සඳට බැළුම් හෙලූ අය

Jan 21, 2018

මන්දහාසිනී !






නුඹෙ අඩැසි හීසර නෙත් කොනේ
සසැලෙනා හද බිතක්කන මගේ
නෙතු පියලි පියවෙන හැමවෙලේ
නූපුරක කිංකිණි ස්වර ඇසේ

අර ඈත සීතල හිම වනේ
ශුංගාර මල් ඇහැරෙන වෙලේ
සඳ කිනිත්තක තුඩැඟිලි  දිගේ
බඳ ඉහත්තේ හීඟඩු පිපේ

මන්දහාසිනී ඔය මත් දෙතොලේ
මනමාල මල් සිනා අතරේ
ළය බදා නුරාගිනි පහසේ
ඇවිලෙන්න අවුලුවා රහසේ

17 comments:

  1. ලස්සනයි සඳූ. "බිතක්කන"කියන්නෙ මොකද්ද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමීට ගැලපෙනවද ලස්සනයි කියලා විතරක් නිකං ඉන්න එක...? බිතක්කන කියන්නේ බිත්තියක කෙළවර වගේ අදහසක් දුමී..හිතේ කොනක... හදවතේ කෙලවරම බිත්ති කොන ඔන ඔය වගේ අදහසක් ගන්න පුලුවන්.මමත් මේ වචනේ වෙන කෙනෙක්ගෙන් අහලා දැන ගත් එකක්

      Delete
    2. බිතක්කන කියන්නේ ගෙදරක ඇතුළු ගෙට ඇතුළුවීමට පෙර හමුවන විවෘත කොටස.. අළුත් වචනවලින් කියනවනම් Open එක.. ඉස්සර හැම ගෙදරකම වගේ මේ වගේ Open එකක් තියෙනවා.. ඒ Open එකෙන් ඇතුළු ගෙටත් පිටත කාමරයකටත් වෙන් වෙන්ව ඇතුළු වෙන්න දොරවල් තියෙනවා. බිතක්කන කියන්නේ පොදු තැනක්.. එතැනින් ඇතුලට තමයි පෞද්ගලිකත්වය තියෙන්නේ.. සරලව කියුවොත් අමුත්තෙක් ගෙට ගන්නවද අමුත්තන්ගේ කාමරයේ රඳවනවද කියන තීරණය ගන්නේ බිතක්කනේදී.. ඒ තීරණය ගැනීමේ අභිමතය සම්පුර්ණයෙන්ම නිවෙස් හිමියා සතුයි. :) මෙතැනදී හද බිතක්කන කියුවම පිටත හදවත.. නැතනම් උඩු හිත වගේ අදහසක් තමයි එන්නේ.. හොඳට ගැලපෙන යෙදුමක්.. :)

      Delete
    3. ස්තූතියි කමී මේ පැහැදිලි කිරීමට මේක තමා හරිම තේරුම කියල හිතනවා.

      Delete
  2. නොතේරෙන වචනයක් දෙකක් තිබ්බාට මේක පට්ටය... ආයෙත් අර හැමදාමත් වාගේ රොමෑන්ස් ය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොච්චි .... වචනයක් දෙකක් නෙවෙයි එක වචනයයිනේ... ඔන්න ඒකේ තේරුම උඩ තියෙනෝ... හ්ම්ම්ම් ඔව් මාව අතඇරලා ආයෙමත් ලියන්න හිතුවා.

      Delete
  3. දැනෙන විදියට ලියල තියෙනවා .

    "අර ඈත සීතල හිම වනේ
    ශුංගාර මල් ඇහැරෙන වෙලේ"

    මේ පද ගෙතුම හරිම අපුර්වයි .

    ReplyDelete
  4. සඳ කිනිත්තක තුඩැඟිලි දිගේ
    බඳ ඉහත්තේ හීඟඩු පිපේ
    මෙන්න මේ ටිකට මම කැමති

    කවියම අපුරු රහක් තියෙනවා

    ReplyDelete
  5. මන්දහාසිනී, අඩැසි, අර ඈත සීතල හිම වනේ, සඳකිනිත්තක වගේ පද ඇහෙන කොට ලස්සන සිංදු ගොඩාක් මතක් උනා...!
    තමන්ව අතඇරලා ආයෙත් ලියන්න හිතුවා කියන එක නොතේරේ....:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මටත් එහෙමනේ .... ඔය කියන සිංදු සේරම ඔබතුමා දැන් ඔහොම කිව්වම මමත් මතක් කරගත්තා.

      ප්‍රේමයේ මන්දහාසිනී.... සඳ කිනිති නැවී.....ගිමන හරින දියඹ දිගේ...ඕවනේ...

      මේකනේ... පහුගිය ටිකේම මම ලියපු ගොඩක් ඒවා ලියවුනේ මගේ හිත කවුරුහරි රිද්දුවම කවුරු හරි මට බැන්නම කවුරු හරි මට රැව්වම ඔන්න ඔය වගේ ඒවා...මම හිතන් හිටියා මම තමා හොදම කියලා බලන් යනකොට මම මාර නරකයි ඒකනේ අප්පා මෙච්චර බැනුම්.ඒ නිසා මම හිතුවා හොද වෙන්න...ඉතින් ඒකට මාව අතරින්න වෙනවා වගේ.මාව අතඇරියම තමා මට වෙන අය හිතන විදියට වෙන අය දකින විදියට මෙහෙම ලියන්න හිතෙන්නෙ..

      Delete
  6. මටනම් එකමෙක සිංදුවයි මතක් උනේ..

    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    නළලත බබළන සඳන තලාවයි…
    සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
    මානස විල මැද රණ තිසරාණනි
    වෘන්දා වනයේ වසන්තයයි…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

    මලයගිරේ මධු ගීත කලාවයි…
    තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි…
    වන රේඛාවේ රණ මොණරාණෙනි
    තරුද නොපායන රාත්‍රියයි…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

    මේවට මිට වැඩිය කොමෙන්ට් කරන්න බෑ අප්පා.. තුන්වෙනි පාර්ශව වලින් අභූත චෝදනා එනවා.. :))))

    ReplyDelete
    Replies
    1. ඒකනම් අපූරු ගීතයක්.... රාධා ක්‍රිශ්ණා ගැන ගැයෙන හැම ගීතයක්ම බොහොම ප්‍රේමණීය සහ ශුංගාරාත්මකයි නේ..

      හෑ මොනාද ඒ අභූත චෝදනා.... හාමිනාවත් කිව්වද ස්ත්‍රී පරාණ ලියන බ්ලොග් වලට කමෙන්ට් නොකර සිටු කියලා...

      Delete
  7. අපට නොපෙනෙ
    සඳට පෙනෙනා ගොඩක් දේවල්
    දේවල් ඇත ලොවේ
    සඳත් තනියම ඉකි ගසා ඇති කියාගන්නට බැරි තැනෙ

    අමාවක දා ඉතින් හොඳයි හිතනවා ඇති සඳ රැයේ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...