සඳට බැළුම් හෙලූ අය

Oct 2, 2018

ඇත්තටම මට පිස්සුද ඩොක්ට !




අද උදෙත් මං බුරුසුවට
ෆේශ්  වොශ් දාගෙන දත් මැදල
ඊයේ පෙරේදා දවසකත් ඔය වගේ
ෆේශ්  වොශ්  කියල මං මූණෙ උලන් තිබුනෙ
ටූත් පේස්ට්  එක
මට දැන් උදේට ඉස්සර වගේ
රස විඳ විඳ  තේකවත්
බොන්න නිවනක් නෑ
තේ මන්ඩි අස්සෙ ඇස් දෙකක්
මං දිහා බලන් ඉන්නවා

අනේ මේ ඇත්තමයි ඩොක්ට
ඒ ඇස් කතා කරනව
මට තේ උගුර ඉස්මොල්ලෙ යනවා...

මිට කලිනුත් එකම එක වතාවක
මේ රෝග ලක්ශනම තිබුන
ඒ වතාවෙනම් ඒ වෙදා නිට්ටාවටම
ලෙඩේ අඳුරගෙන තිබුනා
මට සනීප උනා ඩොක්ට...

ඉතින් එහෙම නිට්ටාවටම සුව උන
ලෙඩ මෙහෙම කාලෙකට පස්සෙ
ආයේ උඩුදුවනවද ඩොක්ට...

හිතේ කෝශ ඇතුලෙ හැංගිලා හිටපු
සමනල් පැටව් ආයේ බඩ පිනුම්
ගහනව ඩොක්ට...ගිය පාර වගේ උන්ට
මේ පාර පියාඹන්න බැරි හින්දමද කොහෙද
පපුවෙ වම් පැත්ත වෙනදට වඩා
රිදෙනව ඩොක්ට..

ඩොක්ටට කියන්න රෑ නින්දෙනුත්
මට මල් සුවඳක් දැනෙනව
ගැස්සිල ඇහැරිල බලද්දි තමා
මට මතක් වෙන්නෙ
ඒ මට නම කියන්න බැරි
පිරිමි සෙන්ට් එකක සුවඳ කියල

ඇයි ඩොක්ට මට රවන්නෙ..
එහෙම තමා ඩොක්ට
සමහර රහස් සදාකාලික රහස්
වෙදාටත් ලෙඩේ හංගන්න වෙන වෙලාවල්
ජීවිතේට එන්නෙම නැද්ද
අනික කවුද දන්නෙ මේ පාර මට
පිළිකාවක් ද කියල

තාම පැතිරිලා නෑ කපල මුලින්ම අයින් කරමු...

මොනවා...කපල අයින් කරන්න....
ඩොක්ට පිස්සුද ඩොක්ට...
ඔය ස්ටෙත් එකට අහුනොවෙන
හදවතේ අහුමුළු තව කොච්චරක්ද
මේ බලන්න ..මේන් මෙතන
ඩොක්ට හිතන්නෙ ඒ හුස්ම ගන්නෙ මමද...?

මේ මෙතන ඔය හිස් මුඳුනෙන්
විහිදෙන්නෙ මම අද දාපු
සන්සිල්ක් සුවඳ විතරමද...?

අල්ලල බලන්න මගේ මේ අත
ඒ සීතල මම
එතකොට කොහෙන්ද මේ
ලා රස්නෙ මගෙ අතට...?

ඔක්කෝටම හපං මේ බලන්නකෝ
මගේ ඇස් දිහා
ඔය කලු ඉංගිරියාව ඇතුලේ
මොකද්දෝ නාඳුනන යමක් තියෙනවා නේද...?
නිතර ඇස් දැවිල්ල හැදෙනව
කඳුළු වැක්කෙරෙනව
කොච්චර පිහිදැම්මත් පටලයක් බැඳිල වගේ
ඩොක්ට කියන්නෙ මේ පොඩි වයසටත්
ඇහේ සුද මතුවෙනව කියලද .....?

ඉතින් මෙච්චරක් දේවල් වෙලා තියෙද්දිත්
කොහොමද කියන්නෙ තාම පැතිරිලා නෑමයි කියල
ඔහොම හිනා නොවී මොනවම
හරි කියන්න ඩොක්ට

අනේ බං කෙල්ලෙ..උඹට ඔල්මාදේ..

අන්තිමට ඩොක්ටට හිතෙන්නෙත් එහෙමද ඩොක්ට
ඇත්තටම මට පිස්සුද ඩොක්ට ....

20 comments:

  1. පිස්සුද අනේ, ඔයාට පිස්සු කියන්නේ කවුද? ඔය ලස්සනට ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ මට කාරුත් පිස්සු කියන්නේ නෑ... හි හී

      Delete
  2. කලින් වෙදත් ලෙඩේ අඳුරගත්ත එකේ මේ ඩොක්ටට බැරි වෙන එකක් නෑ. නිට්ටාවටම සුව කරයි, ආයෙ නොහැදෙන්නම. බය නොවී ඉන්න සඳවතී.

    ReplyDelete
  3. ගංජා සුරුට්ටුවක් ඉරුවමත් ඔය විදිහමයි...ටිකක් වැඩිපුර දාඩියත් දානවා නේද...හොදට පැය තුන හතරක් නිදා ගන්ඩ එතකොට ඔය ගතිය ඇරිල යයි..සමණල්ලුන්ගෙ පියාපත් වල පාට විඩෙන් විඩේට වෙනස් වෙන ගතියකුත් එනවනං බීල තියෙන්නෙ කේරළ ගංජා වෙන්න ඉඩ තියනවා...කොහොම උනත් පුරුදු නැත්තං ඔච්චර බොන්ඩ එපා...

    ReplyDelete
    Replies
    1. හැබෑට.... ඒකත් දැනගත්ත එක හොදා... මීට පස්සේ ඔල්මාදෙ හදාගන්න හිතුනම සලකා බලන්ට ඕනේ.

      Delete
  4. එක බේතයි ඉතිං ඔය පිස්සුව හොඳ කරන්න නම් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං එකක් හරි තියෙනවනම්...

      Delete
  5. ඇහුවා මන් දොස්තරගෙන්,

    මොකක්ද කරන්නේ මේකිට........

    කිව්වා එයා,

    ගහපං උබත් මිට මොලවා ලා........

    ඒකිගේ ඉහ මොළ හෙලවෙන්නට .

    ReplyDelete
    Replies
    1. මේකි මේකි කිව්වේ මේ කවියේ ඉන්න එකීට වෙන්ටැ. හොද වෙලාවට මම නෙවෙයි ඒ..

      Delete
  6. රෑ නින්දෙදි දැනෙන්නෙ වෙරළු මල් සුවඳද කියල මතක නැද්ද? ඒකත් පිරිමි සෙන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... වෙරළු මල්නම් ඉතින් නම කියන්න බැරිකමක් නෑනේ...නම කියන්න බෑ කියලා කිව්වෙ බ්‍රෑන්ඩ් නේම් එකක් දැම්මොත් නිකමට හරි මෙහෙ යන එන අය ඒක පාවිච්චි කරනවනම් එහෙම අවුල් වෙයි කියලා හිතලා...අනික මේ දැනෙන්නේ අර සුජීවගේ කතන්දර වල වගේ ආත්මීය සුවඳක් කියලයි මට හිතෙන්නේ...

      Delete
    2. සුජීවගෙ කතා වල තියෙන්නෙ ආත්මීය සුවඳක් නෙවෙයි බං කට්ට කරවල හොද්දෙ කරවල සුවඳයි යහමින් රතුලූණු දෙහි ඇඹුල් දාපු ගොටුකොළ සම්බෝලෙකින් එන දෙහි සුවඳයි. :)

      Delete
    3. හරි හරි ඉතින් කරවල සුවඳ විතරයෑ ඔය ආත්මීය සුවඳත් තියෙනවා නොවැ

      Delete
  7. එන්න අංගොඩට. අපි බලමු පිස්සුද කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අංගොඩ ඉන්නේ සේරම පිස්සොද....?ඔය ඉතින් ජය වේවා ලු....හි හී පිස්සුවක් උනත් ජයටම තියෙන්නත් එපැයි...

      Delete
  8. ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි සහ කවි කියෙව්වා . ඔබ අපව එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබේ පැමිණීමටත් මේ අගය කිරීමටත්.ඔබේ බ්ලොග් එකේ ලින්ක් එකත් මෙතන සටහන් කරන්න.මම ඒ පැත්තට ගියා... ලිපි කියවා අදහස් කියන්නම් පසුව.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...