සඳට බැළුම් හෙලූ අය

May 17, 2017

ප්‍රියේ නුඹ මට උපනූපන් ජාති හමුවේවා !


                                                     
                                                         ( සත්තලනුයි මමයි, ඔව් අපි කට්ට කලුයි )


දැන් දවස් දෙක තුනක ඉදන් අපේ එක්කෙනාගේ මූණ හරි නෑ. ඔව් ඔව් සත්තලන්ගෙ තමයි.අද උදේ මම මගේ පත්තරේක ගිය කවියක් පෙන්නලා ඒක කපලා හදලා දෙන්න කිව්වම මගේ ඇගට කඩන් පැන්නා.

හ්.. ඕන එකෙකුට කියලා හදා ගන්න එකයි ඇත්තෙ....

ඕන එකාට තමයි ඉතින් මේ කිව්වෙ.....

මම හදන්නෙ නෑ...  ලෝකෙම ඉන්න උන්ට කයි කතන්දර ලියනවා දැන් හත් අවුරුද්දකින් මට කවියක් ලිව්වද...

හප්පටසිලි වේවා මේකයි එහෙනම් මේ මෙයාට ඩෝං ගිහින් තියෙන්නෙ.මට හිනා ඉතින්.

හා.. දැන් කාටද මම කවි ලිව්වේ...?

ඇයි ඔය අර ගල් මූසලය මධවන්ටයි.. කසුන්ටයි උගෙ අප්පච්චිටයි .. දෙවෙන්දොරා කියන මී හරකටයි .. ඔය සේරම ගැන ලියන්නේ...

මේ මේ එන්න එපා  එයාලට  බනින්න හරිද...

ආ.. ඒක තමයි මේ ගෑණිට මට වැඩිය සේරම  උන් ලොකුයි..

හානේ මේ ගල් ඉබ්බ කියන බොරු...හා කියනෝ බලන්න බොට තරම් මම වෙන කාටවත් කවි ලියලා තියෙනවද කියලා...

ඒක ඉතින් මම දන්නෙ කොහොමද යාන්තමට එකක් දෙකක් මතකයි මට...

හරි හරි අදම ලියන්නම්කො එකක්...හැබයි අද පෙන්නන්නෙ නෑ ..

ආ හරි හරි  නැකතක් එහෙම බලලා පෙන්නපියකෝ එහෙනම් ඉස්සෙල්ල ලියල ඉන්න එපැයි...

මේ දවස්වල මගේ කවි හරි නෑ අනේ... කිසිම ලස්සනක් නෑ...

ඇයි දැන් කලින් ලස්සනයි කියලා කවුරු හරි කිව්වද...
අනේ මේ  යනෝ යන්න ලියන්නෙම නෑ ඔන්න හොදේ...

                                           ******************************

 ඔය  මීට සුමානෙකට විතර කලින් අපේ ගෙදරින් ඇහිච්ච ජවනිකාවක කොටසක්.ඕක ඉතින් මාස හත අටකට සැරයක් වෙන බොහොම සාමන්‍ය  ජවනිකාවක්. මම කවියක් ලියලා මෙන්න බලන්න මේක ඔයාටයි කියලා කලෙකින් දුන්නෙ නැත්තන් ඔහොම අදෝනාවල් ඇහෙනවා. හි හී..ඇත්තටම දැන් සෑහෙන කාලෙකින් සත්තලන්ට කවියක් ලියන්න බැරි උනා තමයි.හැබැයි ඉතින් අද එයා වෙනුවෙන් මුකුත් නොලිව්වොත් ආයෙ කවදා ලියන්නද...

අද මැයි මාසෙ 17 වෙනිදා... 
ඔයා මේ ලෝකට පා තියපු දවස...
අද මැයි 17 වෙනිදා...
ඒ වගේම අපේ ආදර කතාවට 
අදට වසර නමයක් පිරෙනවා...
ඔව් ඒ 2008 අවුරුද්දෙ මැයි 17 වෙනිදා...
හැමදාමත් ඔයා මතක් කරනව වගේ 
එදා තමයි ඔයාගෙ ජීවිත කාලෙටම 
වටින තැග්ග ලැබුන දවස...
මම ඔයාට ආදරෙයි කියපු දවස...
අවුරුදුම නමයක් ගත වුනාට පස්සෙත්
එදා ඒ දැනුනු නැවුම් බවින්ම 
ඒ ආදරේ මතක් කරන්න ,  විඳින්න තරම්ම
ඔයත් මමත් වාසනාවන්තයි...
ඉතින් අද වගේම හෙටත් 
තව බොහෝ කාලයක් 
මේ ආදරේ මේ විදියටම 
දැනෙනෙ හැගෙන විදියට 
අපි අපේ ජීවිතේ  බෙදාගමු..
මගේ සුදු මහත්තයෝ ඔයාට සුබම සුබ  උපන්දිනයක්  වේවා..!
අපි දෙන්නටම සුබම සුබ ප්‍රේමණීය ආදර සංවත්සරයක් වේවා ...!


                                  **************************************




ඔයා වෙනුවෙන් අද මම අලුතින් කවියක් ලිව්වත් ඒක මෙතන නොදා මම හැමදාමත් ආස ඔයා වෙනුවෙන් ලියපු මුල්ම කවිය මෙතන ලියන්නම්.මේ කවියට පස්සෙ ඔයාට කොච්චර කවි ලිව්වත් මේ කවිය තරම් ඒ එකම කවියකටවත් මම කැමති නෑ.ඔයාට තරම්ම මම මේ කවියටත් ආදරෙයි.


මුඳු සමන් පිච්ච මල් සුවඳක් වගේ
හීනියට හීනියට
පාවෙලා ඇවිල්ලා
හදවතේ උඩම මහලට වැඩිය
රත්තරං ඔයාගේ ආදරේ
පන්සලක සිල් සුවඳ වගේමයි

දළදාවේ තේවාව වෙලාවට
උන්හිටි ගමන් ඇද හැලෙන
හීන් හිරි පොද වගේ
නොකියාම හදිස්සියෙ හිතට එන
රත්තරං ඔයාගේ ආදරේ
නුවර වැවේ දිය කඳ වගේමයි

හීතළම මීඳුම් සළුවක වෙළි වෙළී
ආදරේ මිහිරිතම සුව විඳින
කප් සුවහස් කාලයක් නොවෙනස්ව
සමනළුන් වන්දනාවේ යනෙන
රත්තරං ඔයාගේ ආදරේ
මේ මහා සමන්ගිර වගේමයි


34 comments:

  1. [උප නූපන්]

    ඔතන එහෙම පද බෙදුවහම එන්නේ වෙනත් අර්ථයක් නේද? හරි වචනේ 'උපනුපන්' ( උපදින සෑම/උපන් උපන් )

    පෙම්බරයින්ට කවි ලියලා පිරිමහන්න බැහැ නේද?
    ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ උපනුපන් එකට එන්න ඕනේ...

      Delete
    2. ස්තූතී මෙහෙ ඔබේ පැමිණීමටත් ,වරද නිවැරදි කර ගන්න උදව් කලාටත්. ඔන්න මම ඒක හැදුවා

      Delete
  2. බොහෝම ආදරනීය ලියවිල්ලක්.
    මේවා කියවන කොට උන්ගේ ආදර ලෝක හොයාගෙන ආදර කවි ලියන්න ඕනේ වයසේ දරුවෝ ඉන්න අපිටත් අපේ ආදර කතා මතක් කරලා කවි ලියන්න හිතෙනවා. හිතුවටම පුළුවනෑ ඒකට හැකියාවකුත් තියෙන්න එපැයි..

    ඔබේ ලියවිලි හරිම සුන්දරයි !

    ReplyDelete
    Replies
    1. හා හා ලිව්වනම් මොකද වෙන්නේ මේ අපිටත් බලන්න. ආදරේ කියන්නෙ ඉතින් වයසට යන දෙකුත් නෙවෙයිනේ. ස්තූති නයනේ

      Delete
  3. ගෙදර ඉන්න මනුස්සයට කවියක් කතාවක් ලියල ඉන්ඩ එපැයි මොනවා කරන්ඩත් කලින් .දෙන්නටම සුබ සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ කොහෙද ඉතින් වෙන වැඩනේ කරන්නේ. ස්තූති සුබ පැතුමට

      Delete
  4. සුබ උපන්දිනක් සහ සංවත්සරයක් වේවා!!

    ReplyDelete
  5. ඔහුට සුභ උපන්දිනයක් සහ ඔබ දෙපලට සුභ සංවස්තරයක් !!! තෑග්ගකට අද අළුත්ම වස්තරයක් (සාරියක් ) ලැබේවා.

    ඔබගේ උපමා භාවිතය නම් හරිම අපූරුයි. ගැලපීම නිසා. පන්සලක සුවඳට මමත් ආසයි. ඒකට නමක් නැතුව හිටියේ. එය සිල් සුවඳම නොවුණත් එයත් එක්තරා මට්ටමකදී කවි වලට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. සාරී...ඊ ..ඊ අම්මෝ සාරිනම් නැතුවට කමක් නෑ.ස්තූතී ඉයන් සුබ පැතුමටත්, මෙ අගය කිරීමටත්

      Delete
  6. එයාට සුබ උපන් දිනයකුත් දෙන්නට සුබ ඇනවසරියකුත් වේවා ඈ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නලින් අයියේ

      Delete
  7. සුපිපුන පිච්ච මල් ඉත්තක සුවද වැනී
    හෙමිහිට ඇවිත් හද මඩලේ නතර උනී
    පිංබර පන්සලක සිල් සුවට නොදෙවනී
    නිකළැල් සනහසක අරුමය සපල වුනී

    නුවර දළදා මැදුරෙ තේවා හඩට තුටුවී ගැබ වලා
    කොදුර කොදුරා අසිරි වැහිකැට අහඹු සිසිලක් එක්කලා
    ඉවුරු දෑලේ හැපෙන ජලකද මවන නෙක රූ හැඩ තලා
    සොදුරු ආදර හිටිහැටියෙ එන හැගුම් මට සිහිපත් කලා

    දුරම ගව්වක පිහිටි සිරිපා සමිදු වදිනට පේවෙලා
    හැරුම නොමවෙයි සීත සලුවක වෙලී පියඹයි සමනලා
    උරුම නුබ හා සරණ්නටනම් කප් සුවක් කල් එක් වෙලා
    පෙරුම පුරනෙමි ජාති ජාතිත් මගෙම වන්නට පින බලා

    නෙල්ලිPrince

    ReplyDelete
    Replies
    1. කවි ලිව්වා විතරයි සුබ පතන්න අමතක උනානේ😬 ජයින් ජයම වීවා මා පුතීලට

      Delete
    2. අනෙ අම්මෝ කොහෙද ගිහින් හිටියේ ? කො අර කොච්චි එයත් ආගිය අතක් නෑනේ.කට්ටියගෙම බ්ලොග් වේලෙනවා.
      කවියනම් හරි අපූරුයි නෙල්ලි..ස්තූතී සුබ පැතුමටත්

      Delete
  8. මේක කියවනකොට තමයි මටත් මතක් උනේ මොනව ගැන කවි ලියුවත් එහා ගැන තාම එක පද පේලියක් ලියල නෑනෙ කියලා... එයාටත් ඕක මතක් වෙන්න කලින් ලියන්න බලන්න ඕනේ.....

    අර කවිය ඇත්තටම ලස්සනයි සදවතී...
    සුභ උපන් දිනක්... ඒ වගේම දෙන්නටම සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. හප්පා... තවත් ප්‍රමාද නොකර ලියන්න... මමනම් මදි නොකියන්න ලියලා තියෙනවා ඒත් මදිලුනේ. ස්තූතී නිර්මාණි

      Delete
  9. නියමයි හලෝ

    සුභ උපන්ධිනයක් වේවා ...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී.... මම එයාට දෙන්නම් සුබ පැතුම

      Delete
  10. සීත හිරිගඩු නලිය නලියා සීතලම නිති ගුලි කරං
    ඈත නුවරවැව් ජලය සිඹ සිඹ ඇදෙයි දෙසිතක් ළං කරං
    ගීත යක් සේ කොඳුරමින් මට ආදරේ මගෙ මේ තරං
    දෑත දිගුකර තුරුළු වූ හැටි තාම මතකයි රත්තරං

    නුවර අහසේ සැහැල්ලුවකට පාවෙනා මේඝය තරම්
    නුවර වැව්දිය සීතලේකින් නැගෙන ජල රැල්ලක් තරම්
    නුවර සිරිවිඳ සැනහෙනා නිති රෝස රොබරොසියා තරම්
    නුවර දවසක නුඹෙන් ලද පෙම වටී මට මහමෙර තරම්

    මල් පොකුරුගෙන නමැද බුදුපා සැදැහැවත් හිත් එක්කරං
    සිල් සුගන්දය තරම් පිවිතුරු පෙමට සෙත් ගමු හිත් බැඳං
    නිල් අහස්කුස පෑයු සඳවත මගේ ලෝකෙට ළං කරං
    කල් පයක් සංසාරෙ සැමදා ළඟින් ඉමු අපි රත්තරං...

    -----සඳූගේ සත්තලන්-------

    ලස්සන ලිපියටත් සුභ කාරණාවන්ටත් ශුභ පැතුම් සමගින් දුමී ගේ තිලිණයයි මේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ දුමී මේකනම් නියමයි නියමයි...කොහෙන්ද අප්පා මෙහෙම සිතුවිලි ගලන් එන්නේ.පලවෙනි කවියෙ දෙවෙනි පදේ පොඩ්ඩක් එහා මෙහේ උනානම් එතන්ට ඈත වැව් දිය තලය සිඹ සිඹ ඇදෙයි දෙසිතක් ළං කරං එහෙම ආවනම් හොදයි වගේ නේද ?

      කොහොම උනත් දුමී මේක හරිම අපූරුයි. සුබ පැතුමටත් මේ තිළිණයටත් ගොඩක් ස්තූතී

      Delete
  11. සත්තලං මචංට හැපී බෝත් ඩේ එහෙකුත් බොලා දෙන්නටම හැපි හැපි ඇනිවසරියකුත් වේවා!! ඉස්සරනම් අපෙත් ඇනිවසරියක් = අනිවා සාරියක්/ කමිසයක්.. වගේ.. දැං නං ඉතිං එනෝ දන්නෙත් නෑ යනෝ දන්නෙත් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න මම පණිවිඩේ කිව්වා..හි හී ඕකනේ කියන්නෙ ඔව්වා අමතක කරන්න හොද නෑ.. මේ අර කිව්ව මගෙ මේ ප්න්තූරේ තියෙන කවි ලියන එකී ගැන විස්තර කියන්න්කෝ.මම මද කියලා සැක හැර දැනගන්න

      Delete
  12. සත්තලංටයි ඔබටයි දෙදෙනාටම සුබපැතුම්...

    ReplyDelete
  13. අඩේ දවසක් පහු වුනා...සමාවෙන්න ඕන....අපේ මලයාට හැපී බර්ත්ඩේ කියන්න හොඳේ ....

    ආදරය කියන්නේ හරිම ලස්සන දෙයක්..එක මෙන්න මේ වගේ පවතින්නයි ඕන....ඔය දෙන්නට මගේ ආදරය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී විසිරියෝ...

      Delete
  14. මන් සොදුරුගේ ආසම සත්තලන්ගේ කතා වලට ඒවගේ පට්ට රයිටින් ස්ටයිල් එකක් තියෙන්නෙ.
    පහුවුනාට සමාවෙන්න, දෙන්නටම සුභ පැතුම් ඈ........

    ReplyDelete
    Replies
    1. එව්ව ඉතින් කියන ස්ටයිල් එකෙන්ම තම ලියන්නේ සමහර ඒවා තමා මා විසින් කපල කොටලා දන්නේ මොකද සමහර එව්වා මට මේකෙ ලියන්න බෑ හි හී. ස්තූතී සුබ පැතුමට රස්ති

      Delete
  15. හපොයි බ්ලොග් පැත්තේ එන්න බැරි උනා...සත්තලන්ටයි සත්තලන්ගේ රත්තරන්ටයි හැපි ඇනිවසරි එකක් සහ සත්තලන් කොලුවාට බිලේටඩ් බර්ත්ඩේ විශස් ෆ්‍රොම් මී....!
    :)
    අනේ ඉස්තරම්ටත් හග් එකක් දුන්නය කියන්න....!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තන් මේ පැත්තට සැපත් වෙලා .. හරි හරි මම සේරම ටික අදාල අයට කියනන්ම්කෝ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...