සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

May 8, 2012

දෙනුවන් අනුහස.... හත්වන සජ්ජායනාව

කතාවේ මුල් කොටස් මේ තියෙන්නෙ

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6











විශ්වාසකරන්න... ඉතින් ඒ දෙනුවන්ය.....ඒ ඔහුගේ හඬය...ඉද්ද ගැසුවාක් මෙන් මා ඇද මත එහෙමම ඉන්දවිණි.


" කෝ... කතාකරන්න ඉතිං...අඬනවද ඔයා තාමත්....?"


ඒ හඬ මා හිතුවාටත් වඩා ආදරණීයය.අනේ මේ මා පෙම් කරන දෙනුවන්ය.හැමදාමත් මා ඇස් වලින් විතරක්ම විඳින ආදරණීය බවය.හැමොම මදාවියෙකුයැයි කියන කිසිදා කතාවෙන්වත් කාටවත් ලතෙන් බවක් නොපෙන්නන මේ ඒ දෙනුවන්මය.පපුව ගැහෙන හඬ දුරකතනයෙන් ඔහුට ඇසෙතැයි මම බියවීමි. ඒ තරමට හදවත වේගයෙන් ගැහේ.


" ඔච්චර සද්දෙට හුස්ම ගන්න එපා ... මාවත් ඔය පැත්තට ඇදිල ඒවි...."


සුපුරුදු දඟකාර කමට මුසු වුණ මොකක්දෝ ප්‍රේමණීය බවක් ඒ හඩේ ඕනාවටත් වැඩිය මට දැනුණි.


" දැන් හොදයි "


ඇස් වලින් කඳුළු කැට කැට සිතූ සේ වැටෙන්නට ඉඩ හැර මා වචන අහුල ගත්තේ අදත් ඔහු හා මෙලෙස දොඩන්නට නොලැබුනොත් යලි කවමදාවත් මෙලෙස කතා කරන්න ඉඩක් ලැබෙතැයි සිතන්නටවත් නොහැකි නිසාමය.


" ඉතිං හොදයිනම් දැන් මේ මොකද අඩන්නෙ.... අඩන්නෙපා... අඩනකොට සුරංගනාවියෝ හරී කැතයි...."




අනේ දෙනුවන් ඔබ දන්නවාද...ජීවිත කාලෙම මට හිනැහෙන්නට ඔබේ මේ කතාවම විතරක් මට ඇති බව.ඇත්තටම මට සිනා නැගුණි.දෙනුවන්ද එහා පසින් හිනැහෙන හඬ ඇසේ.


" දන්න කියන කෙනෙකුට කරදරයක් උනාම හොයලා බලන එක යුතුකමක්නේ..ඒකයි මේ කතා කරල බැලුවෙ...මං ගාව Number එක තිබුනේ නෑ මම මල්කිගෙන් Number එක ඉල්ල ගත්තෙ... මම එහෙනම් තියන්නම්..."


හිතේ මොනවා තියාගෙන කතාකලද එය මට නොදැනෙන්නට නොපෙනෙන්නට දෙනුවන් හීන් සීරුවට එසේ කියා ඔහුට මා විශේෂ කෙනෙකු නොවන බව මටත් නොදැනෙන්නට මෙන් කියා දැමීය.මහිත රිදුණි.එහෙත් ඒ හිත මා ලඟ විනිවිද පෙනෙන නිසා මා මේ මොහොතේ කම්පා නොවීමි.


" Ok මම එහෙනම් තියනවා සුරංඟනාවී.... Bye...."


" බුදුසරණයි "


ඔහුට බැදි ප්‍රේමයෙන් ළය බරව යද්දී මා මුවින් නිරායාසයෙන්ම පිටවිය.තත්පරයකට දෙකකට එහා පස නිහඩ විය.ඉනික්බිති මහා සුසුමක කෙළවර


" ඔයාටත් බුදුසරණයි "


කියා ඔහු වහා දුරකතනය විසංදි කලේය.


විනාඩියක් දෙකක් මම ෆෝන් එක කණට කරගෙනම තුශ්නිම්භූතව බලා සිටියෙමි. විටෙක මහා හඩින් හිනැහෙන්නටද විටෙක මහා හඩින් හඬා වැටෙන්නටද මට සිතේ.පපුව රිදෙන තරමටම මගේ හුස්ම හිරවෙනවාක් මෙන් මට දැනේ.


" කවුද කතාකලේ "


තාරාගේ හඩින් මා තිගැස්සී පියවි ලෝකෙට ඇද වැටුනෙමි.ඇයට බොරුවක් කියන්නට තරම් දෙයක් නැත. ඇයට බොරු කර තේරුමකුත් නැත.


" දෙනුවන් "


ඈ එය විශ්වාස නැතුවාක් මෙන් පුදුමයෙන් මා දෙස බලා සිටින්නට විය.


" එයාට කොහෙන්ද Number එක....? මොනාද ඇහුවෙ....? "


" මල්කිගෙන් ඉල්ලගෙන... සනීපද ඇහුවා එච්චරයි.. "


ඈ වචනයක්වත් නොදොඩා මා තින් දුරකතනය ගෙන දෙනුවන් කතාකල අංකය මකා දැමීය.


" තාරා.... මට දුකයි... ඔයා මං ගැන වැරදියට හිතනවා... ඔයා හිතනවද මම ඔය Number එකට අරන් දෙනුවන් එක්ක කතා කරයි කියලා...."


" නෑ උඹට එච්චර හපන්කමක් කරන්න බෑ කියලා මම දන්නවා...ඒත් උඹ ඉස්සරහට ඔය නොම්බරේ දිහා බල බල හූල්ලන එකට මං බයයි...උඹ පිච්චෙනවා කියලා දැන දැනමයි ගින්දර ළඟට ගන්න හදන්නේ..."


" අපි Class මාරු කරමු තාරා"


" වැඩක් නෑ කවී...Class එක නෙවෙයි උඹ මේ රටම මාරු කරලා ගියත් වැඩක් නෑ ඒ යන්නෙත් ඔය හිතම අරගෙනනම්. උඹ වෙනස් කරන්න ඕනෙ උඹේ හිත....උඹේ සිතුවිලි...දෙනුවන්ව පපුවේ එල්ලගෙන උඹ කොයි දීපංකරේ ගියත් වැඩක් නෑ....."


ඉතින් ඇය කියන්නේනම් සැබෑවකි.ඒ ඇස් අමතක කරන්නනම් මා මිය යා යුතුය.නැතුවනම් ඔහු අමතක කිරීම සිහිනයකි.


" උඹ දන්නවද....මෙච්චර වෙලා සුදු අයිය මා එක්ක කතා කර කර හිටියෙ..."




" ඉතින්...."


" උඹ මාස ගානක් පිස්සු නැටුවෙ සුදු අයියව මඟ ඇරියෙ දෙනුවන් ගැන හීන මව මව කියන එක සුදු අයියට ආයෙ අමුතුවෙන් කවුරුවත් කියන්න ඕනෙ නෑ කවී...


" ඇයි තාරා සුදු අයියා මොනාද ඇහුවේ....? "


" මට මුකුත් කියන්න තරම් දෙයක් තිබුනේ නෑ කවී... එයා කතාව පටන් ගත්තෙම


" සුදු බබාගේ හිතේ ඉන්නෙ අද අපිට Meet උන Boy නේද උත්තරා කියල අහගෙන...."




" උඹ දන්නවා සුදු අයියා ගාවදී උඹට වගේම මටත් බොරුවක් කියා ගන්න බැරි බව...මං හැම දෙයක්ම කිව්ව... මේක උඹේ හිතේ තියෙන මනස්ගාතයක් විතරයි දෙනුවන්ගේ හිතේ එහෙම දෙයක් නෑ එයා මේ කිසිම දෙයක් දන්නෙත් නෑ කියල මම කිව්ව......"


" ඉතින් ..."


" සුදු අයියා දුක් වෙනවා ගොඩාක් ...එයා කියන්නේ මෙතනදී එයා වැරදී කියල...එයාගේ ආදරේ කොහේ හරි අඩුවක් ඇතිලු උඹට වෙන කෙනෙක්ට ආදරේ හිතුනේ...."


ආ හිතුවා නිවැරදිය හැමදාමත් මෙන් මෙතනදීද අනුහස් අයියා මා නිවැරදි කර වරද ඔහු පිට පටවා ගෙන ඇත.අර ඉස්සරෝම පුංචි දවස්වලත් ඔහු ඔහොමමය.මා තින් ගෙදර පිගානක් වීදුරුවක් බිඳුණද එය ඔහු පිට පටවා ගත්තා මිස කවදාවත් අම්මාගෙන්වත් පුංචි බැනුමක් අසන්නට මට ඉඩක් දුන්නේම නැත.දැන් හිත රිදෙන්නේ අනුහස් අයියාගේ ඒ අසීමිත කැපකිරීමත් ඒ අපරිමිත ප්‍රේමයත් සිහිවය.අනුහස් අයියා එදා බීමත්ව ගෙදරා ආ හැටි සිහිව මහා බියක් හිතට දැනුණි. යලිත් එවන් දිනක් උදා කරන්නටනම් මට බැරිය.සැනෙන් සිතට ආ සිතුවිල්ලෙන් ඇදෙන් බිමට පැන මා අනුහස් අයියා සොයා දිව ගියෙමි.


" සුදු අයියා...."


ආ වේගයෙන්ම මා කාමරයට ඇතුල් වූයේ එසේ හඩගාගෙනය.අනුහස් අයියා ඇදේ උඩුබැලිව වැතිර සීලිමේ කැරකෙන විදුලි පංකාව දෙසම බලා ගෙන ගැඹුරු කල්පනාවකය.මම ගොස් ඒ දෙපා අද්දරින් වාඩි වීමි.


" සුදු අයියා... ඔයා හිතනවද මම මහ නරක කෙල්ලෙක් කියලා....මම ... මම... දෙනුවන් ගැන හිතුවා තමයි... ඒත් .. ඒත්... මට අයියට දුකක් දෙන්න උවමනාවක් නෑ මගෙ අයියේ... මං කවදා හරි අයියගෙ නෝනා මහත්තයා .... ඒක වෙනස් වෙන්නෙ නෑ සුදු අයියේ... කියන්නකෝ මට බනින්නේ නෑ නේද ඔයා... "


" අනේ ඇයි මේ සුදූ... මම මොකටද ඔයාට බනින්නේ... ඔයා මට වරදක් කලේ නෑනේ මැණික..."


කවදත් ඒ හඩ දයාබරය.. ළෙංඟතුය... මට දරා ගන්නට බැරිත් මේ දෙකමය. සුදු අයියා නැගිට ඇද දිගේ ඇදි ඇදීම විත් මා ළඟින්ම නතර වී මගේ දකුණත ඒ දෑතින්ම අල්ලා ගත්තේය. කඳුළු පිරුණු ඇස් වලින් මා ඒ මුහුණ දෙස බැලුවෙමි.


" කියන්න මට... දෙනුවන් ලඟට යන්නද ඕනෙ ඔයාට.....?"


ඒ පැනයෙන් මා සසළ වූ තරම්.


" අනේ නෑ සුදු අයියා.... දෙනුවන්ට Girl කෙනෙක් ඉන්නවා... අනික එයා මට ආදරෙත් නෑ... අපි අපිට ගැලපෙන්නෙත් නෑ... මේක මගේ හිතේ විකාරයක් විතරයි සුදු අයියේ... අනේ මේ මෝඩ කෙල්ලට සමාව දෙන්නකෝ..."


" කෙනෙකුට ඔයාට ආදරේ නොහිතෙනවනම් ඒක පුදුමයක් සුදු නංගී.... දෙනුවනුත් ඔයාට ආදරේ ඇති ... මං දෙනුවන් එක්ක කතා කරන්නද .....? "


අනුහස් අයියාගේ ඒ කතාවට මා වෙව්ලා ගිය තරමක්.


" වඳින්නම් මගෙ සුදු අයියේ ඒකනම් කවදාවත්ම කරන්න හිතන්න එපා...අනේ මං ඔයාගේ.. මට දෙනුවන් එපා...සැරින් සැරේ මගේ හිත එහෙ මෙහෙ වෙන එක මං හදා ගන්නම්...මට පුංචි කාලයක් දෙන්න මගේ අයියේ...මගේ අතින් අයියට වරදක් වෙන්නෙ නෑ...."


" ආදරේ වරදක් නෙවෙයි මගෙ නංගී....ඔයාට ඕනෙ දෙනුවන්නම් මං ඔයාව මේ අත් දෙකෙන්ම එයා ලඟට ඇරලවන්නම්...සත්තයි.... "


අනුහස් අයියා දකුණත මගේ හිස මත තබා පොරොන්දු විය.සමනල කන්ද හිස මතට පාත් වූවාක් මෙන් ඒ වචන වල බර මගේ මුලු හිතටම දැනුණි.


" මට වටින්නේ ඔයාගේ සතුට විතරමයි මගෙ නංගී..."


" එහෙනං අපි ලංකාවෙන් යමු සුදු අයියා.... මට Exam කරන්න ඕනෙ නෑ ... අපි Canada යමු අයියා ඉක්මනටම...


මා එය කීවේ සැබෑවටමය. හෙටම හෝ මේ රටින් පිටවෙන්නට ඇත්නම්යයි මට ඒ මොහොතේ සිතුණි.


" මේ අහන්න මගේ නංගා ඔයා දැන් ඉන්නෙ කලබලෙන්... ඔයා කියන කරන එවා ඔයාම දන්නේ නෑ... අපි කලබලේට ගන්න තීරණ වලින් කවදාවත් අපිට හරිම විසඳුම ලැබෙන්නෙ නෑ... අනික මට ඔයාව මේ විදියට රටකින් රටකට ගෙනිහින් මගේ ලඟ හිර කරන්න උවමනාවක් මට නෑ සුදූ... ඔය හිතේ තව කෙනෙක්ගේ හෙවනැල්ල එහා මෙහා වෙද්දී මට ඔයාව මගේ කරගන්න ගන්න බෑ මගෙ නංගී...මං ඔයාට නිදහස දෙනවා...තව හිතන්න ... කාලය අරගෙන තව ගොඩාක් හිතන්න...කවදම හරි අර ඉස්සර මං ලඟ දැවටි දැවටි හුරතල් උන .. මං නැතුව මොහොතක්වත් ඉන්න බැරි උන....චුට්ට ඇත්තං මං එක්ක එල්ලි එල්ලී රණ්ඩු අල්ලන දඟ කෙල්ල ආයෙමත් මට දෙන්න පුලුවන් කියලා හිතුන දවසක මට කියන්න..... මං අන්න එදාට ඔයාවයි අම්මවයි අරන් යනවා මේ රටින්..."

සැබැවින්ම අනුහස් අයියා නම් දෙවියෙකි.මගේ සතුට වෙනුවෙන් ඔහු මුලු ජීවිත කාලයම අර පරිස්සම් කරගත් ප්‍රේමය වෙනකෙකු වෙනුවෙන් දන් දෙන්නට පවා සූදානම්ය.මගේ කම්මුලට දෙකක් ගසා මේ විගඩං නවත්තපං කියන්නට ඕනෑතරම් අයිතිය තිබුනද අනුහස් අයියා මේ මොහොතේද බෝසත් පිළිවෙත් රකී.මේ දැන් මේ මොහොතේ මට දෙනුවන් ඕනෑ කීවොත් ඔහුම කතා කර එයද පිලිවෙලක් කරන බව මා දනිමි.එහෙත් අවසනට මා දන්නා එකම දෙයනම් ඒ දෑතින්ම මා මගුල් පෝරුවට නග්ගවා අවසන වසක් විසක් කා ඔහු ජීවිතය නැතිකරගන්නා බවය.ඔහු නොකීවාට ඉරහඳ සේ මා දන්නා එකම දෙයනම් එයය.ඉතින් තාරා කියූවක් මෙන් කරන්නට ඇත්තේ පුංචිම පුංචි දෙයකි.ඒ හතර අතේ දුවන මගේ සිතුවිලි එක්තැන් කර ගැනීම පමණි.


අනිත් එක මා මුලු ජීවිතයම උඩු යටිකුරු කරගනිමින් ඒ ඇස් වලට පෙම් කරද්දී දෙනුවන් වගක් නැතුව සිටිනවා නොවේද...ඒ ඇස් වල මා දකින සෙනෙහස සැබෑවටම ඔහුගේ හිතේ කොනකවත් නැතුවා විය හැක.මා කෙරේ කැමැත්තක අංශුමාත්‍රයක් හෝ තිබුනේනම් එය විත් මගේ මුහුණටම පැවසීමට ඔහු කෙදිනකවත් පසුබට නොවේ.දකින දකින් හැම කෙල්ලටම පෙම් බඳින ඔහුට එය මහ ලොකු දෙයකුත් නොවේ. එහෙත් ඔහුට මා වහ කදුරු මෙනි.හොදම යෙහෙළියක සේවත් ඔහු මා ළං කර ගැනීමට මැලි වෙයි.අඩුම තරමේ තාරාට තරම්වත් ලතෙන් බවක් මට පෙන්වන්නේ නැත.මා සංසාරගත ප්‍රේමයක් ඒ ඇස් වල හොයද්දී දෙනුවන් සංසාරගත වෛරයක් මගෙන් පිරිමහන්නාක් මෙනි.ඉතින් හැම දෙයක්ම මෙසේ තිබියදී හොදම දෙය ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ හැර මාද පාඩුවේ සිටීමය.අනුහස් අයියා විසින් මුදා හල මා ඔහුගේ කාමරයෙන් නික්මුනේ දෙයක් දැඩිව හිතට හිතාගෙනය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


දින සති මාස වලට හැරෙමින් අපේ ජීවිත හරහා ඉදිරියට ගියේ බොහෝ වේගයෙනි.ඒ කාලය අතර තුර ජීවිතයේ බොහෝ දේ වෙනස් විය.කාගේවත් බලපෑමකින් තොරවම මම නුගේගොඩ පංති ගමන නවතා දැමුවෙමි.අරක කරන්න එපා... මේක කරන්න ... කියා කවුරුවත්ම මට උපදෙස් දීමටවත් නීති දැමීමටවත් ආවේ නැත. එහෙත් කල යුතු හොදම දෙය මම තනිව සිතා කිරීමට පෙලඹුනි.තාරා මා අසල නිරන්තරවම ගැවසෙමින් මට නිහඩවම සහය පල කලාය.ඇයත් මාත් නුගේගොඩ පංති අත හැර බම්බලපිටියට පංති ගියෙමු.ඈ නිකමටවත් දෙනුවන් ගැන මා හා දෙඩුවේ නැත.පාසලේදී වත් දෙනුවන් ගැන මා හා දොඩන්නට ඈ කාටවත් ඉඩ දුන්නේ නැත.එහෙත් ඈ දෙනුවන් පමනක් නොව අපේ කල්ලියේ අනුශ්ක , ඉශාන් , චාමිකර සමඟත් කතා බහ කරන බව මා ඉඳුරාම දැන සිටියෙමි.කියන්නට අසන්නට බොහෝ දෑ තිබුනද මා ඒ හැමදේම දරාගෙන දෙනුවන් කෙනෙක් නොදන්නාක් මෙන් හැසිරුනෙමි. අහම්බෙන් මහ මගවත් ඔහු නොදකීවායි මා නිරන්තර දෙවියන්ට කීවෙමි.


ජීවිතයේ අතිශය දුශ්කර කාල පරිචේදයක් මා එසේ ගෙවමින් සිටියෙමි.ඒ කාලය තුල මා වඩ වඩාත් සුදු අයියාට හිතා මතාම ළං වුනෙමි.දෙනුවන් නොදකින ඇස් සැබෑවටම ඒ ප්‍රේමය ළඟ නිවී සැනසුණි.ප්‍රේමය කෙසේ වෙතත් යහළුවෙකු ලෙසවත් මගේ අතුරුදන් වීම ගැන ඔහුවත් ඔහුගේ යහලුවෙකුවත් අඩුම තරමේ දුරකතන ඇමතුමකින්වත් සොයා නොබැලීය.ඔහුට මා දූවිල්ලක් තරම්වත් නොවටිනා බවට තවත් කවරනම් සාක්ශිද... මම කෝපයෙන් දැවෙමින් හදවත ගැඹුරේම තැන්පත් කල ඒ නිල් ඇස් වලට දෙස් තැබීමි.


" කවී......."
" ම්ම්ම්......"

" මට කියපං උඹ සතුටින්ද ඉන්නෙ කියල......"

" ඇයි තාරා.... උඹට මං දුකින් වගේද පේන්නෙ....."

" ඒකට හරිම උත්තරේ දන්නෙත් උඹම විතරයි කවී... මොනවා උනත් මට ලොකූ වෙනසක් දැනෙනවා කවී...අපි අතර ඉස්සර තිබුන සතුට සැහැල්ලුව මේ අහලකවත් නෑ වගේ මට දැනෙන්නේ...කියපං ... අපි කොච්චර එකට හිටියත් අපි මහා දුරයි දුරයි වගේ නේද...."

" එහෙම කියන්න එපා තාරා මේ මොනවා වෙනස් උනත් එදත් අදත් ඉස්සරහටත් ඔයා මගේ හොදම යාලුවා..."

" උඹ තරහා උනත් මං උඹ එක්ක තරහා වෙන්නෙ නෑ... උඹ ඒකත් දන්නවා ... මම කියන්නේ ඒක නෙවෙයි කවී...මම අහන්නේ මොකක්ද කියල උඹ දන්නවා..."

" චුට්ටි වෙනසක් මටත් නොදැනෙනවා නෙවෙයි කෙල්ලේ... ඒත් දෙයක් ලබා ගන්න දෙයක් කැප කරන්නම වෙනවා කියලා උඹමනෙ මට කියලා දුන්නෙත්... මට තව පොඩි කාලයක් දියන් තාරා...ඊට පස්සේ අපි හිනාවෙමු ඇති වෙනකං..."

" සතුටු වෙනවා කියන්නේ අපිව හිනස්සලා උඹ හිතින් අඬන්න එකටනම් නෙවෙයි කවි හොදේ...."

" නෑ තාරා... පේනවනේ මං දැන් කලින්ට වඩා ගොඩාක් හොදයිනෙ... ඉතින් තව ටික දවසකින් මීටත් වඩා හොඳ වෙයි..."


" හ්ම්ම්ම්.... ඔව් ඔව් පැහැදිලි වෙනසක් නම් පේනවා...."

" ම්.... එකනේ..... තාරා මං වැඩක් කියන්නද ඔයත් යන් අපිත් එක්ක Canada....."


" Canada ....? උඹට පිස්සුද කවී..... මං ගියාම කවුද මගේ අම්මවයි මල්ලිවයි බලාගන්නේ...."

" අපි ගිහින් එයාලවත් ගමු..."

" ම්ම්ම්...... හරි හරී අපි එවා පස්සේ බලමුකෝ....ඉස්සෙල්ලා ඔයයි අනුහස් අයියයි පිළිවෙලක් වෙලා ඉන්නකෝ..."


" හරි ඉතින් අපි බඳින්න උඹ දෙවෙනි මනමාලයෙක් හොයා ගනිංකෝ...."

" මොකක්.... ඒ අහවල් එකකටද....."

" ඇයි උඹනේ මගේ දෙවෙනි මනමාලි...සුදු අයියා කිව්වා උඹ කොල්ලෙක් හොයා ගන්නකන් ඉන්නෙ දෙවෙනි මනමාලයාට ගන්න කියලා..."


" ආ...පෝ... සුදු අයියටම එකෙක් හොයා ගන්න කියපං... මටනම් කොල්ලො එපා දැන්ම..."

කාලෙකට පසු අප දෙදෙනා විහිලු තහලු කරමින් සිත් සේ සිනාසීමු.




                                                 - මතුසම්බන්ධයි -

25 comments:

  1. හුරේ!!! කතාව දාලා...:D

    ලස්සනම ලස්සනයි අක්කේ!! හරිම තාත්විකයි!! ඒත් අර සුදු අයියානම් දෙවියෙක් වගේනෙ.. ආදරේදි ඒ තරම් පරාර්ථකාමී වෙන්න පුළුවන් කොල්ලො ඉන්නවද කියන්න මම දන්නෙ නෑ..ඒත් එහෙම අය නැති තරම් ඇති!! සුදු අයියාව කවී අසරණ කලොත් නම් ඒක පවක්...

    බලමුකෝ ඉස්සරහට.. මොනා කලත් සුදු අයියාට කවීව නැති කරන්නෙපා..ඔන්න සුදු අයියාට මොනා හරි කරලා, දෙනුවන්ට කවීව අයිතිකරවන්න එහෙම එපා..හලිද?

    ReplyDelete
  2. හිතුවක්කාරි - අපොයි දාන්නත් කලින් මේකි මේක කියවලනෙ... හි හී අප්පේ දැන් කට්ටිය මට තර්ජනය කොරනවනෙ අප්පා ම්ම් බලමුකෝ බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඉස්සරහට.

    ReplyDelete
  3. ඔන්න මම ආවා අද ඉඳන්, එක හුස්මට කියවගෙන ගියා අක්කියෝ.. හරිම ලස්සනයි.. නියමයි.. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න හොඳේ..

    ReplyDelete
  4. ආහ්හ්.. කලබලේට ටයිප් කරාට කථාව ගැන මුකුත් කියන්න බැරි වුනානේ.. දෙනුවන් කවීට ආදරෙයි වගේ.. ඒත් අර තරම් වටින තේරුම් ගන්න පුලුවන් රත්තරන් කොල්ලෙක් එක්ක බලද්දි දෙනුවන් නිකන්ම නිකන් පුස්සක්.. සුදු අයියට තමා කවීව අයිති වෙන්න ඕනේ..

    ReplyDelete
  5. ප්‍රාර්ථනා - ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔයාව. මමනම්නිතර ඔයාගෙ පැත්තේ යනවා තුහින වර්ෂාත් කියවනවා ඒත් තාම කමෙන්ට් කලේනම් නෑ

    ReplyDelete
  6. මම නම් කියන්නේ සුදු අයියාගේ කොන්ද පන නැ... ඇයි යකෝ.. එක පාරක් වැරැදි වැඩක් කරපු කෙනාට දෙවෙනි පාර එ වැරැද්ද කරන්න දෙපාරක් හිතන්නේ නැ.. මම නම් සුදු අයියාට පස්සට ගහලා එලවන්නේ.. යකො කොල්ලෙක් වගේ හිතපංකො... හිතට එකගව කතා කලොත් මේ ලොකේ ඉන්න (රහත් අය ඇරේන්න) හැම මිනිහෙක්ම එක වැරැද්දක් කලොත් එයාට එ වැරැද්ද දෙවැනි පාර කරන්න බය හිතෙන්නේ නැ.. එකයි මිනිස් ස්භාවය... සුදු අයියට හිත හදාගෙන මේ ගොන් වැස්සිව බැදගන්න තියෙන්නේ... ආයි කවදාවත් එයාට ඉස්සර හිටපු දග කෙල්ල ලැබෙන්නේ නැ.. ඕං කිව්වා...

    ReplyDelete
  7. ඇත්තටම කවියො.. මගේ ලේ කොප වේලා තියෙන්නේ දැන්.. සිරාවටම මේ චරිත මගේ හිත ඇතුලේ බජව් දානවා.. මම දන්න කියන එවුන් වගේ හිතට දැනෙනවා...

    ReplyDelete
  8. Pooh - අපොයි මෙන්න මෙයත් කොහේදෝ ඉදලා කඩා පාත්වෙලා.මට හිනා මේ කමෙන්ට් එක බලලා.ඇත්ත තමා ඔයා කියන්නේ හි හී ඔයාලා මේ බනින කේන්ති ගන්න විදියට මට හිතෙනවා ඇත්තටම මම මේ කතාවට සාධාරණයක් කරලා තියෙනවා කියලා. හි හි තව බනින්න පූවෝ තව බනින්න

    ReplyDelete
  9. මම කලින් කියපු එක දෙයක් හරි ගිහින් තියෙනවා.. අද නම් කතාව වෙනදටත් වැඩිය හිතට වැදුනා.. ඒ තරම් ආදරයක් දාලා කවි යාවිද කියලා ප්‍රශ්ණේ මට තියෙනවා..

    ඔය හිතූලා අද තර්ජනය කලාට ඔන්න මම මේ කතාවේ තුන්වෙනි කොටසේදි විතර තර්ජනය කලේ.. මොකද අවසානය මට දැනෙන නිසා..

    ReplyDelete
  10. Dinesh - ම් ඔව් ඔව් ඔයත් මගේ හොද රසිකයෙක්... ස්තූති ඔයාට මල්ලි දිගටම ඉන්න හොදේ මගේ නිර්මාන එක්ක. කතාව ගැනනම් මම මුකුත්ම නොකියමි

    ReplyDelete
  11. අනිවාර්‍යෙන් ඉන්නවා.. කතාව මට දැනුනා උනාට මම ඒවා දැන් නොකියා ඉන්නේ අක්කටම ලියන්න ඇරලා.. අනාවැකි නොකියමි.. :)

    ReplyDelete
  12. Dinesh - මේකේ අවසානය වෙනකන්ම මම ලියලා ඉවරයි මල්ලි.ඒ නිසා කට්ටියට හිතෙන දෙවල් බල බල මම මේ බලන් ඉන්නවා මොනවා උනත් අවසානය වෙනස් කරන්නේනම් නෑ

    ReplyDelete
  13. ඒ කියන්නේ මම අකමැති අවසානයක් එන පාටයි.. කමක් නෑ බලමුකෝ... :(

    ReplyDelete
  14. අනේ මන්දා මගෙ ඇස් දෙකට කදුළු ආවා.. අනුහස් අය්ය කියන්නෙ ඕනම කෙල්ලෙක් ප්‍රාර්ථනා කරන්න ඕන විදියෙ ආදරවන්තයෙක්.ඒ වගේ කොල්ලෙක් තමන්ට ලැබිල තියෙද්දිත් කවී මේ වගේ හැසිරෙන එක ගැන ඇත්තටම තරහක් දැනෙනව.
    ඒත්..අනික් අතට මිනිස් හදවත කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.

    ReplyDelete
  15. Dinesh - ම්ම් ඒකනම් දන්නේ නෑ

    ReplyDelete
  16. වර්ෂා - ඔව් වර්ෂා ලියන මටත් කවිතිගේ වැඩ වලට කේන්ති. ඒත් මේ තමා මිනිස් සිත. අපි කවදත් ලැබෙන දෙට වඩා අහිමිවෙන දෙට ලෝබ වෙන අයනෙ

    ReplyDelete
  17. kawiiiii...onna kotas thunak eka digata kiyeuwa...kawi moko ane me kolanne..dan kaatada kawiwa labenne?kathaawa liyala ilanam daannako wade.anuhas wage aya ada me loke hoyganna amarui.
    giya tike meka balanna nathuwa ada adaaa unne.dan hali he he heeeee

    ReplyDelete
  18. tweety - ටූටියෝ කොහෙද ගිහින් හිටියේ.... දැන් ඉදන් දිගටම ඔන්ලයින් එනවද ඔයා ? ම්ම් බලන් ඉන්නකෝ අනේ මොකෝ වෙන්නෙ කියලා මම දැන්නම් කිසිම දෙයක් කියන්නේ නෑ

    ReplyDelete
  19. ඔන්න කවි අක්කියෝ මම අද නම් කලින්ම කියෙව්වා....අනේ ඇත්තටම මට නම් අනුහස් ගැන පුදුමයි..මට හැබැයි සැකයි මේක අපේ කවියාගේ අත්දැකීමක්ද කියල..මොකද මේක ඒ තරම් තාත්විකව ගලාගෙන යනවා අක්කේ...ඇත්තමයි දැන් නම් මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ...දිගටම ලියන්න අක්කේ...හැබැයි දැන්ම ඉවර කරන්න එපා හොදේ....

    ReplyDelete
  20. ෂා..පික්ෂු කොර නේ.....මේක මන් දැනුයි හරියට කියෙව්වේ..මේකේ ඉන්න උන් මගේ හිතෙත් බල්ටි ගහනවා...චතුවා කිව්වා වගේ..

    මේ අක්කේ මන් කියන්නද සිරා වැඩක්..කවීව ඔය දෙන්නටම නැතුව වෙන කෙනෙක්ට සෙට් කරන්න..ලොල්.. ;)

    මොනවා උනත් අක්කා මේක ලස්සනට ලියනවා..මගෙන් සුබ පැතුම්..

    ReplyDelete
  21. ish - ම් අද වේලාසනම බලලා තමා හොදා හොදා දැන් ඉතින් මම කවුරු ඇහුවත් කතාව ගැනනම් මුකුත් කියන්නෙ නැ හි හී

    ReplyDelete
  22. පිස්සු පුසා - එහෙනම් අපි කවීට ඔයාව සෙට් කරමුද ආ....... කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ මේ ඉන්නවා මේ නෑ නේ

    ReplyDelete
  23. කථාව හරිම ලස්සනයි.
    ඊළග කොටස දානකන් බලාගන ඉන්නේ..

    ReplyDelete
  24. dyno | ඩයිනෝ - ස්තූති ඩයිනෝ බොහොම ඉක්මනටම දානවා

    ReplyDelete
  25. නොදකින් මෙහෙමත් අනුහස් කෙනෙක් ඇයි යකෝ 2 ක් දීලා හදා ගන්න බැරිද ???

    කෙල්ල හැබැයි අනුහස්ව අතහැරියොත් එකනම් හරිම කැත වැඩක්‌ හොදේ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.