ඔන්න ආයෙත් හෙනහුරාදාවකට කිට්ටු වේගෙන එනකොට එක පාරට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මතක් වෙනවා අප්පා බ්ලොග් එකට මක්කා හරි ලියන්න ඕනේ නේද කියන එක.ඉතින් මෙදා සැරේ මොනාද ලියන්නේ කිය කිය හිතනකොට තමා අර B&W ගෙ පස්සට රිවස් එක නිසා අවධි උන මගේ ඩ්‍රයිවිං භීතිකාව ගැන ලියන්න හිතුනේ.ඒ භීතිකාව විතරක් නෙවෙයි මෙහෙම හිටියට මට නානාප්‍රකාර භීතිකා එමටයි ජල භීතිකාව විතරද මංදා නැත්තෙ.කවුරු හරි මේක කියවලා එහෙම කමෙන්ට් කරන්න කලිං ඕං ඒක මම ම කියලම පටන් ගත්ත.🤗
මේ කාලේ වාහනයක් පදින්න ඉගෙන ගන්න එක වාහන පදින්න ලයිසමක් තියෙන එක මොන තරම් වටිනා දෙකක් ද කියල මං දන්නවා උනත්,මොන තරම් මට ඒකට උපදෙස් මෝටිවේශන් ලැබුනත් වාහනයක් පදින්න තියා අනුන් පදින වාහනේකට උනත් නැගලා යන එක ගැන මම මාර විදියට හිතනවා.ඩ්‍රයිවර් ගැන බුදු ශුවර්නම් විතරයි මට ටිකක් හරි සැනසීමක් ලැබෙන්නෙ.කොහොමත් පුංචි කාලෙ ඉදන්ම මම මෝටබයික් වලට බොහොම අකමැති.සමහර විට ඒක එහෙම උනෙත් මට මතක තියෙන පුංචිම කාලෙ වෙච්ච හදියක් නිසා තමා. අම්මයි අපි තුන් දෙනයි (මම ,අක්ක,මල්ලි) මට මතක විදියට පන්සල් යන්න ලෑස්තිවෙලා හිටියෙ.තාත්ත පොඩි සප්පායමක් වෙලා හිටියෙ ගෙදර.ඔන්න එයා ඉදිරිපත් උනා අපිව පන්සලට ගිහින් දාන්න අම්ම ඕනෙ නෑ ඕනෙ නෑ ඔයා බීලනෙ ඉන්නෙ කියද්දිත් නෑ නෑ මේ ළඟටනෙ අවුලක් නෑ කියල අපි හතර දෙනාවම බලෙන්ම පටවගෙන අර බයිසිකලේට මීටර් තුන් හාරසීයක්වත් යන්න උනේ නෑ බොරළු පාරෙ සිග්සැග් ගිය බයිසිකලේ පාර මැද්දෙ පත බෑවුනා.අපි කට්ටිය සීසීකඩ.අතපය ලෙලි ගිහිල්ල ලේ පෙරාගෙන ඒ හිටපු දර්ශනය මට තාමත් ඒ විදියටම මතකයි.හොද වෙලාවට කාටවත් ලොකු අනතුරක් නෑ.හැබැයි කාලයක් යනකං ආයෙත් මං තාත්තගෙ බයිසිකලේට නැග්ගෙම නෑ.මෝටබයික් වලට මගේ අකමැත්ත එතනින් තමා පටන් ගත්තෙ.ඊ ළඟට ඒ වගේම මරාලයක් සෙට් උනේ මම O/l කරද්දි.ඒ කාලෙ මං හිටියෙ නෑ කමට මට නැන්දා වෙන මට වැඩිය අවුරුදු පහකට වැඩිමල් නෑකම පැත්තක තියල මචං ලෙවල් එකෙන් හිටපු අක්කෙග්ගෙ ගෙදර එයා එන බ්‍රයිටෙක් ඉතින් ඒ කාලෙ තාත්ත මාව එහෙ නැවැත්තුව exam ගොඩදාගන්න.ඒ හොල්මනට බයික් පදින්න පුරුදු වෙන උණ තදටම තිබ්බ. එයාගෙ අයියට ( මගේ මාමට ) බයික් එකක් තිබ්බ දවසක් පාඩම් කරල මද විරාමයකදි අයිය නැති වෙනකං ඉදල මේකි මාවත් ඇදගෙන ගියා බයික් පුරුදු වෙන්න.මං බෑ..බෑ කියද්දි වැටෙන්නෙ නෑහ් ..නෑහ්..කියල මාවත් පිටිපස්සෙ තියන් වටයක් ගියා ලොකු අවුලකුත් නෑ වගේ..මුලින් ගේ ඉස්සරහ එහෙට මෙහෙට ගිහින් ගාය වැඩි උනාම ඔන්න ලේන් එකෙන් ප්‍රධාන පාරටත් ගියා.දැන් නැන්ද අක්ක චන්ඩිය වගේ පදිනවා මං පිටිපස්සෙන් එයාව බදාගෙන ඇස් පියාගෙන ඉතිපිසෝ ගාථාව කියනවා.ඔන්න ටිකකින් අපේ තාත්ත ඩ්‍රින්ක් එක දාල සිග්සැග් ගියා වගේම මේ හොම්මන නොබී සිග්සැග් යනවා.මං එයාව බදාගෙන බෙරිහන් දෙනව.පාරෙ මිනිස්සු කට ඇරන් බලන් ඉන්නව දෙතුන් දෙනක් හෝව්..හෝව් ගගා පස්සෙන් එනව.පාර මැද්දෙ පතබෑවිල කකුල බයිසිකලේට යටවෙලා ඒ ත්‍රාසජනක ක්‍රියාවත් අහවර උනා.ඩබලටම තෙල් බෙහෙත් කරන්න උනා ටික දවසක්.මං විභාගෙට ගියෙත් කකුල බැන්ඩේජ් කරන්.එදා අපි ඩබල අහගත්ත බැනුම් කන්දරාව ගෙදරින්.ඒ විතරක් නම් මදෑ පාරෙ හිටපු අයගෙන් අම්මො තාම ඒවා මතක් වෙද්දි හතරවිලි ලැජ්ජයි.එදා ඉදන් ඊට අවුරුදු ගනනාවකට පස්සෙ සත්තලන් කොලුවා හම්බෙනකංම්ම මගෙ ජීවිතේට බයිසිකල් අරහං.බයිසිකලේකට නගින එකේ ඉදන්ම වාඩිවෙලා එලවන එකාට කරදරයක් නොවෙන්න යන එකට වෙනකං හරියට පුරුදු වෙන්න මට කාලයක්ම ගියා.එයා හම්බෙන්න කලින් අපේ මලයා බයික් එකක් ගත්තම ඌයි මායි එක මඟ එක ගමන ගියත් ඌ බයිසිකලේ මං බස් එකේ.එකම දවසක් බස් හෝල්ට් එකට වෙනකං ගිහින් දාන්නං කියල නග්ගගෙන බස් හෝල්ට් එකට එන්නත් කලින් මේක නවත්තපියෝ කියල මල්ලිගෙ බෙල්ල මිරිකල බයිසිකලේ නවත්ත ගෙන බැස්ස.
ඕං ඉතින් යාලු වෙච්ච එකාටත් පස්සෙ බලනකොට බයික් එකක් තියෙනවා ( මගේ කරුමෙ 😃) හැබැයි ඉතින් මගේ කරුමෙට කාලයක් යනකං වන්දි ගෙව්වෙ අහිම්සක සත්තලන් තමා.මාව ඒ බයිසිකලේට නග්ගගන්න එක මහ විසාල මෙහෙයුමක් වගේ දෙයක් උනා.ආතල් එකේ බයික් එකේ යන්න තිබුන ගමන් කට්ට කාගෙන බස් වල ගියා.මං පයින් යනකොට හති හල හල බයික් එක තල්ලු කරන් එයාට පස්සෙන් එන්න උනා.යාලු වෙලා මාස හයක් හතක් ගිහින් තමා මං ඒ බයික් එකට නගින්න හිත හදා ගත්තෙ.බයික් එකට නගින බහින විදිය අල්ලගන්න විදිය හෙල්මට් එක දාගන්න හරි විදිය එකී නොකී මෙකී සියලුම දේම එයාට මට උගන්නන්න උනා.හැබැයි ඉතින් ඇස් වහක් කටවහක් නෑ අන්න ඩ්‍රයිවර්ල 🤗. ලබන ආත්මෙ කසාඳ බඳින්න බැරි වුනත් මගේ ඩ්‍රයිවර් වෙලාවත් ඉපදෙන්න කියල තමා මං උන්දැට නිතරම කියන්නෙ.මගේ විතරක් නෙවෙයි අපේ පරම්පරාවෙම සත්තලන්ගෙ ඩ්‍රයිවින් ගැන හොද කමෙන්ට්ස් තමා තියෙන්නෙ.ඕන දුර ගමනක් යන්න එයාව තමා හැමෝම රෙකමන්ඩ් කරන්නෙ.මං වගේ වාහන භීතිකාව තියෙන කෙනෙක් ඉස්සරහ තියාගෙන එලවන එක සෙල්ලං වැඩක් නෙවෙයිනෙ.එයා එක්ක මේ යන ගමනෙදි මට කටින් වාහන එලවන්න අවශ්‍ය ම නෑ.කලාතුරකින් හිමින් යං කියල කියනවට වැඩිය දෙයක් කවදාවත් මේ වෙනකං මට කියන්න වෙලා නැ.බලං යනකොට මාත් හොද බිරිඳක් නොවැ ඩ්‍රයිවින් සැමියට කරදර නොකරන.
ඔය බස් ගමන් වලදි මං අනන්ත අප්‍රමාණ අදටත් මග මරුවා වගේ යන බස් වලින් මගින් බැහැල වෙන එකකට නගිනව.සමහර වෙලාවට එහෙම නගින එක ඊට හපං ඉතින් එහෙමෙයි කියල මං සැලෙනවද නෑනෙ.ඒකෙනුත් බහිනව.ආයෙ වෙන එකකට නගිනව.අන්තිමට ටැක්සියක යනවට වඩා ගානක් මං බස් වලට වියදම් කරල. ඉස්සරමනම් ඒවට උඩගෙඩි දුන්නෙත් සත්තලන්ම තමා.මං ඉතින් බස් එකේ ඉදන් කෝල් කරනවා ඔන්න
අනේ..බලන්නකෝ..ඉහිම් ..ඉහිම්..
මේ ඩ්‍රයිවරයා ඉගිල්ලෙනවා...කොයි වෙලේ හප්ප ගනීද දන්නෙ නෑ...අයියෝ මං මැරෙයිද දන්නෙ නෑ...ඉහිම් ..ඉහිම්...
හරි හරි ඔයා බය වෙන්න එපා බබාහ්..තව චුට්ටක් බලන්නකෝ දිගටම එහෙමනං ඔයා බස් එකෙන් බහින්නකො..වෙන එකක යන්න පුලුවන් නේ..
ඒ ඉස්සර ඒකට දැන්.කෝල් එක එනකොටම මිනියා දන්නව වැඩේ..
ආ අදත් ඩ්‍රයිවර් අවුල්ද..
ඔව් අනේ..ඉහිම් ..ඉහිම්...ශුවර් එකට මේක හැප්පෙනවා දැන්...
අනේ මේ ගෑම්ණියේ ඔය විදියට බෝ එලියට බැහැල යන දවසට නගින නගින බස් එක හැප්පෙන්න ගියොත් ඩිපෝ වලට අලුතින් බස් දාන්න වෙනව...
අනේහ්..මං මැරෙයි අප්පා හැප්පිල..
මැරුනොත් ඒක ඒ වෙලාවට බලාගමු...ටෝ බස් එකෙන් බහිනවා එහෙම නෙවෙයි..කඩනව කකුල්...
බලන්න මිත්‍ර්වරුණි කාලය කොයි තරම් නපුරුද කියල.මොන කෙහෙම්මලකට බැන්දාද මන්දා ලව් කර කරම ඉන්නේ නැතුව.
ඒකයැ ඉතින් ඊට පස්සෙ මං ගෙදර ආවම තමා හොදම හරිය තියෙන්නෙ.සුමානයක් විතර යනකං සත්තලන්ට කනක් ඇහිල ඉන්න නෑ ඉතින්.
හ්ම්ම් හිතන් ඇති මං ඉක්මනට මැරෙයි කියල...එතකොට බැරියෑ උඩැක්කියක් ගේන්න... එව්ව කොහෙද මාත් එක්ක මැරුනත් එනවා හොයාගෙන..බලමුකො නටන හැටි...බ්ලා..බ්ලා..බ්ලා...දවස් ගානක් යනකං තුන්වේල කනවා වගේ ඔය ටික අහගන්න වෙනවා.පව් අසරණයට හිතෙනවා ඇති ඇත්තටම මේකි මැරුනනං හොදා කියල.කෝ ඉතින් එහෙම හිතුන කියල කියන්නයෑ.බෑනෙ...බෑනෙ..😜
හැබැයි ඉතින් පොඩි සංදියේ බයික් භීතිකාව ජයටම තිබුනට වාහනයක් පදින්න ඉගෙන ගන්න පොඩි පහේ උවමනාවක් තිබ්බ ඔය අවුරුදු දාසය දාහත වෙනකොට.එතකොට අපේ තාත්තට තිබුනා රතු පාට හොම්බ දිග කාර් එකක් පරණ.ඕං ඕක පුරුදු වෙන්න ගිහින් අපේම ගෙදර තාප්පෙට උම්ම එකක් දීල කාර් එක ගෙම්බෙක් වගේ පැන පැන උඩින් ඉස්සරහට ගිහින් ඒ හරියේ තියෙනවා ඇලක් විතර පත සයිස් කාණුවක් ආං ඒකේ ඉස්සරහ රෝද දෙකම දාගෙන තමා වැඩේ හමාර කලේ.ඒ දවස් වල තාත්තා අසනීපෙන් හිටියේ අපි ආර්ථික මට්ටමින් එහෙම හොම්බෙන් යන්න පටන් අරන් හිටියේ.ඉතින් ගරාජ් එකට ගෙනිච්ච වාහනේ ආයේ ගෙදර ආවෙත් නෑ.ආයෙ මට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ඕන උනෙත් නෑ.
දැන් ඉතින් තව ටික කාලයයිනෙ ජීවත් වෙන්න තියෙන්නෙත් ඒ ටික කාලෙට මොන ඩ්‍රයිවින් ද කියල මං මගේ පාඩුවේ ඉන්නව 😜 අනික මට කෝමත් හැප්පිලානම් මැරෙන්න බෑ බෑ..බෑමයි.
ReplyDeleteපිස්සු තමා සඳේ. සෝක් ලියවිල්ල. අනේ මේ එක නෙවෙයි ඔයාගෙ අර කතෘ භාග පොත් මිටිය විකුණලා ඉවරද? තියේ නම් කියන්නකෝ මාත් ආසයි එකක් ගන්න. මම ඒ පොස්ට් එක දැන් දැක්කෙ. :(
ස්තූතියි දෙව්ලින්දි මෙහෙ ආවට.පොත් තියෙනවා තව කීපයක්.දෙන්නම් දෙන්නම් පොතක් ඉල්ලන තරම් සතුටක් වෙන කොහෙද මට ඉතින්..ඔයා මගේ එෆ්බී ඉන්නවදෝ ඉන්නවනම් ඉන්බොක්ස් එන්නකො
Deleteමොකද්ද පොත
Deleteබලෙන් ගිහින් නැන්දා හා කඩා ගත්ත කකුල්
ReplyDeleteහොදින් තිබ්බ කාර් එකෙන් තාප්පයට රුකුල්
හොඳින් නේද දැන් ඉන්නේ හිතට නොගෙන තැවුල්
බලන් සත්තලන්ගේ ඒ ඩ්‍රයිවින් නෑ අවුල්....
ජයවේවා සඳූ!!!
ඔව් ඔව් හොදින් ඉන්නවා වාහනයක් නොපදින තාක්කල්...😜
Deleteඔයා කියනවා වගේම සමහරුන්ට මලාට වාහනයක් එළවන්න (පො පිත්තක් අරං වත්) ජීවිතේට බෑ!
ReplyDeleteමගේ ප්‍රාණ සමාන අයත් කියලා තියෙනවා ඔයා දක්ෂ ඩ්‍රැයිවර් කෙනෙක් උනාට හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් නම් නෙවෙයි කියලා!
ඒ මම සීය පන්නලා හෙමින් යන හින්දා වෙන්නැති!?
ඔව් අපේ කෙනාටත් හිටපු ගමන් ඔය 100 පන්නලා හෙමින් යන ගාය තියෙනවා.ඒ උනාට මාර්ග නීති එහෙම අකුරට පිලිපදින කෙනෙක්.මේ ළඟක් වෙනකං ම දඩයක් එහෙම කාලා තිබුනෙ නෑ.මේ ළඟදි දෙහිවල කහ ඉරක් ළඟදි ගෑනු කෙනෙක් ෆෝන් එක කනේ ගහන් පාර අනින්න වගේ මෙලෝ විචාරයක් නැතුව හිටියා.එයා පනින පාටක් නැති නිසා අපි ගියා ඉස්සරහින් පොලෝසියෙන් ඉදල ඇයි එයාට පාර පනින්න නොදුන්නෙ කියල ලයිසන් එක ගත්ත 😊
Deleteපැමිණීම සටහන් කර යමි, පසුව ඇවිත් සටහනක් තියන බලාපොරොත්තුවෙන්.
ReplyDeleteස්තූතියි
Deleteහයියෝ හිනත් ගියා දුකත් හිතුනා. අර බස් වලින් බැහැ බැහැ යන හරිය නම් මාරු. අද කාලේ ඉතින් හිමින් යන බස් කොහෙද... ?
ReplyDeleteහම්මෝ බස් ගැනනම් කියලා වැඩක් නෑ.මං බස් එකකට නගින්නෙම අද පණ පිටින් ආයෙත් ගෙදර යන්න බැරිවෙයිද මන්දා කියල හිත හිත.
Deleteඔය බයිසිකල් පදින්න බැරි අය දාගත්තම බැලන්ස් නැ, පිටි ගෝනියක් බැඳ ගත්ත වගේ, පතබැවීමට මුලික හේතුව එක.
ReplyDeleteමම පොඩි කාලේ අපේ අය්ය බයිසිකලෙන් මාව කටුකම්බි වැටක් උඩට වැට්ටුව, අතේ උඩ බාහුවේ විසාල මාර්ක් එක ගැන අදටත් මිනිස්සු අහනවා.
මගේ යාලුවෙක් ගිය බස් එකක් හප්පගෙන, ඊට පස්සේ ඌ එන පොට හොඳ නැත්නම් බස් එකෙන් බහිනවා, මමත් එක පුරුදු උනා. කොල්ලෝ කීප දෙනක් හිටියොත් ඩර්වර්ට බැනල, මු එක්ක ගියොත් මැරෙයි තමුසේලත් බහිනවා කියල මිනිස්සුන්ටත් කියාගන තමයි බහින්නේ
මම විජේබාහු
හම්මො මට දැනෙන සතුට මං වගේ තව කෙනෙක් ඉන්නවා.😃
Deleteහිත කලකිරවගන්න එපා. මිල්ටන් මල්ලවාරච්චි විදෙස් සංචාරවලට ගියෙ නැත්තෙ ගුවන්යානාවල යන්න තිබ්බ භීතිකාව කියලා මං කියවලා තියනවා.
ReplyDeleteඔව් නෙ අපි හැමෝටම එක එක් ජාතියේ phobias තියෙනවා කියලයි මට හිතෙන්නෙ.තව මට ඔය උසක ඉදන් බිම බලන්න බැරි සීන් එකත් ජයටම තියෙනවා.
ReplyDeleteඅපේ උන්දැත් මගේ වාහනේ ගිය මුල් කාලෙ ඔය වගේ බයෙන් තමයි ගියේ. පස්සෙ එයැයිත් මගේ ඩ්‍රැයිවින් වලට හුරු උනා.
ReplyDeleteහැපිල මළත් කමක් නෑ කියල මමනං යන්න කැමති හයියෙන් යන බස් වලම තමයි.
මමනම් ආසම බඩගගා යන බස් වලට ගමන කොච්චර පරක්කු උනත් කමක් නැ 😊
Deleteබස් භීතිකාවක් නං තිබ්බෙම නෑ. ඒ තියා, බස් එකේ පැද්දිල්ලට යස අගේට නින්දත් යනවා. ඒත් මට කවදාවත් වාහන එලවිල්ලෙන් සතුටක් ගන්න බැරි වුනා.
ReplyDeleteඒකට මට වාහන වල,යද්දි නින්ද යන්නෙම නෑ.ඔය ට්‍රිප් එහෙම ගියාම කට්ටිය හොදට නිදිනෙ.මං නෙවෙයි නිදාගන්නෙ කොච්චර නිදිමත උනත් ඇහැරිලා ඉන්නවා.
Delete👌👌
ReplyDeleteස්තූතියි
Deleteමුල් හරිය කියෝනකොටම හිතුන... පොඩි කාලෙ සීන් එකක් තමයි බයට මුල කියල 😁.
ReplyDeleteබස් වල මාරැ වෙවී යන එක කියවද්දි ආතල් උනාට... ඔයාටයි, අනික් අයටයිනං වහකදුරැ වෙච්ච සිද්දි ඇති 💔😁. සත්තලං මොනා උනත් හොද එකා. මට ඔෞහොම උනොත් දිරෝගන්න නං හරිම අමාරැයි 🙈
ආයෙත් අහලා මටම මාව එපා වෙනව වෙලාවකට.ඒත් ඉතින් සත්තලං අපරාදේ කියන්න බෑ මගේ විකාර දරාගන්නවා ඉතින්.මේවා බොහොම දරුණුවට තිබ්බ කාල් තිබ්බ.ක්‍රමයෙන් අඩුවෙවී යනවා ඉතින්.මම ත්නියෙන් ගියොත් තමා කේස් ඉතින්.
Deleteඅලුත් බ්ලොග් අඩවියක්. https://miniminipode.blogspot.com/
ReplyDeleteලියවිල්ල පටන් ගනිද්දි හෙනහුරාදා කියද්දි ලියන්න හිතපු දෙය පෝස්ටුව කියවද්දි වෙනස් වුනා, ඒ ඔබ ඔබට ආවේණික වචන සෙට් එකක අලංකාරය පවත්වා ගෙන යන ආකාරයේ විචිත්‍රවත් බව, ඒක ලස්සනයි. පෝස්ටුව රසවත්!
ReplyDeleteපිස්සුව, ඔව් ලෙඩක් නොවෙන කල එය තමයි බොහෝ දේවල් වලට මුල් පියවර. ඒත් පෝබියාව වෙනෙකක්, විදේශවල රැකියාව කරන අතරතුර රටවල් දෙකක ලයිසොම ගන්න රෙජිස්ටර් වෙලා නොගත් කෙනෙක්. එච්චරයි, අය්යේ පිටි පස්සේ සීට් එහෙකට ගියා නම් ටිකක් නිදාගන්න පුළුවන් නේහ් කියලා හිතවත්තු කී වාරයන් එමටයි.
“Whatever makes you crazy is what you were created to crack. Whatever makes you sleepless is what you were born to succeed in. Don’t give up!”
― Israelmore Ayivor
ඔබටත් කතාවක් තියෙන හැඩයි.ඉතින් ලියමුකො ඒවත් අපිට බලන්න.
DeleteI'm grateful for the fresh perspective you brought to the table. Well done!
ReplyDelete👍thanks
DeleteYour post was a valuable contribution to the conversation. Thank you!
ReplyDeleteමම එක ශනිදාවක් තියන් ඉන්නවා බ්ලොග් කියවන්න . එකක් තියන් ඉන්නවා ලියන්න. නැත්නම් දැන් වෙලාවක් නැහැ මේ යන වේගෙට. තට්ටයා මහතාට තමං ස්තුති කරන්න ඕනේ. මටත් ඔය බයික් භීතිකාව තියනව. මම පදවන් ගිය එක හැප්පුන. ඊට පස්සේ අතින් ඇල්ලුවේ නැහැ. ලංකාවේ බස් වල යන්න මමත් බයයි. අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් බස් එහෙකට නගින්නේ නැහැ කීයටවත් .
ReplyDeleteහිහී ඒකත් හොද අදහසක් දවස් වෙන් කරගන්න එක බ්ලොග් කියවන්න.ඒක තමයි එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනකොට මර බයක් දැනෙන්නෙ.
Delete