සඳට බැළුම් හෙලූ අය

Mar 15, 2022

මට යසෝදරා වෙන්නටනම් බෑ !





හීත හිමේ හීතල හිත ඉඹිනවද

KFC රයිස් කුසගිනි නිවනවද

මාර දූතිකා තනියට රඟනවද

අනේ බුදු වෙලා දැන් මා අමතකද

 

සංසාරෙම ලඟින් ඉන්නට සපථ වෙලා

පින්සාරම හීන පෙන්නා තොදොල් වෙලා

පන්නං ගියේ ප්‍රේමයෙ දෙව් ලොවම මවා

අබිනික්මන් කලේ කුස එනකොටයි නෙරා

 

පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා

ගේන පලා අතින් තියා තොල කට ලෙවකනවා

වරක් දෙකක් හොඬ උස්සල ඌ යන්නට යනවා

ඊට පස්සෙ මං ආයෙත් හොද අම්මා වෙනවා

 

හොවා මුවේ තන බුරුල්ලෙ වෑස්සෙනා කිරි

රාහුලගෙන් හංගනවා ළය මඬලේ ඉරි

ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරි

තනියම බුදු වෙන්න ඔයා දැන් සේරම හරි

 

වනන්තරරේ වන සපුවන් මැද තනියම හිදිමී

නිරන්තරේ පුතු වෙනුවෙන් ලේ කදුළැලි හෙලමී

වරින් වරේ උඹ සිහියට එන හදවත දවමී

පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී

 

17 comments:

  1. අප්පට හුඩු, හුස්ම හිරවුනා වගේ දැණුනා. බොක්කටම වැදුනා, යසවතී. නියමයි.🙏👌😒

    ReplyDelete
    Replies
    1. කාළෙකට පස්සෙ හිත සසල කල පෝස්ට් එකක් බැලුවා. මම කැමතිම දෙයක් තමයි ව්‍යංගය:

      අලියගෙ යෙදුම නියමයි. අභිනික්මණත් හොඳයි, ඒත් "KFC රයිස්"?? එතන මොකක්දෝ විසන්ධි වීමක් දැණුනා.බාගදා ඒක මට විතරක් දැණෙන දෙයක් වෙන්නත් ඇහැකි.🤔

      Delete
    2. ස්තූතියි බසූ ඇගයීමට මටත් එතන හරියට සෙට් උනේ නෑ.ඒත් තවම හරිම වචනෙ ආවේ නෑ.බලමු පසුව වෙනස් කරන්න

      Delete
    3. ඒත් "KFC රයිස්"?? - ඒක තමයි හොඳම එක. එතනින් දෙකක් හිතා ගන්න පුළුවන්. එක්කෝ කෙලල්ව දාල බස්සා කොළඹ ගෙහුං, එහම් නැත්නම් පිටරටක - ඉතින් කවිය නියමයි

      Delete
    4. ස්තූතියි අයියේ..මං අදහස් කලේ නම් දෙවෙනි එක. ආයෙ මේ පදේ ව්‍ර්නස් කලත් ඒක ඇගවෙන විදියේ එකක් තමා දාන්නේ

      Delete
  2. මට මතක් වුනේ, බීටලේ ලියපු "අඳුරේ පව් කරන දනා"

    https://akurublog.blogspot.com/2010/12/sinners-in-darkness.html

    ReplyDelete
  3. බස්සා හරිය; හිත ගැස්සිණි, දෙකක් නැත
    අදත් සිදුහත්ල රටතොට එමට ඇත!

    ReplyDelete
  4. අපූරුයි. වෙනස් විදිහට දකින වෙනස්ම පැදි පෙලක්.

    ReplyDelete
  5. ගිය සති අන්තේ යශෝධරා ෆිල්ම් එක බලපු උණුහුම හිතේ තාම තියෙද්දි මේක කියෙව්වේ. හ්ම්ම්ම්... යශෝධරාවතේ කවි තාලෙටම මුළ ටික කියවගෙන ආවේ. ඇත්ත, මෙහෙම අභිනික්මන් කරන අයත් ඉන්නවානේ මේ ලෝකේ. ලස්සන පබැඳුමක් සඳවතී!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...