සඳට බැළුම් හෙලූ අය

Nov 20, 2021

විරාග රාගය !


අන්සතු ප්‍රේමය ගීතය නිසා මේ දවස්වල  අන්සතු ප්‍රේමය ගැන අසම්මත ප්‍රේමය ගැන මුලු බුකිය පුරාම හා හෝ ගාලා කතාව.අනියම් ප්‍රේමෙට උඩගෙඩි දෙන්න එපා කියලා කට්ටියක් කෑගහනවා,අන්සතු ප්‍රේමෙ තමා ලස්සනම කියල කට්ටියක් කියනවා,මේ මම වගේ කට්ටිය එක තවත් එක ගීතයක් කියල අහල විඳලා පාඩුවේ ඉන්නවා.හැබැයි මටනම් ඒකේ පදවලට මියුසික් වලට වඩා දැනෙන්නේ ඒ විශුවල් ඒක.ඒක මාරයි.ඒක දිහා බලන් ඉද්දී පද ඇහෙන්නෙත් නැති තරම්.

හරි හරි අද මම මේ කියන්න යන්නේ ඒ ගීතය ගැනනම් නෙවෙයි.ඔය ශානරයෙන්ම ගැයූ වෙනත් ගීතයක් ගැන ඒ ගීතය කරළියට ආපු දවස්වලම ගීත විචාර තරඟයක් සඳහා ලියපු එකක් මේ.පහුගිය දවස්වල මගේ කොම්පියුටරේ මළගම් ගිහින් තිබුණ නිසා ඒක අස්සේ මෙව්වා තියෙනවා කියල අමතක වෙලා තිබුනේ.දැන් හරි කොම්පියුටරේ ගොඩදාගත්තා.දැන් ඉතින් බ්ලොග් එක අප්ඩේට් කරන්න ටික දවසකට පරණ ලියපුවා ( බ්ලොග් එකට නොදැමූ )තියෙනවා.මේ දවස්වල බ්ලොග් ලෝකෙටත් ආයෙමත් ටික ටික වසන්තය උදාවෙන නිසා පරණ එව්වායින් මටත් ටික දවසක් අල්ලන් ඉන්න පුලුවන්...හි හී

මේ පහලින් තියෙන්නේ විරාග රාගය ගීතය ගැන මම ලියපු සටහන.මේක මට මතක විදියට 2020 මුල වගේ ලිව්වේ.මේ වෙනකොට මේ ගීතය ගැන මගේ අදහස් මීට වඩා වෙනස් වෙලත් වගේ. ඒ උනාට ආයේ අලුතින් කොටස් එකතු කරන්නවත් පරණ ලියපුවා අයින් කරන්නවත් බෑ බෑ වගේ. ඒ නිසා තියෙන විදියටම කොපි පේස්ට් කලා ඕං

පාලු නිසංසල රාත්‍රියක නිහඬ බව අතරින් හිමිහිට ඇහෙන සියුම් සත්සරකට මුහු වූ ප්‍රේමනීය සුගායනයක්  හුදකලා හිතකට මොන තරම් සැනසීමක් මිහිරක් එක්කරාවිද....මව් කුසින් මව් ඇකයට ආ දා පටන්ම ගීතය සංගීතය මානව සංහතියට නුහුරු දෙයක් නොවේ.මවගේ නැළවිලි ගීයෙන් උත්තේජනය වී ආරම්භ වෙන ගී රසවින්ඳනය මිනිසාව සංවේඳී අයෙකු කරන්නට අඩිතාලම දමයි.අන්න ඒ නිසාම මිනිස් දිවියේ  දුක සතුට ආදරය වේදනාව වියෝගය වැනි විවිධාකාර වූ හැඟීම් අතර ගීතය සංගීතය මිනිස් සිත සුවපත් කරන ඔසුවක් බවට පත්වේ.

හෙළ ගී කෙතට ඉතාම මෑතකදී එකතු වූ

විරාග රාගය මේ වෙනකොට සුවහසක් හදවත් සුවපත් කරන්නට සමත් වී හමාරය. බන්දුල නානයක්කාරවසම්ගේ සොඳුරු පද , සුරේශ් මාලියද්දයන්ගේ මියුරු සංගීතයෙන් ඔපමට්ටම්ව අමරසිරි පීරිස් සහ අමල් පෙරේරාගේ අමන්දාන්නදනීය හඬ මුසුවෙන් ඇසෙන විරාග රාගය දෙනෙත් පියාගෙන .විඳිය හැක සොඳුරු සිතුවමක් වැනිය.

විරාග රාගය අතරේ තනි වූ ආලය

විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය

දුරලයි තනිකම ලබමින් මගේ සරාගය....

 

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු

ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා

ඈ මුකුලිත වූවා ….

කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු

ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම් කල දා

ඈ අසරණ වූවා.....

 

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු

සළෙල ගීතයට ඈ තනුවක් කරගත් දා

ඈ ලොව අහිමි වුනා ….

ඔබේ මිලින ගති ඇයට නොවේ රුති

පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා

ඈ මා වෙත ආවා...

තුන්කොන් ප්‍රේම කතා ගැන අප ඕනෑ තරම් ගීත අසා ඇතුවාට සැක නැත.විරාග රාගයේ විශේෂත්වය එකී සිද්දියට බඳුන් වූ නීත්‍යානුකූල පිරිමියාත් අනියම් පෙම්වතාත් තම තමන්ගේ වරද නිවැරදි කරගැනීම උදෙසා එකි නෙකාට කරන සියුම් දොෂාරෝපණයක් ලෙස ගීතය ගලා යෑමයි.

ප්‍රේමය රාගයෙන් තොර පාරිශුද්ද සුරම්‍ය වූ දෙයක් ලෙස නන්දා මාලිනිය අපට ගැයූවත් කුටුම්බයක ප්‍රේමය රාගයෙන් තොර වූ දා ලිංගිකත්වයෙන් තොර වූ දා බොහෝ විට  කසාඳ ජීවිතය ශෝකාන්තයකින් හෝ ඛේදාන්තයකින්  හමාර වන්නට බොහෝ ඉඩකඩ ඇත.තරුණ බිරිඳක් මුණිවර සැමියෙක් සමඟ හුදකලාව ගෙවන ජීවිතය සරාගී තුන්වැන්නෙකුට අනාරාධිතවම  කරන  ආරාධනාවක් වැනිය.එවන් මොහොතක නිබඳවම ගැහැනියට ඇගිල්ල දිගු කරන, ඇයව පෝරකයට දක්කන සමාජයක මේ ගීතය ගැහැනිය වෙනුවෙන් පිරිමින් කතාකරන පුර්ෂාදිපත්‍ය ප්‍රශ්න කරන ගීතයක් ලෙස දැකිය හැක.

විරාග රාගය අතරේ තනිවූ ආලය

විරාම දෙයි එක් හදකට පුදා පරාජය

බොහෝ පිරිමින් මෙවන් ප්‍රශ්නයකදී තම නොහැකියාව පිලිනොගත්තත් මේ මුණිවර සැමියා ඔහුගේ විතරාගී බව පිලිගනී.ඒ වගේම අවසානයේදී එක් අයෙකුට පරාජය හිමි වන බවද ඒ බොහෝ විට තමා විය හැකි බවද පිලිගනී.

විරාග රාගය අතරේ තනිවූ ආලය.

දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

පෙම්වතා ගැහැනියගේ හිත ගත ඉල්ලන සියල්ල ඇයට ලබාදෙයි.අජීවී ඈ සජීවී සරාගී ගැහැනියක් කරන්නට ඔහු සමත්වේ. මේ සරාගී ප්‍රේමනීය පිරිමියා මෙතැනදී නිවැරදි නොවන්නට පුලුවන් කියා රසිකයාට හිතෙන්නත් පුලුවන්.එහෙත් තුන් වැන්නෙක් ලෙස ඔහු නො ආවානම් ඇගේ ජීවිතය කෙබඳු වෙනු ඇද්ද යන්න සිතීමට තරම් රසිකයා එතැනදී සාධාරණ විය යුතුය .ආදරය විඳිය යුත්තක් , ප්‍රේමය විඳිය යුත්තක් ,රාගය විඳිය යුත්තක් මිස විඳවිය යුතුද ? සංස්කෘතිය ,සමාජය , ඉතිහාසය , පවුල , කුටුම්බය ,සදාචාරය වැනි මෙකී නොකී දහසක් බැමි වලින් බැඳ  ගැහැනිය සදාකල් නිහඬ විය යුතුද.ප්‍රේමය ලිංගිකත්වය අවධානය  , අවබෝධය , ලැබිය යුතු තැනක ගෙදරක ලස්සනට තියන්න ගෙනාපු මල් වාස් එකක් වගේ  පෙමින් තොර කතරක විඳව විඳවා අවසානයේ  පොලවට පස් වී යායුතුද ?

මේ සියල්ල නැවත නැවත හිතන්නට විමසන්නට විරාග රාගය ගීතය සමාජයට උත්තේජනයක් සපයයි.

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු

ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා

ඈ මුකුලිත වුවා...

විවාහ සැමියා  මෙසේ  ඔහුගේ බිරිඳගේ අනියම් පෙම්වතාට දෝශාරෝපණ ය කරන්නේ  තමාගෙන් වෙන්නට ඕනෑ යමක් ඔහුගෙන් ඉටුවීම ගැන චෝදනා මුඛයෙනි. එය එසේ නොවී ඔහු තම මුණිවර දැහැනින් මිදී ප්‍රායෝගික මිනිසෙකු වූවානම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්නටද ඉඩ ඇති බව ඔහුට නොතේරේ.නොකියන ආදරේකින් නොපෙන්වන සරාගයකින් ගැහැනියක් ඇයගේ මුලු ජීවිත කාලයම  අතෘප්තියෙන් ගෙවා දැමිය යුතුයැයි සිතීම අසාධාරණ නොවේද ?

කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු

ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම් කල දා

ඈ මුකුලිත වූවා....

 

ගැහැනිය උපතින්ම ආදර මුලු ජීවිතයම කරගන්නියකි. උපතේ සිට මරණය දක්වා ඈ රඟන සියලු භූමිකා ඉදිරියෙන් පිරිමියෙකුගේ දෑතක , උරහිසක , සෙවණක , රැකවරණයක ඇල්මක බැල්මක පහස වේ.එය එසේ නොවූ කල සම්මතයේ සිරවී  විඳවනා ගැහැනුන්ද බැමි කඩා බිඳ දමා අසම්මතය වැළඳ ගන්නා ගැහැනුන්ද සමාජයේ එමටය.සම්මතැයි සම්මත බැඳීමක් තුල හුදකලා වෙන සීමාව ඉක්මවා ගිය පසු  ගැහැනිය තමන්ට රිසි දේ සොයා යාමට දෙවරක් නොසිතයි.එතැනදී ඇයට   ඇය සොයන දේම හමුනොවන්නට ඇති ඉඩ කඩ බොහොමයි.ඒ කොහොම වුනත් පිරිමින් දෙදෙනෙකුට මැදිවූ ස්ත්‍රියකට සැබෑ සැනසීමක්වත් ගැලවීමක්වත් ඇතැයි සිතන්නට බැහැ.

මේ පදපෙලේ හිමිකරු වූ බන්දුල නානයක්කාරවසම් කියනා ලෙස මෙකී පරිකල්පනයට බලපෑවේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේ අරවින්දගේ චරිතය බව කියයි. අරවින්දව මැනැවින් කියවූ අයෙකුට මේ ගීතයේ ස්වාමි පුර්ශයාව මවා ගැනීම තේරුම් ගැනීම අපහසු නොවේ.තවුස්දම් පුරන්නට සුදුසු අයෙක් හැඟීම් වලින් පිරුණු ගැහැනියක් විවාහය නැමති බැම්මෙන් සිරගත කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවක්දැයි ප්‍රශ්න කිරීමට වටී.

නුරා එගිනි දළු දවමින් ඈ ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුනා....

අනියම් යන විශේෂණ පදය ඉස්සරහට යෙදෙන බොහෝ දේ ගැන සමාජයේ ආකල්පය එතරම් සුබදායී නොවේ.අනියම් පෙම්වතෙකු පෙම්වතියකු යනු පවුල් කඩන්නට ආ සල්ලාලයෙකු හෝ ගණිකාවක් ලෙස දකිනවා මිස සමාජය ඉන් එහා වටිනාකමක් ඔවුන්ට නොදෙයි.මේ සැමියා සිතනුයේද තම බිරිඳ සළලෙකුට රැවටී ජීවිතයම විනාශ කර ගන්නට යන බවයි.එහෙත් පෙම්වතා බොහොම සංයමයෙන් සැමියාට ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නේ ඔහු විසින්ම ඇයව මේ තත්වයට ඇද දැමූ බවයි.

ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මා වෙත ආවා...

ගීතයේ අවසානය එසේ සනිටුහන් වෙන්නේ රසිකයාට යලි යලිත් හිතන්නට යමක් ඉතුරු කරමින්.මේ ගීතයේ අපූර්වත්වය වන්නේ මේ තුන්කොන් ප්‍රේම කතාවෙදි කවුද වැඩියෙන්ම වැරදි හෝ කවුද වැඩියෙන්ම නිවැරදි කියල රසවිඳින්නාට සිතා ගන්නට බැරි වීම.අඩුත් නැතුව වැඩිත් නැතුව ගැහැනියටත් පිරිමින් දෙදෙනාටත් වැරැදත් නිවරැද්දත් සම සමව බෙදෙන ලෙස රචකයා ගීතයේ අවසානය දක්වාම මනා සංයමයෙන් රසිකයා කැටුව යයි.සමාජයේ අසන්නට දකින්නට ලැබෙන මෙකී පවුල් ඛේදාවාචකයක දෙස වෙනස් ඇසකින් බලන්නට රචකයා අපට උගන්වයි.

නූතනයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන අවර ගනයේ හරසුන් ගීත අතර විරාග රාගය සුභාවිත ගීතයේ හෙට දවසට බලාපොරොත්තු තබා ගත හැකි නිර්මාණයක් වෙනු ඇත.එකී ගීතයේ අමරසිරි පීරිස්ගේ පරිනත වියපත් හඬත් අමල් පෙරේරාගේ සරාගී තුරුණු හඬත් ගීතයේ මුඛ්‍යාර්තය වඩාත් ඔපමට්ටම් කරන බව කිව යුතුම වේ. එයටම  කැපෙන ලෙස සුරේශ් මාලියද්දයන්ගේ සත්සර පදවැල පුරා සුසර වෙන අන්දමද අගය කල යුතුමය.තම තමන්ගේ කාර්යන්ට ක්ෂේත්‍රයේ අති දක්ශයින්ගේ අපූරු සුසංයෝගය ගීතය මේ තරම් සාර්ථක වන්නට මඟ කියූවා නොඅනුමානය.

ගීතයක් බිහිවන්නට පද මාලාව සංගීතය සහ ගායනය පමණක් අතීතයේදී සෑහුනි.එහෙත් වර්තමානය වන විට රූපරචනයද ගීතයකට නැතුවම බැරි අංගයක් වී හමාරය.එනිසාම විරාග රාගය රසිකයන් අතට පත්වූයේ අපූරුම රූප රචනයකුත් එක්කමය.නූතන ගීතයේ බහුතරයක් රූප රචනා ගැන සෑහීමකට පත්වන්නට බැරි වූවත් විරාග රාගයේ රූප රචනය ගීතයේ මුඛ්‍යාර්ථය අපූරුවට විදහා දක්වන රූප රචනයකට එහා ගිය සිනමාත්මක හැඟීමක් දනවන සෞන්දාර්‍යත්මක වෑයමක් බව නොකියාම බැරිය.එනිසාම තව බොහෝ කාලයක් යන තුරු විරාග රාගය රසිකයන්ගේ හදවත් තුල ඉඳුරාම ජීවත් වෙනවා නිසැකය.


 


 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

         

 

 

14 comments:

  1. කාලෙකින් ආව බ්ලොග් බලල යන්න.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔයාව දැක්ක කල්...

      Delete
    2. ඉයන්ව දැකීමම සතුටක්...!!!!

      Delete
  2. අනේ ස්තූතියි හ්ම්ම්ම්වත් කිව්ව එකට

    ReplyDelete
  3. සටහනට කලින් තඩි ඉඩක් තිබ්බේ අපි කමෙන්ට් කරයි කියලද ආ??

    අර සන්දිරිගමයාගේ කෙල්ල වෙන එකෙක්ට කුට්ටාලි කරපු එකට බැනලා යන්ඩ ආවේ...

    සින්දුව නම් හොඳයි තමයි. ලිවීමත් එමමයි.. විෂුවල් එක නොතිබ්බා නම් ගොඩක් අය අතරට යන්නේ නැති ගීතයක් වෙයි. මොකද මිනිස්සු පදමාලාව බලන්නේ අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. නිර්මලී ඔය සකලංකමාලෙට සෙට් කරන්නම වටින මේ සංදිරියා මෙලෝ රහක් නෑනේ වෙලාවකට.ඇයි වදේ ලිහලා බලන්න ඕන මල්ල අර පෙම් මුල්ලට වෙලා ඔබ ඔබ ඉන්නව.ඔන්න බලන්න ඉතින් මේ සිංදුවත් ඒකට ගැලපෙනවා මොන,සැප තිබ්බත් වටිනවද පොතේ ලියලා ගෙනාවට පස්සෙත් රති සැප නැත්තං 🤣🤣

      ඔව් ඇත්තටම මේ සිංදුවේ විෂුවල් එක තමා හිතට වැදෙන්නෙම.

      Delete
  4. බන්දුල නානයක්කාරවසම් මොනවා කියාවිද කියල බලන් හිටියේ...!
    සඳවතීගේ ඇනලසිස් එක පදවැලේ විචාරයකුත් උනා නම් මේ ලියමන තවත් අර්ථවත් වේයැයි අපගේ අදහස...!
    පරණ ෆ්‍රීස් කරල තිබෙනවා යැයි ලියූ සටහන් වල කවිත් ඇති නම් අපිට කියවන්න තෝ කරල දාමු...ඉඩ ඇතිවේලාවක කියවන්න බැරියැ....!

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඉතින් එයැයි බලනවායෑ අපේ බ්ලොග් ..තීනවා තීනවා කයි කතන්දර එමට.හිමිහිට මේකට කොපි පේස්ට් කරන්න ඕනේ.

      Delete
  5. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
  6. සිංදුවත් ලස්සනයි. ලියවිල්ලත් ලස්සනයි. කමෙන්ට්ස් ටිකත් ලස්සනයි. ඔක්කෝම ලස්සනයි. ඔයත් ලියන්නකෝ සඳවතියේ මේ වගේ ලස්සන සිංදුවක්. කියන්න සතුටුයි ඔයා අර මුලින්ම කියල තියෙන කතන්දරේ තමයි මටත් උනේ. අන්සතු ප්‍රේමය බලන බලන හැම පාරම විෂුවල් එකට වශී වෙනවා මිසක් වචන නම් අහුනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූ ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට.මේ කාලේනම් සිතුවිලි හිස් මොනවත්ම ලියන්න බැරි විදියට.ඒ විෂුවල් එකට තමා මමත් කැමති.විරාග රාගයෙත් එහෙමයි.අභිශේකා ගේ නිස්සාර සංසාර එකෙත් මං විෂුවල් එකට මාර කැමති

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...