සඳට බැළුම් හෙලූ අය

Mar 12, 2018

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි !


කවි කවි කවි මිසක් ගොඩක් දවසකින් වෙන මුකුත් ලියලම නෑනේ බලන් යනකොට මම. දැන් දැන් මගේ කවි මටම අප්පිරිය නිසා ඔන්න අද හිතුවා වෙන මොනා හරි කුරුටු ගාන්න ඕනේ කියල.මොනා ගැනද ලියන්නේ කියල හිත හිත ඉන්නකොට තමා ඔය පහුගිය කාලෙක බුකියේ තමන් කැමති  හීන දහයක් ගැන කතා කරන එකක් ගියා නේද කියලා මතක් උනේ..ඉතින් මටත් හිතුනා මටත් අමතක වෙච්ච මගේ සමහර හීන ආයෙ මතක් කරලා මේකෙවත් ලියලා තියන්න ඕනේ කියල.


ඔය හීන කියල අපි පොදි බැඳ ගන්නේත් අපි ආස කරන අපි ප්‍රාර්ථනා කරන දේවල්මනේ.ඒ නිසාම කාලෙන් කාලෙට ඔය හීන වෙනස් වෙනවා එතකොට හීන පෙලගස්වලා තියෙන විදිය වෙනස් වෙනවා අලුත් හීන එකතු උනාම මුලම තිබුන හීන පස්සට ගිහින් අලුත් හීන මුලට එනවා.සමහර වෙලාවට හීන වල අන්තිමට තිබුන ඒවා ඉස්සරහට එනවා.මුල තිබුන ඒවා අන්තිමට යනවා.ඒ ඒ වයසත් එක්කත් අපේ හීන වෙනස් වෙන වෙලාවල් තියෙනවා.පොඩි කාලෙදී අපි ආස කරපු ප්‍රාර්ථනා කරපු හීන ඒ වයසෙදී හැබෑ කර ගන්න බැරි උනත් පහු කාලෙකදි ඒවා බොහොම ලේසියෙන්ම ළඟා කරගන්න පුලුවන් උනත් ඒවාට තිබුන ආසාව ඇල්ම නැති වෙලා යන වෙලාවලුත් තියෙනවා. ඔන්න ඔහොම කියනකොට මට ඉස්සෙල්ලාම මතක් වෙන දෙයක් තියෙනවා මම පොඩි කාලේ හරිම ආසාවෙන් හීන මවපු දෙයක් තිබුනා මට අවුරුදු දොළහෙදි විතර වගේ මට පුදුම ආසාවක් ආවා පාද සළඹක් දාන්න.ඔව් ඔව්  මේ අර anklets කියන්නේ අන්න ඒවා.පොඩි නැන්දා එක්ක තොරොම්බල් කඩවල රිංගනකොට එවා දැක්කම පුදුම ආසයි. ආසයි කියල ඉතින් හිතුමනාපෙට අරගෙන ගිහින් ඒවා දාන්න බෑ තාත්තගෙන් අවසර නොගෙන.ඒ නිසා මුලින් අවසර අරන් ඉන්න ඕනේ.ඔන්න ඉතින් අර දෙවෙනි ඉනිමෙ දෙව්මි එයාගේ තාත්තගෙන් මොනා හරි ඉල්ලන්න අහන්න දාන මායම් වගේ එව්වා දාලා මමත් තාත්තට මගේ ආසාව කිව්වා.බුදු අම්මේ මම අහගත්ත දෙවල්.මොන කුලප්පුවක් හැදිලද පාද සළඹක් දාන්න ඕන උනේ..ඕවා දාන්නේ හොද අය නෙවෙයි ඕවා දැම්මම මිනිස්සු බලන්නේ අමුතු විදියට.. බ්ලා බ්ලා බ්ලා...එදා මගේ පොඩි හිතට හිතා ගන්නම බැරි උනා පාද සළඹක් දැම්මම නරක් වෙන්නේ කොහොමද කියලා ඇයි මිනිස්සු අමුතු විදියට බලන්නේ කියල.කොහොම හරි කවදාවත් තාත්තගෙන් මට ඒ හීනේ හැබෑ කරගන්න උදව් නෑ කියලා මම දැනගෙන හිටියා.පාද සළඹ මට හීනයක්ම උනා කවදා හරි ලොකු වෙලා පාද සළං දුසිම් ගනන් ගන්නව කියල මම හිතා ගත්ත. ඉතින් දවසක්  තාත්තා යන්නම යන්න ගියා.ඊට පස්සෙත් අවුරුදු ගානක් මම කඩවල් වලට ගිහින් පාද සළඹවල් අතගාලා ලස්සන බලල ආවා අරගන්නෙ නැතුව.මගේ ඔය ආසාව හීනය දැනගෙන පහු කාලෙක ඉස්සෙල්ලාම මට පාද සළඹක් ගෙනත් දුන්නේ සත්තලන් ඔව් ඔව්  මේ ඉන්නේ එයා තමයි හි හී.මේ වෙනකොට  දැක්කම ආස හිතෙන හැම පාද සළඹම ගෙදර උස්සන් ආවත් අදටත් කවමදාවත් ගෙදරට දාලා හැඩ බලනවා මිසක් ඒකක් දාගෙන එළියට ගිහින් නෑ.මෙච්චර ලොකු වෙලත් තාත්තා එදා කියපු වචනෙ මාව පස්සට අදිනවා.

හ්ම්ම්ම් ඉතින් ඔන්න ඔය වගේ පුංචි පුංචි හැබෑ නොවූ හීන ඕන තරම්.හැබෑ කරගන්න පුලුවන් වෙලත් ඒවා අදටත් හීන.එක අතකට සමහර හීන හීන හැටියටම තියෙනකොට තමා ලස්සනට විඳින්න පුලුවන්.ලොකු වෙලා කරන රස්සාවල් ගැනත් ඒ ඒ වයසෙදී මට තිබුනේ හීන. මොන්ටිසෝරි වයසෙදී මට ඕන උනේම ලොකු වෙලා food city එකක කැෂියර් කෙනෙක් වෙන්න.ඒක ඔලුවට ආවේ  ෆුඩ් සිටියට ගියාම කැෂියර්ලා දිහා බලන් ඉදලම.ඊට පස්සේ ආස හිතුනේ ලොකු වෙලා කොන්දොස්තර කෙනෙක් වෙන්න තාත්තට කියලා බස් එකක් අරන් අක්කව ඩ්‍රයිවර් කරලා මට කොන්දොස්තර වෙන්න මාර හීනයක් තිබුනා.එව්වා ඉතින් පොඩි කාලේ පොඩි කමට දැක්ක හීන. පස්සෙ ටිකක් ලොකු උනාම air hostess කෙනෙක් වෙන්න හීනයක් තිබුනා.තාත්තගෙන් ඒකට ලැබුනෙත් පාද සළඹට ලැබුන වගේම නාග සළං ප්‍රතිචාර. ඒ හීනේ අත ඇරලා අන්තිමටම දැක්කේ පත්තර කාරියක් වෙන හීනේ.තාත්තා කවදාවත් මාව රස්සාවකට නොයවන බව දැන ගත්තාම දැකපු රස්සා හීන අත ඇරලා ආයෙ රස්සා ගැන  නොහිතා හිටියා.



ඉතින් ගැහැනු ළමයින්ගේ හීන වල එක එක කාලෙට එක එක හීන කුමාරයොත් ඉන්නවනේ.ඒ හීනත් හරිම සුන්දරයි නොවැ.ඒ හිරිමල් කාලේ ඉස්ස ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියල මම වශී වුනේ මාධවන් කොලුවටනෙ.එදා වගේම ඒ හිනාව මාව අදටත් පිස්සු වට්ටනවා.ඊට පස්සේ තව කොච්චර අය ලිස්ට් එකට ආවත් අදටත් මාධවන්ට දීපු තැන එහෙමමයි.ඇත්තටම ඉන්දියාවට ගිහින් එයාව කසාඳ බඳින්නත් ඒ කාලේ මට හීනයක් තිබුනා.මගේ ඒ හීනය අපේ හතර වරිගෙම අය දන්නවා ඉතින් ඔය කට්ටිය එකතු උන වෙලාවට මාව බයිට් කරන්න එහෙම තාමත් මාධවන්ගෙ කතන්දර ඇඳිලා එනවා.ඔක්කොටම හපන් සත්තලන් ඒ කට ඇවිස්සුනාම මගේ සිහින කුමාරයා අහගන්න කතන්දර. පව් අසරණයා.

සිනමාවේ විතරක් නෙවෙයිනේ නවකතා වලත් ආස කරන හීන කුමාරයො හිටියනේ.නවකතා වල චරිත අතරින් හැමදාමත් නොම්මර එකට ඉන්නේ වස්සාන හීනයේ කසුන් තමා.කොටින්ම ඒ කාලේ හීන මැව්වේ කවදා හරි මම ආදරේ කරන කෙනා කසුන් වගේ වෙන්න ඕන කියලා තමයි.

ඉතින් යාන්තන් හය හතර තේරෙන කාලේ ඉදන් මේ වෙනකන් දැකපු පුංචි පුංචි හීන අපමණයි.ඒවායෙන් බොහොමයක් සැබෑ උනා වගේම අත්හැරුණු හීනත් එමටයි.වර්තමානයේදීත්  ඉදිරියෙදී සැබෑ කරගන්න දකින හීන කන්දක් තියෙනවා.පවුලක් පන්සලක් උනාම දකින සාම්ප්‍රදායික සම්මත හීන ඇරුනම මගේ පිස්සු හිතට හිතෙන හීන කාට හරි කිව්වොත් මට හිනාවෙයි මේවත් හීනද අප්පා කියල.සමහර ඒවා එච්චරට බොළඳයි සමහරක් ඒවා හීන කියන්න බැරි තරමටම පුංචියි.ඒ නිසාම ඉතින් ඒවා මෙතන කියන්න යන්නේ නෑ.තව කාලයක් ගිහිල්ලා ඒ වෙනකොටත් බ්ලොග් තිබුනොත් මම හිටියොත්  මම බ්ලොග් ලිව්වොත් ඒ සැබෑ උන නොවුන හීන ගැන මේ වගේම පෝස්ට් එකක් දාන්න බැරියෑ. ඉතින් එතකං මේ මදෑ.

25 comments:

  1. කවියෙන්ම ප්‍රතිචාර ලියලා ඇතිවෙලා මටත්. ඒ හින්දම වචන ටිකක් ගැළපුවා මෙහෙම....:) වැස්සට සඳූ කම්මැලිවෙලා වගේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ පොඩ්ඩක් වෙනස් වෙන එක හොදා නේද... වැස්සට මම කම්මැලි උනාට කවි හිතනම් හෝ ගාලා වැඩ... ඒත් කවි ඕනෙ නෑ වගේ

      Delete
  2. මග බලා සිටිය දේවල්,
    මතු වෙලා ලඟට එන්නට,
    හීන වලට පනක් තියෙනවා........

    නිදහසේ නිමක් නැතිව,
    සිතුවිලි ගඟ ගලා යද්දි,
    පෙර නුදුටුව හීන මැවෙනවා..........

    මගේ නම් පොඩි කාලේ තිබ්බ ලොකුම හීනය ලංකාවේ කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න එක .

    ReplyDelete
    Replies
    1. දැන් මෙයාට කවිත් ලියන්න පුලුවන් වගේ.... ආ... ඒක හිතා ගන්න පුලුවන් කෝච්චි පිස්සුව තියෙන නිසා

      Delete
  3. තිබිච්ච හීන තොගේ හැටියට නොතිබුණේ මොන ජාතියෙ හීනද කියලා මතක නෑ.

    ඔය මාධවන් ගොය්යා ගැන හීනේ ගැන තමා වැඩිපුරම මේ බ්ලොග් එකේ ලියලා තියෙන්නේ නෙහ්..?

    ReplyDelete
    Replies
    1. හී හී අන්න ඔයාට තේරුනා...එයා ගැන තමා තාමත් වැඩිපුරම කතාව

      Delete
  4. මට ඔය පා සළඹ එප්.බී එකේ දැකලා පුරුදුයි..

    ReplyDelete
    Replies
    1. මේකම කියලා ෂුවර්ද අනේ... හි හී... මම මේක හොයාගත්තේ ගූගුල් දෙවියාගෙන්නේ

      Delete
    2. ගෑනූ ළමයි තුන් දෙනෙක්ගෙ ෆොටෝ එකක් දාල තිබ්බෙ අර මූනු නැති. එතැන ඕක දාන් හිටියෙ ඔයා නෙවෙයිද එතකොට....

      Delete
    3. නැත නැත ඒ මම නොවේය අපේ අක්කගේ ලොකු දෝණියැන්දාය...අපිට වගේ තාත්තලාගෙන් එයාලට බකට් නැත. හි හී

      Delete
  5. Replies
    1. කාලෙකින් ඇවිල්ලා ලොකු වැටක්ම ගහල ගිහිල්ලා... ස්තූතියි

      Delete
  6. දන්නවද සදු මම ගොඩාක් ආස අපේ වැව ළග ඉන්න. වැවට උඩින් පන්සල තියනවා. ලස්සන චෛත්තයක් එහෙමත් තියනවා. ඉර බහින හැන්දෑ වරුවේ වැව් ඉවුරේ ගලක් උඩ වාඩිවෙලා ඉන්න මම හරිම ආසයි. සමහර දවස් වල මම එහෙම ඉන්නවා. හිතට පුදුම සහනයක් දැනෙනවා. වැවේ ඉදලා එන සුළග ගතට පුදුම සනීපයක් ගේන්නේ . අදටත් මම ඒ පරිසරයට ගොඩාක් ආදරේ කරනවා සදු.

    ReplyDelete
    Replies
    1. ඉතින් යාලුවේ ඒක හීනයක් කරගන්න එපා... ඉඩ තියෙන වෙලාවට ගිහින් ඒ පරිසරය විඳලා එන්න

      Delete
    2. ඉර බහින වෙලාවට වැව ලඟ ඉන්ට එපා නගා..... කලු කුමාරය බැල්ම හෙලයි

      Delete
  7. හම්මො ඇති යන්තන් බොලාට තේරුනා.........

    ReplyDelete
    Replies
    1. මොකද්ද මට තේරුනේ.... හැබෑ නොවෙනා හීන හරි මිහිරි වගද

      Delete
    2. නෑ ඔය කවි අහල දැන් බොක යන්ට වගේ.....

      Delete
  8. පොඩි කාලේ මට හීනයක් තිබ්බ කවද හරි ලොකු වෙලා සීනි බෝල බෝතලයක් ළඟ තියාගෙන තනියෙම කනවා කියල.. කොහොම හරි ඒක මේ වෙනකං හැබෑ කර ගන්න බැරි උනා.. දැන් සුවර් ආයේ ජීවිතේටම කොහොමත් ඒක කරගන්න වෙන්නේ නෑ කියල.. මොකද දැන් සීනි තහනම් නේ.. ඒක නම් හැබෑ උනත් නැතත් පට්ට මිහිරි හීනයක් හිටං.. :)

    ReplyDelete
    Replies
    1. මිහිරි විතරක්නම් මදෑ හරිම පැනි රස හීනයක්නේ ඒක

      Delete
  9. රස්සා ගැන දැක්කම මතක් උනේ, මගෙ පළවෙනි රස්සා හීනෙ තමයි ලියුං කාරයෙක් වෙන එක... ඉස්සර අපේ ගමට එන්නෙ ලියුං කාරයා විතරයි. මිනිහ එන්නෙත් පුස් සයිකලේ. ඇවිල්ල කකුලක් බිම තියල බෙල් එක ගහල ලියුම දෙන එක මාර වැඩක් වගේ මට පේන්න ඇති. ඉතිං එක වසරෙ මිස් ලොකු වෙලා වෙන්න කැමති කව්ද ඇහුවම මට ආයෙ හිත හිත ඉන්න දෙයක් තිබ්බෙ නෑ... මිස් අම්මව ඉස්කෝලෙට ගෙන්නල බැන්න කියහංකො ළමයි හදල තියන හැටි කියල :(

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එහෙම දකින හීන මොන තරම් සුන්දරද.... අදමයි ඔයාව මෙහෙ දැක්කේ ... ස්තූතියි ආවට... කියෙව්වට

      Delete
    2. ඔව් නේ... අමතක වෙන්න කලින් කියන්නම ඕනෙ පල්හෑලි ටිකක් ලියන්න මාත් අටව ගත්තා බ්ලොග්ගුවක්... ඒකෙ නැගලා වටේ යන ගමන් ගොඩ උනේ... පිලිගැනීමට බෝම ඉස්තූතී... ආයෙ එන්නං...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...