සඳට බැළුම් හෙලූ අය

Jan 23, 2025

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන් පුරුද්දක් වෙලා.දෙනෝදාහක් ඇවිත් යන එන,ගැවසෙන ගාලු මුවදොර පිටියෙදි පවා මට දැනෙන්නෙ මහා තනියක්,පාලු මූසල බවක්. බලන බලන අත අත් පටලගත්ත පෙම්වන්ත ජෝඩු.ඒ හැම පෙම්වතියක් ළඟින්ම මට ඔයාගෙ හිනාව ඇහෙනවා...ඔයාගෙ සුවඳ දැනෙනව...


අතීතය කියන්නෙ ඉදහිට ගිහින් ආයෙ ඉක්මනට එන්න ඕන තැනක් මිසක් වරු ගනන් ගිමන් හරින්න සුදුසු තැනක් නොවෙන බව දැන දැනත් මං හැමදාම ඒ වරදම කරමින් ඉන්නවා.අපි හමුවුනේ ඇයි ? අපි ප්‍රේමයෙන් බැඳුනෙ ඇයි ? අපිට වෙන්වෙන්න සිද්ධ වුනේ ඇයි ? කියන ප්‍රශ්න වලට මං තාමත් හරිම උත්තර හොයාගෙන නෑ..ඉස්සරහට හම්බෙන එකකුත් නෑ.මං ආදරේ කලේ අයිතිකරගන්න නෙවෙයි...ඔයා ඒක දන්නවා...කිරිල්ලියක් වගේ ඔයාට මේ අහස පුරා ඉගිල්ලෙන්න දීල ආදරෙන් බලන් ඉන්න මට ඕන උනා...පරිස්සම් කරන්න ,රකින්න ඕන උනා.අයිතිකර නොගෙන ඒ මුකුත් කරන්න බෑ කියන එක මට තේරුම් ගන්න ඇරල ඔයා කොහේදෝ ඈතක යන්න ගියා.


මේ අහන්න සාරධා...


"වසන්තය එන බව සත්තයි " කිව්වට මගේ මේ වියපත් පිරිමි ආත්මෙට දැන් තේරෙනව වසන්තය අපි විසින්ම උපයගත යුතු දෙයක්,..අප විසින්ම මැවිය යුතු දෙයක්...එහෙම නැතුව එයි කියල බලාන හිටියට ලැබෙන දෙයක් නෙවෙයි.ඒක මම තේරුම් ගන්නකොට අපිට අපි අතෑරිල ගොඩක් කල්.

අහම්බකාරක හමුවීමක අවසානයේ ඔයා මගේ වල් වැදිච්ච ජීවිත උයනෙ හරි අපූරුවට මල් පොට්ටුවක්ව පල දරලත් මට බැරිඋනා ඔයාට පරිපූර්ණ  මලක් වෙලා ඒ උයනෙම පෙති දෙපෙති හැරල පිපෙන්න ඉඩදෙන්න...


ඉතිං ඒ අතපසු වීමට මං අද හොදටෝම වන්දි ගෙවනව..මං දන්නව මේ කොහේ හරි ඉදන් ඔයත් මේ දුකම විඳින බව.පුලුවන් කමක් තියෙනවනං මට සමාවෙන්න සාරධා....පුලුවන් නම් ආයෙ එකම එක පාරක් මට පේන්න ඇවිත් යන්න සාරධා .....


**********


දුරුත්තේ හීතලම වැහි තුඩක දැවටෙන්න

සන්තෝස බිඳිත්තක් අරන් හවසක එන්න

එදා වාගෙම අදත් හුරු සුවඳ විඳගන්න

දන්නවද මං තාම ආදරෙයි උතුරන්න


රතැඟිලික මුඳු පහස පපුව මැද තවරන්න

ඔය උවන තව වරක් උරහිසේ සතපන්න

ප්‍රේමයේ ක්‍රියාපද ක්‍රියාවට නන්වන්න

ඔබේ ඇස් මත ආයෙ මට නිවෙන්නට දෙන්න


මතක සිත්තමේ දේදුනු වර්ණ තවරන්න

ආයෙමත් ආදරේ හීනයට පණ දෙන්න

පමාවී නමුත් එන වසන්තය පිලිගන්න

අවාරෙත් හැකි නේද මල් සුවඳ පතුරන්න




( කාලෙකට පස්සෙ හිතට දැනුන සිංදුවකට ලියවෙච්ච වදන් ටිකක් සහ කවියක්.ආ..ඔය ආදරෙයි උතුරන්න කියන්නෙත් පහුගිය දවස්වල නිතර ඇහුන සිංදුවක වචන දෙකක්.ඒක නොකිව්වොත් කට්ටිය මාව කන්න හදයි කොපි කරල කියල 🙃🙂 )

13 comments:

  1. හුදකලාවක් දැනුණා. ලස්සනයි!!

    ReplyDelete
  2. Replies
    1. අලුත් කෙනෙක්ද බලුවා..බැලින්නම් නම වෙනස් වෙලා...

      Delete
  3. අපූරැයි!
    ලාබාල හින්ද ලඟට ගන්නත් බෑ. ආදරේ හන්ද දුරස් කරන්නත් බැරි කේස් එකක් නේත 💔🌷

    ReplyDelete
    Replies
    1. "අපිත් ඔහොම ගිය හැටි මතකයි", කබාය ඉරිලා කේස් එකක් කියලයි මට හිතුනෙ.🤔

      Delete
    2. ඕ එහෙමත් හිතන්න පුලුවන් තමා...

      Delete
    3. බස්
      music video ඒකෙනං ඒමයි නෙ 😁

      සොඳුරු සඳවතී
      මට එච්චර සිංදුව ඇල්ලුවෙ නෑ. slow වැඩිත් වගෙ... හඬ, සංගීතය 2කම. කලනි නං ලස්සනයි 🙈

      Delete
  4. රූපරාමු වලින් ඒ වගේ ඒ වගේ නේද දැනෙන්නේ...

    ReplyDelete
  5. මේ දුරුත්තේ සීතල නැතිව අහස හඬාවැටුනේ ඒ නිසා වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. අදනම් අහස අඬනව මදි නොකියන්න

      Delete
  6. ලස්සන සින්දුව . මේ තුමිඳු ගේ වයිෆ් නේද ඉන්නේ. පාටි එකකදී දැක්ක . නිදිමත් ඇස් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් එයාගෙ වයිෆ් තමා කළණි.එයාට අමුතු ලස්සනක් තියෙනව.ඇක්ටින් මරු.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...