සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Apr 16, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට....

ඔන්න ඉතින් අද මම ලියන්න යන්නෙ මගේ බ්ලොග් එකට අලුත් මතෘකාවක්.මීට කලින් මම මෙහෙම පෝස්ට් දාලම නැති නිසා අලුත්ම ලේබල් එකක් යටතේ තමා මේක වැටෙන්නෙ.ඒ තමා " සංසාරේ සංචාරේ " මේ ලේබල් එක යටතේ කුලුඳුලේම මම මේ ලියන්න ලෑස්ති වෙන්නෙ අපි මේ ඊයේ පෙරේදා ගිය යාපනයේ සංචාරය ගැන.ඒ ගමනේදී මම අහපු දැකපු විඳපු දෙවල් වලින් ටිකක් මම ඔයාලා එක්ක බෙදාගන්න හිතුව.

අප්‍රේල් 5 වෙනිදා හිමිදිරි පාන්දර ගල්කිස්සේ අපේ මහ ගෙදරින් අපි ගමන ආරම්භ කලා.කවරදාවත්ම නොගිය හා යන්න ලැබෙයි කියලා හිතන් නොහිටපු ගමනක් නිසා අපි හැමෝම මේ ගමනට පුදුම ආසවකින් හිටියේ.ආසාව කොච්චරද කියනවනම් එදා රෑ අපි කිසිම කෙනෙක් එක විනාඩියකටවත් ඇස් පියා ගත්තේ නෑ.ඒ නිසාම පාන්දර 4 ට පිටත් වෙන්න හිටපු ගමන පාන්දර 2.30 වෙනකොටම පිටත් වුනා.අනුරාධපුරයට එනකන් මහ දෙපස හුරුපුරුදු නිසා අපි කාටවත් ඒ මග ඒ තරම් විශේෂ උනේ නෑ.අනුරාධපුරෙන් එහාට යන්න තමා අපි කුතුහලයෙන් හිටියේ.අපිට නුපුරුදු A9 පාර දිගේ වාහනය ටිකෙන් ටික ඉදිරියට ඇදෙද්දි පරිසරයේ වෙනස් වීම බොහොම අපූරුවට දිස්වුණා.කශ්ටක අව්වත් මග දෙපස දූවිලි වලින් නෑවුන ගස් කොලනුත් හරියට ඒ පැත්තේ සංඛේත වගේ.

A9 පාර

ඕමන්ත මුර පොලේදී සියලුම මගීන් පරීක්ෂාවට ලක් වෙනවා.ඊට පස්සෙනම් මම හිතන්නෙ අපි යන්නෙ දරුණු සටන් ඇවිළුන , අපේ රණ විරුවන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් වන්දි ගෙවා දිනා ගත් ජය භූමි හරහායි.මහ දෙපසම ඝණ කැලෑව හා එක පෙලට පේන තල් අරඹවල් විතරමයි.ගොඩාක් තල් ගස් වල කරටිය නෑ.කලුම කලු පාට ගැහුණ කදන් විතරයි උසට උසේ පේන්නෙ.එහෙම වෙලා තියෙන්නෙ මෝටාර් ප්‍රහාර වලට කියලයි දන්න අය කිව්වෙ.

මුලින්ම අපි ගියේ ත්‍රස්ථවාදීන්ගේ රජ දහන කර ගත්ත මුලතිව් වලට. ඒකනම් රූස්ස කැලෑව.තාමත් පාරවල් හදනවා.එක දිගට පැය ගානක් දූවිල්ලෙන් පිරුණ පාරවල් දිගේ යන්න තියෙන්නෙ.තැනින් තැන යුධහමුදා බංකර තියෙනව.ඒ ඇරෙන්න මිනිස් වාසයනම් බොහොම අඩුයි.ඒ හැම මුර කුටියකම ඉන්න අපේ රණ විරුවන් අප සමහ බොහොම සුහදව දොඩමලු උනා.එයාලට දකුණේ අය එහෙට එනවා දැකීම සතුටක්.යුද්ධය හමාර කරලත් තවම එයාලටනම් සැනසීමක් නැති පාටයි.අදටත් ඝන වනන්තරේ කාශ්ටක අව් කූටකේ දූවිල්ලෙන් නෑවී නෑවී ඔවුන් රාජකාරියේ. ඒත් ඔවුන්ගේ මනුස්ස කම් වලනම් අඩුවක් නෑ.අවශ්‍ය උපදෙස් දීලා අපිට මග පෙන්නලා හිනා වෙලා අත වනලා සමු දෙනවා.



මග දෙපස මේ වගේ

මුලතිව් ගමනේදී අපි මුලින්ම ගියේ ප්‍රධාන ත්‍රස්ථවාදියාගේ භූගත මාළිගාව නරඹන්න.අම්මෝ ඒකනම් හිතාගන්නත් බැරි තරම් උපායශීලීව නිමාණය කරපු එකක්.මහ වනන්තරේ රූස්ස ගස් කොලන් අස්සේ අහසේ ඉදන් බැලුවත් නොපෙනෙන විදියට තිබිලා තියෙන්නෙ.පොලව මතුපිටින් සාමාන්‍ය ගෙයක් වගේ පෙනුනට අඩි 60 ක් ගැඹුරට තට්ටු 4 ක් දක්වා ඒ ගේ තියෙනව.හදිස්සි ප්‍රහාරයකදී යටම තට්ටුවේ ඉදන් පිටතට පලා යන්න උමං මාර්ගයක්ද ඒකට අන්තර්ගතයි.අක්කර ගණනාවක් පුරාවත් විහිදුණු මේ කැලෑවේ ලේසියෙන් කෙනෙකුට හොයා ගන්නවත් හොයා ගත්තත් ඉක්මනින් ලගා වීමට බැරි විදියටත් සූක්ෂම අයුරින් මේ නිවසට මුරකාවල් දාල තියෙනව.හතරැස් සහ රවුම් ආකාරයට ගැසූ කම්බි වැටවල් 6 ක් , ඒ හෑම කම්බි වැටක් ලගම බංකරයක් සහ ඈත දුරක සිටින කෙනෙකුගේ උනත් ඉව දැනෙන පිටරටින් ගෙන්වන ලද පුහුණු කල සුනඛයන් සහිත බලු කූඩු ඇතුලුව වෙඩි නොවදින මුර කුටි සහ තවත් බොහෝ දෑ මෙහි ආරක්ෂාවට තිබිල තියෙනව. අනේ ඉතින් මේවා දකිද්දිනම් හිතෙනවා මේ මහ ලොකු කෙරුම් කාරයා මොන තරම් මරණ බියකින් ඉදල තියෙනවද කියල.

ඔන්න පැහදිලිවම කියලා තියෙනවා

මේ තියෙන්නේ නිවස සහ ඒ අවට දළ සැලැස්ම

භූගත එක් මහළක කාමරයක ලංකාවේ සිතියම හරි හතරැස් කොටස් 90 ට (මට මතක විදියට 90 ) බෙදල වෙන් කරල තිබිල තියෙනව. එතන ඉදන් තමාලු මේ ත්‍රස්ථවාදීන් කොහාටද පහර දෙන්නෙ , කොහාටද බෝම්බ හෙලන්නේ කියලා තීරණය කරන්නේ.යුධ හමුදා සාමාජිකයන් විසින් මේ හැම තැනකටම අපිව එක්ක ගිහින් ඒ අදාල තැන් ගැන විස්තරයක් කරනව.ඒවා ඇහෙද්දී මුලු ඇගම හිරි වැටෙනව.

මේ තියෙන්නෙ එහෙම කොටස් කරපු කාමරය

ඊළගට නරඹන්න පුලුවන් තැන තමා ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකය.පීනන්න කිව්වට ඒක පීනන්න නෙවෙයි දහ දොලොස් දෙනෙකුට එක වර කිමිදෙන්න උනත් පුලුවන්. දිග අඩි 83 යි ගැඹුර අඩි 22 යි. ප්‍රභාකරන්ට දිය කෙළියේ යෙදෙන්න විතරක් නෙවෙයි ගැඹුරු මුහුදේදී නාවික හමුදා යාත්‍රා වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට මුහුදු කොටි පුහුණු කිරීමටත් මේ තටාකය උපයෝගී කරගෙන තියෙනව.


පිහිණුම් තටාකයේ පැත්තක්

මුලතිව් සහ පුදුකුඩුඉරිප්පු සංචාරයේදී ඒ අවට තව නැරඹිය හැකි තැන් කීපයක්ම තියෙනව.මුහුදු කොටි නායක සුසෙයිගේ නිවස , ප්‍රභාකරන්ගේ පලතුරු වත්ත , පුදුමාතලන් පස් බැම්ම , ෆාරා 3 නැව , නන්දිකඩාල් කලපුව , යුධ කෞතුකාගාරය , සම්බැරීන් අංගනය , මුලතිව් යනවනම් මේ තැනුත් මග නොහැර නැරඹිය යුතුමයි. අවාසනාවකට වගේ අපිට ෆාරා 3 නැව බලන්නනම් යන්න ලැබුනේ නෑ. පාරවල් හොය හොය අනිත් තැන් වල කරක් ගහල එද්දි හොදටම හවස් වෙලා එතනට යන්න දෙන වෙලාව පහු වෙලා.


පුදුමාතලන් පස් බැම්ම


අපි ඉතින් ඊළගට පාරවල් වරද්ද ගෙන කැලේ පුරා රස්තියාදු ගහල වෙලාව නාස්ති කරපු ඩ්‍රයිවර් උන්නැහේට හිතින් බැන බැන යාපනේ බලා එන්න පිටත් උනා. ඒ වෙනකොටනම් අපේ නඩයම හොදටම හෙම්බත් වෙලා . දූවිලි නෑවිලා අව්වට පිච්චිලා " කඩිනම් උතුරු වසන්තය " කියලා බෝඩ් ගහලා තිබුනට තවම නොහදපු වල ගොඩැලි පාරවල් දිගේ පැය ගනන් වාහනයේ උඩ පැන පැන ගිහිල්ල ශරීර කූඩුවට හොද ගනන්.ඊළගට අපිට ඕන උන එකම දේ වතුරකට පැනලා හොදට නාලා කාලා සැප නින්දක් විතරමයි.

දැන් ඉතින් මේ පෝස්ට් එකත් හිතුවට වඩා ලියවිලා. පින්තූරත් කීපයක්ම දාන්න තියෙන නිසා යාපනයේ ගත කල දින දෙක ගැන වෙනම දවසක කියන එක හොදයි කියල හිතෙනව.එහෙමනම් කට්ටිය ටිකක් ඉවසන්න හොදේ ,ඉක්මනටම ඉතුරු කොටස අරන් එන්නම්.

9 comments:

  1. අපි යන්නෙ දරුණු සටන් ඇවිළුන , අපේ රණ විරුවන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් වන්දි ගෙවා දිනා ගත් ජය භූමි හරහායි.

    මේ ටික කියවද්දිනම් ඇග හිරි වැටුනා කවියෝ..... කවදාවත් මුල අමතක කරන්න හොද නැ..... මට නම් දැන් යාපනේ යන්න ඕන නැ වගේ.. ඔයා හැමදේම හොදට විස්තර කරලා තියෙනවා

    ReplyDelete
  2. Pooh - අපොයි පූවෝ මගේ විස්තරේ වගේ නෙවෙයි එක පාරක් හරි මේ දෙවල් ඇස් දෙක්න් ගිහින් බලා ගන්න එක වටිනවා.එතකොට තමා අපේ විරුවන් විදපු දුක යම් තරමකට හරි අපේ ඇගට දැනෙන්නේ.අපිටත් මුලදී යද්දි හිතුනා අනේ යාපනේ ආවට වැඩිය නුවරෑළියේ ගියානම් කොච්චර ජොලිද කියලා ඒත් ඒ කර්කශ බව බව දවසකට දෙකකට හරි විදලා ඒ දේවල් බලා කියා ගෙන එන එක ඇත්තටම වටිනවා.

    ReplyDelete
  3. අක්කේ මමත් ඔය ට්‍රිප් එකම ගියා 9 වෙනිදා. මමත් පොස්ට් එකක් දාන්නයි ඉන්නේ :)

    ReplyDelete
  4. නියමයි කාව්‍යා අක්කේ. නියම පොස්ට් එක. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  5. මේ චාරිකා සටහන් වලට මගේ ඉහලම මනාපය... :)

    " සංසාරේ සංචාරේ " කිවුවට ඉතින් මේවත් අර කවුද බ්ලොග් එකක ලියන " රස්තියාදු ගමන් " වගේ තමයි.. :)

    ReplyDelete
  6. වර්ණා - අහා අපරාදේ දවස් දෙක තුනක් එහා මෙහා උනානම් අපිට යාපනේදිම මුණගැහෙන්න තිබුනනේ.හොදයි එහෙනම් ඔයත් දාන්නකෝ රසවත් පෝස්ට් එකක්.

    පැතුම් [සිතුම් පැතුම්] - හරි හරී ඉක්මනටම දෙන්නම් මල්ලි

    Dinesh -
    හි හී ඒ රස්තියාදු ගමන් ලියන්නේ අර දිනේශ් කියන කෙනා නේද?

    ReplyDelete
  7. අපේ ගෙදරත් හැමෝම ගියා අනේ..මට යන්න වුනේ නැහැ එක්සෑම එකක් නිසා..මේව කියවද්දි ලෝබ හිතෙනව ඇයි නොගියෙ කියලා.. :(

    ReplyDelete
  8. සිත්රූ සිහින - අයියෝ අපරාදේ සිත් රූ ආපහු අවස්ථාවක් ආවම මග නොහැර ගිහින් එන්න.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.