සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jun 28, 2019

කමනීය ආදරණීය හීනයක්ම වු !





කවුළුවෙන් එපිට මේ මහා දවාලේ එක සීරුවට මහ වැසිය.බොහෝ කාලෙකට පසුව මේ වගේ වැස්සක මේ තනිව ගමනක් යනවාමය.එහෙත් වෙනදා වගේ වැස්සට ආදරේ කරන්නවත්  මේ වැස්ස හිතේ හැටියට විඳින්නවත් අද හිතට නිවනක් නෑ.ඉබි ගමනින් ඇදෙන බස් රියේ මීදුම මිදුණු වීදුරුව අත්ලෙන් පිහිදාල මං පාර දිහා බැලුවෙ සාංකාවෙන්.මීට ටික දවසකට කලින් මේ පාරෙම මේ ගමනම මං ගියේ ඔයත් එක්ක.එදා එහෙම උනාට අද මං යනවා කියල ඔයාට කියන්න තරම්වත් අවස්ථාවක්වත් ඔයා මට දුන්නෙ නෑ.මනුස්සයෙකුට හිටි ගමන් එහෙම එක පාරටම වෙනස් වෙන්න පුලුවන්ද...

මට කතා කරන්න එපා....

මට උත්තර එපා...

අපි ටික කාලයක් නිහඬ වෙමු...

ප්‍රේමයකට එහෙම තහංචි දාන්න..හිතකට එහෙම වැටකඩොලු බඳින්න පුලුවන්ද...බාහිරින් මොන විදියේ බලපෑමක් එල්ල උනත් ඔයාගෙන් මටවත් මට ඔයාගෙන්වත් වරදක් නැති තැනක නිහඬ වීම කියන්නෙ එකම හෝ අන්තිම විසදුමද....?

ඔයත් එක්ක ආ ගිය මඟ පහුවෙද්දි මගේ පපුවට දුක තුරුල් වෙනව...බොඳවෙන ඇස් අතරින් මට ඔයාගෙම රූපෙ මැවෙනව....හිටපු ගමන් බස් එක අතුලෙත් මට ඔයාගෙ සුවඳ දැනෙනව...නෑ ...ඒ ෆර්පියුම්  සුවඳ ඔයා ළඟින් ඇරෙන්න වෙන කා ලගින්වත් කොහෙන්වත් දැනෙන්න විදියක් නෑ...දැනෙන්න ඕනෙත් නෑ ...පිස්සු නටන මගේම හිතට මං තරවටු කරගන්නව.ඉතින්....ප්‍රේමණීය විරහව මොන තරම් මරණීයද කියල මං අත්විඳිමින් ඉන්නව.කවියක , කතාවක, ගීතයක, තවරපු, දවටපු විරහව රස කරමින් අහපු, කියවපු, ලියපු මම අද ඒක සැබෑවටම අත්දකිමින් ඉන්නව.

ඔයා අහනවයි කියල හිතෙන රේඩියෝ චැනල් එකම මමත් අහන්න..ඔයා කැමතී කියල දන්න.. දැනෙන සිංදුම හොය හොය මටත් අහන්න හිතෙන තරමට මං ඔයාට ඇබ්බැහි වෙලා.එදා අවසන් හමුවෙදි මං ඇදගෙන හිටිය බ්ලව්ස් එක ඔයාට මතකද...ඒ බ්ලව්ස් එක පුරාම ඔයාගේ සුවඳ ඉහිරිලා මම තාමත් ඒක නොසෝදා ඒ සුවඳ පරිස්සම් කරනව.මං දන්නව ඔයා දන්නවනම් මට හිනා වේවී..තමුසෙට පිස්සුද ඕයි... කියලත් අහවි.ඔයා මට මගේ ජීවිතේ ප්‍රේමණීය ම ...සදානුස්මරණීය ම...සුවිශේෂී ම කෙනෙක්..ඔයා එක්ක ගතකරපු හැම තප්පරයක්ම මට වටිනවා...මං පරිස්සම් කරනවා...ඒත් අවාසනාවනම් ඔයාගේ ජිවිතේ අවශේෂම කෙනා මම ...අසුරු සැනින් මාව ප්‍රතික්ෂේප  කරන එක ඔයාට බොහොම සරල දෙයක්.ඉතින් හයියෙන් වැස්සක් වැස්සත් ඔයාට කැස්සක් හෙම්බිරිස්සාවක්  හැදුනත් ඔයා මුලින්ම කරන්නෙ මාව පස්ස දොරින් එලියට දාල දොර හයියෙන් වහන එක.

නෙත් පහරකින් හිරි වැටෙන්න තරම්... නළල් තල මත තැබූ හාදුවකට සංවේදී වෙන්න තරම් ... දෙතොල් පහසකින් මුලු ආත්මයම අවදි වෙන්න තරම් ..ඔයාට මාව නැවුම්ද මාව දැනෙනවද කියන්න මට තේරෙන්නෙ නෑ.ඒත් මං ඒ හැම දේකින්ම තිගැස්මෙන් තිගැස්මට පත් වෙලා ඉන්නෙ.ප්‍රථම ප්‍රේමය ප්‍රථම හාදුව තරම්ම මේ  සිප වැළඳ ගැනුමත් මට ආශ්චර්යක්...අමන්දානන්දයක්...තිගැස්මක්.ඔයාට ලව් එෆෙයාර්ස් කීයක් තිබුනද මං දන්නෙ නෑ...මට වැඩකුත් නෑ..ඔයාට  ආදරේටත් ගොඩක් මෙහායින් තියෙන හුදු ස්ත්‍රී සම්භන්ධතා පමණක් කීයක් තිබුනද මං දන්නෙ නෑ... මට වැඩකුත් නෑ...ඒත් මට ඕනේ මෙතනින් එහා ඔයාගේ ජීවිතේ අන්තිමයා මම ම වෙන්න.අපි අතර ගිවිසා ගැනීම් නෑ ...පොරොන්දු නෑ ...ඔව් මේක කොන්දේසි විරහිත ප්‍රේමයක්...ඒත් මම විශ්වාස කරනවා මං ඔයාගේ ජීවිතේ අන්තිමයා වේවි කියල.

ප්‍රේමය උපදින්නෙ අහම්බෙන්. හරියට හදිස්සි අනතුරක් වගේ.දෛවයේ ලියල තියෙන දේවල් කාටවත් වෙනස් කරන්න බෑ.ඉතින් ඔයාගෙ ඇස් කියපු කතා වලට  ආත්ම ගානක හුරුපුරුදු  කම් දැනෙද්දි ඒ ඇස් අස්සෙ ගුලි වෙන්න හිතුනා මිසක් මට පස්මහ බැලුම් බලන්න මතක් උනේ නෑ.සමහර  විට මං මේ විඳවන්නෙ ඒ නොසැලකිල්ලට වෙන්නත් ඇති. අයිතියක් නැති පෙම් කතාවක අයිතිකාරියක් වෙන එක මොන වගේ හැඟීමක්ද කියල දන්නෙ ඒක විඳින විඳවන අයම විතරයි.

යටි පතුලෙ කටුවක් ඇනුනම ඒ සැනින් අරන් දැම්මෙ නැත්තං මොකද වෙන්නෙ...එන්න එන්න වේදනාව වැඩි වෙනව...පැසවනව..ඊට පස්සෙ ලේසියෙන් අයින් කරන්නත් බෑ..අල්ලන අල්ලන පාරට වේදනාකාරී ..ඒත් ඒ වේදනාවේ මොකද්දෝ නොතේරෙන මිහිරක් තියෙනව...සැරින් සැරේ පාර පාර ඒ මිහිර වේදනාව  විඳින්න හිතෙනව...ඉතින් ඔයාගේ ආදරෙත් දැන් අන්න ඒ වගේ මගේ හදවතේ පැසවල..නහර වැල් පුරා උඩු දුවල...දුකයි ..වේදනායි...ඒත් ඒ වේදනාවෙන් මිදෙන්න මට බෑ..මිදෙන්න ඕනෙත් නෑ..දැන් ඔයාට තේරෙනවද කොච්චර අත් හරින්න හිතුවත් මට ඔයාව අත් හරින්න බැහැ.





10 comments:

  1. අපුර්ව ලියැවිල්ලක්... මටත් අත හරින්න බැහැ...

    ReplyDelete
    Replies
    1. ස්තූතී .... ඒකනේ බැරි දේවල් කරන්න එපා

      Delete
  2. පට්ට ... නියමෙට ලියලා තියෙනවා . කවි ත් ඒක්‌ක මෙවාත් හොදායි .....😊😊

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔය කිව්වට ... සමහරුන්ටනම් මේවා විකාර... විහිලු

      Delete
  3. හරිම ලස්සනයි. හිතට දැනුන ලියවිල්ලක්.

    ReplyDelete
  4. ප්‍රේමයට අරුත් සහසක් මැවෙයි.. ඒ අතර අප අතරමං වන්නෙමු

    ReplyDelete
  5. //අයිතියක් නැති පෙම් කතාවක අයිතිකාරියක් වෙන එක මොන වගේ හැඟීමක්ද කියල දන්නෙ ඒක විඳින විඳවන අයම විතරයි.// ළඟකදි කෙනෙකුගෙ කතාවක් ඇහුවා මේ වගේ. ඔයාගෙ කතාව කියෙව්වම මගේ හිතට අර කතාව තවත් වැදුනා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් මේ වගේ කතා කොච්චරක්නම් ඇතිද ඉතින් ... ස්තූතියි ඔයාට මෙහෙ ආවට ...කියෙව්වට..

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.