියනව මොකටද මට කතා කලේ

 දෙයක් අහන්න.... ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි කියල මට දැන් හිතෙනව

 මේ හලෝ.... නිකිණිට ඔය හරස්පද ඔට්ටු නෑ... අහන්න ගිය දේ අහනව

කරේ රැදි බෑගය ගලවා බිනරගෙ බයිසිකල් හැඩලයේ එල්ලා මම පාරේ තිබූ කණුවකට හේත්තු වීමි.බිනරද බයිසිකලය නවතා මගේ මුහුනට මුහුණ සිටින සේ පාරෙන් එහා පස ගලක් මත වාඩි විය.

 හරි එහෙනම් කියන්න බලන්න ඔයා මොනවද අපේ අයියා ගැන දන්නෙ

මට බකස් ගා සිනා නැගුණි.මේ මෝඩයා මෙච්චර තෙපර බෑවේ මේ ගොං ප්‍රශ්නේ අහන්නද .ජංගියක්වත් නොඅදින කාලේ එකම බේසමේ බැස නා , අම්ම හෝ නැන්දා එකම පිගානෙන් අනා කවන බත් කා , එකම ඇදේ එකට බදාගෙන මා සමඟ නිදාගත් ඇසළ ගැන මා නොදන්නේ මොනවාද.... නැත ඔහු ගැන මා නොදන්නා දෙයක් තිබෙන්නට බැරිය.ඉතින් මහ හඬින් හිනැහෙනවා හැරෙන්නට මට කියන්නට දෙයක් නැත.

හරි හරි එහෙනම් කියන බලන්න නිකිණි මොනවද ආදරේ ගැන දන්නෙ... ආදරේ කියන්නෙ මොකක්ද ?

ඒ බිනරගේ දෙවෙනි පැනය .ඒ ප්‍රශ්ණය ළඟනම් මා මොහොතකට නිරුත්තර විය.ඇසළත් මාත් ආදරෙන් උන්නාට ආදරේ ගැන මා දන්න මළදානයක් නැත.ඒ ගැන ගැඹුරින් හිතන්නට මට මේ තාක් හිතීද නැත.කැම්පස් එකේ සමහර කෙල්ලන් කියන්නේ අදරේ ඇගට නොව හිතට දැනෙන දෙයක් කියාය,ලේ නහර වලට පවා දැනෙන සියුම් හිරිවැටීමක් කියාය.ඉතින් ආදරේ එසේනම් ඇසළ ගැන මට එවන් හිරිවැටීමක් මේ තාක් දැනී නැත.ඒ ඇස් වල ආදරේ සොයන්නට මා කිසිදිනක වෙහෙසී නැත.
උත්තර දෙන්නට බොහෝ වෙලා ගෙන එහෙත් උත්තරයක් නැතුවම මම හිස් බැල්මෙන් බිනර දෙස බැලීමි.පිළිමයක් තැබුවාක් මෙන් නිසොල්මනේ බිනර මදෙස බලා සිටී. ඒ ඇස් දිළිසේ... කා ළඟවත් ලෙහෙසියෙන් පැරදෙන්නට අකමැති මමත් හොද හැටි ඒ ඇස් දෙස කෙලින් බලා හිදින්නට වීමි.තත්පරයක් දෙකක් තුනක් හතරක් මා එසේ සිටින්නට ඇත.මොකක්දෝ අමුත්තක් හිතේ එහා මෙහා වෙද්දී වේගයෙන් ඇහි පිය සලා මම බිම බලා ගතිමි.බකස් ගා බිනර හිනැහෙන හඬ ඇසෙද්දි ජීවිතේ පලවෙනි වතාවට පරාජිත හැගීමක් හිතට දැණුනි.ඊටත් නයාට අදුකොළ වගේ වෙච්ච බිනර ළඟම එසේ වීම ගැන හිතට හරිම නැත. ඒ පරාජිත හැඟීම බොරු තරහකින් මුවා කරගෙන මම ගසා බසා දමා හිද උන් තැනින් නැගිට යන්නට හැරුනෙමි.

 හලෝ මැඩම්..... කොහෙද යන්නේ... මට උත්තරයක් දීලම යනවද....

බයිසිකලයේ එල්ලූ බෑගයත් නොගෙනම අඩියට දෙකට පල්ලම් බසින මට බිනරගේ හඬ ඇසුනේ ඈතිනි.

 මේ හලෝ... ඔව්වට උත්තර දෙන්න මම බැඳිලා නෑ...අනික මගෙන් ප්‍රශ්න අහන්න ඔහේ මහ ඒජන්තද...අපේ ගෙදරට ගොඩවෙනවනම් ඔය බෑග් එකත් දීගෙනම යනවා..

තාමත් කන්ද මුදුනේ ඉදන් හිනා වෙවී බලන් ඉන්න බිනරට ඇසෙන්නට කෑගසා එහෙම කියපු මම කවදාවත් නැති තරම් හයියෙන් ගෙවල් ගාවට වෙනකං එක පිම්මට දිව්ව.උදෙ ඉදන් වතුර උගුරක්වත් නැතුව වේලි වේලි ආපු මට කොහෙන් එහෙම හයියක් ආවද මංද. හරියට අලුතින් අත්තටු ලැබුන කිරිල්ලියක් වගේ සැහැල්ලුවක් සතුටක් හිත පුරා උඩු දුවන්න ගත්ත.ඒ ඇයි ඒ මොකටද කින්ද මන්ද මුකුත් හරියට හිතා ගන්න බැරි උනත් මම කාලෙකට පස්සෙ නිදහසේ හයියෙන් හුස්මක් ගත්ත.

                              *     *      *     *      *      *    *     *

ඉරිදා හැන්දෑ වෙනකනුත් මම නුවර නොයා විනාඩියෙන් විනාඩිය බලන් හිටියෙ ඇසළ ඒවි කියල.ඒත් හැන්දෑවේ පහත් පහු උනාට පස්සෙ එයා ගෙදරට කෝල් කරල කිව්වෙ මට යන්න එයා ලඟදිම දවසක කැම්පස් එකට ඇවිත් මාව මුණගැහෙන්නම් කියල විතරයි.හිතට ආව කේන්තියට දුකට මම දන්න කැතම වචන වලින් මට එයාට කෑගහල බනින්න හිතුනත් මම මාව පාලනය කර ගත්ත.ආයෙ දෙපාරක් නොහිත මම ඇදුම් කෑලි දෙක තුනයි පොත් ටිකයි බෑග් එකට අඩුක් කර ගත්තෙ ඒ හැන්දෑවෙම නුවර පිටත් වෙන්න හිතාගෙන.දැන් ඉදල පහුවදා උදේ පාන්දර බස් එකේ යන්න කියල අම්ම කට කැඩෙනකන් කිව්වත් මම නෙවෙයි කණකට ගත්තෙ.හිතුවක්කාර කොලු තාලෙට උඹව හදපු අපියි වැරදි කියල අන්තිමට අම්ම කිව්වෙ කම්බුලේ අත තියාගෙන.අම්ම ගැන දුක හිතුනත් මම හිතුන දෙයක් වෙනස් ආයෙ වෙනස් කරන ජාතියෙ කෙනෙක්නම් නෙවෙයි. ගෙදරට ඇදගෙන හිටපු ටී ෂර්ට් එකට උඩින්ම රතු පාට ජර්සි එක දාගෙන බෑග් එකත් කරට දාගෙන මම වත්තෙ මායිම පහු කලේ ගේ දොර කොඩ හූල්ලන අම්ම දිහා හැරිලවත් බලන්නෙ නැතුව.

පණ්ඩිතය වගේ ආවට එළියෙ තිබුනෙ හිතුවටත් වැඩිය අඳුරක් හිතුවටත් වැඩිය සීතළක්.රබර් සෙරප්පු වලින් වැහුන යටි පතුල් වලින් සීතල ඇට මිඳුළු වලටම දැනෙද්දි හිතේ තිබුන තරහ මැකිල ගිහින් අන්තිමට ඉතුරු උනේ මං ගැනම උපන් ආත්මානුකම්පාවක් විතරයි.බලෙන් ඔබ්බපු කොලු කම් අස්සෙ හැංගිලා හිටපු මගේ ගැහැනු ආත්මේ හීනියට ඉකි ගහන සද්දෙ මට ඇහුණ.ඒත් නිකිණි කියන්නෙ ඇස් වලට ඕන ඕන වෙලාවට අඬන්න සූදානම් කෙල්ලෙක් නෙවෙයි.යාංතමට තෙත් වෙච්ච ඇස් දෙක දෑතින්ම පොඩි කරගෙන මම කන්ද නැග්ගෙ ආයෙත් හැරිල ගෙදර දුවන්න හිතෙන හිතට තරවටු කරන ගමන්.

එක පාරටම මන්දාරම් අඳුර කපාගෙන මීඳුම මැදින් මහා සද්දෙට ආව බිනරගෙ බයික් එක මග හරස් කරල නැවතුනේ මගේ ඇගේ ගෑවී නොගැවී වගේ.වෙන වෙලාවකනම් ලුණු ඇඹුල් ඇතුව මොනා හරි කියන්න තිබුණ.ඒත් මම මට නෙවෙයි වගේ අහක බලාගෙනම හිටිය.

 කොහෙද යන්නෙ ?

 ඇයි අහන්නෙ ?

 ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින් උත්තර දෙන ක්‍රමය වෙනස් කරන්නම බැරිද ?

 ප්‍රශ්න වලට උත්තර දෙන්න මං බැඳිල නෑ

 හරි හරි එහෙනම් බැඳිච්ච දවසකට අහන්න මම සේරම ප්‍රශ්න ඉතුරු කර ගන්නම් දැන් නගින්න බයික් එකට

 ඒ අහවල් එකකටද ?

 ගෙදර ගෙනියන්න... දැන් නුවර යනකොට රෑ 8 පහු වෙනවා .. එච්චර රෑ වෙලා ගෑණු ලමයෙකුට තනියම ගමන් හොද නෑ

මම උපහාසයට මෙන් සිනාසීමි.මට මෙවන් තහංචි දමන්නට මොහු මගේ කවුද.මෙච්චර කාලෙකට ඇසළවත් මා යන එන වෙලාවල් විමසා නැත.ඔහුට මා කොයි වෙලේ කොහේ ගියත් කම් නැත.මේ පොඩි එකා මගේ ජීවිතය වචනෙකින් හෝ හසුරවන්නට හදන එක ගැන කේන්තියකට එහා ගිය මොකක්දෝ හැගීමක් හිතට වද දේ.

 මට බණ කියන්න ඔහේ මගේ කව්ද..? මොන අයිතියක්ද ?

 ඇයි අමතකද මම නිකිණිගේ පොඩි මස්සිනානේ.... ලොකු මස්සිනාට තියෙන අයිතියම මටත් තියෙනවා

ගරුසරුවක් නැතුව දොඩන මගේ වාචාල කම ගැන වගක් නැතුව බිනර හිනැහෙමින් මට උත්තර නැති වෙන්නම පිලිතුරු දෙයි.පෙරදා මෙන්ම මේ සංවාදයේ පැටලි පැටලී බිනර හා කල් මරන්නට මගේ හිත ඉල්ලයි.

 පොඩි එකා පොඩ්ඩි එකා විදියට ඉන්නවද

 අනේ.. අනේ මේ කිරි ඉබ්බි මට වඩා මාස 20 ක් වැඩිමල් උනයි කියල හිතන්නෙ ඉන්නෙ මහ ලොකු සයිස් එකෙන්නෙ

බිනර කියූ දෙයට මට මහා හඬින් හිනා යන්නට ආවේය. මම අතින් මුව වසා බිනරගෙන් හිනාව සගවන්නට වෙහෙසුනෙමි. කිරි ඉබ්බි... ඒ අපි පොඩි උන් දා බිනර මට පටබැඳි නම වේ.එකට වැටී සෙල්ලම් කරද්දී මගේ නොපනත් කමකින් හිත රිදවාගෙන හඬන බිනර කිරි ඉබ්බී.. කිරි ඉබ්බී කියමින් ගේ වටා දුවයි.එහෙම දුවන ඔහුව ඇසළත් සමඟ එක්වී කොටු කරගෙන ඒ අත ලේ එන තුරු සපා කෑ බවක් මට අද මෙන් මතකය.කොයි තරම් ළඟින් උන්නද ඇසළ කේලම් කියා වැඩිහිටියන් ලවා මට ගැස්සවූ වාර අනන්ත වේ. එහෙත් මම මොන තරම් රිදවූවද බිනර කවදාවත් මා පාවා දී නැත.එ දවස් සිහිව සියුම් කම්පනයක් සමඟ හීන් සතුටක් හිත පුරා මෝදු විය.

 මොනවද කල්පනා කරන්නේ ...? අදත් මගේ කෑල්ලක් කඩා ගන්න හැටිද ?

 කඩා ගන්නනම් බැරි කමක් නෑ... ඒත් මම දැන් හරක් මස් කන්නේ නෑ

 ඒ උනාට මට නම් ආසයි ඉබි මස් මොන රහද බලන්න

ඒ වෙලාවෙ බකස් ගාල එලියට පැන්න හිනාවනම් නතර කර ගන්න මට පුලුවන් කමක් තිබුනේ නෑ.මං හිනා වෙච්ච සද්දෙ ඈත කඳු වල හැපිල දෝංකාර දුන්න.ආයෙ ආයෙ හිනාවෙලා ඒ දෝංකාර දෙන මගෙම හිනාව අහන් ඉන්න මට ඕන උනා.හිතේ පැළපදියම් වෙලා තිබුන හැම අසහනකාරි සිතුවිල්ලක්ම ඈතට ඈතට ගහගෙන යනව වගේ මට දැනුන.

අපිට අපිව නොපෙනී යන තරමට අහල පහලට මීඳුම කඩං පාත් වෙන්න පටන් ගත්ත.තවත් මෙහෙම හිටියොත් අපි ගල් වෙයි කියල මට හිතුන.

 මැඩම් දැන්වත් කියන දේ අහල නගිනවද බයික් එකට .... දැන් ඉතින් කොහාට ගියත් මා එක්ක තමා ....... එක්කො ගෙදරට එක්කෝ නුවරට කරුණාකරලා මට කියනවද කොහාටද යන්න ඕනෙ කියලා....?

හැඬලයේ එල්ලල තිබුන හෙල්මට් එකක් මගේ දිහාට දික් කරගෙන බිනර එහෙම කිව්වෙ ටිකක් සැරෙන් වගේ.හිතුවක්කාර වෙන්න හිතට හිතුනෙම නැති තරම්. මම කතාවක් නැතුව හෙල්මට් එක අරන් ඔලුවට දා ගෙන බයික් එකට නැග්ගා.

 නුවරට

බයිසිකලේට නැගල මම එහෙම කිව්වම බිනර පුදුමෙන් වගේ මං දිහා හැරිල බැලුව.එයත් කතාවක් නැතුව හැරිල බයික් එක ස්ටාර්ට් කර ගනිද්දි ඒ මුණෙ අමුතුම කාන්තියක් මම දැක්ක.ගමන පටන් ගද්දි අපි අතර මැද තිබුන අගල් තුන හතරක පරතරය බිනර හිතා මතාම මහා සද්දෙට ගහපු බ්‍රේක් පාරකින් නැත්තටම නැති උනා.ළැමත් මුහුණත් ඒ පිටට හිර වෙද්දි සීතළ කපාගෙන මට දැනුනෙ මහා උණුසුමක්.ඒ සනීපෙට මගේ ඇස් පිය වුනා.


                            
                                 *     *      *     *      *      *    *     *

බිනර එක්ක නුවර බෝඩිමට ඇවිත් හරියටම දවස් 4 ට පස්සෙ ඇසළ මාව හම්බවෙන්න කැම්පස් එකට ආව.වෙනදට ඒ මූණ දකින්න තියෙන ආසාව ඇස් වල යාංතමටවත් තිබුනේ නෑ.මට කියන්න ලොකු කතාවක් තියෙනවා කියපු නිසා මම ඇසළ එක්ක කැම්පස් එකෙන් එලියට ආව.යන්න තැනක් මට වගේම ඇසළටත් හිතා ගන්න බැරි උන නිසාද මංද අපි කතාවක් නැතුවම රේල් පාර දිගේ සරසවි උයන ස්ටේශම දිහාට ඇවිදන් ගියා.කවදාවත් අපි අතර මේ වගේ නිහඬ තාවයක් තිබිල නෑ.ඒ නිසාම මහ අපහසුවක් හිතට දැනුන.

 නිකිණි

ගොඩක් වෙලාවට පස්සෙ ඇසළ කටහඬ අවදි කලා.

 ම්ම්ම්ම්ම්ම්

 මම මේ කියන්න යන දේ අහල ඔයාට තරහ ඒවි දුක දැනේවි ඒත් මටත් වඩා උගත් කෙල්ලෙක් හැටියට ඔයා මේ දෙවල් බුද්ධියෙන් හිතල තෙරුම් ගනී කියල මම හිතනව

කෙලින් කතා නොකර වැල් වටාරම් ගහද්දි වෙනදට යකා නගින මම අද බොහොම නිහඬව අහන් හිටිය ඇසළ කියන්න යන්නෙ මොනාද කියල.

 පුංචි කමට නොතේරුම් කමට අපි අතර පොඩි පොඩි දෙවල් උනා තමා....ඒ කාලේ ඒ දෙවල් මහ ලොකුවට හිතපු අපිම අපි ගැන බලාපොරොත්තුත් තියා ගත්ත තමයි.... ඒත් ආදරේ කියන්නෙ ඒකට නෙවෙයි නිකිණි....මං ආදරේ හොයා ගත්ත... අද නැත්තං හෙට ඔයාටත් හිතේවි අපි අතරෙ තිබුනෙ ආදරේ නෙවෙයි කියල...ඒක තේරුම් ගත්ත දවසට ඔයාටත් හිතෙයි මම අද මේ කියන දේවල් හරි කියල...

එකම රේල් පීල්ලෙ දෙපැත්තට වෙලා ඉස්සරහට යන ගමන් ඇසළ කියන දෙවල් මම හැඟීමක් නැතුව අහන් හිටිය.

 අපි ගැන අපිටත් වැඩිය බලාපොරොත්තු තියන් ඉන්නෙ වැඩිහිටියො ... අපි දෙන්න එකම මතේක ඉන්නවනම් ඒ අදහස් එයාලගෙ හිතින් අයින් කරන්න අපිට පුලුවන් වෙයි... මං දන්නව නිකිණි ඔයා පොඩි කාලේ ඉදන්ම මං වගේ උනා... ඔයා හිතුව ඒ මම කැමති විදිය කියල...ඒත් මගෙ හීන වල ඉන්නෙ ඔයා නෙවෙයි නිකිණි.. අපි අර ඉස්සර වගේම සහෝදරයො වගේම ඉමු.ඊට එහා යන්න මට බෑ ... මං හිතනව ඔයාට මාව තේරෙනවා කියල...

ළඟට ඇවිත් ඇසල මගේ අතින් අල්ල ගත්ත.ඇත්තටම සහෝදර බැඳීමකට එහා ගිය උණුසුමක් ඒ පහසෙ තිබුනෙම නෑ.මේ ආදරේ වෙනුවෙන් හෙලන්න කඳුලක් මගේ ඇස් වලට ඒ වෙලාවෙ ඉනුවෙත් නෑ.මම වචනයක්වත් කතා නොකර යාන්තමට හිනා වෙලා ඇසළට සමු දුන්න.ස්ටේශමෙ නවත්තල තිබුන කෝච්චියට ගොඩ වෙලා ඇසළ මට අත වැනුව.කෝච්ච්ය ගිහිල්ලත් ටිකක් වෙලා යනකං මම බංකුවක වාඩි වෙලා බලන් හිටිය.මට මතකෙට ආවෙ එදා රෑ මාව බෝඩිමෙන් බස්සලා බිනර යන්න හදද්දි කියපු දෙයක්.

 ආදරේ කියල ඔයා හිතන් ඉන්නෙ මොකක්ද කියල මම දන්නෙ නෑ... ඒත් ආදරේ කියන්නෙ තමන්ගෙයි තමන්ටමයි කියල හිතෙන දෙයක් ලබා ගන්න තියෙන ආසාවට නෙවෙයි...ආදරේ කියන්නෙ නිදහසට... නිදහස් හැගීමකට.... ඒ හැගීමෙන් පපුව පිරෙන්න ඕනෙ... හුස්මක පවා ඒ ආදරේ දැනෙන්න ඕනෙ... ඇස් පියා ගනිද්දී ඒ ආදරේ මැවෙන්න ඕනෙ..... ආදරේ මෙන්න මෙතන්ට දැනෙන්න ඕනෙ......

දකුණු අත එයාගෙ පපුවට තද කරගෙන බිනර එහෙම කිව්වෙ හැටි මට මැවිල පෙනුන.මම ඇස් පියාගෙන හයියෙන් හුස්මක් ගත්ත. ඒ හුස්මෙ බිනර හිටිය වගේ මට දැනුන.මාව ගැස්සිල ගියා. මම රේල් පාර දිගේ එක හුස්මට බෝඩිමට දුවගෙන ආවා.කාමරේ දොර මහා සද්දෙට වහල බිත්තියෙ මුල්ලක වාඩි වෙලා ඇසළ කියපුවා ආයෙ ආයෙ මතක් කලා.මගේ හීන වල ඉන්නෙ ඔයා නෙවෙයි නිකිණි...ඇසළ කියපු ඒ වචන ටික දෝංකාර දිදී ඇහෙන්න ගත්ත.මට මං ගැනම දැනුනෙ මහ අනුකම්පාවක්.ඇසළ වගේ වෙලා ඇසළට ආදරේ කරල නිකිණිට නිකිණිවම මඟහැරිල නේද කියල පළවෙනි පාරට හිතට දැනුණ.අවුරුදු ගාණක් හිරවෙලා තිබුණ කඳුළු මහා සද්දෙට ඇස් වලින් එළියට පැන්න.

                                  *     *      *     *      *      *    *     *

                 බ ස් එක බණ්ඩාරවෙලට එද්දි හීන් නිලි වැස්සක් එක පාරටම කඩාගෙන වැටුන.කට්ටිය දඩිබිඩියෙ බස් එකෙන් බැහල අගුපිල් වලට දුවද්දි මම බෑග් එකත් පපුවට තුරුල් කරගෙන තවත් විනාඩියක් දෙකක් බස් එකටම වෙලා හිටිය.හරියටම මාස දහයකුත් දවස් දොළහකට පස්සෙ ගමට අඩිය තියපු නිසාදෝ මංද හිත තිබුනෙ හරියට සසළ වෙලා.විලුඹ ගාවටම දිග සාය එක අතකින් යාංතමට උස්සගෙන අනිත් අතින් බෑග් එක උස්සගෙන මම බස් එකෙන් බැස්සෙ අන්තිමටම. උරහිසටත් පොඩ්ඩක් පහලට වෙන්න වැවුණ කොණ්ඩෙ මටත් කලින් හුලඟ එක්ක යද්දි මම සාය අත ඇරල කොණ්ඩෙ අල්ලලා එක තැනකට ගන්න වෙහෙසුණා.ගමේ අහල පහල ඉන්න උන් පවා ගමට ආපු අමුත්තෙක් දිහා බලන විදියට මං දිහා බලද්දි මට දැනුනෙ අපහසුවක්. ඒ සමහරු මාව අඳුර ගත්තෙ නෑ කියල එයාලගෙ බැල්මෙන්ම මට තේරුනා.පුරුද්දට වගේ මගේ ඇස් මටත් හොරෙන් පාරෙන් එහා පැත්තෙ ඇහැළ ගහ දිහාවට ගියා.එදා වගේම රතු පාට ඩිස්කවරි බයික් එක උඩ බිනර බලන් හිටිය.හිත ගැස්සිලා ඇස් බොඳ වෙන්න ගත්ත.ඒ ඇස් දිළිසෙන අපූරුව පාරෙන් එහා පැත්තෙ හිටියත් මම පැහැදිලිවම දැක්ක.
ළඟට යනවද නොයනවද කියල විනාඩියක් දෙකක් විතර මම බිම බලාගෙන කල්පනා කලා.අන්තිමට ගැහෙන කකුල් වලට වාරු අරන් ලතාවට පාර පැනල  බිනර ළඟට යන්න මට තවත් විනාඩියක් දෙකක් යන්න ඇති.

අසන්නට දාහක් දේ සිතේ විනිද මට වචන නැතුවාක් මෙනි. ළය මඬළ මේ හැටි ගැහෙන්නේ ඇයිදැයි මටම තේරුමක් නැත.බිනර මා විනිවිද යන තරම් බැල්මෙන් මා දෙසම බලා සිටී.
 ඒ ඇස් මේ තරම් දිළිසෙන්නේ ආදරේට බව නිකිණිට තවත්නම් රහසක් නෙවෙයි.

 ලස්සනයි..... හරියට දැන් පිපිච්ච සුවඳ මලක් වගේ
ආදරෙන් විතරක් නෙවෙයි පුදුමයෙනුත් විසල් වෙච්ච ඇස් වලින් හිනා වෙවී බිනර එහෙම කිව්වෙ හරි ආදරේ හිතෙන හඬකින්

 කොහොමද දන්නෙ මම අද එන බව

බිනර දැකි මොහොතේ පටන් අසන්නට සිටි පැනය මම ඒ ඇස් දිහා බලාගෙන ඇහුව.

 අද එනවා කියලා දන්නේ නෑ... ඒත් කවද හරි එන බව දැනගෙන හිටිය... ඒකයි හැමදාම මෙතන්ට ඇවිත් බලන් හිටියෙ...

හිත හෝස් ගා පත්තු විය. මා ගම නෑවිත් හිටි මාස දහයේම බිනර මෙතනට විත් මග බලා සිටින්නට ඇත.ඒ ඇස් කෙලින් බලන්නට බැරි මොකක්දෝ හැගීමක් හිතට වද දෙන්නට විය.
එහෙනම් මැඩම් අදවත් නෑ බෑ නොකිය එනවද  මා එක්ක
මම සිතුවිලිත් එක්ක  පොර බඳිද්දි බිනර දොඩමලු උනා.එයා එහෙම කියල හෙල්මට් එක මගේ දිහාට දික් කලා.
බෑ අයියො.....
බෑග් එකත් පපුවට තුරුල් කරගෙන මම හුරතල් උනා.මම එහෙම කිව්වම දිළිසි දිළිසි තිබුන ඒ ඇස්  මොහොතකට මලානික උනා.
අපි ගෙදර ලඟටම පයින්ම යමුද....
මම එහෙම කිව්වහමනම් ඒ ඇස් ආයෙත් දිළිසුණා හරියට එයත් ඒක කියන්න ආසාවෙන් හිටිය වගේ.ඇත්තටම මේ  සුන්දර  මොහොත විනාඩි පහෙන් බයිසිකලෙන් ගිහින් ඉවර කරගන්න මගේ හිත ඉඩ දුන්නෙම නෑ.සීතල පතනය දිගේ බිනර එක්ක ළඟින් ළඟින් අඩි තිය තිය යන්න මගේ හිත මට පුදුම තරම් බල කලා.දෙපාරක් නොහිතම මම අරෙහෙම කියලා දැම්මෙ ඒකයි.

 හරි එහෙනම් තප්පරයක් ඔහොමම ඉන්න හොදේ
බිනර එහෙම කියල බයික් එකත් ස්ටාර්ට් කරගෙන  ඒ ළඟම තිබුන කඩේ ගාවට ගියා.මම හයියෙන් හුස්මක් අරගෙන පොඩ්ඩක් සංසුන් උනා. මම ඇහි පියල ආයෙ අරිද්දි බිනර මගේ ඇස් ඉස්සරහ.
හරි මැඩම් එහෙනම් දැන් යමු
මගේ  කරේ තිබුන බෑග් එකත් අනවසරයෙන්ම උදුරගෙන එයාගෙ කරට දාගෙන බිනර මගේ අතින් අල්ල ගත්ත. බිනර බයිසිකලේ කඩේ ළඟ පරිස්සමට තියල මේ ගමන මා එක්ක යන්න නිදහස් උනා කියල ආයෙ මට එයාගෙන් අහල දැන ගන්න උවමනා උනේ නෑ. එයා යනකොටම මම ඒක තේරුම් ගත්ත. මහ පාර පැනල  අපේ ගමට යන පොඩි පාරට හැරිලත් බිනර මගේ අත අත ඇරියෙ නෑ. හැන්දෑ අඳුරත් එක්ක කඩන් පාත් උන මීඳුම මුලු පලාතම  වහගෙන තිබුන.අවුරුදු විසි ගාණක් මේ පාරෙ ආපු ගියපු මට මේ සීතල මේ අඳුර අමුතු දෙයක් නෙවෙයි.ඒත් අද තරම් ලස්සනට මේ කිසිම දෙයක් මම මීට කලින් දැක්කෙ නෑ නේද කියල හිතෙද්දි මටම මගේ ඇස් ගැන පුදුමයි.
ඉතින්..... කෝ අද කතා පෙට්ටිය නුවර දාලද ආවේ....
දැහැන් ගත වෙච්ච හිත බිනරගෙ හඬින් ඕනාවටත් වඩා ගැස්සුණා.ඒ තිගැස්මට බිනරගෙ අතත් අත ඇරුන.
ඒක නෙවෙයි.... කෝ අරය....
බිනර ආයෙමත් දොඩමලුයි.ඒ සැහැල්ලුව ළඟ මමත්  හිමිහිට සැහැල්ලු වෙන  බව මට තේරුනා.
කොරයද.... මං එහෙම ඇහුව.
අර ඉස්සර මම  මේ පාර දිගේ කැන්දන් යන  විසේකාර අම්මණ්ඩි....
බිනර ඒක අහපු තාලෙට මට බකස් ගාල හිනා ගියා.
එයා මැරුණනෙ මීට මාස දහයකට කලින් නුවරදි වාහනේකට හැප්පිලා
අපොයි එහෙමද.... අපරාදේ මම අවුරුදු  ගාණක් බලන් හිටියා එයාට දෙයක් කියන්න.
මම හිනාව හංගගෙන  අහන් හිටිය.
අනේ... අපරාදේ ඇයි ඉතින් කලින් කිව්වෙ නැත්තෙ.....
මම ඒක ඔයාට කියන්නද ...මොන ලෝකෙන් හරි ඒකිව හොයලා ඒක  එයාට කියනවද...
මම ඒකට මුකුත් කියන්න හිතන්නත් කලින් බිනර මගේ ළඟටම ආවා.මම ඉක්මනට බිම බලා ගත්ත.එක අතක් මගේ උරහිසට තියන ගමන් අනිත් අතින් මගේ නිකටින් අල්ලල යාන්තමට එයාගේ පැත්තට හරවගත්ත.ජිවිතේ පලවෙනි වතාවට පිරිමි ඇස් දෙකක් ළඟ  පිරිමි සුවඳක් ළඟ මගේ ගැහැණු ආත්මෙ හිරි වැටීගෙන ගියා.
දන්නවද.... මම ආදරෙයි මගේ කිරි ඉබ්බිට පණටත් වඩා
මගේ ඇස් වලින් හෝ ගාල කඳුලු කඩන් වැටුන.මහා සද්දෙන් ඉකි ගැහෙද්දි බිනර හිමිහිට මගේ හිස එයාගෙ පපුවට වාරු කර ගත්ත. ඉතින් බිනර දවසක් කියුවාක් මෙන් පපුව පුච්චන පපුව හිරි වට්ටන හැඟීම් කප්පරකින් මුලු හිතම පිරිල  හුස්ම හිර වෙනව වගේ මට දැනුන.මේ ඉතින් ආදරයම බව පලවෙනි වතාවට මගේ හිත  මට හිනා වෙලා කිව්ව.කඳුලු හේදිලා යනකන්ම මම ඒ පපුවට හිස තියාගෙන ඒ නිරාමිස සුවය වින්දා.
ම්ම්ම්ම්ම් .... මම දෙයක් අහන්නද.....
කල්පයක් වගේ ගෙවුණ කාලෙකට පස්සෙ මගේ හිස මෑත් කරල බිනර මගේ ඇස් වලට එබෙන  ගමන් එහෙම ඇහුව.මම ඇස් වලින් හා කියල කිව්ව.
ආදරේ කියල කියන්නෙ මොකටද මැඩම්....
ම්ම්ම්ම්ම්ම්ම් ... ආදරේ කියන්නෙද.... ආදරේ කියන්නෙ අපි දෙන්නට....
එහෙම කියල මම ආයෙම ඒ පපුවෙම මූණ හංගගත්ත.

                                                              - නිමි -

51 comments:

  1. හයියෝ අනේ ඉවරද??ලෝභකම පැත්තකට දාල තව ටිකක් ලියන්න තිබුනනේ අක්කේ....අනේ මට නම් අපරාදේ කියලා හිතුනා ඉවර වුනාම..ලස්සනම ලස්සනයි අක්කි..හැබැයි අවසානේ ඉක්මන් වැඩි වගේ..හැබැයි පුරුදු විදියටම අපිව කතාවට වශී වෙන විදියට ලියලා තියනවා...ලස්සනයි හොදේ..

    ReplyDelete
    Replies
    1. හි හී ඉවරයි අප්පා ලියන්න ලෝබනම් නෑ ඒත් ටයිප් කරන්න ලෝබයිනෙ හි හී ඒ නිසා ඉවර කලා

      Delete
  2. ane.... ekata duka hitenawa... eth lassanay

    ReplyDelete
  3. ලස්සන කතාවක්. සිම්බා කිව්වා වගේම මමත් කතාවට වශී වෙලා හිටියේ. එල..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාටත් මෙහෙ ආවට

      Delete
  4. කථාව හරිම ලස්සනයි... සුන්දරයි... මේ වගේ හැම කෙනාගෙම දුක නිවෙනවා නම් කොච්චර දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් හැමෝගෙම දුක නිවෙනවනම් කොච්චර දෙයක්ද

      Delete
  5. කතාව නම් එළ! කියන්න කිසිම අඩුවක් නෑ.ඉවර කරන්න හදිසි උණා කියලා හිතෙන්නේ නැද්ද? මේ වචන ටිකනම්,
    "ආදරේ කියන්නෙ තමන්ගෙයි තමන්ටමයි කියල හිතෙන දෙයක් ලබා ගන්න තියෙන ආසාවට නෙවෙයි...ආදරේ කියන්නෙ නිදහසට... නිදහස් හැගීමකට.... ඒ හැගීමෙන් පපුව පිරෙන්න ඕනෙ... හුස්මක පවා ඒ ආදරේ දැනෙන්න ඕනෙ... ඇස් පියා ගනිද්දී ඒ ආදරේ මැවෙන්න ඕනෙ..... ආදරේ මෙන්න මෙතන්ට දැනෙන්න ඕනෙ......"

    සුපිරි...!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් කට්ටියගෙ කමෙන්ට් බලද්දි දැන් හිතෙනවා කොටස් 2 ට විතර තව ටිකක් දිග් කරලා දැම්මනම් හොදා කියලත්,ඒත් මට හිතුනා මෙතනින් අවසාන කරන්න

      Delete
  6. ඇයි අෆ්ෆ මෙච්චර ඉක්මනට නැවැත්තුවේ.. උපරිමයි.. ලෙසටම ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ටයිප් කොරන්න තියෙන කම්මලිකම තමා ඉතින් හික්z......

      Delete
  7. පිස්සු හැදෙන කතාවක් ඈ..
    ඇඩෙනවා..
    එල

    ReplyDelete
  8. ආ මේක දැම්මා කියන්නද අද දවල් දිගිසි වේවි හිටියේ

    ReplyDelete
  9. රෑට කියවලා කමෙන්ට් දාන්නම් කාවයියෝ

    ReplyDelete
  10. එක හුස්මට කියවන් ගියේ.. ලස්සන කතාවක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති දිනේශ් මල්ලි

      Delete
  11. පට්ටම ලස්සනයි.. හැබැයි කවියො ඔයා ටිකක් හිතුවානම් මේ කතාව නවකතාවක් තරමටම දිග් කරන්න තිබුනා... ඇසලගේ කතාව බිනරගේ කතාව කිරි ඉබ්බිගේ කතාව දලා කතාව ගොඩාක් දිග් ගස්සලා අපිට ඇඩෙන්නම දෙන්න තිබ්බා.. චික් අපරාදේ.. උදේ පාන්දරම වැඩ අල්ලන්න කලින් කියවන කොට හිතුවේ ඔයාගේ අලුත් නවකතාව දාලා කියලා.. හරි ආසාවෙන් කියවගෙන ගියේ..

    " ම්ම්ම්ම්ම් ආදරේ කියන්නෙද..... ආදරේ කියන්නෙ.... බිනරට "

    එහෙම කියපු මම ඒ බඳ වටා දෑතම යවල බිනරව හයියෙන් බදා ගෙන ඇස් පියා ගත්ත.


    නිමි.

    මේක දැක්කා විතරයි දනන් කුණු හර්ප ඔක්කොම හිතෙන් කියෙව්වා.. පටන් ගත්ත තැන ඉදන්ම කුතුහලය තිබුනා. උපරිම පට්ට කතාවක් මේක..

    ReplyDelete
    Replies
    1. ඕකමනෙ අර සිම්බත් කියන්නෙ මේක නවකතාවක් වගේ අදින්න තිබුනා කියලා ඒත් මට ඕන උනේ කෙටි කතාවක් ලියන්න බොලව්,නෑ නෑ නවකතව දෙන්නම්කො පස්සෙ ඉවසල ඉන්නකෝ, මේ ඔය දන්න හරුප වලින් ටිකක් මටත් කියලා දෙන්නකෝ බලන්න හි හී

      Delete
  12. happoi madai masa ganak kiyawanna hithagena eka husmata kiyawan giya nimi dakka para mawa uda giya lassanama lassanama asa hithena shoi kathawak

    ReplyDelete
    Replies
    1. හරි හරී දිග කතාවක් ඉක්මනට දෙන්නම්

      Delete
  13. ගොඩක්ම ආසාවෙන් කියෙව්වේ මම මේක යාළු..මැවී මැවී පෙනුනා කතාවේ හැමදේම..එහෙම කියවද්දී මැවෙන කතා හරි අඩුයි..ඒත් මම තව කියවන්න බලාපොරොත්තු උනා..ඔයා නතර කළා..:( තවත් එකක් ලියන්නකෝ......ෂෝයි..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාලු..... ඒකනෙ දැන් හැමෝම අම්ට කියන්නෙ මේක තව දික් කලානම් හොදයි කියලා ඒත් මොනා කරන්නද මම හරිම කම්මැලි ළමයෙක් නොවැ සිංහල ටයිප් කොරන්න

      Delete
  14. වෙන වැඩක් කරන ගමන් මේකත් කියවන්නම් කියල පටන් ගත්තේ.අනිත් වැඩේ මතක් උනෙත් මේක ඉවර උනාම.නියමය් කාව්‍යා......(කතාවේ තවත් කොල්ලෙකුට ඕනිනම් නවම් කියලත් චාන්ස් එකක් තිබුනා....:D )

    ReplyDelete
    Replies
    1. නවම්...... ඔව් එකත් නරක නෑ....මම කොහොමත් ආස එක සමාන එක විදියෙ නම් වලට

      Delete
  15. කතාව ගැන නම් කියල වැඩක් නෑ අක්කේ. ඒ තරමටම හිතට දැනෙනවා. ඒ කියන්නේ අන්තිමට නිකිණි යාලු වුනේ වයසින් බාල කෙනෙක් එක්ක. කතාව ගලාගෙන ගිය හැටි නම් මාරම ලස්සනයි. මම ලෝබකමේ කියෙව්වේ කතාව දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියල. ඒ වගේම ඉවර වුනා.

    නරකද අක්කේ මේක දිගට අරන් ගියොත් ?

    ReplyDelete
    Replies
    1. හනේ දැන් හැමෝම කියන්නෙ මේක දිගට අරන් යන්න කියලා , මම මේක ලිව්වේ මගේ දීර්ඝ නවකතාව දාන්න කලින් නිකන් බ්ලොග් එක පාලුවට යන නිසා කියවනන් මොනා හරි දෙන්න කට්ටියට. ම්ම්ම්ම් මම දිග කතාවක් ඉක්මනට දෙන්නම්කො

      Delete
  16. මියෑ....ව්!!!


    ට්
    ට.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හොර පූසෙක් වගේනෙ ...හික්ස්

      Delete
  17. දෙයියනේ..... මාර ලස්සනයි!!! මම එක හුසමට කියෝගෙන කියෝගෙන ගියා.. අක්කේ, ඇත්තටම ඔයාට කතා ලියන්න තියෙනෙන් පුදුම හැකියාවක්.. කියවන අයගෙ හුස්ම නවත්තලා දාන්න ඔයා ද්ක්ශයි අක්කෙ!!! කියන්න වචන නැති තරම් නියමයි!!!

    superb!!!!!!

    // ආදරේ කියල ඔයා හිතන් ඉන්නෙ මොකක්ද කියල මම දන්නෙ නෑ... ඒත් ආදරේ කියන්නෙ තමන්ගෙයි තමන්ටමයි කියල හිතෙන දෙයක් ලබා ගන්න තියෙන ආසාවට නෙවෙයි...ආදරේ කියන්නෙ නිදහසට... නිදහස් හැගීමකට.... ඒ හැගීමෙන් පපුව පිරෙන්න ඕනෙ... හුස්මක පවා ඒ ආදරේ දැනෙන්න ඕනෙ... ඇස් පියා ගනිද්දී ඒ ආදරේ මැවෙන්න ඕනෙ..... ආදරේ මෙන්න මෙතන්ට දැනෙන්න ඕනෙ......//

    මම ආසම ආසම කෑල්ල මෙන්න මේක.. ඇත්තටම බිනර ශෝක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති හිතූ.... ඔයාලගේ කමෙන්ට්ස් තමයි මාව දිරිමත් කරන්නෙ...

      Delete
  18. හොද වෙලාවට කෙටි කතාවක් දාලා තියෙන්නේ නැතිනම් දිග එකක් උනන්නම් බොලා එක දෙන්න ගන්න කල් ගද්දි නොකියවා ඉන්නමනේ හිතෙන්නේ එක නිසා කෙටි කතා හොදයි

    ලස්සනයි කතාව

    ReplyDelete
    Replies
    1. හි හී ඔයා විතරයි කෙටි කතාවක් හොදා කිව්වේ

      Delete
  19. ලස්සනයි කතාව......

    ReplyDelete
    Replies
    1. අනේ ටූටියෝ ඔයා කොහෙද අනේ ගිහින් හිටියේ

      Delete
  20. ලස්සන කතාවක් කවියෝ තව ටිකක් දික්කරලා නවකතාවක් වුනා නම් හොදයි කියලා හිතෙනවා මටත් ඒත් මෙහෙමත් නරකම නෑ වගෙ,, ඉක්මනම නවකතාව දියන් බන් ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දෙන්න බලාපොරොත්තුවෙන් සිටිමි

      Delete
  21. ඔන්න පමා වුනාට එන්න මම විඩා නොලබ‍ එක හුස්මට කියෙව්වා. මම කැමති කෙටිකතා එව්වා ෂෝට් වගේම ස්වීට්නේ. ඔයාගෙ නවල් හොදයි ඒත් මට එව්වා මිස් වෙනවනේ අප්පා. එතකොට දුකායි.
    කතාව උපරිමයි මගේ අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇති යාන්තං කියවලා...

      Delete
  22. ඇත්තටම ලස්සනයි! :)

    ReplyDelete
  23. ඉරිසියයි බන් මට මෙහෙම ලියන්න බැරි එක ගැන.
    ඇසළ බිනරට ගොඩක් ආදරෙයි වගේ නේද.. :D ඇසළත් එක්ක මුලින් ආපු මළ හෝදගන්නයි ඔහොම හිතා ගත්තෙ.
    කතාව සුපිරියි. ලියපු විදිය ඊටත් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඇනෝ මේ අදහස් වලට කාලෙකින් පෝස්ට් එක උඩට ඇවිලා තිබුන නිසයි බැලුවේ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...