සඳට බැළුම් හෙලූ අය

Jul 15, 2024

සංචරණි ඔයා....


 


සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන

අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන

ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන

ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන


ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී

ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී

මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී

අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී


හරිත පැහැ කඳු විළුඹ පාමුලෙන් මැකී

සළඹක්ව දුර ඇදෙන දුම්‍ රියේ නැගී

කියන්නට කලින් මගෙ සෙනෙහසේ හැටී

නොඑන්නට ගියපු නුඹ මීඳුමක් වැනී


ඔබ නැතුව කල්පයක් කඳු අතර ගෙවුණී

ඔබ නැතත් ඔබෙ නමට මැයි මාර පිපුණී

කොහේ හෝ ඔබ ඉතින් වෙසේනම් සුවෙණී 

නොකී හින්දාම පෙම රහයි  සංචරණී



11 comments:

  1. පොතත් කවියත් අතර සම්බන්ධයක් තියනවද දන්නෙ නෑ පොත කියවලා නැති හින්දා. ඒත් කවිය රසවිඳින්න බාධාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. පොත කියවලා මට දැනුන දේ තමා කවියක් උනේ.ඒකපාර්ශික ප්‍රේමයක් ගැන හරි අපූරු කතාවක්.මේක ඇත්ත කතාවක්කියලත් කියනවා.පුලුවන් නම් පොතත් කියවල බලන්න.

      Delete
  2. ලස්සනයි නිර්මාණය සඳූ.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූති දුමී...කාලෙකින් මං බ්ලොග් පැත්තෙ ආවේ.කියවන්න දේවල් ගොඩ ගැහිල.

      Delete
  3. ඉඳලා හිටලා පායන සඳ
    සත්තලංගෙ ඒ පුන් සඳ
    මකුලුවො දැල් හෙම බැඳලද
    කඩලා යන්න වත් ආවද

    ReplyDelete
    Replies
    1. කවි ටික ලස්සනයි. ජීවන සටන මැද්දෙ මෙහෙමවත් ඇවිත් යන එකම මඳෑ.💐👌🙏. අනුප්‍රාසම කියන්නෙ මොකක්ද?

      Delete
    2. අනුප්‍රාසය කියන්නෙ එකම අකුර හරි එකම වචන හරි එක ළඟ යොදල ශබ්ද රසය වැඩි කිරීමට බාවිතා කිරීමනේද.සිංහලට කියා දුන්නේ එහෙමයි.මස් ඉඹුල අයියා මේ පොතේ ගැනු ළමයව වර්ණනා කරන්න අනුප්‍රාස රසය උපමාවට ගන්නවා.ඔව් අප්පා හිටපු ගමන් මට මතක් වෙනවා මං බ්ලොග් එකකුත් ලියනවා නේද යකඩො කියල 🤗

      Delete
  4. අව දවසෙම මස්ඉඹුලගෙ අස්සන එක්කම ගත්ත.
    තාම කබඩ් එකේ. කියවන්න තියා පෙරලල වත්.නෑ.

    ඔන්න මිනිස්සු

    කවිය ලස්සනයි ❤❤

    ReplyDelete
    Replies
    1. කියවන්න අනේ කියවන්න..ලස්සන කතාවක්...

      Delete
  5. කවිය කවදත් වගේ අලංකාරයි , පොත ගැන රවියත් ලියල තිබ්බ. ආව වෙලාවක බලමු

    ReplyDelete
    Replies
    1. කියවන්න වටින පොතක් අයියේ..

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...