සඳට බැළුම් හෙලූ අය

Mar 6, 2018

ඔබ උන්නානම් !



තාත්තේ ,

ඔබෙන් උරුම ලද
දායාද
රනින් රිදියෙන්
පිදුම් ලැබූ වග
ඔබට කියන්නට
ඔබ  උන්නානම්...

මං අඩුවෙන්ම ලියන්නේ
ඔබ ගැන බව
ඔබ දන්නවානම්
ඒත් වැඩියෙන්ම හිතන්නේ
ඔබ ගැන බවද
ඔබ දන්නවානම්...

අවුරුදුම
දහ අටකට පසුත්
මේ වැටෙන කඳුළු
ඔබේ චිතකය දැවූ
දා තරම්ම
ගිනියම් බව
ඔබට දැනෙනවානම්...

ඉතින්
ඔබ කොහේ සිට හෝ
මා දිහා බලා සිටීවි
ආඩම්බර වේවී
ඔබේ පොඩි දූ ගැන
රස කවියකුත් ලියාවී...

ඔන්න 

එතකොටනම්
හැමෝම කියාවි
මං තාත්තගෙම
දෝණි වග...

ඇත්තමයි
මෙච්චර ලොකු වෙලත්
මට පාලුයි තාත්තේ
ඔයා නැතුව...


21 comments:

  1. දූලා කියන්නේ තාත්තලාගේ සදාතනික ආදරේ.. ප්‍රින්ස් ගේ සුදු මල් පොකුරක් සිංදුව මතක් උනා.. සුභ පැතුම් ජයග්‍රහණ වලට.. තාත්තාත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි කමී.... ඒක මම අහන්න අකමැති ගීතයක්...එච්චරට රිදෙනවා

      Delete
  2. සුභ පැතුම් සඳූ....

    ReplyDelete
  3. මාගේ හදපිරි මෙව්වා එක....ඒ වුනාට අනේ මන්ද....දෙමව්පියන්ට අපි කොහොමත් ආදරෙයි නේ.... මම අම්මට කතා කරන්නෙ මැණිකේ කියල...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තඩී... ඔබේ මැණිකට දීර්ඝායුශ !

      Delete
  4. ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත........

    - - - - - - - - - -- - - - - - - - -- - - - - - - - - -
    සුභ පැතුම් සඳවතී.

    ReplyDelete
  5. Replies
    1. මේක ලිව්වෙත් ගොඩාක් දුක හිතුන වෙලාවක...

      Delete
  6. සුභ පැතුම් සඳවතී !!!

    ReplyDelete
  7. දුකයි අක්කා.එ්ත් කොහේ හරි ඉඳන් තාත්තා ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මටත් එහෙම හිතෙනවා... ස්තූතියි ඔයාට

      Delete
  8. තාත්තලා කොහොමත් වැඩිපුර ආදරේ දුවලට කියනවනේ. ඒක ඇත්තද මන්ද.

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා නේද... මමත් අහලා තියෙනවා....

      Delete
  9. අප්පටසිරි මේ ඕවා මොනවයින් මොනවයින් හම්බුනාද කියලා දැම්මොත් නරකද. ඔයා කොහොමත් දක්ෂ ලියන්නියක්. යම් දවසක අපේ රටේ සළකුණක් තැබිය හැකි ලියන්නියක් වෙන්නට ඔබට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් කවි ගීත කෙටි කතා වලින් ලැබිච්චා තමා... අනේ සලකුණුනම් ඕනේ නෑ ඒත් ඉතින් මම මැරෙනකන්ම ලියන එකනම් නවතින එකක් නෑ... කොහොම උනත් ඔයාගේ පැතුමට ස්තූතියි

      Delete
    2. කොහෙන් කොහොම හම්බුණාද කියලත් දැම්මනම් වටිනවා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...