සඳට බැළුම් හෙලූ අය

Sep 30, 2016

ආදරණීය සැප්තැම්බරයේ මගේ කියවීම






                                         ඉතින් මේ සාහිත්‍ය මාසයයි.සප්තැම්බරයේ වැඩිම කතා බහට ලක්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල හමාරවීද මේ ලියන විට  දවස් කිහිපයකි.මේ අවුරුද්ද මම පොත් සල්පිලට ගිය හතරවෙනි අවුරුද්දයි.මේ වසරේ දෙවතාවක්ම  සල්පිලේ කරක්ගසා  පොත් 33 ක සාඩම්බර හිමිකාරියක් වුනෙමි.ඒ රැල්ලට ගොස් පොත් ගොඩගසා ගැනීමේ පිස්සුවක් නිසානම් නොවේ.හුදෙක් කියවීමේ පිපාසය  නිසාමය. ඉතින් මේ ලියන්නේද පොත් සල්පිල ගැනවත් එහි ආගිය තොරතුරුවත් නොව  හුදෙක් ඒ කියවීමේ පිපාසය ගැනමය.
                              මගේ කවි හිත  අවදි වූ තැන සේම කියවීමේ උන්මාදය ආරම්භ වූ තැනද මට හරියටම නිනව්වක් නැත.මට යාන්තමට මතක් කර ගත හැකි වයස අවුරුදු හයේ හතේ පටන් අතට අහුවෙන අහක දැමූ  පත්තර පිටුව  පවා කියවා බලන  පුරුද්දක් මට වූ බව මතකය.පුංචි සන්දියේ පටන් මගේ ඒ කියවීමට රුකුල් දුන්නේ කියවීම සේම ලිවීමද  මා මෙන්ම ප්‍රිය කල මගේ තාත්තා විසින්මය.මට මතක ඒ කාලයේ හැම මාසෙම පඩි දවසට තාත්තා මටත් අක්කාටත් මල්ලීටත් කියවන්නට පොතක් රැගෙන දුන්නේය.හත්පෙති මල, ලස්සන වසීලිස්සා,මඩොල් දූව, රතු මුහුදේ නිධානය ,  තුන් යහළු වික්‍රමය, පාලු දූපත,සෝමපුර වීරයෝ, කල්ලන්දූවේ මුතු කොල්ලය සිබිල් නැන්දාගේ කතන්දර මෙකී නොකී බොහෝ ලමා සහ යොවුන් කතන්දර පොත් අදටත් තාත්තා තරමටම සදාදරණීය  මතකයන්ය.

ඉතින් ඊට පස්සෙ....

 මම වගේම මගේ කියවීමද මල්වර වන්නේ මට යාන්තන් අවුරුදුව් 12 වෙද්දීය.ඒ අගෝස්තුවේ පාසල් නිවාඩු කාලයකි.අපි නිවාඩු ගත කරන්නට ආච්චිලාගේ ගෙදර ගොස්ය. ( තාත්තාගේ මහ ගෙදර )මා වැඩිවිය පැමිණෙන්නේ ඒ නිවාඩුවේ එහේදීය.දවස් 14ක  නිවාස අඩස්සියට මාව සිරකර තබන්නේ එවකට විදේශයකට ගොස් සිටි මගේ චූටි බාප්පාගේ කමරයේය.කාමරයක් ඇතුලට වෙලා දවස් 14ක් ඉන්න බෑ කියා මා හඬ හඬා පෙරළි කරන්නේ  මගේ තනියට අක්කාවත්  කාමරයට දමා වැසූ පලවෙනි තත්පරයේ පටන්මය.කොච්චර පෙරලි කලත් මේ කටුක ඉරණම වෙනස් කරන්න බෑ කියල තේරුම් ගියාට පස්සෙ මම කරන්නෙ අක්කත් එක්ක එකතු වෙලා කාමරයේ හතර කොන් පරීක්ශා කරන එක.ඉස්සෙල්ලම අපේ ඇහැ යන්නෙ කලුම කලු පාට පරණ වෙච්ච තඩි අල්මාරිය දිහාවට. යතුරු දාල වහල නැති අල්මාරියක් අරින්න කාගෙන්වත් අවසර  ඕනෙ නැහැනෙ ඉතින් ඒ නිසාම අපි දෙන්න එකතු වෙලා අල්මාරිය අරිනව.දෙයියනේ... අපිට අපේ ඇස් අදහ ගන්න බෑ.මුලු අල්මාරිය පුරාම තියෙන්නෙ අපිලිවෙලට ගොඩ ගහපු පොත්, සඟරා,නානප්‍රකාර පත්තර.මම ඉහලට ගත්ත හුස්ම පහලටවත් නොදා ඒ පොත් කන්ද දිහා බලාගෙන හිටිය.මුලු සෝවියට් සාහිත්‍ය ලෝකයම  එතන තිබුන කියල මට අදටත් මතකයි.තරුණයා පත්තර මිටි ගානක්, අරලිය කියල පත්තර තොගයක්,බොහෝ පරණ නවලිය පත්තර, මුතුහර සඟරා,( පස්සෙ දැන ගත්තේ පත්තර  චූටි නැන්දගේ කියල )කොහොම හරි ඒ වෙනකොට පොත් ගුල්ලෝ වෙලා හිටිය අක්කටයි මටයි පුස්තකාලයක්ම සින්නක්කර ලියලා දුන්නා වගේ උනා මේ සිද්ධිය.

 ඉතින් ඊට පස්සෙ...

           මම මුලින්ම අහම්බෙන් වගේ පොත් ගොඩෙන් ඇදල ගත්ත පලවෙනි පොත වස්සාන සිහිනය.ඒ  නමටම  මගේ හිත ඇදිලා ගියා. ඒ පොතේ අකුරක් අකුරක් ගානේ මගේ හිතට මොකක්දෝ උනා.ඇත්තමයි යොවුන් වියේ එළිපත්ත පනිද්දිම මට මුණගැහුන ආදරණීය හදවත කසුන්.ආදරේ ගැන මොලෝ හසරක් නොදැන හිටි මම කසුන්ට ආදරේ කරන්න පටන් ගත්තා.ඉතින් දවස් 14 ක් ගත වෙනකොට ඒ අල්මාරිය ඇතුලෙන් මට ගොඩාක් අය මුණගැහිල ඉවරයි.විරාගයෙ අරවින්ද , ගොලු හදවතේ සුගත් , ගුරු ගීතයේ දුයිශෙන් විතරක් නෙවෙයි තව ගොඩාක් අය  ඒ අල්මාරිය ඇතුලෙ හිටිය.සුදු මල් පිරිච්ච කලෙන්  වතුර නාලා ගෙට එද්දි මම කියවීමෙන් මහ හුඟක් පරිනත වෙලා හිටිය.

ඉතින් ඊට පස්සෙ...

   මගේ හැම නිවාඩුවක්ම ගෙවුනෙ ආච්චිලගෙ ගෙදර ඒ පොත් අල්මාරියත් එක්ක.මගේ කියවීමේ හොදම කාලය අවුරුදු 12 ඉදන් 16 වෙනකන් කාලය කියල තමයි මට අදටත් හිතෙන්නෙ.ඒ තරමට මම ඒ කාලෙ කියෙව්ව. ඒ වයසට තේරුම් ගන්න බැරි මහ පොත් පවා කියෙව්ව.ගෝර්කිගේ අම්මා, විජයබා කොල්ලය  එහෙම කියවද්දි මට ඒ පොත් වල නම් ගම් පවා හරියට කියව ගන්න පුලුවන් උනේ නෑ.ඒත් අදටත් මේ ඊයෙ පෙරේදා කියවපු පොතකට වඩා ඒ පොත් වල සිද්ධි සමහර වෙලාවට තවම මතකයි.සමහර වෙලාවට මම මගේ වයසට නොගැලපෙන පොත් කියවලා ඒ කාලේ තාත්තගෙන් දඬුවම් විදපු අවස්ථාත් තිබුන.එතකොට මට අවුරුදු 13ක් විතර ඇති මම බාප්පගෙ අල්මාරිය ළඟ වැටී ගෙන පොතක් කියවනව.තාත්තා ඇවිත් පොතේ පිට කවරෙ නම කියවල මගෙන් පොත උදුර ගත්ත.මේවා කියවන්න තව ගොඩක් කල් තියෙනවා කියල තාත්ත පොත උස්සගෙන ගියා. පොතේ නම පාලම යට.ඊට පස්සේ චූටි නැන්දට කියල වහාම හදිස්සි වැටලීමක් කරල අල්මාරියේ පොත් 10ක් 15 ක් විතර අයින් කලා. ඒ සේරම  කියවීමට සුදුසු නැත කියල එයාලා තීරණය කරල. ඊළඟට  මගේ ලොකුම මෙහෙයුම උනේ ඒ තහනම් කරපු පොත් හංගපු තැනින් හොයන එක.ඒකනම් ඒ තරම් ලේසි උනේ නෑ.මටම එපා  වෙලා අන්තිමට මම ඒ රහස් පරීක්ශක වැඩේ අත ඇරල දැම්ම.

ඉතින් ඊට පස්සෙ...

 පොඩි කාලෙදි මගේ කියවීමට සහයෝගය දුන්න තාත්තම අන්තිමට මගේ කියවීමට තහංචි දාන තැනට පත් උනා.අපේ ඉස්කෝලෙට ගිහින් මගේ ලයිබ්‍රි කාඩ් එක පවා කැන්සල් කලා.ඒ සේරම උනේත් ඉතින් මගේ ඉවක් බවක් නැති කියවීම නිසාමයි.ඊට පස්සෙ එක පාරක් නිවාඩුවකට ආච්චිලගෙ ගෙදර යනකොට සිදු නොවිය යුතු දෙයක්ම වෙලා තිබුන.අදටත් මට ඒක මතක් වෙද්දි පපුව දාල පිච්චිල යනව.මගේ ලොකු නැන්ද  විවාහ වෙලා හිටියෙ ජර්මන් ජාතිකයෙක් එක්ක.අවුරුදු තුන හතරකට සැරයක් එයාල ලංකාවට එනව.ඒ සුදු අංකල් හරිම කඩිසර පුදුම තරම්  හොද එක්කෙනෙක්.එයා කරන්නෙ අපිට හිතා ගන්න බැරි වැඩ ගෙවල් අස් කරනව, පේන්ට් කරනව එළවලු වවනව ලෝකෙ නැති වැඩ තනියම කරනව ලංකාවට ආවම.ඉතින් එයා කවුරුත් ගෙදර නැති දවසක ගේ අස් කරන්න අරගෙන අර පරණ අල්මාරියෙ තිබිච්ච සේරම පොත් පත්තර ගිනි තියල අල්මාරිය හොදට හදල ස්ප්‍රේ කරල එහෙම තිබුන.ඒක දැකල මම අඬපු තරම් .........ඒ තරම් පොත් කන්දක් අහිමිවීම අදටත් මට  හිතා ගන්න බෑ,ඒ සිද්දියෙන් පස්සෙ මට කියවීම ඇරුනහම පොත් එකතු කිරීමට තිබුන ආසාව නැති උනා. ඒ වෙනකොට ම්මම ආදරෙන් එකතු කරගෙන හිටපු ළමා , යොවුන් නවකතා පවා මම එක එක්කෙනාට දීල දැම්ම.පස්සෙ පස්සෙ ඉතින් වයසින් වැඩිල පොත් සල්ලි දීල ගන්න කාලෙදි පවා මම උවමනාවෙන් පොත් එකතු කරගෙන හිටියෙ නෑ, මම කියෙව්වට පස්සෙ කවුරු අරන් ගියත් මට ප්‍රශ්නයක් නැති ගානට හිටියෙ.

ඉතින් ඊට පස්සෙ...

ආයෙමත් පොත් එකතු කරන්න ඕනෙ කියන ලෝබ කම හිතට දැනුනෙ 2013 දි පලවෙනි පාරට බුක් ෆෙයා ගිහින් පොත් කන්දක් උස්සන් ආවට පස්සෙ.ඒ වගේම බුකියේ පොත් කියවන අය ගෲප් එකේ කට්ටිය එයාල ළඟ එකතු කරපු පොත් කඳු කඳු පින්තූර දානකොට මටත් ආස හිතුන ආයෙමත් පොත් එකතු කරන්න.ඉතින් කවද හරි මමත් මගේ චූටි බාප්ප වගේම පොත් අල්මාරියක්ම එකතු කරනව.කවද හරි මගේ දරුවො , දරුවන්ගෙ දරුවො ඒ කවුරුම හරි මේ පොත් ආසාවෙන් කියවාවිනෙ. ඒක තමා දැන් මගේ පොත් හීනය.

8 comments:

  1. ඉතිං ඊට පස්සේ කාව්‍යානම් සුද්දෙක්ව බඳින්න එපා. බැරිවෙලාවත් ඒ සුද්දත් ඔය පොත් ටික ගිනි තිබ්බොත්.......හැක්....
    ඉතිං ඊටත් පස්සේ.....
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හී ... සුද්දෙක් බඳින්න වෙන්නෙ නෑ මම මේ වෙනකොට කලු සිංහලයෙක් කරකාර බැඳලනෙ

      Delete
  2. මල්වර වෙලා උන්න කාලෙ පොත් කියෙව්ව එක නම් හරිම ෂෝක් වැඩේ.දවස් 14ක් හිරවෙලා ඉන්න තිබ්බ කාලෙ පොත් අල්මාරියක් දැක්කම නිකං සොඳුරු සඳවතීට නිධානයක් පහළ වුණා වගෙ තියෙන්නැති..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ඒක නිකන් නිධානයක් වගේ තමා

      Delete
  3. ඊට පස්සේ සුද්දා ලංකාවට ආපු දවසක ඇඳක නිදාගෙන ඉන්න කොට ශශී සුද්දට ගිණි තියන්න හැදුවලු. ඇයි කියල ඇහුවම කිව්වලු "නෑ මේ ඇඳ පේන්ට් කරන්න හිතුණ" කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මට ඒ වෙලාවෙනම් පුදුම දුකක් තරහක් ආවා. ඒත් ඉතින් පස්සේ එයා ගොඩක් කණගාටු උනා ඒවා වටින කියන පොත් කියලා දැන ගත්තම , ඒ අල්මාරිය තමා අපේ තාත්තගෙ පරම්පරාවෙම පොත් පත් තිබිල තියෙන්නෙ, අංකල් හිතලා තියෙන්නෙ ඒක කුණු ගොඩක් කියල.

      Delete
  4. හපොයි.. පොත් ගොඩක් ගිහි තියෙන අංකල් කොහොම හිත හදා ගත්තද මන්දා...

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් තුශානි ගොඩක්ම උනේ ඉතින් එයාට එවායේ වැදගත් කමක් නොතේරුන එකයි.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...