සඳට බැළුම් හෙලූ අය

May 5, 2018

ආදරය තරහ වී ගිය දුරක් !

සද එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයනු මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්....

ඉතින් කියන්න...දවසට එකම එක පාරක් හරි මාව මතක් වෙනවද...? මගේ හිනා හඬක් ... මගේ කතාවක් නැතුව ඔයාට පාලුවක් දැනෙනවද....මම වගේම හිතින් ඔයත් අඬනවද.... ඉතින් ඒවා එහෙනම් මාව අතහැරල ගියාට ඔයාගේ හිතට සැනසීමක් නෑ නේද...? ඔයා අහනව මගෙන්  මම ඇත්තටම ඔයාට ආදරේද කියල.මම ඒකට ඔයාට උත්තරයක් නොදී ප්‍රශ්නයක්ම අහන්නද...? ඇත්තට නැතුව බොරුවටත් ආදරේ කරන්න පුලුවන්ද... ම්ම්හ්හ්... ඔයා උත්තර දෙන එකක් නෑ.ඔව් පුලුවන් ඇති එහෙම කරන අයත් ඇති.ඒත් ආදරේට බොරු කරන්න මම දන්නෙ නෑ... මට බොරු කරන්න උවමනාවකුත් නෑ...ආදරේ කියන්නම ඕනෙ දෙයක්ද.... ඇයි ඒක දැනෙන්න හැඟෙන්න බැරිද...

මම විශ්වාස කරනව  ඔයා මට කොච්චර නපුරුකම් කලත්  ඔය හිතේ කොහේ හරි තැනක මම ඇති කියල.මේ නපුරු කම් ඒ ආදරේ නිසාමත් වෙන්න ඇති.සමහර විට මට මේ හිතෙන දේවල් එහෙම නොවෙන්නත් පුලුවන්.ඒත් කමක් නෑ... මම ඔයාගෙන් ගොඩක් දෙවල් කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.එහෙමයි කියල මගේ හිතේ ඔයාට තියෙන තැන පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්නත් මම ඉඩ තියන්නෙ නෑ.

 ඉතින් ඔබ නොදන්නවා මුත් මම ඔබට සෙනෙහෙවන්තයි මහ හුඟක්...ඒ නිසා අහන්න....








මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
දුක ළයේ තබාගෙන හිටියා මං
මං නැතිව ගියත් යම් දිනක ඉතින්
ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
මට අයිති නොවෙයි ඒ ඔබට තරම්...

 ඔයා නිසා මගේ ඇස් වලින් කොච්චරක් කඳුළු වැටිල තියෙනවද කියල ඇත්තටම ඔයා දන්නෙ නෑ. ඔව් ඔයාට වැඩකුත් නෑ.ඔයාගේ නපුරු රළු වචන ළඟදි ඔයාගේ දරුණු ප්‍රතික්ශේප කිරීම් ළඟදි මගේ ඇස් වලට උණන  කඳුළුවලට නිදහසේ ගලාගෙන යන්න දෙන්න බැරි තරමට මම අසරණ වෙද්දි මගේ හිතට දැනෙන  වේදනාව කවදාවත්ම ඔයා තේරුම් ගන්න එකක් නෑ.පොඩ්ඩ බැරි වෙද්දි ඔයාට ළං වෙන්න තියෙන  හැම මඟක්ම අහුරන එක  දැන් ඔයාට පුරුද්දකට ගිහිල්ල.දන්නවද... මට දැන් අඬන්න කඳුළුත් නැති තරම්.

ඉතින් මම නැති එක ඔයාට සතුටක්නම්.... කමක් නෑ මේ දුක මං ළඟම තිබුනාදෙන්.



පවනට මුමුණා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක 
යන මට හමුවේදෝ නුඹ කෙදිනක..

කාලයක් තිබුන මට ඔයා එක්ක කතා නොකර ඔයා ගැන හොයා නොබලා පැයක් දෙකක්වත් ඉවසන්න බැරි.එතකොට ඔයා මාව ගනන් ගත්තේම නෑ. ඔයාගේ ඒ දරුණු ප්‍රතික්ශේප කිරීම ළඟ මම  විඳපු දුක ඔයාට කවදාවත්ම තේරෙන එකක් නෑ.අද ඔයාගේ මඟහැරීම් අත්හැරීම් ළඟ හිතින් මොන තරම් හැඬුවත් පිටින් මේ තරම් සංසුන්ව මට ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අතීතයේ ඔයා උගන්නපු ඒ පාඩම් වලින්මයි.ඔයාට කතා කරන්න  ඔයාට මැසේජ් එකක් දාන්න ඉස්සර වෙන මගේ අත මගේ හිත මම අමාරුවෙන් නතර කරගන්නව.ඒ තව දුරටත් ඔබේ අකමැත්තෙන් ඔබට වදයක් වෙන්න මට ඕන නැති නිසා.

කොච්චර මට ඔයාව ඕන උනත් ආයෙ එන්න කියන්නෑ  මම . එහෙම කියන්න මට අයිතියකුත් නෑ...ආවෙත් ඔයා... යන්න ගියෙත් ඔයා...ඒ ඔබේ අයිතිය... ඔබ ආවත් නැතත් බලා ඉන්න එක මගේ අයිතිය....





ආදරය තරහ වී ගිය දුරක්
ඒත් නෑ තාම නුඹ දුටුවේ
ඇස කඳුළු සැරසිලා බොහො කලක්
ඒත් තාම නෑ ගඟ ගැලුවේ...



සමහර විට ඔයා මේ තරම් මා එක්ක ඇවිලෙන්නෙ ඇත්තටම ඔයාට මාව ඔයාගේ හිතින් ගලවලා විසි කරන්න ඕන වෙලා වෙන්න ඇති.ඔය හිතේ මම හිටපු තැනට වෙන කෙනෙක් ඇවිල්ලත් ඇති මේ වෙනකොට.ඒක එහෙමනම්  මම කොහොමද ඔයාට දොස් කියන්නෙ.... ඔය හොයන කිසි දෙයක් මගේ ළඟ නැතුව ඇති... ඔයාට ඕන කිසිම දෙයක් මට දෙන්න බැරුව ඇති...එහෙම උනහම ගොඩාක් බැඳීම් ලිහෙනව ... අතහැරෙනව.... ඒත් මගේ හිතේ ඔයා ඇලුනෙ එහෙම බාහිර බැඳීම් කිසිවක්ම බලාපොරොත්තුවෙන් නෙවෙයි.ඒ නිසා මගේ හිතින් ඔයාව ගලවන්න බෑ...

ඉතින් කමක් නෑ මටත් වඩා ඔයාගෙ හිත කියවපු  කෙනෙක් ඉන්නවනම් ඔයාට අයිතියක් තියෙනව එතන නවතින්න.ඔයා සඳක්.... ඔව් ... ඇත්තටම ඔයා සඳක්... සඳේ සාවිට විතරක් බෑ  හඳට තනි අයිතියක් ඉල්ලන....ඒත්... ඒත්... මම  ඔයාට මෙහෙම කියන්නම්.... අහන්න....







රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට....



වචන වලට පෙරලල කියන්නවත් ලියන්නවත් බැරි මහ  හීන කතන්දර ගොඩක් ඔයා නමින් මගේ පපුවේ ගොඩ ගැහිල තියනව.ඔය ඇස් දිහා බලාගෙන මේ කල්පෙදි කවමදාවත්  ඒවා කියන්න බැරි බවත් මම දන්නව.ඒ තමා අපි ලබා උපන් හැටි.ඔව් මට උරුම දුරින් ඉඳන් ආදරේ කරන්න....  ඈතින්ම ඉදන් ළඟ වගේ ඉන්න.... ඔය මනමාල ඇස් ළඟ මාව දියවෙලා යාවි කියල මට හරි බයයි.ඒ නිසාම මට ඕනෙ  ඔයාගෙන් දුරස් වෙලාම ඉන්න.

එකම එක තප්පරේකටවත් අපිට අපේ වෙලා ඉන්න බැරි වේවි.... ඒත් එහෙම දවසක් ගැන හීනයක් දකින්න මට අයිතියක් තියෙනවනෙ නේද ? ඔයා කොහොමද මම හීන දකින එක නවත්තන්නේ ...? 
 




නුඹේ සෙනෙහෙන් මා සැනසුණු
ඊටත් වැඩියෙන් හඬවපු
ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්
තනිවුනු ඔය හිත ළඟ තනියට හිඳින්න එන්නම්....

සමහර විට ඔයා මාව මේ මඟ හරින්නේ සදාකාලයටම නොවෙන්න පුලුවන්.ඇත්තටම මම දන්න මගේ හිතේ ඉන්න ඔයාට මාව අමතක කරන්න බෑ.ඒත් කවදාම හරි දවසක මට කලින් ඔයා යන්නම යන්න ගියොත්.... ඔයා හිතනවද ... ඔයා බලාපොරොත්තු වෙනවද... සුදුම සුදු ඇඳගෙන ඇවිත් ඔයාගේ පියවිච්ච ඇස් දිහා මොහොතක් බලන් ඉදල ඔයාගේ දෙණට  නමස්කාර කරල මට යන්න පුලුවන් වෙයි කියල.

තරහ වෙන්න එපා මම කවදාවත් එහෙම එන්නෙ නෑ.... මට එන්න බෑ... ඇස් දෙකේ කඳුළක් නැතුව... හුස්මක් හිර කරගන්නෙ නැතුව....ආගන්තුකයෙක් වගේ ඇවිත් මට ඔයාව බලන්න බෑ.... ලෝකෙට පේන්න ඔයාගේ දෙණ ළඟ හඬා වැටෙන්න ඕන තරම් අය ඉදීවි ඒත් මතක තියා ගන්න ඒ හැමෝටම වැඩිය මම එහෙම දවසක මුලු ලෝකෙන්ම හැංගිලා අඬාවි...

හැබැයි මම දවසක එනවා කවුරුත්ම නැතුව කාටවත්ම නොකියා ඔයා මිහිදන් කරපු තැනට... ඔයා ආසම කරන මල් දෝතක් අරගෙන.... එදාට ඒ සුවඳ ඔයාට කියාවි ඒ ඇවිත් ඉන්නෙ මම බව.... අන්න එතකොට ඔයා තේරුම් ගනීවි මගේ ආදරේ තරම....

ඒත් මගේ එකම පැතුම මම ආදරේ කරන කිසිම කෙනෙක් මට කලින් සදහටම ඈත් නොවේවා කියන එක.












පසු සටහන

දැන් ඉතින් මේක කියවපු කට්ටිය එක එක එව්වා හිතා ගන්න ඇතිනේ... නෑ .. නෑ.. අයියෝ  එහෙම කිසිම දෙයක් නෑ... මේක මේ පොඩි චැලේන්ජ් එකක්.මේ දවස්වල බුකියේ ගජරාමෙට මේ දවස් පහලොවේ  රයිටින් චැලේන්ජ් එක යනවා.මටත් ඉතින් ඕක ආවා ඒත් මගේ ඒ හැටි කැමැත්තක් තිබුනේ නෑ දවස් පහලවක් එක දිගට ලියන්න.ඒත් ඉතින් දැන් මෙහෙම බ්ලොග් එක වේලෙනකොට ඔන්න හිතුනා මේකෙන් මම වැඩියම කැමති එකක් අරන් ඔන්න ඔහෙ ලියනවා කියල.ඉතින් අන්න එහෙම හිතලා ඔන්න ඉස්සෙල්ලම මම පටන් ගන්නේ 8 වෙනි චැලේන්ජ් එකෙන්.පිලිවෙලට වැඩ කරන පුරුද්දක් මට ඇත්තෙම නෑ නොවැ. අනික ඉරි ගහල කොටු ගහලා රාමු දුන්නම ලියන්න කියල මට ඒවායෙන් පනින්නමයි හිත.ඒ නිසා මට ඕන තැනින් තමා මේ පටන් ගත්තේ මේ දවස්වල අහන කැමතිම ගීත දහය, දහය කිව්වට  දහයකට යන්න බැරි උනා මම ලියන එව්වා මම ම කියවලා හොටු පෙර පෙර අඬන්න ගත්ත නිසා.ඒ නිසා යාන්තන් හයකින් ශේප් උනා. පස්සෙ බැරියෑ ඉතින් ඉතුරු ටික දාන්න. ඉතින් මේ තමා මේ දවස්වල මම අහන්න කැමතිම ගීත .. මම අහන  ගීත .. මට ඇහෙන ගීත... ආ... මගේ එකත් තියෙනවා නේන්නම්... ඔව් ඉතින් ඒක අහන්නේ නෑ කිව්වොත්  බොරුවක් නොවැ. දවසට එක පාරක්වත් මම ඒක අහනවා මේ දවස්වල.බුකියේනම් වෙන්නේ මෙහෙම ලියලා එක එක දවසට එක එක්කෙනාව  මෙන්ශන් කරලා චැලේන්ජ් කරන එක එයාටත් ලියන්න කියලා.මම ඉතින් දැන් මේකේ කාවවත්  මෙන්ශන් කොරන්න යන්නේ නෑ. අනේ ඕවා කරලා බැනුම් අහන්න පුලුවනෑ ඔයාලගෙන්.ඒත් ඔන්න පල්ලෙහායින් අමුණනවා චැලේන්ජ් එක කැමති කෙනෙකුට කැමති දෙයක් ලියන්න බැරියෑ.
















12 comments:

  1. හරියට කතාවක් කියවගෙන ගියා වගේ. සමහර තැන් මගේ හිතට තදින් දැනුණා.

    ReplyDelete
    Replies
    1. ලියන එක දැනෙන්න ලියන්න තමා ඉරෝමි මටත් ඕනේ.... අනිත් අය ඒක කිව්වම තමා මට සතුටු. ස්තූතියි....

      Delete
  2. නොලියා ගියත් අමනාපයකනම් නෑ ඔය හිතේ කීවත්....පසු සටහන නොතිබුනානං කියලයි ඉතින් අපිලට නං හිතෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. ඒක නොදා කෝමෙයි කට්ටියට චැලෙන්ජ් කරන්නේ...බාර ගන්නවද චැලේන්ජ් එකක් මේ වගේ කැමතිම සිංදු ගැන ලියන්න.

      Delete
    2. බාල වැඩ කරන්න වෙලා නෑ මෙයා..කන්න අඳින්න කීයක් හරි හොයාහන්නවත් වෙලාවක් නැති අපිලට..ඔයාලම ලියන්න...😂

      Delete
    3. හම්මෝ ඉතින් හා හා පුරා කියල ලොක්කෙකුට චැලේන්ජ් කලා මදෑ...

      Delete
  3. ඒ චැලේන්ජ් එක මාත් කළා...අපූරුම ලියවිලි ලිව්ව දවස් ටිකක්....මේ ගී ටික සුන්දරයි නංගි

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා මම ඒ සේරම කියෙව්වා.....හිනා කතා දුක්බර කතා ආදරණීය කතා ඒ සේරම හරිම ලස්සනයි

      Delete
  4. අනේ මන්ද ඔය චැලේන්ජ් නම් .

    හැබැයි හැමදාම වගේ මේ පොස්ට් එකත් ගොඩක් ලස්සණයි .

    ReplyDelete
    Replies
    1. චැලේන්ජ් බාර නොගත්තට කමක් නෑ ඉතින් පෝස්ට් එක රසරවින්ඳාට ස්තුතියි කලන

      Delete
  5. ගී මෙන්ම ලිවීමද වින්දෙමි....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...